Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 2701-2800 න් 15980

[6. පටිපදා වර්‍ගය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, මේ පටිපදාවෝ තුන් දෙනෙකි.
කවර තුන් දෙනෙක යත්:
ආගාඪප්‍රතිපත්තිය, පරිතප්තප්‍රතිපත්තිය, මධ්‍යමප්‍රතිපත්ති යි.
මහණෙනි, ආගාඪප්‍රතිපත්ති කවර?
මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙබඳු වාද ඇතියේ වෙයි, මෙබඳු දෘෂ්ටි ඇතියේ වෙයි: කාමයෙහි දෝෂයෙක් නැත කියායි. හේ කාමයෙහි පියයුතු බවට පැමිණෙයි. මහණෙනි, මේ ආගාඪප්‍රතිපත්තිය යි කියනු ලැබේ.
මහණෙනි, පරිතප්තප්‍රතිපත්ති කවර?
මහණෙනි, මෙලොව ඇතැමෙක් සෙලු වෙයි. හළ ආචාර ඇතියේ වෙයි. පිඬු නිමිකල අත ලෝනේ වෙයි. ‘එව, වහන්සැ’යි කීකල නො එනු සිල් කොට ඇතියේ වෙයි. ‘සිටුව, වහන්සැ’යි කීකල නොසිටිනු සිල් කොට ඇතියේ වෙයි, පළමු එළවූ අහර නොපිළිගන්නේ වෙයි, උදෙසා කළ අහර නොපිළිගන්නේ වෙයි, නිමන්ත්‍රණය නොපිළිගන්නේ වෙයි, හේ කළමුවෙන් උදුරා දුන් අහර නොපිළිගන්නේ වෙයි, සැළමුවින් උදුරා දුන් අහර නො පිළිගන්නේ වෙයි, එළිපත අතර කොට දෙන අහර නොපිළිගන්නේ වෙයි, දඬු අතර කොට දෙන අහර නොපිළිගන්නේ වෙයි, මොහොලා අතර කොට දෙන අහර නොපිළිගන්නේ වෙයි, වළඳන දෙදෙනකුන් අතුරින් එකකු නැගී දෙන අහර නොපිළිගන්නේ වෙයි, ගැබිලිය දෙන අහර නොපිළිගන්නේ වෙයි, කිරිපොවනිය දෙන අහර නොපිළිගන්නේ වෙයි, පුරුෂාන්තරගත ස්ත්‍රිය දෙන අහර නොපිළිගන්නේ වෙයි, සහල් ඈ සමාදන් කොට පිසූ කල දෙන අහර නොපිළිගන්නේ වෙයි, යම් තැනෙක බලු එළඹ සිටියේ නම් එහි දී දෙන අහර නොපිළිගන්නේ වෙයි, යම් තැනෙක මැසි මුළු ගළගළ ව හැසිරෙත් නම්, එහිදී දෙන අහර නොපිළිගන්නේ වෙයි, මත්ස්‍යමාංස නොපිළිගන්නේ වෙයි. රහ නොබොන්නේය, මෙර නොබොන්නේය. සෞවීරක නොබොන්නේය. හේ එක් ගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි, එක ආලෝපයෙකින් යැපෙන්නේ හෝ වෙයි, දෙගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි, ආලෝපදෙකෙකින් යැපෙන්නේ හෝ වෙයි, සත්ගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි, ආලෝප සතෙකින් යැපෙන්නේ හෝ වෙයි. එක් දැත්තෙකිනුදු (කුඩාතලියෙනුදු) යැපෙයි, දෙදැත්තෙකිනුදු යැපෙයි, තුන් දැත්තෙකිනුදු යැපෙයි, සත් දැත්තෙකිනුදු යැපෙයි. එක් දවසක් අතර කොට ගන්නා අහර ද වළඳයි, දෙදවසක් අතර කොට ගන්නා අහර ද වළඳයි, සත් දවසක් අතර කොට ගන්නා අහර ද වළඳයි. මෙසේ මෙබඳු අඩමසක් අතර කොට ගන්නා අහර දැ යි වාරභක්ත භෝජනයෙහි යෙදුනේ වෙසෙයි. හේ පලා වළඳන්නේ හෝ වෙයි, බඩහමු වළඳන්නේ හෝ වෙයි, හුරුහැල් වළඳන්නේ හෝ වෙයි, සම්කඩ වළඳන්නේ හෝ වෙයි, ලහටු වළඳන්නේ හෝ වෙයි, කුඩු වළඳන්නේ හෝ වෙයි, දමුබත් වළඳන්නේ හෝ වෙයි, පුනකු වළඳන්නේ හෝ වෙයි, ගොම වළඳන්නේ හෝ වෙයි. වැටුනු ඵල වළඳන සුලු වූයේ වනමුලඵල ආහාර කොට ඇතියේ ද යැපෙයි.
හේ හණ වැහැරි ද දරයි, මුසුහණ වැහැරි ද දරයි, මිනියෙන් හළ පිළී ද දරයි, පහුල් පිළී ද දරයි, රුක්සුඹුලු ද දරයි, අඳුන්මුවසම් ද දරයි, ක්‍ෂුර සහිත අඳුන්දිවිසම් ද දරයි, කුසවැහැරි ද දරයි, වාකචීරය ද දරයි, ඵලකචීරය ද දරයි, කේශකම්බල ද දරයි, වාලකම්බල ද දරයි, මහමුහුණුපියාපතු දු දරයි. හිසකේ රවුලු උදුරා ලීමෙහි යෙදුනේ හිසකේ රවුලු උදුරනුයේ ද වෙයි. අසුන් පිළිකෙව් කෙළේ උඩුහුරුව සිටුනේ ද වෙයි. උලුළුයෙන් තවුස්වැර වැඩීමෙහි යෙදුනේ උලුළුයෙන් සිටුනේ ද වෙයි. කටු ඇතිරියෙහි හෝනේ ද වෙයි, කටුඇතිරියෙහි ශයනය ද කෙරෙයි. සවස තුන්වනු කොට තෙවරක් උදකාවගාහයෙහි යෙදුනේ වෙසෙයි.
මෙසේ මෙබඳු අනේකප්‍රකාර වූ කය පිළිබඳ ආතාපන පරිතාපනානුයෝගයෙහි යෙදුනේ වෙසෙයි. මහණෙනි, මේ පරිතප්ත ප්‍රතිපත්තිය යි කියනු ලැබේ.
මහණෙනි, මධ්‍යම ප්‍රතිපත්ති කවර?
මහණෙනි, මෙසස්නෙහි මහණ කෙලෙස් තවන වැර ඇතියේ නුවණින් දන්නේ, සිහි ඇතියේ, ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය දුරු කොට කයෙහි කය අනුව දක්නේ වෙසෙයි. කෙලෙස් තවන වැර ඇතියේ, නුවණින් දන්නේ, සිහි ඇතියේ, ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය දුරු කොට වේදනායෙහි ... චිත්තයෙහි ... ධර්‍මයෙහි ... ධර්‍මය අනුව දක්නා සුලු වූයේ වෙසෙයි. මහණෙනි, මේ මධ්‍යම ප්‍රතිපත්තිය යි කියනු ලැබේ.
මහණෙනි, මේ තුන් ප්‍රතිපත්තීහු යි.
3. 6. 2.
මහණෙනි, මේ ප්‍රතිපත්තීහු තුන් දෙනෙකි.
කවර තුන් දෙනෙක යත්:
ආගාඪප්‍රතිපත්තිය, පරිතප්තප්‍රතිපත්තිය, මධ්‍යම ප්‍රතිපත්ති යි.
මහණෙනි, ආගාඪප්‍රතිපත්ති කවර? ... මහණෙනි, මේ ආගාඪප්‍රතිපත්තිය යි කියනු ලැබේ.
මහණෙනි, පරිතප්ත ප්‍රතිපත්ති කවර? ... මහණෙනි, මේ පරිතප්ත ප්‍රතිපත්තිය යි කියනු ලැබේ.
මහණෙනි, මධ්‍යම ප්‍රතිපත්ති කවර?
මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් පාපක අකුශලධර්‍මයන්ගේ නූපදීම පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණී. ප්‍රධන් වීර්‍ය්‍යය කෙරෙයි. උපන් පාපක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස ... නූපන් කුශලධර්‍මයන්ගේ ඉපදීම පිණිස ... උපන් කුශලධර්‍මයන්ගේ ස්ථිතිය පිණිස අසම්මොෂය පිණිස, බොහෝ බව පිණිස, විපුලබව පිණිස, භාවනාවගේ පාරිපූරිය පිණිස, ඡන්‍දය උපදවයි ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සීත දැඩි කොට ගණී. ප්‍රධන් වීර්‍ය්‍යය කෙරෙයි. ...
3. 6. 3.
මහණෙනි, මේ ප්‍රතිපත්ති තුනෙකි ...
ඡන්‍දය නිසා පැවැති සමාධි හා ප්‍රධානසංස්කාර යන මෙයින් සමන්‍වාගත ඍද්ධිපාදය වඩයි. ... වීර්‍ය්‍යසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධි හා ප්‍රධානසංස්කාර යන මෙයින් සමන්‍වාගත ඍද්ධිපාදය වඩයි. ...
3. 6. 4.
මහණෙනි, මේ ප්‍රතිපත්ති තුනෙකි ...
ශ්‍රද්ධේන්‍ද්‍රියය වඩයි. වීර්ය්‍යේන්‍ද්‍රියය වඩයි. ස්මෘතීන්‍ද්‍රියය වඩයි. සමාධින්‍ද්‍රියය වඩයි. ප්‍රඥේන්‍ද්‍රියය වඩයි. ...
3. 6. 5.
මහණෙනි, මේ ප්‍රතිපත්ති තුනෙකි ...
ශ්‍රද්ධාබලය වඩයි. වීර්‍ය්‍යබලය වඩයි. ස්මෘතිබලය වඩයි. සමාධිබලය වඩයි. ප්‍රඥාබලය වඩයි. ...
3. 6. 6.
මහණෙනි, මේ ප්‍රතිපත්ති තුණෙකි ...
සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩයි. විරියසම්බොජ්ඣඞ්ගය වඩයි. පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩයි. සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි. උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. ...
3. 6. 7.
මහණෙනි, මේ ප්‍රතිපත්ති තුණෙකි ...
සම්මාදිට්ඨිය වඩයි. සම්මාසඞ්කප්පය වඩයි. සම්මාවාචාව වඩයි. සම්මාකම්මන්තය වඩයි. සම්මාආජීවය වඩයි. සම්මාවායාමය වඩයි. සම්මාසතිය වඩයි. සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ මධ්‍යමප්‍රතිපත්තිය යි කියනු ලැබේ.
මහණෙනි, මේ තුන් ප්‍රතිපත්තීහුයි.
සවන [ප්‍රතිපදා] වර්‍ග යි.
[7. කම්මපථ පෙය්‍යාලය]
මහණෙනි, දහම් තුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම්සේ ද, එපරිදි නිරයෙහි සිටියේ වේ.
කවර දහම් තුණෙකින යත්:
තෙමේ ද පණිවා කරන්නේ වෙයි. පණිවායෙහි මෙරමා ද සමාදන් කරවයි. පණිවායෙහි අනුදන්නේ ද වෙයි.
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම් සේ ද, එපරිදි නිරයෙහි සිටියේ වේ.
මහණෙනි, දහම් තුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි සිටියේ වේ.
කවර දහම් තුණෙකින යත්:
තෙමේ ද පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමා ද පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි. පණිවායෙහි දුරු වීමෙහි අනුදන්නේ ද වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 7. 3.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් අයිනාදන් ගන්නේ වෙයි. මෙරමාත් අයිනාදනෙහි සමාදන් කරවයි. අයිනාදනෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 4.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් අයිනාදනින් දුරු වූයේ වෙයි. මෙරමා ද අයිනාදනින් දුරු වීමෙහි සමාදන් කරවයි. අයිනාදනින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 7. 5.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරින් දුරුවීමෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් මුසවා බණන්නේ වෙයි. මෙරමාත් මුසවා බිණීමෙහි සමාදන් කරවයි. මුසවායෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් මුසවායෙන් දුරු වූයේ වෙයි. මෙරමාත් මුසවායෙන් දුරුවීමෙහි සමාදන් කරවයි. මුසවායෙන් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් පිසුණුබස් ඇතියේ වෙයි. මෙරමාත් පිසුණුබසෙහි සමාදන් කරවයි. පිසුණුබසෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 10.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් පිසුණුබසින් දුරුවූයේ වෙයි. මෙරමාත් පිසුණුබසින් දුරුවීමෙහි සමාදන් කරවයි. පිසුණුබසින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 7. 11.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් පරොස්බස් ඇතියේ වෙයි. මෙරමාත් පරොස්බස්හි සමාදන් කරවයි. පරොස්බසෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 12.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් පරොස්බසින් දුරුවූයේ වෙයි. මෙරමාත් පරොස්බසින් දුරුවීමෙහි සමාදන් කරවයි. පරොස්බසින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 7. 13.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් සම්ඵප්පලාප ඇතියේ වෙයි. මෙරමාත් සම්ඵප්පලාපයෙහි සමාදන් කරවයි. සම්ඵප්පලාපයෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 14.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් සම්ඵප්පලාපයෙන් දුරුවූයේ වෙයි. මෙරමාත් සම්ඵප්පලාපයෙන් දුරුවීමෙහි සමාදන් කරවයි. සම්ඵප්පලාපයෙන් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 7. 15.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් අභිධ්‍යාබහුල වෙයි. මෙරමාත් අභිධ්‍යායෙහි සමාදන් කරවයි. අභිධ්‍යායෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 16.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් අභිධ්‍යාබහුල නොවෙයි. මෙරමාත් අනභිධ්‍යාවෙහි සමාදන් කරවයි. අනභිධ්‍යායෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 7. 17.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් ව්‍යාපාදයට පත් සිතැතියේ වෙයි. මෙරමාත් ව්‍යාපාදයෙහි සමාදන් කරවයි. ව්‍යාපාදයෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 18.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් ව්‍යාපාදයට නොපත් සිතැතියේ වෙයි. මෙරමාත් අව්‍යාපාදයෙහි සමාදන් කරවයි. අව්‍යාපාදයෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 7. 19.
[මහණෙනි, දහම් තුණෙකින් ...]