මහණෙනි, එක් පුද්ගලයක්හුගේ කාලක්‍රියාව බොහෝ දෙනාට අනුතාප කර වෙයි. කවර එක් පුද්ගලයක්හුගේ ය? යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ (කාලක්‍රියාව) ය. මහණෙනි, මේ එක් පුද්ගලයාගේ කාලක්‍රියාව බොහෝ දෙනාට අනුතාපකර (චේතෝදුඃඛාවහ) වෙයි.
1. 13. 5-13.
මහණෙනි, එක් පුද්ගලයෙක් ලොවැ උපදනට පොහෝනේ අද්විතීය ව, අසහාය ව, අප්‍රතිම ව, අප්‍රතිසම ව, අප්‍රතිභාග ව, අප්‍රතිපුද්ගල ව, අසම ව, අසමසම ව, දෙපා ඇතියනට අග්‍ර ව උපන්නේවෙයි. කවර එක් පුද්ගලයෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ය. මහණෙනි, මේ එක් පුද්ගල තෙමේ වනාහි ලොවැ උපදනට පොහෝනේ අද්විතීය ව, අසහාය ව, අප්‍රතිම ව, අප්‍රතිසම ව, අප්‍රතිභාග ව, අප්‍රතිපුද්ගල ව, අසම ව, අසමසම ව, දෙපා ඇතියනට අග්‍ර ව උපන්නේ වෙයි.
1. 13. 14-25.
මහණෙනි, එක් පුද්ගලයක්හුගේ නිෂ්පත්තිය හේතු කොට ගෙන මහත් වූ ප්‍රඥාචක්‍ෂුස්හුගේ පහළ වීම වෙයි, මහත් වූ ප්‍රඥාලෝකයක්හුගේ පහළ වීම වෙයි, මහත් වූ ප්‍රඥාවභාසයක්හුගේ පහළ වීම වෙයි, අනුත්තරියධර්‍මයන් සදෙනාගේ පහළ වීම වෙයි, සිවුපිළිසැඹියාවන්ගේ පසක් කිරීම වෙයි, (අටළොස් වැදෑරුම්) අනේක ධාතුන්ගේ ප්‍රතිවේධය වෙයි, (අටළොස් වැදෑරුම්) නානාධාතුන්ගේ ප්‍රතිවේධය වෙයි, විද්‍යාවිමුක්තිඵලයන්ගේ සාක්‍ෂාත් කිරීම වෙයි, ස්‍රෝතාපත්ති ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, සකෘදාගාමි ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, අනාගාමී ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, අර්‍හත්ත්‍ව ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, කවර එක් පුද්ගලයක්හුගේය? යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ය. මහණෙනි, මේ එක් පුද්ගලයාගේ නිෂ්පත්තියෙන් මහත් වූ ප්‍රඥාචක්‍ෂුස්හුගේ පහළ වීම වෙයි, මහත් වූ ප්‍රඥාලෝකයාගේ පහළ වීම වෙයි, මහත් වූ ප්‍රඥාවභාසයාගේ පහළ වීම වෙයි, අනුත්තරිය ධර්‍මයන් සදෙනාගේ පහළ වීම වෙයි, සිවුපිළිසැඹියාවන්ගේ සාක්‍ෂාත් කිරීම වෙයි, අනේක ධාතු ප්‍රතිවේධය වෙයි, නානාධාතුප්‍රතිවේධය වෙයි, විද්‍යාවිමුක්තිඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, ස්‍රෝතාපත්ති ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, සකෘදාගාමි ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, අනාගාමී ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි, අර්‍හත්ත්‍ව ඵලයාගේ සාක්‍ෂාත් කිරීම වෙයි.
1. 13. 26.
මහණෙනි, යමෙක් මෙසේ තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලද අනුත්තර වූ ධර්‍මචක්‍රය මොනොවට ම (තථාගතයන්) අනුව පවත්වා ද, මහණෙනි, ශාරීපුත්‍රයන් බඳු අන් එක පුඟුලකුදු මම නො දක්මි. මහණෙනි, සැරියුත් තෙමේ තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලද අනුත්තර වූ ධර්‍මචක්‍රය මනා කොට ම (තථාගතයන්) අනු ව පවත්වයි.
තෙළෙස්වන වගයි.
14. ඒතදග්ග පාළිය
1. 14. 1. 1-10.
[සැවැත්නිදාන යි]
මහණෙනි, යම් අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම් මහණෙක් වේ ද, චිරරාත්‍රඥ වූ මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි මෙ අග්‍ර වෙයි. … යම් ශාරීපුත්‍ර නම් මහණෙක් වේ ද, මහාප්‍රාඥ වූ මාගේ ශ්‍රාවකයන් අතුරෙහි … යම් මහා මෞද්ගල්‍යායන නම් මහණෙක් වේ ද, ඍද්ධිමතුන් අතුරෙහි … යම් මහාකාශ්‍යප නම් මහණෙක් වේ ද, ධුතවාද ඇත්තවුන් අතුරෙහි … යම් අනුරුද්ධ නම් මහණෙක් වේ ද, දිවැස් ඇතියන් අතුරෙහි … කාළිගෝධාවගේ පුත් යම් භද්දිය නම් මහණෙක් වේ ද, උසස් කුලයෙහි උපනුවන් අතුරෙහි … යම් ලකුණ්ටක භද්දිය නම් මහණෙක් වේ ද, මිහිරි කටහඬ ඇතියන් අතුරෙහි … යම් පිණ්ඩෝලභාරද්වාජ නම් මහණෙක් වේ ද, සිංහනාද කරනුවන් අතුරෙහි … යම් මන්තාණි බැමිණියගේ පුත් පුණ්ණ නම් මහණෙක් වේ ද, ධර්‍මකථිකයන් අතුරෙහි … යම් මහාකච්චාන නම් මහණෙක් වේ ද, සැකෙවින් කියූ දැයෙහි අරුත් විතරින් බෙදා දක්වන මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි මේ අග්‍ර වෙයි.
පළමුවන වග යි.
1. 14. 2. 1-11.
මහණෙනි, යම් චුල්ලපන්‍ථක නම් මහණෙක් වේ ද, මනෝමය කය මවන මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි මේ අග්‍ර වෙයි. … යම් චුල්ලපන්‍ථක නම් මහණෙක් වේ ද, චේතෝවිවට්ට (රූපධ්‍යාන) යෙහි දක්‍ෂ වූ භික්ෂූන් අතුරෙහි … යම් මහාපන්‍ථක නම් මහණෙක් වේ ද, සඤ්ඤාවිවට්ට (අරූපධ්‍යාන) යෙහි දක්‍ෂ වූ භික්ෂූන් අතුරෙහි … යම් සුභූති නම් මහණෙක් වේ ද, කෙලෙස් රහිත විහරණ ඇතියන් අතුරෙහි … යම් සුභූති නම් මහණෙක් වේ ද, දක්‍ෂිණාර්‍හයන් අතුරෙහි … කිහිරිවන වැසි යම් රේවත නම් මහණෙක් වේ ද, අරණ්‍යවාසී මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි … යම් කඞ්ඛාරේවත නම් මහණෙක් වේ ද, ධ්‍යානයෙහි ඇලුනවුන් අතුරෙහි … කොළිවීස ගෝත්‍රයෙහි උපන් යම් සෝණ නම් මහණෙක් වේ ද, පිරිපුන් වැර ඇති භික්‍ෂූන් අතුරෙහි … යම් කුටිකණ්ණසෝණ නම් මහණෙක් වේ ද, කලණ බස් තෙපලනුවන් අතුරෙහි … යම් සීවලී නම් මහණෙක් වේ ද, සිවුපසය ලබනුවන් අතුරෙහි … යම් වක්කලි නම් මහණෙක් වේ ද, බලවත් සැදැහැ ඇති මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙන් මේ අග්‍ර වෙයි.
දෙවැනි වග යි.
1. 14. 3. 1-10.
මහණෙනි, යම් රාහුල නම් මහණෙක් වේ ද, මාගේ ශ්‍රාවක වූ සිඛ කැමැති භික්‍ෂූන් අතුරෙහි මේ අග්‍ර වේ … යම් රට්ඨපාල නම් මහණෙක් වේ ද, සැදැහැයෙන් පැවිදි වූ මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි … යම් කුණ්ඩධාන නම් මහණෙක් වේ ද, පෙරට ව ලහගන්නා මාගේ ශ්‍රාවක වූ මහණුන් අතුරෙහි … යම් වඞ්ගීස නම් මහණෙක් වේ ද, පිරිපුන් වැටහීම් ඇති මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙහි … වඞ්ගන්ත බ්‍රාහ්මණයාගේ පුත්‍ර වූ යම් උපසේන නම් මහණෙක් වේ ද, පැහැදීම එළවන මාගේ ශ්‍රාවක වූ මහණුන් අතුරෙහි … මල්ලරාජපුත්‍ර වූ යම් දබ්බ නම් මහණෙක් වේ ද, සෙනසුන් පණවන මාගේ ශ්‍රාවක වූ භික්ෂූන් අතුරෙහි … යම් පිළින්‍දිවච්ඡ නම් මහණෙක් වේ ද, දෙවියනට ප්‍රියමනාප වූ මාගේ ශ්‍රාවක වූ මහණුන් අතුරෙහි … යම් දාරුචීරිය බාහිය නම් මහණෙක් වේ ද, වහා ලත් අභිඥා ඇති මාගේ ශ්‍රාවක වූ මහණුන් අතුරෙහි … යම් කුමාරකාශ්‍යප නම් මහණෙක් වේ ද, විසිතුරු ධර්‍මකථා ඇති මාගේ ශ්‍රාවක වූ මහණුන් අතුරෙහි … යම් මහාකොට්ඨිත නම් මහණෙක් වේ ද, පිළිසැඹියා ලත් මාගේ ශ්‍රාවක වූ මහණුන් අතුරෙහි මේ අග්‍ර වේ.
තුන්වැනි වග යි.
1. 14. 4. 1-16.
මහණෙනි, යම් ආනන්‍ද නම් මහණෙක් වේ ද, බොහෝ ඇසූ පිරූ තැන ඇති මාගේ සවු මහණුන් අතුරෙහි මේ අග්‍ර වෙයි, … යම් ආනන්‍ද නම් මහණෙක් වේ ද … ධාරණස්මෘති ඇති මහණුන් අතුරෙහි … ප්‍රඥාගති ඇති … ධෘතිමත් වූ … උපස්ථායක වූ මාගේ සවු මහණුන් අතුරෙහි මේ අග්‍ර වෙයි. … යම් උරුවේලකස්සප නම් මහණෙක් වේ ද, මහපිරිස් ඇති මාගේ සවු මහණුන් අතුරෙහි … යම් කාළුදායී නම් මහණෙක් වේ ද, කුල පහදවන මාගේ සවු මහණුන් අතුරෙහි … යම් බක්කුල නම් මහණෙක් වේ ද, නීරෝග වූ මාගේ සවු මහණුන් අතුරෙහි … යම් සෝභිත නම් මහණෙක් වේ ද, පෙර විසූ කඳපිළිවෙළ සිහි කරණ මාගේ සවු මහණුන් අතුරෙහි … යම් උපාලි නම් මහණෙක් වේ ද, විනයධර වූ මාගේ ශ්‍රාවක වූ භික්ෂූන් අතුරෙහි …යම් නන්‍දක නම් මහණෙක් වේ ද, මෙහෙණනට ඔවා දෙන මාගේ සවු මහණුන් අතුරෙහි … යම් නන්‍ද නම් මහණෙක් වේ ද, ඉඳුරන් කෙරෙහි වැසූ දොර ඇති මාගේ සවු මහණුන් අතුරෙහි … යම් මහාකප්පින නම් මහණෙක් වේ ද, භික්‍ෂූන්ට අවවාද කරණ මාගේ සවු මහණුන් අතුරෙහි … යම් සාගත නම් මහණෙක් වේ ද, තේජෝධාතු සමාපත්තියට සමවැදීමෙහි දක්‍ෂ වූ මාගේ සවු මහණුන් අතුරෙහි … යම් රාධ නම් මහණෙක් වේ ද, ධර්‍මදේශනා ප්‍රතිභානයට ප්‍රත්‍යය වන කථා ඇති මාගේ සවු මහණුන් අතුරෙහි … යම් මෝඝරාජ නම් මහණෙක් වේ ද, රූක්‍ෂචීවර දරන මාගේ සවු මහණුන් අතුරෙහි මේ අග්‍ර වේ.
සතරවන වග යි.
1. 14. 5. 1-13.
මහණෙනි, යම් මහාප්‍රජාපතී ගෝතමී නම් මෙහෙණක් ඇද්ද, චිරරාත්‍රඥ වූ මාගේ ශ්‍රාවිකා මෙහෙණන් අතුරෙහි තුලු අග්‍ර වේ. … යම් ඛේමා නම් මෙහෙණක් ඇද්ද, මාගේ ශ්‍රාවිකා වූ මහාප්‍රඥා ඇති මෙහෙණන් අතුරෙහි … යම් උප්පලවණ්ණා නම් මෙහෙණක් ඇද්ද, මාගේ ශ්‍රාවිකා වූ ඍද්ධි ඇති මෙහෙණන් අතුරෙහි … යම් පටාචාරා නම් මෙහෙණක් ඇද්ද, මාගේ ශ්‍රාවිකා වූ විනයධර මෙහෙණන් අතුරෙහි … යම් ධම්මදින්නා නම් මෙහෙණක් ඇද්ද, මාගේ ශ්‍රාවිකා වූ ධර්‍ම කථික මෙහෙණන් අතුරෙහි … යම් නන්‍දා නම් මෙහෙණක් ඇද්ද, ධ්‍යානයෙහි ඇලුනු මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි … යම් සෝණා නම් මෙහෙණක් ඇද්ද, මාගේ ශ්‍රාවිකා වූ සම්පූර්‍ණ කරණ ලද වීර්‍ය්‍යය ඇති මෙහෙණන් අතුරෙහි .. යම් සකුලා නම් මෙහෙණක් ඇද්ද, දිවැස් ඇති මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි … යම් භද්දා කුණ්ඩලකේසී නම් මෙහෙණක් ඇද්ද, ක්‍ෂිප්‍රාභිඥා වූ මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි … යම් භද්දා කාපිලානී නම් මෙහෙණක් ඇද්ද, පෙර විසූ කඳපිළිවෙලින් සිහි කරණ මාගේ ශ්‍රාවිකා මෙහෙණන් අතුරෙහි … යම් භද්දකච්චානා නම් මෙහෙණක් ඇද්ද, මහා අභිඥා ලද මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි … යම් කිසාගෝතමී නම් මෙහෙණක් ඇද්ද, රූක්‍ෂ චීවර දරණ මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි … යම් සිගාලමාතු නම් මෙහෙණක් ඇද්ද, ශ්‍රද්ධාලක්‍ෂණයෙහි බැස ගත් මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි තුලු අග්‍ර වේ.
පස්වන වග යි.
1. 14. 6. 1-10.
මහණෙනි, යම් තපුස්ස ය භල්ලික ය යන වෙණෙදහු දෙදෙනෙක් වෙත් ද, හැමට පළමු ව සරණ යන මාගේ ශ්‍රාවක වූ උපාසකයන් අතුරෙහි තෙලහු අග්‍ර වෙත්. … යම් අනාථපිණ්ඩික සුදත්ත නම් වූ ගෘහපතියෙක් වේ ද, දායක වූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් මච්ඡිකාසණ්ඩ පුරවාසී චිත්ත නම් ගෘහපතියෙක් වේ ද, ධර්‍මකථික වූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් හත්‍ථක ආළවක නම් රජෙක් වේ ද, සිවුසඟරාවතින් පිරිස් සගන්නා මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් මහානාම නම් ශාක්‍යයෙක් වේ ද, ප්‍රණීත ප්‍රත්‍යය දෙන මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් විසල්පුර වැසි උග්ග නම් ගැහැවියෙක් වේ ද, මනාප දෑ දෙන මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් උග්ගත නම් ගැහැවියෙක් වේ ද, සඞ්ඝෝපස්ථායක වූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් සූරම්බට්ඨ නම් සිටුවරයෙක් වේ ද, අචලප්‍රසාදයෙන් සමන්‍විත වූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් ජීවක කෝමාරභච්ච නම් උපාසකයෙක් වේ ද, පෞද්ගලික ප්‍රසාදයෙන් සමන්‍විත වූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් නකුලපිතු නම් ගැහැවියෙක් වේ ද, විශ්වාස කථා ඇති මාගේ ශ්‍රාවක වූ උපාසකයන් අතුරෙන් තෙල අග්‍ර වේ.
සවැනි වග යි.
1. 14. 7. 1-10.
මහණෙනි, යම් සේනානීධිතු සුජාතා නම් උපාසිකාවක් ඇද්ද, සියල්ලන්ට පළමු ව සරණයෙහි පිහිටි මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතුරෙහි තුලු අග්‍ර වේ. … යම් මිගාරමාතු විසාඛා නම් උපාසිකාවක් ඇද්ද, දීමෙහි ඇලුනු මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතුරෙහි … යම් ඛුජ්ජුත්තරා නම් උපාසිකාවක් ඇද්ද, බහුශ්‍රුත වූ මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතුරෙහි … යම් සාමාවතී නම් උපාසිකාවක් ඇද්ද, මෛත්‍රීවිහරණ ඇති මාගේ ශ්‍රාවිකා උවැසියන් අතුරෙහි … යම් උත්තරා නන්‍දමාතු නම් උපාසිකාවක් ඇද්ද, ධ්‍යානයෙහි අභිරත වූ මාගේ ශ්‍රාවිකා උවැසියන් අතුරෙහි … යම් කෝලියධීතු සුප්පාවාසා නම් උපාසිකාවක් ඇද්ද, ප්‍රණීත රසදායිකා වූ මාගේ ශ්‍රාවිකා උවැසියන් අතුරෙහි … යම් සුප්පියා නම් උපාසිකාවක් ඇද්ද, ග්ලානෝපස්ථායිකා වූ මාගේ ශ්‍රාවිකා උවැසියන් අතුරෙහි … යම් කාතියානි නම් උපාසිකාවක් ඇද්ද, අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍විත මාගේ ශ්‍රාවිකා වූ උවැසියන් අතුරෙහි … යම් නකුලමාතු ගහපතානී නම් උපාසිකාවක් ඇද්ද, විශ්වාස කථා ඇති මාගේ ශ්‍රාවිකා වූ උවැසියන් අතුරෙහි … යම් කුරරඝර වැසි කාළි නම් උපාසිකාවක් ඇද්ද, අනුශ්‍රවයෙන් උපන් ප්‍රසාද ඇති මාගේ ශ්‍රාවිකා වූ උපාසිකාවන් අතුරෙහි තුලු අග්‍ර වේ.
සත්වැනි වග යි.
15. අට්ඨාන පාළිය
1. 15. 1.
[සැවැත්නිදාන යි]
මහණෙනි, යම් හෙයෙකින් මාර්‍ගදෘෂ්ටියෙන් යුත් (=සෝවන්) පුද්ගල තෙමේ කිසි සංස්කාරයක් නිත්‍යය යි ගන්නේය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල අවිද්‍යමාන තැනෙකි. ප්‍රත්‍යය රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ කිසියම් සංස්කාරයක් නිත්‍යය යි ගන්නේ ය යන යමෙක් වේද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 2.
මහණෙනි, යම් හෙයෙකින් දර්‍ශනසම්පන්න පුද්ගල තෙමේ කිසි සංස්කාරයක් සුඛය යි ගන්නේය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ කිසි සංස්කාරයක් සුඛය යි ගන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වෙයි. තෙල හේතු ඇත.
1. 15. 3.
මහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ කිසි ධර්‍මයක් ආත්මය යි ගන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ කිසි ධර්‍මයක් ආත්මය යි ගන්නේ ය යන යමෙක් වේද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 4.
මහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ මව දිවියෙන් තොර කරන්නේය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ මව දිවියෙන් තොර කරන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වෙයි. තෙල හේතු ඇත.
1. 15. 5.
මහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ පියා දිවියෙන් තොර කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ පියා දිවියෙන් තොර කරන්නේ ය යන යමෙක් වේද, තෙල කරුණ විද්‍යමාන වෙයි. තෙල හේතු ඇත.
1. 15. 6.
මහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ රහතකු දිවියෙන් තොර කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ රහතකු දිවියෙන් තොර කරන්නේය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වෙයි. තෙල හේතු ඇත.
1. 15. 7.
මහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ දුෂ්ට වූ සිතින් තථාගතයන් වහන්සේගේ (සිරුරෙහි) ලේ සොලවන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන පුද්ගල තෙමේ දුෂ්ට වූ සිතින් තථාගතයන් වහන්සේගේ (සිරුරෙහි) ලේ සොලවන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වෙයි. තෙල හේතු ඇත.
1. 15. 8.
මහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ සඞ්ඝයා බිඳුනේය යන තෙල කරුණ විද්‍යමාන නොවේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ සඞ්ඝයා බිඳුනේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වෙයි. තෙල හේතු ඇත.
1. 15. 9.
මහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ අන්‍යශාස්තෘ කෙනෙකුන් උදෙසා සිටුනේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි, තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ අන් ශාස්තෘ කෙනකුන් උදෙසා සිටුනේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වෙයි. තෙල හේතු ඇත.
1. 15. 10.
මහණෙනි, යම් හෙයෙකින් එක් ලෝකධාතුවෙක්හි අර්‍හත් වූ දෙසම්බුදු කෙනකුන් වහන්සේ එකවට උපදනාහු ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් එක් ලෝකධාතුවෙක එක ම අර්‍හත් සම්බුදුරජානන් වහන්සේ කෙනෙක් උපදනාහ යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 11.
මහණෙනි, යම් හෙයෙකින් එක් ලෝකධාතුවෙක්හි සක්විති රජවරු දෙදෙනෙක් එකවට උපදනාහු ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් එක් ලෝකධාතුවෙක්හි එක් සක්විතිරජෙක් උපදනේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 12.
මහණෙනි, යම් හෙයෙකින් ස්ත්‍රියක අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වෙති යි යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පුරුෂයෙක් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වන්නේය ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 13.
මහණෙනි, යම් හෙයෙකින් ස්ත්‍රියක සක්විති රජ වෙති යි යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, පුරුෂයෙක් සක්විති රජ වන්නේය ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 14-16.
මහණෙනි, යම් හෙයෙකින් ස්ත්‍රියක සක්දෙව් රජ බව කරති යි … මාරබව කරති යි … බ්‍රහ්ම බව කරති යි යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත යෙක. අවකාශ රහිත යෙක. මහණෙනි, යම් හෙයෙකින් පුරුෂයෙක් සක්දෙව් බව කරන්නේ ය …, මාර බව කරන්නේ ය …, බ්‍රහ්ම බව කරන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 17.
මහණෙනි, යම් හෙයෙකින් කායදුශ්චරිතයාගේ ඉෂ්ට කාන්ත මනාප විපාකයෙක් උපදනේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත ය. අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් කායදුශ්චරිතයාගේ අනිෂ්ට අකාන්ත අමනාප වූ විපාකයෙක් උපදනේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 18-19.
මහණෙනි, යම් හෙයෙකින් වාග්දුශ්චරිතයාගේ …, යම් හෙයෙකින් මනෝදුශ්චරිතයාගේ ඉෂ්ට කාන්ත මනාප විපාකයෙක් උපදනේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. මහණෙනි, යම් හෙයෙකින් මනෝදුශ්චරිතයාගේ අනිෂ්ට අකාන්ත අමනාප වූ විපාකයෙක් උපදනේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 20.
මහණෙනි, යම් හෙයෙකින් කායසුචරිතයාගේ අනිෂ්ට අකාන්ත අමනාප විපාකයෙක් උපදනේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත ය. අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් කායසුචරිතයාගේ ඉෂ්ට කාන්ත මනාප වූ විපාකයෙක් උපදනේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 21-22.
මහණෙනි, යම් හෙයෙකින් වාක්සුචරිතයාගේ …, මනඃසුචරිතයාගේ අනිෂ්ට අකාන්ත අමනාප විපාකයෙක් උපදනේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත ය. අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් මනඃසුරිතයාගේ ඉෂ්ට කාන්ත මනාප විපාකයෙක් උපදනේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 23.
මහණෙනි, යම් හෙයෙකින් කායදුශ්චරිතයෙන් සමන්‍විත පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු (මනාගති ඇති හෙයින්) සුගති නම් වූ ස්වර්‍ගලෝකයට (ප්‍රතිසන්‍ධිවශයෙන්) යන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත ය, අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් කායදුශ්චරිතයෙන් සමන්‍විත පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු (සුවෙන් පහ වූ හෙයින්) අපාය නම් වූ (නපුරු ගති ඇති හෙයින්) දුගති නම් වූ (විවසව පතිත වන හෙයින්) විනිපාත නම් වූ නිරයට (ප්‍රතිසන්‍ධිවශයෙන්) යන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 24-25.
මහණෙනි, යම් හෙයෙකින් වාග්දුශ්චරිතයෙන් සමන්‍විත පුද්ගල තෙමේ …. මනෝදුශ්චරිතයෙන් සමන්‍විත පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට යන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ, තෙල හේතු රහිත ය, අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් මනෝදුශ්චරිතයෙන් සමන්‍විත පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයට යන්නේ ය යන යමෙක්වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ, තෙල හේතු ඇත.
1. 15. 26.
මහණෙනි, යම් හෙයෙකින් කායසුචරිතයෙන් යුත් පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයට යන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත ය, අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් කායසුචරිතයෙන් යුත් පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු ස්වර්‍ගලෝකයට (පිළිසඳ විසින්) යන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 27-28.
මහණෙනි, යම් හෙයෙකින් වාක්සුචරිතයෙන් සමන්‍විත පුද්ගල තෙමේ … යම් හෙයකින් මනඃසුචරිතයෙන් සමන්‍විත පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයට (පිළිසිඳ විසින්) යන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. තෙල හේතු රහිත ය, අවකාශ රහිත ය. මහණෙනි, යම් හෙයෙකින් මනඃසුචරිතයෙන් සමන්‍විත පුද්ගල තෙමේ ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට යන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්‍යමාන වේ. තෙල හේතු ඇත.
[අට්ඨානපාළිය නිමි.]
16. ඒකධම්ම පාළිය
[1. පළමු වර්‍ගය]
1. 16. 1. 1.
[සැවැත්නිදාන යි]
මහණෙනි, එක් ම ධර්‍මයෙක් (භාවනා වශයෙන්) වඩනා ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ ඒකාන්තයෙන් (සසර) කළකිරීම පිණිස, (සසර) නොඇලීම පිණිස (රාගාදීන්ගේ) නිරෝධය පිණිස (කෙලෙස්) සන්හිඳීම පිණිස (අනිත්‍යාදිවශයෙන්) වෙසෙසා දැනුම පිණිස සිවුසස් පිළිවිඳීම පිණිස නිවන් පිණිස පවත්නේ ය. කවර එක් ධර්‍මයෙක? යත්: බුද්ධානුස්මෘතිය යි. මහණෙනි, මේ එක් ධර්‍මය වඩනා ලද්දේ බහුලවශයෙන් කරණ ලද්දේ ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස පවත්නේ ය.
1. 16. 1. 2-10.
මහණෙනි, එක් ම ධර්‍මයෙක් (භාවනා වශයෙන්) වඩනා ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ ඒකාන්ත නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවත්නේ ය. කවර එක් ධර්‍මයෙක? යත්: ධර්‍මානුස්මෘතිය යි. ... සඞ්ඝානුස්මෘතිය යි. ... ශීලානුස්මෘතිය යි. ... ත්‍යාගානුස්මෘතිය යි. ... දේවතානුස්මෘතිය යි. ... ආනාපානස්මෘතිය යි. ... මරණානුස්මෘතිය යි. ... කායගතස්මෘතිය යි. ... උපශාමානුස්මෘතිය යි. මහණෙනි, මේ එක් ධර්‍මය වඩනා ලද්දේ බහුලවශයෙන් කරණ ලද්දේ ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවත්නේ ය.
පළමු වග යි.
[2. දෙවන වර්‍ගය]
1. 16. 2. 1.
මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශල ධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ භූයස්ත්‍වය පිණිස විපුල බව පිණිස පවතිත් නම්, මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිකයාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද අකුශලධර්‍මයෝ භූයස්ත්‍වය පිණිස විපුල බව පිණිස පවතිත්.
1. 16. 2. 2.
මහණෙනි,යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශල ධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ බොහෝ බව පිණිස විපුලබව පිණිස පවතිත් නම්, මහණෙනි, සම්‍යක්දෘෂ්ටිය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්‍යක්දෘෂ්ටිකයාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද කුශලධර්‍මයෝ භූයස්ත්‍වය පිණිස විපුල බව පිණිස පවතිත්.
1. 16. 2. 3.
මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ නූපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, මිත්‍යදෘෂ්ටිකයාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ නූපදිත්. උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 16. 2. 4.
මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ නූපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, සම්‍යග්දෘෂ්ටිය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්‍යග්දෘෂ්ටිකයාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ නූපදිත්. උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 16. 2. 5.
මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද මිථ්‍යාදෘෂ්ටිය උපදනේ නම්, උපන්නා වූ ද මිථ්‍යාදෘෂ්ටිය වැඩේ නම්, මහණෙනි, මේ අයෝනිසෝ මනසිකාරය යම්බඳු වේ නම් එබඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අනුපාය මනසිකාරයෙන් මෙනෙහි කරනුවහුට නූපන්නා වු ද මිථ්‍යාදෘෂ්ටිය උපදී. උපන්නා වූ ද මිථ්‍යාදෘෂ්ටිය වැඩේ.
1. 16. 2. 6.
මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද සම්‍යග්දෘෂ්ටිය උපදනේ නම්, උපන්නා වූ ද සම්‍යග්දෘෂ්ටිය වැඩේ නම්, මහණෙනි, මේ යෝනිසෝ මනසිකාරය යම්බඳු වේ නම් එබඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුවණින් මෙනෙහි කරනුවහට නූපන්නා වූ ද සම්‍යග්දෘෂ්ටිය උපදී. උපන්නා වූ ද සම්‍යග්දෘෂ්ටිය වැඩේ.
1. 16. 2. 7.