Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 6801-6900 න් 15980

5. 3. 3. 1.
[ගිලාන සූත්‍රය]
21. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලායෙහි මහාවනයෙහි වූ කූටාගාරසාලායෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පිළිසලනින් නැඟී සිටි සේක් ගිලන්හල කරා වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ එක්තරා දුබල ගිලන් මහණකු දුටු සේක. දැක පැන්වූ අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමතූ සේක:
මහණෙනි, පඤ්චධර්‍ම කෙනෙක් යම් කිසි දුබල ගිලනක්හු නොපියා සිටිත් නම්, ඔහු විසින් නොබෝකලෙකින් ම ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිතවූ චිත්තවිමුක්තිය ද, ප්‍රඥාවිමුක්තිය ද තෙමේ දැනැ ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කරන්නේ ය යන තෙල කරුණ කැමැති විය යුතු යි. කවර පස් දෙනෙක් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කරජකායයෙහි අශුභය නුවණින් දක්මින් වෙසෙයි. ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇතියේ, හැම ලොව්හි අනභිරතසංඥා ඇතියේ, හැම සංස්කාරයෙහි අනිත්‍යානුදර්ශීව වෙසෙයි. මරණසංඥාව ඔහුගේ සිත්හි මොනොවට එළඹ සිටියා වෙයි.
මහණෙනි, මේ පඤ්ච ධර්‍මයෝ යම් කිසි දුබල ගිලනක්හු නො පියා සිටිත් නම්, ඔහු විසින් නොබෝකලෙකින් ම ආස්‍රව ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය තෙමේ දැනැ පසක් කොට එයට පැමිණ වාස කරන්නේ ය යන තෙල කරුණ කැමැති විය යුතු යි.
5. 3. 3. 2.
[සතිසූපට්ඨිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
22. මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි, මෙහෙණක් වේවයි, කරුණු පසක් වඩා නම්, කරුණු පසක් බහුල කෙරේ නම්, ඔහු විසින් ඉහාත්මයෙහි ම අර්‍හත්ත්‍වය හෝ උපාදිශේෂයක් ඇතිවත් ම අනාගාමිත්‍වය හෝ යන උභය ඵලයන් අතුරෙන් අන්‍යතර ඵලයෙක් කැමැති විය යුතු. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ අධ්‍යාත්මයෙහිම ස්මෘතිය මැනැවින් එළැඹ සිටියා වෙයි. ස්කන්‍ධධර්‍මයන්ගේ උදයව්‍යය පිරිසිඳිනට සමර්‍ත්‍ථ වූ ප්‍රඥායෙන් කයෙහි අශුභානුදර්ශි වූයේ, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇතියේ, හැම ලොව්හි අනභිරතසංඥා ඇතියේ, සර්‍වසංස්කාරයෙහි අනිත්‍යානුදර්ශී ව වෙසෙයි.
මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි, මෙහෙණක් වේවයි, මේ පඤ්චධර්‍මයන් වඩනේ ද, මේ පඤ්චධර්‍මයන් බහුල කෙරේ ද, ඔහු විසින් ඉහාත්මයෙහි ම අර්‍හත්ත්‍වය හෝ උපාදිශේෂයක් ඇති වත් ම අනාගාමිත්‍වය හෝ යන උභය ඵලයන්ගෙන් අතුරෙන් අන්‍යතර ඵලයෙක් කැමැති විය යුතු යි.
5. 3. 3. 3.
[දූපට්ඨාක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
23. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත ගිලන් තෙමේ උවටනට නො පහසු වෙයි. කවර පසෙකින යත්:
අසත්ප්‍රාය (ලෙඩට අහිත) දෑ කරණ සුලුයේ වෙයි. සත්ප්‍රායයෙහි (හිත දෑහි) පමණ නොදන්නේ වෙයි. බෙහෙසද් නො සෙවුනේ වෙයි. හිත කැමති ග්ලානෝපස්ථායකහට වැඩෙන රෝගය වැඩේ ය යි ද සන්හිඳුනා රෝගය සන්හිඳේ ය යි ද පවත්නා රෝගය හෝ පවත්නේ ය යි ද යථාභූත ආබාධය පාළ නො කරණුයේ වෙයි. උපන් දුක් වූ තීව්‍ර වූ රළු වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ ශාරීරික වේදනාවන් නො ඉවසන සුලුයේ වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ගිලන් තෙමේ උවටනට නො පහසු වෙයි.
මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත ගිලන් තෙමේ උවටනට පහසු වෙයි. කවර පසෙකින යත්:
සත්ප්‍රායකාරී වෙයි. සත්ප්‍රායයෙහි පමණ දන්නේ වෙයි. බෙහෙසද් සෙවුනේ වෙයි. හිත කැමති ග්ලානෝපස්ථායකයාට වැඩෙන රෝගය වැඩේ ය යි ද සන්හිඳුනා රෝගය සන්හිඳේ ය යි ද ස්ථිත රෝගය ස්ථිත ය යි ද යථාභූත ආබාධය පාළ කරණුයේ වෙයි. උපන් දුක වු තීව්‍ර වූ රළු වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ ශාරීරික වේදනාවන් ඉවසන සැහැවි ඇතියේ වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ගිලන් තෙමේ උවටනට පහසු වූයේ වෙයි.
5. 3. 3. 4.
[ගිලානුපට්ඨාක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
24. මහණෙනි, මෙ පඤ්ච ධර්‍මයෙන් සමන්‍වාගත ග්ලානෝපස්ථායක ගිලන් උවටනට නො නිසි වෙයි. කවර පසෙකින යත්:
බෙහෙසද් සංවිධාන කරන්නට ප්‍රතිබල නො වෙයි. සත්ප්‍රාය දෑ හා අසත්ප්‍රාය දෑ නො දන්නේ අසත්ප්‍රාය දෑ එළවයි, සත්ප්‍රාය දෑ බැහැර කෙරෙයි. මෙත්සිත් නැතියේ ලාභාපේක්‍ෂා ඇතියේ ගිලනා වටයි. මල හෝ මූ හෝ වමන හෝ කෙළ හෝ බැහැර ලන්නට ජුගුප්සා ඇතියේ වෙයි. කලින් කල ගිලනහු දැහැමි කථායෙන් කරුණු දක්වන්නට හෝ සමාදන් කරවන්නට හෝ තෙද ගන්වන්නට හෝ පහන් කරවන්නට හෝ ප්‍රතිබල නො වෙයි.
මහණෙනි, මෙ පඤ්ච ධර්‍මයෙන් සමන්‍වාගත ග්ලානෝපස්ථායක ගිලනුන් උවටනට නො නිසි වෙයි.
මහණෙනි, පඤ්ච ධර්‍මයෙකින් සමන්‍වාගත ග්ලානොපස්තථායක ගිලනුන් උවටනට නිස්සේ වෙයි. කවර පසෙකින් යත්:
බෙහෙසද් සංවිධාන කිරීමට ප්‍රතිබල වෙයි. සත්ප්‍රාය හා අසත්ප්‍රාය හා දන්නේ අසත්ප්‍රාය දෑ බැහැර කරයි, සත්ප්‍රාය එළවයි. ලාභාපේක්‍ෂා නැතියේ මෙත්සිතැතියේ ගිලන්හු වටයි. මල හෝ මූ හෝ වමන හෝ කෙළ හෝ බැහැර ලනුවට ජුගුප්සා නැතියේ වෙයි. කලින් කල ගිලනහු දැහැමි කථායෙන් කරුණු ගන්වන්නට සමාදන් කරවන්නට උත්සුක කරවන්නට පහදවන්නට ප්‍රතිබල වෙයි.
මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ග්ලානෝපස්ථායකයා ගිලනුන් වටනට නිසි වේ ය යි.
5. 3. 3. 5.
[ප්‍රථම අනායුස්සා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, මේ අනායුෂ්‍ය (දායු හිතනොවු) ධර්‍ම පසෙකි. කවර පසෙක යත්:
අසත්ප්‍රායකාරී වෙයි, සත්ප්‍රායයෙහි මාත්‍රා නො දන්නේ ය, අපරිණත භෝගී (ගත් අහර නොදිරූ කල්හි අනුභව කරන්නේ) ද වෙයි, නොකල්හි සැරිසරණුයේ වෙයි, බ්‍රම්සර නැතියේ ද වෙයි. මහණෙනි ,මේ අනායුෂ්‍යධර්‍ම පස යි.
මහණෙනි මේ ආයුෂ්‍ය (අයුෂට හිතකර) ධර්‍ම පසෙකි. කවර පසෙක යත්:
සත්ප්‍රායකාරී වේ, සත්ප්‍රායයෙහි මාත්‍රා දන්නේ ය, පරිණතභෝජි ද වෙයි, කල්හි හැසිරෙණුයේ ද වෙයි, බ්‍රම්සර ඇතියේ ද වෙයි. මහණෙනි ,මේ ආයුෂ්‍ය ධර්‍ම පස යි.
5. 3. 3. 6.
[ද්විතීය අනායුස්සා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
26. මහණෙනි, මේ අනායුෂ්‍ය ධර්‍ම පසෙකි. කවර පසෙක යත්,
අසත්ප්‍රායකාරි වෙයි, සත්ප්‍රායයෙහි මාත්‍රා නො දනී, අපරිණතභෝජි ද වෙයි, දුශ්හීල ද වෙයි, පවිටු මිතුරන් ඇතියේ ද වේ. මහණෙනි, මේ අනායුෂ්‍යධර්‍ම පස යි.
මහණෙනි, මෙ අයුෂ්‍ය ධර්‍ම පසෙකි. කවර පසෙක යත්:
සත්ප්‍රායකාරී වෙයි, සත්ප්‍රායයෙහි පමණ දනී, පරිණතභෝජි ද වෙයි, සිල්වත් ද වෙයි, කලණමිතුරන් ඇතියේ ද වේ. මහණෙනි, මේ ආයුෂ්‍ය ධර්‍ම පසයි.
5. 3. 3. 7.
[වපකාස සූත්‍රය]
[සැවැත්නිදාන යි]
27. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත මහණ සඟුන් කෙරෙන් වියෝ ව වසන්නට නො නිසි වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මේ සස්නෙහි මහණ ඉතරෙතර චීවරයෙන් (ලද පරිදි යම් මැ සිවුරකින්) නොසතුටු වෙයි. ඉතරෙතර පිණ්ඩපාතයෙන් නොසතුටු වෙයි. ඉතරෙතර ශයනාසනයෙන් නොසතුටු වෙයි. ඉතරෙතර ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයෙන් නොසතුටු වෙයි. කාමසංකල්ප බහුල ව ද වෙසෙයි.
මහණෙනි, මෙ පඤ්ච ධර්‍මයෙන් සමන්‍වාගත මහණ සඟුන් කෙරෙන් වියෝ ව වසන්නට නො නිසි වේ ය යි.
මහණෙනි, පඤ්ච ධර්‍මයෙක්න් සමන්‍වාගත මහණ සඟුන් කෙරෙන් වියෝ ව වසන්නට නිසි වෙයි. කවර පසෛකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඉතරෙතර චීවරයෙන් සතුටු වෙයි. ඉතරෙතර පිණ්ඩපාතයෙන් සතුටු වෙයි. ඉතරෙතර ශයනාසනයෙන් සතුටු වෙයි. ඉතරෙතර ග්ලානප්‍රත්‍යභෛෂජ්‍ය පරිෂ්කාරයෙන් සතුටු වෙයි. නෛෂ්ක්‍රම්‍යසංකල්ප බහුල ව ද වෙසේ.
මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ සඟුන් කෙරෙන් වියෝ ව වසන්නට නිසි වෙ ය යි.
5. 3. 3. 8.
[සමණදුක්ඛ - සුඛ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
28. මහණෙනි, මේ මහණදුක් පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඉතරෙතර චීවරයෙන් නොසතුටු වෙයි. ඉතරෙතර පිණ්ඩපාතයෙන් නොසතුටු වෙයි. ඉතරෙතර ශයනාසනයෙන් නොසතුටු වෙයි. ඉතරෙතරග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරයෙන් නොසතුටු වෙයි. සස්නෙහි ඇලුම් නැති ව බඹසර සරයි. මහණෙනි, මේ මහණදුක් පස යි.
මහණෙනි, මෙ මහණ සුව පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඉතරෙතර චීවරයෙන් සතුටු වෙයි. ඉතරෙතර පිණ්ඩපාතයෙන් සතුටු වෙයි. ඉතරෙතර ශයනාසනයෙන් සතුටු වෙයි. ඉතරෙතර ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරයෙන් සතුටු වෙයි. සස්නෙහි ඇලුම් ඇති ව බ්‍රම්සර ද හැසිරෙයි. මහණෙනි, මේ මහණසුව පස යි.
5. 3. 3. 9.
[පරිකුප්ප සූත්‍රය]
[සැවැත්නිදාන යි]
29. මහණෙනි, මේ අපායගාමීහු නිරයගාමීහු පරිකෝප්‍ය (කිපෙන සැහැවි ඇති) වූවාහු පිළියම් නොකට හැකියාහු පස් දෙනෙකි. කවර පස් දෙනක යත්:
මව දිවියෙන් තොර කරණ ලදු වෙයි, පියා දිවියෙන් තොර කරණ ලද වෙයි, අර්‍හත් දිවියෙන් තොර කරණ ලද වෙයි, දුෂ්ටචිත්තයෙන් තථාගතයන්ගේ ලෙහෙ උපදවන ලද වෙයි, සඞ්ඝයා බිඳින ලද වේ.
මහණෙනි, මොහු පස්දෙන අපායගාමීහු නිරයගාමීහු පරිකෝප්‍ය (පැරණි වණයන් වැනි) වූවාහු පිළියම් නොකට හැකියාහු වෙත් ය යි.
5. 3. 3. 10.
[සම්පදා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
30. මහණෙනි, මේ ව්‍යසන (විපත්) පසෙකි. කවර පසෙක යත්:
ඥාතිව්‍යසනය, භෝගව්‍යසනය, රෝගව්‍යසනය, ශීලව්‍යසනය, ද්‍රෂ්ටිව්‍යසන යී.
මහණෙනි, සත්ත්‍වයෝ ඥාතිව්‍යසනහේතුවින් වේවයි, භෝගව්‍යසනහේතුවින් වේවයි, රොගව්‍යසනහේතුවින් වේවයි, කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම්වූ විනිපාත නම් වූ නිරයට නො පැමිණෙත්.
මහණෙනි, ශීලව්‍යසනහේතුවින් වේවයි, දෘෂ්ටිව්‍යසනහේතුවින් වේවයි සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙත්.
මහණෙනි, මේ ව්‍යසන පස යි.
මහණෙනි, මේ සම්පත් පසෙකි. කවර පසෙක යත්:
ඥාතිසම්පද් හා භෝගසම්පද් හා ආරොග්‍යසම්පද් හා ශීලසම්පද් හා දෘෂ්ටිසම්පද් හා යැ.
මහණෙනි, සත්ත්‍වයෝ ඥාතිසම්පද්හේතුවින් වේවයි, භෝගසම්පද්හේතුවින් වේවයි, ආරොග්‍යසම්පද්හේතුවින් වේවයි කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට නො පැමිණෙත්.
මහණෙනි, සත්ත්‍වයෝ ශීලසම්පද්හේතුවින් හෝ දෘෂ්ටිසම්පද්හේතුවින් හෝ කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙත්.
මහණෙනි, මේ සම්පත් පස යි.
ගිලාන වර්‍ගය තුන් වැනි යි.
එහි උද්දානය:
ගිලාන සූත්‍ර ය, සතිසූපට්ඨිත සූත්‍ර ය, උපට්ඨාක සූත්‍ර දෙක ය, අනායුස්ස සූත්‍ර දෙක ය, වපකාස සූත්‍ර ය, සමණසූඛ සූත්‍ර ය, පරිකුප්ප සූත්‍ර ය, සම්පදා සූත්‍රය දැ යි සූත්‍ර දශයෙකි.
4. රාජ වර්‍ගය
5. 3. 4. 1.
[ප්‍රථම චක්කානුවත්තන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සක්විති රජ (දසකුසල්) දැහැමින් ම අණසක් පවත්වයි. කිසිදු මනුෂ්‍ය වූ පසමිතුරු ප්‍රාණියකු විසින් එ අණසක් ප්‍රතිවර්‍තන නො කළ හැකි වෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ ලොව්හි සක්විතිරජ (හේතු සඞ්ඛ්‍යාත) අර්‍ත්‍ථය දනුයේ ද, ප්‍රවේණිධර්‍මය දනුයේ ද, (දඬුවම්හි වේවයි, කරවුවරෙහි වේවයි) මාත්‍රා දනුයේ ද, (රාජ්‍යසුඛානුභව - විනිශ්චයකරණ - චාරිකා පිළිබඳ) කාලය දනුයේ ද, (ක්‍ෂත්‍රිය-බ්‍රාහ්මණ-වෛශ්‍ය-ශ්‍රද්‍ර-ශ්‍රමණපර්‍ෂද් ආදි) පර්‍ෂද් දනුයේ ද වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත සක්විති රජ දැහැමින් ම අණසක් පවත්වයි. එ අණසක් වනාහි කිසිදු මනුෂ්‍ය වූ පසමිතුරු ප්‍රාණියකු විසින් ප්‍රතිවර්‍තන නො කළ හැකි වෙයි.
මහණෙනි, එ පරිද්දෙන් ම දහම් පසෙකින් සමන්‍වාගත තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දැහැමින් ම (නවලෝකොත්තර ධර්‍මයෙන්) අනුත්තර වූ ධර්‍මචක්‍රය පවත්වන සේක. එ ශ්‍රේෂ්ඨචක්‍රය වනාහි ශ්‍රමණයකු විසින් වේවයි, බ්‍රාහ්මණයකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මාරයකු විසින් වේවයි, බ්‍රහ්මහකු විසින් වේවයි, ලොව්හි කිසිවකු විසින් වේවයි ප්‍රතිවර්‍තනය කළ හැකි නො වෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ ලොව්හි තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ (පඤ්චවිධ) අර්‍ත්‍ථ දන්නාහ. (සතර) ධර්‍මයන් දන්නාහ. (සිවුපසෙහි) මාත්‍රා දන්නාහ. (පටිසල්ලානආදි) කාල දන්නාහ. පිරිස් දන්නාහ.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ධර්‍මයෙන් ම අනුත්තරධර්‍මචක්‍රය පවත්වන්නාහ. එ ධර්‍මචක්‍රය ශ්‍රමණයකු විසින් වේවයි, බ්‍රාහ්මණයකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මාරයකු විසින් වේවයි, බ්‍රහ්මයකු විසින් වේවයි, ලොව්හි කිසිවකු විසින් වේවයි ප්‍රතිවර්‍තනය කළ හැකි නො වේ ය යි.
5. 3. 4. 2.
[දෙවැනි චක්කානුවත්තන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
32. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත වූ සක්විති රජුගේ දෙටු පුත් පියහු විසින් පවත්වන ලද ආඥාචක්‍රය දැහැමින් ම අනුව පවත්වයි. එ අණසක් මනුෂ්‍ය වූ කිසිදු පසමිතුරු ප්‍රාණියකු විසින් ප්‍රතිවර්‍තන කළ හැකි නො වෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ ලොව්හි සක්විති රජහුගේ ජ්‍යේෂ්ඨ පුත්‍ර අර්‍ත්‍ථඥ ද වෙයි, ධර්‍මඥ ද වෙයි, මාත්‍රඥ ද වෙයි, කාලඥ ද වෙයි, පර්‍ෂද් දන්නේ ද වේ.
මහණෙනි, මෙ පස් කරුණින් සමන්‍වාගත සක්විති රජුගේ දෙටුපුත් පියහු විසින් පැවැත්වූ අණසක් දැහැමින් ම අනුව පවත්වයි. එ අණසක් වනාහි මනුෂ්‍ය වූ කිසිදු පසමිතුරු ප්‍රාණියකු විසින් ප්‍රතිවර්‍තන කළ හැකි නො වෙයි. (ප්‍රතික්‍ෂේප හෝ කළ නො හෙයි.)
මහණෙනි, එසෙයින් ම කරුණු පසෙකින් සමන්‍වාගත ශාරීපුත්‍ර තෙරණුවෝ තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලද අනුත්තර ධර්‍මචක්‍රය මැනැවින් පවත්වන්නාහ. එ ධර්‍මචක්‍රය ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රහ්මයකු හෝ ලොවැ වෙන කිසිවකු විසින් හෝ නො පැවැත්විය හෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි ශාරිපුත්‍රයෝ අර්‍ත්‍ථඥයහ, ධර්‍මඥයහ, මාත්‍රඥයහ, කාලඥයහ, පර්‍ෂද්‍ දන්නාහ.