තව ද මහණෙනි, යම් ඒ මහණහු බහුශ්‍රුත වෙත් ද, උගත් ආගම ඇති වෙත් ද, ධර්‍මධර වෙත් ද, විනයධර වෙත් ද, මාතෘකාධර වෙත් ද, ඔහු සකස් කොට සූත්‍රාන්ත පරා ලවා වාවනාමාර්‍ගයෙන් නො හදාරවත්. උන්ගේ ඇවෑමෙන් සූත්‍රාන්ත මුලුසුන් වෙයි. පිළිසරණ නැති වෙයි. මහණෙනි, මේ තෙවන දහම ශාසනයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස වැටෙයි.
තවද මහණෙනි, ස්ථවිර භික්‍ෂූහු බහුල පස පිණිස පිළිපන්හු වෙත්. ශික්‍ෂාශාසනය ලිහිල් කොට ගණිත්. පඤ්චනීවරණ පූරණයෙහි පෙරදැරි වෙත්. ප්‍රවිවේකයෙහි (භාවනායෙහි) හළ වැර ඇති වෙත්. නොපැමිණි ඵලයාගේ පැමිණීම පිණිස නොලත් ඵලයාගේ ලැබීම පිණිස පසක් නොකළ ඵලයාගේ පසක් කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙත්. පශ්චිම ජනතාව ඔවුන්ගේ දෘෂ්ටානුගතියට (ඔවුන් අනුව යාමට) පැමිණේ. ඒ ජනතාව ද බාහුලික සාථලික වේ. නීවරණ දහම්හි පෙරගැමි වෙයි. ප්‍රවිවේකයෙහි හළ වැර ඇති වෙයි. නොලත් පල ලබනු සඳහා නොවිඳි පල විඳිනු සඳහා පසක් නොකළ පල පසක් කරණු සඳහා වැර ඇරඹිලි නො කෙරෙයි. මහණෙනි, මේ සතරවන දහම සසුන් නස්නා සඳහා අතුරුදහන් සඳහා වැටෙයි.
මහණෙනි, මෙ සතර ධර්‍මයෝ ශාසනයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස වැටෙත්.
මහණෙනි, මේ සතර ධර්‍ම කෙනෙක් ශාසනයාගේ ස්ථිතිය පිණිස අසම්මෝසය පිණිස අතුරුදන් නොවීම පිණිස වැටෙත්. කවර සතර ධර්‍ම කෙනෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණහු මොනොවට උගන්නා ලද සූත්‍රාන්ත මොනොවට උගත් පදව්‍යඤ්ජනයෙන් පිරිවහත්. මහණෙනි, මොනොවට තබන ලද පදව්‍යඤ්ජනයාගේ අර්‍ත්‍ථය ද සුගම වෙයි. මහණෙනි, මේ පළමුවන දහම ශාසනයාගේ ස්ථිතිය පිණිස අසම්මෝසය (පැවැත්ම) පිණිස අතුරුදන් නොවීම පිණිස වැටෙයි.
තවද මහණෙනි, මහණහු සුවච වෙති. සුවච බව කරණ දහමින් සමන්‍වාගත වෙත්. ක්‍ෂම වෙත්. අනුසස්න ප්‍රදක්‍ෂිණාපූර්‍වකව ගන්නාහු වෙත්. මහණෙනි, මේ දෙවන දහම ශාසනයාගේ ස්ථිතිය පිණිස අසම්මෝසය පිණිස අතුරුදන් නොවීම පිණිස වැටෙයි.
තවද මහණෙනි, යම් ඒ මහණහු බහුශ්‍රුත වෙත් ද, උගත් ආගම ඇති වෙත්ද, ධර්‍මධර වෙත් ද, විනයධර වෙත් ද, මාතෘකාධර වෙත් ද, ඔහු සකස් කොට පරා ලවා වාවනාමාර්‍ගයෙන් සූත්‍රාන්ත හදාරවත්. ඔවුන්ගේ ඇවෑමෙන් සූත්‍රාන්ත මුලුසුන් නො වෙයි. පිළිසරණ ඇත්තේ වෙයි. මහණෙනි, මේ තෙවන දහම ශාසනයාගේ ස්ථිතිය පිණිස, අසම්මෝසය පිණිස, අතුරුදන් නොවීම පිණිස වැටෙයි.
තවද මහණෙනි, ස්ථවිර භික්‍ෂූහු ප්‍රත්‍යයබාහුල්‍යය නැත්තෝ වෙත්. ශික්‍ෂාශාසනය ලිහිල් කොට නො ගණිත්. පඤ්චනීවරණයන්හි බැහැර ලූ ධුර ඇත්තෝ වෙත්. ප්‍රවිවේකයෙහි පූර්‍වඞ්ගම වෙති. අප්‍රාප්තඵලයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතඵලයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතඵලයාගේ සාක්‍ෂාත්කාරය පිණිස වීර්‍ය්‍යාරම්භ කෙරෙත්. පශ්චිම ජනතාව ඔවුන්ගේ දෘෂ්ටානුගතියට පැමිණේ. ඒ ජනතාව ද බාහුලික නො වේ. සාථලික නො වේ. නීවරණ දහම්හි බැහැර කළ ධුර ඇති වෙයි. ප්‍රවිවේකයෙහි පෙරගැමි වෙයි. නොලත් ඵල ලබනු සඳහා නොවිඳි ඵල විඳිනු සඳහා පසක් නොකළ ඵල පසක් කරණු සඳහා වැර ඇරඹිලි කෙරෙයි. මහණෙනි, මේ සතර වන දහම සසුන් පැවැත්ම සඳහා නො නස්නා සඳහා අතුරුදන් නොවීම සඳහා වැටෙයි.
මහණෙනි, මේ සතර ධර්‍මයෝ ශාසනයාගේ ස්ථිතිය පිණිස අසම්මෝසය පිණිස අතුරුදන් නොවීම පිණිස වැටෙත්.
ඉන්‍ද්‍රියවර්‍ගය පළමුවැනි යි.
2. ප්‍රතිපදා වර්‍ගය
4. 4. 2. 1.
[ප්‍රතිපදා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, මේ ප්‍රතිපත් සතරෙකි. කවර සතරෙක යත්:
දුක් වූ පිළිවෙත් ඇති දන්‍ධ (ගුරුබැවින් ලැසි) වූ අභිඥා (අවබෝධ) ඇති එකෙක. දුක් වූ පිළිවෙත් ඇති ක්‍ෂිප්‍ර (ශීඝ්‍ර) වූ අභිඥා ඇති එකෙක. සුවපිළිවෙත් ඇති දන්‍ධ වූ අභිඥා ඇති එකෙක. සුවපිළිවෙත් ඇති ක්‍ෂිප්‍ර වූ අභිඥා ඇති එකෙක. මහණෙනි, මේ ප්‍රතිපත් සතර යි.
4. 4. 2. 2.
[දෙවැනි ප්‍රතිපදා සූත්‍රය]
12. මහණෙනි, මේ ප්‍රතිපත් සතරෙකි. කවර සතරෙක යත්:
දුක් වූ පිළිවෙත් ඇති ලැසි අභිඥා ඇති එකෙක. දුක් වූ පිළිවෙත් ඇති ශීඝ්‍ර අභිඥා ඇති එකෙක. සුව පිළිවෙත් ඇති ලැසි අභිඥා ඇති එකෙක. සුව පිළිවෙත් ඇති ශීඝ්‍රාභිඥා ඇති එකෙක.
මහණෙනි, දුක් පිළිවෙත් ඇති දන්‍ධාභිඥා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි ඇතැමෙක් සැහැවින් ම තීව්‍ර (තියුණු) රාග ඇති වෙයි. නිතර රාගයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. සැහැවින් ම තීව්‍ර ද්වේෂ ඇති වෙයි. නිතර ද්වේෂයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. සැහැවින් ම තීව්‍ර මෝහ ඇති වෙයි. නිතර මෝහයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. ඔහුට ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය ස්මෘතීන්‍ද්‍රිය ය සමාධීන්‍ද්‍රිය ය ප්‍රඥේන්‍ද්‍රිය ය යන මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෘදු වූවාහු පහළ වෙත්. හෙ ද මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ මෘදුත්‍වයෙන් ආස්‍රවක්‍ෂය පිණිස ආනන්තරික (අතර නැති ඒකක්‍ෂණික) මාර්‍ගසමාධියට ලැසි ව පැමිණේ. මහණෙනි, මේ දුක් වූ පිළිවෙත් ඇති ලැසි අභිඥා යී කියනු ලැබේ.
මහණෙනි, දුක් වූ පිළිවෙත් ඇති ශීඝ්‍ර අභිඥා නම් කවර? මහණෙනි, මෙ සස්නෙහි ඇතැමෙක් සැහැවින් ම තීව්‍ර රාගප්‍රකෘතික වෙයි. නිතර රාගයෙන් උපන් දුක් දොම්නස් විඳියි. සැහැවින් ම තීව්‍ර ද්වේෂප්‍රකෘතික වෙයි. නිතර ද්වේෂයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. සැහැවින් ම තීව්‍ර මෝහප්‍රකෘතික වෙයි. නිතර මෝහයෙන් හටගත් දුක් දොම්නස් විඳියි. ඔහුට ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය යන මේ පඤ්චේන්‍ද්‍රියයෝ අධිමාත්‍ර වූවාහු පහළ වෙත්. හේ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ අධිමාත්‍රතායෙන් ආස්‍රවක්‍ෂය පිණිස ආනන්තරික මාර්‍ගසමාධියට ශීඝ්‍ර ව පැමිණේ. මහණෙනි, මේ දුක්පිළිවෙත් ඇති ක්‍ෂිප්‍රාභිඥා යී කියනු ලැබේ.
මහණෙනි, සුව පිළිවෙත් ඇති ලැසි අභිඥා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි ඇතැමෙක් සැහැවින් ම තීව්‍ර රාගප්‍රකෘතික නො වෙයි. නිතර රාගයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. සැහැවින් ම තීව්‍ර ද්වේෂප්‍රකෘතික නො වෙයි. නිතර ද්වේෂයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. සැහැවින් ම තීව්‍ර මෝහප්‍රකෘතික නො වෙයි. නිතර මෝහයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. ඔහුට ශ්‍රද්ධේන්‍ද්‍රිය ය ... ප්‍රඥේන්‍ද්‍රිය ය යන මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෘදු වූවාහු පහළ වෙති. හේ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ මෘදුතායෙන් ආස්‍රවක්‍ෂය පිණිස ආනන්තරික මාර්‍ගසමාධියට ලැසි ව පැමිණේ. මහණෙනි, මේ සුව පිළිවෙත් ඇති ලැසි අභිඥා යී කියනු ලැබේ.
මහණෙනි, සුව පිළිවෙත් ඇති ශීඝ්‍ර අභිඥා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුඟුලෙක් සැහැවින් ම තීව්‍ර රාගප්‍රකෘතික නො වෙයි. නිතර රාගයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. සැහැවින් ම තීව්‍ර ද්වේෂප්‍රකෘතික නො වෙයි. නිතර ද්වේෂයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. සැහැවින් ම තීව්‍ර මෝහප්‍රකෘතික නො වෙයි. නිතර මෝහයෙන් හටගත් දුක් දොම්නස් නො විඳියි. ඔහුට ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය යන මේ පඤ්චේන්‍ද්‍රියයෝ අධිමාත්‍ර වූවාහු පහළ වෙත්. හේ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ අධිමාත්‍රතායෙන් ආස්‍රවක්‍ෂය පිණිස ආනන්තරික මාර්‍ගසමාධියට වහා පැමිණේ. මහණෙනි, මේ සුව පිළිවෙත් ඇති ශීඝ්‍ර අභිඥා යී කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ප්‍රතිපත් ය.
4. 4. 2. 3.
[තෙවැනි ප්‍රතිපදා සූත්‍රය]
13. මහණෙනි, මේ ප්‍රතිපත් සතරෙකි. කවර සතරෙක යත්:
දුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා ය, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා ය, සුඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා ය, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා යි.
මහණෙනි, දුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා කවර? මහණෙනි, මෙසස්නෙහි මහණ තමාගේ කරජකායයෙහි අශුභානුදර්ශී වූයේ කවලීකාරාහාරයෙහි පිළිකුළැ යි යන සංඥා ඇත්තේ, මුළුලොව්හි උකටලී සංඥා ඇත්තේ, සියලු සංස්කාරයන් විෂයයෙහි අනිත්‍යානුදර්ශී වූයේ වෙසෙයි. ඔහුගේ සිත්හි මරණසංඥාව මැනවින් එළඹ සිටියේ වෙයි. හේ ශ්‍රද්ධාබල ය, හ්‍රීබල ය, අපත්‍රපාබල ය, වීර්‍ය්‍යබලය, ප්‍රඥාබල ය දැ යි මේ පඤ්ච ශෛක්‍ෂබලයන් ඇසුරු කොට වෙසෙයි. ඔහුට මේ ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය යන මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෘදු වූවාහු පහළ වෙති. හේ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ මෘදු බැවින් ආස්‍රවක්‍ෂය පිණිස ආනන්තරික මාර්‍ග සමාධියට ලැසි ව පැමිණේ. මහණෙනි, මේ දුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා යී කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි අශුභයන් නුවණින් දක්නාසුලු වූයේ, අහරෙහි පිළිකුල් සංඥා ඇත්තේ, සව්ලොව්හි උකටලී සංඥා ඇත්තේ, සර්‍වසංස්කාරයන් විෂයයෙහි අනිත්‍යය නුවණින් බලනසුලු වූයේ වෙසෙයි. ඔහුගේ සිත්හි මරණසංඥාව මොනොවට එළඹ සිටියේ වෙයි. හේ ශ්‍රද්ධාබල ය, හ්‍රීබල ය, අපත්‍රපාබල ය, වීර්‍ය්‍යබලය, ප්‍රඥාබල ය දැ යි මේ පඤ්ච ශෛක්‍ෂබලයන් ඇසුරු කොට වෙසෙයි. ඔහුට ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය යන මේ පඤ්චේන්‍ද්‍රියයෝ අධිමාත්‍ර වූවාහු පහළ වෙති. හේ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ අධිමාත්‍රතායෙන් ආස්‍රවක්‍ෂය පිණිස ආනන්තරිකමාර්‍ගසමාධියට ශීඝ්‍ර ව පැමිණේ. මහණෙනි, මේ දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා යී කියනු ලැබේ.
මහණෙනි, සුඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා කවර? මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුසල් දහමින් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ. විතර්‍කවිචාරයන්ගේ ව්‍යපශමයෙන් ආධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිතෙහි එකඟබව ඇති විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ. ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සම්‍යක් ප්‍රඥා ඇත්තේ වෙසෙයි. කයින් සුව ද විඳියි. ‘උපේක්‍ෂා ඇතියේ ස්මෘතිමත් වූයේ සුඛවිහාරියෙකි’යි ආර්‍ය්‍යයෝ යම් ඒ පුඟුලකු පවසත් ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. සුඛයාගේ ප්‍රහාණයෙන් ද, දුඃඛයාගේ ප්‍රහාණයෙන් ද කැල ම සොම්නස්දොම්නස් දෙක නැතිවී යාමෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්‍ෂා විසින් කළ ස්මෘතිපාරිසුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ. හේ මේ ශ්‍රද්ධාබල, හ්‍රීබල, අපත්‍රපාබල, වීර්‍ය්‍යබල, ප්‍රඥාබල දැයි පඤ්ච ශෛක්‍ෂබලයන් ඇසුරු කොට වෙසෙයි. ඔහුට ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය යන මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෘදු වූවාහු පහළ වෙත්. හේ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ මෘදුත්‍වයෙන් ආස්‍රවක්‍ෂය පිණිස ආනන්තරික මාර්‍ගසමාධියට ලැසි ව පැමිණේ. මහණෙනි, මේ සුඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා යී කියනු ලැබේ.
මහණෙනි, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුසල් දහමින් වෙන්ව ම සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ. ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ. හේ සද්ධාබල, හිරිබල, ඔත්තප්පබල, විරියබල, පඤ්ඤාබල යන මේ පඤ්ච ශෛක්‍ෂබලයන් ඇසුරු කොට වෙසේ. ඔහුට සද්ධින්‍ද්‍රිය, විරියින්‍ද්‍රිය, සතින්‍ද්‍රිය, සමාධීන්‍ද්‍රිය, පඤ්ඤින්‍ද්‍රිය ය යන මේ පඤ්චේන්‍ද්‍රියයෝ අධිමාත්‍රව පහළ වෙත්. හේ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ අධිමාත්‍රතායෙන් ආස්‍රවක්‍ෂය පිණිස ආනන්තරික මාර්‍ගසමාධියට ශීඝ්‍ර ව පැමිණේ. මහණෙනි, මේ සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා යී කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝ වෙති.
4. 4. 2. 4.
[සිවුවැනි ප්‍රතිපදා සූත්‍රය]
14. මහණෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
අනධිවාසනා (නො ඉවසීම්) සඞ්ඛ්‍යාත අක්ඛමා පටිපදා ය, අධිවාසනා (ඉවසීම්) සඞ්ඛ්‍යාත ඛමා පටිපදා ය, (ඉන්‍ද්‍රියදමන සඞ්ඛ්‍යාත) දමා පටිපදා ය, (අකුශලවිතර්‍කයන්ගේ ව්‍යපසම සඞ්ඛ්‍යාත) සමා පටිපදා යි.
මහණෙනි, අක්ඛමා පටිපදා නම් කවර යත්: මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආක්‍රෝශ කරන්නහුට පෙරළා ආක්‍රෝශ කෙරෙයි. ඝටන්නහුට පෙරළා ඝටයි. පහර දෙන්නහුට පෙරළා පහර දෙයි. මහණෙනි, මේ අක්ඛමා පටිපදා නමු.
මහණෙනි, ඛමා පටිපදා නම් කවර? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආක්‍රෝශ කරන්නහුට වටාලා ආක්‍රෝශ නො කෙරෙයි. ඝටන්නහුට වටාලා නො ඝටයි. පහර දෙන්නහුට වටාලා නො ම පහර දෙයි. මහණෙනි, මේ ඛමා පටිපදා නමු.
මහණෙනි, දමා පටිපදා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණෙක් ඇසින් රූ දැක නිමිත්තග්‍රාහී නො වෙයි. අනුව්‍යඤ්ජනග්‍රාහී නො ද වෙයි. යම් හෙයෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට වසන තෙල මහණහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලමු දහම්හු ලුහුබැඳ එද්ද, එහි සංවරය පිණිස පිළිපදී. චක්‍ෂුරින්‍ද්‍රිය රකියි. චක්‍ෂුරින්‍ද්‍රියෙහි සංවරයට පැමිණේ. කණින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ අසා ... දිවෙන් රස විඳ ... කයින් පහස පැහැසැ ... සිතින් දහම් දැන නිමිත්තග්‍රාහී නො වේ. අනුව්‍යඤ්ජනග්‍රාහී නො ද වේ. යම් හෙයෙකින් මනින්‍ද්‍රිය ය අසංවෘත කොට වසන තෙල මහණහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලමු දහම්හු ලුහුබැඳ එද්ද, එහි සංවරය පිණිස පිළිපදී. මනින්‍ද්‍රියය රක්නේ මනින්‍ද්‍රියෙහි සංවරයට පැමිණේ. මහණෙනි, මේ දමා පටිපදා යී කියනු ලැබේ.
මහණෙනි, සමා පටිපදා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණෙක් උපන් කාමවිතර්‍ක සිත්හි නො වසවයි, දුරු කෙරේ, බැහැර කෙරේ, සමනය කෙරේ, පිරිසිඳ ලයි, අභාවයට පමුණුව යි. උපන් ව්‍යාපාදවිතර්‍කය ... උපන් විහිංසාවිතර්‍කය ... උපනුපන් ලමු අකුසලදහම් සිත්හි නො වසවයි, දුරු කෙරේ, බැහැර කෙරේ, සමනය කෙරේ, විගතාන්ත කෙරේ, අනභාවයට පමුණුවයි. ‘මහණෙනි, මේ සමා පටිපදා යී’ කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝ යි.
4. 4. 2. 5.
[පස්වැනි ප්‍රතිපදා සූත්‍රය]
15. මහණෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
අක්ඛමා පටිපදා ය, ඛමා පටිපදා ය, දමා පටිපදා ය, සමා පටිපදා යී.
මහණෙනි, අක්ඛමා පටිපදා නම් කවර? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීත උෂ්ණ බඩසය පවස මැසි මදුරු වා අව් දිග්දැහැ යන මුන්ගේ පහස් නොඉවසන්නේ වෙයි. නපුරු කොට බිණූ නපුරු කොට පැමිණි වචනයන් ද, දුක් වූ තීව්‍ර වූ ඛර වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ ශරීරසන්නිහිත වේදනාවන් නොඉවසන සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මේ අක්ඛමා පටිපදා ය යි කියනු ලැබේ.
මහණෙනි, ඛමා පටිපදා නම් කවර? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීතය උෂ්ණය ඉවසන්නේ වෙයි. ... ඉවසන සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මේ ඛමා පටිපදා ය යි කියනු ලැබේ.
මහණෙනි, දමා පටිපදා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණෙක් ඇසින් රූ දැක නිමිති නොගන්නාසුලු වෙයි ... කණින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ අසා ... දිවින් රස විඳ ... කයින් පහස වැද ... සිතින් දහම් දැනැ නිමිති නොගන්නාසුලු වෙයි. අනුව්‍යඤ්ජන නොගන්නාසුලු වෙයි. යම් හෙයෙකින් මනින්‍ද්‍රියය අසංවෘත කොට වසන තෙල මහණහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත පාපක අකුශලධර්‍මයෝ ලුහුබැඳ ගණිත් ද, එහි සංවරය පිණිස පිළිපදී. මනින්‍ද්‍රියය රක්නේ මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. මහණෙනි, මේ දමා පටිපදාය යි කියනු ලැබේ.
මහණෙනි, සමා පටිපදා නම් කවර? මහණෙනි, මෙසස්නෙහි මහණෙක් උපන් කාමවිතර්‍ක නො ඉවසයි, දුරු කෙරේ, විනෝදනය කෙරේ, සංසිඳුවයි, පිරිසිඳලයි, අනභාවයට පමුණුවයි. උපන් ව්‍යාපාද විතර්‍ක ... උපන් විහිංසාවිතර්‍ක ... උපනුපන් ලමු අකුසල දහම් නො ඉවසයි, දුරු කෙරේ, බැහැර කෙරේ, සංහිඳුවයි, විගතාන්ත කෙරේයි, අභාවයට යවයි. මහණෙනි, මේ සමා පටිපදා ය යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ප්‍රතිපදා වෝ යි.
4. 4. 2. 6.
[සවැනි ප්‍රතිපදා සූත්‍රය]
16. මහණෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති එකෙක, දුක් වූ ප්‍රතිපදා ඇති ශීඝ්‍ර වූ අභිඥා ඇති එකෙක, සුඛ වූ ප්‍රතිපදා ඇති ලැසි අභිඥා ඇති එකෙක, සුඛ ප්‍රතිපදා ඇති ශීඝ්‍ර වූ අභිඥා ඇති එකෙක.
මහණෙනි, එහි ලා යම් මේ දුක් වූ දන්‍ධාභිඥ වූ ප්‍රතිපදාවක් වේ ද, මේ ප්‍රතිපදාව දෙපසින් ම හීන ය යි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් දුක් වේ ද, මෙයිනුදු මේ ප්‍රතිපදාව හීන ය යි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් දන්‍ධාභිඥ වේ ද, මෙයිනුදු මේ ප්‍රතිපදාව හීන ය යි කියනු ලැබේ. මහණෙනි, මේ ප්‍රතිපදාව මෙසේ දෙපසින් ම හීන ය යි කියනු ලැබේ.
මහණෙනි, එහි ලා දුක් වූ ක්‍ෂිප්‍රාභිඥ වූ යම් මේ ප්‍රතිපදාවක් ඇද් ද, මහණෙනි, මේ ප්‍රතිපදාව දුක් බැවින් හීනය යි කියනු ලැබේ.
මහණෙනි, එහි ලා සුව වූ දන්‍ධාභිඥ වූ යම් මේ ප්‍රතිපදාවක් ඇද් ද, මහණෙනි, මේ ප්‍රතිපදාව දන්‍ධ බැවින් හීනය යි කියනු ලැබේ.
මහණෙනි, එහි ලා සුව වූ ක්‍ෂිප්‍රාභිඥ වූ යම් මේ ප්‍රතිපදාවක් වේ ද, මේ ප්‍රතිපදාව දෙපසින් ම ප්‍රණීතය යි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් සුව වේ ද, මෙයිනුදු මේ ප්‍රතිපදාව ප්‍රණීත ය යි කියනු ලැබේ. යම් මේ ප්‍රතිපදාවක් ක්‍ෂිප්‍රාභිඥ වේ ද මෙයිනුදු මේ ප්‍රතිපදාව ප්‍රණීත ය යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ ප්‍රතිපදාව දෙපසින් ම ප්‍රණීත ය යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝ යි.
4. 4. 2. 7.
[මොග්ගල්ලානපටිපදා සූත්‍රය]
17. එසඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් හා සතුටු වූහ. සතුටට හේතු වූ ස්මරණීය කථා කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට තෙල කීහ:
ඇවැත් මුගලනෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
දුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා ය, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා ය, සුඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා ය, සුඛාපටිපදා ඛිප්පාභිඤිඤා යි. ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවෝ යි.
ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවන් අතුරෙන් කවර ප්‍රතිපදාවකට පැමිණ තොපගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන් කෙරෙන් මිදිනි ද?
ඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
දුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා ය, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා ය, සුඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා ය, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා යි. ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවෝ යි.
ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවන් අතුරෙන් නො සරස් ව ප්‍රතිවේධ ගන්නා යම් මේ දුක් වූ ප්‍රතිපදාවක් වේ ද, ක්‍ෂිප්‍රාභිඥ මේ ප්‍රතිපදාවට පැමිණ මාගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන් කෙරෙන් මිදින.
4. 4. 2. 8.
[සාරිපුත්තපටිපදා සූත්‍රය]
18. එසඳ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සතුටු වූහ. සම්මෝදනයට හේතු වූ සාරාණීය වූ කථාව නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ:
ඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:
දුක්ඛා පටිපදා දන්‍ධා භිඤ්ඤාය, දුක්ඛා පටිපදා ඛිප්පා භිඤ්ඤාය, සුඛා පටිපදා දන්‍ධා භිඤ්ඤා ය, සුඛා පටිපදා ඛිප්පා භිඤ්ඤා යි. ඇවැත් ශාරීපුත්‍රයෙනි, මේ සතර ප්‍රතිපදාවෝ යි.
ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවන් අතුරෙන් කවර ප්‍රතිපදාවකට පැමිණ තොපගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන් කෙරෙන් මිදිනි ද?
ඇවැත් මෞද්ගල්‍යායනයෙනි, මේ ප්‍රතිපදාවෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:
දුක්ඛා පටිපදා දන්‍ධා භිඤ්ඤාය, දුක්ඛා පටිපදා ඛිප්පා භිඤ්ඤාය, සුඛා පටිපදා දන්‍ධා භිඤ්ඤාය, සුඛා පටිපදා ඛිප්පා භිඤ්ඤා යි. ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවෝ යි.
ඇවැත්නි, මේ සතර ප්‍රතිපදාවන් අතුරෙන් යම් ඒ ප්‍රතිපදාවක් සුඛ වේ ද, ක්‍ෂිප්‍රාභිඥ වේ ද, මේ ප්‍රතිපදාවට පැමිණ මාගේ සිත උපාදාන, විසින් නො ගෙණ ආස්‍රවයන් කෙරෙන් මිදින.
4. 4. 2. 9.
[කිලේස පරිනිබ්බාන සූත්‍රය]
19. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයේ විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මෙලොව්හි ම සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කායභේදයෙන් මතුයෙහි සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි. මෙලොව ඇතැම් පුද්ගලයෙක් මෙලොව්හි ම අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කායභේදයෙන් මතුයෙහි අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල මෙලොව ම සසඞ්ඛාරපරිනිබ්බායී වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි අශුභය නුවණින් දක්නේ ආහාරයෙහි පිළිකුල් සංඥා ඇත්තේ සියලු ලෝකයෙහි අනභිරතසංඥා ඇත්තේ සියලු සංස්කාරයෙහි අනිත්‍යය නුවණින් දක්නාසුලු වූයේ වෙසෙයි. ඔහුගේ සිත්හි මරණ සංඥාව මැනවින් එළඹ සිටිනී වෙයි. හේ මේ පඤ්චසේඛබලයන් ඇසුරු කොට වෙසෙයි: ශ්‍රද්ධාබල ය, හ්‍රීබල ය, අපත්‍රපාබල ය, වීර්‍ය්‍යබල ය, ප්‍රඥාබල යි. ඔහුට මේ පඤ්චේන්‍ද්‍රියයෝ අධිමාත්‍ර ව පහළවෙත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය යි. හේ මේ පසිඳුරන් අධිමාත්‍ර ව ඇතියෙන් මෙලොව ම සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල මෙලොව ම සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල කායභේදයෙන් මතුයෙහි සසඞ්ඛාරපරිනිබ්බායී වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි අශුභය නුවණින් දක්නාසුලු වූයේ ආහාරයෙහි පිළිකුල් සන් ඇතියේ මුළුලොව නොඇලුනු සන් ඇතියේ සව්සකරෙහි අනිස නුවණින් දක්නාසුලු වූයේ වෙසෙයි. ඔහුට මරණසංඥාව සිත තුළ සූපස්ථිත වෙයි. හේ මේ පඤ්චශෛක්‍ෂබලයන් උපනිඃශ්‍රය කොට ගෙණ වෙසෙයි: ශ්‍රද්ධාබල ය, හ්‍රීබල ය, අපත්‍රපාබල ය, වීර්‍ය්‍යබල ය, ප්‍රඥාබල යි. ඔහුට මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෘදු ව වටහත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය යි. හේ මේ පසිඳුරන්ගේ මොළොක් බැවින් කායභේදයෙන් මතුයෙහි සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල කායභේදයෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල මෙලොව ම අසඞ්ඛාරපරිනිබ්බායී වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ මේ පඤ්චශෛක්‍ෂබලයන් ඇසුරු කොට ගෙණ වෙසෙයි: ශ්‍රද්ධාබල ය, හ්‍රීබල ය, අපත්‍රපාබල ය, වීර්‍ය්‍යබල ය, ප්‍රඥාබල යි. ඔහුට මේ පඤ්චේන්‍ද්‍රියයෝ අධිමාත්‍ර ව පහළ වෙත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය යි. හේ මේ පසිඳුරන් අධිමාත්‍ර බැවින් දිටුදැමියෙහි ම අසඞ්ඛාරපරිනිබ්බායී වේ. මහණෙනි, මෙසේ පුද්ගල ඉහාත්මයෙහි ම අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල කායභේදයෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. හේ මේ පඤ්චශෛක්‍ෂබලයන් ඇසුරු කොට ගෙණ වෙසෙයි: ශ්‍රද්ධාබල ය, හ්‍රීබල ය, අපත්‍රපාබල ය, වීර්‍ය්‍යබල ය, ප්‍රඥාබල යි. ඔහුට මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෘදු ව පහළ වෙත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය යි. හේ මේ පසිඳුරන් මොළොක් බැවින් කායභේදයෙන් මතුයෙහි අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල කායභේදයෙන් මතුයෙහි අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි විද්‍යමානයහ.
4. 4. 2. 10.
[අරහත්තප්පතති සූත්‍රය]
20. එක්කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ “ඇවැත් මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ තෙල ප්‍රකාශ කළහ:
ඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ වේවයි මෙහෙණක් හෝ වේවයි මා කෙරෙහි අර්‍හත්ත්‍වප්‍රාප්තිය පවසා ද, ඒ හැම සතර මගින් හෝ මොවුන් අතුරෙන් එක්තරා එකෙකින් හෝ වෙයි. කවර සතර මගින යත්:
ඇවැත්නි, මෙසස්නෙහි මහණ සමථ පූර්‍වඞ්ගම කොට විවසුන් භවයි. සමථපූර්‍වඞ්ගම කොට විවසුන් වඩන උහුට ප්‍රථම ලෝකෝත්තර මාර්‍ගය උපදනේ ය. හේ එමග සෙවුනේ ය. වඩනේ ය. බහුල විසින් කරන්නේ ය. එමග සෙවුනා වඩනා බහුල විසින් කරණ ඔහට සඤ්ඤෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
තවද ඇවැත්නි, මහණ විදර්‍ශනා පූර්‍වඞ්ගම කොට සමථය වඩයි. විදර්‍ශනාපූර්‍වඞ්ගම කොට සමථය වඩන උහුට මාර්‍ගය උපදී. හේ එමග සෙවුනේ ය. වඩනේ ය. බහුල විසින් කරන්නේ ය. එමග සෙවුනා වඩනා බහුල විසින් කරණ ඔහට සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
තවද ඇවැත්නි, මහණ සමථ විදර්‍ශනා යුගනද්ධ කොට ගෙණ වඩයි. විදර්‍ශනා යුගනද්ධ කොට ගෙණ වඩන ඔහුට මාර්‍ගය උපදනේ ය. හේ එමග සෙවුනේ ය. වඩනේ ය. බහුල විසින් කරන්නේ ය. එමග සෙවුනා වඩනා බහුල විසින් කරණ ඔහට සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
තවද ඇවැත්නි, මහණහට සමථ විදර්‍ශනා ධර්‍මයෙහි දශෝපක්ලේශ සඞ්ඛ්‍යාත උද්ධතභාවයෙන් පෙළා ගත් අධිමානය වෙයි. ඇවැත්නි යම් කලෙක ඒ විදර්‍ශනාවීථියට බැසගත් සිත ගෝචර සඞ්ඛ්‍යාත ආධ්‍යාත්ම ආලම්බනයෙහි ම පිහිටා ද, සන්හිඳී ද, එකඟ වේ ද, සමාහිත වේ ද, එබඳු කාලයෙක් වෙයි. ඔහුට මාර්‍ගය උපදී. හේ එමග සෙවුනේ ය. වඩනේ ය. බහුල විසින් කරන්නේ ය. එමග සෙවුනා වඩනා බහුල විසින් කරණ ඔහට සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
ඇවැත්නි, යම් කිසි මහණෙක් වේවයි මෙහෙණක් වේවයි මා කෙරෙහි අර්‍හත්ත්‍වප්‍රාප්තිය පවසා ද, එ හැම මේ සතර මගින් හෝ මොවුනතුරෙන් එක්තරා එකෙකින් හෝ පවසත්.
ප්‍රතිපදාවර්‍ගය දෙවැනි යි.
3. සඤ්චේතනිය වර්‍ගය
4. 4. 3. 1.