Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 2901-3000 න් 15980

මහණෙනි, නිර්දෝෂ ශීලයෙන් සමන්‍වාගත වූයේ මෙසස්නෙන් නො ගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, නිර්දෝෂ සමාධියෙන් සමන්‍වාගත වූයේ මෙසස්නෙන් නො ගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, නිර්දෝෂ ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ මෙසස්නෙන් නො ගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, නිර්දෝෂ විමුක්තියෙන් සමන්‍වාගත වූයේ මෙසස්නෙන් නොගිළිහිනැ යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත වූයේ මෙසස්නෙන් නොගිළිහිනැ යි කියනු ලැබේ.
3. (යම් කෙනෙක්) ච්‍යුත වූහු ද, (ඔහු ච්‍යුත වන බැවින් හෙත්. යම් කෙනෙක්) පතිත වූහු ද, (ඔහු පතිත වන බැවින්) ච්‍යුත වෙත්. රාගයෙන් රත්වූවාහුද යලි ජාත්‍යාදියට වැටුනහ. සිවුමගින් කළයුතු කිස කොට නිමවන ලදි. ඇලියයුතු ගුණෙහි ඇලෙන ලදී. (මානුෂසුඛාදි) සුඛයෙන් (දිව්‍යසුඛාදි) සුඛය පිළිවෙළින් ලබන ලදී.
4. 1. 1. 3.
[පඨමඛත සූත්‍රය]
3. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාලයා ගුණ විසින් සාළ (එහෙයින් ම) නට, ආත්මය (ස්වසන්තානය) පස්වටයි. නුවණැත්තනට දොස් සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ අකුසල්ද රැස් කෙරෙයි. කවර කරුණෙන යත්:
නොදැන (විමසීම් විසින්) නො බැස ගෙණ නුගුණ කියයුත්තහුගේ ගුණ කියයි.
නොදැන නො බැස ගෙණ ගුණ වැණිය යුත්තහුගේ අගුණ කියයි.
නොදැන නො බැස ගෙණ නොපහදනහට නිසි කරුණෙහි පැහැදීම උපදවයි.
නොදැන නො බැස ගෙණ පහදනහට නිසි කරුණෙහි අප්‍රසාදය උපදවයි.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාලයා ගුණ විසින් සෑරු එහෙයින් ම නටුවා වූ ආත්මය පිළිදගනේය. නුවණැතියනට වරද සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වේ. බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙයි.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත, ව්‍යක්ත, සත්පුරුෂ, පණ්ඩිත තෙමේ ගුණ විසින් සාරා නො ලන ලද (එහෙයින් ම) නො නටුවා වූ ආත්මය පරිහරණය කෙරෙයි. නුවණැතියනට දෝෂ රහිතයෙක් ද උපවාද රහිතයෙක් ද වෙයි. බොහෝ කුසල් ද රැස් කෙරෙයි. කවර සතර කරුණෙන යත්:
දැන ගෙණ විමසීම් විසින් බැස ගෙණ නුගුණ කිය යුත්තහුගේ නුගුණ කියයි.
දැන ගෙණ බැස ගෙණ ගුණ කියනට නිස්සහුගේ ගුණ කියයි.
දැන ගෙණ බැස ගෙණ නො පහදනහට නිසි කරුණෙහි නො පැහැදීම උපදවයි.
දැන ගෙණ බැස ගෙණ පහදනහට නිසි කරුණෙහි ප්‍රසාදය උපදවයි.
මහණෙනි, මේ සතර කරුණෙන් සමන්‍වාගත, ව්‍යක්ත, සත්පුරුෂ, පණ්ඩිත තෙමේ ගුණ විසින් නො සැරු එහෙයින් ම නො නට ආත්මය පිළිදගනේ ය. නුවණැතියනට දෝෂ රහිතයෙක් ද උපවාද රහිතයෙක් ද වේ. බොහෝ කුසල් ප්‍රසව කෙරෙයි.
4. යමෙක් නින්‍දාර්‍හයා පසසා ද, යමෙක් ප්‍රශංසාර්‍හ වේ නම් ඔහු හෝ නිගණී ද, හෙ තෙමේ මුවින් පව් රැස් කෙරෙයි. ඒ පවින් සුඛයක් නො ලබන්නේය.
5. දූකෙළියෙහි ලා සියලු ස්වකීය ධනය හා තමා ද හා සමග යම් ධනපරාජයෙක් වේ ද, මේ පරාජය ස්වල්පමාත්‍ර ය. යමෙක් සම්‍යග්ගත පුද්ගලයන් කෙරෙහි සිත අප්‍රීතික කරන්නේ නම් මෙය ම මහත්තර පරාජය වේ.
6. යම් හෙයකින් ලාමක වූ වචනය හා සිත ද පිහිටුවා ආර්‍ය්‍යයන් ගරහනුයේ නිරයට වැදේ ද, (එහි ආයු:ප්‍රමාණය) නිරර්බුද එක්ලක්‍ෂ සතිසෙකි. අර්බුද පසෙකි.
4. 1. 1. 4.
[දුතියඛත සූත්‍රය]
4. මහණෙනි, සතර දෙනෙකු කෙරෙහි වරදවා පිළිපන් අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙමේ ගුණ විසින් සැරු (එහෙයින් ම) නටුවා වූ ආත්මය පරිහරණය කෙරෙයි. නුවණැතියනට දෝෂ සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ පව් ද ප්‍රසව කෙරෙයි. කවර සතර දෙනකු කෙරෙහිය යත්:
මහණෙනි, මෑණියන් කෙරෙහි වරදවා පිළිපදනා අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙමේ ගුණ විසින් සැරු නටුවා වූ ආත්මය පරිහරණය කෙරෙයි. නුවණැතියනට දෝෂ සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ පව් ද රැස් කෙරෙයි.
මහණෙනි, පියාණන් කෙරෙහි වරදවා පිළිපන් ... මහණෙනි, තථාගතයන් වහන්සේ කෙරෙහි වරදවා පිළිපන් ... මහණෙනි, තථාගතශ්‍රාවකයා කෙරෙහි වරදවා පිළිපන් අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙමේ (ගුණ විසින්) සාරා ලන ලද (එහෙයින් ම) නටුවා වූ ආත්මය පිළිදගනේ ය. නුවණැතියනට දෝෂ සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ පව් ද ප්‍රසව කෙරෙයි.
මහණෙනි, මේ සතර දෙනා කෙරෙහි වරදවා පිළිපන් අව්‍යක්ත අසත්පුරුෂ බාල තෙමේ සෑරු නටුවා වූ ආත්මය පිළිදගනේ ය. නුවණැතියනට දෝෂ සහිතයෙක් ද උපවාද සහිතයෙක් ද වෙයි. බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙයි.
මහණෙනි, සතරදෙනකු කෙරෙහි මොනොවට පිළිපන් ව්‍යක්ත සත්පුරුෂ පණ්ඩිත තෙමේ නොසාරා ලන ලද (එහෙයින් ම) නො නට ආත්මය පරිහරණය කෙරෙයි. නුවණැතියනට දෝෂරහිතයෙක් ද උපවාදරහිතයෙක් ද වෙයි. බොහෝ පින් ද ප්‍රසව කෙරෙයි. කවර සතර දෙනෙකු කෙරෙහිය යත්:
මහණෙනි, මෑණියන් කෙරෙහි මොනොවට පිළිපදනා ව්‍යක්ත සත්පුරුෂ පණ්ඩිත තෙමේ නො සරූ එහෙයින් ම නො නට ආත්මය පිළිදගනේ ය. නුවණැතියනට දෝෂරහිතයෙක් ද උපවාද රහිතයෙක් ද වෙයි. බොහෝ පින් ද ප්‍රසව කෙරෙයි.
මහණෙනි, පියාණන් කෙරෙහි මොනොවට පිළිපදනා ... මහණෙනි, තථාගතයන් වහන්සේ කෙරෙහි මොනොවට පිළිපදනා ... මහණෙනි, තථාගතශ්‍රාවකයා කෙරෙහි මොනොවට පිළිපදනා ව්‍යක්ත සත්පුරුෂ පණ්ඩිත තෙමේ නො සාරා ලන ලද එහෙයින් ම නො නට ආත්මය පිළිදගනේ ය. නුවණැතියනට දෝෂ රහිතයෙක් ද උපවාද රහිතයෙක් ද වෙයි. බොහෝ පින් ද ප්‍රසව කෙරෙයි.
මහණෙනි, මේ සතර දෙනා කෙරෙහි මොනොවට පිළිපදනා ව්‍යක්ත සත්පුරුෂ පණ්ඩිත තෙමේ සාරා නො ලූ එහෙයින් ම නො නට ආත්මයක් පිළිදගනේ ය. නුවණැතියනට දෝෂරහිතයෙක් ද උපවාද රහිතයෙක් ද වෙයි. බොහෝ පින් ද ප්‍රසව කෙරෙයි.
7. යම් මිනිසෙක් (මිත්තවින්‍දකාදීන් සෙයින්) මෑණියන් කෙරෙහි ද, (අජාතශත්‍රැ ආදීන් සෙයින්) පියා කෙරෙහි ද වරදවා පිළිපදනේ ද, (දේවදත්ත ආදීන් සෙයින්) සම්‍යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේ කෙරෙහිද වරදවා පිළිපදනේ ද, වැලිත් (කෝකාලිකාදීන් සෙයින්) තථාගත ශ්‍රාවකයා කෙරෙහි වරදවා පිළිපදනේ ද, එබඳු ඒ මිනිස් බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙයි.
8. මවු පියන් කෙරෙහි ලා කළ ඒ අධර්‍මචර්‍ය්‍යායෙන් පඬිහු මෙලොව්හි ම ඔහු ගරහත් මෙයින් සැව අපායට ද යෙයි.
9. යම් මිනිසෙක් මවුකෙරෙහි දු පියා කෙරෙහි දු සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේ කෙරෙහි දු වැලිත් තථාගතශ්‍රාවකයා කෙරෙහි දු මොනොවට පිළිපදනේ ද, එබඳු ඒ මිනිස් බොහෝ පිණුදු ප්‍රසව කෙරෙයි.
10. මවුපියන්කෙරෙහි ලා කළ (සම්‍යක් ප්‍රතිපත්ති සඞ්ඛ්‍යාත) ඒ පඬිහු ඔහු මෙලොව්හිම පසසත්. මෙයින් සැව ධර්‍මචර්‍ය්‍යායෙන් ස්වර්‍ගයෙහි ද (විපාකනන්‍දනායෙන්) සතුටු වෙයි.
4. 1. 1. 5.
[අනුසෝත සූත්‍රය]
5. මහණෙනි, පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්:
අනුසෝතගාමී පුද්ගලය, පටිසෝතගාමී පුද්ගලය, ඨිතත්ත පුද්ගලය, ඕඝතරණය කොට සිටි එහෙයින් ම පරතෙරට ගිය නිවන් තෙලෙහි සිටුනා ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ යි.
මහණෙනි, අනුසෝතගාමී පුද්ගල නම් කවරේය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් වස්තුකාමයන් ද සෙවුනේ ය. පස්පව් ද කෙරේ. මහණෙනි, මේ අනුසෝතගාමී පුද්ගල යි කියනු ලැබේ.
මහණෙනි, පටිසෝතගාමී පුද්ගල නම් කවරේය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් වස්තුකාමයන් නො සෙවුනේ ය. පස්පව් ද නොකරයි. සහගිය දුකින් ද සහගිය දොම්නසින් ද කඳුළු හුනු මුහුණු ඇතියේත් හඬනේ පිරිපුන් පිරිසිදු බඹසර පුරයි. මහණෙනි, මේ පටිසෝතගාමී පුද්ගල යී කියනු ලැබේ.
මහණෙනි, ඨිතත්ත පුද්ගල නම් කවරේය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය ව යෑමෙන් ඕපපාතික වෙයි. ඒ සුදවැසි බඹලොව පිරිනිවන් පානා සුලු වූයේ ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇත්තේ වෙයි. මහණෙනි, මේ ඨිතත්ත පුද්ගල යි කියනු ලැබේ.
මහණෙනි, ඕඝතරණය කොට සිටි එහෙයින් ම පරතෙර ගිය නිවන් තෙලෙහි සිටුනා බ්‍රාහ්මණ පුද්ගල නම් කවරේය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආස්‍රවයන් ක්‍ෂය ව යෑමෙන් අනාස්‍රව වූ (ඵලසමාධි සඞ්ඛ්‍යාත) චේතෝවිමුක්තිය (ඵලප්‍රඥා සඞ්ඛ්‍යාත) ප්‍රඥා විමුක්තිය මෙලොව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසෙයි. මහණෙනි, මේ පුද්ගල ඕඝ තරණය කොට සිටි එහෙයින් ම පරතෙර ගිය නිවන් තෙලෙහි සිටුනා ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ යී කියනු ලැබේ.
මහණෙනි, මේ සතර පුද්ගල කෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ.
11. මෙලොව කාමයන් කෙරෙහි ලා අසංයත වූ අවීතරාග වූ කාමභෝගී වූ පුන පුනා ජාති ජරා දෙකට වැදගන්නා වූ තෘෂ්ණාවට බැස ගත් යම් ජන කෙනෙක් ඇද්ද ඔහු අනුසෝතගාමීහු යි.
12. එහෙයින් ම මෙලොව එළඹ සිටි සිහි ඇති ධීර තෙමේ වස්තුකාමයන් ද පඤ්චපාපයන් ද නො සෙවුනේ සහගිය දුකිනුත් කාමයන් හැර සිටුනේය. ඒ පුඟුලා පටිසෝතගාමී යී කියත්.
13. යම් ආර්‍ය්‍යශ්‍රාවකයෙක් ඒකාන්තයෙන් පඤ්චඕරම්භාගීය කෙලෙසුන් පියා පිරිපුන් ශික්‍ෂා ඇත්තේ අපරිහාණස්වභාව ඇත්තේ චිත්තවශීභාවප්‍රාප්ත වූයේ මොනොවට පිහිටුවා ලූ ෂඩින්‍ද්‍රිය ඇත්තේ වේ ද, ඒ ආර්‍ය්‍යශ්‍රාවක ඒකාන්තයෙන් ඨිතත්ත යී කියනු ලැබේ.
14. යමක්හු විසින් කුශලාකුශලධර්‍මයෝ නුවණින් වැදගෙන නසන ලද්දාහු, අස්තඞ්ගත වූවාහු, විද්‍යමාන නොවෙත් ද, වැස නිම කළ බඹසර ඇති තුන්ලෝ කෙළපත් සිවුමග නුවණින් නිවන් ගියා වූ ඒ ආර්‍ය්‍යශ්‍රාවක තෙම පාරගත යී කියනු ලැබේ.
4. 1. 1. 6.
[අප්පස්සුත සූත්‍රය]
6. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
ශ්‍රැතයෙන් උපපන්න නොවූ (සිද්ධිප්‍රාප්ත නොවූ) අල්පශ්‍රැත ය. ශ්‍රැතයෙන් උපපන්න වූ අල්පශ්‍රැත ය. ශ්‍රැතයෙන් අනුපපන්න වූ බහුශ්‍රුත ය. ශ්‍රැතයෙන් උපපන්න වූ බහුශ්‍රුත යි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ශ්‍රැතයෙන් අනුපපන්න අල්පශ්‍රැතයෙක් වේ ද? මහණෙනි, මෙසස්නෙහි කිසි යම් පුඟුලකු විසින් සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූතධම්ම වෙදල්ල යන නවඟසසුන් මඳක් අසන ලද්දේ වෙයි. හෙතෙම අල්ප වූ ඒ ශ්‍රැතයාගේ අර්‍ත්‍ථය නො දැන පෙළ දහම නො දැන ධර්‍මානුධර්‍ම සඞ්ඛ්‍යාත පූර්‍වභාගප්‍රතිපදාවට නො පිළිපන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රැතයෙන් අනුපපන්න අල්පශ්‍රැතයෙක් වෙයි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ශ්‍රැතයෙන් උපපන්න අල්පශ්‍රැතයෙක් වේ ද? මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලකු විසින් සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූතධම්ම වෙදල්ල යන නවඟ සසුන් ලේශමාත්‍රයක් අසන ලද්දේ වෙයි. හෙතෙම අල්ප වූ ඒ ශ්‍රැතයාගේ අටුවා දැන පෙළ දැන ධර්‍මානුධර්‍මයට පිළිපන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රැතයෙන් උපපන්න අල්පශ්‍රැතයෙක් වෙයි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ශ්‍රැතයෙන් අනුපපන්න බහුශ්‍රැතයෙක් වේ ද? මහණෙනි, මෙ සස්නෙහි කිසියම් පුඟුලකු විසින් සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූතධම්ම වෙදල්ල යන නවඟ සසුන් බොහෝ අසන ලද්දේ වෙයි. හෙතෙම බොහෝ වූ ඒ ශ්‍රැතයාගේ අටුවා නො දැන පෙළ නො දැන ධර්‍මානුධර්‍මයට නො පිළිපන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රැතයෙන් අනුපපන්න බහුශ්‍රැතයෙක් වෙයි.
මහණෙනි, කෙසේ නම් පුද්ගල ශ්‍රැතයෙන් උපපන්න බහුශ්‍රැතයෙක් වේ ද? මහණෙනි, මෙසස්නෙහි කිසියම් පුද්ගලයකු විසින් සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අබ්භූතධම්ම වෙදල්ල යන නවඟ සසුන් බොහෝ අසන ලද්දේ වෙයි. හෙතෙම බොහෝ වූ ඒ ශ්‍රැතයාගේ අටුවා දැන පෙළ දහම දැන ධර්‍මානුධර්‍මයට පිළිපන්නේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ශ්‍රැතයෙන් උපපන්න බහුශ්‍රැතයෙක් වේ.
මහණෙනි, මේ සතර පුද්ගල කෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ.
15. ඉදින් අල්පශ්‍රැතත් වේ ද, ශීලයෙහි පරිපූරකාරීත් නො වේ ද, ඔහු ශීලයෙනුදු ශ්‍රැතයෙනුදු මෙසේ උභයභාගයෙන් ගරහත්.
16. ඉදින් අල්පශ්‍රැතත් වේ ද, ශීලයෙහි පරිපූරකාරීත් වේ ද, ඔහු ශීලභාගයෙන් පසසත්. ඔහුට ශ්‍රැතය නො සැපයේ.
17. ඉදින් බහුශ්‍රැතත් වේ ද, ශීලයෙහි පරිපූරකාරීත් නොවේ ද, ඔහු ශීලභාගයෙන් ගරහත්. ඔහුට ශ්‍රැතය ශ්‍රැතකෘත්‍යය සපයා.
18. ඉදින් බහුශ්‍රැතත් වේ ද, ශීලයෙහි පරිපූරකාරීත් වේ ද, ඔහු ශීලභාගයෙනුදු ශ්‍රැතභාගයෙනුදු මෙසේ උභයභාගයෙන් පසසත්.
19. බහුශ්‍රුත වූ ශ්‍රැතධර්‍මයනට ආධාර වූ සුප්‍රාඥ වූ ජාම්බුනද ස්වර්‍ණනිෂ්කයක් බඳු වූ ඒ බුද්ධශ්‍රාවකයා නිගන්නට කවරෙක් නම් අර්‍හ වේ ද? දෙවියෝ ද පවා ඔහු පසසත්. බ්‍රහ්මයා විසිනුදු පසස්නා ලද්දේය.
4. 1. 1. 7.
[සොහෙන්ති සූත්‍රය]
7. මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සතර පුද්ගල කෙනෙක් සඞ්ඝයා හොබවත්. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මහණ සඟුන් හොබවයි.
මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මෙහෙණ සඟුන් හොබවයි.
මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න උපාසක සඟුන් හොබවයි.
මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න උපාසිකා තොමෝ සඟුන් හොබවයි.
මහණෙනි, ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්‍මධර, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මේ සතර දෙන සඟුන් හොබවත්.
20. යම් මහණෙක් ව්‍යක්ත වූයේත් විශාරද වූයේත් වේ ද, බහුශ්‍රුත වූයේත් ධර්‍මධර වූයේත් වේ ද, නව ලෝකෝත්තර ධර්‍මයට අනුධර්‍ම සඞ්ඛ්‍යාත පූර්‍වභාගප්‍රතිපදාව පුරන්නේත් වේ ද, එබඳු ඒ මහණ සඞ්ඝසෝභනය යි කියනු ලැබේ.
21. සිල් සපන් යම් මහණෙක් වේ ද, ආගමබුහුසු (ඇසූපිරූතැන් ඇති) යම් මෙහෙණක් වේ ද, සැදැහැති යම් උවසුවෙක් වේ ද, සැදැහැති යම් උවැසියක් වේ ද, මොහු සඟුන් හොබවත්. මොහු වනාහි සඞ්ඝසෝභනයෝ යි.
4. 1. 1. 8.
[වේසාරජ්ජ සූත්‍රය]
8. මහණෙනි, යම් වෛශාරද්‍යයෙකින් සමන්‍වාගත තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨස්ථානය පිළිණ කරණ සේක් ද, අෂ්ටපර්‍ෂද්හි සිංහනාද කරණ සේක් ද, බ්‍රහ්මචක්‍ර සඞ්ඛ්‍යාත දම්සක් පවත්වන සේක් ද, තථාගතයන් වහන්සේගේ මේ සතර වෛශාරද්‍ය කෙනෙක් වෙති. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, “සම්‍යක් සම්බුද්ධයම්හ යි පිළිණ කරණ තොප විසින් මේ ධර්‍මයෝ අනභිසම්බුද්ධයහ״ යි (ඔවුන් කියන) එකරුණෙහි ලා මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ සකාරණයෙන් මට චෝදනා කරන්නේ ය යි මෙ බඳු පුද්ගලයෙකු නො දක්මි. මහණෙනි, මම මෙබඳු පුද්ගලයෙකු නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම්, අභයට පැමිණියෙම්, වෛශාරද්‍යයට පැමිණියෙම් වෙසෙමි.
මහණෙනි, “ක්‍ෂීණාස්‍රවයම්හයි පිළිණ කරණ තොප විසින් මේ ආස්‍රවයෝ අපරික්‍ෂීණයහ״ යි එකරුණෙහි ලා මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ සකාරණයෙන් මට චෝදනා කරන්නේ ය යි මෙබඳු පුද්ගලයෙකු නොදක්මි. මහණෙනි, මම මෙබඳු පුද්ගලයෙකු නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම්, අභයට පැමිණියෙම්, වෛශාරද්‍යයට පැමිණියෙම් වෙසෙමි.
මහණෙනි, “තොප විසින් යම් ඒ අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරණ ලද්දාහු ද, ඒ ධර්‍මයෝ සෙවුනාහට අන්තරාය පිණිස අසමර්‍ත්‍ථයහ״යි එකරුණෙහි ලා මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ සකාරණ වචනයෙන් මට චෝදනා කරන්නේ ය යි මෙබඳු පුද්ගලයකු නො දක්මි. මහණෙනි, මම මෙබඳු පුද්ගලයකු නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම්, අභයට පැමිණියෙම්, වෛශාරද්‍යයට පැමිණියෙම් වෙසෙමි.
මහණෙනි, “තොප විසින් යම් අර්‍ත්‍ථයක් සඳහා දහම් දෙසන ලද ද ඒ දහම පුරණුවහට මොනොවට දුක් නසනු පිණිස නො යෙති״ යි එකරුණෙහි ලා මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මරෙක් හෝ බඹෙක් හෝ ලොව අන් කිසිවෙක් හෝ සකාරණ වචනයෙන් මට චෝදනා කරන්නේ ය යි මෙබඳු පුද්ගලයකු නො දක්මි. මහණෙනි, මම මෙබඳු පුද්ගලයකු නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම්, අභයට පැමිණියෙම්, වෛශාරද්‍යයට පැමිණියෙම් වෙසෙමි.
මහණෙනි, යම් වෛශාරද්‍යයෙකින් සමන්‍වාගත තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨස්ථානය පිළිණ කරණ සේක් ද, අෂ්ටපර්‍ෂද්හි සිංහනාද කරණ සේක් ද, බ්‍රහ්මචක්‍ර සඞ්ඛ්‍යාත දම්සක් පවත්වන සේක් ද, මේ ඒ තථාගතයන් වහන්සේගේ සතර වෛශාරද්‍යයෝ යි.
22. යම් මහණ බමුණු කෙනෙක් (මෙකල) යම් වාදපථයක් ඇසුරු කළාහු ද, (එහෙයින් ම) බොහෝ බවට ගියාහු ද, එබඳු යම් කිසි මේ වාදපථයෝ වෙත් නම් ඔහු විශාරද වූ වාද ඉක්මවා සිටුනා තථාගතයන් වහන්සේ කරා පැමිණ බිඳෙත්.
23. සර්‍වසත්ත්‍ව හිතානුකම්පී වූ සකලගුණ සමන්‍වාගත වූ වාදපථ මැඩගෙණ සිටුනා යමෙක් දම්සක් පැවැත්වී ද, භවාන්තයට ගිය දෙව්මිනිසුනට ශ්‍රේෂ්ඨ වූ එබඳු ඒ තථාගතයන් වහන්සේට සත්හු නමඳිත්.
4. 1. 1. 9.
[තෘෂ්ණා සූත්‍රය]
9. මහණෙනි, යම් විෂයයෙක මහණහට තෘෂ්ණාව උපදිනී වේ ද, මේ ඒ තෘෂ්ණා උත්පාදයෝ සතරෙකි. කවර සතරහ යත්:
මහණෙනි, චීවරහේතුයෙන් හෝ මහණහට තෘෂ්ණාව උපදී. මහණෙනි, පිණ්ඩපාතහේතුයෙන් හෝ මහණහට තෘෂ්ණාව උපදී. මහණෙනි, ශයනාසනහේතුයෙන් හෝ මහණහට තෘෂ්ණාව උපදී. මහණෙනි, ඉති භවාභවසඞ්ඛ්‍යාත (චීවරාදියෙහි) ප්‍රණීත - ප්‍රණීතතරාදි හේතුයෙන් හෝ තෘෂ්ණාව උපදී.
මහණෙනි, මහණහට යම් විෂයයෙක තෘෂ්ණාව උපදිනී වේ ද, මේ ඒ සතර තෘෂ්ණා උත්පාදයෝ ය.
24. තෘෂ්ණාව දෙවෙනි කොට ගත් (=තෘෂ්ණාව සහායිකාව කොට ඇති) පුරුෂ දීර්‍ඝකාලයක් සැරිසරණුයේ ඉත්‍ථම්භාව - අන්‍යථාභාවසඞ්ඛ්‍යාත (=ඉහලෝක-පරලෝක) සංසාරය පැන නො යයි.
25. තෙල ආදීනවය දැන, දුඃඛයාගේ සම්භවය වූ තෘෂ්ණාව දැන, පැහූ තෘෂ්ණා ඇති, උපාදාන විසින් නො ගන්නා සතිසම්පජඤ්ඤයෙහි විපුලබවට පත් මහණ වෙසේ.
4. 1. 1. 10.
[යෝග සූත්‍රය]
10. මහණෙනි, මේ සතර යෝග කෙනෙක් වෙති. කවර සතර කෙනෙක යත්; කාමයෝගය, භවයෝගය, දෘෂ්ටියෝගය, අවිද්‍යායෝග යි.
මහණෙනි, කාමයෝගය කවරේය: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් කාමයන්ගේ උත්පත්තිය ද, බිඳීම ද, මිහිර ද, දෝෂය ද, නිස්සරණය ද, තත් වූ සැටියෙන් නො දනියි. කාමයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දෝෂය ද, හැරපීම ද, තත් වූ සැටියෙන් නො දන්නා ඔහුට වස්තුකාමයෙහි යම් කාමරාගයෙක්, කාමනන්‍දියෙක්, කාමස්නේහයෙක්, කාමමූර්ඡායෙක්, කාමපිපාසායෙක්, කාමපරිදාහයෙක්, කාමයෙහි බැසගැනීමෙක්, කාමතෘෂ්ණායෙක් ඇද්ද, ඒ තෘෂ්ණාව උපදියි. මහණෙනි, මේ කාමයෝග යි කියනු ලැබේ. (මේ කාමයෝග යි.)
භවයෝගය කෙසේය යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් භවයන්ගේ උත්පත්තිය ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද තත් වූ සැටියෙන් නො දනී ද, භවයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් නො දන්නා ඔහුට භවයෙහි යම් භවරාගයෙක්, භවනන්‍දියෙක්, භවස්නෙහයෙක්, භවමූර්‍ඡායෙක්, භවපිපාසයෙක්, භවපරිදාහයෙක්, භවයෙහි ගැලීසිටීමෙක්, භවතෘෂ්ණායෙක් ඇද්ද, ඒ තෘෂ්ණාව උපදියි. මහණෙනි, මේ භවයෝග යි කියනු ලැබේ. (මේ කාමයෝග හා භවයෝග යි.)
දෘෂ්ටියෝගය කෙසේය යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් දෘෂ්ටීන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් නො දනී ද, දෘෂ්ටීන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් නො දන්නා ඔහුට දෘෂ්ටියෙහි යම් දෘෂ්ටිරාගයෙක්, දෘෂ්ටිනන්‍දියෙක්, දෘෂ්ටිස්නේහයෙක්, දෘෂ්ටිමූර්‍ඡායෙක්, දෘෂ්ටිපිපාසායෙක්, දෘෂ්ටිපරිදාහයෙක්, දෘෂ්ටියෙහි ගැලීසිටීමෙක්, දෘෂ්ටිතෘෂ්ණායෙක් ඇද්ද, ඒ උපදී. මහණෙනි, මේ දෘෂ්ටියෝග යි කියනු ලැබේ. (මේ කාමයෝග-භවයෝග හා දෘෂ්ටියෝග යි.)
අවිද්‍යායෝගය කෙසේය යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් මහණෙක් සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ සැටියෙන් නො දනී ද, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ ඉපැද්ම ද, බිඳීම ද, මිහිර ද, දොස් ද, හැරපීම ද, තත් වූ පරිදි නො දන්නා වූ ඔහුට ෂට්ස්පර්‍ශායතනයෙහි යම් අවිද්‍යායෙක් අඥානයෙක් ඇද් ද, ඒ අවිද්‍යාව උපදී. මහණෙනි, මේ අවිද්‍යායෝග යි කියනු ලැබේ. (කාමයෝග - භවයෝග - දෘෂ්ටියෝග - අවිද්‍යායෝග මෙසේ ය.)
කිලිටි කරණ, පුනර්‍භවය ඇති කරණ, දරථ සහිත දුක් උපදවන, මතු ජාතිජරාමරණ උදාකරන ලාමක අකුසල් දහමින් පිරිවැරුනේ වේ ද, එහෙයින් (හෙතෙම) අයෝගක්ඛේමී කියනු ලැබේ.
මහණෙනි, මේ සතර යොගයහ.