Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 3801-3900 න් 15980

4. 2. 4. 3.
[වණ්ණ සූත්‍රය]
33. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණැර තැබුවක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
නො විමසා නො බැස ගෙණ වර්‍ණනාර්‍හ නො වන්නහුගේ ගුණ කියයි. නො විමසා නො බැස ගෙණ වර්‍ණනාර්‍හයාගේ අගුණ කියයි. නො විමසා නො බැස ගෙණ නො පැහැදිය යුතු කරුණෙහි පහදියි. නො විමසා නො බැසගෙන පැහැදිය යුතු කරුණෙහි නො පහදියි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත පුද්ගල ගෙණ ඇර තැබුවක් මෙන් නිරයෙහි බැහුනේ ය.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණ ඇරැ තැබුවක් සෙයින් ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
විමසා බැස ගෙණ අවර්‍ණනාර්‍හයාගේ අගුණ කියයි. විමසා බැස ගෙණ වර්‍ණනාර්‍හයාගේ ගුණ කියයි. විමසා බැස ගෙණ නො පැහැදිය යුතු තැන නොපහදී. විමසා බැසගෙන පැහැදිය යුතු තැන පහදී.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත පුද්ගල ගෙණැරැ තැබුවක් සෙයින් ස්වර්‍ගයෙහි නික්‍ෂිප්තය.
4. 2. 4. 4.
[කෝධගරු සූත්‍රය]
34. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණැරැ තබන ලද්දක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
ක්‍රෝධගරුක වෙයි, සද්ධර්‍මගරුක නො වෙයි. ගුණමකුබව ගරු කොට ඇත්තේ වෙයි. සදහම් ගරු කොට නැත්තේ වෙයි. ලාභය ගරු කොට ඇත්තේ වෙයි. සද්ධර්‍මය ගරු කොට නැත්තේ වෙයි. සත්කාරය ගරු කොට ඇත්තේ වෙයි. සද්ධර්‍මය ගරු කොට නැත්තේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත පුද්ගල ගෙණ ඇරැ තැබුවක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත පුද්ගල ගෙණ ඇරැතැබුවක් සෙයින් ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:
සදහම් ගරු කොට වසන්නේ ක්‍රෝධය ගරු කොට නොවසන්නේ වෙයි. සදහම් ගරු කොට වසන්නේ ගුණමකු බව ගරු කොට නො වසන්නේ වෙයි. සදහම් ගරු කොට වසන්නේ ලාභය ගරු කොට නො වසන්නේ වෙයි. සදහම් ගරු කොට වසන්නේ සත්කාරය ගරු කොට නො වසන්නේ වෙයි.
මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත පුද්ගල ගෙණ ඇරැතැබුවක් සෙයින් ස්වර්‍ගයෙහි නික්‍ෂිප්තය.
4. 2. 4. 5.
[තමෝතමපරායන සූත්‍රය]
35. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙති. කවර සතර දෙනෙක යත්:
තමෝ තමපරායනය (අඳුරෙන් අඳුරට යන), තමෝජෝතිපරායනය (අඳුරෙන් එළියට යන), ජෝති තමපරායනය (එළියෙන් අඳුරට යන), ජෝති ජෝතිපරායනය (එළියෙන් එළියට යන) - මේ පුද්ගලයෝ සතර දෙනය.
මහණෙනි, කෙසේ නම් පුද්ගල තමෝතමපරායන වේ ද? මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් දිළිඳු වූ අල්පාහාරපාන භෝජන ඇති සහදුක් දිවි වැටුම් ඇති දුකින් ආහාර වස්ත්‍ර ලබන සැඬල් කුලයෙහි වේව යි, කුළුපොතු කුලයෙහි වේවයි, වැදි කුලෙහි වේවයි, සොම්මර කුලෙහි වේවයි, පුප්සඬු කුලෙහි වේවයි - නීච කුලයෙක උපන්නේ වෙයි. හෙද දුර්වර්‍ණ වෙයි. අමනාප දර්‍ශන වෙයි. ලකුණ්ටක වෙයි. බහවාබාධ වෙයි. කණ හෝ වෙයි. වක් අත්පා ඇත්තේ හෝ වෙයි. කොර හෝ වෙයි. පිළු හෝ වෙයි. අන්න පාන වස්ත්‍ර යාන මාලාගන්‍ධ විලේපන ශය්‍යාවසථ ප්‍රදීපෝපකරණ නොලබන සුලු වෙයි. හේ කයින් දුශ්චරිත කරන්නේ වෙයි. වචනයෙන් දුශ්චරිත කරන්නේ වෙයි. සිතින් දුශ්චරිත කරන්නේ වෙයි. හේ කයින් දුශ්චරිත කොට, වචනයෙන් දුශ්චරිත කොට, සිතින් දුශ්චරිත කොට, කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවශව පතිත වන නිරයට එළඹෙයි. මහණෙනි, මෙසේ පුද්ගල තමෝතමපරායන වේ.
මහණෙනි, කෙසේ නම් පුද්ගල තමෝජෝතිපරායන වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් දිළිඳු වූ අල්පාන්නපාන භෝජන ඇති සහදුක් දිවිවැටුම් ඇති දුකසේ ආහාර වස්ත්‍ර ලබන සැඬල් කුලෙහි වේවයි, කුළුපොතු කුලෙහි වේවයි, වැදිකුලෙහි වේවයි, සොම්මර කුලෙහි වේවයි, පුප්සඬුකුලෙහි වේවයි - නීච කුලයෙක උපන්නේ වෙයි. හෙ ද දුර්වර්‍ණ වෙයි. මන නොවඩන දැකුම් ඇති වෙයි. ලකුණ්ටක වෙයි. බව්හාබාධ වෙයි. කණ හෝ වෙයි. වක් අත්පා ඇත්තේ හෝ වෙයි. කොර හෝ වෙයි. පිළු හෝ වෙයි. අන්න පාන වස්ත්‍ර යාන මාලාගන්‍ධවිලේපන ශය්‍යාවසථ ප්‍රදීපෝපකරණ නොලබන සුලු වේ. හේ කයින් සුචරිත කෙරෙයි. වචනයෙන් සුචරිත කෙරෙයි. සිතින් සුචරිත කෙරෙයි. හේ කයින් සුචරිත කොට වචනයෙන් සුචරිත කොට සිතින් සුචරිත කොට කාබුන් මරණින් මතුයෙහි ශෝභන ගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙයි. මහණෙනි, මෙසේ පුගුල් තමෝජෝතිපරායන වෙයි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ජෝතිතමපරායන වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආඪ්‍ය වූ මහධන ඇති මහත් භෝග ඇති බොහෝ රන්රිදී ඇති බොහෝ වස්තූපකරණ ඇති බොහෝ ධනධාන්‍ය ඇති කැත්මහසල්කුලෙහි වේවයි, බමුණුමහසල්කුලෙහි වේවයි, ගෙහෙවි මහසල් කුලෙහි වේවයි - උතුම් කුලෙහි උපන්නේ වෙයි. හෙ ද අභිරූප වෙයි. දර්‍ශනීය වෙයි. ප්‍රාසාදික වෙයි. උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වෙයි. අන්න පාන වස්ත්‍ර යාන මාලාගන්‍ධවිලේපන ශයනාවසථ ප්‍රදීපෝපකරණ ලබන සුලු වෙයි. හේ කයින් දුශ්චරිත කෙරෙයි. වචනයෙන් දුශ්චරිත කෙරෙයි. සිතින් දුශ්චරිත කෙරෙයි. හේ කයින් දුශ්චරිත කොට වචනයෙන් දුශ්චරිත කොට සිතින් දුශ්චරිත කොට කාබුන් මරණින් මතුයෙහි සුවෙන් පහ වූ නපුරු ගති ඇති විවශව පතිත වන නිරයට එළඹෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ජෝතිතමපරායන වෙයි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ජෝතිජෝතිපරායන වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආඪ්‍ය වූ මහත් ධන ඇති මහා භොග ඇති බොහෝ රන්රිදී ඇති බොහෝ වස්තූපකරණ ඇති, බොහෝ ධනධාන්‍ය ඇති කැත්මහසල් කුලෙහි වේවයි, බමුණුමහසල් කුලෙහි වේවයි, ගෙහෙවිමහසල් කුලෙහි වේවයි - උතුම් කුලයෙහි උපන්නේ වෙයි. හෙ ද අභිරූප වෙයි. දර්‍ශනීය වෙයි. ප්‍රාසාදික වෙයි. උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වෙයි. අන්න පාන වස්ත්‍ර යාන මාලාගන්‍ධ විලේපන ශය්‍යාවසථ ප්‍රදීපෝපකරණ ලබන සුලු වෙයි. හේ කයින් සුචරිත කරයි. වචනයෙන් සුචරිත කරයි. සිතින් සුචරිත කරයි. හේ කයින් සුචරිත කොට වචනයෙන් සුචරිත කොට, සිතින් සුචරිත කොට කාබුන් මරණින් මත්තෙහි ශෝභන ගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ජෝතිජෝතිපරායන වෙයි.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමාන වෙති.
4. 2. 4. 6.
[ඔනතොනත සූත්‍රය]
36. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
ඔනතොනත (නීච-නීච) ය, ඔනතුන්නත (නීච-උත්තම) ය, උන්නතොනත (උත්තම-නීච) ය, උන්නතුන්නත (උත්තම-උත්තම) යි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ඔනතොනත වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සැඬල් කුලයෙහි වේවයි … නීචකුලෙයක උපන්නේ වෙයි. හේ කයින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි. සිතින් දුශ්චරිත කරයි. හේ කයින් දුශ්චරිත කොට, වචනයෙන් දුශ්චරිත කොට, සිතින් දුශ්චරිත කොට, කාබුන් මරණින් මතුයෙහි සුවෙන් පහව ගිය නපුරු ගති ඇති, විවසව පතිතවන, නිරයට එළඹේ. මහණෙනි, මෙසේ පුද්ගල ඔනතොනත වේ.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ඔනතුන්නත වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සැඬල්කුලෙහි වේවයි … නීචකුලෙයක උපන්නේ වෙයි. හේ කයින් සුචරිත කරයි, වචනයෙන් සුචරිත කරයි. සිතින් සුචරිත කරයි. හේ කයින් සුචරිත කොට, වචනයෙන් සුචරිත කොට, සිතින් සුචරිත කොට, කාබුන් මරණින් මතුයෙහි ශෝභන ගති ඇති ස්වර්‍ගලෝකයට එළඹේ. මහණෙනි, මෙසේ පුද්ගල ඔනතුන්නත වේ.
මහණෙනි, කෙසේ නම් පුද්ගල උන්නතොනත වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කැත්මහසල් කුලෙහි වේවයි … උතුම් කුලෙහි උපන්නේ වෙයි. හේ කයින් දුශ්චරිත කොට, වචනයෙන් දුශ්චරිත කොට, සිතින් දුශ්චරිත කොට, කාබුන් මරණින් මතුයෙහි සුවෙන් පහව ගිය නපුරු ගති ඇති, විවසව පතිතවන නිරයට එළඹේ. මහණෙනි, මෙසේ පුද්ගල උන්නතොනත වේ.
මහණෙනි, කෙසේ නම් පුද්ගල උන්නතුන්නත වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කැත්මහසල් කුලෙහි වේවයි … උතුම් කුලෙහි උපන්නේ වෙයි. හේ කයින් සුචරිත කොට, වචනයෙන් සුචරිත කොට, සිතින් සුචරිත කොට කාබුන් මරණින් මතුයෙහි ශෝභන ගති ඇති, ස්වර්‍ගලෝකයට එළඹේ. මහණෙනි, මෙසේ පුද්ගල උන්නතුන්නත වේ.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමාන වෙති.
4. 2. 4. 7.
[සමාණමචල - පුත්ත සූත්‍රය]
37. මහණෙනි, මේ සතර පුද්ගල කෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්:
ශ්‍රමණඅචල ය, ශ්‍රමණපුණ්ඩරීක ය, ශ්‍රමණපද්ම ය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර යි.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණාචල වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ශෛක්‍ෂ වේ, පිළිපන්නේ වේ, අනුත්තර යෝගක්‍ෂේම සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය ඉස්නේ වෙසෙයි. මහණෙනි, යම්පරිදි මුදුනෙහි බිසෙස් කළ කැත්රජක්හුගේ දෙටුපුත් අභිෂේකාර්‍හ වූයේ (එහෙත්) අනභිෂික්ත වූයේ (එහෙයින්) ම අචලප්‍රාප්ත වූයේ වේද, මහණෙනි, එපරිදි ම මහණ නොනිමිසිඛඇතියේ වෙයි. පිළිපන්නේ වෙයි. අනුත්තර යෝගක්‍ෂේමය ඉස්නේ වෙසෙයි. මහණෙනි, මෙසේ (නොසැලෙන ශෛක්‍ෂ) පුද්ගල ශ්‍රමණාචල වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණපුණ්ඩරීක වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා දිටුදැහැමියෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට සමවැද වෙසෙයි. අෂ්ටවිධ විමෝක්‍ෂයන් නාමකයින් පැහැස ගෙණ නො වෙසෙයි. මහණෙනි, මෙසේ ධ්‍යානරහිත (ශුෂ්කවිදර්‍ශක රහත්) පුද්ගල ශ්‍රමණපුණ්ඩරීක වෙයි.
මහණෙනි, පුද්ගල කෙසේ ශ්‍රමණපද්ම වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ආස්‍රවක්‍ෂයයෙන් ආස්‍රව රහිත වූ ඵලසමාධිය හා ඵලප්‍රඥාව දිටුදැහැමි යෙහි ම තමාවිසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ගෙණ සමවැද වෙසේ. අෂ්ටවිධ විමෝක්‍ෂ ද නාමකයින් පැහැස වෙසේ. මහණෙනි, මෙසේ (ධ්‍යානසහිත විදර්‍ශනායෙන් රහත්) පුද්ගල ශ්‍රමණපද්ම වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ (දායකයන් විසින්) යදනා ලද්දේ ම සිවුරු බිහිලි කොට වළඳ කෙරෙයි. නො යදනා ලදුව අල්පයෙක. යදනා ලදුයේ ම පිඬුවා බිහිලි කොට වළඳ කෙරෙයි. නො යදනා ලදුව අල්පයෙක. යදනා ලදුයේ ම සෙනසුන් බිහිලි කොට වළඳ කෙරෙයි. නොයදනා ලදුයේ අල්පයෙක. යදනා ලදුයේ ම ගිලන්පස බෙහෙසත් පිරිකර බිහිලි කොට වළඳ කෙරෙයි. නො යදනා ලදුයේ අල්පයෙක. යම් ම සබ්‍රම්සරුන් හා වෙසේ ද, ඒ සබ්‍රම්සරහු ඔහුට මනවඩන කායකර්‍මයෙන් බුහුසුයෙන් පවතිත්. අමනාප කායකර්‍මයෙන් අල්පයෙක. මනවඩන වාක්කර්‍මයෙන් බහුල කොට පවතිත්. අමනාප වාක්කර්‍මයෙන් අල්පයෙක. ලගන්නා මනඃකර්‍මයෙන් බහුල කොට පවතිත්. අමනාප මනඃකර්‍මයෙන් අල්පයෙක. මනවඩන උපහාර බහුල කොට එළවත්. අමනාප උපහාර අල්පයෙක. පිත්තසමුත්‍ථාන වෙත්වයි, ශ්ලෙෂ්ම සමුත්‍ථාන වෙත්වයි, වාතසමුත්‍ථාන වෙත්වයි, සාන්නිපාතික වෙත්වයි, ඍතුපරිණාමජ වෙත්වයි, විෂමපරිහාරජ වෙත්වයි, ඖපක්‍රමික වෙත්වයි, කර්‍මවිපාකජ වෙත්වයි යම් ම වේදනා කෙනෙක් ඇද්ද ඒ වේදනාවෝ ඔහුට බහුල කොට නූපදිත්. අල්පාබාධ වෙයි. විශුද්ධ චිත්තයෙහි යෙදුනු දෘෂ්ටධර්‍මසුඛවිහරණ ඇති සතර දැහැන් කැමැති සේ ලබන සුලු වෙයි. නිදුකින් ලබන සුලු වෙයි. විපුල කොට ලබන සුලු වෙයි. ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති හා ප්‍රඥාවිමුක්ති හා දිටුදැමියෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට සමවැද වෙසේ. මහණෙනි, මෙසේ පුඟුල් මහණුන් කෙරෙහි ශ්‍රමණසුකුමාර වේ.
මහණෙනි, සැබෑකියනුවෙක් ‘ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණසුකුමාර නම් මේ ය’ යි යමකු ගෙන බෙණේ ද, මහණෙනි, ඒ සබවස් කියනුයේ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර නම් මේ ය යි මා ම ගෙණ බණන්නේය. මහණෙනි, මම යාචිතව ම සිවුරු බහුල කොට වළඳ කෙරෙමි. අයාචිතව අල්පයෙක. යාචිතව ම පිඬුවා බහුල කොට වළඳ කෙරෙමි. අයාචිත ව අල්පයෙක. යාචිතව ම සෙනසුන් බහුල කොට වළඳ කෙරෙමි. අයාචිතව අල්පයෙක. යාචිතව ම ගිලන්පස බෙහෙසත් පිරිකර බහුල කොට වළඳ කෙරෙමි. අයාචිතව අල්පයෙක. යම් මහණුන් හා වෙසෙම් ද, ඔහු මනවඩන කායකර්‍මයෙන් ම බහුල කොට මට පවතිත්. අමනාප සැටියෙන් අල්පයෙක. මනවඩන වාක්කර්‍මයෙන් ම බහුල කොට පවතිත්. අමනාප සැටියෙන් අල්පයෙක. මනවඩන මනඃ කර්‍මයෙන් ම බහුල කොට පවතිත්. අමනාප සැටියෙන් අල්පයෙක. මනවඩන්නා වූ ම උපහාර බහුල කොට එළවත්. අමනාප දෑ අල්පයෙක. පිත්තසමුත්‍ථාන වෙත්වයි, ශ්ලෙෂ්මසමුත්‍ථාන වෙත්වයි, වාතසමුත්‍ථාන වෙත්වයි, සාන්නිපාතික වෙත්වයි, ඍතුපරිණාමජ වෙත්වයි, විෂමපරිහාරජ වෙත්වයි, ඖපක්‍රමික වෙත්වයි, කර්‍මවිපාකජ වෙත්වයි, යම් වේදනාවෝ ඇත් ද, ඔහු මට බොහෝ කොට ම නූපදිත්. මම අල්පාබාධයෙමි. විශුද්ධචිත්තයෙහි යෙදුනු ඉහාත්ම සුඛවිහරණ ඇති සතර දැහැන් කැමැතිසේ ලබන සුලුයෙමි, නිදුකින් ලබන සුලුයෙමි, විපුල කොට ලබන සුලුයෙම් වෙමි, ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා දිටුදැමියෙහි ම තමා විසින් ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට සමවැද වෙසෙමි.
මහණෙනි, මනා කොට බණනුවෙක් ‘ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණසුකුමාර නම් මේ ය’ යි යමකු ගෙණ බෙණේ ද, මහණෙනි, ‘ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර නම් මේ ය’ යි මොනොවට බණනුයේ මා ම ගෙණ බණන්නේ ය.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 2. 4. 8.
[සමාණමචල - සඤ්ඤාජන සූත්‍රය]
38. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
ශ්‍රමණාචලය, ශ්‍රමණපුණ්ඩරීකය, ශ්‍රමණපද්මය, ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණසුකුමාර යි.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණ අචල වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් සෝවන් වූයේ අවිනිපාතධර්‍ම ඇත්තේ නියත වූයේ සම්බෝධිපරායණ වූයේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණාචල (=ශ්‍රෝතාපන්න) වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණ පුණ්ඩරීක වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගද්වේෂමෝහයන් තුනු කිරීමෙන් සකෘදාගාමී වෙයි. එක් වටෙක ම මෙලොවට අවුදු දුක් කෙළවර කෙරෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණ පුණ්ඩරීක (=සකෘදාගාමී) වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණ පද්ම වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වෙයි. එලොවින් වටාලා නො යන ස්වභාව ඇත්තේ එහි පිරිනිවන් පානේ ය. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණ පද්ම (=අනාගාමී) වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ආස්‍රවක්‍ෂය කිරීමෙන් ... ප්‍රත්‍යක්‍ෂ කොට ගෙණ ඊට පැමිණ වෙසෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර (=ක්‍ෂීණාස්‍රව) වේ.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 2. 4. 9.
[සමාණමචල - දිට්ඨි සූත්‍රය]
39. මහණෙනි, මේ සතර පුද්ගල කෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර සතර කෙනෙක යත්:
ශ්‍රමණාචලය, ශ්‍රමණපුණ්ඩරීකය, ශ්‍රමණපද්මය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුක්‍රමාර යි.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණාචල වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ සම්‍යග්දෘෂ්ටි ඇතියේ වෙයි. සම්‍යක්සඞ්කල්ප ඇතියේ වෙයි. සම්‍යග්වචන ඇතියේ වෙයි. සම්‍යක්කර්‍මාන්ත ඇතියේ වෙයි. සම්‍යග්ආජීව ඇතියේ වෙයි. සම්‍යග්ව්‍යායාම ඇතියේ වෙයි. සම්‍යක්ස්මෘති ඇතියේ වෙයි. සම්‍යක්සමාධි ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණාචල වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණපුණ්ඩරීක වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සම්‍යග්දෘෂ්ටිය ඇතියේ වෙයි. සම්‍යක්සඞ්කල්ප ඇතියේ වෙයි. සම්‍යග්වචන ඇතියේ වෙයි. සම්‍යක් කර්‍මාන්ත ඇතියේ වෙයි. සම්‍යග් ආජීව ඇතියේ වෙයි. සම්‍යග්ව්‍යායාම ඇතියේ වෙයි. සම්‍යක්ස්මෘති ඇතියේ වෙයි. සම්‍යක් සමාධි ඇතියේ වෙයි. සම්‍යග්ඥාන ඇතියේ වෙයි. සම්‍යග්විමුක්ති ඇතියේ වෙයි. වැලිත් අෂ්ටවිධ විමෝක්‍ෂයන් නාමකයින් පැහැසීම් නො කොට වෙසෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණපුණ්ඩරීක වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණපද්ම වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වෙයි ... සම්‍යග්විමුක්ති ඇත්තේ වෙයි. අෂ්ටවිධ විමෝක්‍ෂයන් නාමකයින් පැහැස ගෙණ වෙසෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණ පද්ම වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ යදනා ලද්දේ ම සිවුරු බහුල කොට වළඳ කෙරේ. අයාචිත ව අල්පයෙක ... මහණෙනි, මොනොවට බණනුවෙක් ‘ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණසුකුමාර නම් මේ ය’ යි යම් ම කෙනකුන් ගෙණ බෙණේ ද, මහණෙනි, ඒ මොනොවට බණනුයේ ‘ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර නම් මේ ය’ යි මා ම ගෙණ බණන්නේ ය.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 2. 4. 10.
[සමාණමචල - ඛන්‍ධ සූත්‍රය]
40. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්:
ශ්‍රමණාචලය, ශ්‍රමණපුණ්ඩරීකය, ශ්‍රමණපද්ම ය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර යි.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණාචල වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ ශෛක්‍ෂ වූයේ නො පත් රහත්ඵල ඇත්තේ අනුත්තරයෝගක්‍ෂේමය ඉස්මින් වෙසේ. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණාචල (=ප්‍රමාදවිහාරීශෛක්‍ෂ) වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණපුණ්ඩරීක වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ පඤ්චඋපාදානස්කන්‍ධයෙහි උදා විය දක්නා සුලු ව වෙසේ: රූපය මෙසේ ය, රූපයාගේ සමුදය මෙසේ ය, රූපයාගේ අස්තඞ්ගමය මෙසේ ය, වේදනා මෙසේ ය ... සංඥා මෙසේ ය ... සංස්කාර මෙසේ ය ... විඥාන මෙසේ ය, විඥානසමුදය මෙසේ ය, විඥාන අස්තඞ්ගමය මෙසේ ය කියායි. අෂ්ටවිධ විමෝක්‍ෂයන් නාමකයින් නො පැහැසැ ගෙණ වෙසෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණපුණ්ඩරීක (=අප්‍රමාදවිහාරීශෛක්‍ෂ) වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණපද්ම වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ පඤ්චෝපාදානස්කන්‍ධයෙහි උදා - විය දක්නා සුලුව වෙසෙයි: රූපය මෙසේ ය, රූපසමුදය මෙසේ ය, රූපයාගේ අස්තඞ්ගමය මෙසේ ය, වේදනා මෙසේ ය ... සංඥා මෙසේ ය ... සංස්කාර මෙසේ ය ... විඥාන මෙසේ ය, විඥානසමුදය මෙසේ ය, විඥාන අස්තඞ්ගමය මෙසේ ය කියා යි. අෂ්ටවිධවිමෝක්‍ෂයන් නාමකයින් පැහැසැ ගෙණ වෙසේ. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රමණපද්ම (=අෂ්ටවිමෝක්‍ෂාලාභිශෛක්‍ෂ) වේ.
මහණෙනි, කෙසේ පුද්ගල ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර වේ ද? මහණෙනි, මෙසස්නෙහි මහණ යාචිත වූයේ ම සිවුරු බහුල කොට වළඳයි. අයාචිතව අල්පයෙක ... මහණෙනි, මොනොවට බණනුයේ ‘ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර (=ක්‍ෂීණාස්‍රව) නම් මේ ය’ යි යම් ම කෙනකුන් ගෙණ බෙණේ ද, මහණෙනි, මොනොවට බණනුයේ ‘ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසුකුමාර නම් මේ ය’ යි මා ම ගෙණ බණන්නේය.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
මචලවර්‍ගය සතරවෙනි යි.
එහි උද්දානය:
පාණාතිපාතසූත්‍රය, මුසාවාදසූත්‍රය, වර්‍ණසූත්‍රය, කෝධසූත්‍රය, තමෝතමපරායනසූත්‍රය, ඔනතසූත්‍රය, පුත්තසූත්‍රය, සංයොජනසූත්‍රය, දිට්ඨිසූත්‍රය, ඛන්‍ධසූත්‍රය යි සූත්‍ර දශයෙකි.
5. අසුර වර්‍ගය
4. 2. 5. 1.
[අසුර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
අසුරසදෘශ අසුරපරිවාරය, අසුරසදෘශ දේවපරිවාරය, දේවසදෘශ අසුරපරිවාරය, දේවසදෘශ දේවපරිවාර යි.
මහණෙනි, කෙසේ පුද්ගල අසුරසදෘශ අසුරපරිවාර වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වෙයි. ලමුදහම් ඇතියේ වෙයි. ඔහුගේ පිරිස ද දුශ්ශීල වෙයි. ලමුදහම් ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල අසුරසදෘශ අසුරපරිවාර වේ.
මහණෙනි, කෙසේ පුද්ගල අසුරසදෘශ දේවපරිවාර වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වෙයි. ලමුදහම් ඇතියේ වෙයි. වැලිත් ඔහුගේ පිරිස සිල්වත් වෙයි. කලණදහම් ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල අසුරසදෘශ දේවපරිවාර වේ.
මහණෙනි, කෙසේ පුද්ගල දේවසදෘශ අසුරපරිවාර වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වෙයි. කලණදහම් ඇතියේ වෙයි. වැලිත් ඔහුගේ පිරිස දුශ්ශීල වේ. ලමුදහම් ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල දේවසදෘශ අසුරපරිවාර වේ.
මහණෙනි, කෙසේ පුද්ගල දේවසදෘශ දේවපරිවාර වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වෙයි. කලණ දහම් ඇතියේ වෙයි. ඔහුගේ පිරිස ද සිල්වත් වෙයි. කලණදහම් ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල දේවසදෘශ දේවපරිවාර වේ.
මහණෙනි, මේ සතරපුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 2. 5. 2.
[පඨම සමාධි සූත්‍රය]
42. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තමා සතන්හි අර්‍පණාචිත්තසමාධිය ලබන සුලු වෙයි. සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය නො ලබන සුලු වෙයි.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වෙයි. තමා සතන්හි අර්‍පණාචිත්තසමාධිය නො ලබන සුලු වෙයි.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්‍පණාචිත්තසමාධිය නොම ලබන සුලු වෙයි. සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ද නො ලබන සුලු වෙයි.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්‍පණාචිත්තසමාධිය ද ලබන සුලු වෙයි. සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ද ලබන සුලු වෙයි.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමානයහ.
4. 2. 5. 3.
[දුතිය සමාධි සූත්‍රය]
43. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්‍පණාචිත්ත සමාධිය ලබන සුලු වෙයි. සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය නො ලබන සුලු වෙයි.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් සංස්කාරපරිග්‍රාහක විදර්‍ශනාඥානය ලබන සුලු වෙයි. තමා කෙරෙහි අර්‍පණාචිත්තසමාධිය නො ලබන සුලු වෙයි.
මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් තමා කෙරෙහි අර්‍පණාචිත්ත සමාධිය නො ම ලබන සුලු වෙයි. සංස්කාරපරිග්‍රාහකවිදර්‍ශනාඥානය ද නො ලබන සුලු වෙයි.