තවද ඇවැත්නි, මහණ මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසයි. සසුන් බඹසර පවසයි. ඇවැත්නි, යම් යම් පරිදි මහණ මහණුනට ආදිකල්‍යාණ වූ දහම් දෙසා නම් බඹසර පවසා නම් ඒ ඒ පරිදි හේ එ දහම්හි අරුත් දන්නේත් වෙයි. පෙළ දහම් දන්නේත් වෙයි. ඇවැත්නි, සුදුසු කල්හි දහම් ඇසුම්හි, සුදුසු කල්හි ධර්‍මසාකච්ඡායෙහි මේ දෙවන අනුසසි.
තවද ඇවැත්නි, මහණ මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසයි. බඹසර පවසයි. ඇවැත්නි, යම් යම් පරිදි මහණ මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසා නම් බඹසර පවසා නම් ඒ ඒ පරිදි හේ එ දහම්හි ගැඹුරු අරුත් පද විවසුන් සහහිය මඟනැණින් විනිවිද දක්නෙයි. ඇවැත්නි, සුදුසු කල්හි දහම් ඇසුම්හි, සුදුසු කල්හි ධර්‍මසාකච්ඡායෙහි මේ තෙවන අනුසසි.
තවද ඇවැත්නි, මහණ මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසයි. බඹසර පවසයි. ඇවැත්නි, මහණ යම් යම් පරිදි මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසා නම් බඹසර පවසා නම් ඒ ඒ පරිදි සබ්‍රම්සරහු ඕහට මතුයෙහි සම්භාවනා කෙරෙති. “එකතින් මේ ආයුෂ්මත් (රහත්බවට) පැමිණියේ හෝ පැමිණෙන්නේ හෝ වේ” යයි. ඇවැත්නි, කල්හි දහම් ඇසුම්හි, කල්හි ධර්‍මසාකච්ඡායෙහි මේ සිවුවන අනුසසි.
තවද ඇවැත්නි, මහණ මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසයි. බඹසර පවසයි. ඇවැත්නි, යම් යම් පරිදි මහණ මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසා නම් බඹසර පවසා නම් ඒ ඒ කරුණෙහි යම් ඒ මහණ කෙනෙක් ශෛක්‍ෂ වූවාහු රහත් ඵලයට නො පත් සිත් ඇත්තාහු අනුත්තර රහත්ඵල පතන්නාහු වෙසෙත් නම් ඔහු ඒ දහම් අසා අප්‍රාප්තමාර්‍ගඵලයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතමාර්‍ගඵලයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර අරඹත්. යම් ඒ මහණ කෙනෙක් එහි ලා රහත් වූවාහු ක්‍ෂීණාස්‍රව වූවාහු වැස නිම වූ මඟබඹසර ඇත්තාහු කළ සිවුමඟ කරණී ඇත්තාහු බහා තැබූ කෙලෙස්බර ඇතියාහු පැමිණි රහත්ඵල ඇතියාහු පරික්‍ෂීණ භවසංයෝජන ඇතියාහු මොනොවට දැන මිදුණාහු වෙත් නම්, ඔහු එදහම් අසා ඉහාත්මසුඛවිහරණයෙහි ම යෙදුණාහු වෙසෙත්. ඇවැත්නි, කල්හි දහම් ඇසුම්හි කල්හි ධර්‍මසාකච්ඡායෙහි මේ පස්වන අනුසසි.
9. 1. 5. 5.
බලසඞ්ගහවත්‍ථු සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ බල සතරෙකි. කවර සතරෙක යත්? පඤ්ඤා බල ය, විරිය බල ය, අනවජ්ජ බල ය, සඞ්ගහ බල යි. මහණෙනි, පඤ්ඤාබල නම් කවර යත්: අකුශල වූ අකුශලසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද කුශල වූ කුශලසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, සාවද්‍ය වූ සාවද්‍යසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, අනවද්‍ය වූ අනවද්‍යසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, කෘෂ්ණ වූ කෘෂ්ණසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, ශුක්ල වූ ශුක්ලසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, අසේවිතව්‍ය වූ අසේවිතව්‍යසඞ්ඛ්‍යාත වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, සේවිතව්‍ය වූ සේවිතව්‍යසඞ්ඛ්‍යාත වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ආර්‍ය්‍යභාවකරණයට අසමර්‍ත්‍ථ වූ ආර්‍ය්‍යභාවකරණයට අසමර්‍ත්‍ථ යයි කියන ලද යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ වූ ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ යයි කියන ලද යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ඔහු විසින් ඒ ධර්‍මයෝ මොනොවට දක්නාලදහු වෙත්. මනෝද්වාරයෙහි මොනොවට සමුදාචාරප්‍රාප්ත වෙති. මහණෙනි, මේ පඤ්චබල යි කියනු ලැබේ.
මහණෙනි, විරිය බල නම් කවර යත්: අකුශල වූ අකුශලසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, සාවද්‍ය වූ සාවද්‍යසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, කෘෂ්ණ වූ කෘෂ්ණසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, අසේවිතව්‍ය වූ අසේවිතව්‍යසඞ්ඛ්‍යාත වූ යම් දහම් කෙනෙක් වෙත් ද, ආර්‍ය්‍යභාවකරණයට අසමර්‍ත්‍ථ වූ ආර්‍ය්‍යභාවකරණයට අසමර්‍ත්‍ථ යයි කියන ලද යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ඒ දහමුන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය දනවයි, ව්‍යායාම කෙරෙයි, වැර අරඹයි, සිත නඟා ගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි, කුශල් වූ කුශලසඞ්ඛ්‍යාත වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, අනවද්‍ය වූ අනවද්‍යසඞ්ඛ්‍යාත වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ශුක්ල වූ ශුක්ලසඞ්ඛ්‍යාත වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, සේවිතව්‍ය වූ සේවිතව්‍යසඞ්ඛ්‍යාත වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ වූ ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ යයි කියන ලද යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, එ දහමුන්ගේ ප්‍රතිලාභය පිණිස ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර වඩයි, සිත නඟා ගනියි, ප්‍රධන් කෙරෙයි. මහණෙනි, මේ විරිය බලැයි කියනු ලැබේ.
මහණෙනි, අනවජ්ජබල නම් කවර: මහණෙනි, මෙසස්නෙහි අරිසවු අනවද්‍ය කායකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. අනවද්‍ය වාක්කර්‍මයෙන් සමන්‍වාගත වෙයි. අනවද්‍ය මනඃ කර්‍මයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මේ අනවද්‍ය බලැයි කියනු ලැබේ.
මහණෙනි, සඞ්ගහ බල නම් කවර යත්: මහණෙනි, මේ සඞ්ග්‍රහවස්තු සතරෙකි. දාන ය, ප්‍රිය වචන ය, අර්‍ත්‍ථචර්‍ය්‍යා ය, සමානාත්මතා යි. මහණෙනි, යම් මේ ධර්‍මදානයෙක් වේ ද, දානයන් අතුරෙහි මේ අග්‍ර යි. මහණෙනි, කන් යොමු කොටගත් ධර්‍මදේශනායෙන් ප්‍රයෝජන ඇතියකු හට පුනපුනා දම් දෙසන්නේය යන යමෙක් වේ නම් ප්‍රියවචන අතුරෙහි තෙල අග්‍ර යි. මහණෙනි, අශ්‍රාද්ධයකු ශ්‍රද්ධාසම්පත්හි සමාදන් කරවයි. වස්වයි. පිහිටුවයි. දුසිල්හු ශීලසම්පත්හි සමාදන් කරවයි. වසවයි. පිහිටුවයි. මසුරක්හු ත්‍යාගසම්පත්හි සමාදන් කරවයි. වස්වයි. පිහිටුවයි. දුෂ්ප්‍රාඥයන් ප්‍රඥාසම්පත්හි සමාදන් කරවයි. වස්වයි. පිහිටුවයි යන මෙබඳු යමෙක් වේ නම් අර්‍ත්‍ථචර්‍ය්‍යාවන් අතුරෙහි මේ අග්‍ර යි. සෝතාපන්න වූයේ සෝතාපන්නයකුහට සමානාත්ම වෙයි. සකදාගාමී වූයේ සකදාගාමියක්හට සමානාත්ම වෙයි. අනාගාමී වූයේ අනාගාමියක්හට සමානාත්ම වෙයි. අර්‍හත් වූයේ අර්‍හත්හට සමානාත්ම වෙයි යන මෙබඳු යමෙක් වේ නම් සමානාත්මතාවන් අතුරෙහි මේ අග්‍ර යි. මහණෙනි, මේ සඞ්ග්‍රහ බලැයි කියනු ලැබේ. මහණෙනි, මේ සතර බලයි.
මහණෙනි, මේ සතර බලයෙන් සමන්‍වාගත අරිසවු පස්බිය ඉක්ම වූයේ වෙයි. කවර පස් බියෙක් යත්: ආජීවිකභය, (ජීවිතවෘත්තිය පිළිබඳ බිය) අසිලෝකභය (ගැරහුම් ලැබීමේ බිය) පරිසසාරජ්ජභය (පිරිස්මැද පසුබෑමේ බිය) මරණභය, දුග්ගතිභය (අපාය බිය) යි. මහණෙනි, ඒ අරිසවු තෙමේ මෙසේ සලකයි: මම ආජීවිකභයින් (දිවිවැටුම් බියෙන්) නොබානෙමි. කවර හෙයින් මම ආජීවිකභයින් බානෙම් ද, මට පඤ්ඤාබලය, විරිය බලය, අනවජ්ජ බලය, සඞ්ගහ බලය යන සතර බල ඇත. දුෂ්ප්‍රාඥ වූයේම ආජීවිකභයින් බානේ ය. කුශීත වූයේ ම ආජීවිකභයින් බානේ ය. සාවද්‍ය කායකර්‍මාන්ත ඇතියේ වාක්කර්‍මාන්ත ඇතියේ මනඃකර්‍මාන්ත ඇතියේ ආජීවිකභයින් බානේ ය. අසඞ්ග්‍රාහක වූයේ ආජීවිකභයින් බානේ ය. මම අසිලෝක භයින් නො බමි ... මම පරිසසාරජ්ජභයින් නො බමි ... මම මරණභයින් නො බමි ... මම දුග්ගතිභයින් නො බමි ... කවර හෙයින් මම දුග්ගතිභයින් බානෙම් ද? මට සිවුබලකෙනෙක් ඇත. පඤ්ඤාබලය, විරියබලය, අනවජ්ජබලය, සඞ්ගහබලයි. දුෂ්ප්‍රාඥ වූයේ ම දුග්ගතිභයින් බානේ ය. කුසීත වූයේ දුග්ගතිභයින් බානේ ය. සාවද්‍යකායකර්‍ම ඇතියේ ... වාක්කර්‍ම ඇතියේ ... මනඃකර්‍ම ඇතියේ දුග්ගතිභයින් බානේ ය. අසඞ්ග්‍රාහක වූයේ දුග්ගතිභයින් බානේ ය. මහණෙනි, මේ සිවුබලෙන් සමන්‍වාගත අරිසවු මේ පස්බිය ඉක්ම ගියේ වෙයි.
9. 1. 6. 6.
සේවිතබ්බාසේවිතබ්බ සූත්‍රය
[සැවැත්නිදාන යි]
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත්නි මහණෙනි’ යි මහණුන් ඇමතූහ. ඇවැත්නි යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ තෙල කීහ. ඇවැත්නි, පුඟුලාත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැයි දෙපරිද්දෙන් දත යුත්තේ ය. ඇවැත්නි, චීවරයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැයි දෙපරිද්දෙන් දතයුතු. පිණ්ඩපාතයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැයි දෙපරිද්දෙන් දතයුතු. ඇවැත්නි, සෙනසුනුත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැයි දෙපරිදියෙන් දතයුතු. ඇවැත්නි, ගම් නියම්ගමුත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැයි දෙපරිදියෙන් දතයුතු. ඇවැත්නි, දනවුපියෙසුත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැයි දෙපරිදියෙන් දතයුතු.
“ඇවැත්නි, පුඟුල් ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැයි දෙපරිද්දෙන් දතයුතු වේ ය” යි තෙල යමෙක් කියන ලද නම් තෙල කුමක් සඳහා කියන ලද ද යත්: එහි යම් පුඟුලකු “මේ පුඟුල්හු සෙවුනාහට අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත්. පැවිදි වූ මා විසින් ජීවිත පරිෂ්කාර වූ යම් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර කෙනෙක් රැස්කර ගතයුතු වෙද් ද, ඔහුදු දුක සේ උපදිත්. යමක් ම සඳහා මම් ගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් වෙම් නම් මාගේ ඒ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ද භාවනායෙන් පිරිපුන් බවට නො යේ” යි දන්නේ නම් ඇවැත්නි, ඒ පුඟුල්හු විසින් ඒ පුද්ගල දැනත් රාත්‍රිභාගයෙහි වේව යි දිවසභාගයෙහි වේව යි නො විමසා බැහැර යා යුතු. නො ලුහුබැඳිය යුතු.
එහි යම් පුඟුලකු “මෙ පුඟුල් සෙවුනා වූ මාගේ අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත්, පැවිදි වූ මා විසින් ජීවිතපරිෂ්කාර වූ යම් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර කෙනෙක් රැස් කරගත යුතු වෙත් නම් ඔහුත් නො දුකින් උපදිත්. යමක් ම සඳහා මම ගෙන් නික්ම අනගාරිය සස්නෙහි පැවිදි වූයෙම් වෙම් නම් ඒ මාගේ ශ්‍රාමණපාර්‍ත්‍ථයත් භාවනායෙන් පිරිපුන් බවට නො යේ” යි දන්නේ නම් ඇවැත්නි, ඒ පුඟුල්හු විසින් දැනත් ඒ පුඟුල් නො විමසා බැහැර යා යුතුයි. නො ලුහුබැඳිය යුතු.
එහිලා යම් පුඟුලක්හු “මේ පුඟුල් සෙවුනා මාහට අකුශල ධර්‍මයෝ පිරිහෙත්, කුශලධර්‍මයෝ වැඩෙත්, පැවිදි වූ මා විසින් ජීවිතපරිෂ්කාර වූ යම්බඳු සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර උපදවාගත යුතු වී නම් එද නිදුකින් උපදනේ ය. යම් ම අර්‍හත් ඵල සඞ්ඛ්‍යාත අර්‍ත්‍ථයක් පිණිස ගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නම් මාගේ ඒ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථයත් භාවනායෙන් පිරිපුන් බවට යේ” යයි දන්නේ නම් ඇවැත්නි, ඒ පුඟුල්හු විසින් ඒ පුඟුල් දැනගෙන ද ලුහුබැඳිය යුත්තේය. බැහැර නොයා යුතු.
එහිලා යම් පුඟුලකු “මේ පුඟුල්හු සෙවුනා මාහට අකුශල ධර්‍මයෝ පිරිහෙත්. කුශලධර්‍මයෝ වැඩෙත්, පැවිදි වූ මා විසින් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර බඳු යම් ම ජීවිතපරිෂ්කාර කෙනෙක් උපයාගත යුතු වෙත් නම් ඔහු ද නිදුකින් ඉපැයෙතැයි ද යම් රහත් පලක් පිණිස ගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් වෙම් නම් මාගේ තෙල ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථයත් භාවනායෙන් පිරිපුන් බවට යේ යයි දන්නේ නම් ඇවැත්නි, ඒ පුඟුල්හු විසින් එම පුද්ගල දිවිහිමියෙන් ලුහුබැඳිය යුත්තේ ය. නෙරනා ලදහු විසිනුදු බැහැර නොයා යුතු. “ඇවැත්නි, පුද්ගලයා ද සේවිතව්‍ය ය, අසේවිතව්‍ය යි දෙපරිදියෙන් දත යුත්තේ” යි ඒ යමක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලදී.
“ඇවැත්නි, චීවරත් සේවිතව්‍ය ය අසේවිතව්‍ය යයි දෙපරිදියෙන් දතයුතු” යි මෙසේ තෙල යමෙක් කියන ලද නම් තෙල කුමක් සඳහා කියන ලද ද යත්: එහි ලා යම් චීවරයක් “මේ චීවරය සෙවුනා මට අකුශල ධර්‍මයෝ වැඩෙත්, කුශල ධර්‍මයෝ පිරිහෙත්” යයි දන්නේ නම් එබඳු චීවරය නො සෙවිය යුතු. එහි යම් චීවරයෙක් “මේ චීවරය සෙවුනා මට අකුශල ධර්‍මයෝ පිරිහෙත්, කුශල ධර්‍මයෝ වැඩෙත්” යයි දන්නේ නම් එබඳු චීවරය සෙවිය යුතු. “ඇවැත්නි, චීවරයත් සෙවිය යුතුය නො සෙවිය යුතු යයි දෙපරිදියෙන් දත යුතු ය” යි මෙසේ ඒ යමෙක් කියන ලද නම් තෙල මේ සඳහා කියන ලදී.
“ඇවැත්නි, පිණ්ඩපාතයත් සේවිතව්‍ය ය අසේවිතව්‍ය යයි දෙපරිදියෙන් දත යුතු ය” යි මෙසේ තෙල යමෙක් කියන ලද නම් තෙල කුමක් සඳහා කියන ලද ද යත්: එහිලා යම් පිණ්ඩපාතයක් “මේ පිණ්ඩපාතය සෙවුනා මට අකුශලධර්‍මයෝ වැඩෙත්, කුශලධර්‍මයෝ පිරිහෙත්” යයි දන්නේ නම් එබඳු පිණ්ඩපාතය නො සෙවිය යුත්තේ ය, එහිලා යම් පිණ්ඩපාතයෙක් “මේ පිණ්ඩපාතය සෙවුනා මට අකුශල ධර්‍මයෝ පිරිහෙත්, කුශලධර්‍මයෝ වැඩෙත්” යයි දන්නේ නම් එබඳු පිණ්ඩපාතය සෙවිය යුත්තේ ය. “ඇවැත්නි, පිණ්ඩපාතයත් සේවිතව්‍ය ය අසේවිතව්‍ය යයි දෙපරිදියෙන් දත යුතු ය” යි ඒ යමක් කියන ලද නම් තෙල මෙම කරුණ සඳහා කියන ලදී.
“ඇවැත්නි, සේනාසනත් සේවිතව්‍ය ය අසේවිතව්‍ය යයි දෙපරිදියෙන් දත යුතු ය” යි. මෙසේ තෙල යමෙක් කියන ලද නම් තෙල කුමක් සඳහා කියන ලද ද යත්: එහිලා යම් සේනාසනයක් “මේ සෙනසුන සෙවුනා මට අකුශලධර්‍මයෝ වැඩෙත්. කුශලධර්‍මයෝ පිරිහෙත්” යයි දන්නේ නම් එබඳු සේනාසනය නො සෙවිය යුතුය. එහිලා යම් සේනාසනයක් “මේ සෙනසුන සෙවුනා මට අකුශල ධර්‍මයෝ පිරිහෙත්, කුශලධර්‍මයෝ වැඩෙතැ” යි දන්නේ නම් එබඳු සේනාසනය සෙවිය යුතුය. “ඇවැත්නි, සේනාසනයත් සේවිතව්‍ය ය අසේවිතව්‍ය යයි දෙපරිදියෙන් දත යුතු ය” යි මෙසේ තෙල යමෙක් කියන ලද නම් තෙල මේ සඳහා කියන ලදී.
“ඇවැත්නි, ගම්නියම්ගමුදු සේවිතව්‍ය ය අසේවිතව්‍ය යයි දෙපරිදියෙන් දත යුතු ය” යි. මෙසේ තෙල යමෙක් කියන ලද නම් තෙල කුමක් සඳහා කියන ලද ද: එහිලා යම් ගම්නියම්ගමක් “මේ ගම්නියම්ගම් සෙවුනා මට අකුශලධර්‍මයෝ වැඩෙත්, කුශලධර්‍මයෝ පිරිහෙතී” යි දන්නේ නම් එබඳු ගම්නියම්ගම් නො සෙවිය යුතු. එහි යම් ගම් නියම්ගමක් “මේ ගම් නියම්ගම සෙවුනා මට කුශලධර්‍මයෝ වැඩෙත්, අකුශල ධර්‍මයෝ පිරිහෙතී” යි දන්නේ නම් එබඳු ගම් නියම්ගම් සෙවිය යුතුය. “ඇවැත්නි, ගම් නියම්ගමුදු සේවිතව්‍ය ය අසේවිතව්‍ය යයි දෙපරිදියෙන් දතයුත්තේ ය” යි මෙසේ ඒ යමෙක් කියන ලද නම් තෙල මේ සඳහා කියන ලද.
“ඇවැත්නි, දනවු පියෙසත් සේවිතව්‍ය ය අසේවිතව්‍ය යයි දෙපරිදියෙන් දත යුතු ය” යි. මෙසේ තෙල යමෙක් කියන ලද නම් තෙල කුමක් සඳහා කියන ලද ද යත්: එහිලා යම් දනවුපියෙසක් “මේ දනවුපියෙස සෙවුනා මට අකුශලධර්‍මයෝ වැඩෙත්, කුශලධර්‍මයෝ පිරිහෙති” යි දන්නේ නම් එබඳු දනවුපියෙස නො සෙවිය යුත්තේය. එහිලා යම් දනවුපියෙසක් “මේ දනවුපියෙස සෙවුනා මට කුශලධර්‍මයෝ වැඩෙත්, අකුශල ධර්‍මයෝ පිරිහෙති” යි දන්නේ නම් එබඳු දනවුපියෙස සෙවිය යුතුය. “ඇවැත්නි, දනවුපියෙස ද සේවිතව්‍ය ය අසේවිතව්‍ය යයි දෙපරිදියෙන් දත යුතු ය” යි මෙසේ ඒ යමෙක් කියන ලද නම් තෙල මේ සඳහා කියන ලදී.
9. 1. 7. 7.
සුතවාපරිබ්බාජක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වසන සේක. එකල්හි සුතවා පිරිවැජි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමඟ සතුටු විය. සතුටු විය යුතු සාරාණීය කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් සුතවා පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේය:
වහන්ස, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මේ (පර්‍වත වළල්ලෙන් වටවූ හෙයින්) ගිරිව්‍රජ නම් වූ රජගහනුවර ම වාසය කරන සේක. වහන්ස, එකල්හි මා විසින් “සුතවායෙනි, යම් ඒ අර්‍හත් ක්‍ෂීණාශ්‍රව වූ වැස නිමකළ මඟ බඹසර ඇති කළ සිවුමඟකරණී ඇති, බහාතැබූ කෙලෙස් බරැති, පැමිණි රහත් බැව් ඇති පරික්‍ෂීණ භව සංයෝජන ඇති, මොනොවට දැන විමුක්ත වූ මහණෙක් වේ නම් හේ කරුණු පසක් ඉක්මවන්නට අභව්‍ය වෙයි: ක්‍ෂීණාස්‍රව මහණ දැන දැන ප්‍රාණියකු දිවියෙන් ගලවනට අභව්‍ය වෙයි. ක්‍ෂීණාස්‍රව මහණ ථෙය්‍ය සඞ්ඛ්‍යාත නුදුන් දෑ සොර සිතින් ගන්නට අභව්‍ය වෙයි. ක්‍ෂීණාස්‍රව මහණ මෙවුන් දම් සෙවුමට අභව්‍ය වෙයි. ක්‍ෂීණාස්‍රව මහණ දැන දැන මුසවා කීමය අභව්‍ය වෙයි. ක්‍ෂීණාස්‍රව මහණ පෙර ගිහි වූ පරිදි සන්නිධිකාරක ව හෙවත් තැන්පත් කොට තබාගෙන කාමයන් සෙවුමට අභව්‍ය වේ ය” යි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදී. හමුවෙහි පිළිගන්නා ලදී. වහන්ස, කිම මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ ඒ භාෂිතය මනාකොට අසන ලද ද? මනාකොට උගන්නා ලද ද? මොනොවට මෙනෙහි කරන ලද ද? මොනොවට දරන ලද ද? යි
සුතවායෙනි, එකතින් ඒ තා විසින් මොනොවට අසන ලද, මොනොවට උගන්නා ලද, මොනොවට මෙනෙහි කරන ලද, මනාකොට දරන ලද, සුතවායෙනි, දැනුදු මම මෙසේ කියමි: “අර්‍හත් ක්‍ෂීණාස්‍රව වූ වැස නිම වූ බඹසර ඇති, කළමඟ කිස ඇති, බහාතැබූ කෙලෙස් බර ඇති, පැමිණි රහත්ඵල ඇති, ගෙවූ භවසංයෝජන ඇති, මොනොවට දැන මිදුණු යම් ඒ මහණෙක් වේ නම්, හේ කරුණු පසක් මඩනට අභව්‍ය වෙයි. රහත් මහණ දැන දැන සතක්හු දිවියෙන් ගැලවීමට අභව්‍ය වෙයි. රහත් මහණ ථෙය්‍යසඞ්ඛ්‍යාත සොරසිතින් නුදුන් දෑ ගන්නට අභව්‍ය වෙයි. රහත් මහණ මෙවුන්දම් සෙවුනට අභව්‍ය වෙයි. රහත් මහණ දැන දැන මුසවා කියනට අභව්‍ය වෙයි. රහත් මහණ පෙර ගිහි වූ පරිදි සන්නිධිකාරකව කාමයන් වළඳනට අභව්‍ය වෙයි.
රහත් මහණ බුදුන් ප්‍රතික්‍ෂේප කරනට අභව්‍ය වෙයි. රහත් මහණ ධර්‍මය ප්‍රතික්‍ෂේප කරනට අභව්‍ය වෙයි. රහත් මහණ සංඝයා ප්‍රතික්‍ෂේප කරනට අභව්‍ය වෙයි. රහත් මහණ ශික්‍ෂා ප්‍රතික්‍ෂේප කරනට අභව්‍ය වේ” යයි. සුතවායෙනි, මම් පෙරත් දැනුත් “අර්‍හත් වැසනිම වූ මඟ බඹසර ඇති කළ සිවුමඟකිස ඇති බහා තැබූ කෙලෙස් බරැති පත් රහත් පල ඇති, ගෙවූ භවසංයෝජන ඇති, යම් ඒ මහණෙක් වේ නම්, හේ මේ කරුණු නවය මඩනට අභව්‍ය ය” යි මෙසේ ම කියමි යි.
9. 1. 8. 8.
සජ්ඣපරිබ්බාජක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වසන සේක. එකල්හි සජ්ඣ පිරිවැජි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමඟ සතුටු විය. සතුටු විය යුතු සාරාණීය කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් සජ්ඣ පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේය:
වහන්ස, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මේ ගිරිව්‍රජ නම් වූ රජගහනුවර ම වාසය කරන සේක. වහන්ස, එකල්හි මා විසින් “සජ්ඣයෙනි, අර්‍හත් ක්‍ෂීණාශ්‍රව වූ වැසනිම වූ මඟ බඹසර ඇති, කළ සිවුමඟකරණී ඇති, බහාතැබූ කෙලෙස් බර ඇති, පැමිණි රහත්ඵල සඞ්ඛ්‍යාත ස්වාර්‍ත්‍ථය ඇති, ගෙවූ භව සංයෝජන ඇති, මනාකොට දැන විමුක්ත වූ යම් ඒ මහණෙක් වේ නම් හේ කරුණු පසක් මඩනට අභව්‍ය වේ” යි. භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදී. හමුවෙහි පිළිගන්නා ලදී:
රහත් මහණ දැන දැන පරපණ දිවියෙන් ගැලවුමට අභව්‍ය වෙයි. රහත් මහණ ථෙය්‍යසඞ්ඛ්‍යාතය ගන්නට අභව්‍ය වෙයි. රහත් මහණ මෙවුන්දම් සෙවුනට අභව්‍ය වෙයි. රහත් මහණ මුසවා කීමට අභව්‍ය වෙයි. රහත් මහණ පෙර ගිහි වූ පරිදි සන්නිධිකාරක ව කාමයන් වළඳනට අභව්‍ය වේ ය” යි. වහන්ස, කිම, තෙල මා විසින් මැනවින් අසන ලද ද? මනාකොට උගන්නා ලද ද? මොනොවට මෙනෙහි කරන ලද ද? මොනොවට දරන ලදදැ’ යි.
සජ්ඣයෙනි, එකතින් තා විසින් එය මොනොවට අසන ලද, මොනොවට උගන්නා ලද, මොනොවට මෙනෙහි කරන ලද, මොනොවට දරන ලද වෙයි. සජ්ඣයෙනි, පෙර ද දැනුදු මම මෙසේ කියමි. “අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව, වැස නිමවූ මඟ බඹසර ඇති, කළ සිවුමඟකරණී ඇති, බහාතැබූ කෙලෙස් බර ඇති, පිළිවෙළින් පත් අර්‍හත්‍වය ඇති, පරික්‍ෂීණ භව සංයෝජන ඇති, මොනොවට දැන විමුක්ත වූ යම් ඒ මහණෙක් වේ නම්, හේ නව කරුණක් මඩනට අභව්‍ය වේ: රහත් මහණ දැන දැන සතක්හු දිවියෙන් ගැළවීමට අභව්‍ය වෙයි. රහත් මහණ ථෙය්‍ය සඞ්ඛ්‍යාතය ගන්නට අභව්‍ය වෙයි. රහත් මහණ මෙවුන්දම් සෙවුනට අභව්‍ය වෙයි. රහත් මහණ දැන දැන මුසවා බණනට අභව්‍ය වෙයි. රහත් මහණ පෙර ගිහි වූ පරිදි සන්නිධිකාරකව කාමයන් වළඳනට අභව්‍ය වේ යයි. රහත් මහණ ඡන්‍දයෙන් අගතියට යනුවට අභව්‍ය වෙයි. රහත් මහණ ද්වේෂයෙන් අගතියට යනුවට අභව්‍ය වෙයි. රහත් මහණ මෝහයෙන් අගතියට යනුවට අභව්‍ය වෙයි. රහත් මහණ භයෙන් අගතියට යනුවට අභව්‍ය වෙයි.” සජ්ඣයෙනි, පෙරත් දැනුත් මම මෙසේ කියමි: රහත් වූ ක්‍ෂීණාස්‍රව වූ වැස නිමවූ බඹසර ඇති, කළ සිවුමඟ කිස ඇති, බහාතැබූ කෙලෙස් බර ඇති, පිළිවෙළින් පත් රහත්බව ඇති, ගෙවූ භවසංයෝජන ඇති, මොනොවට දැන විමුක්ත වූ යම් ඒ මහණෙක් වේ නම්, හේ මේ නව කාරණයන් මඩනට අභව්‍ය වේ ය” යි.
9. 1. 9. 9.
පුග්ගල සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, ලොව්හි මේ පුද්ගලයෝ නවදෙනෙක් ඇතියහ. විද්‍යමාන වෙත්: කවර නවදෙනෙක යත්: අර්‍හත් ය, අර්‍හත්‍වයට පිළිපන්නේ ය. අනාගාමී ය. අනාගාමීඵල සාක්‍ෂාත්කරණයට පිළිපන්නේ ය. සකෘදාගාමී ය, සකෘදාගාමීඵල සාක්‍ෂාත්කරණයට පිළිපන්නේ ය. සෝතාපන්න යැ. සෝතාපත්තිඵල පසක් කිරීමට පිළිපන්නේ යැ. පෘථග්ජන යි. මහණෙනි, ලොව්හි මේ පුද්ගලයෝ නවදෙන ඇතියහ. විද්‍යමාන වෙත්.
9. 1. 10. 10.
ආහුනෙය්‍යපුග්ගල සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, ආහුනාර්‍හ, ප්‍රාඝුණාර්‍හ, දක්‍ෂිණාර්‍හ, අඤ්ජලිකරණීය, ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මේ පුද්ගලයෝ නව දෙනෙකි, කවර නව දෙනෙක යත්: අර්‍හත් ය, අර්‍හත්‍වයට පිළිපන්නේ ය, අනාගාමී ය, අනාගාමීඵල සාක්‍ෂාත්කරණයට පිළිපන්නේ ය. සකෘදාගාමී ය, සකෘදාගාමීඵල සාක්‍ෂාත්කරණයට පිළිපන්නේ ය. සෝතාපන්න යැ. සෝතාපත්තිඵල සාක්‍ෂාත්කරණයට පිළිපන්නේ ය. ගෝත්‍රභූ ය. මහණෙනි, මේ පුද්ගලයෝ නව දෙන අහුනෙය්‍ය ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙති.
ප්‍රථම සම්බෝධිවර්‍ග යි.
එහි උද්දානය:
සම්බෝධි සූත්‍රය, නිස්සය සූත්‍රය, මේඝිය සූත්‍රය, නන්‍දක සූත්‍රය, බල සූත්‍රය, සේවිතබ්බාසේවිතබ්බ සූත්‍රය, සුතවා සූත්‍රය, සජ්ඣ සූත්‍රය, පුග්ගල සූත්‍රය, ආහුනෙය්‍ය සූත්‍රය යි දශයෙක.
2. සීහනාද වර්‍ගය
9. 1. 2. 1.
සාරිපුත්ත සීහනාද සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු මහ සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වෙත එළැඹිය හ. එළැඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පස් ව හුන් හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භගවතුන්ට තෙල සැලකළහ. “වහන්ස, මා විසින් සැවැත්හි වස්සාවාසය වැස නිමවී ය. වහන්ස, මම ජනපදචාරිකාවට පිටත් වනු කැමැතියෙමි”යී. ශාරිපුත්‍ර ය, තෙපි දැන් යමක් සඳහා කල් දනිවු නම් එය කරව, ඉක්බිති සැරියුත් තෙරණුවෝ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට බැහැර ගියහ.
එකල එක්තරා මහණෙක් ආයුෂ්මත් සැරියුත් තෙරුන් ගිය නො බෝ කල්හි භගවත්නට තෙල සැලකළේ ය: “වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මා ඝටා වරද නො දෙසා චාරිකාවට පිටත් වූහ” යි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූහ: මහණ, එව. තෙපි මාගේ වචනයෙන් “ඇවැත් ශාරීපුත්‍රයෙනි, ශාස්තෘහු තොප කැඳවති”යි සාරිපුත්‍රයන් අමතව, ‘වහන්ස, එසේ ය’යි ඒ මහණ භගවත්නට පිළිවදන් අස්වා සැරියුත්තෙරුන් වෙත එළැඹියේ ය. එළැඹැ තෙල කී ය: “ඇවැත් ශාරීපුත්‍රයෙනි, ශාස්තෘහු තොප අමතති”යී “ඇවැත්නි එසේය”යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ එ මහණහට පිළිවදන් ඇස් වූ හ.
එ සමයෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ද දොරයතුරු ගෙන වෙහෙරින් වෙහෙර ඇවිදුනාහ. “ආයුෂ්මත්නි, එව ආයුෂ්මත්නි, එව දැන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් හමුයෙහි සීහනාද කරති”යි.
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භගවතුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත් පස්ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරුනට භගවත්හු තෙල වදාළහ: ශාරීපුත්‍රයෙනි, මෙහි තොපගේ එක්තරා සබ්‍රම්සරකෙනෙක් කථාධර්‍මයකට (දොස් පැවසීමකට) පැමිණියහ. වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මා ඝටා නො කමවා චාරිකාවට පිටත් වූහ”යි.
1. වහන්ස යමක්හට එකැතින් කයෙහි කාගියා සිහි නො එළැඹ සිටී නම් හේ මෙහි එක්තරා සබ්‍රම්සරකු ඝටා වරද නො දෙසා චාරිකාවට පිටත් වන්නේ ය. වහන්ස, යම් පරිදි පොළෝහි සුචිදෑත් බහත් ද, අසුචි දෑත් බහත් ද, මල හා මූ හා බහත් ද, කෙළත් බහත් ද, පූයාත් බහත් ද, ලෙහෙත් බහත් ද, පොළෝ ඉන් නො පෙළෙයි ලජ්ජිත හෝ නො වෙයි ජුගුප්සාවට හෝ නො පැමිණෙ යි. වහන්ස, එ පරිදි ම මම් පොළෝ සම වූ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ සිතින් වාස කරමි.
2. වහන්ස, යමකුට එකැතින් කයෙහි කාගියා සිහි නොඑළැඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකාවට යන්නේ ය. වහන්ස, යම් පරිදි (ජලයෙහි) සුචිදෑත් දොවත්ද, අසුචිදෑත් දොවත් ද, ගූථත් දොවත් ද, මුත්‍රත් දොවත් ද, කෙළත් දොවත් ද, පූයාත් දොවත් ද, ලෙහෙත් දොවත් ද, එයින් ආපය නො පෙළෙයි ලජ්ජිත හෝ නො වෙයි, ජුගුප්සා හෝ නො කෙරෙයි. වහන්ස, එපරිදි ම මම් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ ආපෝසම සිතින් වාස කරමි.
3. වහන්ස, එකැතින් යමකුට කයෙහි කාගියා සී නො එළැඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකා පිණිස යන්නේ ය. වහන්ස, යම්පරිදි තේජස් (ගින්න) සුචිදෑත් දවා ද, අසුචි දෑත් දවා ද, ගූථත් දවා ද, මුත්‍රත් දවා ද, කෙළත් දවා ද, පූයාත් දවා ද, ලෙහෙත් දවා ද එයින් තේජස් නො පෙළෙයි ලජ්ජිත නොවෙයි ජුගුප්සා නො කෙරෙයි. වහන්ස, එපරිදි ම මම් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ තේජස් සම සිතින් වාස කරමි.
4. වහන්ස, එකැතින් යමකුට කයෙහි කාගියා සී නො එළඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකාවට නික්මෙන්නේ ය. වහන්ස, යම් පරිදි වායුව සුචිදෑත් ගෙන හමා ද, අසුචිදෑත් ගෙන හමා ද, ගූථත් ගෙන හමා ද, මුත්‍රත් ගෙන හමා ද, කෙළත් ගෙන හමා ද, පූයාත් ගෙන හමා ද, ලෙහෙත් ගෙන හමා ද එයින් වායුව නො ද පෙළෙයි ද ලජ්ජිත හෝ නො වෙයි ද ජුගුප්සා හෝ නො කෙරෙයි ද වහන්ස, එ පරිදි ම මම් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ වායුසම සිතින් වාස කරමි.
5. වහන්ස, එකැතින් යමකුට කයෙහි කායගතාසතිය නො එළැඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකාවට නික්මෙන්නේ ය. වහන්ස, යම් පරිදි පිස්නාකඩ සුචිදෑත් පිස්නේ ද, අසුචිදෑත් පිස්නේ ද, ගූථත් පිස්නේ ද, මුත්‍රත් පිස්නේ ද, කෙළත් පිස්නේ ද, පූයාත් පිස්නේ ද, ලෙහෙත් පිස්නේ ද, එයින් පිස්නාකඩ නො ද පෙළෙයි නො ද ලජ්ජිත වෙයි නො ද ජුගුප්සා කෙරෙයි. වහන්ස, එ පරිදි ම මම් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ පිස්නා කඩ බඳු සිතින් වාස කරමි.
6. වහන්ස, යමකුට එකැතින් කයෙහි කායගතාසතිය නො එළැඹ සිටි නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා වරද නො දෙසා චාරිකාවට පිටත් වන්නේ ය. වහන්ස, යම් පරිදි සැඩොල් දරුවෙක් හෝ සැඩොල් දැරියක් හෝ පැසක් ගත් අත් ඇත්තේ පියලි කඩක් හැඳීයේ ගමකට වේවයි නියම්ගමකට වේවයි වදනේ හළ මන් ඇති සිත් ම එළවා වදනේ ද, වහන්ස, එ පරිදි ම මම් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ සැඩොල් දරුවකු සම සිතින් වාස කරමි.
7. වහන්ස, යමකුට එකැතින් කයෙහි කාගියාසිහි නො එළැඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකාවට යන්නේ ය. වහන්ස, යම් පරිදි සුන් අං ඇති ගොනෙක් සුරත වූයේ දැමුණේ සුවිනීත වූයේ වෙයින් වෙයි සිවුමංසලින් සිවුමංසල ඇවිදුනේ පයින් වේවයි හඟින් වේවයි කිසිවකු නො පෙළා ද, වහන්ස, එ පරිදි ම මම් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ සුන් අං ඇති වැහැප් බඳු සිතින් වාස කරමි.
8. වහන්ස, එකැතින් යමකුට කයෙහි කාගියාසිහි නො එළඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකාවට යන්නේ ය. වහන්ස, යම් පරිදි තරුණ වූ හෝ තුරුණු බැව්හි සිටියාවූ හෝ සැරසුම් සැහැවි ඇති ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි හිසැ නඟා ලූයේ ගෙළ බැඳි අහිකුණපයෙන් හෝ කුක්කුරකුණපයෙන් හෝ මනුෂ්‍යකුණපයෙන් හෝ පෙළේ ද, ලජ්ජිත වේ ද, ජුගුප්සා කෙරේ ද, වහන්ස, එපරිදි ම මම් මේ කුණුකයින් පෙළෙමි, ලජ්ජිතයෙමි, ජුගුප්සා කෙරෙමි.
9. වහන්ස, එකැතින් යමෙකුට කයෙහි කාගියාසිහි නො එළැඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකාවට යන්නේය. වහන්ස, යම් පරිදි පුරුෂයෙක් සිදුරු ඇති මහසිදුරු ඇති උඩු මුවින් වැහෙන යුසඇති යටිමුවින් ගලන යුස ඇති සිදුරු මේද තෙල් පිරුණු සැළියක් නොහොත් යුස නික්මීම පිණිස තන්හි තන්හි කළ සිදුරු ඇති ථාලිකාවක් (මසින් පුරුවාගෙන) පරිහරණය කෙරේ ද, වහන්ස, එපරිදි ම මම් කුදු මහත් සිදුරු ඇති උඩුමුවින් වැහෙන අසුචි ඇති යටිමුවින් ගලන අසුචි ඇති මේ කය පරිහරණය කරමි.
වහන්ස එකැතින් යමකුට කයෙහි කාගියාසිහි නො එළැඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකාවට යන්නේ ය.
ඉක්බිති එ මහණ හුනස්නෙන් නැඟී සිටි උත්තරාසඞ්ගය එකස් කොට ලා භගවතුන්ගේ පාමුල හිසින් හෙව භවත්නට තෙල සැලකළේ ය. “වහන්ස, බාලයකු කරා යම්සේ නම් මූඪයකු කරා යම්සේ නම් අදක්‍ෂයකු කරා යම්සේ නම් එසේ දෝෂය මා ඉක්මවා ගියේ ය. යම්බඳු මම් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් අසත්‍ය වූ සිස් වූ මුසා වූ අභූතයෙන් අබිබවා කීයෙම් නම් එ හෙයිනි. වහන්ස, භගවතුන් මතුයෙහි සංවර පිණිස ඒ මාගේ අපරාධය අපරාධ විසින් පිළිගන්නා සේක්වා” යී.
යම් බඳු වූ තෙපි සැරියුත් තෙරුන් අසත්‍ය වූ තුච්ඡ වූ මෘෂා වූ අභූතයෙන් අබිබවා කීහු ද නියතින් බාලයකුට යම්සේ නම් මූඪයකුට යම්සේ නම් අදක්‍ෂයකුට යම් සේ නම් එසේ දෝෂය තොප ඉක්මැ ගියේ ය. මහණ, යම් හෙයෙකින් තෙපි වරද වරද විසින් දැක දහම් වූ පරිදි ප්‍රතික්‍රියා කරවූ නම් අපි තොපගේ ඒ වරද පිළිගනිමු. මහණ ආර්‍ය්‍ය විනයෙහි යමෙක් වරද වරද විසින් දැක දහම් වූ පරිදි ප්‍රතික්‍රියා කෙරේ නම් මතුයෙහි සංවරයට පැමිණේ නම් තෙල වෘද්ධියෙක් ම ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූහ: “ශාරීපුත්‍රය, මොහුගේ හිස මෙ තන්හි ම සත්කඩෙක් ව පැළේ නම් එයට පළමු ම මේ හිස් පුඟුල් හට සමා කරව”යි.
“වහන්ස, ඉදින් ඒ ආයුෂ්මත් මට ක්‍ෂමා කෙරේවා”යි මෙසේ කියා නම් ඒ ආයුෂ්මත් හට මම් කමමි”යී.
9. 1. 2. 2.
සෝපාදිසේස සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසනසේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පොරවා පාසිවුරු ගෙන සැවැත්හි පිඬු පිණිස පිවිසියහ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුනට තෙල සිත විය: “සැවැත්හි පිඬු පිණිස සරනට ඉතා කල් ඇත්තේ ය. මම් අන්තොටු පිරිවැජි අරම යම්තන්හි ද, එහි එළඹෙම් නම් ඉතා මැනැවැ”යි. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අන්තොටු පිරිවැජි අරමට එළඹිය හ. එළැඹ ඒ අන්තොටු පිරිවැජියන් හා සතුටු වූහ. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ.
එසමයෙහි රැස්ව හුන් ඒ පිරිවැජියන් අතර මේ අතුරු කථාව උපන: “ඇවැත්හි, යම් කිසිවෙක් උපාදාන ශේෂ ඇතියේ කලුරිය කෙරේ නම් ඒ හැම දෙන නිරයෙන් නො මිදුණේ වෙයි. තිරිසන්යෝනින් නො මිදුණේ වෙයි. ප්‍රේතවිෂයෙන් නො මිදුණේ වෙයි. අපායදුගතියෙන් නො මිදුණේ වෙ”යි.
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගත්හ. නො ම පිළිකෙව් කළහ. නො පිළිගෙන නො පිළිකෙව් කොට හුනස්නෙන් නැඟී නික්ම ගියහ, “භගවතුන් හමුයෙහි තෙල භාෂිතයාගේ අරුත් දැන ගනිමැ”යි. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත්හි පිඬු පිණිස සැරැ පසුබත්හි පිඬුවායෙන් වැළකුණාහු භගවතුන් වෙත එළඹිය හ. එළැඹ භගවතුන් සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භගවත්නට තෙල සැලකළහ.
“වහන්ස, මෙහි මම් පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන සැවැත්හි පිඬු පිණිස පිවිසියෙමි. වහන්ස, ඒ මට තෙල සිත විය. “සැවැත්හි පිඬු පිණිස සරනට ඉතාකල් ඇත්තේ ය. මම අන්තොටු පිරිවැජියන්ගේ අසපුව යම්තෙනෙක්හි ද, එහි එළඹෙන්නෙම් නම්, ඉතා යෙහෙකැ”යි. වහන්ස, ඉක්බිති මම් අන්තොටු පිරිවැජියන්ගේ අසපුව යම්තෙනෙක්හි ද, එහි එළඹියෙමි. එළඹ ඒ අන්තොටු පිරිවැජියන් හා සතුටු වූයෙමි. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්මි.
වහන්ස, එසමයෙහි, රැස්ව හුන් ඒ අන්තොටු පිරිවැජියන්ගේ මේ අතුරු කථාව උපන: “ඇවැත්නි, යම් කිසිවෙක් උපාදානශේෂ ඇතියේ කලුරිය කළේ නම් එ හැමදෙන නිරයෙන් නො මිදුණේ වෙයි, තිරිසන්යෝනින් නො මිදුණේ වෙයි, ප්‍රේතවිසයෙන් නො මිදුණේ වෙයි, අවාදුගතින් නොමිදුණේ වෙ”යි. වහන්ස, එකල්හි මම ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගතිමි, නො ම පිළිකෙව් කෙළෙමි. නො පිළිගෙන නො පිළිකෙව් කොට හුනස්නෙන් නැඟී “භගවතුන් හමුයෙහි තෙල භාෂිතයාගේ අරුත් දැනගන්මි”යි නික්ම ගියෙමි යි.
ශාරිපුත්‍රය, බාල වූ අව්‍යක්ත වූ ඒ අන්තොටු පිරිවැජියෝ කවරහ: කවරහු සඋපාදානශේෂ ඇතියකු හෝ සෝපාදිසේසයෙකැයි දනිත්ද, අනුපාදිශේෂයකු හෝ අනුපාදිශේෂයෙකැයි දනිත්ද:
ශාරිපුත්‍රය, මේ සෝපාදිශේෂ පුද්ගලයෝ නවදෙනෙක් කලුරිය කරන්නාහු නිරයෙන් මිදුණාහු වෙති. තිරිසන් යෝනින් මිදුණාහු වෙති. ප්‍රේතවිෂයෙන් මිදුණාහු වෙති. අපාය දුර්‍ගති විනිපාතයෙන් මිදුණාහු වෙති. කවර නවදෙනෙක යත්:
1. ශාරිපුත්‍රය, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්‍රඥායෙහි මාත්‍රකාරී වෙයි. හේ පඤ්චඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි. ශාරිපුත්‍රය, මේ සෝපාදිසේසව කලුරිය කරන නිරයෙන් මුත් තිරිසන් යෝනින් මුත් ප්‍රේතවිෂයෙන් මුත් අපාය දුර්‍ගතිවිනිපාතයෙන් මුත් ප්‍රථමපුද්ගල යි.
2.-5 ශාරිපුත්‍රයෙනි, තවද, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් සීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්‍රඥායෙහි මාත්‍රකාරී වෙයි. හේ පඤ්චඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් උපහච්චපරිනිබ්බායී වෙයි … අසඞ්ඛාර පරිනිබ්බායී වෙයි … සසඞ්ඛාර පරිනිබ්බායී වෙයි … උද්ධං සෝත අකනිට්ඨගාමී වෙයි … ශාරිපුත්‍රය, මේ සෝපාදිසේසව කලුරිය කරන නිරයෙන් මුත් තිරිසන්යෝනින් මුත් ප්‍රේතවිෂයෙන් මුත් අපායදුර්‍ගතිවිනිපාතයෙන් මුත් පස්වැනි පුද්ගල යි.
6. ශාරීපුත්‍රය, තවද මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් සීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි, ප්‍රඥායෙහි මාත්‍රකාරී වෙයි, හේ ත්‍රිවිධ සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් රාග දෝෂ මෝහයන්ගේ තනුත්‍වයෙන් සකෘදාගාමී වෙයි. වරක් ම මේ ලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි. ශාරිපුත්‍රය, මේ සෝපාදිසේස ව කලුරිය කරන නිරයෙන් මුත්, තිරිසන් යෝනින් මුත් ප්‍රේතවිෂයෙන් මුත් අපාය දුර්‍ගති විනිපාතයෙන් මුත් සවැනි පුද්ගල යි.
7. ශාරීපුත්‍රය, තවද මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් සීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි මාත්‍රකාරී වෙයි. ප්‍රඥාවෙහි මාත්‍රකාරී වෙයි. හේ ත්‍රිවිධ සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් ඒකබීජී වෙයි. එක් ම මිනිසත් බවක් නිපදවා දුක් කෙළවර කෙරෙයි. ශාරීපුත්‍රය, මේ සෝපාදිසේස ව කලුරිය කරන නිරයෙන් මුත් තිරිසන් යෝනින් මුත් ප්‍රේතවිෂයෙන් මුත් අපාය දුර්‍ගති විනිපාතයෙන් මුත් සත්වැනි පුද්ගල යි.
8. ශාරිපුත්‍රය, තවද මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් සීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි, මාත්‍රකාරී වෙයි. ප්‍රඥායෙහි මාත්‍රකාරී වෙයි. හේ ත්‍රිවිධසංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් කොලඞ්කොල වෙයි. දෙකක් හෝ තුනක් හෝ කුලයන් (කාමලෝකයෙහි) දිව හැසිර දුක් කෙළවර කෙරෙයි. ශාරීපුත්‍රය, මේ සෝපාදිසේස ව කලුරිය කරන නිරයෙන් මුත් … අපාය දුර්‍ගති විනිපාතයෙන් මුත් අටවැනි පුද්ගල යි.
9. ශාරීපුත්‍රය, තවද මෙසස්නෙහි ඇතැම් පුඟුලෙක් සීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි මාත්‍රකාරී වෙයි. ප්‍රඥායෙහි මාත්‍රකාරී වෙයි. හේ ත්‍රිවිධ සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් සත්තක්ඛත්තු පරම වෙයි. දෙව් ලොව ද මිනිස් ලොව ද සත්වරක් පරම කොට දිව හැසිර දුක් කෙළවර කෙරෙයි. ශාරීපුත්‍රය, මේ සෝපාදිසේස ව කලුරිය කරන නිරයෙන් මුත් තිරිසන් යෝනින් මුත් ප්‍රේතවිෂයෙන් මුත් අපාය දුර්‍ගති විනිපාතයෙන් මුත් නවවැනි පුද්ගල වෙයි.
ශාරීපුත්‍රය, බාල වූ අව්‍යක්ත වූ ඒ අන්තොටු පිරිවැජියෝ කවරහ: කවරහු සඋපාදානශේෂයකු සෝපාදිසේසයෙකැයි හෝ දනිත් ද: අනුපාදිසේසයෙකැයි හෝ දනිත් ද?
ශාරීපුත්‍රය, මේ සෝපාදිශේෂ පුද්ගලයෝ නවදෙනෙක් කලුරිය කරන්නාහු නිරයෙන් මිදුණාහු වෙති. තිරිසන් යෝනින් මිදුණාහු වෙති. ප්‍රේතවිෂයෙන් මිදුණාහු වෙති. අපාය දුර්‍ගතිවිනිපාතයෙන් මිදුණාහු වෙත්. ශාරීපුත්‍රය, මේ ධර්‍ම පරියායය භික්‍ෂූන්ට, භික්‍ෂුණීන්ට, උපාසකයන්ට, උපාසිකාවන්ට මේතාක් නො වැටහිණි. (මම නො කීයෙමි) ඒ කවර හෙයින යත්: මේ ධර්‍මපර්‍ය්‍යාය අසා (මතුරහත් බව පිණිස වැර නොකරන ඔහු) ප්‍රමාදයට නොපැමිණෙත්වා යි. වැලිත් ශාරීපුත්‍රය ප්‍රශ්නාධිප්‍රායයෙන් (තොප ඇසූ ප්‍රශ්නයට සභාග වශයෙන්) මා විසින් මේ ධර්‍මපර්‍ය්‍යාය දෙසනලදි යි.
9. 1. 2. 3.
මහාකොට්ඨික සූත්‍රය
[සැවැත්නිදාන යි]
එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වෙත එළැඹිය හ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරුන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල සැල කළහ:
ඇවැත් ශාරීපුත්‍රය, කිමෙක යම් කර්‍මයෙක් දෘෂ්ටධර්‍මවේදනීය වේ නම් මාගේ ඒ කර්‍මය සම්පරාය වේදනීය වේවයි යන තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි? ඇවැත්නි, මෙය නො වේ මැයි.
ඇවැත් ශාරීපුත්‍රය, කිම යම් කර්‍මයෙක් සම්පරාය වේදනීය නම් මාගේ ඒ කර්‍මය දෘෂ්ටධර්‍ම වේදනීය වේවයි යන තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැ යි? ඇවැත්නි, මෙය නො වේ මැයි.
ඇවැත් ශාරීපුත්‍රය, කිම යම් කර්‍මයෙක් සුඛවේදනීය වේ නම් මාගේ ඒ කර්‍මය සුඛවේදනීය ම වේවයි තෙල කරුණෙහි අරුත් සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැ යි? ඇවැත්නි, මෙය නො වේ මැයි.
ඇවැත් ශාරීපුත්‍රය, කිම යම් කර්‍මයෙක් දුක්ඛවෙදනීය වේ නම් මාගේ ඒ කර්‍මය සුඛවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි? ඇවැත්නි, මෙය නො වේ මැයි.
ඇවැත් ශාරීපුත්‍රය, කිම යම් කර්‍මයෙක් පරිපක්වවේදනීය වේ නම් මාගේ ඒ කර්‍මය අපරිපක්වවෙදනීය වේව යි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි? ඇවැත්නි, මෙය නො වේ මැයි.
ඇවැත් ශාරීපුත්‍රය, කිම යම් කර්‍මයෙක් අපරිපක්වවෙදනීය වේ නම් මාගේ ඒ කර්‍මය පරිපක්වවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි? ඇවැත්නි, මෙය නො වේ ම යි.
කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් බහුවේදනීය වේ නම් මාගේ ඒ කර්‍මය අල්පවෙදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි? ඇවැත්නි, මෙය නො වේ මැයි.
කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් අල්පවෙදනීය වේ නම් මාගේ ඒ කර්‍මය බහුවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි? ඇවැත්නි, මෙය නො වේ මැ යි.
කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් වේදනීය නම් මාගේ ඒ කර්‍මය අවෙදනීය වේවයි තෙල කරුණ සඳහා භගවතුන් කෙරෙහි බඹසර වැසේදැයි? ඇවැත්නි, මෙය නො වේ මැ යි.