මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනතුරු උත්පත්තිය පිණිස හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. උපපත්ති භවය පිණිස හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.
මහණෙනි, කවර පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද, අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද, උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද? සකෘදාගාමීහට ය. මහණෙනි, මේ සකෘදාගාමී පුද්ගලයාහට ඕරම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. (ඔහුට ඉතිරි ඕරම්භාගිය සංයෝජන සඳහා කියූ සේය.) අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
මහණෙනි, කවර පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද? අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද, උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද? උද්ධංසෝත අකනිට්ඨගාමීහට ය. මහණෙනි, මේ උද්ධංසෝත අකනිට්ඨගාමී පුද්ගලයාහට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
මහණෙනි, කවර පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද, අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද, උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත් ද? අන්තරාපරිනිබ්බායීහට ය. මහණෙනි, මේ අන්තරාපරිනිබ්බායී පුද්ගලයාහට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ අප්‍රහීණ වෙත්.
මහණෙනි, කවර පුද්ගලයකුට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද, අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද, උපපත්තිභවප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද? අර්‍හත්හට ය. මහණෙනි, අර්‍හත් පුද්ගලයාහට ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනන්තරොත්පත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. උපපත්තිප්‍රතිලාභයට හේතු වූ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.
මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගලයෝ විද්‍යමානයහ.
4. 3. 4. 2.
[පටිභානපුග්ගල සූත්‍රය]
32. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
අර්‍ත්‍ථයුක්තප්‍රතිභාන (වැටහීම්) ඇත්තේ, වහා අවුල් මුදා බණන ප්‍රතිභාන නැත්තේ ය. අවුල් මුදා බණන ප්‍රතිභාන ඇත්තේ, අර්‍ත්‍ථයුක්ත ප්‍රතිභාන නැත්තේ ය. අවුල් මුදා බණන ප්‍රතිභාන ද ඇත්තේ, අර්‍ත්‍ථ යුක්ත ප්‍රතිභාන ද ඇත්තේ ය. අර්‍ත්‍ථයුක්ත ප්‍රතිභාන නැත්තේ අවුල් මුදා බණන ප්‍රතිභාන ද නැත්තේ ය.
මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගලයෝ විද්‍යමානයහ.
4. 3. 4. 3.
[නෙය්‍යපුග්ගල සූත්‍රය]
33. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
උද්ඝාටිතඥ ය, විපථතඥ ය, නෙය්‍ය ය, පදපරම යි.
මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙන විද්‍යමානයහ.
4. 3. 4. 4.
[ඵලූපජීවීපුග්ගල සූත්‍රය]
34. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්?
උට්ඨානවීර්‍ය්‍යඵලයෙන් ජීවත් වනසුලු කර්‍මඵලයෙන් ජීවත් නොවනසුලු පුද්ගල ය, කර්‍මඵලයෙන් ජීවත් වනසුලු උට්ඨානවීර්‍ය්‍යඵලයෙන් ජීවත් නොවනසුලු පුද්ගල ය, උට්ඨානවීර්‍ය්‍යඵලයෙනුදු ජීවත් වනසුලු කර්‍මඵලයෙනුදු ජීවත් වනසුලු පුද්ගල ය, උට්ඨානවීර්‍ය්‍යඵලයෙන් ජීවත් නො වනසුලු කර්‍මඵලයෙනුදු ජීවත් නොවනසුලු පුද්ගල යි.
මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙන විද්‍යමානයහ.
4. 3. 4. 5.
[වජ්ජපුග්ගල සූත්‍රය]
35. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
සාවද්‍යය, වද්‍යබහුලය, අල්පවද්‍යය, අනවද්‍ය යි.
මහණෙනි, කෙසේ පුද්ගල සාවද්‍ය වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සාවද්‍ය කායකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. සාවද්‍ය වාක්කර්‍මයෙන් සමන්‍වාගත වෙයි. සාවද්‍ය මනඃකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සාවද්‍ය වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල වද්‍යබහුල වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් බොහෝසෙයින් සාවද්‍ය කායකර්‍මයෙන් සමන්‍වාගත වෙයි, අනවද්‍ය කායකර්‍මයෙන් අල්ප කොට ය. බොහෝසෙයින් සාවද්‍ය වාක්කර්‍මයෙන් සමන්‍වාගත වෙයි, අනවද්‍ය වාක්කර්‍මයෙන් අල්ප කොට ය. බොහෝසෙයින් සාවද්‍ය මනඃකර්‍මයෙන් සමන්‍වාගත වෙයි, අනවද්‍ය මනඃකර්‍මයෙන් අල්පකොට ය. මහණෙනි, මෙසේ පුද්ගල වද්‍යබහුල වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල අල්පවද්‍ය වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් අනවද්‍ය කායකර්‍මයෙන් බහුලකොට සමන්‍වාගත වෙයි. සාවද්‍ය කායකර්‍මයෙන් අල්ප කොට ය. අනවද්‍ය වාක්කර්‍මයෙන් බහුල කොට සමන්‍වාගත වෙයි. සාවද්‍ය වාක්කර්‍මයෙන් අල්ප කොට ය. අනවද්‍ය මනඃකර්‍මයෙන් බහුල කොට සමන්‍වාගත වෙයි. සාවද්‍ය මනඃකර්‍මයෙන් අල්ප කොට ය. මහණෙනි, මෙසේ පුද්ගල අල්පවද්‍ය වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල අනවද්‍ය වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් අනවද්‍ය කායකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. අනවද්‍ය වාක්කර්‍මයෙන් සමන්‍වාගත වෙයි. අනවද්‍ය මනඃකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල අනවද්‍ය වේ.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 3. 4. 6.
[පරිපූරකාරීපුග්ගල සූත්‍රය]
36. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්?
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලයෙහි පරිපූරකාරී නො වේ. සමාධියෙහි පරිපූරකාරී නො වේ. ප්‍රඥායෙහි පරිපූරකාරී නො වේ. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලයෙහි පරිපූරකාරී වේ. සමාධියෙහි පරිපූරකාරී නො වේ. ප්‍රඥායෙහි පරිපූරකාරී නො වේ. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලයෙහි පරිපූරකාරී වේ. සමාධියෙහි පරිපූරකාරී වේ. ප්‍රඥායෙහි පරිපූරකාරී නො වේ. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලයෙහි පරිපූරකාරී වේ. සමාධියෙහි පරිපූරකාරී වේ. ප්‍රඥායෙහි පරිපූරකාරී වේ.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 3. 4. 7.
[ගරුපුග්ගල සූත්‍රය]
37. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලගරුක නො වේ, ශීලය අධිපති කොට ඇත්තේ ද නො වේ. සමාධිගරුක නො වේ. සමාධිය අධිපති කොට ඇත්තේ ද නො වේ. ප්‍රඥාගරුක නො වේ. ප්‍රඥාව අධිපති කොට ඇත්තේ ද නො වේ.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලගරුක වේ, ශීලය අධිපති කොට ඇත්තේ ද වේ. සමාධිගරුක නො වේ. සමාධිය අධිපති කොට ඇත්තේ ද නො වේ. ප්‍රඥාගරුක නො වේ. ප්‍රඥාව අධිපති කොට ඇත්තේ ද නො වේ.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලගරුක වේ, ශීලය අධිපති කොට ඇත්තේ වේ. සමාධිගරුක වේ, සමාධිය අධිපති කොට ඇත්තේ ද වේ. ප්‍රඥාගරුක නො වේ. ප්‍රඥාව අධිපතිකොට ඇත්තේ ද නො වේ.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලගරුක වේ, ශීලය අධිපති කොට ඇත්තේ වේ. සමාධිගරුක වේ. සමාධිය අධිපති කොට ඇත්තේ වේ. ප්‍රඥාගරුක වේ. ප්‍රඥාව අධිපතිකොට ඇත්තේ වේ.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ.
4. 3. 4. 8.
[නිකට්ඨපුග්ගල සූත්‍රය]
38. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
(වෙනෙන්) ඇද ගත් කය ඇත්තේ (වනයට) වැද ගත් සිත් ඇත්තේ ය. වැද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ඇත්තේ ය. වැද ගත් කය ඇත්තේ වැද ගත් සිත් ද ඇත්තේ ය. ඇද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ද ඇත්තේ ය.
මහණෙනි, කෙසේ පුද්ගල ඇද ගත් කය ඇත්තේ වැද ගත් සිත් ඇත්තේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුල්ගලයෙක් අරණ්‍ය සෙනසුන් ද, වානප්‍රස්ථයන් ද, ගැඹුරු වල් සෙනසුන් ද, සෙවුනේ ය. හේ එහි ලා කාමවිතර්‍කය ද විතර්‍කණය කෙරේ. ව්‍යාපාදවිතර්‍කය ද විතර්‍කණය කෙරේ. විහිංසාවිතර්‍කය ද විතර්‍කණය කෙරේ. මහණෙනි, මෙසේ පුද්ගල ඇදගත්, කය ඇත්තේ වැද ගත් සිත් ඇත්තේ වේ.
මහණෙනි, කෙසේ පුද්ගල වැද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ඇත්තේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුල්ගලයෙක් අරණ්‍යයන් ද, වානප්‍රස්ථයන් ද, ගැඹුරු වල් සෙනසුන් ද නො ම සෙවුනේ ය. හේ එහි නෙක්ඛම්ම විතර්‍කය ද, විතර්‍කණය කෙරෙයි, අව්‍යාපාද විතර්‍කය ද විතර්‍කණය කෙරෙයි, අවිහිංසා විතර්‍කය ද විතර්‍කණය කෙරෙයි. මහණෙනි, මෙසේ පුද්ගල වැද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ඇත්තේ වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල වැද ගත් කය ඇත්තේ වැද ගත් සිත් ද ඇත්තේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුල්ගලයෙක් අරණ්‍යයන් ද, වානප්‍රස්ථයන් ද, ගැඹුරු වන සෙනසුන් ද නොම සෙවුනේ ය. හේ එහි කාමවිතර්‍කය ද විතර්‍කණය කෙරෙයි. ව්‍යාපාදවිතර්‍කණය ද විතර්‍කණය කෙරෙයි. විහිංසාවිතර්‍කය ද විතර්‍කණය කෙරෙයි. මහණෙනි, මෙසේ පුද්ගල වැද ගත් කය ඇත්තේ වැද ගත් සිත් ද ඇත්තේ ය.
මහණෙනි, කෙසේ පුද්ගල ඇද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ඇත්තේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් අරණ්‍යයන් ද, වානප්‍රස්ථයන් ද, ගැඹුරු වන සෙනසුන් ද සෙවුනේ ය. හේ එහි නෙක්ඛම්මවිතර්‍කය ද විතර්‍කණය කෙරේ. අව්‍යාපාදවිතර්‍කය ද විතර්‍කණය කෙරේ. අවිහිංසාවිතර්‍කය ද විතර්‍කණය කෙරේ. මහණෙනි, මෙසේ පුද්ගල ඇද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ඇත්තේ ද වෙයි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි විද්‍යමානයහ.
4. 3. 4. 9.
[ධම්මකථික සූත්‍රය]
39. මහණෙනි. මේ ධර්‍මකථිකයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැම් ධර්‍මකථිකයෙක් අල්ප කොට ද අර්‍ත්‍ථයෙන් අසංයුක්ත කොට ද බෙණේ. පිරිස ද අර්‍ත්‍ථනිඃශ්‍රිත වූ හෝ අනිඃශ්‍රිත වූ හෝ බසට අදක්‍ෂ වේ. මහණෙනි, මෙබඳු ධර්‍මකථික මෙබඳු අදක්‍ෂ පිරිසෙහි “ධර්‍මකථිකයෙක් ම ය” යි ගණයට යේ.
මහණෙනි, මෙලොව ඇතැම් ධර්‍මකථිකයෙක් අල්ප කොට ද අර්‍ත්‍ථ සංයුක්ත කොට ද බෙණේ. පිරිස ද අර්‍ත්‍ථනිඃශ්‍රිත වූ හෝ අනිඃශ්‍රිත වූ බසට දක්‍ෂ වේ. මහණෙනි, මෙබඳු ධර්‍මකථික මෙබඳු දක්‍ෂපිරිසෙහි “ධර්‍මකථිකයෙක් ම ය” යි ගණයට යේ.
මහණෙනි, මෙලොව ඇතැම් ධර්‍මකථිකයෙක් බොහෝ කොට ද අර්‍ත්‍ථයෙන් අසංයුක්ත කොට ද බෙණේ. පිරිස ද අර්‍ත්‍ථනිඃශ්‍රිත වූ හෝ අනිඃශ්‍රිත වූ බසට දක්‍ෂ නො වේ. මහණෙනි, මෙබඳු ධර්‍මකථික මෙබඳු අදක්‍ෂ පිරිසෙහි ‘ධර්‍මකථිකයෙක් ම ය’යි ගණයට යේ.
මහණෙනි, මෙලොව ඇතැම් ධර්‍මකථිකයෙක් බොහෝ කොට ද අර්‍ත්‍ථ සංයුක්ත කොට ද බෙණේ. පිරිස ද අර්‍ත්‍ථනිඃශ්‍රිත වූ හෝ අනිඃශ්‍රිත වූ බසට දක්‍ෂ වේ. මහණෙනි, මෙබඳු ධර්‍මකථික මෙබඳු දක්‍ෂ පිරිසෙහි “ධර්‍මකථිකයෙක් ම ය” යි ගණයට යේ.
මහණෙනි, මේ සතර ධර්‍මකථිකයෝ යි.
4. 3. 4. 10.
[වාදී සූත්‍රය]
40. මහණෙනි, මේ වාදීහු සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්?
මහණෙනි, අර්‍ත්‍ථ විසින් අවසන් කොට ගැණුමට යන ව්‍යඤ්ජන විසින් නොයන වාදී කෙනෙක් ඇත. මහණෙනි, ව්‍යඤ්ජන විසින් පරික්‍ෂයට යන අර්‍ත්‍ථ විසින් නොයන වාදී කෙනෙක් ඇත. මහණෙනි, අර්‍ත්‍ථ විසිනුදු ව්‍යඤ්ජන විසිනුදු පරික්‍ෂයට යන වාදී කෙනෙක් ඇත. මහණෙනි, අර්‍ත්‍ථ විසිනුදු ව්‍යඤ්ජන විසිනුදු පරික්‍ෂයට නොයන වාදී කෙනෙක් ඇත.
මහණෙනි, මේ වාදීහු සතර දෙන යැ. මහණෙනි, සිවුපිළිසැඹියායෙන් සමන්‍වාගත මහණ අර්‍ත්‍ථ විසිනුත් ව්‍යඤ්ජන විසිනුත් පරික්‍ෂයට යේ ය යන තෙල වන්නට අකාරණ ය, අනවකාශ ය. (නො යන්නේ ම ය.)
පුද්ගලවර්‍ගය සිවුවැනි යි.
5. ආභා වර්‍ගය
4. 3. 5. 1.
[ආභා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, මේ ආභාවෝ (විහිදෙන රශ්මීහු) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
චන්‍ද්‍රාභා ය, සූර්‍ය්‍යාභා ය, අග්න්‍යාභා ය, ප්‍රඥාභා යි.
මහණෙනි, මේ ආභාවෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ආභාවන් කෙරෙහි ප්‍රඥාභායෙක් ඇද්ද, තෙල අග්‍ර යි.
4. 3. 5. 2.
[පභා සූත්‍රය]
42. මහණෙනි, මේ ප්‍රභාවෝ (දීප්ත රශ්මිහු) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
චන්‍ද්‍රප්‍රභා ය, සූර්‍ය්‍යප්‍රභා ය, අග්නිප්‍රභා ය, ප්‍රඥාප්‍රභා යි.
මහණෙනි, මේ ප්‍රභාවෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ප්‍රභාවන් කෙරෙහි ප්‍රඥාප්‍රභායෙක් ඇද්ද, තෙල අග්‍ර යි.
4. 3. 5. 3.
[ආලෝක සූත්‍රය]
43. මහණෙනි, මේ ආලෝකයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
චන්‍ද්‍රාලෝක ය, සූර්‍ය්‍යාලොක ය, අගන්‍යාලෝක ය, ප්‍රඥාලොක යි.
මහණෙනි, මේ ආලෝකයෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ආලෝකයන් කෙරෙහි ප්‍රඥාලෝකයෙක් ඇද්ද, තෙල අග්‍ර යි.
4. 3. 5. 4.
[ඕභාස සූත්‍රය]
44. මහණෙනි, මේ අවභාසයෝ (බබලන්නෝ) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
චන්‍ද්‍රාවභාස ය, සූර්‍ය්‍යාවභාස ය, අගන්‍යවභාස ය, ප්‍රඥාවභාස යි.
මහණෙනි, මේ අවභාසයෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර අවභාසයන් කෙරෙහි ප්‍රඥාවභාසයෙක් ඇද්ද, තෙල අග්‍රයි.
4. 3. 5. 5.
[පජ්ජෝත සූත්‍රය]
45. මහණෙනි, මේ ප්‍රද්‍යොතයෝ (ප්‍රභාස්වරයෝ) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
චන්‍ද්‍රප්‍රද්‍යොත ය, සූර්‍ය්‍යප්‍රද්‍යොත ය, අගනිප්‍රද්‍යොත ය, ප්‍රඥාප්‍රද්‍යොත යි.
මහණෙනි, මේ ප්‍රද්‍යොතයෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ප්‍රද්‍යොතයන් කෙරෙහි ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ඇද්ද, තෙල අග්‍ර යි.
4. 3. 5. 6.
[කාල සූත්‍රය]
46. මහණෙනි, මේ කාලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
නිසි කාලයෙහි ධර්‍මශ්‍රවණ ය, නිසි කාලයෙහි ධර්‍මසාකච්ඡා ය, නිසි කාලයෙහි සමථ ය, නිසි කාලයෙහි විදර්‍ශනා යි.
මහණෙනි, මේ කාලයෝ සතර දෙන වෙති.