Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 14801-14900 න් 15980

මහණෙනි, මිථ්‍යාසඞ්කල්පය අධර්‍ම යි, සම්‍යක්සඞ්කල්පය ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යාවාග් අධර්‍ම යි, සම්‍යක්වාග් ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යා කර්‍මාන්තය අධර්‍ම යි. සම්‍යක් කර්‍මාන්තය ධර්‍ම යි ...
මහණෙනි, මිථ්‍යාආජීවය අධර්‍ම යි. සම්‍යක්ආජීවය ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යාව්‍යායාමය අධර්‍ම යි. සම්‍යක්ව්‍යායාමය ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යා ස්මෘතිය අධර්‍ම යි, සම්‍යක්ස්මෘතිය ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යාසමාධිය අධර්‍ම යි. සම්‍යක්සමාධිය ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යාඤාණය අධර්‍ම යි, මහණෙනි, සම්‍යක්ඥානය ධර්‍ම යි ... මහණෙනි, මිථ්‍යාවිමුක්තිය අධර්‍ම යි. සම්‍යක්විමුක්තිය ධර්‍ම යි. මිථ්‍යාවිමුක්ති ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශල ධර්‍මයෝ උපදනාහු නම් මේ අනර්‍ත්‍ථ යි. සම්‍යක් විමුක්ති ප්‍රත්‍යයෙනුදු මේ කුශල ධර්‍මයෝ භාවනායෙන් පරිපූර්‍තතියට යෙත් නම් මේ අර්‍ත්‍ථ යි.
මහණෙනි, අධර්‍මය ද ධර්‍මය ද දතයුතු, අනර්‍ත්‍ථය ද අර්‍ත්‍ථය ද දතයුතු, අධර්‍මයත් ධර්‍මයත් දැන අනර්‍ත්‍ථයත් අර්‍ත්‍ථයත් දැන දහම් යම් පරිදි වේ නම් අනර්‍ත්‍ථ යම් පරිදි වේ නම් එසේ පිළිපැදිය යුතු යයි මෙසේ යමක් කියන ලද නම් මෙය තෙල කරුණ පිණිස කියන ලදැ යි.
10. 3. 2. 5.
සඞ්ගාරව සූත්‍රය
එකල්හි සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කීය:
භවත් ගෞතමයෙනි, මෙතෙර කවර, එතෙර කවර?
බ්‍රාහ්මණය, මිථ්‍යාදෘෂ්ටිය මෙ තෙර යි. සම්‍යක්දෘෂ්ටිය එතෙර යි. මිථ්‍යාසඞ්කල්පය මෙතෙර යි, සම්‍යක්සඞ්කල්පය එතෙර යි. මිථ්‍යාවචනය මෙතෙර යි, සම්‍යක්වචනය එතෙර යි. මිථ්‍යාකර්‍මාන්තය මෙතෙර යි, සම්‍යක්කර්‍මාන්තය එතෙර යි. මිථ්‍යාආජීවය මෙතෙර යි, සම්‍යක්ආජීවය එතෙර යි. මිථ්‍යාව්‍යායාමය මෙතෙර යි, සම්‍යක්ව්‍යායාමය එතෙර යි. මිථ්‍යාසතිය මෙතෙර යි, සම්‍යක්සතිය එතෙර යි. මිථ්‍යාසමාධිය මෙතෙර යි, සම්‍යක්සමාධිය එතෙර යි. මිථ්‍යාඥානය මෙතෙර යි, සම්‍යක්ඥානය එතෙර යි. මිථ්‍යාවිමුක්තිය මෙතෙර යි, සම්‍යක්විමුක්තිය එතෙර යි. බමුණ, මෙ වනාහි මෙතෙරය, මෙ එතෙරය යි.
1. මිනිසුන් අතුරෙන් යම් ජන කෙනෙක් නිවන් යනුවෝ ද එ ජනයෝ මඳහ. වැලි මෙ (නිවන් යන සත්ත්‍වයන් කෙරෙන්) අන් ප්‍රජාව සත්කාය තීරයට ම දිවෙයි.
2. යම් කෙනෙකුන් මොනොවට දෙසූ (දේශනා) නව ලෝකෝත්තර ධර්‍මයෙහි ධර්‍මානුරූප ව වටනාහු ද, එ ජනයෝ සුදුසතර තෙබුමු වට නැමැති මෘත්‍යුධෙයය තරණය කොට පරතෙර (නිවන) ට යෙත්‍.
3. පණ්ඩිත තෙමේ කෘෂ්ණ ධර්‍ම හැරදමා වර්‍ත සඞ්ඛ්‍යාත ගෙන් යම් කාය චිත්ත උපධි විවේකයෙක්හි අභිරමණය කිරීමට දුෂ්කර වූ විවර්‍ත සඞ්ඛ්‍යාත අනෝකයට පැමිණ ශුක්ලධර්‍මය වඩනේ ය.
4. පලිබෝධ රහිත වූයේ පණ්ඩිත තෙම ද්විවිධ කාමයන් දුරු කොට එ නිවන්හි අභිරතිය කැමැති වන්නේ ය. චිත්තක්ලේශයන්ගෙන් සිත පර්‍ය්‍යවදාත කරන්නේ ය.
5. යමකුන් විසින් සම්බෝධ්‍යඞ්ගයන්හි මොනොවට සිත වඩන ලද ද ග්‍රහණප්‍රතිනිඃසර්‍ග සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි චතුරෝපාදාන විසින් නො ගෙන යම් කෙනෙක් ඇලුණාහු ද ද්‍යුතිමත් එ ක්‍ෂීණාස්‍රවයෝ පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත උපාදාන ලෝකයෙහි (කෙලෙස් පිරිනිවුමෙන්) නිවියහයි.
10. 3. 2. 6.
ඔරිමතීර සූත්‍රය
මහණෙනි, තොපට ඔරිමතීරය හා පාරිමතීරය හා දෙසන්නෙමි. එ අසව, මොනොවට මෙනෙහි කරව දෙසන්නෙමි යි. ‘වහන්ස, එසේ’ යි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
මහණෙනි, ඔරිමතීරය හා කවර, පාරිමතීරය හා කවර:
මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය ඔරිමතීරය යි. සම්‍යග්දෘෂ්ටිය පාරිමතීරය යි ... මිථ්‍යාවිමුක්තිය ඔරිමතීරය යි. සම්‍යග්විමුක්තිය පාරිමතීරය යි. මහණෙනි, මෙ ඔරිමතීරය යි. මෙ පාරිමතීරය යි.
1. මිනිසුන් අතුරෙන් යම් ජන කෙනෙක් නිවන් යනුවෝ ද, එ ජනයෝ මදහ. වැලි මෙ සෙසු ලොවී සත්ත්‍වාඛ්‍ය ප්‍රජාව සත්කාය තීරයටම දිවෙයි.
2. යම් කෙනෙකුන් මොනොවට දෙසූ නව ලොවුතුරු දහම්හි ධර්‍මානුරූප ව වටනාහු ද, එ ජනයෝ සුදුසතර වූ තෙබුමු වට නැමැති මෘත්‍යුධෙයය තරණය කොට පරතෙර (නිවන) ට යෙත්.
3. පණ්ඩිත තෙම කෘෂ්ණධර්‍ම හැරපියා වර්‍ත සඞ්ඛ්‍යාත ගිහිගෙන් ත්‍රිවිධ විවේකයෙහි අභිරමණයට දුෂ්කරවූ විවර්‍ත සඞ්ඛ්‍යාත අනෝකයට පැමිණ ශුක්ල ධර්‍ම වඩනේ ය.
4. පරිරෝධ නැතියේ කාමයන් හැරපියා එ නිවන්හි අභිරතිය පතන්නේ ය. පණ්ඩිත තෙමේ චිත්තක්ලේශයන්ගෙන් සිත පර්‍ය්‍යවදාත කරන්නේ ය.
5. යමකුන් විසින් සම්බෝධ්‍යඞ්ගයන්හි චිත්තය මොනොවට වඩන ලද ද, ආදාන ප්‍රතිනිඃසර්‍ගයෙහි උපාදාන විසින් නො ගෙන යමෙක් ඇලුණාහු ද ද්‍යුතිමත් එ ක්‍ෂීණාස්‍රව පණ්ඩිතයෝ ලොව්හි පිරිනිවියහ යි.
10. 3. 2. 7.
පඨම පච්චෝරෝහණී සූත්‍රය
එ සමයෙහි ජානුස්සෝණී බ්‍රාහ්මණ එ පොහෝ දවස්හි හිස නහවාලූයේ නව ක්‍ෂෞමවස්ත්‍ර යුග්මයක් හැඳියේ අමු කුසතණ මිටක් ගෙන භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි එකත්පස්හි සිටියේ වෙයි.
භාග්‍යවතුන් වහන්සේ එපොහෝ දවස්හි හිස නහවාලූ නව ක්‍ෂෞමවස්ත්‍ර යුග්මයක් හැඳි අමු හීතණ මිටක් ගෙන නුදුරෙහි එකත්පස්හි හුන් ජාණුස්සෝණී බ්‍රාහ්මණයා දුටුහු, දැක ජාණුස්සෝණී බ්‍රාහ්මණහට තෙල කරුණ වදාළ සේක:
බ්‍රාහ්මණය, එ පොහෝ දවස්හි හිස සෝදා නහා නව කොමුපිළී යුවළක් හැඳියේ අමු හීතණ මිටක් ගෙන තෙපි කවර හෙයින් එකත් පසෙක් සිටියහු ද? අද බ්‍රාහ්මණ කුලයට කවරක් ඇද්දැයි?
භවත් ගෞතමයිනි, අද බ්‍රාහ්මණ කුලයට ප්‍රත්‍යවරෝහණය (පව් සෝදා හැරීම) යි.
බ්‍රාහ්මණය, බමුණන්ගේ ප්‍රත්‍යවරෝහණය කෙසෙයින් වේ ද?
භවත් ගෞතමයෙනි, මෙලොව්හි බමුණෝ එ පොහෝ දවස්හි හිස් සෝදා නෑවාහු නව කොමුපිළී යුවළක් හැදියාහු අමුගොමින් පොළෝ අලෙවුදී නිල් හීතණින් අතුරා වැලිසරට හා ගිනිහල් ගෙට අතර ශය්‍යා කරත්. ඔහු එරෑ තෙවිටක් නැඟී බදැඳිලි ව ගිනි නමදිත්. “භවතුන්ට ප්‍රත්‍යවරෝහණය (පාපශෝධන) කරම්හ”යි. බොහෝ ගිතෙලිනුදු වෙඬරුයෙනුදු අග්නි සන්තර්‍පණ කරත්. එරෑ ඉක්ම යාමෙනුදු කෑ යුතු බුදිය යුතු පිණි අහරින් බමුණන් සන්තර්පිත කරත්. භවත් ගෞතමයෙනි, මෙසෙයින් බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණය වේ යයි.
බ්‍රාහ්මණය, බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණය අන්පරිද්දෙකින් වෙයි. ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණය අන් පරිද්දෙකින් වේ යයි.
භවත් ගෞතමයෙනි, ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණය කෙසේ වේ දැයි? ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණය යම් පරිද්දෙකින් වේ නම් භවත් ගෞතමයන් වහන්සේ මට එලෙසින් දහම් දෙසන සේක්වා යි.
බ්‍රාහ්මණය, එ කරුණෙන් අසව, මොනොවට මෙනෙහි කරව දෙසන්නෙමි.
භවත්නි, එසේය යි ජාණුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වීය.
බමුණ, මෙසස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලක යි. මිථ්‍යාදෘෂ්ටිහුගේ ලාමක විපාක දිටුදැමියෙහි ම හා සම්පරායෙහි වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිසදිටු හැරපියයි. මිථ්‍යාදෘෂ්ටියෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.
මිථ්‍යාසඞ්කල්පයාගේ ලාමක විපාක වනාහි දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාසඞ්කල්ප හැර පියයි, මිථ්‍යාසඞ්කල්පයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.
මිථ්‍යාවාක්හුගේ ලාමක විපාක වනාහි දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාවචනය හැර පියයි, මිථ්‍යාවචනයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.
මිථ්‍යාකර්‍මාන්තයාගේ වනාහි ලාමක විපාක දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාකර්‍මාන්තය හැර පියයි, මිථ්‍යාකර්‍මාන්තයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.
මිථ්‍යාආජීවයාගේ වනාහි ලාමකවිපාක දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාආජීවය හැර පියයි, මිථ්‍යාආජීවයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.
මිථ්‍යාව්‍යායාමයාගේ වනාහි ලාමක විපාක දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාව්‍යායාමය හැර පියයි, මිථ්‍යාව්‍යායාමයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.
මිථ්‍යාස්මෘතිහුගේ වනාහි ලාමක විපාක දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාස්මෘතිය හැර පියයි, මිථ්‍යාස්මෘතියෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.
මිථ්‍යාසමාධිහුගේ වනාහි ලාමක විපාක දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාසමාධි හැර පියයි, මිථ්‍යාසමාධියෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.
මිථ්‍යාඥානයාගේ වනාහි ලාමක විපාක දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාඥානය හැර පියයි, මිථ්‍යාඥානයෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.
මිථ්‍යාවිමුක්තිහුගේ වනාහි ලාමක විපාක දිටුදැහැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාවිමුක්ති හැරපියා මිථ්‍යාවිමුක්තියෙන් ප්‍රත්‍යවරෝහණ කෙරෙයි.
බ්‍රාහ්මණය, මෙසේ වනාහි ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණ වේ යයි.
භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණ අන් පරිද්දෙකින් වෙයි. ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණය ද අන් පරිද්දෙකින් වේ යයි. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයන්ගේ ප්‍රත්‍යවරෝහණය මේ ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණයාගේ සොළොස්වන කලා ද නො අගනේ යයි.
භවත් ගෞතමයෙනි, ඉතා කාන්ත ය ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවිහිමියෙන් සරණ ගිය උවසුවකු කොට දරන සේක්වා යි.
10. 3. 2. 8.
දුතිය පච්චෝරෝහණ සූත්‍රය
මහණෙනි, තොපට ආර්‍ය්‍යප්‍රත්‍යවරෝහණය දෙසන්නෙමි. එය අසවු ... මහණෙනි, ආර්‍ය්‍යප්‍රත්‍යවරෝහණය කවර යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලක යි: මිථ්‍යාදෘෂ්ටියගේ වනාහි ලාමක විපාක දිටුදැමියෙහි ම හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිසදිටු දුරු කෙරෙයි. මිථ්‍යාදෘෂ්ටියෙන් ප්‍රත්‍යවරෝහණය කෙරෙයි. මිථ්‍යාසඞ්කල්පයාගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාවාක්හුගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාකර්‍මාන්තයාගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාආජීවයාගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාව්‍යායාමයාගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාස්මෘතියගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාසමාධිහුගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාඤාණයාගේ වනාහි ලාමක විපාක ... මිථ්‍යාවිමුක්තිගේ වනාහි ලාමක විපාක දිටුදැමියෙහි හා සම්පරායෙහි හා වෙයි. හේ මෙසේ නුවණින් සලකා මිථ්‍යාවිමුක්තිය හැරපියයි. මිථ්‍යාවිමුක්තියෙන් ප්‍රත්‍යවරෝහණය යි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි ප්‍රත්‍යවරෝහණය යි.
10. 3. 2. 9.
පුබ්බඞ්ගම සූත්‍රය
මහණෙනි, උදාවන හිරුහට තෙල පූර්‍වඞ්ගම වෙයි, තෙල පූර්‍වනිමිත්ත වෙයි, එනම් අරුණු නැඟීම යි. මහණෙනි, එ පරිදිම කුශල ධර්‍මයනට තෙල පූර්‍වඞ්ගම වෙයි, තෙල පූර්‍ව නිමිත්ත වෙයි, එනම් සම්දිට්හයි. මහණෙනි, සම්‍යක්දෘෂ්ටි ඇත්තහුට සම්‍යක්සඞ්කල්පය පොහෝනේ වෙයි. සම්‍යක්සඞ්කල්ප ඇත්තහුට සම්‍යක්වාක් පොහෝනේ වෙයි. සම්‍යක්වාක් ඇත්තහුට සම්‍යක්කර්‍මාන්ත පොහෝනේ වෙයි. සම්‍යක්කර්‍මාන්ත ඇත්තහුට සම්‍යක් ආජීවය පොහෝනේ වෙයි. සම්‍යක්ආජීවීහට ඇත්තහුට සම්‍යක්ව්‍යායාමය පොහෝනේ වෙයි. සම්‍යක්ව්‍යායාමය ඇත්තහුට සම්‍යක්ස්මෘතිය පොහෝනේ වෙයි. සම්‍යක්ස්මෘතිය ඇත්තහුට සම්‍යක්සමාධිය පොහෝනේ වෙයි. සම්‍යක්සමාධිය ඇත්තහුට සම්‍යක්ඥානය පොහෝනේ වෙයි. සම්‍යක්ඥානීහට සම්‍යක්විමුක්තිය පොහෝනේ වෙයි.
10. 3. 2. 10.
ආසවක්ඛය සූත්‍රය
මහණෙනි, මේ දශධර්‍ම කෙනෙක් භාවිත බහුලීකෘත වූහු ආස්‍රවක්‍ෂය සඳහා වැටෙත්. කවර දශ කෙනෙක යත්:
සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසතිය ය, සම්මාසමාධි ය, සම්මාඤාණය, සම්මාවිමුත්ති යි.
මහණෙනි, මේ දසදහම් භාවිතා බහුලීකෘත වූහු ආස්‍රවක්‍ෂය පිණිස වැටෙතැයි.
දෙවන පච්චෝරෝහණ වර්‍ග යි.
එහි උද්දානය:
අධර්‍ම සූත්‍ර තුනෙක, අජිත සූත්‍රය, සඞ්ගාරව සූත්‍රය, ඔරිම සූත්‍රය, පච්චෝරෝහණ සූත්‍ර දෙකය, පුබ්බඞ්ගම සූත්‍රය ආසව සූත්‍රයදැයි යන දසයයි.
3. පරිශුද්ධ වර්‍ගය
10. 3. 3. 1.
ප්‍රථම සූත්‍රය
මහණෙනි, සුගත් විනය හැර අන් තන්හි මෙ දස දහම්හි පරිශුද්ධ පර්‍ය්‍යවදාත නො වෙත්. කවර දස කෙනෙක යත්:
සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි ය, සම්මාඤාණය, සම්මා විමුත්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තන්හි මෙ දස දහම්හු පරිශුද්ධ පර්‍ය්‍යවදාත නො වෙතැයි.
10. 3. 3. 2.
ද්වේතීය සූත්‍රය
මහණෙනි, නූපන් මෙ දස දහම්හු සුගත් විනය හැර අන් තැනක නො උපදනාහ. කවර දස දහමෙක යත්: සම්මාදිට්ඨි ... සම්මාවිමුක්තිය. මහණෙනි, නූපන් මෙ දසදහම්හු සුගත් විනය හැර අන් තන්හි නූපදනාහ යි.
10. 3. 3. 3.
තෘතීය සූත්‍රය
මහණෙනි, සුගත් විනය හැර අන් තැනක මෙ දසදහම්හු මහත්ඵල මහානෘසංස නො වෙත්. කවර දස දහමෙක් යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුක්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තැන්හි මෙ දසදහම්හු මහත්ඵල මහා නෘසංස නො වෙත් යී.
10. 3. 3. 4.
චතුර්‍ත්‍ථ සූත්‍රය
මහණෙනි, සුගත් විනය හැර අන් තැනක මෙ දසදහම්හු රාගවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. ද්වේෂ විනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. මෝහවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. කවර දස දහමෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුක්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තන්හි මෙ දසදහම්හු රාගවිනය පර්‍ය්‍යවසාන කොට, ඇති නො වෙත්. ද්වේෂ විනය පර්‍ය්‍යවසාන කොට, ඇති නො වෙත්. මෝහවිනය පර්‍ය්‍යවසාන කොට, ඇති නො වෙත් යී.
10. 3. 3. 5.
පඤ්චම සූත්‍රය
මහණෙනි, සුගත් විනය හැර අන් තන්හි මෙ දසදහම්හු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපසමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස නො වැටෙත්. කවර දස දහමෙකයත්: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක මෙ දසදහම්හු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස නො වැටෙති යී.
10. 3. 3. 6.
ෂෂ්ඨ සූත්‍රය
මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක නූපන් මෙ දසදහම්හු භාවිත බහුලීකෘත ව නො උපදනාහ. කවර දස දහමෙක යත්: සම්මාදිට්ඨිය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තන්හි නූපන් මෙ දසදහම්හු භාවිත ව බහුලීකෘත ව නූපදනාහ යි.
10. 3. 3. 7.
සප්තම සූත්‍රය
මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක මෙ දසදහම්හු භාවිත ව බහුලීකෘත ව මහත්ඵල මහානෘශංස නො වෙත්. කවර දසදහමෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක මෙ දසදහම්හු භාවිත ව බහුලීකෘත ව මහත්ඵල මහානෘශංස නො වෙති යී.
10. 3. 3. 8.
අෂ්ටම සූත්‍රය
මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක භාවිත බහුලීකෘත මෙ දසදහම්හු රාගවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. ද්වේෂවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. මෝහවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. කවර දසදහමෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුත්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තැනක භාවිත බහුලීකෘත මෙ දසදහම්හු රාගවිනය පර්‍ය්‍යාවසාන කොට ඇති නො වෙත්. ද්වේෂවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නො වෙත්. මෝහවිනය පර්‍ය්‍යවසාන කොට ඇති නොවෙත්.
10. 3. 3. 9.
නවම සූත්‍රය
මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක භාවිත බහුලීකෘත මෙ දසදහම්හු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස නො වැටෙත්. කවර දසදහමෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාවිමුක්ති යි. මහණෙනි, සුගත් විනය හැර අන් තැනෙක භාවිත බහුලීකෘත මෙ දසදහම්හු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස නො වැටෙති යි.
10. 3. 3. 10.
දසම සූත්‍රය
මහණෙනි, මේ මිථ්‍යාත්‍ව දසයෙක. කවර දසයෙක යත්: මිච්ඡාදිට්ඨි ය, මිච්ඡාසඞ්කප්ප ය, මිච්ඡාවාචා ය, මිච්ඡාකම්මන්ත ය, මිච්ඡාආජීව ය, මිච්ඡාවායාම ය, මිච්ඡාසති ය, මිච්ඡාසමාධි ය, මිච්ඡාඤාණ ය, මිච්ඡාවිමුත්ති යි. මහණෙනි, මේ දස මිථ්‍යාත්‍ව යි.
10. 3. 3. 11.
ඒකාදශ සූත්‍රය
මහණෙනි, මේ සම්‍යක්ත්‍ව දසයෙක. කවර දසයෙක යත්: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි ය, සම්මාඤාණ ය, සම්මාවිමුත්ති යි. මහණෙනි, මේ දස සම්‍යක්ත්‍ව යි.
තෙවැනි පරිසුද්ධවර්‍ග යි.
4. සාධු වර්‍ගය