Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 5401-5500 න් 15980

මහණෙනි, ප්‍රඥායෙන් දැන ප්‍රහාතව්‍ය ධර්‍මයෝ කවරහ: අවිද්‍යාව හා භවතෘෂ්ණා යි. මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥායෙන් දැන ප්‍රහාතව්‍යයහ යි කියනු ලැබෙත්.
මහණෙනි, ප්‍රඥායෙන් දැන භාවිතව්‍ය ධර්‍මයෝ කවරහ: සමථය හා විදර්‍ශනා යි. මහණෙනි, මෙ ධර්‍මයෝ ප්‍රඥායෙන් දැන භාවිතව්‍යයහ යි කියනු ලැබෙත්.
මහණෙනි, ප්‍රඥායෙන් දැන සාක්‍ෂාත් කර්‍තව්‍ය ධර්‍මයෝ කවරහ: විද්‍යාව හා විමුක්ති යි. මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥායෙන් දැන සාක්‍ෂාත් කර්‍තව්‍යයහ යි කියනු ලැබෙත්.
මහණෙනි, මේ සතර ධර්‍මයෝ යි.
[පරියේසනා සූත්‍රය]
2. මහණෙනි, මේ අනාර්‍ය්‍යයන්ගේ පර්‍ය්‍යෙෂණාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැමෙක් තෙමේ ජරාස්වභාව ඇතියේ ම ජරාස්වභාවය ම සොයයි. තෙමේ ව්‍යාධිස්වභාව ඇතියේ ම ව්‍යාධිස්වභාවය ම සොයයි. තෙමේ මරණස්වභාව ඇතියේ ම මරණස්වභාවය ම සොයයි. තෙමේ සඞ්ක්ලේශස්වභාවය ඇතියේ ම සඞ්ක්ලේශස්වභාවය ම සොයයි.
මහණෙනි, මේ සතර අනාර්‍ය්‍ය පර්‍ය්‍යෙෂණාවෝ යි.
මහණෙනි, මේ ආර්‍ය්‍යයන්ගේ පර්‍ය්‍යෙෂණාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැමෙක් තෙමේ ජරාස්වභාව ඇතියේ ජරාස්වභාවයෙහි ආදීනව දැන ජරා රහිත අනුත්තර වූ යෝගක්‍ෂේම වූ නිර්‍වාණය සොයයි. තෙමේ ව්‍යාධිස්වභාව ඇතියේ ව්‍යාධිස්වභාවයෙහි ආදීනව දැන ව්‍යාධි රහිත අනුත්තර වූ යෝගක්‍ෂේම වූ නිර්‍වාණය සොයයි. තෙමේ මරණස්‍වභාව ඇතියේ ම මරණස්වභාවයෙහි ආදීනව දැන මරණ රහිත වූ අනුත්තර වූ යෝගක්‍ෂේම වූ නිර්‍වාණය සොයයි. තෙමේ සඞ්ක්ලේශස්වභාවය ඇතියේ සඞ්ක්ලේශස්වභාවයෙහි ආදීනව දැන සඞ්ක්ලේශ රහිත වූ අනුත්තර වූ යෝගක්‍ෂේම වූ නිර්‍වාණය සොයයි.
මහණෙනි, මේ සතර ආර්‍ය්‍යපර්‍ය්‍යෙෂණාවෝ යි.
4. 6. 3.
[සඞ්ගහවත්‍ථු සූත්‍රය]
3. මහණෙනි, මේ සඞ්ග්‍රහවස්තූහ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
දාන ය, ප්‍රියවචන ය, අර්‍තචර්‍ය්‍යා ය, සමානාත්මතා යි.
මහණෙනි, මොහු සතර සඞ්ග්‍රහ වස්තූහු යි.
4. 6. 4.
[මාලුඞ්ක්‍යපුත්ත සූත්‍රය]
4. එකල්හි ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර මහතෙරහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර මහතෙරහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා ඒකාකී වූයෙම් ගණසඞ්ගණිකායේන් වෙන් වූයෙම් අප්‍රමත්ත වූයෙම් කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තෙම් ජීවිතනිරපේක්‍ෂක වූයෙම් වෙසෙම් ද, වහන්ස, ආයාචනා කරමි. භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් එබඳු දහමක් දෙසන සේක්වා යනුයි.
මාලුඞ්ක්‍යපුත්‍රය, යම් හෙයෙකින් තෝ දිරූයෙහි වයෝවෘද්ධ වූයෙහි මහලු වූයෙහි සැකෙවින් තථාගතයන්ගේ අවවාදය යදනෙහි ද, තෙල අවවාද දානයෙහි ලා දැන් තරුණ යෝගාවචරයනට කුමක් කියමෝ ද,
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් දහම් දෙසන සේක්වා! සුගතයන් වහන්සේ සැකෙවින් දහම් දෙසන සේක්වා. මම භාග්‍යවතුන් වහන්සේගේ තෙපුලෙහි අරුත් දැනගණිම් නම් මැනව, මම භාග්‍යවතුන් වහන්සේගේ තෙපුලට දායාද වන්නෙම් නම් මැනව.
මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට යම් අරමුණෙක උපදනා තෘෂ්ණාව උපදිනී වේ ද, මේ තෘෂ්ණෝත්‍පාදයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට, චීවරහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී. මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට පිණ්ඩපාතහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී. මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට සයනාසනහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී. මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට ඉති භවාභවහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී.
මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට යම් අරමුණෙක උපදනා තෘෂ්ණාව උපදිනී වේ ද, මේ සතර ඒ තෘෂ්ණෝත්පාදයෝ යි.
මාලුඞ්ක්‍යපුත්‍රයා, යම් කලෙක මහණහට තෘෂ්ණාව ප්‍රහීණ වේ ද, මුලුසුන් වේ ද, මස්තකච්ඡින්න තාලයක් සෙයින් අවස්තුක බවට පමුණුවන ලද ද, පුන පුනා කළ අභාවය ඇද්ද, මතුයෙහි අනුත්පාද ස්වභාවය ඇද්ද, මාලුඞ්ක්‍යපුත්‍රය, මේ මහණ තෘෂ්ණා සිඳපී ය යි සංයෝජන පෙරළාලී ය යි මොනොවට මානයාගේ ප්‍රහාණාභිසමයයෙන් දුක් කෙළවර කෙළේ ය යි කියනු ලැබේ.
එක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර මහතෙරහු භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් අවවාද කරණ ලද්දාහු හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියහ. එක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර මහතෙර ඒකාකී වූයේ ගණසඞ්ගණිකායේන් වෙන් වූයේ අප්‍රමත්ත වූයේ කෙලෙස් තවන වැර ඇත්තේ නිවනට ගිය සිත් ඇතියේ වෙසෙමින් මඳ කලෙකින් යම් අර්‍හත්ත්‍වයක් පිණිස කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද් ද, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය කෙළවර කොට ඇති ඒ අර්‍හත්ත්‍වය වර්‍තමාන භවයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ විසී. ජාතිය ක්‍ෂීණ විය. බඹසර වැස නිමවින. සතර මග කිස කරණ ලදි. මේ අර්‍හත්ත්‍වය පිණිස අන් දැයෙක් නැති යි දත්හ.
ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර මහතෙරහු රහතුන් කෙරෙහි එක්තරා කෙනෙක් ද වූහු.
4. 6. 5.
[කුල සූත්‍රය]
5. මහණෙනි, භෝගයෙහි මහත්ත්‍වයට පැමිණ යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ සතර කරුණෙකින් හෝ සතර කරුණු අතුරෙන් අන්‍යතරයෙකින් හෝ චිරස්‍ථායී නො වෙත්. කවර සතර කරුණෙන යත්:
නට දැය නො සොයත්. දිරූ දැය පිළිසකර නො කෙරෙත්. පරිමාණ රහිත පානභෝජන වළඳනාහු වෙත්. සිල් නැති ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ භාණ්ඩාගාරික භාවයෙහි තබත්.
මහණෙනි, භෝගයෙහි මහත්ත්‍වයට පැමිණි යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ මේ සතර කරුණින් හෝ මේ සතර කරුණු අතුරෙන් අන්‍යතරයෙකින් හෝ චිරස්ථායී නො වෙත්.
මහණෙනි, භෝගයෙහි මහත්ත්‍වයට පැමිණි යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ සතර කරුණින් හෝ සතර කරුණු අතුරින් අන්‍යතරයෙකින් හෝ චිරස්ථායී වෙත්. කවර සතර කරුණින් යත්:
නට දෑ සොයත්. දිරූ දැය පිළිසකර කෙරෙත්. පරිමාණ සහිත පාන භෝජන වළඳනාහු වෙත්. සිල් ඇති ස්‍ත්‍රියක හෝ පුරුෂයකු හෝ අධිපතිභාවයෙහි තබත්.
මහණෙනි, භෝගයෙහි මහත්ත්‍වයට පැමිණි යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ මේ සතර කරුණින් හෝ මේ සතර කරුණු අතුරින් අන්‍යතරයෙකින් හෝ චිරස්ථායී වෙත්.
4. 6. 6.
[ප්‍රථම ආජානීය සූත්‍රය]
6. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ රජසතු භද්‍ර අශ්වාජානීය රාජාර්‍හ වෙයි. රජු විසින් වළඳ කළයුතු වෙයි. රජුගේ අවයවයෙකැයි ගණනට යෙයි. කවර සතර කරුණින් යත්:
මහණෙනි, මෙ ලොව රජක්හුගේ භද්‍ර අශ්‍වාජානීයයෙක් වර්‍ණසම්පන්නත් වේ ද, බලසම්පන්නත් වේ ද, ජවසම්පන්නත් වේ ද, අරෝහපරිණාහ සම්පන්නත් වේ ද, මහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත වූ රජසතු භද්‍ර අශ්‍වාජානීය රාජාර්‍හ වෙයි. රජු විසින් වළඳ කළයුතු වෙයි. රජුගේ අවයවයෙකැයි ගණනට යෙයි.
මහණෙනි, එ පරිදි ම සතර ධර්‍මයෙකින් සමන්‍වාගත වූ මහණ ආහුනාර්‍හ වෙයි. ප්‍රාඝුණාර්‍හ වෙයි. දක්‍ෂිණාර්‍හ වෙයි. අඤ්ජලිකරණාර්‍හ වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සතර ධර්‍මයෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ වර්‍ණසම්පන්න ද වෙයි. බලසම්පන්නද වෙයි. ජවසම්පන්න ද වෙයි. අරෝහපරිණාහසම්පන්න ද වෙයි.
මහණෙනි, මහණ කෙසේ වර්‍ණසම්පන්න වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. … සිකපදයෙහි සමාදන් ව ගෙණ හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ වර්‍ණසම්පන්න වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ බලසම්පන්න වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ අකුසල් දහම් ප්‍රහාණය පිණිස කුසල් දහම් රැස් කිරීම පිණිස ඇරඹු වැර ඇත්තේ ථාමයෙන් යුක්ත වූයේ දැඩි පැරකුම් ඇතියේ කුසල්දහම්හි බහා නොතැබූ වීර්‍ය්‍යධූර ඇත්තේ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ බලසම්පන්න වෙයි.
මහණෙනි, මහණ කෙසේ නම් ජවසම්පන්න වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ මේ දුඃඛය යි තත් වූ පරිදි දනී. මේ දුඃඛසමුදය යි ... මේ දුඃඛනිරෝධය යි ... මේ දුඃඛ නිරොධගාමිනී ප්‍රතිපදාය යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ මහණ ජවසම්පන්න වෙයි.
මහණෙනි, කෙසේ මහණ ආරෝහපරිණාහයෙන් යුක්ත වූයේ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නෙක් වෙයි. මහණෙනි, මෙසේ මහණ ආරෝහ පරිණාහ සම්පන්න වූයේ වෙයි. මහණෙනි, මේ සතර ධර්‍මයෙන් සමන්‍වාගත වූ මහණ ආහුන්‍යෙය වෙයි ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
[දෙවැනි ආජානීය සූත්‍රය]
7. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ රජසතු භද්‍ර අශ්වාජානීය රාජාර්‍හ වෙයි. රජු විසින් වළඳ කටයුතු වෙයි. රජුගේ අවයවයෙකැයි ගණනට යේ. කවර සතර කරුණින් යත්:
මහණෙනි, මෙ ලොව රජසතු භද්‍ර අශ්‍වාජානීය වර්‍ණසම්පන්න ද වෙයි. බලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි.
මහණෙනි, මේ සතර කරුණින් යුත් රාජකීය භද්‍ර අශ්වාජානීය තෙමේ රාජාර්‍හ ද වෙයි. රාජභෝග්‍ය ද වෙයි. රජුගේ අවයවයෙකැ යි ගණනට යෙයි.
මහණෙනි, එ පරිදි ම සතර කරුණෙකින් යුක්ත වූ මහණ ආහුන්‍යෙය වෙයි. පාහුණ්‍යෙය වෙයි. දක්‍ඛිණ්‍යෙය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සතර කරුණින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ වර්‍ණසම්පන්න ද වෙයි. බලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහසම්පන්න ද වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ වර්‍ණසම්පන්න වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල් ඇත්තේ වේ ද ... සිකපදයන් සමාදන් ව ගෙණ හික්මේ ද, මහණෙනි, මෙසේ මහණ වර්‍ණසම්පන්න වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ බලසම්පන්න වේ ද? මහණෙනි, මේ සස්නෙහි මහණ රුකළ වැර ඇත්තේ බලවත් වූයේ දෘඪපරාක්‍රම ඇත්තේ කුසල්දහම්හි බහා නොතැබූ ධුර ඇත්තේ වෙසෙයි. මහණෙනි, මහණ මෙසේ බලසම්පන්න වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ජවසම්පන්න වේ ද? මහණෙනි, මේ සස්නෙහි මහණ ආස්‍රවක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට එයට පැමිණ වෙසෙයි. මහණෙනි, මහණ මෙසේ ජවසම්පන්න වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ආරෝහපරිණාහසම්පන්න වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ආරෝහපරිණාහසම්පන්න වෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි. පාහුණෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
[බල සූත්‍රය]
8. මහණෙනි, මේ සතර බලකෙනෙකි. කවර සතර දෙනෙක යත්:
වීර්‍ය්‍යබල ය, ස්‍මෘතිබල ය, සමාධිබල ය, ප්‍රඥාබල යි. මහණෙනි, මේ බල සතර යි.
[අරඤ්ඤසේනාසන සූත්‍රය]
9. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත මහණ අරණ සෙනසුන ද, මිනිස්හසර ඉක්ම වූ වනසෙනසුන් ද, අරණෙහි ඉතා දුරසෙනසුන් ද, සෙවීමට නොනිසි වෙයි. කවර සතරෙකින් යත්:
කාමවිතර්‍කයෙන් යුක්ත වූයේ වේ. ව්‍යාපාදවිතර්‍කයෙන් යුක්ත වූයේ වේ. විහිංසාවිතර්‍කයෙන් යුක්ත වූයේ වේ. ජඩ වූයේ වහතොලු වූයේ දුෂ්ප්‍රාඥ ද වෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූ මහණ අරණසෙනසුන ද මිනිස්හසර ඉක්ම වූ වනසෙනසුන් ද අරණෙහි ඉතා දුරසෙනසුන් ද සෙවීමට නො නිසි වෙයි.
මහණෙනි, කරුණු සතරෙකින් සමන්‍වාගත මහණ අරණසෙනසුන ද මිනිස්හසර ඉක්ම වූ වනසෙනසුන් ද අරණෙහි ඉතා දුර සෙනසුන් ද සෙවීමට නිසි වෙයි. කවර සතර කරුණෙන යත්:
නෛෂ්ක්‍රම්‍යවිතර්‍කයෙන් යුක්ත වූයේ වේ. අව්‍යාපාදවිතර්‍කයෙන් යුක්ත වූයේ වේ. අවිහිංසාවිතර්‍කයෙන් යුක්ත වූයේ වේ. ජඩ නොවූයේ වහතොලු නොවූයේ පැණැතියේ ද වේ.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත මහණ අරණසෙනසුන් ද මිනිස්හසර ඉක්ම වූ වනසෙනසුන් ද අරණෙහි ඉතා දුරසෙනසුන් ද සෙවීමට නිසි වෙයි.
4. 6. 10.
[සාවජ්ජ - අනවජ්ජ සූත්‍රය]
10. මහණෙනි, මේ සතර කරුණෙකින් සමන්‍වාගත වූ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ ගුණ විසින් සාළ ගුණ විසින් නට ආත්මයක් පරිහරණය කෙරෙයි. සාවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද කටයුතු වූයේ බොහෝ පව් ද රැස් කෙරෙයි. කවර සතරෙකින් යත්:
සාවද්‍ය වූ කායකර්‍මයෙන් යුක්ත වූයේ වෙයි. සාවද්‍ය වූ වාක්කර්‍මයෙන් යුක්ත වූයේ වෙයි. සාවද්‍ය වූ මනඃකර්‍මයෙන් යුක්ත වූයේ වෙයි. සාවද්‍ය වූ දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූ බාල අව්‍යක්ත අසත්පුරුෂ ගුණ විසින් සාරා දැමූ ගුණ විසින් නට ආත්මයක් පරිහරණය කෙරෙයි. සාවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද කටයුතු වූයේ බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ පණ්ඩිත ව්‍යක්ත සත්පුරුෂ ගුණ විසින් සාරා නොදැමූ ගුණ විසින් නොනට ආත්මයක් පරිහරණය කෙරෙයි. නිරවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නොකටයුත්තේ බොහෝ පින් ද රැස් කෙරෙයි. කවර සතර කරුණෙකින් යත්:
අනවද්‍ය වූ කායකර්‍මයෙන් යුක්ත වූයේ වේ. අනවද්‍ය වූ වාක්කර්‍මයෙන් යුක්ත වූයේ වේ. අනවද්‍ය වූ මනඃකර්‍මයෙන් යුක්ත වූයේ වෙයි. අනවද්‍ය වූ දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ ගුණ විසින් සාරා නො දැමූ ගුණ විසින් නොනටුවා වූ ආත්මයක් පරිහරණය කෙරෙයි. අනවද්‍ය ද වෙයි. නුවණැත්‍තන් විසින් උපවාද නො කටයුත්තේ බොහෝ කුසල් ද රැස් කෙරෙයි.
අභිඥාවර්‍ගය සවැනි යි.
7. කම්මපථ වර්‍ගය
4. 7. 1.
[පාණාතිපාත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එ පරිදි නිරයෙහි වේ. කවර සතර කරුණින් යත්:
තෙමේත් පණිවා කරන්නේ වෙයි. මෙරමාත් පණිවායෙහි සමාදන් කරවයි. පණිවායෙහි ද අනුදන්නේත් වෙයි. පණිවා පිළිබඳ ගුණ කියන්නේත් වෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණ වුත් බහා තැබූයේ යම්සේ වේ ද, එ පරිදි නිරයෙහි වේ.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණ වුත් බහා තැබූයේ යම්සේ ද, එපරිදි ස්‍වර්‍ගයෙහි වේ. කවර සතර කරුණින් යත්:
තෙමේත් පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමාත් පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි. පණිවායෙන් දුරු වීමෙහි අනුදන්නේත් වෙයි. පණිවායෙන් දුරු වීම පිළිබඳ ගුණ කියන්නේත් වෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි වේ.
[අදින්නාදාන සූත්‍රය]
2. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එ පරිදි නිරයෙහි වේ. කවර සතර කරුණෙන යත්:
තෙමේත් අයිනාදන් ගන්නේ වෙයි, මෙරමාත් අයිනාදනෙහි සමාදන් කරවයි. අයිනාදනෙහි ද අනුදන්නේ වෙයි. අයිනාදන පිළිබඳ ගුණ කියන්නේ වෙයි. මහණෙනි, මේ සතර කරුණින් … [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එ පරිදි නිරයෙහි වේ.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් අයිනාදනින් දුරුවූයේ වෙයි, මෙරමාත් අයිනාදනින් දුරුවීමෙහි සමාදන් කරවයි. අයිනාදනින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. අයිනාදනින් දුරුවීම පිළිබඳ ගුණ කියයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එ පරිදි ස්‍වර්‍ගයෙහි වේ.]
4. 7. 3.
[කාමමිච්ඡාචාර සූත්‍රය]
3. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ...]
තෙමේත් කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරෙහි අනුදන්නේත් වෙයි. කාමයෙහි මිසහසර පිළිබඳ ගුණ කියන්නේත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් ... [ගෙණ වුත් බහා තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි වේ.]