Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 1901-2000 න් 15980

යහළුව, කිමෙක, මම ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගේ සුභාෂිතය සුභාෂිත විසින් නො අනුමෙවුනෙම් වෙම් ද, යමෙක් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ගේ සුභාෂිතය සුභාෂිත විසින් නොඅනුමෙවුනේ වේ නම් ඔහුගේ හිසත් ඇදහෙන්නේ ය.
3. 2. 3. 5.
[සැවැත්නිදාන යි]
25. එක්කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
ආනන්‍දය, යම් කෙනකුන්ට අනුකම්පා කරව් ද මිත්‍රයෝ වෙත්ව යි, සුහෘදයෝ වෙත්ව යි, නැදිමයිල් දෙපස නෑයෝ වෙත්වයි, භ්‍රාතෘභගින්‍යාදී සාලේ නෑයෝ වෙත්ව යි ඒ යම් කෙනෙක් (තොපගේ බස) ඇසියයුතු කොට හඟිත් ද, ආනන්‍දය, තොප විසින් ඔහු තුන් තැනෙක්හි ලා සමාදන් කරවිය යුතුවහ. ඇතුළත් කරවිය යුතුවහ. පිහිටුවාලිය යුතුවහ.
කවර තුන් තැනෙක යත්: බුදුන් කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙහි සමාදන් කරවිය යුතුවහ. ඇතුළත් කරවිය යුතුවහ. පිහිටුවා ලිය යුතුවහ. “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණිනුදු අර්‍හත්හ. සම්‍යක්සම්බුද්ධයහ ... දෙව්මිනිස්නට ශාස්තෘයහ. චතුස්සත්‍යය අවබෝධ කළහ. භාග්‍යවත්හ කියා යි.
ධර්‍මයෙහි අවේත්‍යප්‍රසාදයෙහි සමාදන් කරවිය යුතුවහ. ඇතුළත්කරවිය යුතුවහ. පිහිටුවාලිය යුතුවහ. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මොනොවට වදාරණ ලද්දේය. සාන්දෘෂ්ටිකය. ... නුවණැතියන් විසින් සියසතන්හි ලා දතයුතුය’ කියා යි.
සඟුන් කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙහි සමාදන් කරවිය යුතුවහ. ඇතුළත් කරවිය යුතුවහ. පිහිටුවාලිය යුතුවහ. ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා සුපිළිපන ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය’ කියා යි.
ආනන්‍දය, පෘථිවීධාතු, අබ්ධාතු, තේජෝධාතු, වායෝධාතු යන සතර මහාභූතයන්ගේ අන්‍යථාත්‍වය වෙයි. බුදුන් කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවකයාගේ අන්‍යථාත්‍වයෙක් නො ම වෙයි. එහි මේ වෙනසයි: ආනන්‍දය, බුදුන් කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක නිරයට හෝ තිරිසන් ගතියට හෝ ප්‍රේතවිෂයට හෝ එළඹෙන්නේය යන තෙල කරුණ සිදු නොවේ.
ආනන්‍දය, පෘථිවීධාතු, අබ්ධාතු, තේජෝ ධාතු, වායෝධාතු යන සතර මහාභූතයන්ගේ අන්‍යථාත්‍වය වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවකයාගේ අන්‍යථාත්‍වයෙක් නො ම වෙයි. එහි මේ වෙනසයි: ආනන්‍දය, සඟුන් කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත ඒ ආර්‍ය්‍යශ්‍රාවක ඒකාන්තයෙන් නිරයට හෝ තිරිසන් යෝනියට හෝ ප්‍රේතවිෂයට හෝ එළඹෙන්නේය යන තෙල කරුණ සිදු නොවෙයි.
ආනන්‍දය, යම් කෙනකුන්ට අනුකම්පා කරව් ද, මිත්‍රයෝ හෝ සුහෘදයෝ හෝ නෑයෝ හෝ සාලේ නෑයෝ හෝ යම් කෙනෙක් (තොපගේ බස) ඇසිය යුතු කොට සිතත් ද, ආනන්‍දය, තොප විසින් ඔහු මේ තුන් තන්හි සමාදන් කරවිය යුතුවහ. ඇතුළත් කරවිය යුතුවහ. පිහිටුවිය යුතුවහ.
3. 2. 3. 6.
26. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ ... භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, ‘භවය, භවය’යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් භවය වේ ද?
ආනන්‍දය, කාමධාතුයෙහි විවස්නා කර්‍මයෙක් නො වී නම් කාමභවයෙක් කිම, පැණේ ද?
වහන්ස, තෙල එසේ නො පැණෙයි.
ආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. අභිසංස්කාර විඥානය බීජය වෙයි. තෘෂ්ණාව උදකය වෙයි. අවිද්‍යායෙන් ඇවුරුණු, තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ කාමධාතුයෙහි විඥානය පිහිටියේ ය. මෙසේ මතුයෙහි පුනර්‍භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වේ.
ආනන්‍දය, රූපධාතුයෙහි විවස්නා කර්‍මය නො වී නම් රූපභවය කිම, පැණේ ද?
වහන්ස, තෙල එසේ නොවේ මැයි.
ආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. අභිසංස්කාරවිඥානය බීජය වෙයි. තෘෂ්ණාව උදකය වෙයි. අවිද්‍යායෙන් ඇවුරුණු තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ රූපධාතුයෙහි විඥානය පිහිටියේ වෙයි. මෙසේ මතුයෙහි පුනර්‍භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වේ.
ආනන්‍දය, අරූපධාතුයෙහි විවස්නා කර්‍මය නො වී නම් අරූපභවයෙක් කිම, පැණේ ද?
වහන්ස, තෙල එසේ නොවේ මැයි.
ආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. අභිසංස්කාරවිඥානය බීජය වෙයි. තෘෂ්ණාව උදකය වෙයි. අවිද්‍යායෙන් ඇවුරුණු තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ අරූපධාතුයෙහි විඥානය පිහිටියේ වෙයි. මෙසේ මතුයෙහි පුනර්‍භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වෙයි. ආනන්‍දය, මෙසේ භවය වෙයි.
3. 2. 3. 7.
27. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ... භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
වහන්ස, ‘භවය, භවය’යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් භවය වේ දැ යි?
ආනන්‍දය, කාමධාතුයෙහි විවස්නා කර්‍මයෙක් නො වී නම් කාමභවය කිම, පැණේ ද?
වහන්ස, තෙල එසේ නොවේ මැයි.
ආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. (සහජාත) අභිසංස්කාරවිඥානය බීජ වෙයි. තෘෂ්ණාව උදක වෙයි. අවිද්‍යායෙන් ඇවුරුණු තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ කාමධාතුයෙහි කර්‍මචේතනාව පිහිටියාය, කර්‍මප්‍රාර්‍ත්‍ථනාව පිහිටියාය. මෙසේ මතුයෙහි පුනර්‍භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වේ.
ආනන්‍දය, රූපධාතුයෙහි විවස්නා කර්‍මයෙක් නො වී නම්, රූපධාතුව කිම, පැණේ ද?
වහන්ස, තෙල නොවේ මැයි.
ආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. අභිසංස්කාරවිඥානය බීජ වෙයි. තෘෂ්ණාව උදක වේ. අවිද්‍යායෙන් ඇවුරුණු තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ කර්‍මචේතනාව රූප ධාතුයෙහි පිහිටියාය, කර්‍මප්‍රාර්‍ත්‍ථනාව පිහිටියාය. මෙසේ මතුයෙහි පුනර්‍භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වෙයි.
ආනන්‍දය, අරූපධාතුයෙහි විවස්නා කර්‍මයෙක් නො වී නම් අරූපභවයෙක් කිම, පැණේ ද?
වහන්ස, තෙල නො වේ මැයි.
ආනන්‍දය, මෙසේ කර්‍මය ක්‍ෂේත්‍රය වෙයි. අභිසංස්කාරවිඥානය බීජ වෙයි. තෘෂ්ණාව උදක වේ. අවිද්‍යායෙන් ඇවුරුණු, තෘෂ්ණාබන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයන්ගේ කර්‍මචේතනාව අරූපධාතුයෙහි පිහිටියාය. කර්‍මප්‍රාර්‍ත්‍ථනාව පිහිටියාය. මෙසේ මතුයෙහි පුනර්‍භව සඞ්ඛ්‍යාත අභිනිර්‍වෘතිය වෙයි. ආනන්‍දය, මෙසේ භවය වෙයි.
3. 2. 3. 8.
28. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ආනන්‍දය, හැම ශීලව්‍රතයෙක් දුෂ්කරකාරිකානුයෝග සඞ්ඛ්‍යාත ජීවිත වූයේ බඹසර වූයේ වටනහර වූයේ සඵල වේ දැ යි?
වහන්ස, මෙහිලා ඒකාන්තවශයෙන් එසේමය යි නොකියැ හෙයි.
ආනන්‍දය, එසේ වී නම් බෙදාලවයි.
වහන්ස, යම් ශීලව්‍රතයෙක් දුෂ්කරකාරිකානුයෝග සඞ්ඛ්‍යාත ජීවිත වේ ද, බඹසර වේ ද, මේ සාරයයි වැටහුනේ වේ ද, එය සෙවුනහුගේ අකුසල් දහම්හු වැඩෙත් නම්, කුසල් දහම්හු පිරිහෙත් නම්, මෙබඳු වූ ශීලව්‍රතය ජීවිත වූයේ බ්‍රහමචර්‍ය වූයේ උපස්ථාන සාර වූයේ අඵල වෙයි.
වහන්ස, යම් ශීලව්‍රතයෙක් ජීවිත වේ ද, බ්‍රහ්මචර්‍ය්‍යය වේ ද, උපස්ථානසාර වේ ද, එය සෙවුනහුගේ අකුසල් දහම්හු පිරිහෙත් නම්, කුසල්දහම්හු වැඩෙත් නම්, මෙබඳු ශීලව්‍රතය ජීවිත වූයේ, බ්‍රහමචර්‍ය වූයේ උපස්ථානසාර වූයේ සඵල වෙයි.
ආයුෂ්මත් අනඳ තෙරණුවෝ තෙල සැළ කළහ. ශාස්තෲන් වහන්සේ අනුදත් සේක. එක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ මබස අනුදත් සේකැ යි හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියහ.
එක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරණුවන් වඩනා හා ම භික්‍ෂූන් ඇමතූ සේක:
මහණෙනි, අනඳ තෙරණුවෝ ශෛක්‍ෂයහ. ඔහුට ප්‍රඥායෙන් සමසමයෙක් සුලභ නො ද වේ.
3. 2. 3. 9.
29. එකල ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ ... එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ තෙල සැළ කළහ:
වහන්ස, යම් ගන්‍ධජාතයන්ගේ ගඳෙක් අනුවාතයට ම හමා ද, පටිවාතයට නො හමා ද, එබඳු මේ ගන්‍ධජාතයෝ තුන් දෙනෙකි.
කවර තුන් දෙනෙක යත්: මූලගන්‍ධය, සාරගන්‍ධය, පුෂ්පගන්‍ධයි. වහන්ස, යම් ගන්‍ධජාතයන්ගේ ගඳෙක් අනුවාතයට ම හමා ද, පටිවාතයට නො හමා ද, මේ ඒ ගන්‍ධජාතයෝ තුන් දෙනයහ.
වහන්ස, යම් ගන්‍ධජාතයක්හුගේ ගන්‍ධය අනුවාතයටත් හමා ද, පටිවාතයටත් හමා ද, අනුවාත පටිවාතයටත් හමා ද එබඳු කිසි ගන්‍ධජාතයෙක් ඇත් ද?
ආනන්‍දය, යම් ගන්‍ධජාතයක්හුගේ ගන්‍ධය අනුවාතයටත් හමා ද, පටිවාතයටත් හමා ද, අනුවාතපටිවාතයටත් හමා ද, එබඳු ගන්‍ධජාතයෙක් ඇත.
වහන්ස, යම් ගන්‍ධජාතයක්හුගේ ගන්‍ධය අනුවාතයටත් හමා ද, පටිවාතයටත් හමා ද, අනුවාතපටිවාතයටත් හමා ද, එබඳු ගන්‍ධජාතය කවරේ ය?
ආනන්‍දය, මෙලොව යම් ගමෙක වේවයි, නියම් ගමෙක වේවයි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සඟුන් සරණ ගියේ වේ ද, පණිවායෙන් දුරුවූයේ වේ ද, අයිනාදනින් දුරුවූයේ වේ ද, කාමයෙහි මිස හසරින් දුරුවූයේ වේ ද, මුසවායෙන් දුරුවූයේ වේ ද, පමාවරදට කරුණු වූ රහමෙරමදින් දුරුවූයේ වේ ද, සිල්වත් වේ ද, කලණදහම් ඇතියේ වේ ද, පැහු මලමසුරු ඇති සිතින් ගිහිගෙහි වෙසේ ද, මුදා දෙන ත්‍යාග ඇතියේ ද, දෙනුවට දෙවි අත් ඇතියේ වේ ද, දීමෙහි ඇලුනේ වේ ද, යදනට නිසිවූයේ වේ ද, දන් හා සංවිභාගයෙහි ඇලුනේ වේ ද, ඔහුගේ ගුණ ඒ ඒ දික්හි මහණබමුණෝ බෙණෙත්. “අසෝ ගම හෝ නියම්ගම හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් බුදුන් සරණ ගියේ වෙයි. දහම් සරණ ගියේ වෙයි. සඟුන් සරණ ගියේ වෙයි. පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිස හසරින් දුරුවූයේ වෙයි. මුසවායෙන් දුරුවූයේ වෙයි. පමාවරදට කරුණු වූ රහමෙරමදින් දුරුවූයේ වෙයි. සිල්වත් වෙයි. කලණදහම් ඇතියේ වෙයි. පැහු මලමසුරු ඇති සිතින් ගිහිගෙහි වෙසෙයි. මුදාදෙන ත්‍යාග ඇතියේ වෙයි. දෙනුවට දෙවි අත් ඇතියේ වෙයි. පීමෙහි ඇලුනේ වෙයි. යැදිවත් දීමෙන් යාචයෝග වෙයි. දීමෙහි හා සංවිභාගයෙහි ඇලුනේ වෙයි” කියායි.
මනුෂ්‍ය නොවන දෙවියෝත් පවා ඔහුගේ ගුණ කියත්: “අසුවල් ගම හෝ නියම්ගම් හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ ... දහම් සරණ ... සඟුන් සරණ ගියේ වෙයි, පණිවායෙන් දුරුවූයේ වෙයි, ... දීමෙහි හා සංවිභාගයෙහි ඇලුනේත් වෙයි” කියායි.
ආනන්‍දය, යම් ගන්‍ධජාතයක්හුගේ ගන්‍ධය අනුවාතයටත් හමා ද පටිවාතයටත් හමා ද අනුවාතපටිවාතයටත් හමා ද, මේ ඒ ගන්‍ධජාතයයි.
36. පුෂ්පගන්‍ධය උඩුසුළඟට නොහමයි. සඳුන් තුවරලා, සමන්සුවඳ හෝ උඩුසුළඟට නොහමයි. සත්පුරුෂයන්ගේ ගුණගන්‍ධය උඩුසුළඟට හමා සත්පුරුෂ තෙමේ හැම දික්හි ම වැතිරෙයි. (ගුණ සුවඳින් හැමේ.)
3. 2. 3. 10.
30. එකල ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි තෙල අසන ලදී: හමුයෙහි පිළිගන්නා ලදී: “ආනන්‍දය, සිඛී සම්මා සම්බුදුන්ගේ අභිභූ නම් ශ්‍රාවක බඹලොව සිටියේ සහස්‍රී ලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කෙළේ” යි. වහන්ස, අර්‍හත් සම්‍යක්ම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ස්වරයෙන් විඥාපනය කරන්නට සමර්‍ත්‍ථ වෙති හෝ යි?
ආනන්‍දය, හේ ශ්‍රාවකයෙක; තථාගතයෝ වනාහි අපරිමේය වෙති.
දෙවනවටත් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි තෙල … ආනන්‍දය, හේ ශ්‍රාවකයෙක; තථාගතයෝ වනාහි අපරිමේය වෙති.
තෙවනවටත් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි තෙල අසන ලද: හමුයෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, සිඛී සම්මා සම්බුදුන්ගේ අභිභූ නම් ශ්‍රාවක බඹලොව සිටියේ සහස්‍රී ලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කෙළේයයි”. වහන්ස, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ කෙතෙක් තැන් ස්වරයෙන් විඥාපනය කරන්නට සමර්‍ත්‍ථ වෙති හෝ යි?
ආනන්‍දය, තා විසින් දහසක් සක්වළ ඇති චූලනීය ලෝකධාතුව අසන ලද නු යි?
යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ වදාරණ සේක් ද, භාග්‍යවතුන් වහන්සේගේ බස් අසා භික්‍ෂූහු ධරත් ද, භාග්‍යවතුන් වහන්ස, තෙල සිංහනාදයට මේ කාලය යි. සුගතයන් වහන්ස, තෙල සිංහනාදයට මේ කාලය යි.
ආනන්‍දය, එසේ වී නම් අසව … ආනන්‍දය, සඳහිරුහු බබළමින් යම්තාක් තැන් ඇවිදුනාහු ද, දිශා බබුලුවත් ද, ඒ තාක් තැන් සහස්‍රීලෝකධාතුයි. ඒ සහස්‍රධාලෝකයෙහි සඳ දහසෙක් ඇත. හිරු දහසෙක් ඇත. සුනෙරු පවුරද දහසෙක් ඇත. දඹදිව් දහසෙක් ඇත. අපරගොයාන දහසෙක් ඇත. උතුරුකුරුදිව් දහසෙක් ඇත. පූර්‍වවිදේහ දහසෙක් ඇත. මහාසමුද්‍ර සහස්‍රයෝ සතර දෙනෙක් ඇත. මහාරාජසහස්‍රයෝ සතර දෙනෙක් ඇත. චාතුර්මහාරාජික සහස්‍රයෙක් ඇත. ත්‍රයත්‍රිංශත් දේවලෝක සහස්‍රයෙක් ඇත. යාම දේවලෝක සහස්‍රයෙක් ඇත. තුෂිත දේවලෝක සහස්‍රයෙක් ඇත. නිර්‍මාණරතී දේවලෝක සහස්‍රයෙක් ඇත. පරනිම්මිත වශවර්ති දේවලෝක සහස්‍රයෙක් ඇත. බ්‍රහ්මලෝක සහස්‍රයෙක් ඇත. ආනන්‍දය, මේ සහස්‍රීචූලනීය ලෝකධාතුය යි කියනු ලැබේ.
ආනන්‍දය, යම්තාක් තැන් සහස්‍රීචූලනීය ලෝකධාතුයෙක් වේ ද, ඒ තාක් සහස්‍රභාගයෙන් ගණනා ලද ලෝකයෙක් වේ ද, ආනන්‍දය, මේ ද්විසහස්‍රී මාධ්‍යමික ලෝකධාතුය යි කියනු ලැබේ.
ආනන්‍දය, යම්තාක් තැන් ද්විසහස්‍රී මාධ්‍යමික ලෝකධාතුයෙක් වේ ද, ඒ තාක් සහස්‍රභාගයෙන් ගණනා ලද ලෝකයෙක් වේ ද, ආනන්‍දය, මේ ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝකධාතු ය යි කියනු ලැබේ.
ආනන්‍දය, තථාගතයන් වහන්සේ කැමැතිවන සේක් ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කරන සේක. ඉන් පිටත් යම්තාක් කැමැති වන සේක් නම්, ඒ ද ස්වරයෙන් විඥාපනය කරණ සේක.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙසේ නම් ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කරන සේක ද? ඉන් පිටත් යම් තාක් කැමැති වන සේක් නම් ඒ ද ස්වරයෙන් විඥාපනය කරණ සේක ද?
ආනන්‍දය, මෙහි තථාගතයන් වහන්සේ ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝකධාතුව ශරීරාවභාසයෙන් පතුරුවන සේක. යම් වරෙක ඒ සත්හු ඒ ආලෝකය හඳුනත් ද, එවරැ තථාගතයන් වහන්සේ බඹගොස් කරණ සේක. හඬ අස්වන සේක. ආනන්‍දය, මෙසේ තථාගතයන් වහන්සේ ත්‍රිසහස්‍රී මහාසහස්‍රී ලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කරන සේක. ඉන් පිටත් යම්තාක් කැමැති වන සේක් නම් ඒ තාක් ස්වරයෙන් විඥාපනය කරණ සේක.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට “යම් බඳු මාගේ ශාස්තෘන් වහන්සේ මෙබඳු මහත් ඍද්ධි ඇති සේක් ද, මෙබඳු මහත් ආනුභාව ඇති සේක් ද, ඒකාන්තයෙන් මට ලාභයෙක. ඒකාන්තයෙන් මට මනා ලැබීමෙකැ” යි තෙල ප්‍රසාදය සැළ කළහ.
මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට තෙල කීහ. “කියඟ ආනන්‍දය, ඉදින් තාගේ ශාස්තෘන් වහන්සේ මෙබඳු මහත් ඍද්ධි ඇති සේක් ද, මෙබඳු මහත් ආනුභාව ඇති සේක් ද, මෙහිලා තෙපි කිමෙකැ” යි.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායී තෙරණුවනට තෙල බස් වදාළහ: උදායී, නහමක් මෙසේ කියව. උදායිය, නහමක් මෙසේ කියව. උදායිය, ඉදින් අනඳ තෙර අවීතරාග ව කලුරිය කෙරේ නම්, ඒ චිත්තප්‍රසාදයෙන් සත් වටක් දෙවියන් කෙරෙහි දෙව්රජය කෙරෙයි. සත් වටක් මේ දඹදිව ම මහරජය කෙරෙයි. වැලිත් උදායිය, අනඳ ඉහාත්මයෙහි ම පිරිනිවන් පානේය.
ආනන්‍දවර්‍ගය තෙවෙනි යි.
[4. ශ්‍රමණ වර්‍ගය]
3. 2. 4. 1.
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, ශ්‍රමණසන්තකවූ මේ ශ්‍රමණකරණියයෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාසමාදානය, අධිචිත්තශික්‍ෂාසමාදානය, අධිප්‍රඥා ශික්‍ෂාසමාදාන යි. මහණෙනි, ශ්‍රමණ සන්තක වූ මේ තුන් ශ්‍රමණ කරණීයයෝ යි. මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතුය: “අධිශීලශික්‍ෂා සමාදානයෙහි ලා අපගේ තීව්‍ර වූ ඡන්‍දයෙක් වෙයි. අධිචිත්තශික්‍ෂා සමාදානයෙහි ලා අපගේ තීව්‍ර වූ ඡන්‍දයෙක් වෙයි. අධිප්‍රඥාශික්‍ෂා සමාදානයෙහි ලා අපගේ තීව්‍ර වූ ඡන්‍දයෙක් වෙයි” කියා යි. මහණෙනි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු යි.
3. 2. 4. 2.
32. මහණෙනි, යම් පිරිදි ගද්‍රභයෙක් “අහම්පම්හා අහම්පම්හා (මම ද ගවයෙමි, මම ද ගවයෙමි යි” යන අනුකරණයෙන් හඬමින්) ගොගණයා පස් පස් ලුහු බඳනේ වේ ද, ගවයන්ට වන පරිද්දෙන් ඔහුට එබඳු පැහැසටහනෙක් නොවෙයි. ගවයන්ට වන පරිද්දෙන් එබඳු හඬෙකුදු නොවෙයි. ගවයන්ට වන පරිදි එබඳු පිය සටහනෙක් ද නොවෙයි. හේ “අහම්පම්හා, අහම්පම්හා” යි ගවමුළු ම පස් පස් ලුහු බැඳ යන්නේ වෙයි.
මහණෙනි, එපරිදි ම මෙසස්නෙහි කිසි මහණෙක් “මම ද මහණයෙමි, මම ද මහණයෙමි” යි (බෙණෙමින්) බික් සඟුන් පස් පස් ලුහු බැඳ යන්නේ වේ ද, සෙසු මහණුන්ට වන පරිදි අධිශීලශික්‍ෂාසමාදානයෙහි ලා ඔහුට එබඳු ඡන්‍දයෙක් නො වෙයි. සෙසු මහණුන්ට වන පරිදි අධිචිත්ත ශික්‍ෂාසමාදානයෙහි ලා එබඳු ඡන්‍දයෙක් නො වෙයි. සෙසු මහණුන්ට වන පරිදි අධිප්‍රඥා ශික්‍ෂා සමාදානයෙහි ලා එබඳු ඡන්‍දයෙක් නො වෙයි. හේ “මම ද මහණයෙමි, මම ද මහණයෙමි” යි බික් සඟුන් ම පස් පස් ලුහු බඳනේ වෙයි.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතුය: අධිශීලශික්‍ෂාසමාදානයෙහි ලා අපගේ තීව්‍ර ඡන්‍දයෙක් වෙයි. අධිචිත්තශික්‍ෂාසමාදානයෙහි ලා අපගේ තීව්‍ර ඡන්‍දයෙක් වෙයි. අධිප්‍රඥාශික්‍ෂාසමාදානයෙහි ලා අපගේ තීව්‍ර ඡන්‍දයෙක් වෙයි, කියා යි. මහණෙනි, මෙසේ ම තොප විසින් හික්මිය යුතුයි.
3. 2. 4. 3.
33. මහණෙනි, සීසානා ගෙහෙවියා විසින් කැල ම මේ කළ යුතු දෑ තුණෙක. කවර තුණෙක යත්: මහණෙනි, මෙලොව සීසානා ගෙහෙවි කැල ම ක්‍ෂේත්‍රය මොනොවට සානා ලද්දක් පුවරුවෙන් සම කරණ ලද්දක් කෙරේ ද, ක්‍ෂේත්‍රය මොනොවට සාට තැනක් පුවරු ගා සම කරණ ලද්දක් කොට නිසි කල බිජු පිහිටුවයි. නිසි කල්හි බිජු පිහිටුවා නිසි සමාහි දිය වද්දනුයේත් නෙරනුයේත් වෙයි. මහණෙනි, සානා ගෙහෙවියා විසින් කැල ම මේ කළයුතු දෑ තුණයි.
මහණෙනි, එපරිදි ම මහණහු විසින් කැල ම මේ කළ යුතු දෑ තුණෙකි. කවර තුණෙක යත්: අධිශීලශික්‍ෂාසමාදානය, අධිචිත්තශික්‍ෂාසමාදානය, අධිප්‍රඥාශික්‍ෂාසමාදාන යි. මහණෙනි, මහණහු විසින් කැල ම මේ කළයුතු දෑ තුණය.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතුය: අධිශීලශික්‍ෂා සමාදානයෙහි ලා අපගේ තීව්‍ර වූ ඡන්‍දය වෙයි. අධිචිත්තශික්‍ෂා සමාදානයෙහි ලා අපගේ තීව්‍ර වූ ඡන්‍දය වෙයි. අධිප්‍රඥාශික්‍ෂා සමාදානයෙහි ලා අපගේ තීව්‍ර වූ ඡන්‍දය වේයයි. මහණෙනි, තොප විසින් මෙසේ මැ හික්මිය යුතුය.
3. 2. 4. 4.
[වේසාලිනිදාන යි]
34. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහවනයෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එකල එක්තරා වැදෑ රජකුලපුත් මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹින. එළඹ ... එකත්පස්ව හුන් ඒ වැදෑපුත් මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:
වහන්ස, “සාධික යෙළ සියක් මේ සිකපද අඩමසක් පාසා උදෙසීමට එයි. වහන්ස, මම මෙහි හික්මෙන්නට නො පොහොසත්මි” යි.
මහණ, අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන් තුන් සිකයෙහි හික්මෙන්නට තෝ පොහොසත්හි?
වහන්ස, මම අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන් තුන් සිකයෙහි හික්මෙන්නට පොහොසත්මි.
මහණ, එහෙයින් තෝ අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන් තුන් සිකෙහි හික්මෙව. මහණ, යම් හෙයෙකින් තෝ අධිශීලයෙහි හික්මෙහි ද, අධිචිත්තයෙහි හික්මෙහි ද, අධිප්‍රඥායෙහිත් හික්මෙහි ද, මහණ, අධිශීලයෙහි හික්මෙන, අධිචිත්තයෙහිත් හික්මෙන, අධිප්‍රඥායෙහිත් හික්මෙන ඒ තට රාගය ප්‍රහත වෙයි. ද්වේෂය ප්‍රහත වෙයි. මෝහය ප්‍රහත වෙයි. ඒ තෝ, රාගප්‍රහාණයෙන් ද්වේෂප්‍රහාණයෙන් මෝහප්‍රහාණයෙන් - යම් අකුශලයෙක් වේ නම් එය නො කෙරෙහි, යම් පාපයෙක් වේ නම්, ඒ නො සෙවුනෙහිය.
එක්බිති ඒ මහණ, පසු කලෙක අධිශීලයෙහිත් හික්මින. අධිචිත්තයෙහිත් හික්මින. අධිප්‍රඥායෙහිත් හික්මින. අධිශීලයෙහිත් අධිචිත්තයෙහිත් අධිප්‍රඥායෙහිත් හික්මෙන ඔහුට රාගය ප්‍රහත විය. ද්වේෂය ප්‍රහත විය. මෝහය ප්‍රහත විය. රාගයාගේ ප්‍රහාණයෙන් ද්වේෂයාගේ ප්‍රහාණයෙන් මෝහයාගේ ප්‍රහාණයෙන් පසු යම් අකුශලයෙක් ඇත් ද ඒ නො කෙළේය. යම් පාපයෙක් ඇත් ද එය නො සෙව්නේ වීය.
3. 2. 4. 5.
[සැවැත්නිදාන යි]
35. එකල අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. ... එකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: වහන්ස, ‘ශෛක්‍ෂය, ශෛක්‍ෂය’යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ශෛක්‍ෂ වේ හො යි?
මහණ, හික්මේ නු යි එහෙයින් ශෛක්‍ෂය යි කියනු ලැබේ. කුමක් හික්මේ ද? අධිශීලයත් හික්මෙයි. අධිචිත්තයත් හික්මෙයි. අධිප්‍රඥාවත් හික්මෙයි. මහණ හික්මේ නු යි එහෙයින් ශෛක්‍ෂය යි කියනු ලැබේ.
37 අරීමග පිළිපදනා සුලු හික්මෙන ශෛක්‍ෂයාහට පළමුව ලා (ක්ලේශක්‍ෂය කරණ හෙයින්) ක්‍ෂය නම් ලද මාර්‍ගයෙහි ඥානය උපදනේ ය, ඒ චතුර්‍ත්‍ථමාර්‍ගඥානයෙන් අනතුරුව අර්‍හත්ත්‍වඵලය උපදනේ ය.
38 එක්බිති අර්‍හත්ත්‍වඵලවිමුක්තියෙන් විමුක්ත වූ ඒ තාදීහට ඒකාන්තයෙන් ප්‍රත්‍යවේක්‍ෂණඥානය පහළ වෙයි. “භවසංයෝජනක්‍ෂයයෙහි දී මාගේ විමුක්තිය අකෝප්‍ය විය” කියා යි.
3. 2. 4. 6.
36. මහණෙනි, තමනට වැඩ කැමැති කුලපුත්‍රයෝ යමෙක්හි හික්මෙත් නම් එබඳු මේ සාධික යෙළසියක් සිකපද අඩමසක් පාසා උදෙසීමට එයි. මහණෙනි, යමෙක මේ හැම සිකපද සංග්‍රහයට යේ නම් මේ එබඳු ශික්‍ෂාවෝ තුන් දෙනෙකි. කවර තුන් දෙනෙක යත්: අධිශීලශික්‍ෂාය, අධිචිත්තශික්‍ෂාය, අධිප්‍රඥාශික්‍ෂා යි. මහණෙනි, යමෙක මෙ හැම සිකපද සංග්‍රහයට යේ නම් මේ එබඳු ශික්‍ෂාවෝ තුන් දෙනහ.