Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 6201-6300 න් 15980

[සැවැත්නිදාන යි]
9. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත බුඩ්ඪපබ්බජිත දුර්‍ලභ ය. කවර පසෙකින යත්:
මහණෙනි, නිපුණ (සියුම් කරුණු දතහෙන) බුඩ්ඪපබ්බජිත දුර්‍ලභ වෙයි. ආකල්පසම්පන්න (මහණසරුප්) වූයේ දුර්‍ලභ වෙයි. බහුශ්‍රුත වූයේ දුර්‍ලභ වෙයි. ධර්‍මකථික වූයේ වෙයි. වනධර වූයේ දුර්‍ලභ වෙයි.
මහණෙනි, මේ පස්කරුණින් සමන්‍වාගත බුඩ්ඪපබ්බජිත දුර්‍ලභ වේ.
5. 2. 1. 10.
[දුතියබුඩ්ඪපබ්බජිත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
10. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත බුඩ්ඪපබ්බජිත දුර්‍ලභ වෙයි. කවර පසෙකින යත්:
සුවච වූ බුඩ්ඪපබ්බජිත දුර්‍ලභ වෙයි. සුරගෘහීතග්‍රාහී වූයේ (මනාසේ ඉගෙණීම ලබන සුල්ලේ) දුර්‍ලභ ය. ප්‍රදක්‍ෂිණාග්‍රාහී වූයේ (දුන් ඔවා පැදකුණු කොට ගරුකොට ගත්නේ) දුර්‍ලභ ය. ධර්‍මකථික වූයේ දුර්‍ලභ ය. වනධර වූයේ දුර්‍ලභ යි.
මහණෙනි, මේ ධර්‍මපසින් සමන්‍වාගත බුඩ්ඪපබ්බජිත දුර්‍ලභ වේ.
නීවරණවර්‍ගය ප්‍රථම යි.
එහි උද්දානය:
ආවරණ (නීවරණ) සූත්‍ර ය, අකුසලරාසි සූත්‍ර ය, පධානියඞ්ග සූත්‍ර ය, සමය සූත්‍රය, මාතාපුත්ත සූත්‍ර ය, උපජ්ඣාය සූත්‍ර ය, ඨාන සූත්‍ර ය, ලිච්ඡවිකුමාර සූත්‍ර ය, බුඩ්ඪපබ්බජිත සූත්‍ර දෙක ය යි දශයෙකි.
2. සඤ්ඤා වර්‍ගය
5. 2. 2. 1.
[පඨමසඤ්ඤා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, භාවිත වූ බහුලීකෘත වූ මේ සංඥාවෝ පස්දෙන (විපාකඵලවිසින්) මහත්ඵල මහානිසංස ඇත්තාහු අමෘතය පිහිට කොට ඇතියාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇතියාහු වෙත්. කවර පස්දෙනෙක යත්:
අසුභසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආදීනවසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූලසඤ්ඤා ය, හැම තෙධාතුසන්නිවාසලෝකයෙහි අනභිරත (නො ඇලෙන) සඤ්ඤා යි.
මහණෙනි, මේ සංඥාවෝ පස්දෙන භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල මහානිසංස ඇත්තාහු අමෘතය ප්‍රතිෂ්ඨා කොට ඇත්තාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තාහු වෙති.
5. 2. 2. 2.
[දුතියසඤ්ඤා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
12. මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද මේ සංඥාවෝ පස්දෙන මහත්ඵල මහානෘශංස ඇත්තාහු අමෘතයට වන්නාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තාහු වෙත්. කවරපස්දෙනෙක යත්:
අනිච්චසඤ්ඤා ය, අනත්තසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූලසඤ්ඤා ය, සකලලෝකයෙහි අනභිරත සඤ්ඤා යි.
මහණෙනි, මේ සංඥාවෝ පස්දෙන භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල හා මහානෘශංස ඇත්තාහු අමෘතයට වන්නාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇතියාහු වෙති.
5. 2. 2. 3.
[පඨමවඩ්ඪි සූත්‍රය]
[සැවැත්නිදාන යි]
13. මහණෙනි, පඤ්චවිධ වෘද්ධියෙකින් වැඩෙන ආර්‍ය්‍යශ්‍රාවක ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙන්නේ ය කායයාගේ සාරය ගන්නා සුල්ලේත්, වරය (උත්තමාර්‍ත්‍ථය) ගන්නා සුලුයේත් වෙයි. කවර පසෙකින යත්:
ශ්‍රද්ධායෙන් වැඩෙයි, ශීලයෙන් වැඩෙයි. ශ්‍රැතයෙන් වැඩෙයි. ත්‍යාගයෙන් වැඩෙයි. ප්‍රඥායෙන් වැඩෙයි.
මහණෙනි, මෙ පඤ්ඤවිධවෘද්ධියෙන් වැඩෙන ආර්‍ය්‍යශ්‍රාවක ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙයි. කායයාගේ සාරය ගන්න සුල්ලේත්, වරය ගන්නා සුල්ලේත් වෙයි.
16. යමෙක් මෙ ලොව්හි ශ්‍රද්ධායෙනුදු ශීලයෙනුදු ප්‍රඥායෙනුදු ත්‍යාගයෙනුදු ශ්‍රැතයෙනුදු වැඩෙන්නේ නම්, විචක්‍ෂණවූ එබඳු එ සත්පුරුෂ මේ ආත්මභාවයෙහි ම තමාගේ (ජීවිත) සාරය ලබාගන්නේ යි.
5. 2. 2. 4.
[දුතියවඩ්ඪි සූත්‍රය]
[සැවැත්නිදාන යි]
14. මහණෙනි, පඤ්චවෘද්ධියෙකින් වැඩෙන ආර්‍ය්‍යශ්‍රාවිකා ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙන්නී ය. (ජීවිතයාගේ) සාරය ගන්නී ද වරය ලබන්නී ද වෙයි. කවර පසෙකින යත්:
ශ්‍රද්ධායෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ශ්‍රැතයෙන් වැඩෙයි. ත්‍යාගයෙන් වැඩෙයි. ප්‍රඥායෙන් වැඩෙයි.
මහණෙනි, මෙ පඤ්චවෘද්ධියෙන් වැඩෙන ආර්‍ය්‍යශ්‍රාවිකා ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙයි. ජීවිතයාගේ සාරය ගන්නී ද වරය ලබන්නී ද වෙයි.
17. යම් ආර්‍ය්‍යශ්‍රාවිකාවක් මෙ ලොව්හි ශ්‍රද්ධායෙනුදු ශීලයෙනුදු ප්‍රඥායෙනුදු ත්‍යාගයෙනුදු ශ්‍රැතයෙනුදු වැඩෙන්නී ද, එබඳු ඒ සිල්වත් උවැසි මෙ අත්බැව්හි ම තමාගේ (ජීවිත) සාරය ගන්නී වෙයි.
5. 2. 2. 5.
[අලංසාකච්ඡ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
15. මහණෙනි, ධර්‍මපසෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරනට සාකච්ඡාවට යුතු වෙයි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේත් ශීලසම්පන්න වෙයි. ශීලසම්පත් කථාව පිළිබඳ පුළුවුත් ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි. සමාධිසම්පත්කථාව පිළිබඳ පුළුවුත් ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි. ප්‍රඥාසම්පත්කථාව පිළිබඳ පුළුවුත් ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් විමුක්තිසම්පන්න වෙයි. විමුක්තිසම්පත්කථාව පිළිබඳ පුළුවුත් ප්‍රශ්න විසඳනුයේත් වෙයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි. විමුක්තිඥානදර්‍ශනකථාව පිළිබඳ පුළුවුත් ප්‍රශ්න විසඳනුයේත් වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ සබ්‍රම්සරනට සාකච්ඡාවට යුතු වේ ය යි.
5. 2. 2. 6.
[අලංසාජීව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
16. මහණෙනි, ධර්‍මපසෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරනට අලංසාජීව වෙයි. (ප්‍රශ්නපෘච්ඡාවිසර්‍ජනාඛ්‍ය ආජීවයෙන් සමානාජීව ඇති වෙයි.) කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේත් සිල්සපන් වෙයි. ශීලසම්පත් කථාව පිළිබඳ (අභිසංස්කරණ කරණලද) ප්‍රශ්න විසඳනුයේත් වෙයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි. සමාධිසම්පත්කථාව පිළිබඳ කළ ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි. ප්‍රඥාසම්පත්කථාව පිළිබඳ කළ ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් විමුක්තිසම්පන්න වෙයි. විමුක්තිසම්පත්කථාව පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේත් වෙයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි. විමුක්තිඥානදර්‍ශනසම්පත්කථාව පිළිබඳ කළ ප්‍රශ්න විසඳන්නේත් වෙයි.
මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ සබ්‍රම්සරනට අලංසාජීව වෙයි.
5. 2. 2. 7.
[පඨමඉද්ධිපාද සූත්‍රය]
[සැවැත්නිදාන යි]
17. මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි, මෙහෙණක් වේවයි දහම් පසක් වඩන්නේ ද, දහම් පසක් බිහිලි කෙරේ ද, ඔහු විසින් ද්විවිධ ඵලයන් අතුරින් අන්‍යතරඵලයෙක් කැමැති විය යුතු:- ඉහාත්මයෙහි අර්‍හත්ඵලය හෝ උපාදිසේසය ඇති වත් ම අනාගාමිභාවය හෝ යි. කවර පසෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඡන්‍දය අධිපති කොට ලත් සමාධියෙන් හා ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ලත් සමාධියෙන් ... චිත්තය අධිපති කොට ලත් සමාධියෙන් ... වීමංසාව අධිපති කොට ලත් සමාධියෙන් හා ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. (අධිමාත්‍ර උත්සාහ සඞ්ඛ්‍යාත) උස්සොළ්හිය පස් වැන්න යි.
මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි, මෙහෙණක් වේවයි, මේ ධර්‍මපස වඩා නම්, මේ ධර්‍මපස බහුල කෙරේ නම්, ඔහට ද්විවිධඵලයන් අතුරින් අන්‍යතර ඵලයෙක් කැමැති විය යුතු ය:- ඉහාත්මයෙහි ම අර්‍හත්‍වය හෝ උපාදිසේසය ඇති වත් ම අනාගාමිත්‍වය හෝ යි.
5. 2. 2. 8.
[දුතියඉද්ධිපාද සූත්‍රය]
[සැවැත්නිදාන යි]
18. මහණෙනි, මම සම්බෝධියෙන් (චතුස්සත්‍යාවබෝධයෙන්) පූර්‍වයෙහි ම අභිසම්බුද්ධ නො වූයෙම් බෝධිසත්ත්‍ව වූයෙම් ම ධර්‍ම පසක් වැඩීමි. ධර්‍ම පසක් බිහිලි කෙළෙමි. කවර පසෙක යත්:
ඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් යුත් ප්‍රධානසංස්කාරයෙන් සමන්‍වාගත ඍද්ධිපාදය වැඩීමි. වීර්‍ය්‍ය අධිපති කොට ඇති සමාධියෙන් යුත් ... චිත්තය අධිපති කොට ඇති සමාධියෙන් යුත් ... වීමංසාව අධිපති කොට ඇති සමාධියෙන් යුත් ප්‍රධානසංස්කාරයෙන් සමන්‍වාගත ඍද්ධිපාදය වැඩීමි. උස්සොළ්හිය (අධිමාත්‍ර වීර්‍ය්‍ය) ම පස් වැන්න යි.
මහණෙනි, ඒ මම අධිමාත්‍ර ඊහා පස් වනු කොට ඇති මේ පඤ්චධර්‍මයන් වැඩු හෙයින් බහුල විසින් කළ හෙයින් විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කළ යුතු යම් යම් ධර්‍මයක් සඳහා අභිඥායෙන් පසක් කිරීමට සිත නැමුයෙම් ද, ප්‍රත්‍යය ඇති වත් ම ඒ ඒ ධර්‍මයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණියෙමි. ...
ඉදින් මම නන් වැදෑරුම් ඍද්ධිවිශේෂයන් අනුභව කෙරෙම්ව යි ... බඹලොව හිම් කොට ද කයින් වශිත්‍වය පවත්වම්ව යි කැමැති වීම් නම්, කරුණු ඇති වත් ම ඒ ඒ විෂයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණියෙමි.
ඉදින් මම ආස්‍රවක්‍ෂයයෙන් ... තෙමේම දැන පසක් කොට එයට පැමිණ වාසය කෙරෙම්ව යි කැමැති වීම් නම්, ප්‍රත්‍යය ඇති වත් ම ඒ ඒ විෂයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණියෙමි යි.
5. 2. 2. 9.
[නිබ්බිදා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
19. මහණෙනි, භාවිත බහුලීකෘත මේ ධර්‍මයෝ පස්දෙනෙක් ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ක්ලේශව්‍යුපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස වැටෙත්. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි අශුභය නුවණින් දක්නාසුලුයේ, අහරෙහි පිළිකුල් සංඥා ඇතියේ, හැම පස්කඳලොව්හි අනභිරතසංඥා ඇතියේ, සර්‍වසංස්කාරයෙහි අනිත්‍යය නුවණින් දක්නාසුලුයේ වාස කරයි. ඔහට මරණසංඥාව තමා තුළ මැනැවින් එළඹ සිටියේ ම වෙයි.
මහණෙනි, භාවිත බහුලීකෘත මේ පඤ්චධර්‍මයෝ ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස වැටෙත්.
5. 2. 2. 10.
[ආසවක්ඛය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
20. මහණෙනි, භාවිත බහුලීකෘත මේ ධර්‍මයෝ පස් දෙනෙක් ආස්‍රවක්‍ෂය පිණිස වැටෙත්. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි අශුභානුදර්ශී වූයේ, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇතියේ, හැමලොව්හි අනභිරතසංඥා ඇතියේ, සර්‍වසංස්කාරයෙහි අනිත්‍යානුදර්ශී වූයේ වාස කරයි. ඔහට මරණසංඥාව අද්ධ්‍යාත්මයෙහි මොනවට එළඹ සිටියේ ම වෙයි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෝ භාවිත බහුලීකෘත වූවාහු ආස්‍රවක්‍ෂය පිණිස වැටෙත්.
සංඥාවර්‍ගය දෙවැනි යි.
එහි උද්දානය:
සඤ්ඤා සූත්‍ර දෙකය, වඩ්ඪීසූත්‍ර දෙකය, සාකච්ඡා සූත්‍රය, සාජීවසූත්‍රය, ඉද්ධිපාදසූත්‍ර දෙකය, නිබ්බිදා සූත්‍රය, ආසවක්ඛය සූත්‍රය දැයි දසයෙක.
3. අනාගතභය වර්‍ගය
5. 2. 3. 1.
[පඨමචේතෝවිමුත්තිඵල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, මේ ධර්‍මයෝ පස් දෙනෙක් භාවිත බහුලීකාත වූවාහු (මාර්‍ගඵලසමාධි සඞ්ඛ්‍යාත) චිත්තවිමුක්තිය ඵල කොට ඇතියාහු ද, චිත්තවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද, (මාර්‍ගඵලප්‍රඥා සඞ්ඛ්‍යාත) ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇතියාහු ද, ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි අශුභානුදර්ශී වූයේ, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇතියේ, හැම ලොව්හි අනභිරතසංඥා ඇතියේ, සර්‍වසංස්කාරයෙහි අනාත්මානුදර්ශී වූයේ වාස කරයි. ඔහට මරණ සංඥාව තමා තුළ මනාව පිහිටියේ ම වෙයි.
මහණෙනි, භාවිත බහුලීකෘත මේ පඤ්චධර්‍මයෝ චිත්තවිමුක්තිය ඵල කොට ඇතියාහු ද, චිත්තවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්. ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇතියාහු ද, ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්.
මහණෙනි, මහණ යම් කලක් පටන් කොට චේතෝවිමුක්ත හා ප්‍රඥාවිමුක්ත හා වේ ද, මහණෙනි, මෙ මහණ ‘උක්ඛිත්තපළිඝ’ය යි දු (උපුටා හළ වටමුල් අවිදු නමැති කනයම ඇතියෙකැයි දු), ‘සඞ්කිණ්ණ පරිඛ’ය යි දු (සුගිදුගිසසර නමැති පරිඛා වනසා ලූයේ යයි දු), ‘අබ්බූළ්හෙසික’ ය යි දු (උපුටා හළ තෘෂ්ණා නමැති ඉඳුකිල් ඇතියේ ය යි දු), ‘නිරග්ගළ’ ය යි දු (උදුරා හළ නීවරණ සඞ්ඛ්‍යාත අගුළු ඇතියේ ය යි දු), ආර්‍ය්‍ය වූයේ හෙළා ලූ මානධ්වජ ඇතියේ ය යි දු, හෙළා ලූ (ස්කන්‍ධ අභිසංස්කාර ක්ලේශ සඞ්ඛ්‍යාත) බර ඇතියේ ය යි දු, ‘විසංයුක්ත’ (චතුරොඝයෙන් වෙන් ව සිටියේ) ය යි දු කියනු ලැබේ.
මහණෙනි, මහණ කෙසේ නම් ‘උක්ඛිත්තපළිඝ’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ හට අවිද්‍යා ප්‍රහීණ වූවා, උසුන් මුල් වූවා, මුදුන්සුන් තලක් සෙයින් කළ අවාස්තුකභාව ඇත්තී, කෘත අත්‍යන්තාභාව ඇත්තී, මතුයෙහි නූපදනා සැහැවි ඇත්තී වෙයි. මහණෙනි, මෙසේ මහණ ‘උක්ඛිත්තපළිඝ’ වෙයි.
මහණෙනි, මහණ කෙසේ නම් ‘සංකිණ්ණපරිඛ’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට පුනර්‍භවාඛ්‍ය ඵලයට අර්‍හ වන ජාතිසංසාරය (කර්‍මාභිසංස්කාරය) ප්‍රහීණ වෙයි ... මහණෙනි, මෙසේ මහණ ‘සඞ්කිණ්ණපරිඛ’ වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ‘අබ්බූළ්හෙසික’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට තෘෂ්ණාව ප්‍රහීණ වූවා, උසුන් මුල් ඇත්තී, තාලාවාස්තුකෘත වූවා, කෘත අත්‍යන්තාභාව ඇත්තී, මතුයෙහි නූපදනා සැහැවි ඇත්තී වෙයි. මහණෙනි, මෙසේ මහණ ‘අබ්බූළ්හෙසික’ වෙයි.
මහණෙනි, කෙසේ මහණ ‘නිරග්ගළ’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට පඤ්ච ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලාවාස්තුකෘත වූවාහු කළ අභාව ඇත්තාහු මතුයෙහි නො උපදනා සැහැවි ඇත්තාහු වෙත්. මහණෙනි, මෙසේ මහණ ‘නිරග්ගළ’ වෙයි.
මහණෙනි, කෙසේ මහණ ‘ආර්‍ය්‍ය’ වූයේ, ‘පන්නද්ධජ’ වූයේ, ‘පන්නභාර’ වූයේ, ‘විසංයුත්ත’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට (පඤ්චස්කන්‍ධය ‘මම’ ය ගත්) අස්මිමාන ය ප්‍රහීණ වූයේ, උසුන් මුල් ඇතියේ, තාලාවාස්තුකෘත වූයේ, කළ අභාව ඇතියේ, මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ‘ආර්‍ය්‍ය’ වූයේ, ‘පන්නද්ධජ’ වූයේ, ‘පන්නභාර’ වූයේ, ‘විසංයුත්ත’ වේ.
5. 2. 3. 2.
[දුතියචේතෝවිමුත්තිඵල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
22. මහණෙනි, මේ පඤ්චධර්‍ම කෙනෙක් භාවිත බහුලීකෘත වූවාහු චිත්තවිමුක්තිඵල කොට ඇතියාහු චිත්තවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්. ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇතියාහු ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්. කවර පස්දෙනෙක යත්:
අනිත්‍යසංඥා ය, අනිත්‍යයෙහි දුඃඛසඥා ය, දුඃඛයෙහි අනාත්මසංඥා ය, ප්‍රහාණසංඥා ය, විරාගසංඥා යි.
මහණෙනි, මේ පඤ්චධර්‍මයෝ භාවිත බහුලීකෘත වූවාහු, චේතෝවිමුක්තිය ඵල කොට ඇතියාහු ද චේතෝවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්. ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇතියාහු ද ප්‍රඥාමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්.