මහණෙනි, මේ වලාහකයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ගිගිරි ඇත්තේ නොවස්නේය. වස්නේ ගිගිරි නැත්තේය. ගිගිරි ද නැත්තේ වැසි ද නැත්තේ ය. ගිගිරි ද ඇත්තේ වැසි ද ඇත්තේ යි. මහණෙනි, මේ සතර වලාවෝ ය.
මහණෙනි, එපරිදි ම වලා බඳු මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
ගිගිරි ඇත්තේ නොවස්නේය. වස්නේ ගිගිරි නැත්තේය. ගිගිරි ද නැත්තේ වැසි ද නැත්තේ ය. ගිගිරි ද ඇත්තේ වැසි ද ඇත්තේ යි.
මහණෙනි, කෙසේ පුද්ගල තෙමේ ගිගිරි ඇත්තේ නොවස්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් (මෙ ද මෙ ද කරමි යි) බණන්නේත් නො කරන්නේ ය. මහණෙනි, මෙසේ පුද්ගල ගුගුරනුයේ නො වස්නේ නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වලාහක ගිගිරි කරන්නේ නො වස්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල වර්‍ෂා කරන්නේ ගිගුරුම් නො කරන්නේ වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් (නො බැණ ම ඒ ඒ දැය) කරන්නේ වෙයි. බණන්නේ නො වෙයි. මහණෙනි, මෙ පරිදි පුද්ගල වර්‍ෂා කරන්නේ ගිගුරුම් නො කරන්නේ නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වලාහක වර්‍ෂා කරන්නේ ගිගිරි නො කරන්නේ වේ ද, මහණෙනි, මේ පුද්ගලයා මම එබඳු උපමා ඇති කොට කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල ගිගිරි නො කරන්නේත්, වර්‍ෂා නො කරන්නේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නො කියන්නේ ම නො කරන්නේත් වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ගිගිරි නො කරන්නේ ම වර්‍ෂා නො කරන්නේ ද වෙයි. මහණෙනි, යම් පරිදි වලාහක ගිගිරි නො කරන්නේ ම වර්‍ෂා නො කරන්නේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල ගුගුරන්නේත් වස්නේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් බණන්නේත් කරන්නේත් වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ගුගුරන්නේත් වස්නේත් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වලාහක ගුගුරන්නේත් වස්නේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇති කොට කියමි.
මහණෙනි, මේ සතර වැදෑරුම් වලාහකූපම පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 3. 1. 2.
[දුතියවලාහක සූත්‍රය]
2. මහණෙනි, මේ වලාහකයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ගිගිරි කරන්නේ වැසි නො කරන්නේය. වැසි නො කරන්නේ ගිගිරි කරන්නේය. ගිගිරි නො කරන්නේ වැසි ද නො කරන්නේය. ගිගිරි කරන්නේ වැසි ද කරන්නේයි. මහණෙනි, මේ සතර වලාහකයෝ ය.
මහණෙනි, එපරිදි ම මේ වලාහකූපම පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර සතර දෙනෙක යත්:
ගිගිරි කරන්නේ වැසි නො කරන්නේය. වැසි කරන්නේ ගිගිරි නො කරන්නේය. ගිගිරි නො කරන්නේ ම වැසි ද නො කරන්නේය. ගිගිරි කරන්නේත් වැසි ද කරන්නේ යි.
මහණෙනි, කෙසේ පුද්ගල ගිගිරි කරන්නේ වැසි නො කරන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් හදාරයි. හේ “මේ දුකැ” යි තත් වූ පරිදි නො දන්නේ ය. “මේ දුඃඛසමුදය” යි තත් වූ පරිදි නො දන්නේ ය. “මේ දුඃඛනිරෝධය” යි තත් වූ පරිදි නො දන්නේ ය. “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි තත් වූ පරිදි නො දන්නේ ය. මහණෙනි, මෙසේ පුද්ගල ගිගිරි කරන්නේ වැසි නො කරන්නේ ය. මහණෙනි, යම් පරිදි වලාහක ගිගිරි කරන්නේ වැසි නො කරන්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල වැසි කරන්නේ ගිගිරි නො කරන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් නොහදාරනුයේ වෙයි. හෙතෙම “මේ දුකැ” යි තත් වූ පරිදි දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල වැසි කරන්නේ ගිගිරි නො කරන්නේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වලාහක වැසි කරන්නේ ගිගිරි නො කරන්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල ගිගිරි නො කරන්නේ ම වැසි නො කරන්නේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් නො හදාරයි. හේ “මේ දුකැ” යි තත් වූ පරිදි නො දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල ගිගිරි නො කරන්නේ ම වැසි ද නො කරන්නේ ය. මහණෙනි, යම් පරිදි ඒ වලාහක ගිගිරි නො කරන්නේ ම වැසි ද නො කරන්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල ගිගිරි කරන්නේත් වැසි කරන්නේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් හදාරයි. හේ “මේ දුකැ” යි තත් වූ පරිදි දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල ගිගිරි කරන්නේත් වැසි කරන්නේත් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වලාහක ගුගුරන්නේත් වස්නේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
මහණෙනි, මේ සතර වැදෑරුම් පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 3. 1. 3.
[කුම්භ සූත්‍රය]
3. මහණෙනි, මේ කුම්භයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ඇතුළත සිස් වූ පිටත පියු මුව ඇති එකෙක. ඇතුළත දිය පිරුණු නො පියු මුව ඇති එකෙක. ඇතුළත සිස් වූ නො පියූ මුව ඇති එකෙක. ඇතුළත දිය පිරුණු පියු මුව ඇති එකෙක. මේ සතර කුම්භයෝය.
මහණෙනි, එපරිදි ම මේ කුම්භොපම පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
ඇතුළත සිස් වූ පියු මුව ඇති එකෙක. ඇතුළත පිරුණු වළ කට ඇති එකෙක. ඇතුළත සිස් වූ වළ කට ඇති එකෙක. ඇතුළත පිරුණු පියු කට ඇති එකෙක.
මහණෙනි, කෙසේ පුද්ගල ඇතුළත හිස් වූයේ පියු මුව ඇතියේ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලකුගේ ඉදිරි යෑම, වටාලා ඊම, ඉදිරි බැලීම, ඔබමොබ බැලීම, අත්පා හැකිලීම, අත්පා දිග හැරීම, සඟළ පාසිවුරු ධැරීම ප්‍රසාද එළවන්නේ වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි නො දනී “මේ දුක්ඛසමුදය”යි ... “මේ දුක්ඛනිරෝධය”යි ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා ය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල ඇතුළත සිස් වූයේ පිටත පියු මුව ඇතියේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ කුම්භය ඇතුළත සිස් වූයේ පිටත පියු මුව ඇතියේ වේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල ඇතුළත පිරුණේ පිටත වළ මුව ඇතියේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයකුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, ඔබමොබ බැලීම, අත්පා හැකිලීම, අත්පා දිග හැරීම, සඟළ පා සිවුරු ධැරීම ප්‍රසාද එළවන්නේ නො වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා ය”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල ඇතුළත පිරුණේ පිටත විවෘත වූයේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ කුම්භය ඇතුළත පිරුණේ පිටත විවෘත වූයේ වේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල ඇතුළත සිස් වූයේ පිටත විවෘත වූයේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයකුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, ඔබමොබ බැලීම, අත්පා හැකිලීම, අත්පා දිගු කිරීම, සඟළ පාසිවුරු ධැරීම ප්‍රසාද එළවන්නේ නො වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි නො දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා ය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල ඇතුළත සිස් වූයේ පිටත විවෘත වූයේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ කුම්භය තෙමේ ඇතුළත හිස් වූයේ පිටත විවෘත වූයේ වේද, මහණෙනි, මම මේ පුද්ගල එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල ඇතුළත පිරුණේ පිටත පියු මුව ඇතියේ වේ ද, මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයකුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, ඔබමොබ බැලීම, අත්පා හැකිලීම, අත්පා දිගු කිරීම, සඟළ පාසිවුරු ධැරීම ප්‍රසාද එළවන්නේ වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි දනී ... “මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදා ය”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල ඇතුළත පිරුණේ පිටත පියු මුව ඇතියේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ කුම්භය ඇතුළත පිරුණේ පිටත පියු මුව ඇතියේ වේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ’යි කියමි.
මහණෙනි, මේ සතර වැදෑරුම් කුම්භොපම පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානය හ.
4. 3. 1. 4.
[උදකරහද සූත්‍රය]
4. මහණෙනි, මේ දිය පිරුණු දහතළාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
නො ගැඹුරු වූ (එහෙත්) ගැඹුරු සේ පැණෙන එකෙක, ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන එකෙක. නො ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන එකෙක. ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන එකෙක. මහණෙනි, මේ සතර දිය පිරුණු දහතළාවෝ යි.
මහණෙනි, එපරිදි ම දහතළා බඳු පුද්ගලයෝ මේ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
නො ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන එකෙක. ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන එකෙක. නො ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන එකෙක. ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන එකෙකැ.
මහණෙනි, කෙසේ පුද්ගල නො ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන්නේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයක්හුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, වටා බැලීම, අත්පා හැකිලීම, අත්පා දිගු කිරීම, සඟළ පාසිවුරු දැරීම ප්‍රසාද එළවන්නේ වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි නො දනී. “මේ දුක්ඛසමුදය”යි ... “මේ දුක්ඛ නිරෝධය”යි ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල නො ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන්නේ වෙයි. මහණෙනි, යම් පරිදි හේ දහතළාව නො ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන්නේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයක්හුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, පසු බැලීම, අත්පා හැකිලීම, අත්පා දිගු කිරීම, සඟළ පාසිවුරු දැරීම ප්‍රසාද එළවන්නේ නො වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී පටිපදා”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන්නේ වෙයි. මහණෙනි, යම් පරිදි හේ දහතළාව ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන්නේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල නො ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණෙන්නේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයක්හුගේ ඉදිරි යෑම, පෙරළා ඊම, ඉදිරි බැලීම, පසු බැලීම, අත්පා හැකිලීම, අත්පා දිගු හැරීම, සඟළපාසිවුරු දැරීම ප්‍රසාද එළවන්නේ නො වේ. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි නො දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල නො ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණුම් ඇත්තේ වෙයි. මහණෙනි, යම් සේ ඒ දහතළාව නො ගැඹුරු වූයේ නො ගැඹුරු සේ පැණුම් ඇත්තේ වේ ද, මහණෙනි, මම මේ පුඟුලා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල ගැඹුරු වූයේ ගැඹුරු පැණුම් ඇත්තේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයක්හුගේ ඉදිරි ගමන, පසු ගමන, ඉදිරි බැලීම, පසු බැලීම, ආකුඤ්චනය, ප්‍රසාරණය, සඟළපාසිවුරු දැරීම ප්‍රසාදජනක වෙයි. හේ “මේ දුකැ”යි තත්වූ පරිදි දනී. ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන්නේ වෙයි. මහණෙනි, යම්සේ ඒ දහතළාව ගැඹුරු වූයේ ගැඹුරු සේ පැණෙන්නේ වේ ද, මහණෙනි, මම මේ පුඟුලා එබඳු උපමා ඇත්තෙකැයි කියමි.
මහණෙනි, දහතළා බඳු මේ සතර වැදෑරුම් පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 3. 1. 5.
[අම්බ සූත්‍රය]
5. මහණෙනි, මෙ අඹපල සතරෙකි. කවර සතරෙක යත්:
අමුවූයේ පැසුනුවන් එකෙක. පැසුනේ අමුවන් එකෙක. අමුවූයේ අමුවන් එකෙක. පැසුනේ පැසුනුවන් එකෙක. මහණෙනි, මේ සතර අඹපලයි.
මහණෙනි, එපරිදි ම ලොව්හි මේ අඹ බඳු පුඟුලෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
අමුවූයේ පැසුනුවන් එකෙක. පැසුනේ අමුවන් එකෙක. අමුවූයේ අමුවන් එකෙක. පැසුනේ පැසුනුවන් එකෙක.
මහණෙනි, කෙසේ පුද්ගල අමුවූයේ පැසුනුවන් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයක්හුගේ ඉදිරියෑම, පසුඊම, ඉදිරි බැලීම, අවට බැලීම, අත්පා හැකිළීම, අත්පා දිගුකිරීම, සඟළපාසිවුරු දැරීම යන මේ ප්‍රසාද එළවන්නේ වෙයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි නො දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල අමුවූයේ පැසුනුවන් වෙයි. මහණෙනි, යම් සේ ඒ අඹය අමු වූයේ පැසුනුවන් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල පැසුනේ අමුවන් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුඟුලක්හුගේ ගමන, ආගමන, ආලෝකන, විලෝකන, ආකුඤ්චන, ප්‍රසාරණ, සඞ්ඝාටිපාත්‍රචීවරධාරණ යන මේ ප්‍රාසාදික නො වේ. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි තත් වූ පරිදි දනී. මෙසේ පුද්ගල පැසුනේ අමුවන් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ අඹපල පැසුනේ අමුවන් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල අමුවූයේ අමුවන් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුඟුලක්හුගේ අභික්‍රමණ, ප්‍රකික්‍රමණ, ආලෝකන, විලෝකන, ආකුඤ්චන, ප්‍රසාරණ, සඞ්ඝාටිපාත්‍රචීවරධාරණ යන මේ ප්‍රාසාදික නොවේ. හේ මේ “දුකැ”යි තත් වූ පරිදි නොදනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල අමුවූයේ අමුවන් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ අඹපල අමුවූයේ අමුවන් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල පැසුනේ පැසුනුවන් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයකුගේ ඉදිරියෑම, වටාලා ඊම, ආලෝකන, විලෝකන, හැකිළීම්, දිගු හැරීම්, සඟළ පා සිවුරු දැරීම් ප්‍රසාද එළවන්නේ වෙයි. හේ මේ “දුකැ”යි තත් වූ පරිදි දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල පැසුනේ පැසුනුවන් වේ. මහණෙනි, යම්සේ ඒ අඹය පැසුනේ පැසුනුවන් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, අඹ බඳු මේ සතර වැදෑරුම් පුඟුලෝ ලොව්හි විද්‍යමානයහ.
4.3.1.6. 4.3.1.7.
[මූසිකා සූත්‍රය]
7. මහණෙනි, මේ මූෂිකාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
බිල කරන්නී වාස නො කරන්නී ය, වාස කරන්නී බිල නො කරන්නී ය. බිල නො කරන්නී ම වාස නො කරන්නී ය. බිල කරන්නීත් වාස ද කරන්නී ය. මහණෙනි, මේ සතර මූෂිකාවෝ ය.
මහණෙනි, එපරිදි ම මේ මූෂිකෝපම පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර සතර දෙනෙක් ද යත්:
බිල කරන්නේ වාස නො කරන්නේ ය. වාස කරන්නේ බිල නො කරන්නේ ය. බිල නො කරන්නේ ම වාස ද නො කරන්නේ ය. බිල කරන්නේත් වාස ද කරන්නේ යි.
මහණෙනි, කෙසේ පුද්ගල බිල කරන්නේ වාස නො කරන්නේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් හදාරයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි නො දනී ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල බිල කරන්නේ වාස නො කරන්නේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ මුෂිකාව බිල කරන්නී වාස නොකරන්නී වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල වාස කරන්නේ බිල නොකරන්නේ වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් නො හදාරයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි දනී ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාය”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල වාස කරන්නේ බිල නො කරන්නේ ය. මහණෙනි, යම් පරිදි ඒ මුෂිකාව වාස කරන්නී බිල නොකරන්නී වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල බිල නොකරන්නේ ම වාස නො කරන්නේත් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් නො හදාරයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි නො දනී ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාය”යි තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ පුද්ගල බිල නො කරන්නේ ම වාසත් නො කරන්නේ ය. මහණෙනි, යම් පරිදි ඒ මුෂිකාව බිල නොකරන්නී වාස නො කරන්නී වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල බිල කරන්නේත් වාස කරන්නේත් වේ ද? මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යන පෙළදහම් හදාරයි. හේ “මේ දුකැ”යි තත් වූ පරිදි දනී ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ පුද්ගල බිල කරන්නේත් වාස කරන්නේත් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ මුෂිකාව බිල කරන්නීත් වාස කරන්නීත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, මේ මූෂිකෝපම මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 3. 1. 8.
[බලීවද්ද සූත්‍රය]
8. මහණෙනි, මේ බලීවර්‍දයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
සිය ගෙරිනට සැඬ වූයේ අන් ගෙරිනට සැඬ නොවූයේය, අන් ගෙරිනට සැඬ වූයේ සිය ගෙරිනට සැඬ නොවූයේය, සිය ගෙරිනට සැඬ වූයේත් අන් ගෙරිනට ද සැඬ වූයේ ය, සිය ගෙරිනට සැඬ නොවූයේ ම අන් ගෙරිනට ද සැඬ නොවූයේය. මහණෙනි, මේ සතර බලීවර්‍දයෝයි.
මහණෙනි, එපරිදි ම බලීවර්‍දොපම වූ මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ.
කවර සතර දෙනෙක යත්: සගව චණ්ඩ වූයේ පරගවචණ්ඩ නොවූයේය. පරගවචණ්ඩවූයේ සගවචණ්ඩ නොවූයේ ය. සගවචණ්ඩ වූයේ පරගවචණ්ඩ ද වූයේය. සගවචණ්ඩ නොවූයේ ම පරගවචණ්ඩ ද නොවූයේ යි.
මහණෙනි, කෙසේ පුද්ගල සගවචණ්ඩ වූයේ පරගවචණ්ඩ නොවූයේ වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් සිය පිරිස ඝටා උද්වෙග (බියපත්) කරන්නේ වෙයි. පරපිරිස නොගටන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සගවචණ්ඩ වූයේ පරගවචණ්ඩ නොවූයේය. මහණෙනි, යම් පරිදි ඒ ගොන් සගවචණ්ඩ ව පරගවචණ්ඩ නොවූයේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල පරගවචණ්ඩ වූයේ සගවචණ්ඩ නොවූයේ වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් පරපර්‍ෂද් ඝටා උද්වෙග කරන්නේ වෙයි. සිය පිරිස නොගටන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල පරගවචණ්ඩ වූයේ සගවචණ්ඩ නොවූයේ වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ගොන් පරගවචණ්ඩ ව සගවචණ්ඩ නොවූයේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල සගවචණ්ඩ වූයේත් පරවචණ්ඩ වූයේත් වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් සිය පිරිස ඝටා උද්වෙග කරන්නේ වෙයි. පරපර්‍ෂද් ඝටන්නේත් වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සගවචණ්ඩ වූයේත් පරගවචණ්ඩ වූයේත් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ගොන් සගවචණ්ඩ වූයේත් පරගවචණ්ඩ වූයේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල සගවචණ්ඩ නොවූයේ ම පරවචණ්ඩ නොවූයේත් වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් ස්වකීය පර්‍ෂද් ඝටා උද්වෙග කරන්නේත් නොවෙයි. පරපර්‍ෂද් ඝටන්නේත් නොවෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සගවචණ්ඩ නොවූයේත් පරගවචණ්ඩ නොවූයේ ද වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ගොන් සගවචණ්ඩ නොවූ යේ ම පරගවචණ්ඩ නොවූයේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, බලීවර්‍දොපම මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 3. 1. 9.
[රුක්ඛ සූත්‍රය]
9. මහණෙනි, මේ වෘක්‍ෂයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
නිසරු රුක් පිරිවර කොට ඇති නිසරු රුකෙක. හර රුක් පිරිවර කොට ඇති නිසරු රුකෙක. නිසරු රුක් පිරිවර කොට ඇති හර රුකෙක. හර රුක් පිරිවර කොට ඇති හර රුකෙක. මහණෙනි, මේ වෘක්‍ෂයෝ සතර දෙනයි.
මහණෙනි, එපරිදි ම රුක්බඳු මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
ඵලගු පරිවාර කොට ඇති ඵලගු පුද්ගලය, සාර පරිවාර කොට ඇති ඵලගු පුද්ගලය, ඵලගු පරිවාර කොට ඇති සාර පුද්ගලය. සාර පරිවාර කොට ඇති සාර පුද්ගල යි.
මහණෙනි, කෙසේ පුද්ගල ඵලගුපරිවාර කොට ඇති ඵලගු පුද්ගල වේද? මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වෙයි. ලමුදහම් ඇති වෙයි. ඔහු පිරිස ද දුශ්ශීල වෙයි, ලමුදහම් ඇති වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ඵලගුපරිවාර කොට ඇති ඵලගු පුද්ගල නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වෘක්‍ෂය ඵලගුපරිවාර කොට ඇති ඵලගුවෘක්‍ෂයෙක් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැයි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල සාර පරිවාර කොට ඇති ඵලගු පුද්ගල වේද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වෙයි, ලමුදහම් ඇති වෙයි. උහුගේ පිරිස සිල්වත් වෙයි, කලණදහම් ඇති වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සාර පරිවාර කොට ඇති ඵලගු පුද්ගල වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වෘක්‍ෂය සාර පරිවාර කොට ඇති ඵලගුවෘක්‍ෂ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැයි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල ඵලගුපරිවාර කොට ඇති සාර පුද්ගල වේද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වෙයි, කලණදහම් ඇති වෙයි. ඔහුගේ පිරිස දුශ්ශීල වෙයි, ලමුදහම් ඇති වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ඵලගුපරිවාර කොට ඇති සාර පුද්ගල වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වෘක්‍ෂය, ඵලගුපරිවාර කොට ඇති සාරවෘක්‍ෂයෙක් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැයි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල සාරපරිවාර කොට ඇති සාර පුද්ගල වේද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වෙයි. කලණදහම් ඇති වෙයි. ඔහුගේ පිරිස ද සිල්වත් වෙයි, කළණදහම් ඇති වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සාරපරිවාර කොට ඇති සාර පුද්ගල නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ වෘක්‍ෂය සාරපරිවාර කොට ඇති සාරවෘක්‍ෂ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැයි කියමි.
මහණෙනි, වෘක්‍ෂෝපම මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 3. 1. 10.
[ආසීවිස සූත්‍රය]
10. මහණෙනි, මේ ආශීවිෂයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
පැමිණි (එවේලෙහි) විස ඇතියේ කැකුළු (පවත්නා) විස නැතියේ ය. පැමිණි විස නැතියේ කැකුළුවිස ඇතියේ ය. පැමිණි විස ඇතියේ කැකුළු විස ද ඇතියේ ය. පැමිණි විස නැතියේ ම කැකුළුවිස ද නැතියේ යි. මහණෙනි, මේ සතර ආශීවිෂයෝ ය.
මහණෙනි, එපරිදි ම ආශීවිශෝපම මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානය හ. කවර සතර දෙනෙක යත්:
පැමිණි විස ඇතියේ කැකුළු විස නැතියේ ය. පැමිණි විස නැතියේ කැකුළු විස ඇතියේ ය. පැමිණි විස ඇතියේත් කැකුළු විස ද ඇතියේ ය. පැමිණි විස නැතියේ ම කැකුළුවිස ද නැතියේ යි.
මහණෙනි, කෙසේ පුද්ගල පැමිණි විස ඇතියේ කැකුළු විස නැතියේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිතොර කිපෙයි. උහුගේ ඒ ක්‍රෝධය දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ නො වැටෙයි. මහණෙනි, මෙසේ පුද්ගල පැමිණි විස ඇතියේ කැකුළු විස නැතියේ නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ආශීවිෂයා පැමිණි විස ඇතියේ කැකුළු විස නැතියේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල පැමිණි විස නැතියේ කැකුළු විස ඇතියේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිතොර නො ම කිපේ. උහුගේ ඒ ක්‍රෝධය දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ වැටෙයි. මහණෙනි, මෙසේ පුද්ගල පැමිණි විස නැතියේ කැකුළු විස ඇතියේ නම් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ආශීවිෂයා පැමිණි විස නැතියේ කැකුළු විස ඇතියේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල පැමිණි විස ඇතියේත් කැකුළු විස ඇතියේත් වේ ද: මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිතොර කිපෙයි. උහුගේ ඒ ක්‍රෝධය දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ වැටෙයි. මහණෙනි, මෙසේ පුද්ගල පැමිණි විස ඇතියේත් කැකුළු විස ඇතියේත් වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ආශීවිෂයා පැමිණි විස ඇතියේත් කැකුළු විස ඇතියේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, කෙසේ පුද්ගල පැමිණි විස නැතියේ ම කැකුළු විස නැතියේත් වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නිතොර නො ම කිපෙයි. උහුගේ ඒ ක්‍රෝධය ද දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ නො වැටෙයි. මහණෙනි, මේ පුද්ගල පැමිණි විස නැතියේම කැකුළු විස නැතියේ ද වෙයි. මහණෙනි, යම් පරිදි ඒ ආශීවිෂයා පැමිණි විස නැතියේ ම කැකුළු විස නැතියේත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි කියමි.
මහණෙනි, ආශීවිෂෝපම මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
වලාහක වර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය:
වලාහක දෙකය, කුම්භ-උදකරහද යන දෙකය, අම්බ, මූසික, රුක්ඛ, බලිවද්ද, ආසිවිස යන ඒ සූත්‍ර දසයෙකි. (දසයෙන් එක් සූත්‍රයෙක් මෙහි නැත.)