Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 11701-11800 න් 15980

තෙවැනි ගෘහපතිවර්‍ගය යි.
එහි උද්දානය:
උග්ග සූත්‍ර දෙක ය, හත්‍ථක සූත්‍ර දෙක ය, මහානාම සූත්‍ර ය, ජීවක සූත්‍රය, බල සූත්‍ර දෙක ය, අක්ඛණ සූත්‍රය, අනුරුද්ධ සූත්‍රය යි සූත්‍ර දසයෙකි.
4. දාන වර්‍ගය
8. 1. 4. 1.
දාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ දන් අටෙකි. කවර අටෙක් ද යත්:
වෙත පැමිණ දන් දෙයි. බියෙන් දන් දෙයි. මට දුන්නේ යි දන් දෙයි. මට දෙන්නේ යි දන් දෙයි. දීම මැනැවැයි යි දන් දෙයි. මම පිසමි, මොහු නො පිසත්, පිසන්නෙම් නොපිසන්නවුන්හට දන් නොදෙන්නට නුසුදුස්සෙමි යි දන් දෙයි. මේ දානය දෙන මාගේ කළණකිත්හඬ උස්ව නැඟේ යි දන් දෙයි. (ශමථවිදර්‍ශනා) චිත්තයාගේ අලඞ්කාර පිණිසත් පිරිවර පිණිසත් දන් දේ.
8. 1. 4. 2.
ද්විතීයදාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
ශ්‍රද්ධායෙන් දීම ය, ලජ්ජායෙන් දීම ය, නිර්දෝෂ දීම ය, යන මේ ධර්‍මයෝ සත්පුරුෂයන් විසින් අනුගමනය කරන ලදහ. තෙල දෙව්ලොට මඟයයි කියත්, මේ ධර්‍මයන්ගෙන් දෙව්ලොවට පැමිණෙත්.
8. 1. 4. 3.
දානවත්‍ථු සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ දානවස්තූහු අටෙකි, කවර අටෙක් ද යත්:
ඡන්‍දයෙන් දන් දෙයි. ද්වේෂයෙන් දන් දෙයි. මෝහයෙන් දන් දෙයි. ගැරහීම් බියෙන් දන් දෙයි. පියමුතුන් විසින් දුන්විරූ ය කළවිරූ ය පැරණි කුලවංශය පිරිහෙළන්නට නො සුදුස්සෙමියි දන් දෙයි. මම මේ දන් දී කාබුන් මරණින් මතු මනාගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපදින්නෙමි යි දන් දෙයි. මේ දන්දෙන මාගේ සිත පහදියි අත්තමනතා සඞ්ඛ්‍යාත සොම්නස උපදී යයි දන්දෙයි. සිතෙහි අලඞ්කාරය හා චිත්තපරිෂ්කාරය පිණිස දන් දෙයි. මහණෙනි, මේ වනාහි දානවස්තු අටයි.
8. 1. 4. 4.
ඛෙත්තූපම සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, අටඟෙකින් යුත් කෙතෙහි වපුළ බිජු මහත්ඵල නො වේ. මහත් ආස්වාද ඇත්තේ (මධුර) නොවේ. නො වැඩෙන්නේ යි. කෙසේ අටඟින් යුත් කෙතෙහි ද යත්:
මහණෙනි, මෙලොවැ කෙතක් වළගොඩැලි ඇත්තේ ද වෙයි. අතළගල් කුඩාගල් හා බොරළු ඇත්තේ ද වෙයි. කරමැටි ඇත්තේ ද වෙයි. නො ද ගැඹුරට සාන ලද වෙයි. (ගලාඑන) දිය මං නැත්තේ ද වෙයි. (ගලායන) දියමං ඇත්තේ ද නො වෙයි. (කුදුමහත්) දිය ඇලි ඇත්තේ ද නොවෙ යි. කෙත්සීමා (මියර) සහිත වූයේ ද නො වේ. මහණෙනි, මෙසේ අටඟින් යුත් කෙතෙහි වපුළ බිජු මහත්ඵල නො වෙයි, මධුර නො වේ. නො වැඩෙන්නේ යී.
මහණෙනි, එසෙයින් ම අටඟින් යුත් මහණබමුණන් කෙරෙහි දුන් දන් මහත් ඵල නො වෙයි. මහානිසංස නො වෙයි. මහත් ශෝභා ඇත්තේ නො වෙයි. මහත් පැතිරීම් ඇත්තේ නො වේ. කෙසේ අටඟින් යුත් මහණබමුණන් කෙරෙහි ද යත්:
මහණෙනි, මෙලොවැ මහණබමුණෝ මිථ්‍යාදෘෂ්ටිකයෝ වෙති, මිථ්‍යාසඞ්කල්ප ඇත්තෝ වෙති, මිථ්‍යාවචන ඇත්තෝ වෙති, මිථ්‍යාකර්‍මාන්ත ඇත්තෝ වෙති, මිථ්‍යාආජීව ඇත්තෝ වෙති, මිථ්‍යාව්‍යායාම ඇත්තෝ වෙති, මිථ්‍යාස්මෘති ඇත්තෝ වෙති, මිථ්‍යාසමාධි ඇත්තෝ වෙත්. මහණෙනි, මෙසේ අටඟින් යුත් මහණබමුණන් කෙරෙහි දුන් දන් මහත්ඵල නො වෙයි. මහානිසංස නො වෙයි. මහාද්‍යුතික නො වෙයි. මහත් පැතිරීම් ඇත්තේ නො වේ.
මහණෙනි, අටඟෙකින් යුත් කෙතෙහි වපුළ බිජු මහත්ඵල ඇත්තේ වේ. මහත් ආස්වාද ඇත්තේ (මධුර) වේ. වැඩෙන්නේ ය, කෙසේ අටඟෙකින් යුත් කෙතෙහි ද යත්:
මහණෙනි, මෙ ලොවැ කෙතක් වළගොඩැලි නැත්තේ ද වෙයි. ගල් බොරළු නැත්තේ ද වෙයි. කරමැටි නැත්තේ ද වෙයි. ගැඹුරට සානලද ද වෙයි, (ගලාඑන) දිය මං ඇත්තේ ද වෙයි. (ගලායන) දියමං ඇත්තේ ද වෙයි. (කුදුමහත්) දිය ඇලි ඇත්තේ ද වෙයි. කෙත් සීමා (මියර) සහිත ද වෙයි. මහණෙනි, මෙසේ අටඟෙකින් යුත් කෙතෙහි වපුළ බීජ මහත්ඵල ඇත්තේ වෙයි. මධුර වෙයි. වැඩෙන්නේ යි.
මහණෙනි, එ පරිද්දෙන් ම අටඟෙකින් යුත් මහණබමුණන් කෙරෙහි දුන් දන් මහත්ඵල වේ. මහත් අනුසස් ඇත්තේ වේ. මහාද්‍යුතික වේ. මහාපැතිරීම් ඇත්තේ වේ. කෙසේ අටඟෙකින් යුත් මහණබමුණන් කෙරෙහි ද යත්: මහණෙනි, මෙලොව මහණබමුණෝ සම්‍යග්දෘෂ්ටිකයෝ වෙති. සම්‍යක්සංකල්ප ඇත්තෝ වෙති. සම්‍යක් වචන ඇත්තෝ වෙති. සම්‍යක් කර්‍මාන්ත ඇත්තෝ වෙති. සම්‍යක් ආජීව ඇත්තෝ වෙති. සම්‍යග්ව්‍යායාම ඇත්තෝ වෙති. සම්‍යක් ස්මෘති ඇත්තෝ වෙති. සම්‍යක් සමාධි ඇත්තෝ වෙත්. මහණෙනි, මෙසේ අටඟෙකින් යුත් මහණ බමුණන් කෙරෙහි දුන් දන් මහත්ඵලවෙයි. මහත් අනුසස් ඇත්තේ වෙයි, මහාද්‍යුතික වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි.
1. පිරිපුන් සම්පත් ඇති කෙතෙහි වපුළ බීජසම්පත්ති තොමෝ වැසි මැනවින් වස්නා කල්හි යම්සේ යහපත් ධාන්‍ය සම්පත් ඇත්තී වේ ද,
2. (ඕ) පණුඋවදුරු නැති බව නමැති සම්පත් ඇත්තී වෙයි. වෘද්ධිසම්පත් ඇත්තී වෙයි. වෛපුල්‍ය සම්පත් ඇත්තී වෙයි. ඒකාන්තයෙන් ඵලසම්පත් ඇත්තී වෙයි.
3. එසේම පිරිපුන් සිල් ඇත්තවුන් කෙරෙහි දෙන ලද භෝජන සම්පත් තොමෝ කුශලසම්පත් එළවයි. ඔහු විසින් කරන ලද ඒ කර්‍මය යම්හෙයකින් පිරිපුන් වේ ද,
4. එහෙයින් මෙලොව සම්පත් කැමැත්තේ පිරිපුන් පුඟුලෙක් වේවා, පිරිපුන් පැණැත්තන් සේවනය කෙරේවා. සම්පත්හු මෙසේ සමෘද්ධ වෙත්.
5. විද්‍යාවෙන් හා චරණධර්‍මයෙන් යුක්තවූයේ චිත්තසම්පත් (නොවකල්බව) ලැබ කර්‍මසම්පත් (පරිපූර්‍ණ කර්‍ම) කෙරෙයි. (පිරිපුන්) අර්‍ත්‍ථසම්පත් ද ලබයි.
6. (විදර්‍ශනා) දෘෂ්ටි සම්පත්තියට පැමිණ තත්වූ පරිදි ලොව දැන (සෝතාපත්ති) මාර්‍ගසම්පත්තියට පැමිණ පිරිපුන් සිත් ඇත්තේ අර්‍හත්ත්‍වයට යෙයි.
7. මුළු කෙලෙස්මල කම්පිත කොට හැර නිවන් සැපතට පැමිණ සියලු දුකින් මිදෙයි. ඒ විමුක්ති තොමෝ සර්‍වසම්පත් නම් වෙයි.
8. 1. 4. 5.
දානූපපත්ති සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ දානෝපප්‍රාප්තීහු (දානය නිසා වන ඉපදීම්) අට දෙනෙකි. කවර අටෙක් ද යත්:
1. මහණෙනි, මෙලොව එකෙක් මහණකුට හෝ බමුණකුට අහර පැන් වත් යන් මල්ගඳවිලෙවුන් යහන් නිවෙස් පහන් උවාරණ දන් දෙයි. හෙතෙමේ යමක් දේද, එය නැවත පතයි. හෙතෙමේ පස්කම් ගුණයෙන් ඇලුණු, යුක්ත වූ ඉඳුරන් පිනවනු ලබන ක්‍ෂත්‍රිය මහාසාරයන් හෝ බ්‍රාහ්මණමහාසාරයන් හෝ ගෘහපති මහාසාරයන් හෝ දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම කායයාගේ බිඳීමෙන් මරණින් මතු ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණමහාසාරයන්ගේ හෝ ගෘහපති මහාසාරයන්ගේ හෝ සහවාසයට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙක. හේ ඒ සිත තබයි, ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. හීනවූ පස්කම්ගුණයෙහි යෙදුණු ඔහුගේ ඒ සිත මත්තෙහි (මඟපල පිණිස) නොවඩනා ලද්දේ එහි උපත පිණිස පවතී. කාබුන් මරණින් මතු ක්‍ෂත්‍රිය මහාසාරයන් ගේ හෝ බ්‍රාහ්මණමහාසාරයන්ගේ හෝ ගෘහපතිමහාසාරයන්ගේ හෝ සහවාසයට පැමිණේ. එද වනාහි සිල්වත්හට කියමි. දුශ්ශීලහට නො කියමි. මහණෙනි, සිල්වත්හුගේ චිත්තප්‍රණිධිය (සිතපිහිටුවීම) පිරිසුදු බැවින් සමෘද්ධ වෙයි.
2. මහණෙනි, මේ ලෝකයෙහි එකෙක් මහණකුට හෝ බමුණකුට හෝ ආහාර පැන් වත් යන් මල්ගඳවිලෙවුන් යහන් නිවෙස් පහන් උවාරණ දන්දෙයි. හෙතෙමේ යමක් දේ ද, එය නැවත පතයි. ඔහු විසින් (මෙසේ) අසනලද්දේ වෙයි: චාතුම්මහාරාජික දෙව්ලොව දෙවියෝ දීර්‍ඝායුෂකයෝ ය, වර්‍ණවත්හු ය, සැපබහුල කොට ඇත්තෝ ය. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම් කාබුන් මරණින් මතු සිවුමහරජයෙහි දෙවියන්ගේ සහවාසයට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැයි. හේ ඒ සිත තබයි, ඒ සිත ඉටයි, ඒ සිත වඩයි. ඔහුගේ ඒ සිත හීන වූ පස්කම් ගුණයෙහි යෙදුණේ මත්තෙහි නොවඩනා ලද්දේ එහි උපත පිණිස පවතී. කාබුන් මරණින් මත්තෙහි සිවුමහරජයෙහි දෙවියන්ගේ සහවාසයට පැමිණේ. එද වනාහි සිල්වත්හට කියමි, දුශ්ශීලහට නො කියමි. මහණෙනි, සිල්වත්හුගේ චිත්තප්‍රණිධිය පිරිසුදු බැවින් සමෘද්ධ වෙයි.
3-7 මහණෙනි, මේ ලෝකයෙහි එකෙක් මහණකුට හෝ බමුණකුට හෝ අහර පැන් වත් යන් මල්ගඳවිලෙවුන් යහන් නිවෙස් පහන් දන් දෙයි. යමක් දේද, එය නැවත පතයි, ඔහු විසින් මෙසේ අසන ලද්දේ වෙයි: තාවතිංස දෙවියෝ ... යාම දෙවියෝ ... තුසිත දෙවියෝ ... නිම්මාරණරතී දෙවියෝ ... පරනිම්මිතවසවත්තී දෙවියෝ දීර්‍ඝායුෂ්කයෝ ය. වර්‍ණවත්හු ය, සැප බහුල කොට ඇත්තෝ යි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම කාබුන් මරණින් මතු පරනිර්මිතවශවර්තී දෙවියන්ගේ සමවාසයට යන්නෙම් නම් ඉතා යෙහෙකි. හේ ඒ සිත තබයි. ඒ සිත ඉටයි. ඒ සිත වඩයි. හීන වූ පස්කම් ගුණයෙහි යෙදුණු ඔහුගේ ඒ සිත මත්තෙහි නො වඩනා ලද්දේ එහි උපත පිණිස පවතී. කාබුන් මරණින් මතු පරනිර්මිතවශවර්තී දෙවියන්ගේ සහවාසයට පැමිණේ. එද සිල්වත්හට කියමි. දුශ්ශීලහට නො කියමි. මහණෙනි, සිල්වත්හුගේ චිත්තප්‍රණිධිය සමෘද්ධ වේ. පිරිසුදු බැවිනි.
8. මහණෙනි, මේ ලෝකයෙහි එකෙක් මහණකුට හෝ බමුණකුට හෝ අහර පැන් වත් යන් මල්ගඳවිලෙවුන් යහන් නිවෙස් පහන් උවාරණ දන් දෙයි. හේ යමක් දේ නම් එය නැවත පතයි. බ්‍රහ්මකායික දෙවියෝ දීර්‍ඝායුෂකයෝ ය. වර්‍ණවත්හු ය. සැපබහුල කොට ඇත්තෝ යි, ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මම කාබුන් මරණින් මතු බ්‍රහ්මකායික දෙවියන්ගේ සහවාසයට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැ යි, හෙතෙමේ ඒ සිත තබයි. ඒ සිත ඉටයි. ඒ සිත වඩයි. හීනවූ පස්කම්ගුණයෙහි යෙදුණු ඔහුගේ ඒ සිත මත්තෙහි නො වඩනා ලද්දේ එහි උපත පිණිස පවතී. කාබුන් මරණින් මතු බ්‍රහ්මකායික දෙවියන්ගේ සහවාසයට පැමිණේ. එද සිල්වත්හට කියමි. දුශ්ශීලහට නො කියමි. වීතරාගයාහට කියමි. සරාගයාහට නො කියමි. මහණෙනි, සිල්වත්හුගේ චිත්තප්‍රණිධිය සමෘද්ධ වේ. පහවූ රාගය ඇති බැවිනි. මහණෙනි, මේ දානුපපත්ති අටයි.
8. 1. 4. 6.
පුඤ්ඤකිරියවත්‍ථු සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි,මේ පින්කිරියවත් තුනෙකි, කවර තුනෙක යත්:
දානමය පුණ්‍යක්‍රියාවස්තු ය, ශීලමය පුණ්‍යක්‍රියාවස්තු ය, භාවනාමය පුණ්‍යක්‍රියාවස්තු යි.
1. මහණෙනි, මෙ ලොව එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව මඳ කොට කරන ලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව මඳ කොට කරන ලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු (පිළිසඳ විසින්) මිනිසුන් අතර දුර්භාග්‍යයට පැමිණෙයි.
2. මහණෙනි, මෙ ලොවැ එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව පමණින් කරන වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව පමණින් කරන ලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු පිළිසඳ විසින් මිනිසුන් අතර සෞභාග්‍යයට පැමිණෙයි.
3. මහණෙනි, මෙ ලොවැ එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍ර කොට කරනලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍ර කොට කරනලද වෙයි. භාවනාමය පුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි, එහි සිවුමහරජවරු දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, දිව්‍ය වූ ආයුෂයෙන්, දිව්‍ය වූ වර්‍ණයෙන්, දිව්‍ය වූ සුඛයෙන්, දිව්‍ය වූ යශසින්, දිව්‍ය වූ ආධිපත්‍යයෙන්, දිව්‍ය වූ රූපයෙන්, දිව්‍ය වු ශබ්දයෙන්, දිව්‍ය වූ ගන්‍ධයෙන්, දිව්‍ය වූ රසයෙන්, දිව්‍ය වූ පහසිනැයි, දස කරුණෙකින් චාතුර්මහාරාජික දෙවියන් මැඩගෙන සිටුනාහ.
4. මහණෙනි, මෙ ලොවැ එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍ර ව කරනලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍ර ව කරනලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු තාවතිංස දෙවියන් අතර සහභාවයට යෙයි. මහණෙනි, එහි ශක්‍රදේවේන්‍ද්‍ර තෙමේ දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට තාවතිංසදෙවියන් දිව්‍ය වූ ආයුෂයෙන් -පෙ- දිව්‍ය වූ පහසිනැයි දස කරුණෙකින් මැඩගෙන සිටුනේ ය.
5. මහණෙනි, මෙලොව්හි එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු යාමදෙවියන්ගේ සහභාවයට පැමිණේ. මහණෙනි, සුයාමදේවපුත්‍රතෙමේ දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට ශීලමය පුණ්‍යක්‍රියා වස්තුව අතිරේක ව කොට දිව්‍ය වූ ආයුෂයෙන් ... දිව්‍ය වූ පහසිනැයි දසකරුණෙකින් යාමදෙවියන් මැඩගෙන සිටුනේ ය.
6. මහණෙනි, මෙ ලොව්හි එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි, භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු තුසිතදෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි, එහි සන්තුෂිත දේවපුත්‍රතෙමේ දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට දිව්‍ය වූ ආයුෂයෙන් ... දිව්‍ය වූ පහසිනැ යි දසකරුණෙකින් තුසිත දෙවියන් මැඩගෙන සිටුනේ ය.
7. මහණෙනි, මෙ ලොව්හි එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු නිර්‍මාණරති දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. මහණෙනි, එහි සුනිර්මිත දේවපුත්‍ර තෙමේ දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට දිව්‍යවූ ආයුෂයෙන් ... දිව්‍ය වු පහසිනැයි දසකරුණෙකින් නිර්‍මාණරතී දෙවියන් මැඩගෙන සිටුනේ ය.
8. මහණෙනි, මෙ ලොව්හි එකකු විසින් දානමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අධිමාත්‍රයෙන් කරන ලද වෙයි. භාවනාමයපුණ්‍යක්‍රියාවස්තුව නො නිපැයෙයි. හේ කාබුන් මරණින් මතු පරනිම්මිත වසවත්ති දෙවියන්ගේ සහභාවයට පැමිණේ. මහණෙනි, වශවර්ති දේවපුත්‍ර තෙම දානමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේකව කොට, ශීලමයපුණ්‍යක්‍රියාවස්තුව අතිරේක ව කොට, දිව්‍ය වූ ආයුෂයෙන්, දිව්‍ය වූ වර්‍ණයෙන්, දිව්‍ය වූ සුඛයෙන්, දිව්‍ය වූ යශසින්, දිව්‍ය වූ ආධිපත්‍යයෙන්, දිව්‍ය වූ රූපයෙන්, දිව්‍ය වූ ශබ්දයෙන්, දිව්‍ය වූ ගන්‍ධයෙන්, දිව්‍ය වූ රසයෙන්, දිව්‍ය වූ පහසිනැයි දස කරුණෙකින් පරනිර්මිතවශවර්තී දෙවියන් මැඩගෙන සිටුනේ ය.
මහණෙනි, මේ තුන් පින්කිරියවත්හු වෙත්.
8. 1. 4. 7.
සප්පුරිසදාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ සත්පුරුෂදාන අටෙකි. කවරඅටෙක යත්:
පිරිසුදු දැය දෙයි. ප්‍රණීත දැය දෙයි. සුදුසු කල්හි දෙයි. කැපවූවක් දෙයි. පරීක්‍ෂාකොට දෙයි. නිරතුරු දෙයි. දෙනුයේ සිත පහන් කෙරෙයි. දී තුටුසිත් ඇතියේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂ දාන අටයි.
1. මනා ක්‍ෂේත්‍ර වූ බ්‍රහ්මාචාරීන් කෙරෙහි පිවිතුරු වූ පිණී වූ සුදුසු කල්හි වූ කැප වූ පානභෝජන සඞ්ඛ්‍යාත දානය නිතර දෙන්නේ ය.
2. බොහෝ ආමිස දී නො ද විපිළිසරවන්නේ ය. විදර්ශීහු (ප්‍රාඥයෝ) මෙසේ දෙනලද දන් වනත්.
3. සැදැහැති ස්ථානෝත්පත්තික නුවණ ඇති පණ්ඩිත තෙමේ (මසුරුමලින්) මුත් සිතින් මෙසේ දන් දී නිදුක් සැප ඇති ලොවට පැමිණේ.
8. 1. 4. 8.
සප්පුරිස සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, සත්පුරුෂ තෙමේ කුලෙහි උපදනේ බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මවුපියනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, අඹුදරුවනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, දස්කම්කරුපුරිස්නට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මිත්‍ර අමාත්‍යනයට (සගයහළුවනට) අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, පරලොව ගියවුන්ට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, රජුට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, දෙවියනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මහණ, බමුණනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි.
මහණෙනි, යම්සේ මහාමේඝය සර්‍වසස්‍යයන් සමෘද්ධ කරනුයේ බොහෝ දෙනාට අර්‍ත්‍ථය පිණිස හිත පිණිස සුව පිණිස වේ ද, මහණෙනි, එපරිදිම සත්පුරුෂ තෙමේ කුලෙහි උපදනේ බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මවුපියනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, අඹුදරුවනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, දස් කම්කරුපුරිසනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මිත්‍රමාත්‍යනයට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, පූර්‍වප්‍රේතයනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, රජුට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, දෙවියනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි, මහණබමුණනට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි.
1. සප්‍රාඥ තෙමේ ගෙහි වසනුයේ බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස ම (වෙයි). පළමු කොට දිව රෑ දෙක්හි අනලස් වූයේ මව හා පියා හා,
2. පෙර කළ ගුණ සමරමින් සකරුණින් (ප්‍රත්‍ය පූජායෙන්) පුදන්නේ ය. අනගාරිය වූ පැවිදි බඹසරුන් පුදන්නේ ය.
3. බැසගත් සැදැහැ ඇතියේ ධර්‍මයන් දැන මෙ ලොව ප්‍රියශීලීන් පුදයි. රජුට හිත වූයේ දෙවියනට හිත වූයේ නෑයනට හා යහළුවනට හිත වූයේ වෙයි.
4. සදහම්හි සුපුහිටි හෙ හැමට හිත වූයේ වෙයි. හේ මසුරුමල මැඩ ස්වර්‍ගලෝකය බෙජෙයි.
8. 1. 4. 9.
පුඤ්ඤාභිසන්‍ද සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, කුශල ප්‍රසව කරන සුව එළවන්නා වූ මොනොවට රූපාදි අග සැප දෙන, සුඛ විපාක ඇති සගසැප පිණිස පවත්නා පුණ්‍යාභිස්‍යන්‍දයෝ (පින් ඉපදීමට හේතුවන කරුණු) අට දෙනෙක් ඉෂ්ටය පිණිස කාන්තය (ප්‍රියභාවය) පිණිස මනවඩනා පිණිස හිත පිණිස සුව පිණිස පවත්නාහ. කවර අටදෙනෙක යත්:
1. මහණෙනි, මෙ ලොව අරීසවු තෙමේ බුදුන් සරණ ගියේ වෙයි. මහණෙනි, කුශල ප්‍රසව කරන සුව එළවන, මොනවට අග්‍රරූපාදිය දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා මේ පළමුවන පුණ්‍යාභිස්‍යන්‍දය ඉෂ්ටය පිණිස කාන්තභාවය පිණිස මනවඩනා පිණිස හිත පිණිස සුව පිණිස පවත්නේ ය.
2. තවද මහණෙනි, අරීසවුතෙමේ දහම් සරණ ගියේ වෙයි. මහණෙනි, මේ ... දෙවන පුණ්‍යාභිස්‍යන්‍දය පවත්නේ ය.
3. තවද මහණෙනි, අරීසවු තෙමේ සඟුන් සරණ ගියේ වෙයි. මහණෙනි, කුශලප්‍රසවකරන, සුව එළවන, ස්වග්‍රරූපාදිය දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගයෙහි උපතට හේතු වන මේ තෙවන පුණ්‍යාභිස්‍යන්‍දය ඉෂ්ටය පිණිස කාන්තභාවය පිණිස මනවඩනු පිණිස හිත පිණිස සුව පිණිස පවත්නේ ය.
4. මහණෙනි, අග්‍ර යයි දතයුතු වූ දිගුකලක් පැවැත්තාහ යි දතයුතු වූ වංශ යයි දතයුතු වූ පැරණි වු අසඞ්කීර්‍ණ වූ (නො හළ) (පෙර බුදුරදුන් විසිනුදු) අසංකීර්‍ණ පූර්‍ව වූ මහදන් වූ මේ දන්හු පස්දෙනෙක් (දැනුදු) නො නෙරනා ලැබෙත් (අනායෙහිදු) නො නෙරනු ලබන්නාහ. නුවණැති මහණබමුණන් විසින් අනින්‍දිත වෙත්. කවර පස් දෙනෙක යත්:
මහණෙනි, මෙලොව්හි අරීසවු තෙමේ පණිවා හැර පණිවායෙන් වැළැකියේ වෙයි. මහණෙනි, පණිවායෙන් වැළැකි අරීසවු තෙමේ අපරිමාණ වූ සත්නට අභය දෙන්නේ ය. අවෛරය දෙන්නේ ය. නිදුක්බව දෙන්නේ ය. අපරිමාණ වූ සත්නට අභය දී අවෛරය නිදුක් බව දී අපරිමාණ වූ අභයට අවෛරයට, නිදුක් බවට භාගී (හිමි) වෙයි. මහණෙනි, අග්‍රයයි දතයුතු, දිගුකල්පැවැතියේ යයි දතයුතු, වංශ යයි දතයුතු පැරණි වූ අසඞ්කීර්‍ණ වූ අසඞ්කීර්‍ණ පූර්‍ව වූ නුවණැති මහණ බමුණන් විසින් නො පිළිකෙව් කළ දානය වන මහාදානය නො නෙරනා ලැබේ. නො නෙරනාලබන්නේ ය. මහණෙනි, කුශලප්‍රසව කරන, සුව එළවන, ස්වග්‍රරූපාදිය දෙන, සුඛ විපාක ඇති ස්වර්‍ගයෙහි උපතට හේතු වූ මේ සිවුවන පුණ්‍යාභිස්‍යන්‍දය ඉෂ්ට පිණිස කාන්තබාවය පිණිස මනවඩනු පිණිස, හිත පිණිස සුඛ පිණිස පවත්නේ ය.
5-8. තවද මහණෙනි, අරීසවු තෙමේ අයිනාදනින් හැර අයිනාදනින් වැළැකියේ වෙයි ... කාමයෙහි මිසහසර හැර කාමයෙහි මිසහසරින් වෙන් වූයේ වෙයි ... මුසවා හැරදමා මුසවායෙන් වැළැකියේ වෙයි ... මද ප්‍රමාදයට කරුණු වූ රහමෙර හැර මද ප්‍රමාදයට කරුණු වූ රහමෙරින් වැළැකියේ වෙයි. මහණෙනි, මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙරින් වැළැකි අරීසවු තෙමේ අපරිමාණ වූ සත්නට අභය දෙන්නේ ය, අවෛරය දෙන්නේ ය, නිදුක්බව දෙන්නේ ය. අපරිමාණ වූ සත්නට අභය දී අවෛරය දී නිදුක්බව දී අපරිමාණ වූ අභයට අවෛරයට නිදුක්බවට භාගී වෙයි.
මහණෙනි, අග්‍රයයි දත යුතු, දිගුකල් පැවතියේයයි දතයුතු, වංශ යයි දතයුතු පැරණි වු අසඞ්කීර්‍ණ වූ අසඞ්කීර්‍ණ පූර්‍ව වූ දානය වන, නුවණැති මහණබමුණන් විසින් නො පිළිකුල් කළ මේ සිවුවන මහාදානය නො නෙරනා ලැබෙයි. නො නෙරනු ලබන්නේ යි. මහණෙනි, කුශල ප්‍රසවකරන, සුව එළවන, ස්වග්‍රරූපාදිය දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගයට හේතු වන මේ අට වැනි පුණ්‍යාභිස්‍යන්‍දය ඉෂ්ටය පිණිස කාන්තභාවය පිණිස, මන වඩනා පිණිස හිත පිණිස සුව පිණිස පවත්නේ ය.
මහණෙනි, කුශල් ප්‍රසව කරන සුව එළවන, ස්වග්‍රරූපාදිය දෙන, සුඛවිපාක ඇති ස්වර්‍ගයට කරුණු වන මේ අෂ්ට පුණ්‍යාභිස්‍යන්‍දයෝ ඉටුබව පිණිස කාන්තභාවය පිණිස මන වඩනු පිණිස සුව පිණිස පවත්නාහ යි.
8. 1. 4. 10.
අපායසංවත්තනික සූත්‍රය
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, පණිවා සෙවුනා ලදුයේ වඩන ලදුයේ බහුල වශයෙන් කරන ලදුයේ නිරයෙහි උපතට කරුණු වූයේ වෙයි. තිරිසන් යොන්හි උපතට කරුණු වූයේ වෙයි. ප්‍රේතවිෂයෙහි උපතට කරුණු වූයේ වෙයි. යටතින් පණිවාහුගේ යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුගේ අල්පායුෂ්කභාවයට හේතු වූයේ වෙයි.
2. මහණෙනි, අයිනාදන් සෙවුනා ලදුයේ වඩන ලදුයේ බහුල වශයෙන් කරන ලදුයේ නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන්යොන්හි උපතට හේතු වෙයි. ප්‍රේතවිෂයෙහි උපතට හේතු වෙයි. අයිනාදන්හුගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුගේ භෝගව්‍යසනය පිණිස හේතු වූයේ වෙයි.
3. මහණෙනි, කාමයෙහි මිසහසර සෙවුනා ලදුයේ වඩන ලදුයේ බහුලීකෘත වූයේ නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන්යොන්හි උපතට හේතු වෙයි. ප්‍රේතවිෂයෙහි උපතට හේතු වෙයි. කාමමිථ්‍යාචාරයාගේ යටතින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුගේ සතුරන් සහිත වෛරයට කරුණු වූයේ වෙයි.
4. මහණෙනි, මුසාවාදය සෙවුනාලද්දේ වඩන ලද්දේ බහුලීකෘත වූයේ නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන්යොන්හි උපතට හේතු වෙයි. ප්‍රේතවිෂයෙහි උපතට හේතු වෙයි. මුසවාදයාගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුගේ අභූතයෙන් අභ්‍යාඛ්‍යානයට කරුණු වූයේ වෙයි.
5. මහණෙනි, පිසුණුබස් සෙවුනා ලද්දේ වඩනා ලද්දේ බහුල වශයෙන් කරනා ලද්දේ නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන්යොන්හි උපතට හේතු වෙයි. ප්‍රේතවිෂයෙහි උපතට හේතු වෙයි. පිසුණුවාචයාගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුට මිතුරන් සමග බිඳීමට කරුණු වූයේ වෙයි.
6. මහණෙනි, පරොස්බස් සෙවුනා ලදුයේ වඩනලදුයේ බහුලීකෘත වූයේ නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන්යොන්හි උපතට හේතු වෙයි. ප්‍රේතවිෂයෙහි උපතට හේතු වෙයි. පරුෂවචනයාගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුගේ අමනාපශබ්දයට කරුණු වූයේ වෙයි.
7. මහණෙනි, සම්ඵප්‍රලාපය සෙවුනා ලද්දේ වඩන ලද්දේ බහුලීකෘත වූයේ නිරයෙහි උපතට කරුණු වෙයි. තිරිසන්යෝනියෙහි උපතට කරුණු වෙයි, ප්‍රේතවිෂයෙහි උපතට කරුණු වෙයි, සම්ඵප්‍රලාපයාගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුගේ නො ඇදහිය හැකි වචනයට කරුණු වූයේ වෙයි.
8. මහණෙනි, රහමෙර පීම සෙවුනා ලද්දේ වඩනා ලද්දේ බහුලීකෘත වූයේ නිරයෙහි උපතට කරුණු වෙයි. තිරිසන්යොන්හි උපතට කරුණු වෙයි. ප්‍රේතවිෂයෙහි උපතට කරුණු වෙයි, සුරාමේරයපානයාගේ ලුහු විසින් යම් විපාකයෙක් වේ නම් මිනිස් වූවහුට උමතුබව පිණිස කරුණු වන්නේ යි.
සිවුවන දාන වග යි.
එහි උද්දානය:
දානසූත්‍ර දෙක ය, (දාන) වත්‍ථුසූත්‍ර ය, ඛෙත්ත සූත්‍රය, දානුපපත්ති සූත්‍රය, (පුණ්‍ය) ක්‍රියා සූත්‍රය, සප්පුරිස සූත්‍ර දෙක ය, අභිසන්‍ද සූත්‍රය, සංවත්තනික සූත්‍ර ද වේ.