Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 101-200 න් 15980

1. 5. 2.
මහණෙනි, (බිඳිනට හැකි සේ උඩුඅක් කොට) මොනොවට තබනා ලද හැල්වීනංඩුයෙක් වේවයි යවවීනංඩුයෙක් වේවයි, අතින් වේවයි පයින් වේවයි, ඇක්මුනේ ඇත වේවයි, පය වේවයි බිඳුනේ ය, ලේ හෝ උපදවන්නේ ය යන මෙකරුණ විද්‍යමාන වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, නංඩුව මොනොවට තැබූ වන බැවිනි. මහණෙනි, එපරිදි ඒකාන්තයෙන් ඒ මහණ මොනොවට තබන ලද සිතින් අවිද්‍යාව බිඳුනේ ය, විද්‍යාව උපදවන්නේ ය, නිර්‍වාණය සාක්‍ෂාත් කරන්නේ ය යන මෙකරුණ විද්‍යමාන වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත මොනොවට තැබූ වන බැවිනි.
1. 5. 3.
මහණෙනි, මම මෙලොවැ (දෝෂයෙන්) ප්‍රදුෂ්ට වූ සිත් ඇති කිසි පුගුලකු “ඉදින් මේ පුද්ගල තෙමේ මෙ සමයෙහි කලුරිය කරන්නේ නම්, (හිසින්) ගෙණවුත් තැබූයේ යම්සේ වේ ද, එසේ නිරයෙහි සිතුනේ”යි මෙසේ මා සිතින් උහු සිත පිරිසිඳ දනිමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මොහුගේ සිත ප්‍රදුෂ්ට ය, එහෙයිනි. මහණෙනි, මෙසේ මෙලොව සත්ත්‍ව කෙනෙක් චිත්තප්‍රදෝෂහේතුයෙන් කාබුන් මරණින් මතු (සුවෙන් තොර බැවින්) අපාය නම් වූ (නපුරු ගති ඇති බැවින්) දුර්‍ගති නම් වූ (විවස ව පතිත වන බැවින්) විනිපාත නම් වූ නිරයට පැමිණෙන්නාහු ය.
1. 5. 4.
මහණෙනි, මම මෙලොවැ පහන් සිත් ඇති කිසි පුඟුලකු “ඉදින් මේ පුඟුල් මෙ සමයෙහි කලුරිය කරන්නේ නම්, (හිසින්) ගෙණවුත් තැබූයේ යම්සේ වේ ද, එසේ ස්වර්‍ගයෙහි සිටුනේ” යි මෙසේ මා සිතින් උහු සිත පිරිසිඳ දනිමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මොහුගේ සිත පහන් වේ, එහෙයිනි. මහණෙනි, මෙලොව්හි සත්ත්‍ව කෙනෙක් මෙසේ චිත්තප්‍රසාදහේතුයෙනු දු කාබුන් මරණින් මතු (සුඛයට ගති වූ හෙයින්) සුගති නම් වූ (මොනොවට අග්‍ර හෙයින්) සග්ග නම් වූ ලෝකයට පැමිණෙන්නාහු ය.
1. 5. 5.
මහණෙනි, යම් පරිදි නොපහන් වූ කැළැඹුනු මඬබිහිලි දියවිලෙක් වේ නම්, එහි ඇස් ඇති පුරුෂයෙක් තෙරැ සිටියේ හැසිරෙන්නා වූ ද සිටුනා වූ ද සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලනුදු කැට කැබලිති හා මස්කැල ද නොදක්නේ වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, දිය නොපහන් වන බැවිනි. එපරිදි ම ඒ මහණ කැළැඹුනු සිතින් යුක්ත ව ඒකාන්තයෙන් ආත්මාර්‍ත්‍ථ ය හෝ දැන ගන්නේය, පරාර්‍ත්‍ථය හෝ දැන ගන්නේය, උභයාර්‍ත්‍ථය හෝ දැන ගන්නේය, (දශකුශලධර්‍ම සඞ්ඛ්‍යාත) මනුෂ්‍යධර්‍මයෙන් මත්තෙහි වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමත් වූ ඥානදර්‍ශනවිශේෂයක් හෝ පසක් කරන්නේය යන මෙකරුණ සිදු නො වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත නොපහන් වන බැවිනි.
1. 5. 6.
මහණෙනි, යම් පරිදි පිරිසිදු වූ වෙසෙසින් පහන් වූ නොකැළැඹුනු දිය විලෙක් වේ නම්, එහි ඇස් ඇති පුරුෂයෙක් තෙරැ සිටියේ හැසිරෙන්නා වූ ද සිටුනා වූ ද සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලනු දු කැටකැබලිති හා මස්කැල ද දක්නේ වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, දිය පහන් වන බැවිනි. මහණෙනි, එපරිදි මා ඒ මහණ ඒකාන්තයෙන් නො කැළැඹුනු සිතින් ආත්මාර්‍ත්‍ථය හෝ දැන ගන්නේය, පරාර්‍ත්‍ථය හෝ දැන ගන්නේය, උභයාර්‍ත්‍ථය හෝ දැන ගන්නේය, මනුෂ්‍යධර්‍මයෙන් මත්තෙහි වූ ආර්‍ය්‍යභාවය ඇති කර ගැණීමට සමත් ඥානදර්‍ශනවිශේෂයක් හෝ පසක් කරන්නේය යන මෙ කරුණ විද්‍යමාන වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත පහන් වන බැවිනි.
1. 5. 7.
මහණෙනි, යම් පරිදි යම්කිසි වෘක්‍ෂ කෙනෙක් වෙත් නම්, ඔවුනතුරෙන් මෘදුත්‍වයෙන් හා කර්‍මණ්‍යතායෙනු දු බුදුරුදමුනුගස අග්‍ර යයි කියනු ලැබේ ද, මහණෙනි, එපරිදි ම යමෙක් මෙසේ වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ මෘදුත් වේ නම්, කර්‍මණ්‍යත් වේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සිත වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ මෘදුත් වෙයි. කර්‍මණ්‍යත් වෙයි.
1. 5. 8.
මහණෙනි, යමෙක් මෙසේ වහා ඉපිද නස්නා සුලු වේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සිත අත්‍යර්‍ත්‍ථයෙන් වහා පෙරළෙන සුලු වේ නම්, (එයට) උපමාවකුදු අතිශයදුෂ්කර වේ.
1. 5. 9.
මහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්‍රභාස්වර ය, හෙ ද වනාහි ආගන්තුක (ජවන්කෙණෙහි උපදනා රාගාදි) උපක්ලේශයන්ගෙන් කිලිටි වූයේ ය.
1. 5. 10.
මහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්‍රභාස්වර ය, හෙ ද වනාහි ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදින.
පස්වන වග යි
6. ප්‍රභාස්වර වර්‍ගය
1. 6. 1.
මහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්‍රභාස්වර ය. එ ද වනාහි ආගන්තුක (ජවන්කෙණෙහි උපදනා රාගාදි) උපක්ලේශයන්ගෙන් කිලිටි වූයෙ ය. ශ්‍රැතරහිත පෘථග්ජන තෙමේ එය තත් වූ පරිද්දෙන් නො දනී. එහෙයින් ‘අශ්‍රැතවත් පෘථග්ජනයාහට චිත්තභාවනායෙක් නැතැ’යි කියමි.
1. 6. 2.
මහණෙනි, මේ (භවාඞ්ග) සිත ප්‍රභාස්වර ය. එ ද වනාහි ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදින. එය ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ තත් වූ පරිද්දෙන් දනී. එහෙයින් ‘ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට චිත්තභාවනාව ඇතැ’යි කියමි.
1. 6. 3.
මහණෙනි, ඉදින් මහණ අසුරුසනක් පමණකුදු මෙත් සිත සෙවුනේ නම්, මහණෙනි, මේ මහණ නොසිස් දැහැන් ඇත්තේ (ඊර්‍ය්‍යාපථවිහරණයෙන්) වෙසේය යි කියනු ලැබේ. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය කරන්නේ අවවාදය පිළිපදනේ නොසිස් වූ රට්ඨපිණ්ඩය (රටින් ලත් පිණ්ඩපාතය) වළඳයි. යම් කෙනෙක් එය බහුල වශයෙන් කෙරෙත් නම් (එහි ලා) කවර කථා ද?
1. 6. 4.
මහණෙනි, ඉදින් මහණ අසුරුසනක් පමණකුදු මෙත් සිත වඩා නම්, මහණෙනි, මේ මහණ නොසිස් දැහැන් ඇත්තේ වෙසේය යි කියනු ලැබේ. ශාස්තෘශාසනය කරන්නේ අවවාදය පිළිපදනේ නොසිස් වූ රට්ඨපිණ්ඩය (රටින් ලත් පිණ්ඩපාතය) වළඳයි. යම් කෙනෙක් එය බහුලවශයෙන් කෙරෙත් නම්, (එහි ලා) කවර කථා ද?
1. 6. 5.
මහණෙනි, ඉදින් මහණ අසුරුසනක් පමණකුදු මෙත් සිත මෙනෙහි කෙරේ නම්, මහණෙනි, මේ මහණ නොසිස් දැහැන් ඇත්තේ වෙසේය යි කියනු ලැබේ. ශාස්තෘශාසනය කරන්නේ අවවාදය පිළිපදනේ නොසිස් වූ රට්ඨපිණ්ඩය (රටින් ලත් පිණ්ඩපාතය) වළඳයි. යම් කෙනෙක් එය බහුලවශයෙන් කෙරෙත් නම්, (එහි ලා) කවර කථා ද?
1. 6. 6.
මහණෙනි, යම් ධර්‍ම කෙනෙක් අකුශල වෙත් ද, අකුශලභජනයෙහි, අකුශල පක්‍ෂයෙහි වැටෙත් ද, එහැම ධර්‍මයෝ සිත පෙරටු කොට ඇත. සිත ඒ ධර්‍මයනට පළමු උපදනේය. ඒ හා එක්වට ම අකුශලධර්‍මයෝ උපදිත්.
1. 6. 7.
මහණෙනි, යම් කිසි ධර්‍ම කෙනෙක් කුශල වෙත් ද, කුශලභජනයෙහි, කුශලපක්‍ෂයෙහි වැටෙත් ද, ඒ සියලු ධර්‍මයෝ සිත පෙරටු කොට ඇත. සිත ඒ ධර්‍මයනට පළමු උපදනේය. ඒ හා එක්වට ම කුශලධර්‍මයෝ උපදිත්.
1. 6. 8.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, ප්‍රමාදය වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, පමා වූ පුඟුල්හට නූපන්නා වූ ද අකුශල ධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද කුශල ධර්‍මයෝ පිරිහෙත්.
1. 6. 9.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, අප්‍රමාදය වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නොපමා පුඟුල්හට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශල ධර්‍මයෝ පිරිහෙත්.
1. 6. 10.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, කුසීත බව වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, කුසීතයාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද කුශල ධර්‍මයෝ පිරිහෙත්.
සවන වග යි
7. වීර්‍ය්‍යාරම්භ වර්‍ගය
1. 7. 1.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, වීර්‍ය්‍යාරම්භය වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, ඇරඹු වැර ඇත්තාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 7. 2.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශල ධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, මහේච්ඡතාව බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, මහේච්ඡපුද්ගලයාහට නූපන්නා වූ ද අකුශල ධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 7. 3.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, අල්පේච්ඡතාව බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අල්පේච්ඡයාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 7. 4.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, ලද දැයින් නොසතුටු බව (ලෝභය) වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, ලද දැයින් නොසතුටු වන්නාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 7. 5.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, ලද දැයින් සතුටු බව (අලෝභය) බඳු අන් එක ධර්‍මයකුදු මම නොදක්මි. මහණෙනි, ලද දැයින් සතුටු වන්නාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 7. 6.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, නුනුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 7. 7.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 7. 8.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, (මෝහ සඞ්ඛ්‍යාත) අසම්පජඤ්ඤය වැනි අන් එක ධර්‍මයකුදු මම නොදක්මි. මහණෙනි, සම්මූඪ පුද්ගලයාහට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 7. 9.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, සම්‍යක්ප්‍රඥාව (තීරණප්‍රඥාව) වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්‍යක්ප්‍රඥායෙන් දක්නාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 7. 10.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, පාප මිත්‍රතාව වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, පාපමිත්‍රයන් ඇත්තහුට නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.
සත්වන වග යි.
8. කල්‍යාණමිත්‍ර වර්‍ගය
[සැවැත්නිදාන යි]
1. 8. 1.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශල ධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, කල්‍යාණමිත්‍රතාව වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, කලණ මිතුරන් ඇත්තාහට නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද අකුශල ධර්‍මයෝ පිරිහෙත්.
1. 8. 2.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, අකුශල ධර්‍මයන්හි යෙදීම හා (චාතුර්භූමක) කුශලධර්‍මයන්හි නො යෙදීම ද වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අකුශලධර්‍මයන්හි යෙදීමෙනුදු කුශලධර්‍මයන්හි නොයෙදීමෙනුදු නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ උපදිත්, උපන්නා වූ ද කුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 8. 3.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත් නම්, මහණෙනි, කුශලධර්‍මයන්හි යෙදීම හා අකුශලධර්‍මයන්හි නොයෙදීම ද වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, කුශලධර්‍මයන්හි යෙදීමෙන් හා අකුශල ධර්‍මයන්හි නො යෙදීමෙන් හා නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද අකුශලධර්‍මයෝ පිරිහෙත්.
1. 8. 4.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද බෝධ්‍යඞ්ගධර්‍මයෝ නූපදිත් නම්, උපන්නා වූ ද බෝධ්‍යඞ්ගධර්‍මයෝ භාවනායෙන් පිරිපුන් බවට නො යෙත් නම්, මහණෙනි, අයෝනිසෝ මනසිකාරය වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද බෝධ්‍යඞ්ග ධර්‍මයෝ නූපදිත්. උපන්නා වූ ද බෝධ්‍යඞ්ගධර්‍මයෝ භාවනායෙන් පිරිපුන් බවට නො යෙත්.
1. 8. 5.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද බෝධ්‍යඞ්ගධර්‍මයෝ උපදිත් නම්, උපන්නා වූ ද බෝධ්‍යඞ්ගධර්‍මයෝ භාවනායෙන් පිරිපුන් බවට යෙත් නම්, මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නා වූ ද බෝධ්‍යඞ්ගධර්‍මයෝ උපදිත්. උපන්නා වූ ද බෝධ්‍යඞ්ගධර්‍මයෝ භාවනායෙන් පිරිපුන් බවට යෙත්.
1. 8. 6.
මහණෙනි, යම් ඥාති පරිහාණියෙක් වේ නම්, මෙය අල්පමාත්‍ර වූ පරිහාණි යෙකි. මහණෙනි, යම් ප්‍රඥාපරිහාණියෙක් වේ නම්, පිරිහීම් අතුරෙන් තෙල පිරිහීම නිකෘෂ්ට ය.
1. 8. 7.
මහණෙනි, යම් ඥාතිවෘද්ධියෙක් වේ නම්, මෙය අල්පමාත්‍ර වෘද්ධියෙක. මහණෙනි, යම් ප්‍රඥායෙන් වැඩීමෙක් වේ නම්, වෘද්ධීන් අතුරෙන් තෙල වෘද්ධිය අග්‍ර වෙයි. මහණෙනි, එහෙයින් මෙහි ලා “ප්‍රඥාවෘද්ධියෙන් වැඩෙන්නම්හ” යි මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
1. 8. 8.
මහණෙනි, යම් භෝගපරිහාණියෙක් වේ නම්, මේ පරිහාණිය අල්ප මාත්‍ර වූවක. මහණෙනි, යම් ප්‍රඥාපරිහාණියෙක් වේ නම්, පරිහාණීන් අතුරෙන් තෙල පරිහාණිය නිකෘෂ්ට වෙයි.
1. 8. 9.
මහණෙනි, යම් භෝගවෘද්ධියෙක් වේ නම්, මෙය අල්පමාත්‍ර වෘද්ධියෙක. මහණෙනි, ප්‍රඥාවෘද්ධියෙක් වේ නම්, වෘද්ධීන් අතුරෙන් තෙල අග්‍ර වෙයි. මහණෙනි, එහෙයින් මෙහිලා “ප්‍රඥාවෘද්ධියෙන් වැඩෙන්නම්හ” යි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
1. 8. 10.
මහණෙනි, යම් යශස් පරිහාණියෙක් වේ නම්, මෙය අල්පමාත්‍ර පරිහාණියෙක. මහණෙනි, යම් ප්‍රඥාපරිහාණියෙක් වේ නම්, පරිහාණීන් අතුරෙන් තෙල නිකෘෂ්ට වෙයි.
1. 8. 11.
මහණෙනි, යම් යශෝවෘද්ධියෙක් වේ නම්, මෙය අල්පමාත්‍ර වෘද්ධියෙක. මහණෙනි, යම් ප්‍රඥාවෘද්ධියෙක් වේ නම්, එය වෘද්ධීන් අතුරෙන් අග්‍ර වෙයි. මහණෙනි, එහෙයින් මෙහි ලා “ප්‍රඥාවෘද්ධියෙන් වැඩෙන්නම්හ” යි මෙසේ හික්මිය යුතු ය. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
අට වන වග යි.
9. ප්‍රමාද වර්‍ගය
[සැවැත්නිදාන යි]
1. 9. 1.
මහණෙනි, යමෙක් මෙසේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, ප්‍රමාදය වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, ප්‍රමාදය මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 9. 2.
මහණෙනි, යමෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, අප්‍රමාදය වැනි අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, අප්‍රමාදය මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේය.
1. 9. 3.
මහණෙනි, යමෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, කුසීතබව වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, කුසීතබව මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 9. 4.
මහණෙනි, යම් ධර්‍මයෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, වීර්‍ය්‍යාරම්භය වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, වීර්‍ය්‍යාරම්භය මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 9. 5.
මහණෙනි, යමක් මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී නම්, මහණෙනි, මහෙච්ඡතා වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, මහේච්ඡතාව මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ය.