Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 14901-15000 න් 15980

10. 3. 4. 1.
සාධු සූත්‍රය
මහණෙනි, තොපට සාධුධර්‍මය හා අසාධු ධර්‍මය හා දෙසන්නෙමි. එ අසවු, මොනොවට මෙනෙහි කරවු කියන්නෙමි යි. එසේය වහන්සැයි ඒ මහණහු භාග්‍යවත්නට පිළිවදන් ඇස් වූහ. භාග්‍යවත්හු තෙල වදාළ හ.
මහණෙනි, අසාධු ධර්‍මය කවර: මිච්ඡාදිට්ඨි ය, මිච්ඡාසඞ්කප්ප ය, මිච්ඡාවාචා ය, මිච්ඡාකම්මන්ත ය, මිච්ඡාආජීව ය, මිච්ඡාවායාම ය, මිච්ඡාසති ය, මිච්ඡාසමාධි ය, මිච්ඡාඤාණ ය, මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අසාධු ධර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, සාධුධර්‍මය කවර: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්පය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි ය, සම්මාඤාණ ය, සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සාධුධර්‍ම යි කියනු ලැබේ.
10. 3. 4. 2.
අරියධම්ම සූත්‍රය
මහණෙනි, තොපට ආර්‍ය්‍ය ධර්‍මය හා අනාර්‍ය්‍ය ධර්‍මය හා දෙසන්නෙමි. එ අසවු මොනොවට මෙනෙහි කරවු ... මහණෙනි, අනාර්‍ය්‍යධර්‍මය කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අනාර්‍ය්‍යධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, ආර්‍ය්‍යධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ආර්‍ය්‍යධර්‍ම යි කියනු ලැබේ.
10. 3. 4. 3.
කුශල සූත්‍රය
මහණෙනි, තොපට කුශල හා අකුශල හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අකුශල කවර යත්: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අකුශල යි කියනු ලැබේ. මහණෙනි, කුශල කවර යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ කුශල යි කියනු ලැබේ.
10. 3. 4. 4.
අත්‍ථ සූත්‍රය
මහණෙනි, තොපට අර්‍ත්‍ථය හා අනර්‍ත්‍ථය දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අනර්‍ත්‍ථය කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අනර්‍ත්‍ථයි කියනු ලැබේ. මහණෙනි, අර්‍ත්‍ථය කවර: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්තිය යි. මහණෙනි, මේ අර්‍ත්‍ථය යි කියනු ලැබේ.
10. 3. 4. 5.
ධම්ම සූත්‍රය
මහණෙනි, තොපට ධර්‍මය හා අධර්‍මය හා දෙසමි. එ අසවු ... මහණෙනි, අධර්‍මය කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, ධර්‍මය කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ධර්‍ම යි කියනු ලැබේ.
10. 3. 4. 6.
සාසව සූත්‍රය
මහණෙනි, තොපට සාස්‍රව ධර්‍මය හා අනාස්‍රවධර්‍ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, සාස්‍රවධර්‍ම කවර යත්: මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ සාස්‍රවධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, අනාස්‍රවධර්‍ම කවර යත්: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අනාස්‍රව ධර්‍ම යි කියනු ලැබේ.
10. 3. 4. 7.
සාවජ්ජ සූත්‍රය
මහණෙනි, සාවද්‍යධර්‍මය හා අනවද්‍යධර්‍ම හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, සාවද්‍යධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ සාවද්‍යධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, අනවද්‍යධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අනවද්‍යධර්‍ම ය යි කියනු ලැබේ.
10. 3. 4. 8.
තපනීය සූත්‍රය
මහණෙනි, තොපට තපනීයධර්‍ම හා අතපනීයධර්‍ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, තපනීයධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ තපනීයධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, අතපනීයධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අතපනීයධර්‍ම යි කියනු ලැබේ.
10. 3. 4. 9.
ආචයගාමී සූත්‍රය
මහණෙනි, තොපට ආචයගාමීධර්‍ම හා අපචයගාමීධර්‍ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, ආචයගාමීධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ ආචයගාමීධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, අපචයගාමී ධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අපචයගාමී ධර්‍ම යි කියනු ලැබේ.
10. 3. 4. 10.
දුක්ඛුද්‍රය සූත්‍රය
මහණෙනි, තොපට දුක් උදාකරන ධර්‍ම හා සුව උදාකරන ධර්‍ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, දුක් උදාකරන ධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ දුක් උදාකරන ධර්‍මයි කියනු ලැබේ. මහණෙනි, සුව උදාකරන ධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සුව උදාකරන ධර්‍ම යි කියනු ලැබේ.
10. 3. 4. 11.
දුක්ඛවිපාක සූත්‍රය
මහණෙනි, දුක්ඛවිපාකධර්‍මය හා සුඛවිපාක ධර්‍මය දෙසමි. එ අසවු ... මහණෙනි, දුක්ඛවිපාකධර්‍මය කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ දුක්ඛවිපාකධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, සුඛ විපාකධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සුඛ විපාක ධර්‍ම යි කියනු ලැබේ.
සතරවැනි සාධුවර්‍ග යි.
5. අරිය වර්‍ගය
10. 3. 5. 1.
අරියමග්ග සූත්‍රය
මහණෙනි, තොපට ආර්‍ය්‍යමාර්‍ගය හා අනාර්‍ය්‍යමාර්‍ගය දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අනාර්‍ය්‍යමාර්‍ග කවර: මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අනාර්‍ය්‍යමාර්‍ග යි කියනු ලැබේ. මහණෙනි, ආර්‍ය්‍යමාර්‍ගය කවර: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ආර්‍ය්‍යමාර්‍ග යි කියනු ලැබේ.
10. 3. 5. 2.
සුක්කමග්ග සූත්‍රය
මහණෙනි, තොපට ශුක්ලමාර්‍ගය හා කෘෂ්ණමාර්‍ගය දෙසන්නෙම්. එ අසවු ... මහණෙනි, කෘෂ්ණමාර්‍ගය කවර: මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ කෘෂ්ණමාර්‍ග යි කියනු ලැබේ. මහණෙනි, ශුක්ලමාර්‍ගය කවර: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ශුක්ලමාර්‍ග යි කියනු ලැබේ.
10. 3. 5. 3.
සද්ධම්ම සූත්‍රය
මහණෙනි, තොපට සද්ධර්‍මය හා අසද්ධර්‍මය දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අසද්ධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අසද්ධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, සද්ධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සද්ධර්‍ම යි කියනු ලැබේ.
10. 3. 5. 4.
සප්පුරිසධම්ම සූත්‍රය
මහණෙනි, තොපට සත්පුරුෂධර්‍මය හා අසත්පුරුෂධර්‍මය හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, අසත්පුරුෂධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ අසත්පුරුෂධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, සත්පුරුෂධර්‍මය කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සත්පුරුෂධර්‍ම යි කියනු ලැබේ.
10. 3. 5. 5.
උප්පාදෙතබ්බ සූත්‍රය
මහණෙනි, තොපට ඉපදවියයුතු දහම් හා නො ඉපදවිය යුතු දහම් හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, නො ඉපදවිය යුතු දහම් කවර: මිච්ඡාදිට්ඨිය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ නො ඉපදවිය යුතු දහමැයි කියනු ලැබේ. මහණෙනි, ඉපදවිය යුතු දහම් කවර: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ ඉපදවිය යුතු දහමැ යි කියනු ලැබේ.
10. 3. 5. 6.
ආසේවිතබ්බ සූත්‍රය
මහණෙනි, තොපට සෙවිය යුතු දහම් හා නො සෙවිය යුතු දහම් හා දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, නො සෙවිය යුතු දහම් කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ නො සෙවිය යුතු දහමැ යි කියනු ලැබේ. මහණෙනි, සෙවිය යුතු දහම් කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සෙවිය යුතු දහමැ යි කියනු ලැබේ.
10. 3. 5. 7.
භාවෙතබ්බ සූත්‍රය
මහණෙනි, තොපට භාවයිතව්‍යධර්‍ම හා න භාවයිතව්‍යධර්‍ම දෙසමි. එ අසවු ... මහණෙනි, න භාවිතව්‍යධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ න භාවිතව්‍යධර්‍මයි කියනු ලැබේ. මහණෙනි, භාවයිතව්‍යධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ භාවිතව්‍යධර්‍ම යි කියනු ලැබේ.
10. 3. 5. 8.
බහුලීකත්තබ්බ සූත්‍රය
මහණෙනි, තොපට බහුලීකර්‍තව්‍යධර්‍ම හා අබහුලීකර්‍තව්‍යධර්‍ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, අබහුලීකර්‍තව්‍ය ධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මෙ අබහුලීකර්‍තව්‍යධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, බහුලීකර්‍තව්‍යධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ බහුලීකර්‍තව්‍යධර්‍ම යි කියනු ලැබේ.
10. 3. 5. 9.
අනුස්සරිතබ්බ සූත්‍රය
මහණෙනි, තොපට අනුස්මර්‍තව්‍යධර්‍ම හා නානුස්මර්‍තව්‍යධර්‍ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, නානුස්මර්‍තව්‍යධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ නානුස්මර්‍තව්‍යධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, අනුස්මර්‍තව්‍යධර්‍ම කවර: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ අනුස්මර්‍තව්‍යධර්‍ම යි කියනු ලැබේ.
10. 3. 5. 10.
සච්ඡිකාතබ්බ සූත්‍රය
මහණෙනි, තොපට සාක්‍ෂාත්ර්‍තව්‍යධර්‍ම හා න සාක්‍ෂාකර්‍තව්‍යධර්‍ම හා දෙසමි. එ අසවු ... මහණෙනි, න සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම කවර: මිච්ඡාදිට්ඨි ය ... මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ න සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම යි කියනු ලැබේ. මහණෙනි, සාක්‍ෂාත් කර්‍තව්‍යධර්‍ම කවර: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ සාක්‍ෂාත් කර්‍තව්‍යධර්‍ම යි කියනු ලැබේ.
පස්වැනි ආර්‍ය්‍යවර්‍ග යි.
තෙවන පණ්ණාසක යි.
4. සතරවන පණ්ණාසකය
1. පුග්ගල වර්‍ගය
10. 4. 1. 1.
සේවිතබ්බ සූත්‍රය
මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත පුද්ගල නො සෙවිය යුතු වෙයි. කවර දස කරුණෙකින යත්: මිථ්‍යාදෘෂ්ටික වෙයි, මිථ්‍යා සඞ්කල්ප ඇතියේ වෙයි, මිථ්‍යාවචන ඇතියේ වෙයි, මිථ්‍යා කර්‍මාන්ත ඇතියේ වෙයි, මිථ්‍යාආජීව ඇතියේ වෙයි, මිථ්‍යාව්‍යායාම ඇතියේ වෙයි, මිථ්‍යාස්මෘති ඇතියේ වෙයි, මිථ්‍යාසමාධි ඇතියේ වෙයි, මිථ්‍යාඥාන ඇතියේ වෙයි, මිථ්‍යාවිමුක්ති ඇතියේ වෙයි. මහණෙනි, මෙ දසකරුණින් සමන්‍වාගත පුද්ගල නො සෙවිය යුතු වේ යයි.
මහණෙනි, දස කරුණෙකින් සමන්‍වාගත පුද්ගල සෙවියයුත්තේ වෙයි, කවර දස කරුණෙකින යත්: සම්‍යග්දෘෂ්ටි ඇතියේ වෙයි, සම්‍යග්සඞ්කල්ප ඇතියේ වෙයි, සම්‍යග්වචන ඇතියේ වෙයි, සම්‍යග්කර්‍මාන්ත ඇතියේ වෙයි, සම්‍යග්ආජීව ඇතියේ වෙයි, සම්‍යග්ව්‍යායාම ඇතියේ වෙයි, සම්‍යග්ස්මෘති ඇතියේ වෙයි, සම්‍යග්සමාධි ඇතියේ වෙයි, සම්‍යග්ඥාන ඇතියේ වෙයි, සම්‍යග්විමුක්ති ඇතියේ වෙයි. මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත පුද්ගල සෙවිය යුතු වේ යයි.
10. 4. 1. 2-12.
භජිතබ්බාදි එකොළොස් සූත්‍රයෝ
2. මහණෙනි, දසකරුණෙකින් සමන්‍වාගත පුද්ගල භජිතව්‍ය නො වෙයි ... භජිතව්‍ය වෙයි.
3. පර්‍ය්‍යුපාසිතව්‍ය නොවෙයි ... පර්‍ය්‍යුපාසිතව්‍ය වේ.
4. පූජ්‍ය නො වෙයි ... පූජ්‍ය වේ.
5. ප්‍රශංසාර්‍හ නො වෙයි ... ප්‍රශංසාර්‍හ වේ.
6. ගෞරව නැතියේ වෙයි ... ගෞරව සහිත වේ.
7. ප්‍රතිශය නැතියේ වෙයි ... ප්‍රතිශය සහිත වේ.
8. අනාරාධකවෙයි … ආරාධක වේ.
9. විශුද්ධ නො වෙයි … විශුද්ධ වේ.
10. මානස මඩනේ ය ... මානස නො මඩනේයි.
11. ප්‍රඥා නො වඩනේ ය ... ප්‍රඥා වඩනේ යි.
12. බොහෝ පව් රැස් කෙරෙයි ... බොහෝ පින් රැස් කෙරේ ... කවර දසයෙකින යත්: සම්‍යග්දෘෂ්ටික වෙයි, සම්‍යග්සංකල්ප ඇතියේ වෙයි, සම්‍යග්වචන ඇතියේ වෙයි, සම්‍යග්කර්‍මාන්ත ඇතියේ වෙයි, සම්‍යග්ආජීව ඇතියේ වෙයි, සම්‍යග්ව්‍යායාම ඇතියේ වෙයි, සම්‍යග්ස්මෘති ඇතියේ වෙයි, සම්‍යග්සමාධි ඇතියේ වෙයි, සම්‍යග්ඥාන ඇතියේ වෙයි, සම්‍යග්විමුක්ති ඇතියේ වෙයි. මහණෙනි, මෙ දස කරුණින් සමන්‍වාගත පුද්ගල බොහෝ පින් රැස් කෙරේ යයි.
පළමුවැනි පුද්ගල වර්‍ග යි.
2. ජාණුස්සෝණි වර්‍ගය
10. 4. 2. 1.
බ්‍රාහ්මණ පච්චෝරෝහණී සූත්‍රය
එසමයෙහි ජාණුස්සෝණි බ්‍රාහ්මණ එ පොහෝ දවස්හි ශීර්‍ෂස්නාන කෙළේ නවකොමුපිළී යුවළක් හැඳ අමු හීතණ මිටක් රැගෙන භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි එකත්පස් ව සිටියේ වෙයි.
භාග්‍යවතුන් වහන්සේ එ පොහෝ දවස්හි ශීර්‍ෂ ස්නාන කළ නවකොමු පිළී සඟලක් හැඳි අමු හීතණ මිටක් ගෙන එකත්පසෙක සිටි ජාණුස්සෝණි බමුණු දුටු සේක. දැක ජාණුස්සෝණි බමුණුහට තෙල කරුණ වදාළ සේක:
බ්‍රාහ්මණය, තෝ එපොහෝ දවස්හි ශීර්‍ෂස්නාන කෙළේ, නවකොමු පිළී සඟලක් හැඳ අමු හීතණ මිටක් ගෙන කවර හෙයින් එකත්පස්හි සිටියෙහි දැ’යි? බ්‍රාහ්මණය, අද බ්‍රාහ්මණ කුලයට කුමක් වේ දැයි?
භවත් ගෞතමයන්වහන්ස, අද බ්‍රාහ්මණ කුලයට පාපයන්ගේ ප්‍රත්‍යවරෝහණීය (ශෝධනය) වේ යයි.
බ්‍රාහ්මණය, බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණීය කවර පරිද්දෙකින් වේ දැයි?
භවත් ගෞතමයන්වහන්ස, මෙ ලොව්හි බමුණෝ ඒ පොහෝ දවස්හි හිස් සෝදා නහා නවකොමුපිළී සඟල හැඳියාහු අමු ගොමින් බිම පිරිබඩ කොට නිල් කුසතණින් අතුරා වැලි ඉවුරු හා ගිනිහල් ගෙය හා අතර ශය්‍යා කෙරෙත්. ඔහු ඒ රෑ තෙවරක් නැඟි සිට බැඳිලි ව ගිනිදෙවි වඳනාහ. “භවත්හට ප්‍රත්‍යවරෝහණීය (පාපශෝධනය) කරම්හ, භවත්හට ප්‍රත්‍යවරෝහණය කරම්හ” යි. බොහෝ ගිතෙලිනුදු වෙඬරුයෙනුදු ගිනිදෙවියා සතප්වති. එ රෑ ඇවෑමෙන් ඒ පිණී කෑ යුතු දැයින් හා බිඳිය යුතු දැයින් බුමුණනුදු සතප්වති. භවත් ගෞතමයන්වහන්ස, මෙසෙයින් බමුණන්ගේ ප්‍රත්‍යවරෝහණය වේ යයි.
බ්‍රාහ්මණය, බමුණන්ගේ ප්‍රත්‍යවරෝහණය අන්පරිදි වෙයි. ආර්‍ය්‍යයන්ගේ විනයෙහි ප්‍රත්‍යවරෝහණය අන් පරිදි වේ යයි.
භවත් ගෞතමයන්වහන්ස, ආර්‍ය්‍යයන්ගේ විනයෙහි ප්‍රත්‍යවරෝහණය කිසෙයින් වේ දැයි? භවත් ගෞතමයන් වහන්සේ ආර්‍ය්‍යයන්ගේ විනයෙහි යම් පරිදි ප්‍රත්‍යවරෝහණය වේ නම් එ පරිදි මට දහම් දෙසන සේක් නම් මැනැවැ යි.