Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 7501-7600 න් 15980

ආනන්‍දයෙනි, ඉක්බිති ගවේසී උපාසක එ පන්සියක් උවසුවන් කරා එළැඹියේ ය. එළඹ එ පන්සියක් උවසුවනට තෙල කීය: “ආයුෂ්මත්නි, අදින් මතු මා ශීලයෙහි පරිපුරකාරියකු කොට ධරවු” යි.
ඉක්බිති ආනන්‍දයෙනි, එ පන්සියක් උවසුවනට තෙල සිත් විය: “ආර්‍ය්‍ය ගවේසී අපට බහුකාර ය, පූර්‍වඞ්ගමය, සමාදන් කරවන්නේ ය. ආර්‍ය්‍ය ගවේසී වනාහි ශීලයෙහි පරිපුරකාරි වන්නේ ය. කවර කරුණෙන් අපි එසේ නො වමෝ දැ?”යි.
ඉක්බිති ආනන්‍දයෙනි, එ පන්සියක් උවසුවෝ ගවේසී උපාසකයා කරා එළඹියහ. එළඹ ගවේසී උවසුහට තෙල කීහ: “අද පටන් කොට ආර්‍ය්‍ය ගවේසී තෙමේ මෙ පන්සියක් උවසුවන් ශීලයෙහි පරිපූරකාරීන් කොට ධරාවා” යි.
ආනන්‍දයෙනි, එ කල්හි ගවේසී උපාසකයාහට තෙල සිත් විය: “මම වනාහි මෙ පන්සියක් උවසුවනට බහුකාරයෙමි. පූර්‍වඞ්ගමයෙමි, සමාදන් කරවන්නෙමි. මම ද ශීලයෙහි පරිපූරකාරී වෙමි. මෙ පන්සික් උවසුවෝ ද ශීලයෙහි පරිපූරකාරී වෙති. මෙසේ තෙල කරුණ සමසම වෙයි. කිසි අතිරේකයෙක් නැත. මම අතිරේකයක් සඳහා යත්න කෙරෙම් නම්, මැනැවැ” යි.
ආනන්‍දයෙනි, ඉක්බිති ගවේසී උවසු එ පන්සියක් උවසුවන් කරා එළැඹියේ ය. එළඹ එ පන්සිවක් උවසුවනට තෙළ කී ය: “ආයුෂ්මත්හු මා අද පටන් කොට ගැමිදහම් වූ මෛථුනයෙන් වෙන්ව හැසිරෙන අබ්‍රම්සරින් දුරු වූ බඹසර ඇතියකු කොට ධරව”යි.
එක්බිති ආනන්‍දයෙනි, එ පන්සියක් උවසුවනට තෙල අදහස විය: “ආර්‍ය්‍ය ගවේසී වනාහි අපට බහුකාර වෙයි, පූර්‍වඞ්ගම වෙයි, සමාදන් කරවන්නේ වෙයි. ආර්‍ය්‍ය ගවේසී ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වැළකියේ අබ්‍රම්සරින් දුරු වූයේ බඹසරවස් ඇති වෙයි. අපි දු කවර හෙයින් එසේ නො වමෝ දැ?” යි.
ආනන්‍දයෙනි, එක්බිති ඒ පන්සියක් උවසුවෝ ගවේසී උපාසක කරා එළඹියහ. එළැඹ ගවේසී උවසුහට තෙල සැළකළහ: “අද පටන් කොට ආර්‍ය්‍ය ගවේසී මෙ පන්සියක් උවසුවන් ග්‍රාමධර්‍ම සඞ්ඛ්‍යාත මෛථුනයෙන් විරත වූ අබ්‍රම්සරින් දුරු වූ බ්‍රහ්මචාරීන් කොට ධරාවා”යි.
ආනන්‍දයෙනි, ඉක්බිති ගවේසී උවසුහට තෙල සිත් විය: “මම වනාහි මෙ පන්සියක් උපාසකයනට බහුකාරයෙම්, පූර්‍වඞ්ගමයෙම්, සමාදන් කරවන්නෙම් වෙමි. මම ද ශීලයෙහි පරිපුරකාරීයෙමි. මෙ පන්සියක් උපාසකයෝ ද ශීලයෙහි පරිපූරකාරී වෙත්. මමත් ග්‍රාම ධර්‍ම සඞ්ඛ්‍යාත මෙවුන්දමින් වෙන් වූයෙම් අබ්‍රම්සරින් දුරු වූයෙම් බ්‍රහ්මචාරී වෙමි. මෙ පන්සියක් උවසුවෝ ද ග්‍රාමධර්‍ම නම් වූ මෛථුනයෙන් වෙන් වූවාහු අබ්‍රම්සරින් දුරු වූවාහු බ්‍රහ්මචාරී වෙත්. මෙ සෙයින් තෙල කරුණ සමසම වෙයි. කිසි අතිරේකයෙක් නැත. මම අතිරේක ගුණයක් සඳහා වෙහෙසම් නම්, මැනැවැ” යි.
ආනන්‍දයෙනි, එක්බිති ගවේසී උපාසක එ පන්සියක් උපාසකසන් කරා එළැඹියේ ය. එළැඹ එ පන්සියක් උපාසකයනට තෙල කරුණ කී ය: “ආයුෂ්මත්හු, අදින් මතු රාත්‍රිභෝජනයෙන් වැළැකි, විකාලභෝජනයෙන් විරත වූ ඒකභත්තිකයකු කොට මා ධරත්වා” යි.
ආනන්‍දයෙනි, එක්බිති එ පන්සියක් උපාසකයනට තෙල සිත් විය: “ආර්‍ය්‍ය ගවේසී අපට බහුකාර වෙයි, පූර්‍වඞ්ගම වෙයි, සමාදන් කරවන්නේ වෙයි. ආර්‍ය්‍ය ගවේසී රාත්‍රිභෝජනයෙන් වැළකියේ විකාලභෝජනයෙන් විරත වූයේ ඒකභත්තික වෙයි. කවර හෙයින් අපි (එබඳු) නො වමෝ දැ” යි.
ආනන්‍දයෙනි, එක්බිති එ පන්සියක් උපාසකයෝ ගවේසී උපාසකයන් කරා එළැඹියහ. එළැඹ ගවේසී උවසුහට තෙල කරුණ සැළකළහ. “ආර්‍ය්‍ය ගවෙසීනි, අද පටන් කොට මෙ පන්සියක් උවසුවන් රාත්‍රි භොජනයෙන් වැළැකියවුන්, විකාලභෝජනයෙන් විරත වූවන් කොට ධරාවා” යි.
ආනන්‍දයෙනි, එක්බිති ගවේසී උපාසකයාහට තෙල සිත් වීය: “මම වනාහි මෙ පන්සියක් උවසුවනට බහුකාරයෙමි, පූර්‍වඞ්ගමයෙමි, සමාදන්කරවන්නෙම් වෙමි. මම ද ශීලයෙහි පරිපූරකාරි වෙමි. මෙ පන්සියක් උපාසකයෝ ද ශීලයෙහි පරිපූරකාරි වෙති. මම ද ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වෙන් වූයෙම් දුරු වූයෙම් බ්‍රහ්මචාරී වෙමි. මෙ පන්සියක් උපාසකයෝ ද ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වෙන් වූවාහු දුරු වූවාහු බ්‍රහ්මචාරී වෙති. මම ද රාත්‍රිභෝජනයෙන් වැළැකියෙම්, විකාලභෝජනයෙන් වෙන් වූයෙම් ඒකභත්තික වෙමි. මෙ පන්සියක් උපාසකයෝ ද රාත්‍රිභෝජනයෙන් වැළකියාහු, විකාල භොජනයෙන් වෙන් වූවාහු ඒකභත්තික වෙති. මෙසේ තෙල කරුණ සමසම වෙයි. කිසිදු අතිරේකයෙක් (විශේෂයෙක්) නැත. එ හෙයින් මම අතිරේකයක් සඳහා යත්න කෙරෙම් නම්, මැනැවැ”යි.
ආනන්‍දයෙනි, එක්බිති ගවේසී උපාසක අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකෙළේ ය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැවිදිබව ලබම්ව” යි, උපසම්පදා ව ලබම්ව” යි.
ආනන්‍දයෙනි, ගවේසී උපාසක අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිද්ද ලැබී ය. උපසම්පත් ලැබී ය.
ආනන්‍දයෙනි, උපසම්පදාව ලත් නොබෝකල් ඇති ගවේසී භික්‍ෂු එකලා වූයේ ගණයා කෙරෙන් වෙන් වූයේ අප්‍රමත්ත වූයේ කෙලෙස් තවන වැර ඇතියේ නිවන් අරමුණෙහි මෙහෙයූ සිත් ඇති ව වසනුයේ, කුල පුත්‍රයෝ යම් අර්‍හත්ත්‍වයක් සඳහා මැනැවින් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙත් නම්, ඉහාත්මයෙහිම ඒ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය අවසාන කොට ඇති අනුත්තර අර්‍හත්ත්‍වය තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට උපයා ගෙන විසී ය. “(මාගේ) ජාති (පුනර්‍භව) ය ක්‍ෂීණ වීය. මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය වැස නිමවන ලද. සිවුමගින් කළ යුතු කිස නිමවන ලද. මෙ (රහත්) බව පිණිස කළ යුතු අනෙකක් නැතැ” යි මොනවට දැනගත්තේ ය. ආනන්‍දයෙනි, ගවේසී මහණ රහතුන් අතුරෙහි අන්‍යතරයෙක් (ප්‍රසිද්ධයෙක්) විය.
ආනන්‍දයෙනි, එක්බිති එ පන්සියක් උපාසකයනට තෙල සිත් විය: “ආර්‍ය්‍ය ගවේසී අපට බහුකාර ය, පූර්‍වඞ්ගම ය, සමාදන් කරවන්නේ ය. ආශ්චර්‍ය්‍යයෙකි! ආර්‍ය්‍ය ගවේසී කෙස්මස් බහා කසාවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ යැ. කවර හෙයින් අපි පැවිදි නො වමෝ දැ?” යි.
ආනන්‍දයෙනි, එක්බිති එ පන්සියක් උවසුවෝ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළඹ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ: “වහන්ස, අපි භාග්‍යවතුන් වයන්සේ වෙත පැවිදි ලබම්හ, උපසම්පදාව ලබම්හ” යි. ආනන්‍දයෙනි, එ පන්සියක් උපාසකයෝ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි ලැබූහ, උපසම්පදා ලැබූහ.
ආනන්‍දයෙනි, එක්බිති ගවේසී භික්‍ෂුහට තෙල සිත් විය: “මම වනාහි මේ අනුත්තර වූ විමුක්තිසුඛය කැමැති සෙයින් ලබනුයෙම් නිදුකින් ලබනුයෙම් විපුල සෙයින් ලබනුයෙම් වෙමි. එකැතියෙන් මෙ පන්සියක් භික්‍ෂූහු දු මේ අනුත්තර වූ විමුක්තිසුඛය කැමති සෙයින් ලබන්නාහු නිදුකින් ලබන්නාහු විපුල කොට ලබන්නාහු වෙත් නම්, මනා මැ නු” යි.
ආනන්‍දයෙනි, එක්බිති එ පන්සියක් මහණහු වෙන් වූවාහු අප්‍රමත්ත වූවාහු ආතාප (කෙලෙස් තවන වීර්‍ය්‍ය) ඇතියාහු ප්‍රහිතාත්ම (කාර්‍ය්‍ය සිද්ධිය පිණිස තැබූ සිත් ඇති) ව වසන්නාහු, යමක් සඳහා කුලපුත්‍රයෝ මනා කොට ගිහිගෙන් නික්ම සැදැහැයෙන් පැවිද්දට වදිත් නම්, බ්‍රහ්මචර්‍ය්‍යපර්‍ය්‍යවසානය වූ ඒ අර්‍හත්‍වය ඉහාත්මයෙහි ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට උපයා විසූහ. “(අපගේ) ජාතිය ක්‍ෂීණ විය. බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලද, කරණී කරණ ලද. මෙ රහත් බව පිණිස අන්කිසෙක් නැතැ” යි මැනවින් (ප්‍රත්‍යවේක්‍ෂාවෙන්) දත්හ.
ආනන්‍දයෙනි, මෙසෙයින් ගවේසී ප්‍රමුඛ ඒ පන්සියක් භික්‍ෂූහු මතු මතුයෙහි ප්‍රණීත ප්‍රණීත (බැව්) පිණිස වෑයම් කරන්නාහු අනුත්තර විමුක්තිසුඛය සාක්‍ෂාත් කළහ.
ආනන්‍දයෙනි, එ හෙයින් මෙහි ලා මෙසේ හික්මිය යුතු: “මතු මතුයෙහි ප්‍රණීත ප්‍රණීතයට ව්‍යායාම කරමින් අනුත්තර විමුක්තිසුඛය සාක්‍ෂාත් කරන්නෙමි” යි ආනන්‍දයෙනි, තොප විසින් මෙසේ ම හික්මෙන්නේ යැයි.
උපාසකවර්‍ගය තුන්වැනි යි.
එහි උද්දානය:
සාරජ්ජ සූත්‍රය, විසාරද සූත්‍රය, නිරය සූත්‍රය, වෙර සූත්‍රය, චණ්ඩාල සූත්‍රය, පීති සූත්‍රය, වණිජ්ජා සූත්‍රය, රාජ සූත්‍රය, ගිහී සූත්‍රය, ගවේසී සූත්‍රය දැයි දසයෙකි.
4. අරඤ්ඤක වර්‍ගය
5. 4. 4. 1.
[ආරඤ්ඤක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, මේ ආරණ්‍යකයෝ (වනවාසීහු) පස් දෙනෙක් වෙති. කවර පස් දෙනෙක් යත්:
බාල බැවින් මූඪ බැවින් ආරණ්‍යක වෙයි. පාපේච්ඡ වූයේ ලාමක ඉච්ඡායෙන් මඩනා ලදුයේ ආරණ්‍යක වෙයි. උන්මාදය හේතු කොට චිත්තක්‍ෂේපය හේතු කොට ආරණ්‍යක වෙයි. ‘බුදුන් විසින් බුදු සව්වන් විසින් (මේ ආරණ්‍යකාඞ්ගය) පසස්නා ලදැ’ යි ආරණ්‍යක වෙයි. අල්පෙච්ඡ බව ම නිසා සන්තුෂ්ටිය ම නිසා ක්ලේශ ලිඛනය (කෙලෙසුන් ලියාලීම) ම නිසා උත්තම විවේකය ම නිසා මේ කල්‍යාණ ප්‍රතිපදාව ම අර්‍ත්‍ථ කොට ඇති බව නිසා (ධුතාඞ්ග වශයෙන්) ආරණ්‍යක වෙයි. මහණෙනි, මේ පඤ්ච ආරණ්‍යකයෝ ය.
මහණෙනි, මේ පස් වැදෑරුම් ආරණ්‍යකයන් අතුරෙහි යම් ආරණ්‍යකයෙක් අල්පේච්ඡතාව ම නිසා සන්තුට්ඨිය ම නිසා ක්ලේශස ලිඛනය ම නිසා මේ කල්‍යාණප්‍රතිපදාව ම අර්‍ත්‍ථ කොට ඇති බව නිසා ආරණ්‍යක වේ ද, මේ තෙමේ මේ පඤ්චආරණ්‍යකයන් කෙරෙහි අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද මුඛ්‍ය ද උත්තම ද ප්‍රවර ද වෙයි.
මහණෙනි, යම්සේ දෙනගෙන් කිරි ය, කිරෙන් දිහි ය, දිහියෙන් වෙඬරු ය, වෙඬරුයෙන් ගිතෙල් ය, ගිතෙලින් පහන්ගිතෙල එහි අග්‍ර යයි කියනු ලැබේ ද; එසෙයින් ම මහණෙනි, මේ පඤ්චආරණ්‍යකයන් කෙරෙහි යම් ආරණ්‍යකයෙක් අල්පෙච්ඡ බව ම නිසා සන්තුෂ්ටිය ම නිසා සල්ලේඛය ම නිසා ප්‍රවිවේකය ම නිසා ඉදමත්‍ථි භාවය ම නිසා ආරණ්‍යක වේ ද, මේතෙම මේ පඤ්ච ආරණ්‍යකයන් කෙරෙහි අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද මුඛ්‍ය ද උත්තම ද ප්‍රවර ද වේ ය යි.
5. 4. 4. 2.
[පංසුකූලික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
32. මහණෙනි, මේ පංසුකූලිකයෝ (පහුල් සිවුරු දරණ පියවි ඇත්තෝ) පස් දෙනෙකි ...
5. 4. 4. 3.
[පිණ්ඩපාතික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
33. මහණෙනි, මේ පිණ්ඩපාතිකයෝ (පිණ්ඩපාතයෙන් ම යැපෙනුවෝ) පස් දෙනෙකි ...
5. 4. 4. 4.
[රුක්ඛමූලික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
34. මහණෙනි, මේ රුක්ඛමූලිකයෝ (රුක්මුල්හි ම වසනුවෝ) පස් දෙනෙකි ...
5. 4. 4. 5.
[සෝසානික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
35. මහණෙනි, මේ සෝසානිකයෝ (සොහොන්හි ම වසනුවෝ) පස් දෙනෙකි ...
5. 4. 4. 6.
[අබ්භෝකාසික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
36. මහණෙනි, මේ අබ්භොසිකයෝ (එළිමහන්හි ම වසනුවෝ) පස් දෙනෙකි ...
5. 4. 4. 7.
[නෙසජ්ජික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
37. මහණෙනි, මේ නෙසජ්ජිකයෝ (හිඳින ඉරියව්වෙහි ම වසනුවෝ) පස් දෙනෙකි ...
5. 4. 4. 8.
[යථාසන්‍ථතික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
38. මහණෙනි, මේ යථාසන්‍ථතිකයෝ (පළමු ලද අසුන්හි ම වසනුවෝ) පස් දෙනෙකි ...
5. 4. 4. 9.
[ඒකාසනික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, මේ ඒකාසතිකයෝ (වකම නිෂද්‍යාවෙහි බොජුන් වළඳනුවෝ) පස් දෙනෙකි ...
5. 4. 4. 10.
[ඛලුපච්ඡාභත්තික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
40. මහණෙනි, මේ ඛලුපච්ඡාභත්තිකයෝ (වළඳා අවසන් වූ පසු ලද බොජුන් නො පිළිගන්නෝ) පස් දෙනෙකි ...
5. 4. 4. 11.
[පත්තපිණ්ඩික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, මේ පත්තපිණ්ඩිකයෝ (පාත්‍රසංඥා ඇතිව පිඬු පිළිගන්නෝ) පස් දෙනෙකි ... කවර පස් දෙනෙක් යත්:
මන්‍දභාවයෙන් මොමුහතායෙන් පත්තපිණ්ඩික වෙයි. ලාමකෙච්ඡා ඇතියේ ඉච්ඡායෙන් මඩනා ලදුයේ පත්තපිණ්ඩික වෙයි. උමතුයෙන් චිත්තක්‍ෂේපයෙන් පත්තපිණ්ඩික වෙයි. ‘බුදුන් විසින්’ බුදු සව්වන් විසින් පසස්නා ලදැ’යි පත්තපිණ්ඩික වෙයි. අල්පේච්ඡතාව ම නිසා සන්තුෂ්ටිය ම නිසා සල්ලේඛය ම නිසා ප්‍රවිවේකය ම නිසා ඉදමට්ඨිතාව ම නිසා (ධුතාඞ්ග වශයෙන්) පත්තපිණ්ඩික වෙයි. මහණෙනි, මෙ පඤ්ච පත්තපිණ්ඩිකයෝ ය.
මහණෙනි, මේ පත්තපිණ්ඩිකයන් පස්දෙන අතුරෙහි යම් පත්තපිණ්ඩිකයෙක් අල්පේච්ඡතාව ම නිසා සන්තුෂ්ටිය ම නිසා සල්ලේඛය ම නිසා පවිවේකය ම නිසා ඉදමට්ඨිතාව ම නිසා පත්තපිණ්ඩික වේ නම්, මෙ තෙම මෙ පත්තපිණ්ඩිකයන් පස්දෙන අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වෙයි.
මහණෙනි, යම්සේ දෙනගෙන් කිරි ය, කිරියෙන් දිහි ය, දිහියෙන් වෙඬරු ය, වෙඬරුයෙන් ගිතෙල් ය, ගිතෙලින් පහන්ගිතෙල එහි අග්‍ර යයි කියනු ලැබේ නම්, මහණෙනි, එපරිද්දෙන් මේ පත්තපිණ්ඩිකයන් පස්දෙන අතුරෙන් යම් පත්තපිණ්ඩිකයෙක් අල්පේච්ඡතාව ම නිසා සන්තුෂ්ටිය ම නිසා සල්ලේඛය ම නිසා පවිවේකය ම නිසා ඉදමට්ඨිතාව ම නිසා පත්තපිණ්ඩික වේ නම්, මෙ තෙමේ මෙ පත්තපිණ්ඩිකයන් පස්දෙන අතුරෙහි අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වේ යයි.
ආරඤ්ඤකවර්‍ගය සතරවැනි යි
එහි උද්දානය:
ආරඤ්ඤක සූත්‍රය, පංසුකූලික සූත්‍රය, පිණ්ඩපාතික සූත්‍රය, රුක්ඛමූල සූත්‍රය, සෝසානික සූත්‍රය, අබ්භොසික සූත්‍රය, නෙසජ්ජික සූත්‍රය, යථාසන්‍ථතික සූත්‍රය, ඒකාසනික සූත්‍රය, බලුපච්ඡාභන්තික සූත්‍රය, පත්තපිණ්ඩික සූත්‍රය දැ යි එකොළොසෙකි.
5. සෝණ වර්‍ගය
5. 4. 5. 1.
[සෝණ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
42. මහණෙනි, මේ පැරණි බ්‍රාහ්මණධර්‍ම (බමුණු සිරිත්) පසෙක් මෙ කල්හි ශුනකයන් කෙරෙහි දක්නා ලැබෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි නො දක්නා ලැබෙයි. කවර පසෙක යත්:
මහණෙනි, පෙර බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණියක කරා ම යෙත්. අබ්‍රාහ්මණියක කරා නොයෙත්. මහණෙනි, මෙකල්හි බ්‍රාහ්මණයෝ බැමිණිය කරා ද යෙත්. නොබැමිණිය කරා ද යෙත්. මහණෙනි, මෙ කල්හි ශුනකයෝ ශුනකිය වෙත ම යෙති. අශුනකිය වෙත නො යෙත්. මහණෙනි, මේ පළමුවැනි පැරණි වූ බ්‍රාහ්මණ ධර්‍මය දැන් ශුනකයන් කෙරෙහි පැණෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි නො පැණේ.
මහණෙනි, පෙර බමුණෝ ඔසප්වූ බැමිණිය වෙත ම යෙති, ඔසප් නො වූ බැමිණිය වෙත නොයත්. මහණෙනි, මෙ කල්හි බ්‍රාහ්මණයෝ ඔසප් වූ බැමිණිය වෙත ද යෙති. ඔසප් නො වූ බැමිණිය වෙත ද යෙත්. මහණෙනි, මෙ වක්හි ශුනකයෝ ඔසප් වූ ම ශුනකිය වෙත යෙති. ඔසප් නොවූ ශුනකිය වෙත නො යෙත්. මහණෙනි, මේ පෞරාණ බ්‍රාහ්මණ ධර්‍මය මෙ වක්හි ශුනකයන් කෙරෙහි පැණෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි නො පැණේ.
මහණෙනි, පූර්‍වයෙහි බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණියක ගන්නෝ මිලදී නො ගනිති. දෙන්නෝ නො ම විකුණති. අන්‍යෝන්‍ය සත් (විද්‍යමාන) ප්‍රේමයෙන් ම කුල පරම්පරාව ඝටනු පිණිස සංවාසය පවත්වති. මහණෙනි, මෙ කල්හි බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණියක මිලදී ද ගනිති, විකුණන්නාහු ද වෙති. අන්‍යෝන්‍ය සත්ප්‍රේම යෙනුදු කුලපරපුර ගළපනු සඳහා සංවාස පවත්වති. අසත්ප්‍රෙමයෙනුදු කුලපරපුර ගළපනු සඳහා සංවාස පවත්වති. මහණෙනි, මෙ කල්හි ශුනකයෝ ශුනකියක මිලදී නො ම ගනිති. නොම විකුණති. අන්‍යෝන්‍ය ප්‍රේමයෙන් ම කුලපරපුර ගළපනු සඳහා සංවාස පවත්වති. මහණෙනි, මේ තෙවන පෞරාණ බ්‍රාහ්මණ ධර්‍මය මෙ කල්හි ශුනකයන් කෙරෙහි පැණෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි නො පැණෙයි.
මහණෙනි, පෙර බමුණෝ ධනය ද ධාන්‍යය ද රිදී ද රන් ද සන්නිධි (රැස්කොට තැබීම) නො කරත්. මහණෙනි, මෙ වක්හි බ්‍රාහ්මණයෝ ධනය ද ධාන්‍යය ද රිදී ද රන් ද සන්නිධි කරත්. මහණෙනි, මෙ කල්හි ශුනකයෝ ධනය ද ධාන්‍ය ද රජත ද ජාතරූප ද සන්නිධි නො කරත්. මහණෙනි, මේ පැරණි බ්‍රාහ්මණධර්‍මය මෙ වක්හි බ්‍රාහ්මණයන් කෙරෙහි නොව ශුනකයන් කෙරෙහි මැ දෘශ්‍යමාන වෙයි.
මහණෙනි, පෙර බ්‍රාහ්මණයෝ සායමාශ (සවස කෑම) සඳහා සවස්හි දු ප්‍රාතරාශය (උදය කෑම) සඳහා උදාසන්හි දු භික්‍ෂා සොයා ඇවිදුනාහ. මහණෙනි, මෙ කල්හි බ්‍රාහ්මණයෝ කැමති තාක් කුස් පුරා අහර වළඳා අවශේෂය රැගෙණ යෙති. මහණෙනි, මෙකල්හි ශුනකයෝ සායාහනයෙහි සායමාශය සඳහා ද උදාසන්හි ප්‍රාතරාශය සඳහා ද සොයා ඇවිදුනාහ. මහණෙනි, මේ පස්වන පැරණි බ්‍රාහ්මණධර්‍මය මෙ වක්හි ශුනකයන් කෙරෙහි දෘශ්‍යමාන වෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි දෘශ්‍යමාන නො වෙයි.
මහණෙනි, මේ පැරණි බමුණුදහම් පස මෙ කල්හි ශුනකයන් කෙරෙහි දෘශ්‍යමාන වෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි දෘශ්‍යමාන නොවේ යයි.
5. 4. 5. 2.
[දොණ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
43. එකල්හි ද්‍රෝණ බ්‍රාහ්මණ භාග්‍යවතුන් කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සම්මෝදනාර්‍හ වූ ස්මරණාර්‍හ වූ කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පසෙක හුන් ද්‍රෝණ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළකෙළේ ය:
භවත් ගෞතමයන් වහන්ස, “ශ්‍රමණගෞතමයෝ ජරාජීර්‍ණ වූ වෘද්ධ වූ මහලු වූ තුන්වයස් කල් ඉක්ම වූ අන්තිම වියට පැමිණි බ්‍රාහ්මණයන්ට අභිවාදන හෝ නො කෙරෙති. දැක හුනස්නෙන් හෝ නැඟි නො සිටිති. අසුනෙන් හෝ නිමන්ත්‍රණ නො කෙරෙති” යන තෙල කරුණ මා විසින් අසන ලදී. භවත් ගෞතමයෝ ජීර්‍ණ වූ වෘද්ධ වූ මහලු වූ අධ්වගත වූ අන්තිම වයසට පැමිණි බ්‍රාහ්මණයන්ට අභිවාදන හෝ නොකරති, දැක හුනස්නෙන් හෝ නැඟි නොසිටිති, ආසනයෙන් හෝ නිමන්ත්‍රණ නො කරති යන මෙ කරුණ එසේ මැය. භවත් ගෞතමයන් වහන්ස, මෙ කරුණ නො නිසි මැයි.
[භගවත්:]
“ද්‍රෝණයෙනි, තො ද ‘බ්‍රාහ්මණයෙක්මි’යි පිළිණ කෙරෙහි දැ?” යි.
භවත් ගෞතමයන් වහන්ස, මොනවට කරුණු කියනුයෙක් - යම් ම පුද්ගලයකු ගෙණ “මවුපිය දෙපසින් මොනවට උපන්, සත්වන පිතාමහයුගය තෙක් පිරිසිදු මවකුස ඇති, ජාතිවාදයෙන් අක්‍ෂිප්ත වූ අනුපකෘෂ්ට වූ, අධ්‍යායක වූ වේදමන්ත්‍රධර වූ, නිඝණ්ඩු හා ක්‍රියා කල්ප විකල්ප සහිත (ශික්‍ෂා නිරුක්ති සඞ්ඛ්‍යාත) අක්‍ෂර ප්‍රභේද සහිත වූ (අථර්‍වවේදය සිවුවැනි කොට) ඉතිහාසය පස්වනු කොට ඇති ඍග් යජුර් සාම යන තුන් වේදයෙහි පරතෙරපත්, පද හදාරණ ව්‍යාකරණ හදාරණ, ලෝකායත ශාස්ත්‍රයෙහි හා මහාපුරුෂලක්‍ෂණයන්හි අනූන (සමර්‍ත්‍ථ) වූයේ බ්‍රාහ්මණ” යා කියා නම්, භවත් ගෞතමයන් වහන්ස, මනා කොට කියනුයේ එ මා ම ගෙණ කියන්නේ ය.
භවත් ගෞතමයෙනි, “මම් වූකලි මව්පසින් ද පියපසින් ද යන දෙපසින් සුජාත වූ, සත්වන මුත්නා යුගය තෙක් සුපිරිසිදු මව්කුස් ඇති, ජාතිවාදයෙන් ප්‍රතික්‍ෂේප නොකළ, ආක්‍රෝශ නොකළ, වේදමන්ත්‍ර හදාරණ මන්ත්‍රධර වූ, නිඝණ්ඩුකේටුභ සහිත වූ අක්‍ෂරප්‍රභේද සහිත වූ ඉතිහාසය පස්වනු කොට ඇති තුන් වෙදයන්ගේ පරතෙරට ගිය, පද හා ශේෂව්‍යාකරණ හදාරණ විතණ්ඩවාදශාස්ත්‍රයෙහි හා මහාපුරුෂලක්‍ෂණයෙහි අනූන (සම්පූර්‍ණ) බමුණෙකිම් වෙමි” යි.
ද්‍රෝණය, බමුණන්ගේ මන්ත්‍රකතෘ වූ මන්ත්‍රප්‍රවර්‍තක වූ යම් පූර්‍ව ඍෂි කෙනෙක් වෙද්ද, යම් ඍෂි කෙනකුන් සතු වූ (ඔවුන් විසින් සරසම්පත්තියෙන්) ගයන ලද, (අන්‍යයන්ට) කියන ලද, රැස් කොට තබන ලද මේ පැරණි වේදසඞ්ඛ්‍යාත මන්ත්‍රය මෙකල බමුණෝ ඒ පූර්‍ව ඍෂින්ට අනුව ගයත් ද, ඔවුනට අනුව (ඔවුන් විසින් කියන ලද්ද අනුව) කියත් ද, හදාරණ ලද්ද අනුව හදාරත් ද, කියවන ලද්ද අනුව කියවත් ද, ඔහු කවරහ: අට්ටක ය, වාමක ය, වාමදෙව ය, වෙස්සාමිත්ත ය, යමතග්ගී ය, අඞ්ගීරස ය, භාරද්වාජ ය, වාසෙට්ඨ ය, කස්සප ය, භගු ය යන මොහු (දස දෙන) යි. ඔවුහු මේ පස් බමුණු කෙනකුන් පණවති. බ්‍රහ්මසම ය, දෙවසම ය, මරියාද ය, සම්භිත්තමරියාද ය, බ්‍රාහ්මණචණ්ඩාලයාම පස්වනු ය. ද්‍රෝණය, ඔවුනතුරෙන් තෙපි කවරැ යි?
භවත් ගෞතමයෙනි, ඇපි මේ පස්බමුණන් නො දනුම්හ. එතෙකුදුවත් ඇපි බ්‍රාහ්මණ යයි ම දනුම්හ. යම්සේ මම් මේ පස්බමුණන් දැනගනීම් ද, භවත් ගෞතමයන් වහන්සේ මට එපරිද්දෙන් දහම් දෙසන සේක්වා! එ පිණිස අයදිමියි.