Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 11901-12000 න් 15980

1. යම් පුරුෂයෙක් හැම කල්හි සාතත්‍යකාරී වශයෙන් වැර ඇතියේ උත්සුක වූයේ ඒ මාගම පුස්නේ වේ ද, ගෙහඹු කැමැති හැම දෑ දෙන පුස්නා එ හිමිහු හෙළා නො දක්නී ය.
2. පණ්ඩිත වූ සුන්‍දරස්ත්‍රී තොමෝ හිමියා ඊර්‍ෂ්‍යාවාදයෙන් රොෂ නො කෙරෙයි. හිමියාගේ ගුරු තන්හි සිටි හැම පුදයි.
3. උත්‍ථානවීර්‍ය්‍ය ඇත්තී අලස නො වූවා සඞ්ග්‍රහ කරන ලද පිරිවර ජනයා ඇත්තී හිමියාට මන වඩන නියායෙන් හැසිරෙයි. ඉපයූ ධනය රකියි.
4. යම් ස්ත්‍රියක් මෙසේ හිමියාට වත්පුරා ඡන්‍දානුවර්තී ව පවත්නී ද ඕ මනාපකායික දෙවියෝ යම් තැනෙක ද එතැන (නිම්මාණරතී දෙව්ලොව) උපදිනී ය යි.
8. 1. 5. 7.
විසාඛාමනාපකායික සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පූර්‍වාරාම නම් මුවරමාපායෙහි වැඩවසන සේක: එකල්හි විසාඛා මිගාරමාතු ... එකත්පසෙක හුන් විසාඛා මිගාරමාතාවට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
විශාඛාවෙනි, දහම් අටෙකින් සමන්‍වාගත මාගම කාබුන් මරණින් මතු මනාපකායික නම් දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි, කවර අටෙකින යත්:
විශාඛාවෙනි, මෙ ලොව්හි මාගම, අර්‍ත්‍ථකාම වූ හිතෛෂී වූ අනුකම්පා ඇති මා පියෝ යම් හිමියකුට අනුකම්පා නිසා දක්වා දෙත් නම් ඔහට පළමු නැඟී සිටිනී පැසුළු වැදහෙන්නී කුම් කරම් දැයි පිළිවිස කරන්නී මනා පැවතුම් ඇත්තී ප්‍රිය වචන ඇත්තී වෙයි ... ත්‍යාග ඇත්තී ද වෙයි. පහ වූ මසුරු මල ඇති සිතින් මිදූ ත්‍යාග ඇත්තී දෙනුවට දෙවූ අත් ඇත්තී දන් දීමෙහි ඇලුනී යදනට යෝග්‍ය වූවා දානසංවිභාගයෙහි ඇලුනී ගෙහි වෙසෙයි. විසාඛාවෙනි, මේ දහම් අටින් සමන්‍වාගත මාගම කාබුන් මරණින් මතු මනාපකායික නම් දෙවියන්ගේ සහභාවයට එළඹේ.
1. යම් පුරුෂයෙක් හම කල්හි සාතත්‍යකාරී වශයෙන් වැර ඇතියේ උත්සුක වූයේ ඒ මාගම පුස්නේ වේ ද, ගෙහඹු කැමැති හැමදෑ දෙන පුස්නා එ හිමිහු හෙළා නො දක්නී ය.
2. පණ්ඩිත වූ සුන්‍දරස්ත්‍රී තොමෝ හිමියා ඊර්‍ෂ්‍යා වාදයෙන් රොෂ නො කෙරෙයි. හිමියාගේ ගුරුතන්හි සිටි හැම පුදයි.
3. උත්‍ථානවීර්‍ය්‍ය ඇත්තී අලස නො වූවා සඟහනලද පරිජනයා ඇත්තී හිමියාට මන වඩන නියායෙන් හැසිරෙයි. ඉපැයූ ධනය රකියි.
4. යම් ස්ත්‍රියක් මෙසේ හිමියාට වත් පුරා ඡන්‍දානුවර්තී ව පවත්නී ද, මනාපකායික නම් දෙවියෝ යම් තැනෙක ද, එතැන (නිම්මාණරතී දෙව්ලොව) ඕ උපදිනී ය.
8. 1. 5. 8.
නකුලමාතුමනාපකායික සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිරියෙහි මෘගදාය නම් වූ භේසකලා වනයෙහි වැඩ වසන සේක. එකල්හි නකුලමාතා නම් ගෘහපත්නී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාය, එළඹ ... එකත්පස්ව හුන් නකුලමාතා ගෘහපත්නියට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
නකුලමාතාවෙනි, දහම් අටෙකින් සමන්‍වාගත මාගම කාබුන් මරණින් මතු මනාපකායික නම් දෙවියන්ගේ සහභාවයට එළඹෙයි. කවර අටෙකින යත්:
1. නකුලමාතාවෙනි, මෙලොව්හි ස්ත්‍රීතොමෝ අර්‍ත්‍ථකැමති වූ හිත කැමැති වූ අනුකම්පා ඇති මාපියෝ අනුකම්පාව නිසා යම් හිමියකුට දක්වා දෙත් නම් ඔහට පළමු නැගී සිටිනී පැසුළු වැදහෝනී කුම් කෙරෙම්දැයි පුළුවුස්නී මනාප හැසිරුම් ඇත්තී ප්‍රියවචන ඇත්තී වෙයි.
2. මව ය කියා හෝ පියා ය කියා හෝ මහණ බමුණු ය කියා හෝ භර්‍තෘ හුගේ ගරුකටයුත්තාහු වෙත් නම් ඔවුන් සගන්නී ය, ගරු කරන්නී ය, බුහුමන් කරන්නී ය, පුදන්නී ය, වෙත පැමිණියවුන් අස්නෙන් හා පැනින් පුදන්නී ය.
3. භර්‍තෘහුගේ එළුලොම් වේවයි කපු වේවයි යම් ඒ අභ්‍යන්තර කර්‍මාන්ත කෙනෙක් වෙත් නම් එහි දක්‍ෂ වූවා අනලස් වූවා වෙයි, තත්‍රෝපායවීමංසායෙන් සමන්‍වාගත වූවා කිරීමට හා සංවිධානයට පොහොසත් වෙයි.
4. භර්‍තෘහුගේ දස්හු වෙත් වයි ප්‍රෙෂ්‍ය වෙත් වයි කම්කරු වෙත් වයි අභ්‍යන්තර වූ යම් ඒ ඇතුළත් ජන කෙනෙක් වෙත් නම් ඔවුන් කළදෑ කළ සේ දනියි. නො කළ දෑත් නො කළ සේ දනියි, ගිලනුන්ගේත් බලාබල දනියි, කෑයුතු දෑත් බුදියයුතු දෑත් කොටස් විසින් ඔවුනට බෙදයි.
5. භර්‍තෘ තෙමේ ධනයක් වේවයි ධාන්‍යයක් වේවයි රජත වේවයි ජාතරූප වේවයි යමක් ගෙන ඒ නම් එය ආරක්‍ෂායෙන් ගෝපනයක් සපයයි. එහිදු අධූර්‍ත වූවා නො සොර වූවා නො සොඬ වූවා අවිනාශික වූවා වෙයි.
6. බුදුන් සරණගිය දහම් සරණ ගිය සඟුන් සරණ ගිය උවැසි වෙයි.
7. පණිවායෙන් වැළකියා ... මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියා සිල්වත් වෙයි.
8. ත්‍යාග වත් වෙයි: මුක්තත්‍යාග වූවා දෙවුඅත්ඇත්තී දීමෙහි ඇලුනී යාචනයට යෝග්‍ය වූවා දානසංවිභාගයෙහි ඇලුනී පහ වු මසුරුමල ඇති සිතින් යුතු ව ගිහිගෙයි වෙසෙයි.
නකුලමාතාවෙනි, මේ අට දහමින් යුත් මාගම කාබුන් මරණින් මතු මනාපකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ යයි.
1. යම් පුරුෂයෙක් හැම කල්හිම සාතත්‍යකාරී වශයෙන් වැර ඇතියේ උත්සුක වූයේ ඒ මාගම පුස්නේ වේ ද, ගෙහඹු කැමැති හැම දෑ පුස්නා ඒ හිමිහු හෙළා නො දක්නී ය.
2. පණ්ඩිත වූ සුන්‍දර ස්ත්‍රී තොමෝ හිමියා ඊර්‍ෂ්‍යාවාදයෙන් රොෂ නො කෙරෙයි. හිමියාගේ ගුරුතන්හි සිටි හැම පුදයි.
3. උත්‍ථානවීර්‍ය්‍ය ඇත්තී අලස නො වූවා සංඞ්ගෘහීත පරිජනයා ඇත්තී හිමියාට මන වඩන නියායෙන් හැසිරෙයි, ඉපයූ ධනය රකියි.
4. යම් ස්ත්‍රියක් මෙසේ සැමියාට වත් පුරා ඡන්‍දානුවර්තී ව පවත්නී ද මනාපකායික නම් දෙවියෝ යම් තැනෙක්හි ද, එතැන (නිම්මාණරතී දෙව්ලොව) ඕ උපදිනී යි.
8. 1. 5. 9.
ප්‍රථමලෝකවිජය සූත්‍රය
එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පූර්‍වාරාම නම් මුවරමාපායෙහි වැඩ වසනසේක: එකල්හි විශාඛා මිගාරමාතාවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහ ... එකත් පසෙක හුන් විසාඛා මිගාරමාතාවට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
විශාඛාවෙනි, සතර ධර්‍මයෙකින් සමන්‍වාගත වූ මාගම මෙලොව විජය පිණිස පිළිපන්නී වෙයි, අය විසින් මෙලොව ආරබ්ධ වෙයි, කවර සතරෙකින් යත්: විසාඛාවෙනි, මෙ ලොව්හි මාගම මොනොවට සංවිධාන කරනලද කර්‍මාන්ත ඇත්තී වෙයි. සගත් පිරිවර දනා ඇත්තී වෙයි භර්‍තෘහට මනාව හැසිරෙයි. ඉපැයූ දෑ රකී.
1. විසාඛාවෙනි, කෙසේ නම් මාගම මොනොවට සංවිධාන කළ කර්‍මාන්ත ඇත්තී වේ ද යත්: විසාඛාවෙනි, මොලොව්හි මාගම භර්‍තෘහුගේ එළුලොම් වේවයි කපු වේවයි යම් මේ අභ්‍යන්තර කර්‍මාන්ත කෙනෙක් වෙත් නම් එහි දක්‍ෂ වූවා අනලස් වෙයි. තත්‍රෝපාය වීමංසායෙන් සමන්‍වාගත වූවා කිරීමට හා සංවිධානයට සමත් වෙයි. විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම මොනොවට සංවිධාන කළ කර්‍මාන්ත ඇත්තී වෙයි.
2. විසාඛාවෙනි, කෙසේ නම් මාගම සඟත් පිරිවරදනා ඇත්තී වේ ද යත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම භර්‍තෘහුගේ අභ්‍යන්තර වූ දස්හු වෙත්වයි ප්‍රෙෂ්‍ය වෙත්වයි කම්කරු වෙත්වයි යම් අන්තර්‍ජන කෙනෙක් වෙත් නම් ඔවුන්ගේ කළ දෑත් කළ විසින් දනියි, නො කළ දෑත් නො කළ විසින් දනියි, ගිලනුන්ගේත් බලාබල දනියි,. ඔවුනට කෑයුතු බුදිය යුතු දෑ ද කොටස් විසින් සංවිභාග කෙරෙයි. විශාඛාවෙනි, මෙසේ මාගම සඟත් පිරිවර දනා ඇත්තී වෙයි.
3. විශාඛාවෙනි, කෙසේ නම් මාගම භර්‍තෘහට මනාපව හැසිරේ ය යත්: විසාඛාවෙනි, මොලොව්හි මාගම යමක් භර්‍තෘහට අමනාප යයි කියනලද නම් එය දිවි හෙයිනුදු නො කෙරෙයි. විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම භර්‍තෘහට මනාප ව හැසිරේ.
4. විසාඛාවෙනි, කෙසේ නම් මාගම ඉපයූ දෑ රකී ද යත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම භර්‍තෘතෙම ධනයක් වේවයි ධාන්‍යයක් වේවයි රජතයෙක් වේවයි ජාතරූපයෙක් වේවයි යම් ම දැයක් උපයා ගෙන ඒ නම් එය ආරක්‍ෂාවෙන් ගෝපනයෙන් සපයා තබයි. එහිදු අධුර්‍ත වූවා අචෞර වූවා අශෞණ්ඩ වූවා අවිනාගික වූවා වෙයි. විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම ඉපයූ දෑ රකියි. විසාඛාවෙනි, මේ සිවුදහමින් සමන්‍වාගත මාගම මෙලොව දිනුමට පිළිපන්නී වෙයි, ඇය විසින් මොලොව ඇරයූයේ වේ.
විශාඛාවෙනි, සතර ධර්‍මයෙකින් සමන්‍වාගත වූ මාගම පරලොව විජය පිණිස පිළිපන්නී වෙයි, ඇය විසින් පරලොව ආරබ්ධ වෙයි, කවර සතරෙකිනයත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම සද්ධාසම්පන්න වෙයි, සීලසම්පන්න වෙයි, චාගසම්පන්න වෙයි, පඤ්ඤාසම්පන්න වේ.
5. විසාඛාවෙනි, කෙසේ නම් මාගම සද්ධාසම්පන්න වේ ද යත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම ශ්‍රද්ධා ඇත්තී වේ ද, එ භගවත් තෙමේ මෙසේ ද මෙසේ ද අර්‍හත් ය, සම්‍යක් සම්බුද්ධ ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිදු ය, අනුත්තර පුරිසධම්මසාරථී ය, දෙව්මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් ය යි, තථාගතයන් වහන්සේගේ සර්‍වඥබෝධිය හදහා ද, විසාඛාවෙනි, මෙසේ මාගම සද්ධාසම්පන්න වෙයි.
6. විසාඛාවෙනි, මාගම කෙසේ සීලසම්පන්න වේ ද යත්: විසාඛාවෙනි, මෙ ලොව්හි මාගම ප්‍රාණඝාතයෙන් වැළැකුණී වේ ද, ... මදපමා දෙකට කරුණු වූ රහමෙර පීමෙන් වැළැකුණී වේ ද, විශාඛාවෙනි, මෙසේ වනාහි මාගම සීලසම්පන්න වෙයි.
7. විශාඛාවෙනි, කෙසේ මාගම චාගසම්පන්න වේ ද යත්: විසාඛාවෙනි, මොලොව්හි මාගම පහවූ මසුරුමල ඇති සිතින් මුක්තත්‍යාග වූවා දෙවු අත් ඇත්තී දීමෙහි ඇලුණී යාචනයට යෝග්‍ය වූවා දන් බෙදීමෙහි ඇලුණී ගිහිගෙයි වෙසේ ද, විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම චාගසම්පන්න වෙයි.
8. විශාඛාවෙනි, කෙසේ නම් මාගම පඤ්ඤාසම්පන්න වේ ද යත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම ප්‍රඥාවත් වේ ද, ... විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම පඤ්ඤාසම්පන්න වෙයි. විසාඛාවෙනි, මේ සිවුදහමින් සමන්‍වාගත මාගම පරලෝකවිජය පිණිස පිළිපන්නී වෙයි. ඇය විසින් පරලොව ආරාධනා කරන ලද්දේ වේ ය යි.
1. ස්ත්‍රියක් මොනොවට සංවිධානය කරනලද කර්‍මාන්ත ඇත්තී, මොනොවට සගත් පිරිවර ජනයා ඇත්තී භර්‍තෘහුගේ මනාපයට අනුව හැසිරෙයි ද, සපයන ලද ධනය රකීයි ද,
2. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් සමන්‍වාගත වූවා යදියන්ගේ වදන් දන්නී පහවූ මසුරුබව් ඇත්තී සාම්පරායික සුඛදායක මාර්‍ගය සතතයෙන් පිරිසුදු කෙරෙයි ද,
3. මේ අෂ්ටධර්‍මයෝ යම් ස්ත්‍රියකට වෙත් නම් ඕ දහම්හි පිහිටි සත්‍යවාදී සිල්වතියකැයි කීහු.
4. සොළසාකාර සමන්‍වාගත වූ ද අෂ්ටාඞ්ග සමන්‍වාගත වු ද එබඳු සිල්වත් ඒ උවැසිය මනාපකායික දෙව්ලොවට පැමිණේය යි.
8. 1. 5. 10.
දෙවැනිලෝකවිජය සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, සිවුදහමෙකින් යුතු මාගම මෙලොව විජය පිණිස පිළිපන්නී වෙයි. ඇය විසින් මෙලොව ආරබ්ධ වෙයි. කවර සිවුදහමෙකින යත්:
මහණෙනි, මෙ ලොව්හි මාගම මොනොවට සංවිධානය කරන ලද කර්‍මාන්ත ඇතියේ වෙයි, සගත් පිරිවර ජනයා ඇත්තේ වෙයි, භර්‍තෘහුගේ මනාපයට හැසිරෙයි. සපයනුලැබූ දෙය රකියි.
1. මහණෙනි, කෙසේ මාගම මොනොවට සංවිධානය කරනලද කර්‍මාන්ත ඇත්තී වේ ද යත්: මහණෙනි, මෙ ලොව්හි මාමග යම් ඒ භර්‍තෘහුගේ අභ්‍යන්තර කර්‍මාන්තයෝ ... මහණෙනි, මෙසේ වනාහි මාගම මොනොවට සංවිධානය කරනලද කර්‍මාන්ත ඇත්තී වෙයි.
2. මහණෙනි, කෙසේ මාගම සඟත් පරිජනයා ඇති වේ ද යත්: මහණෙනි, මෙලොව්හි මාගම යම් ඒ භර්‍තෘහුගේ අභ්‍යන්තර ජනයා ... මහණෙනි, මෙසේ වනාහි මාගම සඟත් පිරිවර ජනයා ඇත්තී වේ.
3. මහණෙනි, කෙසේ මාගම භර්‍තෘහුහට මනාප සේ හැසිරේ ද යත්: මහණෙනි, මෙලෙව්හි මාගම භර්‍තෘහුට අමනාප සඞ්ඛ්‍යාත යමක් වේ ද, එය ජීවිත හේතුයෙනුදු නො ඉක්මවයි. මහණෙනි, මෙසේ වනාහි මාගම භර්‍තෘහුහට මනාප සේ හැසිරෙයි.
4. මහණෙනි, කෙසේ මාගම සපයන ලද්ද අනුරක්‍ෂණය කෙරේ ද යත්: මහණෙනි, මෙලොව්හි මාගම සියහිමි යමක් ගෙන ඒ නම් .. මහණෙනි, මෙසේ වනාහි මාගම සපයා ගෙන එන ලද්ද අනුරක්‍ෂණය කෙරෙයි. මහණෙනි, මේ සිවුදහමින් සමන්‍වාගත මාගම මෙලොව විජය පිණිස පිළිපන්නී වෙයි. ඇය විසින් මෙලොව ද ආරබ්ධ වෙයි.
මහණෙනි, සිවුදහමෙකින් සමන්‍වාගත මාගම පරලෝක විජය පිණිස පිළිපන්නී වෙයි. ඇය විසින් පරලොව ආරබ්ධ වූයේ වෙයි. කවර සිවු දහමෙකින යත්:
මහණෙනි, මෙ ලොව්හි මාගම සද්ධාසම්පන්න වෙයි, සීලසම්පන්න වෙයි, චාගසම්පන්න වෙයි, පඤ්ඤාසම්පන්න වෙයි.
5. මහණෙනි, කෙසේ මාගම සද්ධාසම්පන්න වේ ද යත්: මහණෙනි, මෙ ලොව්හි මාගම සද්ධා ඇත්තී වෙයි ... මහණෙනි, මෙසේ මාගම සද්ධාසම්පන්න වෙයි.
6. මහණෙනි, කෙසේ මාගම සීලසම්පන්න වේ ද යත්: මහණෙනි, මෙලොව්හි මාගම ප්‍රාණඝාතයෙන් වැළැකුණී වෙයි ... මද පමා දෙකට කරුණු වූ රහමෙර පීමෙන් වැළැකුණී වෙයි. මහණෙනි, මෙසේ මාගම සීලසම්පන්න වෙයි.
7. මහණෙනි, කෙසේ මාගම චාගසම්පන්න වේ ද යත්: මහණෙනි, මෙලොව්හි මාගම පහවූ මසුරුමලින් යුත් සිතින් ... ගිහිගෙයි වෙසෙයි. මහණෙනි, මෙසේ මාගම ත්‍යාගසම්පන්න වෙයි.
8. මහණෙනි, කෙසේ නම් මාගම ප්‍රඥාසම්පන්න වේ ද යත්: මහණෙනි, මෙ ලොව්හි මාගම ප්‍රඥාවත් වෙයි ... මහණෙනි, මෙසේ වනාහි මාගම ප්‍රඥාසම්පන්න වේ.
මහණෙනි, මේ සිවුදහමින් සමන්‍වාගත මාගම පරලෝක විජය පිණිස පිළිපන්නේ වෙයි. ඇය විසින් පරලොව ඇරයූවා වේ යයි.
1. මොනොවට සංවිධාන කරනලද කර්‍මාන්ත ඇත්තී මොනොවට සගත් පිරිවරජනයා ඇත්තී භර්‍තෘහුගේ මනාපයට අනුව හැසිරෙයි, සපයනලද ධනය රකියි.
2. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් සමන්‍විත වූවා යදියන්ගේ වදන් දන්නී පහවූ මසුරුබව් ඇත්තී සාම්පරායික සුඛදායක මාර්‍ගය සතතයෙන් පිරිසුදු කෙරෙයි.
3. මේ අෂ්ටධර්‍මයෝ යම් ස්ත්‍රියකට වෙත් නම් ඕ දහම්හි පිහිටි සත්‍යවාදී සිල්වතියකැයි කීහු.
4. සොළොසාකාර සමන්‍වාගත වූ ද අට්ඨඞ්ගසමන්‍වාගත වූ ද එබඳු සිල්වත් ඒ උවැසිය මනාපකායික දෙව්ලොව උපදී යයි.
පස් වැනි උපෝසථ වර්‍ග යි.
එහි උද්දානය:
සඞ්ඛිත්ත (අට්ඨඞ්ගුපෝසථ) සූත්‍රය, විත්‍ථක අට්ඨඞ්ගුපෝසථ සූත්‍ර ය, විසාඛූපෝසථ සූත්‍රය, වාසෙට්ඨ උපෝසථ සූත්‍රය, බොජ්ඣූපෝසථ සූත්‍රය, අනුරුද්ධ මනාපකායික සූත්‍ර ය, විසාඛා මනාපකායික සූත්‍ර ය, නකුලමාතුමනාපකායික සූත්‍ර ය, ලෝකවිජය සූත්‍ර දෙක දැයි මෙහි සූත්‍ර දශයෙකි.
ප්‍රථම පණ්ණාසක යි.
2. දෙවන පණ්ණාසකය
6. ගෝතමී වර්‍ගය
8. 2. 6. 1.
ගෝතමී සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවත්‍ථු සමීපයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි මහාපජාපතීගෝතමී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාය, එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියා. එකත්පසෙක සිට ගත් මහාපජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළා ය:
වහන්ස, මාගම තථාගත ප්‍රවිදිත වූ ධර්‍මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැවැයි.
ගෞතමිය, කම් නැත. තථාගත ප්‍රවිදිත වූ ධර්‍මවිනයෙහි ගිහි ගෙන් නික්ම මාගමගේ අනගාරිය පැවිද්ද තොපට රිසි නො වේව යි.
දෙවන වටත් මහාප්‍රජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළා ය: වහන්ස, තථාගත ප්‍රවිදිත වූ ධර්‍මවිනයෙහි මාගම ගිහිගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත පැවිද්ද ලබන්නේ නම් මැනැවැ යි.
ගෞතමිය, කම් නැත. තථාගත ප්‍රවිදිත වූ ධර්‍ම විනයෙහි ගිහි ගෙන් නික්ම මාගම්හුගේ අනගාරිය පැවිද්ද තොපට රිසි නො වේවා යි.
තෙවන වටත් මහාපජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළා ය: වහන්ස, මාගම තථාගත ප්‍රවිදිත ධර්‍මවිනයෙහි අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැවැයි.
ගෝතමිය, කම් නැත. තථාගත ප්‍රවිදිත වූ ධර්‍මවිනයෙහි මාගමගේ අනගාරිය පැවිද්ද රිසි නො වේව යි.
ඉක්බිති මහාප්‍රජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේ මාගමට තථාගත ප්‍රවිදිත ධර්‍මවිනයෙහි අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේකැ යි දුක් ඇත්තී නො සතුටු සිතැත්තී කඳුළු පිරි මුහුණැත්තී හඬන්නී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට බැහැර ගියා ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කපිලවත්‍ථුවෙහි කැමති තාක් කල් වැස වේසාලිය බලා චාරිකාවට පිටත්ව වැඩි සේක. අනුපිළිවෙළින් සැරිසරන සේක් වෛශාලියට වැදගත් සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වේසාලියෙහි මහාවනයෙහි වූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක.
එකල්හි මහාපජාපතී ගෝතමී කෙස් බහවා කසාවත් හැඳ බොහෝ සැහැදුන් හා සමග වේසාලිය බලා පිටත් වූ, අනුපිළිවෙළින් වේසාලියෙහි මහාවනයෙහි කූටාගාරශාලාවට එළඹියා ය.
ඉක්බිති මහාපජාපතී ගෝතමී ඉදිමුණු පයින් රජස් වැකි සිරුරින් යුතුව දුක් ඇත්තී දොම්නස් ඇත්තී කඳුළු පිරි මුහුණැත්තී හඬන්නී බිහි දොර කොටුවෙහි සිටියා ය. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ඉදිමුණු පයින් රජස් වැකි සිරුරින් දුක් ඇති දොම්නසින් යුත් කඳුළු පිරි මුහුණැතිව හඬනා බිහි දොර කොටුවෙහි සිටි මහා ප්‍රජාපතී ගෝතමිය දුටහ. දැක මහාපජාපතී ගෝතමියට තෙල කරුණ කීහ:
ගෝතමිය, කවර හෙයින් තෙපි ඉදිමුණු පයින් හා රජස් වැකි සිරුරින් යුක්ත වූවා දුක් ඇත්තී දොම්නස් ඇත්තී කඳුළු පිරි මුහුණැත්තී හඬන්නී බිහිදොර කොටුවෙහි සිටිය වු ද?
වහන්ස ආනන්‍දයෙනි, එසේ මැයි; භාග්‍යවතුන් වහන්සේ තථාගත ප්‍රවිදිත වු ශාසනයෙහි මාගම්ට ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේකැ යි.
ගෞතමිය, එසේ වී නම් තථාගත ප්‍රවිදිත ධර්‍මවිනයෙහි මාගමක්හට ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද භගවතුන් අතින් මම් යම් තාක් යදිම් ද, ඒතාක් මෙහි ම වෙව.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගමට තථාගත ප්‍රවිදිත ශාසනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේකැයි තෙල මහාපජාපතී ගෝතමී තොමෝ ඉදිමුණු පයින් රජස් වැකි සිරුරින් යුතුව දුක් ඇත්තී දොම්නස් ඇත්තී කදුළුපිරි මුහුණැත්තී හඬන්නී බිහිදොර කොටුවෙහි සිටියා ය.
වහන්ස, මාගම තථාගතප්‍රවිදිත ශාසනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබනු නම් මැනැවි.”
ආනන්‍දය, කම් නැත. මාගමට තථාගතප්‍රවිදිත ශාසනයෙහි ගිහි ගෙන් නික්ම අනගාරිය පැවිද්ද තට රිසි නො වේව යි.
දෙවනු වටදු ... තෙවන වටදු ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: “වහන්ස, මාගම තථාගතයන් වහන්සේ විසින් පහදා ප්‍රකාශ කරන ලද ධර්‍මවිනයෙහි (ශාසනයෙහි) ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැවි” යි.
ආනන්‍දය, කම් නැත; මාගමට තථාගතප්‍රවිදිත ධර්‍මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද තට නහමක් රුස්නේව යි.
එසඳ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට තෙල සිත විය: භාග්‍යවතුන් වහන්සේ මාගමහට තථාගතප්‍රවිදිත ධර්‍මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද නො අනුදන්නා සේක. මම් අන් අයුරෙකිනුදු තථාගත ප්‍රවිදිත ධර්‍මවිනයෙහි මාගමහට ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද බුදුන් යදනෙම් මනා මැනු.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ. වහන්ස, මාගම තථාගතප්‍රවිදිත ධර්‍මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්දට පැමිණ සෝවත්පල හෝ සෙදගැමි පල හෝ අනගැමිපල හෝ රහත්පල හෝ පසක් කරන්නට භව්‍ය වේ දැයි?
ආනන්‍දය, මාගම තථාගතප්‍රවිදිත ධර්‍මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්දට පැමිණ සෝවත්පල හෝ සෙදගැමි පල හෝ අනගැමි පල හෝ රහත්පල හා පසක් කරන්නට භව්‍ය වෙයි.
ඉදින් වහන්ස, මාගම තථාගතප්‍රවිදිත ධර්‍මවිනයෙහි ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණ සෝවත්පල හා ... රහත්පල හා පසක් කරන්නට භව්‍ය වේ නම්, වහන්ස, මහාප්‍රජාපතී ගෝතමී භගවත්නට බොහෝ වහල් වුව, සුළුමවු ය, අත් පා වැඩූ ය, පෝෂණය කළා ය. මෑණියන් කලුරිය කරත් ම භගවත්නට කිරි පෙවූ ය.
වහන්ස, මාගම තථාගතප්‍රවිදිත ධර්‍මවිනයෙහි අනගාරිය පැවිද්ද ලබන්නේ නම් මැනැව.