අනුරුද්ධය, මෙ ලොව මාගම පෙරවරු වේලෙහි මසුරුමලින් මඩනා ලද සිතින් ගෙහි වෙසෙයි. මධ්‍යාහ්න වේලෙහි ඊර්‍ෂ්‍යායෙන් මැඩුනු සිතින් ගෙහි වෙසෙයි. සවස් වේලෙහි කාමරාගයෙන් මැඩුනු සිතින් ගෙහි වෙසේ.
අනුරුද්ධය, මේ තුන් දහමින් සමන්‍වාගත මාගම කාබුන් මරණින් මතුයෙහි සුවයෙන් පහව සිටි නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙයි.
3. 3. 3. 8.
28. එකල ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් කරා එළඹිය හ. එළඹ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් හා සමග සතුටු වූහ. සතුටට හේතු වූ සිහි කළ යුතු වූ කථාව කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල සැළ කළහ.
කියග ශාරිපුත්‍රයෙනි, මම පිරිසිදු වූ මිනිසැස ඉක්ම සිටුනා දිවැසින් සහස්‍රලෝකය බලමි. මා විසින් වීර්‍ය්‍යය ඇරඹින. නොසැඟවින. ස්මෘතිය එළඹ සිටුනීය. මුෂිත නොවූවාය. නාමකය සංහිඳින. සාරද්ධ රහිතය. සිත සමාහිතය. එකඟය. එහෙත් මාගේ සිත උපාදානවශයෙන් නොගෙණ ආස්‍රවයන් කෙරෙන් නොමිදෙයි.
[සැරියුත්:]
කියග අනුරුද්ධය, යම් හෙයෙකින් තොපට මෙසිත් වේ ද: ‘මෙසේ මම විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටුනා දිවැසින් සහස්‍රලෝකය බලමි’ යි. මේ තොපගේ මානය යි.
ඇවැත අනුරුද්ධය, යම් හෙයෙකින් තොපට මෙසිත් වේ ද: ‘මා විසින් වීර්‍ය්‍යය අරඹන ලදී. නොසැඟවින. ස්මෘතිය එළඹ සිටුනීය. ප්‍රමුෂිත නො වූවාය. නාමකය සංහිඳින. සාරද්ධ රහිතය. සිත සමාහිතය. එකඟය’ යි. මේ තොපගේ උද්ධතභාවය වේ.
ඇවැත අනුරුද්ධය, යම් හෙයෙකින් තොපට මෙබඳු සිතෙක් වේ ද: ‘එහෙත් මාගේ සිත උපාදානවශයෙන් නොගෙණ ආස්‍රවයන් කෙරෙන් නො මිදෙයි’යි. මේ තොපගේ කුකුසෙකි.
ඇවැත් අනුරුද්ධ තෙරණුවෝ මේ තුන් දහම් හැරපියා, මේ තුන් දහම් නො මෙනෙහි කොට නිර්‍වාණධාතුවට සිත එළවත් මනාම ය.
එක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ පසුකලෙක මේ තුන් දහම් හැරපියා, මේ තුන් දහම් නො මෙනෙහි කොට නිර්‍වාණධාතුවට සිත එළවූහ. එක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ එකලා වූවාහු වෙන්වූවාහු අප්‍රමත්ත වූවාහු කෙලෙස් තවන වීර්‍ය ඇත්තාහු කායජීවිත නිරපේක්‍ෂව වසන්නාහු යම් අර්‍හත්ත්‍වයක් පිණිස කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙයින් නික්ම පැවිද්දට යෙත් ද, ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය අවසන් වූ ඒ අර්‍හත්ත්‍වය මඳ කලෙකින් ම ඉහාත්ම යෙහි ම තුමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ විසූහ. “ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවින. සිවුමග කිස කරණ ලදී. මේ අර්‍හත්ත්‍වය පිණිස මින් බැහැර දැයෙක් නැති” යි දත්හ. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ රහතුන් අතුරෙන් අන්‍යතර කෙනෙක් ද වූහ.
3. 3. 1. 9.
29. මහණෙනි, මේ කාරණයෝ තුන් දෙනෙක් පිළිසන්ව වහත්. විවෘත ව නො වහත්.
කවර තුන්දෙනෙක යත්:
මහණෙනි, මාගම පිළිසන්ව වහයි. විවෘතව නොවහයි. මහණෙනි, බමුණන්ගේ වේදමන්ත්‍රයෝ පිළිසන්ව වහත්. විවෘතව නො වහත්. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය පිළිසන්ව වහයි. විවෘතව නොවහයි.
මහණෙනි, මේ කාරණයෝ තුන් දෙන පිළිසන්ව වහත්. විවෘතව නො වහත්.
මහණෙනි, මේ කාරණයෝ තිදෙනෙක් විවෘතව බබලත්, පිළිසන්ව නො බබලත්.
කවර තුන් දෙනෙක යත්:
මහණෙනි, සඳමඬල විවෘතව බබලයි. පිළිසන්ව නො බබලයි. මහණෙනි, හිරුමඬල විවෘතව බබලයි. පිළිසන්ව නො බබලයි. මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්‍මවිනය විවෘත ව බබලයි. පිළිසන් ව නො බබලයි.
මහණෙනි, මේ කාරණයෝ තිදෙන විවෘතව බබලත්. පිළිසන් ව නො බබලත්.
3. 3. 3. 10.
30. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් විද්‍යාමානය හ.
කවර තුන් දෙනෙක යත්: ශිලාලේඛාවට බඳු පුද්ගලය, පෘථිවිලෙඛාවට බඳු පුද්ගලය, ජලලේඛාවට බඳු පුද්ගල යි.
මහණෙනි, ශිලාලේඛාවට බඳු පුද්ගල කවරේය යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් නිරතුරු කිපෙයි. ඔහුගේ ඒ කෝපය දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ වැටෙයි. මහණෙනි, යම් පරිදි ශිලාලේඛාව වාතයෙන් වේවයි, උදකයෙන් වේවයි වහා නොනස්නී ද, චිරස්ථායිනී වේ ද, මහණෙනි, එපරිදි ම මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් නිරතුරු කිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධය ද දීර්‍ඝරාත්‍රයෙහි ලුහුබැඳ වැටෙයි. මහණෙනි, මේ ශිලාලේඛාවට බඳු පුද්ගල යි කියනු ලැබේ.
මහණෙනි, පෘථිවිලෙඛාවට බඳු පුද්ගල කවරේය යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් නිරතුරු කිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධය නිරතුරු ලුහු බැඳ නො වැටේ. මහණෙනි, යම් පරිදි පොළොවෙහි ඇඳි ලේඛාව වාතයෙන් වේවයි, උදකයෙන් වේවයි වහා නස්නී ද, චිරස්ථායිනී නො වේ ද, මහණෙනි, එ පරිදි ම මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් නිරතුරු කිපෙයි. ඔහුගේ ඒ ක්‍රෝධය ද දීර්‍ඝරාත්‍රයෙහි ලුහු බැඳ නො වැටෙයි. මහණෙනි, මේ පෘථිවිලේඛාවට බඳු පුද්ගල යි කියනු ලැබේ.
මහණෙනි, උදකලේඛාවට බඳු පුද්ගල කවරේය යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් කැකුළෙන් කියනු ලබන්නේත් පරුස්බසින් කියනු ලබන්නේත් මන නොගන්නා බසින් කියනු ලබන්නේත් ගැළපෙන්නේ ම වෙයි. සැසඳෙන්නේ ම වෙයි. සතුටු වන්නේ ම වෙයි. මහණෙනි, යම් පරිදි දියෙහි ඇඳි ලේඛාව වහා ම පහව යේ ද, චිරස්ථායිනී නො වේ ද, මහණෙනි, එ පරිදි ම මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් කැකුළෙනුදු කියනු ලබන්නේ පරුස්බසිනුදු කියනු ලබන්නේ මන නොගන්නා බසිනුදු කියනු ලබන්නේ ගැළපේ ම ය. සැසඳේ ම ය. සතුටු වේ ම ය. මහණෙනි, මේ උදකලේඛාවට බඳු පුද්ගල යි කියනු ලැබේ.
මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලෝකයෙහි විද්‍යමානය හ.
තුන්වැනි භරණ්ඩු වර්‍ග යි.
[4. යෝධාජීව වර්‍ගය]
3. 3. 4. 1.
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍වාගත යෝධාජීව රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යෙයි.
කවර අඞ්ග තුණෙකින යත්:
මහණෙනි, මෙලොව යෝධාජීව දුරෙහි ඊය හෙළන සුලු වෙයි. විදුලියෙන් විදින සුලු වෙයි. ලොහොපට ආදි මහත් කය බිඳින සුලු වෙයි. මහණෙනි, මේ තුන් අඟින් සමන්‍වාගත යෝධාජීව රජුට නිසි වෙයි. රජු විසින් උපභෝග කටයුතු වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යෙයි.
මහණෙනි, එපරිදි ම අඞ්ග තුණෙකින් සමන්‍වාගත මහණ ආහුන සඞ්ඛ්‍යාත පූජාවට නිසි ය ... ලෝකයට අනුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.
කවර අඞ්ග තුණෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ දූරෙපාතීත් වෙයි, අක්ඛණවේධිත් වෙයි, මහත් කය බිඳුනේත් වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ දූරේපාතී වේ ද?
මහණෙනි, මෙ සස්නෙහි මහණ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි රූපායතනයෙක් ඇද්ද, එහැම රූප “තෙල මා ගැත්තේ නො වෙයි. මම හේ නොවෙමි. හේ මා විසිය නො වැටෙ”යි මෙසේ මෙය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. අතීතානාගතප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි වේදනා ඇද්ද ... අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි සංඥා ඇද්ද, එහැම සංඥා “තෙල මාගේ නො වෙයි. මම හේ නොවෙමි. හේ මාගේ ආත්ම නොවෙ”යි මෙසේ මෙය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. අතීතානාගතප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි සංස්කාර ඇද්ද, “තෙල මාගේ නොවෙයි. මම හේ නොවෙමි. හේ මාගේ ආත්ම නොවෙ”යි මෙසේ තත්වූ පරිදි සම්‍යක්ප්‍රඥායෙන් දක්නේ ය. අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වේවයි, ආධ්‍යාත්මික වේවයි, බාහ්‍ය වේවයි, ඕළාරික වේවයි, සියුම් වේවයි, හීන වේවයි, ප්‍රණීත වේවයි, දුරෙහි වේවයි, ලඟෙහි වේවයි යම් කිසි විඥාන ඇද්ද, එහැම විඥාන “තෙල මාගේ නො වෙයි. මම හේ නො වෙමි. හේ මාගේ විසිය නො වැටෙ”යි මෙසේ මෙය තත් වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. මහණෙනි, මෙසේ මහණ දූරේපාතී වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ අක්ඛණවේධී වේ ද?
මහණෙනි, මෙසස්නෙහි මහණ “මේ දුකැ”යි තත් වූ පරිදි දනී. “මේ දුක්ඛසමුදය (දුක් උපදවන හේතු)” යි තත් වූ පරිදි දනී. “මේ දුක්ඛනිරෝධය (දුක් නැතිවීමය)”යි තත් වූ පරිදි දනී. “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාය” යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ මහණ අක්ඛණවේධී වෙයි.
මහණෙනි, කෙසේ මහණ මහත් කය බිඳුනේ වේ ද?
මහණෙනි, මෙ සස්නෙහි මහණ මහත් අවිද්‍යාස්කන්‍ධය බිඳුනේ වෙයි. මහණෙනි, මෙසේ මහණ මහත් කය බිඳුනේ වෙයි.
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත මහණ ආහුන සඞ්ඛ්‍යාත පූජාවට නිසි වෙයි ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
3. 3. 4. 2.
32. මහණෙනි, මේ පර්‍ෂද්හු තුන් දෙනෙකි.
කවර තුන් දෙනෙක යත්:
නො පිළිවිස විනීත හෙයින් දුර්විනීත පර්‍ෂද්ය, පිළිවිස විනීත හෙයින් සුවිනීත පර්‍ෂද්ය, පමණ විසින් විනීත හෙයින් ප්‍රමාණවත් සේ විනීත පර්‍ෂද්ය (අදහස් දැන් විනීත පර්‍ෂද්ය).
මහණෙනි, මේ තුන් පර්‍ෂද්හු යි.
3. 3. 4. 3.
33. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍වාගත මිත්‍රයා සෙවියයුතු යි.
කවර අඞ්ග තුණෙකින යත්:
නොදියහෙන දැය දෙයි. නොකටහැකි දැය කෙරේ. නොසිහියහෙන දැය සෙහේ.
මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍වාගත මිත්‍රයා සෙවියයුතු ය.
3. 3. 4. 4.
34. මහණෙනි, තථාගතයන් වහන්සේගේ උපතින් හෝ තථාගතයන් වහන්සේගේ නූපතින් හෝ “සියලු සංස්කාරයෝ අනිත්‍යයහ” යන ඒ ධර්‍මධාතුව ස්වභාවස්ථිතිතාව ස්වභාවනියාමතාව සිටියා ම වෙයි. තථාගතයන් වහන්සේ එය අවබෝධ කෙරෙති, අභිසමය කෙරෙති. අවබෝධ කොට අභිසමය කොට “සියලු සංස්කාරයෝ අනිත්‍යයහ”යි වදාරත්, දෙසත්, පණවත්, ප්‍රකාරයෙන් පිහිටුවත්, විවරණ කෙරෙත්, විභාග කෙරෙත්, ආවිර්භූත කෙරෙත්.
මහණෙනි, තථාගතයන් වහන්සේගේ උපතින් හෝ තථාගතයන් වහන්සේගේ නූපතින් හෝ “සියලු සංස්කාරයෝ දුඃඛයහ” යන ඒ ධර්‍මධාතුව ස්වභාවස්ථිතිතාව, ස්වභාවනියාමතාව සිටියා ම වෙයි. තථාගතයන් වහන්සේ එය අවබෝධ කෙරෙති, අභිසමය කෙරෙති. අවබෝධ කොට අභිසමය කොට “සියලු සංස්කාරයෝ දුඃඛයහ” යි වදාරත්, දෙසත්, පණවත්, ප්‍රකාරයෙන් තබත්, විවරණ කෙරෙත්, විභාග කෙරෙත්, ආවිර්භූත කෙරෙත්.
මහණෙනි, තථාගතයන් වහන්සේගේ උපතින් හෝ තථාගතයන් වහන්සේගේ නූපතින් හෝ “සියලු ධර්‍මයෝ අනාත්මයහ” යන ඒ ධර්‍මධාතුව ස්වභාවස්ථිතිතාව, ස්වභාවනියාමතාව සිටියා ම වෙයි. තථාගතයන් වහන්සේ එය අවබෝධ කෙරෙත්. අභිසමය කෙරෙත්. අවබෝධ කොට අභිසමය කොට “සියලු ධර්‍මයෝ අනාත්මයහ” යි වදාරත්, දෙසත්, පණවත්, ප්‍රකාරයෙන් තබත්, විවරණ කෙරෙත්, විභාග කෙරෙත්, ආවිර්භූත කෙරෙත්.
3. 3. 4. 5.
35. මහණෙනි, යම් පරිදි යම් කිසි හුයින් වියූ වස්ත්‍රයෝ ඇද්ද, ඒ පවුරු අතුරෙන් කේසකම්බල නිකෘෂ්ටය යි කියනු ලැබේ. මහණෙනි, කේසකම්බලය ශීතකාලයෙහි ශීතය, උෂ්ණකාලයෙහි උෂ්ණය, දුර්‍වර්‍ණය, දුර්‍ගන්‍ධය, දුඃඛස්පර්‍ශ ඇත්තේ ය. මහණෙනි, එපරිදි ම යම් කිසි මහත් ශ්‍රමණප්‍රවාදයෝ ඇද්ද, ඔවුනතුරෙන් මක්ඛළීවාදය නිකෘෂ්ටය යි කියනු ලැබේ.
මහණෙනි, මක්ඛලී මූඪ පුරුෂ මෙබඳු වාද ඇතියේ වෙයි. මෙබඳු දෘෂ්ටි ඇතියේ වෙයි: “කර්‍මයෙක් නැත, ක්‍රියායෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත” යි කියා යි.
මහණෙනි, අතීතයෙහි යම් ම අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වූහු ද ඒ භගවත්හුදු කර්‍මවාද ඇතිවූහු ද ක්‍රියාවාද ඇතිවූහු ද වීර්‍ය්‍යවාද ඇතිවූහු ද වූහු. මහණෙනි, මක්ඛලී මූඪ පුරුෂ ඒ බුදුවරුනුත් පිළිකෙව් කෙරෙයි: “කර්‍මයෙක් නැත, ක්‍රියායෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත” කියා යි.
මහණෙනි, අනාගතයෙහි යම් ම අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වෙත් ද ඒ භගවත්හුදු කර්‍මවාද ඇත්තාහු ද වෙත්. ක්‍රියාවාද ඇත්තාහු ද වෙත්. වීර්‍ය්‍යවාද ඇත්තාහු ද වෙත්. මහණෙනි, මක්ඛලි මූඪ පුරුෂ ඒ බුදුවරුනුත් පිළිකෙව් කෙරේ: “කර්‍මයෙක් නැත, ක්‍රියායෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත” කියා යි.
මහණෙනි, මෙකල අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ මමත් කර්‍මවාද ඇතියෙම් ද වෙමි. ක්‍රියාවාද ඇතියෙම් ද වෙමි. වීර්‍ය්‍යවාද ඇතියෙම් ද වෙමි. මහණෙනි, මක්ඛලී මූඪ පුරුෂ ඒ මාත් පිළිකෙව් කෙරෙයි: “කර්‍මයෙක් නැත, ක්‍රියායෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත” කියා යි.
මහණෙනි, යම් පරිදි හෝමුව කෙමිනක් බොහෝ මසුනට අහිත පිණිස දුක් පිණිස අනය පිණිස ව්‍යසනය පිණිස ගිලවා තබා ද, මහණෙනි, එපරිදි ම මක්ඛලී මෝඝපුරුෂයා බොහෝ සත්ත්‍වයන්ට අහිත පිණිස දුක් පිණිස අනය පිණිස ව්‍යසනය පිණිස ලෝකයෙහි උපන් මිනිස් කෙමිනක් වැන්න.
3. 3. 4. 6.
36. මහණෙනි, මේ සම්පත්හු තුන් දෙනෙකි.
කවර තුන් දෙනෙක යත්: ශ්‍රද්ධාසම්පදාය, ශීලසම්පදාය, ප්‍රඥාසම්පදා යි.
මහණෙනි, මේ තුන් සම්පත්හු යි.
3. 3. 4. 7.
37. මහණෙනි, මේ වෘද්ධීහු තුන් දෙනෙකි.
කවර තුන් දෙනෙක යත්: ශ්‍රද්ධාවෘද්ධිය, ශීලවෘද්ධිය, ප්‍රඥාවෘද්ධි යි.
මහණෙනි, මේ තුන් වෘද්ධීහු යි.
3. 3. 4. 8.
38. මහණෙනි, තුන් අස්ගුණ්ඩයන් (පොව්වන්) දෙසමි. තුන් පුරිස්ගුණ්ඩයනුදු (පොව්වනුදු) දෙසමි. ඒ අසව ...
මහණෙනි, තුන් අස්ගුණ්ඩයෝ කවරහ යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් අස්ගුණ්ඩයෙක් ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නො ද වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් අස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නොවෙයි. මහණෙනි, මෙලොව ඇතැම් අස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි. මහණෙනි, මේ තුන් අස්ගුණ්ඩයෝ යි.
මහණෙනි, තුන් පුරිස්ගුණ්ඩයෝ කවරහ යත්:
මහණෙනි, මෙලොව ඇතැම් පුරිස්ගුණ්ඩයෙක් ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො ද වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරිස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරිස්ගුණ්ඩයෙක් ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි.
මහණෙනි, කෙසේ නම් පුරිස්ගුණ්ඩයා ජවසම්පන්න වේ ද, වර්‍ණසම්පන්න නො වේ ද, ආරෝහපරිණාහසම්පන්න නො වේ ද?
මහණෙනි, මෙසස්නෙහි මහණ “මේ දුකැ” යි ඇතිසැටියෙන් දනී. “මේ දුක්ඛසමුදය” යි ඇතිසැටියෙන් දනී. “මේ දුක්ඛනිරෝධය” යි ඇති සැටියෙන් දනී. “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි ඇතිසැටියෙන් දනී. මේ ඔහුගේ ඥානජවය යි කියමි. අභිධර්‍මයෙහි අභිවිනයෙහි ප්‍රශ්න විචාරණ ලදුයේ අවසාදනය කෙරෙයි (පසුබසී.) නොවිසඳයි. මේ ඔහුගේ වර්‍ණය නොවෙති යි කියමි. චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර නොලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහ සම්පත් නො වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරිස්ගුණ්ඩයා ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො ද වෙයි.
මහණෙනි, කෙසේ පුරිස්ගුණ්ඩයා ජවසම්පන්නත් වේ ද, වර්‍ණසම්පන්නත් වේ ද, ආරෝහපරිණාහසම්පන්න නො වේ ද?
මහණෙනි, මෙ සස්නෙහි මහණ “මේ දුකැ” යි යථාභූතය දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි යථාභූතය දනී. මේ ඔහුගේ ඥානජවය වෙති යි කියමි. අභිධර්‍මයෙහි අභිවිනයෙහි ප්‍රශ්න විචාරණ ලදුයේ විසඳයි. අවසාදනය නො කෙරෙයි. මේ ඔහුගේ වර්‍ණය වෙති යි කියමි. චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර නොලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහ සම්පත් නො වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරිස් ගුණ්ඩයා ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි.
මහණෙනි, කෙසේ පුරිස්ගුණ්ඩයා ජවසම්පන්නත් වේ ද, වර්‍ණසම්පන්නත් වේ ද, ආරෝහපරිණාහසම්පන්නත් වේ ද?
මහණෙනි, මෙ සස්නෙහි මහණ “මේ දුකැ” යි යථාභූතය දනී ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාය” යි යථාභූතය දනී. මේ ඔහුගේ ඥානජවය වෙතියි කියමි. අභිධර්‍මයෙහි අභිවිනයෙහි ප්‍රශ්න විචාරණ ලදුයේ විසඳයි. අවසාදනය නො කෙරෙයි. මේ ඔහුගේ වර්‍ණය වෙතියි කියමි. චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාර ලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහසම්පත් වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරිස්ගුණ්ඩයා ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වෙයි.
මහණෙනි, මේ පුරිස්ගුණ්ඩයෝ තුන් දෙන වෙති.
3. 3. 4. 9.
39. මහණෙනි, අශ්වයන් කෙරෙහි සදශ්වයන් තුන් දෙන ද (ජාතිමත් අසුන්) දෙසමි. සදශ්වසදෘශ පුරුෂයන් තුන් දෙන ද දෙසමි. ඒ අසව, ...
මහණෙනි, අශ්වසදශ්වයෝ තුන් දෙන කවරහ?
මහණෙනි, මෙලොව ඇතැම් අශ්වසදශ්වයෙක් ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නොවෙයි. ආරෝහපරිණාහ සම්පන්න නොවෙයි. මහණෙනි, මෙ ලොව ඇතැම් අශ්වසදශ්වයෙක් ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් අශ්වසදශ්වයෙක් ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහ සම්පන්නත් වෙයි. මහණෙනි, මොහු තුන් අශ්වසදශ්වයෝ යි.
මහණෙනි, සදශ්වසදෘශ තුන් පුරුෂයෝ කවරහ?
මහණෙනි, මෙලොව ඇතැම් පුරුෂසදශ්වයෙක් ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරුෂසදශ්වයෙක් ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි. මහණෙනි, මෙලොව ඇතැම් පුරුෂසදශ්වයෙක් ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වෙයි.
මහණෙනි, කෙසේ පුරුෂසදශ්ව තෙමේ ජවසම්පන්න වේ ද, වර්‍ණසම්පන්න නො වේ ද ආරෝහපරිණාහසම්පන්න නො වේ ද?
මහණෙනි, මෙ සස්නෙහි මහණ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇත්තේ ඒ බඹලොව ම පිරිනිවන් පානේ වෙයි. මේ ඔහුගේ ඥානජවය යි කියමි. අභිධර්‍මයෙහි ලා අභිවිනයෙහි ලා ප්‍රශ්න නගන ලදුයේ අවසාදනය කෙරෙයි. නො විසඳයි මේ ඔහුගේ වර්‍ණය නො වෙතියි කියමි. චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාර නො ලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහසම්පත් නො වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරුෂසදශ්වයා ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි.
මහණෙනි, කෙසේ පුරුෂසදශ්වයා ජවසම්පන්නත් වේ ද, වර්‍ණසම්පන්නත් වේ ද, ආරෝහපරිණාහසම්පන්න නො වේ ද?
මහණෙනි, මෙ සස්නෙහි මහණ පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇතියේ ඒ බඹලොව ම පිරිනිවන් පානේ වෙයි. මේ ඔහුගේ ඥානජවය වෙති යි කියමි. අභිධර්‍මයෙහි ලා අභිවිනයෙහි ලා ප්‍රශ්න නගන ලදුයේ විසඳයි. නො ගළයි. මේ ඔහුගේ වර්‍ණසම්පත් වෙති යි කියමි. චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාර නොලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහ සම්පත් නො වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරුෂසදශ්වයා ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න වෙයි. ආරෝහපරිණාහසම්පන්න නො වෙයි.
මහණෙනි, කෙසේ පුරුෂසදශ්වයා ජවසම්පන්නත් වේ ද වර්‍ණසම්පන්නත් වේ ද ආරෝහපරිණාහසම්පන්නත් වේ ද?