Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 5201-5300 න් 15980

[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
දෘෂ්ටාලම්බනයෙහි දෘෂ්ටවාදී වෙයි. ශ්‍රැතාලම්බනයෙහි ශ්‍රැතවාදී වෙයි. මුතාලම්බනයෙහි මුතවාදී වෙයි. විඥාතාලම්බනයෙහි විඥාතවාදී වෙයි. [මේ සතර කරුණෙන් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]
4. 5. 3. 9.
[අටවැනි බාල - පණ්ඩිත සූත්‍රය]
29. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]
ශ්‍රද්ධා නැත්තේ වෙයි. දුශ්ශීල වෙයි. පවට ලජ්ජා නැතියේ වෙයි. පවට බිය නැතියේ වෙයි. [මේ සතර කරුණෙන් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
ශ්‍රද්ධා ඇතියේ වෙයි. ශීල ඇතියේ වෙයි. පවට ලජ්ජා ඇතියේ වෙයි. පවට බිය ඇතියේ වෙයි … [මේ සතර කරුණෙන් ... බොහෝ කුසල් ද රැස් කෙරෙයි.]
4. 5. 3. 10.
[නවවැනි බාල - පණ්ඩිත සූත්‍රය]
30. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... අසත්පුරුෂ තෙමේ ...]
ශ්‍රද්ධා නැතියේ වෙයි. දුශ්ශීල වෙයි. කුසීත වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි. [මේ සතර කරුණෙන් ... බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ... සත්පුරුෂ තෙමේ ...]
ශ්‍රද්ධා ඇතියේ වෙයි. සිල්වත් වෙයි. රුකළ වැර ඇතියේ වෙයි. ප්‍රඥාවත් වෙයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වු පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ තෙමේ ගුණ විසින් සාරා නො ලන ලද, ගුණ විසින් නො නට ආත්මයක් පරිහරණය කෙරෙයි. අනවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නො කටයුතුත් වෙයි. බොහෝ කුසල් ද රැස් කෙරෙයි.
4. 5. 3. 11.
[කවි සූත්‍රය]
31. මහණෙනි, මේ කවීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
චින්තාකවිය, ශ්‍රැතකවිය, අර්‍ත්‍ථකවිය, ප්‍රතිභානකවි යි. මහණෙනි, මේ සතර කවීහු වෙති.
සුචරිතවර්‍ගය තෙවැනි යි.
4. කර්‍ම වර්‍ගය
4. 5. 4. 1.
[ප්‍රථම කර්‍ම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
32. මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලද්දාහු ය. කවර සතර කර්‍මයහ යත්:
මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණ (අකුශල) කර්‍මයෙක් ඇත. මහණෙනි, ශුක්ල විපාක ඇති ශුක්ල (කුශල) කර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණ වූ ද ශුක්ල වූ ද විපාක ඇති (මිශ්‍රක වන) කෘෂ්ණ-ශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණ ද නො වූ ශුක්ල ද නො වූ විපාක ඇති කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ-අශුක්ල (චතුර්මාර්‍ගඥාන) කර්‍මයෙක් ඇත.
මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලදහ.
4. 5. 4. 2.
[දෙවන කර්‍ම සූත්‍රය]
33. මහණෙනි, මේ කර්‍මයෝ සතර කෙනෙක් මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පවසන ලද්දාහු ය. කවර සතර කර්‍මයහ යත්:
මහණෙනි, අනිෂ්ටවිපාක ඇති අකුශලකර්‍මයෙක් ඇත. මහණෙනි, ඉෂ්ටවිපාක ඇති කුශලකර්‍මයෙක් ඇත. මහණෙනි, අනිෂ්ට වූ ද ඉෂ්ට වූ ද විපාක ඇති කෘෂ්ණ-ශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, අකෘෂ්ණ-අශුක්ල විපාක ඇති කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ-අශුක්ලකර්‍මයෙක් ඇත.
මහණෙනි, අනිෂ්ට විපාක ඇති අකුශලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් සදොස් වූ (කායද්වාරිකචේතනා සඞ්ඛ්‍යාත) කායසංස්කාරය රැස් කෙරෙයි. සදොස් (වාග්ද්වාරිකචෙතනා සඞ්ඛ්‍යාත) වාක්සංස්කාරය රැස් කෙරෙයි. සදොස් වූ (මනෝද්වාරිකචේතනා සඞ්ඛ්‍යාත) මනඃසංස්කාරය රැස් කෙරෙයි. හේ දොස් සහිත කායසංස්කාරය රැස් කොට දොස් සහිත වාක්සංස්කාරය රැස් කොට දොස් සහිත මනඃසංස්කාරය රැස් කොට දුක් සහිත ලෝකයට උත්පත්ති වශයෙන් පැමිණෙයි. දුක් සහිත ලොව්හි උපන් ඔහු දුක් සහිත විපාකස්පර්‍ශයෝ පහස්නාහ. දුක් සහිත ස්පර්‍ශයන් විසින් පහස්නා ලද හේ ඒකාන්තයෙන් දුක් වූ ආබාධ සහිත විපාකවේදනාව විඳියි. නිරිසතුන් සෙයිනි. මහණෙනි, මේ අනිෂ්ටවිපාක ඇති අකුශලකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, ඉෂ්ටවිපාක ඇති කුශලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් නිදොස් වූ කායසංස්කාරය රැස් කෙරෙයි. නිදොස් වූ වාක්සංස්කාරය රැස් කෙරෙයි. නිදොස් වූ මනඃසංස්කාරය රැස් කෙරෙයි. හේ නිදොස් වූ කායසංස්කාරය රැස් කොට නිදොස් වූ වාක්සංස්කාරය රැස් කොට නිදොස් වූ මනඃසංස්කාරය රැස් කොට නිදුක් ලොවට එළඹෙයි. නිදුක් ලොවට එළඹි ඔහු දුක් රහිත විපාක ස්පර්‍ශයෝ පහස්නාහ. නිදුක් ස්පර්‍ශයන් විසින් පහස්නා ලද හේ ඒකාන්තසුඛ වූ නිරාබාධවේදනා විඳී. සුභකිණ්හ දෙවියන් සෙයිනි. මහණෙනි, මේ ඉෂ්ටවිපාක ඇති කුශලකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, ඉෂ්ටානිෂ්ට විපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍ම කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූත් නිදොස් වූත් කායසංස්කාර රැස් කෙරෙයි සදොස් වූත් නිදොස් වූත් වාක්සංස්කාර රැස් කෙරෙයි. සදොස් වූත් නිදොස් වූත් මනඃසංස්කාර රැස් කෙරෙයි. හේ සදොස් වූත් නිදොස් වූත් කායසංස්කාර රැස් කොට සදොස් වූත් නිදොස් වූත් වාක්සංස්කාර රැස් කොට සදොස් වූත් නිදොස් වූත් මනඃසංස්කාර රැස් කොට සදුක් වූ ද නිදුක් වූ ද ලෝකයට එළඹෙයි. සදුක් වූ ද නිදුක් වූ ද ලොවට එළඹි ඔහු දුක් සහිත වූ ද දුක් රහිත වූ ද විපාකස්පර්‍ශයෝ පහස්නාහ. සදුක් වූ ද නිදුක් වූ ද ස්පර්‍ශයන් විසින් පහස්නා ලද හේ ව්‍යතිමිශ්‍රසුඛදුඃඛ ඇති සදුක් වූත් නිදුක් වූත් විපාකවේදනා විඳියි. මිනිසුන් සෙයිනි. ඇතැම් දෙවියන් හා ඇතැම් විනිපාතිකයන් ද සෙයිනි. මහණෙනි, මේ ඉටු අනිටු විපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා කෘෂ්ණවිපාකත් නො වූ ශුක්ලවිපාකත් නො වූ අකෘෂ්ණඅශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, එහි ලා යම් කර්‍මයෙක් කෘෂ්ණ වේ ද කෘෂ්ණවිපාක වේ ද, ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇද්ද, යම් කර්‍මයෙක් ශුක්ල වේ ද ශුක්ලවිපාක වේ ද, ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇද්ද, යම් කර්‍මයෙක් කෘෂ්ණශුක්ල වේ ද කෘෂ්ණශුක්ලවිපාකත් වේ ද, ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇද්ද, මහණෙනි, මේ කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණඅශුක්ල වූ අකෘෂ්ණඅශුක්ලවිපාකත් වූ කර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පවසන ලදහ.
4. 5. 4. 3.
[තෙවන කර්‍ම සූත්‍රය]
34. එකල්හි සිඛාමොග්ගල්ලාන බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී. සතුටට කරුණු වූ සිහි කරණුවට නිසි කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පස් ව හුන් සිළුමුගලන් බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
භවත් ගෞතමයන් වහන්ස, පුරිම වූත් පුරිමතර වූත් දිනයෙහි සෝණකායන නම් මාණවක මා කරා එළඹියේ ය. එළඹ මට තෙල කී ය:
මහණ ගොයුම් සියලු කර්‍මයන්ගේ අක්‍රියාව පණවයි. සියලු කර්‍මයන්ගේ අක්‍රියාව පණවන්නේ ලොවට උච්ඡේදයක් කියයි. භවත්නි, මේ ලෝකය කර්‍මය සැහැවි කොට ඇත. කර්‍මසමාරම්භයෙන් (කර්‍ම රැස් කිරීමෙන්) සිටුනාසුලු ය. (කර්‍ම නොකරණුයේ උච්ඡේදයට යෙයි යූසේය.)
[භාග්‍යවත්හු:]
බමුණ, මම සෝණකායන නම් මාණවකයාගේ දැක්මක් ද නො දන්මි. මෙබඳු කථා සල්ලාපයෙක් කොහි වී ද?
බමුණ, මේ සතර කර්‍ම කෙනෙක් මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලදහ. කවර සතර කර්‍මයහ යත්:
බමුණ, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මයෙක් ඇත. බමුණ, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මයෙක් ඇත. බමුණ, කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මයෙක් ඇත. කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ල කර්‍මයෙක් ඇති.
බමුණ, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය කවරේ ය? බමුණ, මෙලොව ඇතැමෙක් සදොස් වූ කායසංස්කාර රැස් කෙරෙයි. සදොස් වූ වාක්සංස්කාර රැස් කෙරෙයි. සදොස් වූ මනස්සංස්කාර රැස් කෙරෙයි. හේ සදොස් කායසංස්කාර රැස් කොට සදොස් වාක්සංස්කාර රැස් කොට සදොස් මනස්සංස්කාර රැස් කොට සදුක් වූ ලොවට එළඹෙයි. සදුක් ලොවට එළඹියහු සදුක් විපාකස්පර්‍ශයෝ පහස්නාහ. හේ සදුක් ස්පර්‍ශයන් විසින් පහස්නා ලද්දේ ම ඒකාන්ත දුඃඛ වූ සදුක් වේදනා විඳී. නිරිසතුන් සෙයිනි. බමුණ, මේ කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍ම යි කියනු ලැබේ.
බමුණ, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මය කවරේ ය? බමුණ, මෙලොව ඇතැමෙක් නිදොස් කායසංස්කාර රැස් කෙරෙයි. නිදොස් වාක්සංස්කාර රැස් කෙරෙයි. නිදොස් මනස්සංස්කාර රැස් කෙරෙයි. හේ නිදොස් කායසංස්කාර රැස් කොට නිදොස් වාක්සංස්කාර රැස් කොට නිදොස් මනස්සංස්කාර රැස් කොට නිදුක් ලෝකයට එළඹෙයි. නිදුක් ලෝකයට එළඹියහු නිදුක් ස්පර්‍ශයෝ පහස්නාහ. හේ නිදුක් ස්පර්‍ශයන් විසින් පහස්නා ලද්දේ ඒකාන්ත සුඛ වූ නිදුක් වේදනා විඳී. සුභකිණ්හ දෙවියන් සෙයිනි. බමුණ, මේ ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍ම යි කියනු ලැබේ.
බමුණ, කෘෂ්ණ-ශුක්ලවිපාක ඇති කෘෂ්ණ-ශුක්ලකර්‍මය කවරේ ය? බමුණ, මෙලොව ඇතැමෙක් සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාර රැස් කෙරෙයි. සදොස් වූ ද නිදොස් වූ ද වාක්සංස්කාර රැස් කෙරෙයි. සදොස් වූ ද නිදොස් වූ ද මනස්සංස්කාර රැස් කෙරෙයි. හේ සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාරය රැස් කොට සදොස් වූ ද නිදොස් වූ ද වාක්සංස්කාරය රැස් කොට සදොස් වූ ද නිදොස් වූ ද මනස්සංස්කාරය රැස් කොට සදුක් වූ ද නිදුක් වූ ද ලෝකයට එළඹෙයි. සදුක් වූ ද නිදුක් වූ ද ලොවට එළඹියහු සදුක් වූ ද නිදුක් වූ ද විපාකස්පර්‍ශයෝ පහස්නාහ. හේ සදුක් වූ ද නිදුක් වූ ද ස්පර්‍ශයන් විසින් පහස්නා ලද්දේ ව්‍යවකීර්‍ණ සුඛදුඃඛ ඇති සදුක් වූ ද නිදුක් වූ ද විපාකවේදනා විඳී. ඇතැම් මිනිසුන් සෙයිනි. ඇතැම් දෙවියන් හා විනිපාතිකයන් ද සෙයිනි. බමුණ, මේ කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ල කර්‍ම යි කියනු ලැබේ.
බමුණ, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මය කවරේ ය? බමුණ, එහි ලා කෘෂ්ණවිපාක ඇති යම් කෘෂ්ණකර්‍මයෙක් ඇත් ද ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇත් ද, ශුක්ලවිපාක ඇති යම් ශුක්ලකර්‍මයෙක් ඇත් ද ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇත් ද, කෘෂ්ණශුක්ලවිපාක ඇති යම් කෘෂ්ණශුක්ලකර්‍මයෙක් ඇත් ද, ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇත් ද, බමුණ, මේ කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ල කර්‍ම යි කියනු ලැබේ.
බමුණ, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලදහ.
4. 5. 4. 4.
[සිවුවන කර්‍ම සූත්‍රය]
35. මහණෙනි, මේ කර්‍මයෝ සතර දෙනෙක් මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලදහ. කවර සතර කර්‍මයහ යත්:
මහණෙනි, කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණ කර්‍මයෙක් ඇත. මහණෙනි, ශුක්ල විපාක ඇති ශුක්ල කර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණ වූ ද ශුක්ල වූ ද විපාක ඇති කෘෂ්ණ ශුක්ල කර්‍මයෙක් ඇත. මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්‍ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ල කර්‍මයෙක් ඇත.
මහණෙනි, කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණ කර්‍මය කවරේය? මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි. මද පමා දෙකට කරුණු වන රහ මෙර පීමෙහි සිටුනේ වෙයි. මහණෙනි, මේ කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණ කර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, ශුක්ල විපාක ඇති ශුක්ල කර්‍මය කවරේ ය? මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවායෙන් දුරු වූයේ වෙයි. අයිනාදනින් දුරු වූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරු වූයේ වෙයි. මුසාවායෙන් දුරු වූයේ වෙයි. මද පමා දෙකට කරුණු වන රහමෙර පීමෙන් දුරු වූයේ වෙයි. මහණෙනි, මේ ශුක්ල විපාක ඇති ශුක්ල කර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, කෘෂ්ණ වූ ද ශුක්ල වූ ද විපාක ඇති කෘෂ්ණ ශුක්ල කර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාර රැස් කෙරෙයි ... [වාක්සංස්කාර ... මනස්සංස්කාර රැස් කෙරෙයි.] මහණෙනි, මේ කෘෂ්ණ වූ ද ශුක්ල වූ ද විපාක ඇති කෘෂ්ණ ශුක්ල කර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ල කර්‍මය කවරේ ය? මහණෙනි, එහි ලා කෘෂ්ණ විපාක ඇති යම් කෘෂ්ණ කර්‍මයෙක් වේ ද [ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇත් ද,] මහණෙනි, මේ කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ වූ ද අශුක්ල වූ ද විපාක ඇති අකෘෂ්ණ අශුක්ල කර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලදහ.
4. 5. 4. 5.
[පස්වන කර්‍ම සූත්‍රය]
36. මහණෙනි, මේ කර්‍මයෝ සතර දෙනෙක් මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලදහ. කවර සතර කර්‍මයහ යත්:
මහණෙනි, කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණකර්‍මයෙක් ඇත. මහණෙනි, ශුක්ල විපාක ඇති ශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණ ශුක්ල විපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මයෙක් ඇත.
මහණෙනි, කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණකර්‍මය කවරේ ය? මහණෙනි, මෙ ලොව ඇතැමකු විසින් මව දිවියෙන් තොරකරණ ලදු වෙයි. පියා දිවියෙන් තොර කරණ ලද්දේ වෙයි. රහත් දිවියෙන් තොර කරණ ලද්දේ වෙයි. දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ කයෙහි ලේ සොල්වන ලද්දේ වෙයි. සඞ්ඝයා බිඳනා ලද්දේ වෙයි. මහණෙනි, මේ කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මුසාවායෙන් දුරුවූයේ වෙයි. පිසුණු බසින් දුරුවූයේ වෙයි. පරොස්බසින් දුරුවූයේ වෙයි. පලපින් දුරුවූයේ වෙයි. දළ ලෝභ නැතියේ වෙයි. ව්‍යාපාදයට නොපත් සිත් ඇතියේ වෙයි. සම්‍යග්දෘෂ්ටික වෙයි. මහණෙනි, මේ ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාර රැස් කෙරෙයි ... මහණෙනි, මේ කෘෂ්ණශුක්ල විපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, එහි ලා යම් කර්‍මයක් කෘෂ්ණ වේ ද කෘෂ්ණවිපාක ඇත්තේ වේ ද [ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇද් ද] ... මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා මෙය අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට වදාරණ ලදහ.
4. 5. 4. 6.
[සවන කර්‍ම සූත්‍රය]
37. මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට වදාරණ ලදහ. කවර සතර කර්‍මයහ යත්:
මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණ කර්‍මයෙක් ඇත. ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මයෙක් ඇත. කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මයෙක් ඇත. කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මයෙක් ඇත.
මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ කායසංස්කාරය රැස් කෙරෙයි ... මහණෙනි, මේ කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් නිදොස් වූ කායසංස්කාරය රැස් කෙරෙයි ... මහණෙනි, මේ ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාරය රැස් කෙරෙයි ... මහණෙනි, මේ කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මය කවරේ ය? සම්‍යග් දෘෂ්ටිය .. සම්‍යක් සමාධි යි. මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා මේ අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශූකලකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පවසන ලදහ.
4. 5. 4. 7.
[සත්වන කර්‍ම සූත්‍රය]
38. මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට ප්‍රකාශ කරණ ලදහ. කවර සතර කර්‍මයහ යත්:
මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මයෙක් ඇත. මහණෙනි, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මයෙක් ඇත.
මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ කායසංස්කාර රැස් කෙරෙයි [වාක්සංස්කාර ... මනඃසංස්කාර ... [මහණෙනි, මේ කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් නිදොස් වූ කායසංස්කාර රැස් කෙරෙයි ... [වාක්සංස්කාර ... මනඃසංස්කාර ...] මහණෙනි, මේ ශුක්ල විපාක ඇති ශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, කෘෂ්ණ ශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාර රැස් කෙරෙයි [වාක්සංස්කාර ... මනඃසංස්කාර] මහණෙනි, මේ කෘෂ්ණශුක්ල විපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මය කවරේ ය? ස්‍මෘතිසම්බොධ්‍යඞ්ගය, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය, වීර්‍ය්‍යයසම්බෝධ්‍යඞ්ගය, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය, සමාධිසම්බෝධ්‍යඞ්ගය, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි. මහණෙනි, මේ කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට ප්‍රකාශ කරණ ලදහ.
4. 5. 4. 8.
[සාවජ්ජ - අනවජ්ජ කර්‍ම සූත්‍රය]
39. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් නිරයෙහි වේ. කවර සතරෙකින යත්:
සාවද්‍යකායකර්‍මයෙන, සාවද්‍යවාක්කර්‍මයෙන, සාවද්‍යමඃකර්‍මයෙන, සාවද්‍ය දෘෂ්ටියෙනැ යි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එපරිදි නිරයෙහි වේ.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි වේ. කවර සතරෙකින යත්:
අනවද්‍ය කායකර්‍මයෙන, අනවද්‍ය වාක්කර්‍මයෙන, අනවද්‍ය මනඃකර්‍මයෙන, අනවද්‍ය දෘෂ්ටියෙනැ යි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසේ ස්වර්‍ගයෙහි වේ.
4. 5. 4. 9.
[සඛ්‍යාපජ්ඣ - අබ්‍යාපජ්ඣ කර්‍ම සූත්‍රය]
40. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් නිරයෙහි වේ. කවර සතරෙකින යත්:
සදොස් වූ කායකර්‍මයෙන, සදොස් වූ වාක්කර්‍මයෙන, සදොස් වූ මනඃකර්‍මයෙන, සදොස් වූ දෘෂ්ටියෙනැ යි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම් සේ ද, එසෙයින් නිරයෙහි වේ.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි වේ. කවර සතරෙකින යත්:
නිදොස් වූ කායකර්‍මයෙන, නිදොස් වූ වාක්කර්‍මයෙන, නිදොස් වූ මනඃකර්‍මයෙන, නිදොස් වූ දෘෂ්ටියෙනැ යි.