Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 2101-2200 න් 15980

3. 2. 5. 3.
44. මහණෙනි, යම් සේ සරත් කාලයෙහි අහස පහ වූ වලා ඇති ව පහන් ව සිටි කල හිරු අහසට නැගෙමින් අහස්හි වන් හැම අඳුරු නසා බබලන්නේ වේ ද, රස් පතුරුවන්නේ වේ ද, දිලෙන්නේ වේ ද.
මහණෙනි, එපරිදි ම යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාට රාගාදි රජස් නැති රාගාදි මල නැති ධර්‍මචක්‍ෂුස පහළ වී ද, මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවකයාගේ ශ්‍රෝතාපත්තිමාර්‍ගෝත්පාදය සමග ත්‍රිවිධ සංයෝජනයෝ පහව යෙත්. සත්කායදෘෂ්ටිය විචිකිත්සාය ශීලව්‍රතපරාමර්‍ශ යි.
අනතුරුව අභිධ්‍යා හා ව්‍යාපාදයෙන් දැයි දෙදහමින් නිර්‍ය්‍යාණය කෙරෙයි. හේ කාමයෙන් වෙන්ව ම ... ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙයි. මහණෙනි, එසමයෙහි ආර්‍ය්‍යශ්‍රාවක කලුරිය කරන්නේ වේ ද, යම් සංයෝජනයෙකින් සංයුක්ත ආර්‍ය්‍යශ්‍රාවකයෙක් නැවත මෙලොවට එන්නේ වේ ද, එබඳු සංයෝජනයෙක් ඔහුට නැත.
3. 2. 5. 4.
45. මහණෙනි, මේ පර්‍ෂද්හු තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අග්‍රවත් පර්‍ෂද් ය, වර්‍ගපර්‍ෂද් ය, සමග්‍රපර්‍ෂද් යයි.
මහණෙනි, අග්‍රවත් පර්‍ෂද් කවර?
මහණෙනි, මෙසස්නෙහි යම් පර්‍ෂදයෙක ස්ථවිර භික්‍ෂූහු ප්‍රත්‍යය බාහුල්‍යය නැත්තාහු වෙද් ද, ශික්‍ෂාශාසනය ලිහිල් කොට නො ගන්නාහු වෙද් ද, පඤ්චනීවරණයෙහි හළ ධුර ඇත්තාහු වෙද් ද, ප්‍රවිවේකයෙහි පූර්‍වඞ්ගම වෙත් ද, නො ලත් විශේෂය ලබනු පිණිස, අනධිගත විශේෂය අධිගම කරණු පිණිස, පසක් නො කළ විශේෂය පසක් කරණු පිණිස වැර අරඹත් ද, ඔවුන්ගේ පශ්චිම ජනතා තොමෝ දෘෂ්ටානුගතියට පැමිණේ ද, ඒ ජනතාවත් බාහුලික නො වේ ද, ශික්‍ෂාශාසනය ලිහිල් කොට නොගණී ද, පඤ්චනීවරණයෙහි හළ ධුර ඇද්ද, ප්‍රවිවේකයෙහි පූර්‍වඞ්ගම වේ ද, නොලත් විශේෂය ලබනු පිණිස අනධිගත විශේෂය අධිගම කරණු පිණිස පසක් නො කළ විශේෂය පසක් කරණු පිණිස වැර අරඹා ද, මහණෙනි, මේ අග්‍රවත් පර්‍ෂදැයි කියනු ලැබේ.
මහණෙනි, වර්‍ගපර්‍ෂද් කවර?
මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක මහණහු හටගත් භණ්ඩන ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදයට පැමිණියාහු පුරිස් තෙපුල් සැතින් උනුන් විදුනාහු වෙසෙත් ද, මහණෙනි, මේ වර්‍ගපර්‍ෂදැයි කියනු ලැබේ.
මහණෙනි, සමග්‍ර පර්‍ෂද් කවර?
මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක මහණහු සමග වූවාහු සතුටු වන්නාහු විවාද නො කරන්නාහු ක්‍ෂීරෝදක බඳු වූවාහු උනුන් ප්‍රිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, මේ සමග්‍රපර්‍ෂදැයි කියනු ලැබේ.
මහණෙනි, යම් කලෙක මහණහු සමග වූවාහු සතුටු වන්නාහු විවාද නො කරන්නාහු ක්‍ෂීරෝදක බඳු වූවාහු උනුන් ප්‍රිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, එකල මහණහු බොහෝ පින් රැස් කෙරෙත්. මහණෙනි, යම් මේ මෘදුතා වෙතොවිමුක්තියෙක් වේ ද, එයින් එකල මහණහු බ්‍රහ්මවිහාරය කෙරෙති. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදී. ප්‍රීතිමත් සිතැත්තාහට කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳියි. සුව ඇතියහුගේ සිත සමාධිගත වෙයි.
මහණෙනි, යම් පරිදි ගල්මුදුනෙක දළ පොද ඇති මෙඝයක් වස්නා කළ ඒ දිය නිම්න තුබූ සේ පෙරළෙමින් අවුදු පර්‍වත කන්‍දර ප්‍රදර ශාඛාවන් පුරවා ද, ගල්කඳුර පැළී ඇලිහු පිරුනාහු කුඩා හෙප් පුරවත් ද, කුඩා හෙප්හු පිරුනාහු මහ හෙප් පුරවත් ද, මහහෙප්හු පිරුනාහු කුඩා නදීන් පුරවත් ද, කුඩා නදීහු පිරුනාහු මහා නදීන් පුරවත් ද, මහානදීහු පිරුනාහු මුහුද පුරවත් ද මහණෙනි, එපරිදි යම් කලෙක මහණහු සමග වූවාහු සතුටු වන්නාහු විවාද නො කරන්නාහු ක්‍ෂීරෝදක බඳු වූවාහු ප්‍රිය ඇසින් දක්නාහු වෙසෙත් ද, මහණෙනි, එකල මහණහු බොහෝ පින් රැස් කෙරෙත්. මහණෙනි, යම් ඒ මෘදුතා වෙතොවිමුක්තියෙක් වේ ද, එයින් එකල මහණහු බ්‍රහ්මවිහාරය කෙරෙත් ප්‍රමුදිතයාහට ප්‍රීතිය හටගණී. ප්‍රීතිමත් සිතැතියහුගේ කය සන්හිඳේ සන්හුන් කය ඇතියේ සුව විඳී, සුව ඇතියහුගේ සිත සමාධිගත වෙයි.
මහණෙනි, මේ ත්‍රිවිධ පර්‍ෂද්හු යි.
3. 2. 5. 5.
46. මහණෙනි, ගුණාඞ්ග තුණෙකින් සමන්‍වාගත වූ රාජකීය, භද්‍ර ආජානේය අශ්වයා රජුට නිසි වෙයි. රජුට උපභෝග වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යෙයි.
කවර අඞ්ග තුණෙකින යත්:
මහණෙනි, මෙලොව රජුගේ භද්‍ර ආජානීය අශ්ව වර්‍ණසම්පන්න ද වෙයි. කායබලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි. මහණෙනි, මේ ගුණාඞ්ග තුණින් සමන්‍වාගත රාජකීය භද්‍ර අශ්වාජානේය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය ද වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට ද යේ.
මහණෙනි, එපරිදි ම ධර්‍ම තුණෙකින් සමන්‍වාගත මහණ ආහුති සඞ්ඛ්‍යාත පිණ්ඩපාතයට නිසි වෙයි. ප්‍රාඝුණ සඞ්ඛ්‍යාත ආගන්තුග භක්තයට නිසි වෙයි, දක්‍ෂිණාවට නිසි වෙයි. අඤ්ජලිකරණයට නිසි වෙයි. සර්‍වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.
කවර තුණෙකින යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ ගුණවර්‍ණයෙන් යුක්ත වූයේ ද වෙයි. වීර්‍ය්‍යබලයෙන් යුක්ත වූයේ ද වෙයි. ඥානජවයෙන් යුක්ත වූයේ ද වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ගුණවර්‍ණයෙන් යුක්ත වූයේ වේ ද:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව වෙසෙයි. ආචාරගෝචර දෙකින් යුක්ත වෙයි. අණුමාත්‍ර වරදෙහිත් බිය දක්නා සුලු වෙයි. ශික්‍ෂාපද විෂයෙහි සමාදන් කොට ගෙණ හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ වර්‍ණසම්පන්න වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ වීර්‍ය්‍යබලයෙන් යුක්ත වූයේ වේ ද:
මහණෙනි, මෙසස්නෙහි මහණ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත්තිය පිණිස පටන් ගත් වැර ඇතියේ වෙසෙයි. ඥානස්ථාමයෙන් යුක්ත වූයේ වෙයි. දෘඪපරාක්‍රම ඇත්තේ වෙයි. කුසල් දහම්හි නො තැබූ ධුර ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ මහණ බලසම්පන්න වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ඥානජවයෙන් යුක්ත වූයේ වේ ද:
මහණෙනි, මෙසස්නෙහි මහණ “මේ දුකැ” යි යථාභූතය දනී. ... “මේ දුඃඛ නිරොධගාමිනී ප්‍රතිපදාය” යි යථාභූතය දනී. මහණෙනි, මෙසේ මහණ ඥානජවසම්පන්න වෙයි.
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත මහණ ආහුති සඞ්ඛ්‍යාත පිණ්ඩපාතයට නිසි වෙයි ... සර්‍වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
3. 2. 5. 6.
47. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍වාගත වූ රාජකීය භද්‍ර අශ්වාජානේය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට ද යේ:
කවර කරුණු තුණෙකින යත්:
මහණෙනි, මෙලොව රජුගේ භද්‍ර ආජානේය අශ්ව වර්‍ණසම්පන්න ද වෙයි. කායබල සම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි. මහණෙනි, මේ කරුණු තුණින් සමන්‍වාගත රාජකීය භද්‍ර අශ්වාජානේය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යේ.
මහණෙනි, එපරිදි ම ධර්‍ම තුණෙකින් සමන්‍වාගත මහණ ආහුති සඞ්ඛ්‍යාත පිණ්ඩපාතයට නිසි වෙයි. ... සර්‍වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.
කවර තුණෙකින යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ ගුණවර්‍ණයෙන් යුක්ත වූයේ ද වෙයි. වීර්‍ය්‍යබලයෙන් යුක්ත වූයේ ද වෙයි. ඥානජවයෙන් යුක්ත වූයේ ද වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ගුණවර්‍ණයෙන් යුක්ත වූයේ වේ ද:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ... ශික්‍ෂාපද විෂයෙහි සමාදන්ව හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ වර්‍ණසම්පන්න වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ වීර්‍ය්‍යබලයෙන් යුක්ත වූයේ වේ ද:
මහණෙනි, මෙසස්නෙහි මහණ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත්තිය පිණිස පටන් ගත් වැර ඇතියේ වෙයි. ඥානස්ථාමයෙන් යුක්ත වූයේ වෙයි. දෘඪපරාක්‍රම ඇතියේ වෙයි. කුසල් දහම්හි නොතැබූ ධුර ඇත්තේ වෙයි. මහණෙනි, මෙසේ මහණ බලසම්පන්න වෙයි.
මහණෙනි, කෙසේ නම් මහණ ඥානජවයෙන් යුක්ත වූයේ වේ ද:
මහණෙනි, මෙසස්නෙහි මහණ පඤ්චවිධ ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් එහි පිරිනිවෙන සුලුවූයේ ඒ සුදවැසි ලොවින් පෙරළා නොඑන සුලු වූයෙ ඕපපාතික වෙයි. මහණෙනි, මෙසේ මහණ ඥානජවයෙන් යුක්ත වූයේ වෙයි.
මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... සර්‍වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.
3. 2. 5. 7.
48. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍වාගත වූ රාජකීය භද්‍ර අශ්වාජානේය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය ද වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට ද යේ:
කවර තුණෙකින යත්:
මහණෙනි, මෙලොව රජුගේ භද්‍ර ආජානේය අශ්ව වර්‍ණසම්පන්න ද වෙයි. කායබලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි. මහණෙනි, මේ කරුණු තුණින් සමන්‍වාගත රාජකීය භද්‍ර අශ්වාජානේය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ අවයවයෙක් ම ය යි ගණනට යේ.
මහණෙනි, එපරිදි ම ධර්‍ම තුණෙකින් සමන්‍වාගත මහණ ආහුති සඞ්ඛ්‍යාත පිණ්ඩපාතයට නිසි වෙයි. ... සර්‍වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.
කවර තුණෙකින යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ වර්‍ණසම්පන්න ද වෙයි. බලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි.
මහණෙනි, මහණ කෙසේ නම් වර්‍ණසම්පන්න වේ ද:
මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සිකපද සමාදන්ව හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ වර්‍ණසම්පන්න වෙයි:
මහණෙනි, කෙසේ මහණ බලසම්පන්න වේ ද:
මහණෙනි, මෙසස්නෙහි මහණ ඇරඹූ වැර ඇතියේ ... ඥානස්ථාමයෙන් යුක්ත වූයේ දෘඪපරාක්‍රම ඇත්තේ කුසල්දහම්හි නොබහා තැබූ ධුර ඇතියේ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ බලසම්පන්න වෙයි.
මහණෙනි, මහණ කෙසේ ජවසම්පන්න වේ ද:
මහණෙනි, මෙසස්නෙහි මහණ ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට එයට පැමිණ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ ජවසම්පන්න වෙයි.
මහණෙනි, මේ කරුණු තුණින් සමන්‍වාගත වූ මහණ ආහුතිසඞ්ඛ්‍යාත පිණ්ඩපාතයට නිසි වෙයි ... සර්‍වලෝකයට අසදෘශ පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.
3. 2. 5. 8.
49. මහණෙනි, නව්‍ය වූත් වාකමය වස්ත්‍රය දුර්වර්‍ණ ද වේ. දුඃඛස්පර්‍ශ ද වේ. අල්පාර්‍ඝ ද වේ. මහණෙනි, මධ්‍යම වූත් වාකමය වස්ත්‍රය දුර්වර්‍ණ ද වේ. දුඃඛස්පර්‍ශ ද වේ. අල්පාර්‍ඝ ද වේ. මහණෙනි, ජීර්‍ණවූත් වාකමය වස්ත්‍රය දුර්වර්‍ණ ද වේ. දුඃඛස්පර්‍ශ ද වේ. අල්පාර්‍ඝ ද වේ.
මහණෙනි, ජීර්‍ණ වූත් වාකමය වස්ත්‍රය ඉකිලි පිස්නක් හෝ කෙරෙත්. එය කසළගොඩෙහි හෝ බහත්.
මහණෙනි, එපරිදි ම නව්‍ය වූත් මහණ දුසිල් වේ ද, පාපස්වභාව ඇතියේ වේ ද, මෙය ඔහුගේ දුර්‍වර්‍ණතායෙහිලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්‍රය දුර්වර්‍ණ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනෙක් ඔහු සෙවිත් ද, භජනය කෙරෙත් ද, පර්‍ය්‍යුපාසන කෙරෙත් ද, දෘෂ්ටානුගතියට පැමිණෙත් ද, ඔවුනට එය දීර්‍ඝ රාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි. මෙය ඔහුගේ දුඃඛස්පර්‍ශතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්‍රය දුඃඛස්පර්‍ශ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනකුන්ගේ චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර පිළිගණී ද, ඔවුනට එය මහත්ඵල නො වේ. මහත් අනුසස් ඇතියේ නො වේ. මෙය ඔහුගේ අල්පාර්‍ඝතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්‍රය අල්පාර්‍ඝ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි.
මහණෙනි, මධ්‍යම වූත් මහණ දුසිල් වේ ද ... මහණෙනි, ස්ථවිර වූත් මහණ දුසිල් වේ ද, පවිටු සැහැවි ඇතියේ වේ ද, මෙය ඔහුගේ දුර්‍වර්‍ණතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්‍රය දුර්වර්‍ණ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනෙක් ඔහු සෙවිත් ද, භජනය කෙරෙත් ද, පර්‍ය්‍යුපාසන කෙරෙත් ද, ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත් ද, ඔවුනට එය දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි. මෙය ඔහුගේ දුඃඛස්පර්‍ශතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්‍රය දුඃඛස්පර්‍ශ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනකුන්ගේ චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර පිළිගණී ද, ඔවුනට එය මහත්ඵල නො වේ. මහත් අනුසස් ඇතියේ ද නො වේ. මේ ඔහුගේ අල්පාර්‍ඝතායෙහිලා වදාරමි: මහණෙනි, යම් පරිදි ඒ වාකමය වස්ත්‍රය අල්පාර්‍ඝ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි.
මහණෙනි, මෙබඳු වූ මේ ස්ථවිර මහණ සඞ්ඝමධ්‍යයෙහි බෙණේ නම්, සෙසු භික්‍ෂූහු ඔහුට මෙසේ කියත්: “බාල වූ අව්‍යක්ත වූ තාගේ භණිතයෙන් කීම? තොයිත් බිණිය යුත්තකු කොට හඟනෙහිදැ”යි? හේ කිපියේ නොසතුටු සිතැතියේ යම්බඳු වචනයක් නිසා සඟහු ඒ මහණ ඒ වාකමය වස්ත්‍රය කසළ ගොඩෙහි ලන්නාක් සෙයින් බැහැර ලත් ද, එබඳු වචන විහිදුනේ ය.
මහණෙනි, නවක වූත් කසීවත් පැහැ සටහන් ඇතියේත් සුවපහස් ඇතියේත් මාහැඟි වූයේත් වේ. මහණෙනි, මධ්‍යම වූත් කසීවත් ... මහණෙනි, ජීර්‍ණවූත් කසීවත් පැහැ සටහන් ඇතියේත් සුවපහස් ඇතියේත් මාහැඟි වූයේත් වේ. මහණෙනි, ජීර්‍ණ වූත් කසීවත් රුවන් හකුළා තබනුවක් හෝ කෙරෙත්. සුවඳ කරඬුවෙක හෝ එය බහත්.
මහණෙනි, එපරිදි ම නවකවූත් මහණ සිල්වත් වේ ද, කලණ සැහැවි ඇතියේ වේ ද, මෙය ඔහුගේ සුවර්‍ණතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි කසීවත් පැහැ සටහන් ඇතියේ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනෙක් ඔහු සෙවිත් ද, භජනය කෙරෙත් ද, පර්‍ය්‍යුපාසන කෙරෙත් ද, දෘෂ්ටානුගතියට පැමිණෙත් ද, ඔවුනට එය දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුඛ පිණිස වෙයි. මෙය ඔහුගේ සුඛස්පර්‍ශතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ කසීවත සුඛස්පර්‍ශ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනකුන්ගේ චීවර පිණ්ඩපාත ශයනාසන භෛෂජ්‍ය පරිෂ්කාර පිළිගණී ද, ඔවුනට එය මහත්ඵල වෙයි. මහත් අනුසස් ඇතියේ වෙයි. මෙය ඔහුගේ මහැඟි බැව්හි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ කසීවත මහැඟි වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි.
මහණෙනි, මධ්‍යම වූත් මහණ සිල්වත් වේ ද ... මහණෙනි, ස්ථවිර වූත් මහණ සිල්වත් වේ ද, කලණ දහම් ඇතියේ වේ ද, මෙය ඔහුගේ සුවර්‍ණතායෙහිලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ කසීවත වර්‍ණවත් වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනෙක් ඔහු සෙවිත් ද, භජනය කෙරෙත් ද, පර්‍ය්‍යුපාසන කෙරෙත් ද, ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත් ද, ඔවුනට එය දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුඛ පිණිස වෙයි. මෙය ඔහුගේ සුඛස්පර්‍ශතායෙහි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ කසීවත සුඛස්පර්‍ශ වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි. යම් කෙනකුන්ගේ චීවර පිණ්ඩපාත ශයනාසන භෛෂජ්‍ය පරිෂ්කාර පිළිගණී ද, ඔවුනට එය මහත්ඵල වෙයි. මහත් අනුසස් ඇතියේ වෙයි. මෙය ඔහුගේ මහැඟිබව්හි ලා වදාරමි. මහණෙනි, යම් පරිදි ඒ කසීවත මහැඟි වේ ද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇතියෙකැ යි වදාරමි.
මහණෙනි, මෙබඳු වූ ස්ථවිර මහණ සඟමැද බෙණේ ද, ඔහු නිසා (එහි සෙසු) භික්‍ෂූහු භික්‍ෂූන්ට මෙසේ කියති. “ඇවැත්නි, නිහඬ වව. ස්ථවිර මහණ දහමක් විනයක් බෙණේ” යි කියා යි.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මෙන්නේ ය. “කසීවත් බඳු වම්හ. වාකමය වස්ත්‍ර බන්දමෝ නො වම්හ” යි. මහණෙනි, තොප මෙසේ ම හික්මෙන්නේ ය.
3. 2. 5. 9.
50. මහණෙනි, යමෙක් “යම් යම් ආකාරයෙකින් මේ පුරුෂ කර්‍ම කෙරේ ද, ඒ ඒ ආකාරයෙන් ඒ කර්‍මයාගේ විපාක විඳුනේ ම ය” යි, මෙසේ බෙණේ ද, මහණෙනි, එසේවත් ම බ්‍රහ්මචර්‍ය්‍යවාසය (කර්‍මක්‍ෂයකර) නො වෙයි. මැනැවින් දුක් කෙළවර කිරීමට අවකාශයෙක් නො පැණේ,
මහණෙනි, වැලි යමෙක් “යම් යම් අයුරෙකින් මේ පුරුෂ (විපාකවාර විසින්) වින්ද යුතු වූ කර්‍ම කෙරේ ද, ඒ ඒ අයුරින් ඒ කර්‍මයාගේ විපාක විඳුනේය” යි, මෙසේ බෙණේ ද, මහණෙනි, මෙසේ වත් ම කර්‍මක්‍ෂයකර බ්‍රහ්මචර්‍ය්‍යවාසය වේ. මැනැවින් දුක් කෙළවර කිරීමට අවකාශයෙක් පැණේ.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයක්හු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ වේ ද, ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට එළවයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයක්හු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍රයකුදු විපාක විසින් නො පැණේ. බොහෝ (විපාක දෙයි කියනු) කිම?
මහණෙනි, කෙබඳු අයුරු ඇති පුද්ගලයක්හු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට එළවා ද?
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් කායභාවනා නැතියේ වෙයි. ශීලභාවනා නැතියේ වෙයි. චිත්තභාවනා නැතියේ වෙයි. ප්‍රඥාභාවනා නැතියේ වෙයි. අල්පගුණ ඇතියේ වෙයි. ගුණ විසින් අල්පාත්ම ඇතියේ වෙයි. අල්පපාපයෙනුත් දුඃඛවිහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයක්හු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ තෙල පුද්ගලයා නිරයට එළවයි.
මහණෙනි, කෙබඳු අයුරු ඇති පුද්ගලයක්හු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වේ ද, පරලොව අණුමාත්‍ර විපාකයකුත් නො පැණේ ද? බොහෝ කොට පැණීමෙක් කීම?
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් වැඩූ කය ඇතියේ වෙයි. වැඩූ සිල් ඇතියේ වෙයි. වැඩූ සිත් ඇතියේ වෙයි. වැඩූ පැණ ඇතියේ වෙයි. ගුණ විසින් අල්ප නො වෙයි. ගුණ විසින් මහාත්ම වෙයි. (ප්‍රමාණකර රාගාදීන්ගේ අභාවයෙන්) අප්‍රමාණ විහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙබඳු අයුරු ඇති පුද්ගලයක්හු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍ර විපාකයෙකුත් නො පැණේ. බොහෝ විපාක කියනු කිම?
මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් ලුණුකැටයක් කුඩා දියමලායෙක බහන්නේ වේ ද, මහණෙනි, ඒ කෙසේ සිතවු ද? දියමලායෙහි වූ ඒ දියත්ත මේ ලුණු කැටයෙන් ලුණුරසට යන්නේ වේ ද?
වහන්ස, එසේය.
ඒ කවර හෙයින?
වහන්ස, දියමලායෙහි වූ තෙල දියත්ත (අල්ප හෙයින්) තෙල ලුණුකැටයෙන් ලුණුරසට යන්නේ වෙයි.
මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් ලුණුකැටයක් ගඞ්ගානදියෙහි බහන්නේ නම්, ඒ කෙසේ සිතවු ද? මහණෙනි, ඒ ගඞ්ගානදිය තෙල ලුණු කැටයෙන් ලුණුරසට යන්නේ වේ ද?
වහන්ස, තෙල නොවන සුලුය.
ඒ කවර හෙයින?
වහන්ස, ගඞ්ගානදියෙහි වූ තෙල මහදියකඳෙක් වේ ද, ඒ දිය කඳ තෙල ලුණුකැට යෙන් ලුණුරසට නො පැමිණෙන්නේ ම ය.
මහණෙනි, එ පරිදි ම මෙලොව ඇතැම් පුද්ගලයක්හු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට එළවයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයක්හු විසින් එබඳු වූ ම පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍ර විපාකයකුදු නො පැණේ. බොහෝ කොට ම නො පැණේ ම ය. (1)
මහණෙනි, කෙබඳු පුද්ගලයක්හු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට ගෙණ යේ ද?
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් නො වැඩූ කය ඇතියේ වෙයි. නො වැඩූ සිල් ඇතියේ වෙයි. නො වැඩූ සිත් ඇතියේ වෙයි. නො වැඩූ පැණ ඇතියේ වෙයි. ගුණ විසින් අල්ප වෙයි. ගුණ විසින් අල්පාත්ම වෙයි. අල්පපාපයෙනුත් දුඃඛවිහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයා විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට ගෙණ යන්නේය.
මහණෙනි, කෙබඳු වූ පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වේ ද, පරලොව අණුමාත්‍ර විපාකයෙකුත් නො පැණේ ද, බොහෝ කොට නො පැණෙන්නේ ම වේ ද?
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් භාවිතකාය වෙයි. භාවිතශීල වෙයි. භාවිතචිත්ත වෙයි. භාවිතප්‍රඥ වෙයි. ගුණ විසින් අනල්ප වෙයි. ගුණ විසින් මහාත්ම වෙයි. (ප්‍රමාණ කර රාගාදීන්ගේ අභාවයෙන්) අප්‍රමාණ විහරණ ඇත්තේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍ර වූත් විපාකයෙක් නො පැණේ. බොහෝ කොට නො පැණෙන්නේ ම වෙයි.
මහණෙනි, මෙලොව ඇතැමෙක් අඩ කහවණුයෙනුත් බන්‍ධනයට යෙයි. කහවණුයෙනුත් බන්‍ධනයට යෙයි. සියක් කහවණුයෙනුත් බන්‍ධනයට යෙයි. මහණෙනි, මෙලොව ඇතැමෙක් අඩ කහවණුයෙනුත් බන්‍ධනයට නො යෙයි . කහවණුයෙනුත් බන්‍ධනයට නො යෙයි. සියක් කහවණුයෙනුත් බන්‍ධනයට නො යෙයි.
මහණෙනි, කෙබඳු වූයෙක් අඩකහවණුයෙනුත් බන්‍ධනයට යේ ද, කහවණුයෙනුත් බන්‍ධනයට යේ ද, සියක් කහවණුයෙනුත් බන්‍ධනයට යේ ද?
මහණෙනි, මෙලොව ඇතැමෙක් දිළිඳු වෙයි. අල්පධන වෙයි. අල්පභෝග වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයා අඩකහවණුයෙනුත් බන්‍ධනයට යෙයි. කහවණුයෙනුත් බන්‍ධනයට යෙයි. සියක් කහවණුයෙනුත් බන්‍ධනයට යෙයි.
මහණෙනි, කෙබඳු පුද්ගලයෙක් අඩකහවණුයෙනුත් බන්‍ධනයට නො යේ ද, කහවණුයෙනුත් බන්‍ධනයට නො යේ ද, සියක් කහවණුයෙනුත් බන්‍ධනයට නො යේ ද?
මහණෙනි, මෙ ලොව ඇතැමෙක් ආඪ්‍ය වෙයි. මහත්ධන වෙයි. මහාභෝග වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගල අඩකහවණුයෙනුත් බන්‍ධනයට නො යෙයි. කහවණුයෙනුත් බන්‍ධනයට නො යෙයි. සියක් කහවණුයෙනුත් බන්‍ධනයට නො යෙයි. මහණෙනි, එ පරිදි ම මෙලොව ඇතැම් පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ ඒ කර්‍මය තෙල පුද්ගලයා නිරයට ගෙණ යයි. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍ර විපාකයෙක් ද නො පැණෙයි. බොහෝ විපාක නො පැණෙන්නේ ම ය. (2)
මහණෙනි, කෙබඳු පුද්ගලයකු විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ තෙල පුද්ගලයා නිරයට එළවන්නේ වේ ද?
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් අභාවිතකාය වෙයි. අභාවිතශීල වෙයි අභාවිතචිත්ත වෙයි. අභාවිතප්‍රඥ වෙයි. ගුණ විසින් අල්ප වෙයි. ගුණ විසින් අල්පතම වෙයි. අල්පපාපයෙනුත් දුඃඛවිහරණ ඇතියේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයා විසින් අල්පමාත්‍ර වූත් පාපකර්‍මයෙක් කරණ ලද්දේ තෙල පුද්ගලයා නිරයට පමුණුවයි.
මහණෙනි, කෙබඳු පුද්ගලයකු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වේ ද, පරලොව අණුමාත්‍ර වූත් විපාකයෙක් නො පැණේ ද, බොහෝ විපාක නො පැණෙන්නේ ම වේ ද?
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් වැඩූ කය ඇතියේ වෙයි. වැඩූ සිල් ඇතියේ වෙයි. වැඩූ සිත් ඇතියේ වෙයි. වැඩූ ප්‍රඥා ඇතියේ වෙයි. ගුණ විසින් අනල්ප වෙයි. ගුණ විසින් මහාත්ම වෙයි. (ප්‍රමාණ කර රාගාදීන්ගේ අභාවයෙන්) අප්‍රමාණ විහරණ ඇත්තේ වෙයි. මහණෙනි, මෙබඳු පුද්ගලයක්හු විසින් එබඳු වූ ම අල්පමාත්‍ර පාපකර්‍මයෙක් කරණ ලද්දේ දෘෂ්ටධර්‍මවේද්‍ය වෙයි. පරලොව අණුමාත්‍රවූත් විපාකයෙක් නො පැණේ. බොහෝ විපාක නො පැණෙන්නේ ම වෙයි.
මහණෙනි, යම් සේ තිරෙළු හිමියෙක් හෝ තිරෙළුවන් නසන්නෙක් හෝ නො දුන් තිරෙළුවකු පැහැරගන්නා කිසිවකු නස්නට හෝ බඳනට හෝ ධනයෙන් නෙරණට හෝ කැමැති සේ කරන්නට හෝ පොහෝනේ වෙයි. නුදුන්නා වූ තිරෙළුවකු පැහැරගන්නා වූ කිසිවකු නස්නට හෝ බඳනට හෝ ධනයෙන් නෙරණට හෝ කැමැති සේ කරන්නට හෝ නො පොහෝනේ වෙයි.
මහණෙනි, තිරෙළුහිමියෙක් හෝ තිරෙළුවන් නස්නෙක් හෝ නුදුන්නා වූ තිරෙළුවකු පැහැරගන්නා වූ කෙබඳුවකු නස්නට හෝ බඳනට හෝ ධනයෙන් නෙරණට හෝ කැමැති සේ කරන්නට හෝ පොහෝනේ වේ ද?