Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 2301-2400 න් 15980

මහණෙනි, වට්ටගාමී කර්‍මයන්ගේ රැස් කිරීම පිණිස මොහු නිදානයෝ තිදෙනය හ.
පළමුවන සම්බෝධි වර්‍ගය යි.
[2. ආපායික වර්‍ගය]
3. 2. 2. 1.
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, (බ්‍රහ්මචාරීප්‍රතිඥාභාවාදි) මේ පාපධර්‍ම තුණ නො හැර සිටුනා මොහු තුන් දෙන අපායගාමීහු වෙත්. නිරයගාමීහු වෙත්. කවර තුන් දෙනක යත්:
යමෙක් අබ්‍රහ්මචාරී වූයේ බ්‍රහ්මචාරීප්‍රතිඥා ඇතියේ වේ ද, යමෙක් ශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යය පුරන්නහු අමූලක අබ්‍රහ්මචර්‍ය්‍යවාදයෙන් නිගන්නේ ද, යමෙක් කාමයෙහි දෝෂයෙක් නැතැයි හේ කාමයෙහි පරිභෝග කටයුතු බවට පැමිණේ ද, මෙබඳු වාද ඇති’ මෙබඳු දෘෂ්ටි ඇති, මෙ තෙමේ ය යන තුන් දෙනයහ.
මහණෙනි, මේ පාපධර්‍ම තුණ නො හැර සිටුනා මොහු තුන් දෙන ආපායික් වෙත්. නේරයික් වෙත්.
3. 3. 2. 2.
12. මහණෙනි, තුන් දෙනෙකුන්ගේ ප්‍රාදුර්‍භාවය ලෝකයෙහි දුර්‍ලභය. කවර තුන් දෙනකුගේය යත්:
මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ ප්‍රාදුර්‍භාවය ලෝකයෙහි දුර්‍ලභ ය. තථාගතයන් වහන්සේ වදාළ ධර්‍මවිනය දෙසන පුද්ගල ලෝකයෙහි දුර්‍ලභය. කෘතඥ - කෘතවේදී පුද්ගල ලෝකයෙහි දුර්‍ලභයි.
මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙනාගේ ප්‍රාදුර්‍භාවය ලෝකයෙහි දුර්‍ලභ වෙයි.
3. 3. 2. 3.
13. මහණෙනි, මේ පුද්ගලයන් තුන් දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර තුන් දෙනෙක යත්: සුවසේ මිනිය හැකි පුද්ගලය, දුකසේ මිනිය හැකි පුද්ගලය, නොමිනිය හැකි පුද්ගලයි.
මහණෙනි, සුවසේ මිනිය හැකි පුද්ගල කවරේ ය?
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් උද්ධත වේ. ඔසොවා ලූ මානනල ඇතියේ වේ. පාත්‍රමණ්ඩනාදි චාපල්‍යය ඇතියේ වෙයි. දොඩමලු වෙයි. අසංයත වචන ඇතියේ වෙයි. මුළා සිහි ඇතියේ වෙයි. සමප්‍රඥාන නැත්තේ වෙයි. චිතෛතකාග්‍රතා නැතියේ වෙයි. භ්‍රාන්ත සිත් ඇතියේ වෙයි. විවෘත ඉඳුරන් ඇතියේ වෙයි. මහණෙනි, මේ පුද්ගල සුප්‍රමේය (=සුවසේ මිනිය හැකි) ය යි කියනු ලැබේ.
මහණෙනි, දුක සේ මිනිය හැකි පුද්ගල කවරේ ය?
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලක් අනුද්ධත වෙයි. ඔසොවා ලූ මානනල නැතියේ වේ. පාත්‍රමණ්ඩනාදි චාපල්‍යය නැතියේ වෙයි. දොඩමලු නො වූයේ වෙයි. අසංයත වචන නැතියේ වෙයි. එළඹ සිටි සිහි ඇතියේ වෙයි. සමප්‍රඥාන ඇතියේ වෙයි. සමාධිගත වූයේ වෙයි. ඒකාග්‍ර සිත් ඇතියේ වෙයි. සංවෘත ඉඳුරන් ඇතියේ වෙයි. මහණෙනි, මේ පුද්ගල දුෂ්ප්‍රමේය (=දුකසේ මිනිය හැකි) ය යි කියනු ලැබේ.
මහණෙනි, අප්‍රමේය පුද්ගල කවරේ ය?
මහණෙනි, මෙසස්නෙහි අර්‍හත්ක්‍ෂීණාස්‍රව මහණෙක් වේ. මහණෙනි, මේ පුද්ගල අප්‍රමේය (නොමිනිය හැකි) පුද්ගලය යි කියනු ලැබේ.
මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙන ලෝකයෙහි විද්‍යමානය හ.
3. 3. 2. 4.
14. මහණෙනි, මේ පුද්ගලයෝ තුන් දෙනෙක් ලෝකයෙහි විද්‍යමානය හ. කවර තුන් දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් සමතික්‍රමණය කිරීමෙන් ප්‍රතිඝසංඥාවන් අස්තඞ්ගම කිරීමෙන් නානාත්‍වසංඥාවන් මෙනෙහි නො කිරීමෙන් “ආකාශය අනන්තය” යි ගෙණ ආකාශානාන්ත්‍යායතනයට එළඹ වෙසෙයි. හේ ඒ ධ්‍යානය ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානය පතයි. ඒ ධ්‍යානයෙන් තුෂ්ටියට පැමිණෙයි. ඒ ධ්‍යානයෙහි සිටියේ ඒ ධ්‍යානයෙහි අධිමුක්ත වූයේ ඒ ධ්‍යානයෙන් බහුල විහරණ ඇතියේ ඒ ධ්‍යානයෙන් නො පිරිහුනේ කලුරිය කරමින් ආකාශානාන්ත්‍යායතනෝපග දෙවියන්ගේ සහභාවයට එළඹෙයි.
මහණෙනි, ආකාශානාන්ත්‍යායතනෝපග දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කප් විසිදහසෙකි. එහි පෘථග්ජන තෙමේ ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යෝනියට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක එහි ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවන් පානේ ය.
මහණෙනි, යම් මේ ගතිය හෝ උප්පත්තිය හෝ ඇතිවත් ම ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ අශ්‍රැතවත් පෘථග්ජනයා හා සමග මේ විශේෂ යි. මේ අධිකප්‍රයෝග යි. මේ නානාකරණ යි.
තවද මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආකාශානාන්ත්‍යායතනය ඉක්ම ගෙණ “විඥානය අනන්තය” යි කොට විඥානන්ත්‍යායතනයට එළඹ වෙසේ. හේ ඒ ධ්‍යානය ආස්වාද කෙරේ. ඒ ධ්‍යානය පතයි. ඒ ධ්‍යානයෙන් තුෂ්ටියට පැමිණේ. ඒ ධ්‍යානයෙහි සිටියේ ඒ ධ්‍යානයෙහි අධිමුක්ත වූයේ ඒ ධ්‍යානයෙන් බහුල විහරණ ඇතියේ, ඒ ධ්‍යානයෙන් නො පිරිහුනේ කලුරිය කරමින් විඥානන්ත්‍යායතනෝපග දෙවියන්ගේ සහභාවයට එළඹෙයි.
මහණෙනි, විඥානන්ත්‍යායතනෝපග දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කප් සතළිස්දහසෙකි. පෘථග්ජන එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යෝනියට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම්තාක් වේ ද, ඒ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවන් පානේ ය.
මහණෙනි, යම් මේ ගතිය හෝ උප්පත්තිය හෝ ඇතිවත් ම ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ මේ විශේෂ යි. මේ අධිකප්‍රයෝග යි. මේ නානාකරණය යි.
තවද මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සර්‍වප්‍රකාරයෙන් විඥානන්ත්‍යායතනය ඉක්ම “කිසිත් නැතැ” යි ගෙණ ආකිඤ්චන්‍යායතනයට එළඹ වෙසෙයි. හේ ඒ ධ්‍යානය ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානය පතයි. ඒ ධ්‍යානයෙන් ම තුෂ්ටියට පැමිණේ. ඒ ධ්‍යානයෙහි සිටියේ ඒ ධ්‍යානයෙහි අධිමුක්ත වූයේ ඒ ධ්‍යානයෙන් බහුල විහරණ ඇතියේ, ඒ ධ්‍යානයෙන් නො පිරිහුනේ කලුරිය කරමින් ආකිඤ්චන්‍යායතනොපග දෙවියන්ගේ සහභාවයට යෙයි.
මහණෙනි, ආකිඤ්චන්‍යායතනොපග දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කප් සැටදහසෙකි. පෘථග්ජන එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යෝනියට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වනාහි එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම්තාක් වේ ද, ඒ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවන් පානේ ය.
මහණෙනි, යම් මේ ගතිය හෝ උප්පත්තිය හෝ ඇතිවත් ම ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ අශ්‍රැතවත් පෘථග්ජනයා හා මේ විශේෂ යි. මේ අධිකප්‍රයෝග යි. මේ කරණ නානාත්‍ව යි. මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙනා ලෝකයෙහි විද්‍යමානය හ.
3. 3. 2. 5.
15. මහණෙනි, මේ විපත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ශීලවිපත්තිය, චිත්තවිපත්තිය, දෘෂ්ටිවිපත්ති යි.
මහණෙනි, ශීලවිපත්ති කවර?
මහණෙනි, මෙලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි. පිසුණුබස් ඇතියේ වෙයි. පරුස්බස් ඇතියේ වෙයි. සමඵප්පලප ඇතියේ වෙයි. මහණෙනි, මේ ශීලවිපත්ති යි කියනු ලැබේ.
මහණෙනි, චිත්තවිපත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් අභිධ්‍යා බහුල වෙයි. ව්‍යාපාදයට පත් සිතැත්තේ වෙයි. මහණෙනි, මේ චිත්තවිපත්ති යි කියනු ලැබේ.
මහණෙනි, දෘෂ්ටිවිපත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන ඇතියේ වෙයි. “දානවිපාක නැත, යාගවිපාක නැත, ප්‍රාඝුණසත්කාරවිපාක නැත, සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලෝ නැත, පරලෝ නැත, මාතෘඋපස්ථාන විපාක නැත, පිතෘඋපස්ථාන විපාක නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත. මෙලෝ පරලෝ තමන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පවසත් ද එබඳු සම්‍යග්ගත සම්‍යක් ප්‍රතිපන්න ශ්‍රමණබ්‍රාහ්මණයෝ ලොව නැතැ”යි මිථ්‍යාදෘෂ්ටික වෙයි. මහණෙනි, මේ දෘෂ්ටිවිපත්ති යි කියනු ලැබේ.
මහණෙනි, ශීලවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. මහණෙනි, චිත්තවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. මහණෙනි, දෘෂ්ටිවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්.
මහණෙනි, මේ විපත්තීහු තුන් දෙනය හ.
මහණෙනි, මේ සම්පත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ශීලසම්පත්තිය, චිත්තසම්පත්තිය, දෘෂ්ටිසම්පත්ති යි.
මහණෙනි, ශීලසම්පත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුණුබසින් දුරුවූයේ වෙයි. පරුස්බසින් දුරුවූයේ වෙයි. සම්ඵප්පලපින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ ශීලසම්පත්තියි කියනු ලැබේ.
මහණෙනි, චිත්තසම්පත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් අභිධ්‍යාබහුල වූයේ නො වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැතියේ නො වෙයි. මහණෙනි, මේ චිත්තසම්පත්ති යි කියනු ලැබේ.
මහණෙනි, දෘෂ්ටිසම්පත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් සම්‍යග්දෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන නැත්තේ වේ. “දානවිපාක ඇත, යාගවිපාක ඇත, ප්‍රාඝුණ සත්කාරවිපාක ඇත, සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵලවිපාක ඇත, මෙ ලොව ඇත, පරලොව ඇත, මවුවටනෙහි විපාක ඇත, පියවටනෙහි විපාක ඇත, ච්‍යුත වැ පහළවන සත්ත්‍වයෝ ඇත. මෙලෝ පරලෝ තමන් දැන පසක් කොට දෙසන සම්‍යග්ගත වූ (මනාගති ඇති) මොනවට පිළිපන් මහණබමුණෝ ලොව ඇතැ”යි අවිපරීතදර්‍ශන ඇතියේ වෙයි. මහණෙනි, මේ දෘෂ්ටිසම්පත්ති යි කියනු ලැබේ.
මහණෙනි, ශීලසම්පත් හේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි මනා ගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙත්. මහණෙනි, චිත්තසම්පත්ති හේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙත්. මහණෙනි, දෘෂ්ටිසම්පත්ති හේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි ශෝභන ගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙත්.
මහණෙනි, මේ සම්පත්හු තුන් දෙනයහ.
3. 3. 2. 6.
16. මහණෙනි, මේ විපත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ශීලවිපත්තිය, චිත්තවිපත්තිය, දෘෂ්ටිවිපත්ති යි.
මහණෙනි, ශීලවිපත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි. ... සම්ඵප්පලාප ඇතියේ වෙයි. මහණෙනි, මේ ශීලවිපත්ති යි කියනු ලැබේ.
මහණෙනි, චිත්තවිපත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් අභිජ්ඣාබහුල වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැතියේ වෙයි. මහණෙනි, මේ චිත්තවිපත්ති යි කියනු ලැබේ.
මහණෙනි, දෘෂ්ටිවිපත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන ඇතියේ වෙයි. “දාන විපාක නැත, යාගවිපාක නැත, ... මෙ ලොවත් පරලොවත් තමන් දැන විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට දෙසන මනා ගති ඇති මොනොවට පිළිපන් මහණබමුණෝ ලොව නැත”, යන විපරීතදර්‍ශන ඇතියේ වෙයි. මහණෙනි, මේ දෘෂ්ටිවිපත්තිය යි කියනු ලැබේ.
මහණෙනි, ශීලවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහව සිටුනා නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. මහණෙනි, චිත්තවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහව නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. මහණෙනි, දෘෂ්ටිවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහව සිටුනා නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්.
මහණෙනි, යම් පරිදි ෂඩංශ ඇති පසැට උඩ ලූයේ යම් යම් ලෙසෙකින් සිටුනේ ද, මොනොවට සිටුනේ ම සිටී. මහණෙනි, එපරිදි ම ශීලවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මත්තෙහි සැපයෙන් පහව සිටුනා නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. චිත්තවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහව සිටුනා නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්. දෘෂ්ටිවිපත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහව සිටුනා නපුරු ගති ඇති විවසව පතිත වන නිරයට එළඹෙත්.
මහණෙනි, මේ තුන් විපත්තීහු යි.
මහණෙනි, මේ සම්පත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: ශීලසම්පත්තිය, චිත්තසම්පත්තිය, දෘෂ්ටිසම්පත්ති යි.
මහණෙනි, ශීලසම්පත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි. සම්ඵප්පලපින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ ශීලසම්පත්තියි කියනු ලැබේ.
මහණෙනි, චිත්තසම්පත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් අභිධ්‍යාබහුල වූයේ නො වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැතියේ නො වෙයි. මහණෙනි, මේ චිත්තසම්පත්ති යි කියනු ලැබේ.
මහණෙනි, දෘෂ්ටිසම්පත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් සම්‍යග්දෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන නැතියේ වෙයි. “දානවිපාක ඇත, යාගවිපාක ඇත, මෙලෝ පරලෝ තමන් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ප්‍රකාශ කරණ මනාගති ඇති මොනවට පිළිපන් මහණබමුණෝ ලොව ඇත” ය අවිපරීතදර්‍ශන ඇතියේ වෙයි. මහණෙනි, මේ දෘෂ්ටිසම්පත්ති යි කියනු ලැබේ.
මහණෙනි, ශීලසම්පත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙත්. මහණෙනි, චිත්තසම්පත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙත්. මහණෙනි, දෘෂ්ටිසම්පත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙත්.
මහණෙනි, යම් පරිදි ෂඩංශ ඇති පසැට උඩ ලූයේ යම් යම් තෙලෙකින් පිහිටා සිටුනේ ද, සුප්‍රතිෂ්ඨිත කොටමැ සිටුනේය. මහණෙනි, එපරිදි ම ශීලසම්පත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙත්. චිත්තසම්පත්තිහේතුයෙන් හෝ ... දෘෂ්ටි සම්පත්තිහේතුයෙන් හෝ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙත්.
මහණෙනි, මොහු තුන් සම්පත්තීහු යි.
3. 3. 2. 7.
17. මහණෙනි, මේ විපත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: කර්‍මාන්තවිපත්තිය, ආජීවවිපත්තිය, දෘෂ්ටිවිපත්ති යි.
මහණෙනි, කර්‍මාන්තවිපත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි ... සම්ඵලාප්ප ඇතියේ වෙයි. මහණෙනි, මේ කර්‍මාන්තවිපත්ති යි කියනු ලැබේ.
මහණෙනි, ආජීවවිපත්ති කවර?
මහණෙනි, මෙලොව ඇතැමෙක් මිථ්‍යාආජීව ඇතියේ වෙයි. මිථ්‍යාආජීවයෙන් ජීවිකා කෙරෙයි. මහණෙනි, මේ ආජීවවිපත්ති යි කියනු ලැබේ.
මහණෙනි, දෘෂ්ටිවිපත්ති කවර?
මහණෙනි, මෙලොව ඇතැමෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන ඇතියේ වෙයි. “දානවිපාක නැත, (මඞ්ගල විසින් යුතුකළ) ඉෂ්ටදානයෙහි විපාක නැත, ... මෙලොවත් පරලොවත් තමන් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට දෙසන මනාගති ඇති මොනොවට පිළිපන් මහණබමුණෝ ලොව නැත”, යන විපරීතදර්‍ශන ඇතියේ වෙයි. මහණෙනි, මේ දෘෂ්ටිවිපත්ති යි කියනු ලැබේ.
මහණෙනි මොහු තුන් විපත්තීහු යි.
මහණෙනි, මේ සම්පත්තීහු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: කර්‍මාන්තසම්පත්තිය, ආජීවසම්පත්තිය, දෘෂ්ටිසම්පත්ති යි.
මහණෙනි, කර්‍මාන්තසම්පත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවායෙන් දුරු වූයේ වෙයි ... සම්ඵප්පලපින් දුරු වූයේ වෙයි. මහණෙනි, මේ කර්‍මාන්තසම්පත්ති යි කියනු ලැබේ.
මහණෙනි, ආජීවසම්පත්ති කවර?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් සම්‍යග් ආජීව ඇතියේ වෙයි. සම්‍යග් ආජීවයෙන් ජීවිකා කෙරෙයි. මහණෙනි, මේ ආජීවසම්පත්ති යි කියනු ලැබේ.
මහණෙනි, දෘෂ්ටිසම්පත්ති කවර?
මහණෙනි, මෙලොව ඇතැමෙක් සම්‍යග් දෘෂ්ටික වෙයි. විපරීතදර්‍ශන නැතියේ වෙයි. “දානවිපාක ඇත, ඉෂ්ටවිපාක ඇත, ... මෙ ලොවත් පරලොවත් තමන් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ මනාගති ඇති මොනොවට පිළිපන් මහණබමුණෝ ලොව ඇත”, යන අවිපරීතදර්‍ශන ඇතියේ වෙයි.
මහණෙනි, මේ දෘෂ්ටිසම්පත්ති යි කියනු ලැබේ. මහණෙනි මේ ත්‍රිවිධ සම්පත්තීහු යි.
3. 3. 2. 8.
18. මහණෙනි, මේ ශුචිභාවයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: කායද්වාරයෙහි ශුචිභාවය, වාග්ද්වාරයෙහි ශුචිභාවය, මනෝද්වාරයෙහි ශුචිභාව යි.
මහණෙනි, කායද්වාරයෙහි ශුචිභාවය කවරේය යත්:
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ කායද්වාරයෙහි ශෞචය යි කියනු ලැබේ.
මහණෙනි, වාග්ද්වාරයෙහි ශුචිභාවය කවරේය යත්:
මහණෙනි, මෙලොව ඇතැමෙක් මුසවායෙන් දුරු වූයේ වෙයි. පිසුණු බසින් දුරුවූයේ වෙයි. පරුස්බසින් දුරුවූයේ වෙයි, සම්ඵප්පලාපයෙන් දුරුවූයේ වෙයි. මහණෙනි, මේ වාග්ද්වාරයෙහි ශෞචය යි කියනු ලැබේ.
මහණෙනි, මනෝද්වාරයෙහි ශුචිභාවය කවරේ ය යත්:
මහණෙනි, මෙලොව ඇතැමෙක් අභිධ්‍යාබහුල නො වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැතියේ නොවෙයි. සම්‍යග්දෘෂ්ටික වෙයි. මහණෙනි, මේ මනෝද්වාරයෙහි ශෞචය යි කියනු ලැබේ.