Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 3501-3600 න් 15980

5. එහෙයින් බුදුරදුන්ගේ අනුශාසනය සිහි කරණ ප්‍රශස්ත බුද්ධි ඇතියා සැදෑය, සිල්ය, පැහැදීම්ය, දහම්දස්නය යන මෙහි යෙදෙන්නේ ය.
4. 2. 1. 3.
[පඨම සංවාස සූත්‍රය]
3. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මධුරා-වේරඤ්ජා දෙ පියෙස අතර අදන්මගට පිළිපන් සේක. බොහෝ ගෘහපතීහු ද ගෘහපති භාර්‍ය්‍යාවෝ ද, මධුරා-වේරඤ්ජා දෙපියෙස අතර අදන්මගට පිළිපන් හ. එක්බිති භාග්‍යවතුන් වහන්සේ මගින් ඉක්ම එක්තරා රුක්මුලෙක වැඩහුන්හ. ඒ ගැහැවියෝ ද ගැහැවි දූහු ද එක්තරා රුක්මුලෙක වැඩහුන් බුදුන් දුටහ. දැක බුදුන් වෙත එළඹිය හ. එළඹ බුදුන් සකසා වැඳ එකත්පස්ව හුන් හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස්ව හුන් ඒ ගැහැවියනුදු ගැහැවි දූනුදු බණවා තෙල වදාළහ.
ගැහැවියෙනි, මේ සතර සහවාස කෙනෙකි. කවර සතර කෙනෙක යත්:
(ගුණ නැතියෙන්) ලමු වූයේ (ගුණ නැතියෙන්) ලමු වූවක හා සමග වෙසෙයි. ලමු වූයේ (ගුණ සැපතින්) දෙවු දුවක හා සමග වෙසෙයි. (ගුණ සැපතින්) දෙවි වූයේ ලමු වූවක හා සමග වෙසෙයි. දෙවි වූයේ දෙව්දුවක හා සමග වෙසෙයි.
ගැහැවියෙනි, කෙසේ ලමු වූයේ ලමු වූවක හා සමග වෙසේ ද? ගැහැවියෙනි, මෙ ලොව සැමියෙක් ප්‍රාණවධ කරන්නේ අයිනාදන් ගන්නේ, කාමයෙහි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, මද පමා දෙකට කරුණු වූ රහමෙර බොන්නේ වෙයි. දුසිල් වූයේ පවිටු දහම් ඇතියේ වැළඳ ගත් මසුරු මල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්‍දා බස් බණන්නේ වෙයි. ඔහුගේ භාර්‍ය්‍යාව ද ප්‍රාණවධ කරන්නී, අයිනාදන් ගන්නී, කාමයෙහි මිසහසර ඇත්තී, බොරු කියන්නී, මද පමා දෙකට කරුණු වූ රහමෙර බොන්නී වෙයි. දුසිල් වූවා, ලමුදහම් ඇත්තී, වැළඳ ගත් මසුරු මල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්‍දා බස් බණන්නී වෙයි. ගැහැවියෙනි, මෙ පරිදි ලමු වූයේ ලමු වූවක හා එක්ව වෙසෙයි.
ගැහැවියෙනි, කෙසේ ලමු වූයේ දෙවු දුවක හා එක්ව වෙසේ ද? ගැහැවියෙනි, මෙලොව සැමියෙක් ප්‍රාණවධ කරන්නේ ... මද පමා දෙකට කරුණු වූ රහමෙර බොන්නේ වෙයි. දුසිල් වූයේ, ලමු දහම් ඇත්තේ, වැළඳගත් මසුරු මල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණබමුණනට ආක්‍රෝශ හා නින්‍දාබස් බණන්නේ වෙයි. ඔහුගේ භාර්‍ය්‍යාව ද ප්‍රාණවධයෙන් වැළකියා අයිනාදනින් වැළකියා, කාමයෙහි මිසහසරින් වැළකියා මුසවායෙන් වැළකියා, මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියා වෙයි. සිල්වත් වූවා, කලණදහම් ඇත්තී, වැළඳ ගත් මසුරුමල නැති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණබමුණනට ආක්‍රෝශ හා නින්‍දා බස් නො බණන්නී වෙයි. ගැහැවියෙනි, මෙ පරිදි ලමු වූ යේ දෙව්දුවක හා එක්ව වෙසෙයි.
ගැහැවියෙනි, කෙසේ දෙවි වූයේ ලමු වූවක හා එක්ව වෙසේ ද? ගැහැවියෙනි, මෙලොව්හි සැමියෙක් ප්‍රාණවධයෙන් වැළකුනේ, අයිනාදනින් වැළකුනේ, කාමයෙහි මිසහසරින් වැළකුනේ, මුසාවාදයෙන් වැළකුනේ, මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකුනේ වෙයි. සිල්වත් වූයේ, කලණදහම් ඇත්තේ, පැහු මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණන්ට ආක්‍රෝශ හා නින්‍දා බස් නො බණන්නේ වෙයි. ඔහුගේ භාර්‍ය්‍යාව ද ප්‍රාණවධ කරන්නී ... මද පමා දෙකට කරුණු වූ රහ මෙර බොන්නී වෙයි. දුසිල් වූවා, ලමු දහම් ඇත්තී, වැළඳ ගත් මසුරු මල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණබමුණනට ආක්‍රෝශ හා නින්‍දා බස් බණන්නී වෙයි. ගැහැවියෙනි, මෙ පරිදි දෙවි වූයේ ලමු වූවක හා එක්ව වෙසෙයි.
ගැහැවියෙනි, කෙසේ දෙවි වූයේ දෙව්දුවක හා සමග වෙසේ ද? ගැහැවියෙනි, මෙ ලොව සැමියෙක් ප්‍රාණවධයෙන් වැළකුනේ ... මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකුනේ වෙයි. සිල්වත් වූයේ, කලණ දහම් ඇත්තේ, පැහු මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණබමුණනට ආක්‍රෝශ හා නින්‍දා බස් නො බණන්නේ වෙයි. ඔහුගේ භාර්‍ය්‍යාව ද ප්‍රාණවධයෙන් වැළකියා ... මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියා වෙයි. සිල් වත් වූවා, කලණදහම් ඇත්තී, පැහු මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්‍දා බස් නො බණන්නී වෙයි. ගැහැවියෙනි, මෙපරිදි දෙවි වූයේ දෙව්දුවක හා එක්ව වෙසෙයි. ගැහැවියෙනි, මේ සතර සහවාසයෝ යි.
6. දෙදෙන ම දුසිල් වූවාහු තදමසුරු වූවාහු නින්‍දා පෙරදැරි බස් බණන්නාහු වෙත් ද, ඒ අඹුසැමි දෙදෙනා ලමු ව සහවාසයට ගියාහු වෙත්.
7. සැමි දුසිල් වෙයි, තද මසුරු වෙයි. නින්‍දා පෙරදැරි කොට බස් බණන්නේ වෙයි. බිරිය සිල්වත් වෙයි. දන්කලු වෙයි. පැහූ මසුරුමල ඇත්තී වෙයි. ඒ දේවිය ලමු සැමියා හා එක්ව වෙසෙයි.
8. සැමි සිල්වත් වෙයි, දන්කලු වෙයි. පැහූ මසුරුමල ඇති වෙයි. බිරිය දුසිල් වෙයි. තද මසුරු වෙයි. නින්‍දා පෙරදැරි කොට බස් බණන්නී වෙයි. හො ද ලමු වූවා දෙවි වූ හිමියා හා එක්ව වෙසෙයි.
9. දෙදෙන ම සැදැහැති ව දන්කලු ව ශීල සංයම ඇති ව දහම් හි සිට දිවි වටනාහු වෙත් ද, ඒ අඹුසැමිහු උනුනට ප්‍රියංවද වෙත්.
10. සම සිල් ඇති ඒ දෙදෙනාගේ අභිවෘද්ධිහු ප්‍රවුර වෙත්. උනුනට පහසු විහරණ වෙයි, අමිත්‍රයෝ ද්වේෂයෙන් දුටු සිත් ඇති වෙත්.
11. මෙලොව සමානශීලව්‍රත ඇති ඒ දෙදෙන දහම් පුරා සතුටු වූවාහු දෙව්ලොව දී කාමසම්පත්ති කැමති වන්නාහු (විපාකමෝදනායෙන්) මුදිත වෙත්.
4. 2. 1. 4.
[දුතිය සංවාස සූත්‍රය]
4. මහණෙනි, මේ සංවාසයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ලමු වූයේ ලමු වූවක හා සමග වෙසෙයි. ලමු වූයේ දෙව්දුවක හා සමග වෙසෙයි. දෙවි වූයේ ලමු වූවක හා එක්ව වෙසෙයි. දෙවිවූයේ දෙව්දුවක හා එක්ව වෙසෙයි.
මහණෙනි, කෙසේ ලමු වූයේ ලමු වූවක හා සමග වෙසේ ද? මහණෙනි, මෙ ලොව සැමියෙක් ප්‍රාණවධ කරන්නේ, අයිනාදන් ගන්නේ, කාමයන්හි වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, පෙහෙසුන් බස් ඇත්තේ, පරොස්බස් ඇත්තේ, පලප් බස් ඇත්තේ, දළ ලොබ බහුල කොට ඇත්තේ, ව්‍යාපාද යුත් සිතැත්තේ, මිසදිටු වූයේ වෙයි. දුසිල් වූයේ, පවිටු දහම් ඇතියේ, වැළඳගත් මසුරු මලැති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙරදැරි බස් බණන්නේ වෙයි. ඔහුගේ භාර්‍ය්‍යාව ද ප්‍රාණවධ කරන්නී, අයිනාදන් ගන්නී, කාමයෙහි වරදවා හැසිරෙන්නී, මුසවා බණන්නී, පෙහෙසුන් තෙපලන්නී, පරොස් බස් තෙපලන්නී, පලප් බස් දොඩන්නී, දැඩිලොබ බහුල කොට ඇත්තී, ව්‍යාපාදයට පත් සිතැත්තී, මිසදිටු ඇත්තී වෙයි. දුසිල් වූවා පවිටු දහම් ඇත්තී, වැළද ගත් මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණබමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙරදැරි බස් බණන්නී වෙයි. මහණෙනි, මෙ පරිදි ලමු වූයේ ලමු වූවක හා එක්ව වෙසෙයි.
මහණෙනි, කෙසේ ලමු වූයේ දෙව්දුවක හා සමග වෙසේ ද? මහණෙනි, මෙ ලොව සැමියෙක් ප්‍රාණවධ කරන්නේ, ... මිසදිටු වූයේ පවිටු දහම් ඇත්තේ වෙයි. දුසිල් වූයේ, වැළඳගත් මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙරදැරි බස් බණන්නේ වෙයි. ඔහුගේ බිරිය ප්‍රාණවධයෙන් වැළකියා, අයිනාදනින් වැළකියා, කාමයෙහි මිසහසරින් වැළකියා, මුසවායෙන් වැළකියා, පෙහෙසුනෙන් වැළකියා, පරොස් බසින් වැළකියා, පලපින් වැළකියා, බිහිලි දළ ලොබින් වැළකියා, ව්‍යාපායට නො ගිය සිතැත්තී සම්දිටු ඇත්තී වෙයි. සිල්වත් වූවා, කලණ දහම් ඇත්තී, පැහූ මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වුසූ වෙයි. මහණබමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙරදැරි බස් නො බණන්නී වෙයි. මහණෙනි, මෙ පරිදි ලමු වූයේ දෙව්දුවක හා එක්ව වෙසෙයි.
මහණෙනි, කෙසේ දෙවිවූයේ ලමුවූවක හා සමග වෙසේ ද? මහණෙනි, මෙලොව සැමියෙක් ප්‍රාණවධයෙන් වැළකුනේ, අයිනාදනින් වැළකුනේ, කාමයෙහි මිසහසරින් වැළකුනේ, මුසවායෙන් වැළකුනේ, පෙහෙසුනින් වැළකුනේ, පරොස් බසින් වැළකුනේ, පලපින් වැළකුනේ, දැඩි ලොබ බිහිලි කොට නැත්තේ, ව්‍යාපාදයට නොපත් සිත් ඇත්තේ, සම්දිටු ඇත්තේ වෙයි. සිල්වත් වූයේ කලණ දහම් ඇත්තේ පැහූ මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසේ. මහණබමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙරදැරි බස් නො බණන්නේ වෙයි. ඔහුගේ භාර්‍ය්‍යාව ප්‍රාණවධ කරන්නී, ... මිසදිටු ඇත්තී වෙයි. දුසිල් වූවා, පවිටු දහම් ඇත්තී, වැළඳගත් මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙර දැරි බස් බණන්නී වෙයි. මහණෙනි, මෙ පරිදි දෙවිවූයේ ලමුවූවක හා එක්ව වෙසෙයි.
මහණෙනි, කෙසේ දෙවිවූයේ දෙව්දුවක හා එක්ව වෙසේ ද? මහණෙනි, මෙලොව සැමියෙක් ප්‍රාණවධයෙන් වැළකුනේ, ... සම්දිටු ඇත්තේ වෙයි. සිල්වත් වූයේ කලණ දහම් ඇත්තේ පැහූ මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙරදැරි බස් නො බණන්නේ වෙයි. ඔහුගේ බිරිය ද ප්‍රාණවධයෙන් වැළකියා ... සම්දිටු ඇත්තී වෙයි. සිල්වත් වූවා කලණ දහම් ඇත්තී පැහු මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණ බමුණනට ආක්‍රෝශ හා නින්‍දා පෙරදැරි බස් නොබණන්නී වෙයි. මහණෙනි, මෙපරිදි දෙවිවූයේ දෙව්දුවක හා එක්ව වෙසෙයි. මහණෙනි, මේ සතර සහවාසයෝ යි.
12. දෙමහල්ලෝ ම දුසිල් වූවාහු, තදමසුරු වූවාහු නින්‍දාපෙරදැරි බස් බණන්නාහු වෙත් ද, ඒ අඹුසැමි දෙදෙනා ලමු ව සහවාසයට ගියාහු වෙත්.
13. සැමි දුසිල් වෙයි, තද මසුරු වෙයි, නින්‍දා පෙරදැරි කොට බණන්නේ වෙයි. බිරිය සිල්වත් වෙයි, දන්කලු වෙයි, පැහූ මසුරුමල ඇත්තී වෙයි. ඒ දෙවිය ලමු සැමියා හා එක්ව වෙසෙයි.
14. සැමි සිල්වත් වෙයි. දන්කලු වෙයි. පැහු මසුරුමල ඇති වෙයි. බිරිය දුසිල් වෙයි, තදමසුරු වෙයි, නින්‍දා පෙරදැරි බස් බණන්නී වෙයි. හො ද ලමු වූවා දෙවි වූ හිමියා හා එක්ව වෙසෙයි.
15. දෙදෙන ම සැදැහැති ව, දන්කලු ව ශීලසංයම ඇති ව දහම්හි සිට දිවිවටනාහු වෙත් ද, ඒ අඹුසැමිහු උනුනට ප්‍රියංවද වෙත්.
16. සමසිල් ඇති, ඒ දෙදෙනාගේ අභිවෘද්ධීහු ප්‍රවුර වෙත්. උනුනට පහසු විහරණ වෙයි. අමිත්‍රයෝ ද්වේෂයෙන් දුටුසිත් ඇති වෙත්.
17. මෙලොව සමාන ශීලව්‍රත ඇති ඒ දෙදෙන දහම් පුරා සතුටු වූවාහු දෙව්ලොව දී කාමසම්පත් කැමති වන්නාහු මුදිත වෙත්.
4. 2. 1. 5.
[පඨම (නකුල) සමජීවී සූත්‍රය]
5. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගුරට සුංසුමාරගිරි නුවර භෙසකලාවන නම් (මිහිඟගස් ඇති) මුවලැව්හි වැඩ වෙසෙති. එක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ නකුලපිතු ගැහැවියාගේ නිවෙස කරා එළඹියහ. එළඹ පැන් වූ අස්නෙහි වැඩහුන්හ.
එක්බිති නකුලපිතු ගැහැවි හා නකුලමාතු ගැහැවිදූ හා දෙදෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් නකුලපිතු ගෙහෙවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය.
වහන්ස, යම් කලෙක තරුණවියෙහි සිටි මට තුරුණුවියෙහි සිටි නකුලමාතු ගැහැවිදූ පරිනීත වූ ද, එතැන් සිට නකුලමාතු ගැහැවිදුව සිතින් පවා ඉක්ම ගියෙම් නොදනිමි. කයින් වනාහි කියනු කිම! වහන්ස, අපි දෙදෙනමෝ මෙලොව්හිදු උනුන් දක්නට පරලොව් හි දු උනුන් දක්නට කැමැතියම්හ යනුයි.
නකුලමාතු ගැහැවිදූ ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළා: වහන්ස, යම් කලෙක තරුණවියෙහි සිටි මම තරුණවියෙහි සිටි නකුලපිතු ගැහැවිහට ගෙණෙන ලදුම් ද, නකුලපිතු ගැහැවියා සිතින් පවා ඉක්ම ගියෙම් නොදනිමි. කයින් වනාහි කියනු කිම! වහන්ස, අපි දෙදෙනමෝ මෙලොව්හි ද උනුන් දක්නට පරලොව්හි දු උනුන් දක්නට කැමැතියම්හ යනුයි.
ගැහැවිකුලවැසියෙනි, ඉදින් අඹුසැමි දෙදෙන මෙලොව්හි ද උනුන් දක්නට පරලොව්හි ද උනුන් දක්නට කැමැති වන්නහු නම් දෙදෙන ම සමසැදැහැ ඇතියාහු නම් සම සිල් ඇතියාහු නම් සමත්‍යාග ඇතියාහු නම් සමප්‍රඥා ඇතියාහු නම් ඔහු දෙදෙන මෙලොව්හි ද උනුන් දක්නාහ. පරලොව්හි ද උනුන් දක්නාහ.
18. දෙදෙන ම සැදැහැතිව, දන්කලු ව ශීලසංයම ඇතිව දහම්හි සිට දිවිවටනාහු වෙත් ද, ඒ අඹුසැමිහු උනුනට ප්‍රියංවද වෙති.
19. සමසිල් ඇති ඒ දෙදෙනාගේ අභිවෘද්ධීහු ප්‍රචුර වෙත්. උනුනට පහසු විහරණ වෙයි. අමිත්‍රයෝ ද්වේෂයෙන් දුටුසිත් ඇති වෙත්.
20. මෙලොව සමාන ශීලව්‍රත ඇති ඒ දෙදෙන දහම් පුරා සතුටු වූවාහු දෙව්ලොව දී කාමසම්පත් කැමැති වන්නාහු මුදිත වෙත්.
4. 2. 1. 6.
[දුතිය (නකුල) සමජීවී සූත්‍රය]
6. මහණෙනි, ඉදින් අඹුසැමිහු දෙදෙනා මෙලොව්හිත් පරලොව්හිත් උනුන් දක්නට කැමති වන්නාහු නම් දෙදෙන ම සම සැදැහැ සමසිල් සමත්‍යාග සමප්‍රඥා ඇතිවන්නාහුය. ඔහු දෙදෙන මෙලොව්හි ද පරලොව්හි ද උනුන් දක්නාහ.
21. දෙමහල්ලෝ ම සැදැහැතිව, දන්කලු ව, ශීලසංයම ඇති ව දහම්හි සිට දිවිවටනාහු වෙත් ද, ඒ අඹුසැමිහු උනුනට ප්‍රියංවද වෙති.
22. සම සිල් ඇති ඒ දෙදෙනාගේ අභිවෘද්ධීහු ප්‍රචුර වෙත්. උනුනට පහසු විහරණ වෙයි. අමිත්‍රයෝ ද්වේෂයෙන් දුටුසිත් ඇති වෙත්.
23. මෙලොව සමාන ශීලව්‍රත ඇති ඒ දෙදෙන දහම් පුරා සතුටු වූවාහු දෙව්ලොවදී කාමසම්පත් කැමැති වන්නාහු මුදිත වෙත්.
4. 2. 1. 7.
[සුප්පවාසා සූත්‍රය]
7. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝලිය දනව්වෙහි සජ්ජනෙල නම් කෝලියරජකුලන්ගේ නියම්ගම්හි වැඩ වෙසෙති. එක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ සුප්පාවාසා නම් කොලියරාජදුහිතෘවගේ නිවෙස්නය කරා වැඩිය හ. වැඩ පැන් වූ අස්නෙහි වැඩ හුන්හ.
එක්බිති සුප්පවාසා කෝලිය රජදුව භාග්‍යවතුන් වහන්සේ ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සතපා ලූ ය. මොනොවට පවරාලූය. එක්බිති සුප්පවාසා කෝලිය රජදූ නිමකළ වැළඳුම් ඇති, පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ දැක එකත්පස් ව හුන. භාග්‍යවතුන් වහන්සේ එකත්පස්ව හුන් සුප්පවාසා කෝලිය රජදුවට තෙල වදාළහ:
සුප්පවාසාවෙනි, බොජුන් දෙන අරීසැවි ප්‍රතිග්‍රාහකයනට සතර කරුණක් දෙයි. කවර සතර කරුණෙක යත්:
ආයුෂ දේ, වර්‍ණය දේ, සුඛය දේ, බලය දේ, ආදන් දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ ආයුෂයට හිමි වෙයි. වර්‍ණදාන දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ වර්‍ණයට හිමි වෙයි. සුඛදාන දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ සුඛයට හිමි වෙයි. බලදාන දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ බලයට හිමි වෙයි. සුප්පවාසාවෙනි, බොජුන් දෙන අරීසැවි ප්‍රතිග්‍රාහකයනට මේ සතර කරුණු දෙයි.
24-25 යම් අරිසැවියක් පවිත්‍ර ප්‍රණීත රසයෙන් යුත් බොජුන් මොනොවට සකස් කොට දේද , පසළොස් චරණධර්‍මයෙන් සමන්‍වාගත මහද්ගත වූ රහතුන් විෂයෙහි මහත්ඵල ඇති, බුදුන් විසින් වණන ලද, ඒ දක්‍ෂිණාව දෙන ලද ද, පිනෙන් පින සසඳන මෙබඳු දානය සිහි කරණ යම් අරීසැවි කෙනෙක් උපන් ප්‍රීති ඇතිව ලෝකයෙහි වෙසෙත් ද, ඔහු මසුරුමල මුලුසුන් කොටපියා අනින්‍දිතව සගතැන් පැමිණෙත්.
4. 2. 1. 8.
[සුදත්ත (අනාථපිණ්ඩික) සූත්‍රය]
[සැවැත්නිදාන යි]
8. එක්බිති අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන් අනේපිඬු ගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.
ගැහැවිය, බොජුන් දෙන අරීසවු පිළිගාවනට සතර කරුණක් දෙයි. කවර සතර කරුණෙක යත්:
ආයුෂ දෙයි, වර්‍ණය දෙයි, සුඛය දෙයි, බලය දෙයි. ආයුෂ දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ ආයුෂයට හිමි වෙයි. වර්‍ණය දී ... සුඛය දී ... බලය දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ බලයට හිමි වෙයි. ගැහැවියෙනි, බොජුන් දෙන අරීසවු පිළිගාවනට මේ සතර කරුණු දෙයි.
26. යමෙක් සංයත වූ පරා දුන් බොජුන් වළඳනවුනට නිසි කල්හි සකසා බොජුන් දේ ද, හේ ආයුෂය වර්‍ණය සුඛය බලය යි සතර කරුණු දෙයි.
27. ආයුදායක බලදායක සුඛදායක වර්‍ණදායක ඒ මිනිස් යම් යම් තැනෙක උපදනේ ද, එ හැමතැන දීර්‍ඝායුෂ්ක වෙයි. මහාපරිවාර ද වෙයි.
4. 2. 1. 9.
[භෝජනදායක සූත්‍රය]
9. මහණෙනි, බොජුන් දෙන දායක පිළිගාවනට සතර කරුණක් දෙයි. කවර සතර කරුණෙක යත්:
ආයුෂ දෙයි, වර්‍ණය දෙයි, සුඛය දෙයි, බලය දෙයි. ආයුෂ දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ ආයුෂයට හිමි වෙයි. වර්‍ණය දී ... සුඛය දී ... බලය දී දිව්‍ය වූ හෝ මානුෂ වූ හෝ බලයට හිමි වෙයි. මහණෙනි, බොජුන් දෙන දායක පිළිගාවනට මේ සතර කරුණු දෙයි.
28. යමෙක් සංයත වූ පරා දුන් බොජුන් වළඳනවුනට නිසි කල්හි සකසා බොජුන් දේ ද, හේ ආයුෂය, වර්‍ණය, සුඛය, බලය යි සතර කරුණු දෙයි.
29. ආයුදායක, බලදායක, සුඛදායක, වර්‍ණදායක ඒ මිනිස් යම් යම් තැනක උපදනේ ද, එ හැම තැන දීර්‍ඝායුෂ්ක වෙයි. මහාපරිවාර ද වෙයි.
4. 2. 1. 10.
[ගිහිසාමීචිපටිපදා සූත්‍රය]
10. එක්බිති අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් අනේපිඬු ගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.
ගැහැවියෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක යශස් ප්‍රතිලාභයට හේතු වූ ස්වර්‍ගය පිණිස පවත්නා ගිහීසාමීචිපටිපදාවට පිළිපන්නේ වෙයි. කවර සතර කරුණෙකින යත්:
ගැහැවියෙනි, මෙලොව ආර්‍ය්‍යශ්‍රාවකයෙක් සිවුරෙන් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි. පිඬුවායෙන් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි. සෙනසුනින් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි. ගිලන්පස බෙහෙසත් පිරිකරින් බික්සඟහු පුදනට එළඹ සිටියේ වෙයි.
ගැහැවියෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක යශස් ගෙණ දෙන ස්වර්‍ගය පිණිස පවත්නා ගිහීසාමිචි ප්‍රතිපත්තියට පිළිපන්නේ වෙයි.
30. සම්‍යග්ගත සිල්වත් පිළිගාවන් සිවුරින් පිඬුවායෙන් යහනින් ගිලන්පසින් උපස්ථාන කරණ පණ්ඩිත ගිහියෝ ගිහීසාමීචි පිළිවෙත පිළිපදිත්.
31. ඔවුනට දවරෑ දෙක්හි හැමදින පින් වැඩෙයි. කල්‍යාණකර්‍ම කොට ස්වර්‍ගයට යෙයි.
පුණ්‍යාභිසන්‍දවර්‍ගය පළමුවැනි යි.
එහි උද්දානය:
පුණ්‍යාභිසන්‍ද දෙකය, සංවාස දෙකය, සමජීවී දෙකය, සුප්පාවාසය, සුදත්තය, භෝජනය, ගිහීසාමීචිය යි සූත්‍ර දශයෙකි.
2. පත්තකම්ම වර්‍ගය
4. 2. 2. 1.
[පත්තකම්ම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
11. එකල්හි අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස් ව හුන් අනේපිඬුසිටුහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ගැහැවිය, ලෝකයෙහි ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දුර්‍ලභ වූ මේ සතර දහම්හු ය. කවර සතර දහම්හුය යත්:
‘මට භෝගසම්පත්හු දහම් නො බිඳ ගෙණ උදාවෙත්ව’ යි ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප, දුර්‍ලභ මේ පළමුවන දහම ය.
‘දහම් නො බිඳ ගෙණ භොග සම්පත් ලැබ නෑයන් නො හැර සංදෘෂ්ට, සම්භක්තයන් නො හැර මාගේ පිරිවර සැපත් නැගේව’යි ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප, දුර්‍ලභ මේ දෙවන දහම ය.
‘දහම් නො බිඳ භෝගයන් ලැබ නෑයන් නොහැර සංදෘෂ්ට සම්භක්තයන් නො හැර පිරිවර සැපත් ලැබ කලක් ජීවත් වෙම්ව යි - දීර්‍ඝායුෂ රැකගණිම්ව’ යි ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප දුර්‍ලභ මේ තෙවන දහම ය.
‘දහම් නො බිඳ භෝගයන් ලැබ නෑයන් නො හැර සංදෘෂ්ට සම්භක්තයන් නො හැර පිරිවර සැපත් ලැබ කලක් ජීවත් ව දීර්‍ඝායුෂ රැක ගෙණ කාබුන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට එළඹෙම් ව’ යි ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප දුර්‍ලභ මේ සතර වන දහම ය.
ගැහැවිය, ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප දුර්‍ලභ මේ සතර දහම්හු යි.
ගෙහෙවිය, ඉෂ්ට, කාන්ත, මනාප ලෝකයෙහි දුර්‍ලභ මේ සතර ධර්‍මයන්ගේ ප්‍රතිලාභය පිණිස සතර දහම් කෙනෙක් ඇත. කවර සතර කෙනෙක යත්:
ශ්‍රද්ධාසම්පදා ය, ශීලසම්පදා ය, ත්‍යාගසම්පදා ය, ප්‍රඥාසම්පදා යි.
ගෙහෙවිය, ශ්‍රද්ධාසම්පදා නම් කවරය යත්: ගෙහෙවිය, මෙ ලොව අරීසවු සැදැහැ ඇත්තේ වෙයි. ‘මෙකරුණිනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, අනුත්තර පුරුෂදම්‍ය සාරථියහ, දෙවි මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත් හ’ යි තථාගතයන් වහන්සේගේ සම්‍යක් සම්බෝධිය හදහයි. ගෙහෙවිය, මේ ශ්‍රද්ධාසම්පදා යි කියනු ලැබේ.
ගැහැවිය, ශීලසම්පදා නම් කවරය යත්: ගැහැවිය, මෙ ලොව අරීසවු පණිවායෙන් දුරු වූයේ වෙයි. ... මද පමා දෙකට කරුණු වන රහමෙරින් දුරු වූයේ වෙයි. ගෙහෙවිය, මේ ශීලසම්පදා යි කියනු ලැබේ.
ගෙහෙවිය, ත්‍යාගසම්පදා නම් කවරය යත්: ගෙහෙවිය, මෙලොව අරීසවු පැහූ මසුරුමල ඇති සිතින් ගිහිගෙයි වෙසෙයි. වුහුටුවත්හි බැලුම් නැතියේ වෙයි. දෙන්නට දෙවි අත් ඇතියේ වෙයි. පීමෙහි ඇලුනේ වෙයි, යදනට නිසිවූයේ වෙයි, දීම් බෙදීම් දෙක්හි ඇලුනේ වේ. ගැහැවිය, මේ ත්‍යාගසම්පදා යි කියනු ලැබේ.
ගැහැවිය, ප්‍රඥාසම්පදා නම් කවරය යත්: ගැහැවිය, අභිධ්‍යාවිෂමලෝභයෙන් මැඩුනු සිතින් වසනුයේ අකර්‍තව්‍යය කෙරෙයි, කර්‍තව්‍යය වළහයි, අකර්‍තව්‍යය කරණුයේ කර්‍තව්‍යය වළහනුයේ යශසිනුත් සුඛයෙනුත් පිරිහේ. ගැහැවිය, ව්‍යාපාදයෙන් මැඩුනු සිතින් වසනුයේ අකර්‍තව්‍යය කෙරෙයි, කර්‍තව්‍යය වළහයි. අකර්‍තව්‍යය කරණුයේ කර්‍තව්‍යය වළහනුයේ යශසිනුත් සුඛයෙනුත් පිරිහෙයි. ගැහැවිය, සත්‍යානමිද්ධයෙන් මැඩුනු සිතින් වසනුයේ අකර්‍තව්‍යය කෙරෙයි, කර්‍තව්‍යය වළහයි, අකර්‍තව්‍යය කරණුයේ, කර්‍තව්‍යය වළහනුයේ යශසිනුත් සුඛයෙනුත් පිරිහෙයි. උද්ධච්චකුක්කුච්චයෙන් මැඩුනු සිතින් වසනුයේ අකර්‍තව්‍යය කෙරෙයි, කර්‍තව්‍යය වළහයි, අකර්‍තව්‍යය කරණුයේ කර්‍තව්‍යය වළහනුයේ යශසිනුත් සුඛයෙනුත් පිරිහෙයි. ගෙහෙවිය, විචිකිච්ඡායෙන් මැඩුනු සිතින් වසනුයේ අකර්‍තව්‍යය කෙරෙයි, කර්‍තව්‍යය වළහයි, අකර්‍තව්‍යය කරණුයේ කර්‍තව්‍යය වළහනුයේ යශසිනුත් සුඛයෙනුත් පිරිහෙයි.
ගැහැවිය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක ‘අභිධ්‍යාවිෂමලෝභය චිත්තයාගේ උපක්ලේශයෙක’ යනු දැන චිත්තෝපක්ලේශයක් වූ අභිධ්‍යාවිෂමලෝභය හැර පියයි. ‘ව්‍යාපාදය චිත්තයාගේ උපක්ලේශයෙක’ යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ව්‍යාපාදය හැර පියයි. ‘ස්ත්‍යානමිද්ධය චිත්තයාගේ උපක්ලේශයෙක’ යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ස්ත්‍යානමිද්ධය හැර පියයි. ‘ඖද්ධත්‍යකුකෘත්‍යය චිත්තයාගේ උපක්ලේශයෙක’ යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ඖද්ධත්‍යකුකෘත්‍යය හැර පියයි. ‘විචිකිත්සා චිත්තයාගේ උපක්ලේශයෙක’ යනු දැන චිත්තෝපක්ලේශයක් වූ විචිකිත්සාව හැර පියයි.
ගෙහෙවිය, යම් කලෙක සිට ආර්‍ය්‍යශ්‍රාවකයාගේ අභිධ්‍යාවිෂමලෝභය චිත්තයාගේ උපක්ලේශයෙක යනු දැන චිත්තෝපක්ලේශයක් වූ අභිධ්‍යාවිෂමලෝභය ප්‍රහීණ වේ ද, ව්‍යාපාදය චිත්තයාගේ උපක්ලේශයෙක යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ව්‍යාපාදය ප්‍රහීණ වේ ද, ස්ත්‍යානමිද්ධය චිත්තයාගේ උපක්ලේශයෙක යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ස්ත්‍යානමිද්ධය ප්‍රහීණ වේ ද, ඖද්ධත්‍යකුකෘත්‍යය චිත්තයාගේ උපක්ලේශයෙක යනු දැන චිත්තෝපක්ලේශයක් වූ ඖද්ධත්‍යකුකෘත්‍යය ප්‍රහීණ වේ ද, විචිකිත්සාව චිත්තයාගේ උපක්ලේශයෙක යනු දැන චිත්තෝපක්ලේශයක් වූ විචිකිත්සාව ප්‍රහීණ වේ ද, ගැහැවිය, මේ ආර්‍ය්‍යශ්‍රාවක මහාප්‍රාඥය යි ද පෘථුලප්‍රාඥය යි ද, ආපාථ දක්නේය යි ද ප්‍රඥාසම්පන්නය යි ද කියනු ලැබේ. ගෙහෙවිය, මේ ප්‍රඥාසම්පදා යි කියනු ලැබේ.
ගෙහෙවිය, ලෝකයෙහි ඉෂ්ට, කාන්ත, මනාප දුර්‍ලභ මේ සතර දමහුන්ගේ ප්‍රතිලාභයට මේ සතර දහම් කෙනෙක් ඇත.
ගැහැවිය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ, බාහුබලයෙන් වැඩූ, වගුළ සෝදියෙන් ඉපැයූ, ධර්‍මයුක්ත වූ, දැහැමින් ලද, භෝගයෙන් සතර කමක් කරන්නේ වෙයි. කවර සතර කමෙක යත්:
ගැහැවිය, මෙලොව ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ, බාහුබලයෙන් වැඩූ, වගුළ සෝදියෙන් ලැබූ, ධර්‍මයුක්ත වූ, ධර්‍මයෙන් ලැබූ, භෝගයෙන් තමා සුඛිත කෙරේ. බලසම්පන්න කෙරෙයි. මොනොවට සැපසේ වැටෙයි. මවුපියන් සුඛිත කෙරෙයි. බලසම්පන්න කෙරෙයි. මොනොවට සැපසේ පරිහරණ කෙරෙයි. අඹුදරු දස්කම්කරු ජනා සුඛිත කෙරෙයි. බලසම්පන්න කෙරෙයි. මොනොවට සැපසේ පරිහරණ කෙරෙයි. මිතුරුයහළුවන් සුඛිත කෙරෙයි. බලසම්පන්න කෙරෙයි. මොනොවට සැපසේ පරිහරණ කෙරෙයි. ඔහුගේ මේ පළමුවන කිස තැනට ගියේ වෙයි. යුක්තස්ථානගත වෙයි. කරුණු අනුව ම වැළඳුනේ වෙයි.