2. 3. 11. 3.
3. මහණෙනි, ලොව්හි මේ පුඟුලෝ දෙදෙනෙක් දුලබ වෙති. කවර දෙදෙනෙක යත්: තෘප්ත වූයේ ද, තෘප්තියට පමුණුවන්නේ ද යන දෙදෙන වෙති. මහණෙනි, මේ පුඟුලෝ දෙදෙන ලොව්හි දුලබ වෙත් ය යි.
2. 3. 11. 4.
4. මහණෙනි, ලොව්හි මේ පුඟුලෝ දෙදෙනෙක් (දායකයා විසින්) තෘප්තිමත් කළ නො හැක්කාහු වෙති. කවර දෙදෙනෙක යත්: යමෙකුත් ලද ලද දෑ තැන්පත් කෙරේ නම්, යමෙකුත් ලද ලද දෑ වියදම් කෙරේ නම්, යන මොහු දෙදෙන ය. මහණෙනි, මේ පුඟුලෝ දෙදෙන ලොව්හි තෘප්තිමත් කළ නො හැක්කාහු වෙත් ය යි.
2. 3. 11. 5.
5. මහණෙනි, ලොව්හි මේ පුඟුලෝ දෙදෙනෙක් (දායකයා විසින්) පහසුවෙන් තර්‍පණය කළ හැක්කාහු වෙති. කවර දෙදෙනෙක යත්: යමෙකුත් ලද ලද දෑ තැන්පත් නො කෙරේ ද, යමෙකුත් ලද ලද දෑ වියදම් නො කෙරේ ද යන දෙදෙන ය. මහණෙනි, මේ පුඟුලෝ දෙදෙන වනාහි ලොව්හි තර්‍පණය කළ හැක්කාහු වෙත් ය යි.
2. 3. 11. 6.
6. මහණෙනි, රාගයාගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: සුභනිමිත්ත හා අයෝනිසෝමනසිකාරය යන දෙකයි. මහණෙනි, මොහු වනාහි රාගයාගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.
2. 3. 11. 7.
7. මහණෙනි, ද්වේෂයාගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ප්‍රතිඝනිමිත්ත හා අයෝනිසෝමනසිකාරය යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි ද්වේෂයාගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.
2. 3. 11. 8.
8. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිහුගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මෙරමාගෙන් (අසද්ධර්‍මය) ඇසීම හා නුනුවණින් මෙනෙහි කිරීම හා යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි මිථ්‍යාදෘෂ්ටිහුගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.
2. 3. 11. 9.
9. මහණෙනි, සම්‍යග්දෘෂ්ටිහුගේ ඉපදීමට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මෙරමාගෙන් සද්ධර්‍මය ඇසීම හා නුවණින් මෙනෙහි කිරීම හා යන දෙදෙන යි. මහණෙනි, මොහු වනාහි සම්‍යග්දෘෂ්ටිහුගේ ඉපදීමට ප්‍රත්‍යයයෝ දෙදෙන ය.
2. 3. 11. 10.
10. මහණෙනි, මේ ඇවැත් දෙකෙකි. කවර දෙකෙක යත්: ලුහු ඇවැත හා ගුරු ඇවැත හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ඇවැත් දෙක ය.
2. 3. 11. 11.
11. මහණෙනි, මේ ඇවැත් දෙකෙකි. කවර දෙකෙක යත්: දුළුල් ඇවැත හා නො දුළුල් ඇවැත හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ඇවැත් දෙක ය.
2. 3. 11. 12.
12. මහණෙනි, මේ ඇවැත් දෙකෙකි. කවර දෙකෙක යත්: සාවස්සෝපත්තිය හා අනවස්සොපත්තිය හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ඇවැත් දෙක ය.
එකොළොස්වන වගයි.
[12. ආයාචන වර්‍ගය]
[සැවැත්නිදාන යි]
2. 3. 12. 1.
13. මහණෙනි, සැදැහැති මහණ මෙසේ මොනොවට යදනේ සැරියුත් මුගලන් දෙදෙන යම්බඳු වෙත් නම්, එබඳු වෙම්ව යි යදනේය. (කවර හෙයින යත්:) මහණෙනි, යම් සැරියුත් මුගලන් දෙදෙනෙක් වෙත් නම්, මාගේ ශ්‍රාවක භික්‍ෂූන්ට තෙල තුලාව ය. තෙල ප්‍රමාණ ය යි.
2. 3. 12. 2.
14. මහණෙනි, සැදැහැති මෙහෙණ මෙසේ මොනොවට යදනී ඛේමා උප්පලවණ්ණා දෙනම යම්බඳු වෙත් නම්, එබඳු වෙම්ව යි යදනීය. (කවරහෙයින යත්:) මහණෙනි, ඛේමා හා උප්පලවණ්ණා හා යන දෙදෙන යම්සේ වෙත් නම්, මාගේ ශ්‍රාවිකා භික්‍ෂූණීන්ට තෙල තුලාව ය. තෙල ප්‍රමාණ ය යි.
2. 3. 12. 3.
15. මහණෙනි, සැදැහැති උපාසක මෙසේ මොනොවට යදනේ චිත්ත ගෘහපති හා හත්‍ථක ආළවක හා යම්බඳු වෙත් නම්, එබඳු වෙම්ව යි යදනේය. (කවරහෙයින යත්:) මහණෙනි, මේ චිත්ත ගෘහපති හා හත්‍ථක ආළවක තෙමේත් යම්සේ වෙත් නම් මාගේ ශ්‍රාවක උපාසකයන්ට තෙල තුලාව වේ, තෙල ප්‍රමාණය යි.
2. 3. 12. 4.
16. මහණෙනි, සැදැහැති උපාසිකාව මෙසේ මොනොවට යදනී ඛුජ්ජුත්තරාව උපාසිකාව හා වේළුකණ්ටකියා නන්‍දමාතාව හා යම්බඳු වෙත් නම්, එබඳු වෙම්ව යි යදනීය. (කවරහෙයින යත්:) මහණෙනි, ඛුජ්ජුත්තරා උපාසිකාව ද වෙළුකණ්ටකීය නන්‍දමාතාව ද යන දෙදෙනෙක් වෙත් නම් මාගේ ශ්‍රාවිකා උපාසිකාවනට තෙල තුලාව වේ. තෙල ප්‍රමාණය යි.
2. 3. 12. 5.
17. මහණෙනි, දහම් දෙකෙකින් සමන්‍වාගත වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙමේ සාරා දමන ලද ගුණ ඇති, නට ගුණ ඇති ආත්මය පරිහරණය කරයි. සදොස් වූයේ ද නුවණැත්තන් ගේ උපවාදයට යෝග්‍ය වූයේ ද වේ. බොහෝ පව් ද රැස් කරයි. කවර දෙකෙකින යත්: නොදැන නොපිවිස නුගුණ කීමට සුදුස්සාගේ ගුණ කියා නම්, නොදැන නොපිවිස ගුණ කීමට සුදුස්සාගේ අගුණ කියා නම්, මහණෙනි, මේ දහම් දෙකින් යුක්ත වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙමේ සාරා දමන ලද ගුණ ඇති, නට ගුණ ඇති ආත්මය පරිහරණය කෙරෙයි. සදොස් වූයේ ද නුවණැත්තන්ගේ උපවාදයට යෝග්‍ය වූයේ ද වේ. බොහෝ පව් ද රැස් කරණේ ය යි.
2. 3. 12. 6.
18. මහණෙනි, දහම් දෙකෙකින් සමන්‍වාගත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙමේ සාරා නො දැමූ ගුණ ඇති, නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. නිදොස් වූයේ ද නුවණැත්තන්ගේ උපවාදයට යෝග්‍ය නුවූයේ ද වේ. බොහෝ පින් ද රැස් කරණේය. කවර දෙකෙකින යත්: දැන පිවිස නුගුණ කිය යුත්තාගේ නුගුණ කියා නම්, දැන පිවිස ගුණ කීමට සුදුස්සාගේ ගුණ කියා නම්, මහණෙනි, මේ දහම් දෙකින් යුක්ත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙම සාරා නො දමන ලද ගුණ ඇති, නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කෙරෙයි. නිදොස් වූයේ ද නුවණැත්තන්ගේ උපවාදයට යෝග්‍ය නුවූයේ ද වේ. බොහෝ පින් ද රැස් කරණේ ය යි.
2. 3. 12. 7.
19. මහණෙනි, දහම් දෙකෙකින් සමන්‍වාගත වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙමේ කනන ලද ගුණ ඇති, නට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. සදොස් වූයේ ද නුවණැත්තන්ගේ උපවාදයට යෝග්‍ය වූයේ ද වේ. බොහෝ පව් ද රැස් කරණේය. කවර දෙකෙකින යත්: නොදැන නොපිවිස නොපැහැදිය යුතු තන්හි ප්‍රසාදය දක්වන්නේ ද, නො දැන නොපිවිස පැහැදිය යුතු තන්හි අප්‍රසාදය දක්වන්නේ ද යන දෙකිනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්‍වාගත වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙමේ කනන ලද ගුණ ඇති, නට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. සදොස් වූයේ ද නුවණැත්තන්ගේ උපවාදයට යෝග්‍ය වූයේ ද වේ. බොහෝ පව් ද රැස් කරණේ ය යි.
2. 3. 12. 8.
20. මහණෙනි, දහම් දෙකෙකින් සමන්‍වාගත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙමේ නො කනන ලද ගුණ ඇති නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. නිදොස් වූයේ ද නුවණැත්තවුන් විසින් උපවාද නොකට යුත්තේ ද වේ. බොහෝ පින් ද රැස් කරයි. කවර දෙකෙකින යත්: දැන පිවිස නො පැහැදිය යුතු තන්හි අප්‍රසාදය දක්වන්නේ ද, දැන පිවිස පැහැදිය යුතු තන්හි ප්‍රසාදය දක්වන්නේ ද යන දෙකිනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්‍වාගත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නො කනන ලද ගුණ ඇති නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. නිදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද නොකට යුත්තේ ද වේ. බොහෝ කුසල් ද රැස් කරණේය යි.
2. 3. 12. 9.
21. මහණෙනි, දෙතැනෙක්හි වරදවා පිළිපදනා වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙම කනන ලද ගුණ ඇති නට ගුණ ඇති ආත්මය පරිහරණය කෙරෙයි, සදොස් වූයේ ද නුවණැත්තන් විසින් ගැරැහිය යුතු වූයේ ද වෙයි. බොහෝ පව් ද රැස් කරණේය. කවර දෙතැනෙකය යත්: මවු කෙරෙහි ද පියා කෙරෙහි ද යන දෙතැන්හිය. මහණෙනි, මේ දෙතැන්හි වරදවා පිළිපදනා වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙම කනන ලද ගුණ ඇති නට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. සදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද කටයුත්තේ ද වේ. බොහෝ පව් ද රැස් කරණේය.
2. 3. 12. 9.
22. මහණෙනි, දෙතැනෙක්හි මොනොවට පිළිපදනා වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නොකනන ලද ගුණ ඇති නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කෙරෙයි. නිදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද නො කට යුත්තේ ද වෙයි. බොහෝ කුසල් ද රැස් කරණේය. කවර දෙතැනෙක යත්: මවු කෙරෙහි ද පියා කෙරෙහි ද යන දෙතැන්හිය. මහණෙනි, මේ දෙතැන්හි මොනොවට පිළිපදනා වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නො කනන ලද ගුණ ඇති නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. නිදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද නො කටයුත්තේ ද වේ. බොහෝ පින් ද රැස් කරණේය යි.
2. 3. 12. 10.
23. මහණෙනි, දෙතැනෙක වරදවා පිළිපදනා වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙම කනන ලද ගුණ ඇති නටගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. සදොස් වූ යේ ද නුවණැත්තන් විසින් උපවාද කළ යුත්තේ ද වෙයි. බොහෝ පව් ද රැස් කරණේය. කවර දෙතැනෙකය යත්: තථාගතයන් වහන්සේ කෙරෙහි ද තථාගතශ්‍රාවකයා කෙරෙහි ද යන දෙතන්හිය. මහණෙනි, මේ දෙතන්හි වරදවා පිළිපදනා වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාල තෙම කනන ලද ගුණ ඇති නට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. සදොස් වූයේ ද නුවණැත්තවුන් විසින් උපවාද කටයුත්තේ ද වේ. බොහෝ පව් ද රැස් කරණේ ය යි.
2. 3. 12. 12.
24. මහණෙනි, දෙතැනෙක මනාව පිළිපදනා වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නොකනන ලද ගුණ ඇති නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. නිදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද නො කටයුත්තේ ද වෙයි. බොහෝ පින් ද රැස් කරණේය. කවර දෙතැනෙකය යත්: තථාගතයන් වහන්සේ කෙරෙහි ද තථාගතශ්‍රාවකයා කෙරෙහි ද යන දෙතන්හිය. මහණෙනි, මේ දෙතන්හි මනාව පිළිපදනා වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නො කනන ලද ගුණ ඇති නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කරණේය. නිදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද නො කටයුත්තේ ද වෙයි. බොහෝ පින් ද රැස් කරණේ ය යි.
2. 3. 12. 12.
25. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (අෂ්ටසමාපත්ති සඞ්ඛ්‍යාත) සව්චිත්තව්‍යවදානය ද ලොවැ කිසි එක ද ධර්‍මයක් (තෘෂ‍්ණා දෘෂ්ටි මානපරාමර්‍ශයෙන්) නොගන්නේ ද යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකයි.
2. 3. 12. 13.
26. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: ක්‍රෝධය හා උපනාහය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකයි.
2. 3. 12. 14.
27. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: ක්‍රෝධවිනය හා උපනාහවිනය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකයි.
දොළොස්වන වග යි.
[13. දාන වර්‍ගය]
[සැවැත්නිදාන යි]
2. 3. 13. 1.
28. මහණෙනි, මේ දාන දෙකෙකි. කවර දෙකෙක යත්: ආමිෂදානය හා ධර්‍මදානය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි දාන දෙකය. මහණෙනි, මේ දාන දෙක අතුරෙන් යම් ධර්‍මදානයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
2. 3. 13. 2.
29. මහණෙනි, මේ යාගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂයාගය හා ධර්‍මයාගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි යාග දෙකය. මහණෙනි, මේ යාගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මයාගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
2. 3. 13. 3.
30. මහණෙනි, මේ ත්‍යාග දෙකෙකි. කවර දෙකෙක යත්: ආමිෂත්‍යාගය හා ධර්‍මත්‍යාගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ත්‍යාග දෙකය. මහණෙනි, මේ ත්‍යාගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍ම ත්‍යාගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
2. 3. 13. 4.
31. මහණෙනි, මේ පරිත්‍යාගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂපරිත්‍යාගය හා ධර්‍මපරිත්‍යාගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි පරිත්‍යාගයෝ දෙදෙනායි. මහණෙනි, මේ පරිත්‍යාගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍ම පරිත්‍යාගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
2. 3. 13. 5.
32. මහණෙනි, මේ භෝගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂභෝගය හා ධර්‍මභෝගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි භෝග දෙක ය. මහණෙනි, මේ භෝගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මභෝගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
2. 3. 13. 6.
33. මහණෙනි, මේ සම්භෝගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසම්භෝගය හා ධර්‍මසම්භොගය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි සම්භෝගයෝ දෙදෙනායි. මහණෙනි, මේ සම්භෝගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මසම්භෝගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
2. 3. 13. 7.
34. මහණෙනි, මේ සංවිභාගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසංවිභාගය හා ධර්‍මසංවිභාගය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි සංවිභාගයෝ දෙදෙනා වෙත්. මහණෙනි, මේ සංවිභාගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මසංවිභාගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
2. 3. 13. 8.
35. මහණෙනි, මේ සංග්‍රහයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසංග්‍රහය හා ධර්‍මසංග්‍රහය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සංග්‍රහයෝ දෙදෙනා වෙත්. මහණෙනි, මේ සංග්‍රහයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මසංග්‍රහයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
2. 3. 13. 9.
36. මහණෙනි, මේ අනුග්‍රහයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂඅනුග්‍රහය හා ධර්‍මඅනුග්‍රහය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි අනුග්‍රහයෝ දෙදෙනා ය. මහණෙනි, මේ අනුග්‍රහයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මඅනුග්‍රහයෙක් වේ නම්, තෙල අග්‍ර වේ යයි.
2. 3. 13. 10.
37. මහණෙනි, මේ අනුකම්පාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂඅනුකම්පාව හා ධර්‍මානුකම්පාව හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි අනුකම්පාවෝ දෙදෙනා ය. මහණෙනි, මේ අනුකම්පාවන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මඅනුකම්පාවෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
තෙළෙස්වන වගයි.
[14. සන්‍ථාර වර්‍ගය]
[සැවැත්නිදාන යි]
2. 3. 14. 1.
38. මහණෙනි, මේ සන්‍ථාරයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසන්‍ථාරය හා ධර්‍මසන්‍ථාරය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි සන්‍ථාරයෝ දෙදෙනාය. මහණෙනි, මේ සන්‍ථාරයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මසන්‍ථාරයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
2. 3. 14. 2.
39. මහණෙනි, මේ පටිසන්‍ථාරයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂපටිසන්‍ථාරය හා ධර්‍මපටිසන්‍ථාරය හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි පටිසන්‍ථාරයෝ දෙදෙනාය. මහණෙනි, මේ පටිසන්‍ථාරයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මපටිසන්‍ථාරයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.
2. 3. 14. 3.
40. මහණෙනි, මේ ඒසනාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසඒසනාව හා ධම්මඒසනාව හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි ඒසනාවෝ දෙදෙනාය. මහණෙනි, මේ ඒසනාවන් දෙදෙනා අතුරෙන් යම් ධම්මඒසනාවෙක් වේ නම්, තෙල අග්‍ර වේ යයි.
2. 3. 14. 4.
41. මහණෙනි, මේ පරියේසනාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසපරියේසනාව හා ධම්මපරියේසනාව හා යන දෙදෙනායි. මහණෙනි, මේ වනාහි පරියේසනා දෙකය. මහණෙනි, මේ පරියේසනාවන් දෙදෙනා අතුරෙන් යම් ධම්මපරියේසනාවෙක් වේ නම්, තෙල අග්‍ර වේ යයි.
2. 3. 14. 5.
42. මහණෙනි, මේ (මුදුන්පත්සෙවීම්) පරියෙට්ඨීහු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසපරියෙට්ඨීය හා ධම්මපරියෙට්ඨීය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි පරියෙට්ඨීහු දෙදෙනාය. මහණෙනි, මේ පරියෙට්ඨීන් දෙදෙනා අතුරෙන් යම් ධම්මපරියෙට්ඨීයෙක් වේ ද, මෙය අග්‍ර වේ යයි.
2. 3. 14. 6.
43. මහණෙනි, මේ පූජාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසපූජාව හා ධර්‍මපූජාව හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි පූජාවෝ දෙදෙනාය. මහණෙනි, මේ පූජාවන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මපූජාවෙක් වේ ද මෙය අග්‍රවේ යයි.
2. 3. 14. 7.
44. මහණෙනි, මේ ආගන්තුකදානයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසයෙන් කරණ ආගන්තුකදානය හා ධර්‍මමයෙන් කරණ ආගන්තුකදානය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ආගන්තුකදාන දෙකය. මහණෙනි, මේ ආගන්තුකදානයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මයෙන් කරණ ආගන්තුකදානයෙක් වේ ද මෙය අග්‍රවේ යයි.
2. 3. 14. 8.
45. මහණෙනි, මේ ඍද්ධීහු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂ ඍද්ධිය හා ධර්‍ම ඍද්ධිය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ඍද්ධීහු දෙදෙනාය. මහණෙනි, මේ ඍද්ධීන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍ම ඍද්ධියෙක් වේ නම් මෙය අග්‍රවේ යයි.
2. 3. 14. 9.
46. මහණෙනි, මේ වෘද්ධීහු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂවෘද්ධිය හා ධර්‍මවෘද්ධිය හා යන දෙදෙනා ය. මහණෙනි, මේ වෘද්ධීන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මවෘද්ධියෙක් වේ ද මෙය අග්‍රවේ යයි.
2. 3. 14. 10.
47. මහණෙනි, මේ රතනයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂරතනය හා ධර්‍මරතනය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි රතනයෝ දෙදෙනාය. මහණෙනි, මේ රත්නයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මරතනයෙක් වේ ද මෙය අග්‍රවේ යයි.
2. 3. 14. 11.