Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 10001-10100 න් 15980

(7) මහණෙනි, පඤ්ඤාධන කවරේ ය යත්:
මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ... මැනැවින් දුක් ගෙවීමට යන ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි. මහණෙනි, මෙ පඤ්ඤාධන යි කියනු ලැබේ.
මහණෙනි, මෙ ධන සතයි.
8. සද්ධාධන ය, සීලධන ය, හිරිධන ය, ඔත්තප්පධන ය, සුතධන ය, චාගධන ය, සත්වැනි වූ ම පඤ්ඤාධන යයි.
9. යම් ස්ත්‍රියකට වේවයි පුරුෂයකුට වේවයි තෙල ධන ඇත් නම් හෙ නොදිළිඳුය යි ද ඔහුගේ දිවි නො සිස් යයි ද කීහු.
10. එහෙයින් නුවණැතියේ බුදුසස්න සමරමින් ශ්‍රද්ධා හා ශීල හා ප්‍රසාද හා ධර්‍මදර්‍ශනය යන මෙහි පුනපුනා යෙදෙන්නේ යයි.
7. 1. 1. 7.
[උග්ග මහාමත්ත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
7. එකල්හි උග්ග නම් රාජමහාමාත්‍ර භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් උග්ග රාජමහාමාත්‍ර භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය:
වහන්ස, ආශ්චර්‍ය්‍ය ය, වහන්ස, අද්භූත ය. වහන්ස, මෙ රෝහණ සිටුහුගේ මුනුපුරු මිගාර සිටු ආඪ්‍ය වූයේ ම, මහාධන ඇතියේ ම, මහාභෝග ඇතියේ ම වේ යයි.
උග්ගයෙනි, රෝහණෙය්‍ය මිගාර සිටු කෙතෙක් ආඪ්‍ය වේ ද? කෙතෙක් මහද්ධන වේ ද, කෙතෙක් මහාභෝග වේ දැ යි.
වහන්ස, හිරණ්‍ය පිළිබඳ ශතසහස්‍රයෙකි. රජත පිළිබඳ කවර කථායෙක් දැ යි.
උග්ගයෙනි, තෙල ධනය ඇත් මැයි, තෙල ධන නැතැයි නො කියමි. උග්ගයෙනි, තෙල ධනය ගිනි හා දිය හා රජුන් හා සොරුන් හා අප්‍රිය දායාදයන් හා සාධාරණ මැයි.
උග්ගයෙනි, ගින්න හා දිය හා රජුන් හා සොරුන් හා අප්‍රිය දායාදයන් හා අසාධාරණ වූ මෙ ධන සතෙකි. කවර සතෙක යත්:
සද්ධාධන, සීලධන, හිරිධන, ඔත්තප්පධන, සුතධන, චාගධන, පඤ්ඤාධන යි. උග්ගයෙනි, ගින්න හා දිය හා රජුන් හා සොරුන් හා අප්‍රිය දායාදයන් හා අසාධාරණ වූ මෙ ධන සත යි.
11. සද්ධාධන ය, සීලධන ය, හිරිධන ය, ඔත්තප්පධන ය, සුතධන ය, චාගධන ය, සත්වැනි වූ ම පඤ්ඤාධන ය යි ධන සතෙකි.
12. යම් ස්ත්‍රියකට වේවයි පුරුෂයකුට වේවයි මෙ ධන ඇත් නම් හෙ එකැතින් දෙවිමිනිසුන්ගෙන් යුත් ලෙව්හි මහද්ධන වෙයි.
13. එහෙයින් මේධාවී තෙම බුද්ධශාසනය සිහිකරමින් ශ්‍රද්ධා ශීල ප්‍රසාද ධර්‍මදර්‍ශන යන මෙහි යෙදෙන්නේ යි.
7. 1. 1. 8.
[සත්තසඤ්ඤෝජන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
8. මහණෙනි, මෙ සංයෝජන සතෙකි. කවර සතෙක යත්:
අනුනය (කාමරාග) සංයෝජන, පටිඝසංයෝජන, දිට්ඨි සංයෝජන, විචිකිච්ඡාසංයෝජන, මානසංයෝජන, භවරාගසංයෝජන, අවිජ්ජාසංයෝජන යි.
මහණෙනි, මෙ සංයෝජන සත යි.
7. 1. 1. 9.
[සඤ්ඤෝජනප්පහාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
9. මහණෙනි, සංයෝජන සතක්හුගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බඹසර වසනු ලැබේ. කවර සතක්හුගේ ය යත්:
අනුනය සංයෝජනයාගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බඹසර වසනු ලැබේ. ප්‍රතිඝසංයෝජනයාගේ ප්‍රහාණය සඳහා ... දෘෂ්ටිසංයෝජනයාගේ ... විචිකිච්ඡාසංයෝජනයාගේ … මානසංයෝජනයාගේ … භවරාගසංයෝජනයාගේ ... අවිද්‍යාසංයෝජනයාගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බ්‍රම්සර වැසේ.
මහණෙනි, මෙ සංයෝජන සත ප්‍රහාණය කරණු සඳහා සමුච්ඡේදය සඳහා බ්‍රහ්මචර්‍ය්‍යය වසනු ලැබේ.
මහණෙනි, යම්හෙයකින් භික්‍ෂුහුගේ අනුනය සංයෝජනය ප්‍රහීණ වේ ද, උසුන්මුල් ඇතියේ වේ ද, තාලාවස්තුකෘත ද, අන්‍වභාවකෘත ද, මත්තෙහි නූපදනා සැහැවි ඇතියේ ද ... ප්‍රතිඝසංයෝජනය ... දෘෂ්ටිසංයෝජනය ... විචිකිත්සාසංයෝජනය ... මානසංයෝජනය ... භවරාගසංයෝජනය ... අවිද්‍යාසංයෝජන ය ප්‍රහීණ ද උසුන්මුල් ඇතියේ ද, තාලාවස්තුකෘත ද, අන්‍වභාවකෘත ද, මත්තෙහි නූපදනා සැහැවි ඇතියේ ද, මහණෙනි, එහෙයින් මේ මහණ තෘෂ්ණාව සිඳලී යයි ද, සංයෝජන පෙරළාලී යයි ද, මොනොවට මානප්‍රහාණයෙන් සසරදුක් අවසන් කෙළේ ය යි ද කියනු ලැබේ.
7. 1. 1. 10.
[මච්ඡරියසංයෝජන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
10. මහණෙනි, මෙ සංයෝජන සතෙකි. කවර සතෙක යත්:
අනුනයසංයෝජන ය, පටිඝසංයෝජන ය, දිට්ඨිසංයොජන ය, විචිකිච්ඡාසංයෝජන ය, මානසංයෝජන ය, ඉස්සාසංයොජන ය, මච්ඡරියසංයෝජන යි.
මහණෙනි, මෙ සත් සංයෝජන යි.
ධන වර්‍ගය පළමු වැනි යි.
එහි උද්දානය:
පිය සූත්‍ර දෙක ය, බල සූත්‍ර දෙක ය, සඞ්ඛිත්තධන සූත්‍රය, විත්‍ථතධන සූත්‍රය, උග්ග සූත්‍ර ය, සඤ්ඤෝජන සූත්‍ර ය, සඤ්ඤොජනප්පහාණ සූත්‍ර ය, මච්ඡරියසඤ්ඤෝජන සූත්‍ර ය දැයි දසයෙකි.
2. අනුසය වර්‍ගය
7. 1. 2. 1.
[අනුසය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, මෙ අනුශය සතෙකි. කවර සතෙක යත්:
කාමරාගානුසය, පටිඝානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය යි.
මහණෙනි, මෙ අනුසය සත යි.
7. 1. 2. 2.
[අනුසයප්පහාන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
12. මහණෙනි, සප්තානුශයන්ගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බඹසර වසනු ලැබේ. කවර සතක්හුගේය යත්:
කාමරාගනුසයාගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බ්‍රම්සර වසනු ලැබේ. පටිඝානුසයයාගේ ... දිට්ඨානුසයයාගේ ... විචිකිච්ඡානුසයයාගේ ... මානානුසයයාගේ ... භවරාගානුසයයාගේ ... අවිජ්ජානුසයයාගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බ්‍රහ්මචර්‍ය්‍යය වසනු ලැබේ.
මහණෙනි, මෙ සප්තානුශයයන්ගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බ්‍රහ්මචර්‍ය්‍යය වසනු ලැබේ.
මහණෙනි, යම් හෙයෙකින් භික්‍ෂුහුගේ කාමරාගානුසය ප්‍රහීණ වේ නම් උසුන්මුල් ඇති වේ නම්, තාලාවස්තුකෘත වේ නම්, අන්‍වභාවකෘත වේ නම් මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නම්, ප්‍රතිඝානුශය ... දෘෂ්ටානුශය ... විචිකිත්සානුශය .. මානානුශය ... භවරාගානුශය ... අවිද්‍යානුශය ප්‍රහීණ වේ නම් උසුන්මුල් ඇතියේ වේ නම් තාලාවස්තුකෘත වේ නම් අන්‍වභාවකෘත වේ නම් මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්, මහණෙනි, අනුශය රහිත මහණ තෘෂ්ණාව සිඳලීය සංයෝජන පෙරළාලී ය මැනැවින් අර්‍හත්ත්‍වාවබෝධයෙන් වර්‍තදුඃඛය අවසන් කෙළේ යයි කියනු ලැබේ.
7. 1. 2. 3.
[කුලූපගමන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
13. මහණෙනි, අඞ්ග සතෙකින් සමන්‍වාගත කුලයට පළමු නො එළැඹ එළඹෙන්නට වේවයි එළැඹ හිඳිනට වේවයි නො නිසි වේ. කවර සතෙකින යත්:
මනාපාකාරයෙන් දැක හුනස්නෙන් නො නැඟ සිටුනාහ. මනාප අයුරින් අභිවාදන නො කරත්. මනාපයෙන් හිඳිනට ආසන නො දෙන්නාහ. විද්‍යාමාන දේයධර්‍මය ඔහට පිළිසන් කරන්නාහ. බොහෝ ඇත ද ස්වල්ප විසින් දෙත්. ප්‍රණීත දෑ ඇත ද රූක්‍ෂ දෑ දෙන්නාහ. සකසා නො ව නො සකසා ම දෙන්නාහ.
මහණෙනි, මෙ සත් කරුණින් සමන්‍වාගත කුලය පළමු නො එළැඹ එළඹෙන්නට හෝ, එළැඹ හිඳිනට හෝ නො නිසි වේ.
මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත කුලය පළමු නො එළැඹ එළඹෙන්නට හෝ එළැඹ හිඳිනට හෝ නිසි වේ. කවර සත් කරුණෙකින යත්:
මනාපාකාරයෙන් දැක හුනස්නෙන් නැඟ සිටුනාහ. මනාප අයුරින් වන්‍දනා කරන්නාහ. මැනැවින් හිඳිනට අසුන් දෙන්නාහ. විද්‍යාමාන දේයධර්‍මය ඔහට පිළිසන් නො කරන්නාහ. බොහෝ ඇති වත් ම බොහෝ කොට දෙන්නාහ. ප්‍රණීත වස්තු ප්‍රණීත කොට ම දෙන්නාහ. නො සකස් කොට නො ව, සකස් කොට ම දෙන්නාහ.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත කුලය පළමු නො එළැඹ එළඹෙන්නට හෝ එළැඹ හිඳිනට හෝ නිසි වේ යයි.
7. 1. 2. 4.
[ආහුනෙය්‍ය පුග්ගල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
14. මහණෙනි, ආහුනෙය්‍ය වූ පාහුනෙය්‍ය වූ දක්ඛිණෙය්‍ය වූ අඤ්ජලිකරණීය වූ ලෝකයාහට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ පුද්ගලයෝ සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
උභතෝභාග විමුක්ත ය, ප්‍රඥා විමුක්ත ය, කායසාක්‍ෂි ය, දෘෂ්ටප්‍රාප්ත ය, ශ්‍රද්ධාවිමුක්ත ය, ධර්‍මානුසාරී ය, ශ්‍රද්ධානුසාරී ය යි.
මහණෙනි, ආහුනනාර්‍හ වූ ප්‍රාඝුණාර්‍හ වූ දක්‍ෂිණාර්‍හ වූ අඤ්ජලිකරණයට නිසි වූ ලෝකයාට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ සත් පුඟුල්හු යි.
(අර්‍ත්‍ථකථාවෙන් හා විශුද්ධිමාර්‍ගයෙන් විස්තර දත යුතු.)
7. 1. 2. 5.
[උදකූපම පුග්ගල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
15. මහණෙනි, ලෝකයෙහි විද්‍යාමාන වන්නා වූ ම මෙ උදකෝපම පුද්ගලයෝ සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් වරක් නිමග්න වූයේ (කිඳුනේ) නිමග්න (කිඳුනේ) ම වෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල සිටියේ (මතුවූයේ) වෙයි. මහණෙනි, මෙලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල වටා බලයි, අනුවිලෝකන කරයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල යායුතු මංබලා තරණය කෙරෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල ප්‍රතිගාධයට (ප්‍රතිෂ්ඨාවට) පැමිණියේ වෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල තරණය කෙළේ පරතෙර පැමිණ බ්‍රාහ්මණ වූයේ තලයෙහි (නිවනෙහි) සිටුනේ වෙයි.
(1) මහණෙනි, පුද්ගල එක් වරක් නිමග්න වූයේ කෙසේ නිමග්න ම වේ ය යත්: මහණෙනි, මෙ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඒකාන්තයෙන් කෘෂ්ණ වූ අකුශලධර්‍මයෙන් (නියත මිථ්‍යාදෘෂ්ටියෙන්) සමන්‍වාගත වෙයි. මහණෙනි, මෙසෙයින් පුද්ගල වරක් නිමග්න වූයේ නිමග්න ම වෙයි.
(2) මහණෙනි, කෙසේ නම් පුද්ගල ඉපිල කිඳුනේ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් “කුසල්දහම්හි ශ්‍රද්ධාව මැනැව, හිරි මැනැව, ඔතප් මැනැව, වැර මැනැව, කුශලධර්‍මයන්හි ප්‍රඥාව මැනැවැ”යි ඉල්පෙයි. ඔහුගේ එ ශ්‍රද්ධාව නො සිටුනේ ය, නො වැඩෙයි, පිරිහේ ම ය. ඔහුගේ ඒ හිරිය ... ඔහුගේ එ ඔත්තපප්ය … ඔහුගේ එ වීර්‍ය්‍යය ... ඔහුගේ එ ප්‍රඥාව නො මැ සිටුනේ ය. නො මැ වැඩෙයි, පිරිහේ මැ යි. මහණෙනි, මෙ සෙයින් පුද්ගල ඉල්ප කිඳුනේ වේ.
(3) මහණෙනි, කිසෙයින් පුද්ගල ඉල්පී සිටියේ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් “කුශලධර්‍මයන්හි පිහිටි ශ්‍රද්ධාව මනා ය, හිරිය මනා ය, ඔත්තපප්ය මනා ය, වීර්‍ය්‍යය මනා ය, කුශලධර්‍මයන්හි පිහිටි ප්‍රඥාව මනා ය” යි ඉල්ප සිටිනේ ය. ඔහුගේ එ සැදැහැ නො ම පිරිහෙයි, නො ද වැඩෙ යි, සිටියා ම වෙයි, ඔහුගේ එ හිරිය ... ඔහුගේ එ ඔත්තපප්ය … ඔහුගේ එ වීර්‍ය්‍යය ... ඔහුගේ එ ප්‍රඥාව නො ම පිරිහෙයි, නො ද වැඩෙයි, සිටියා ම වෙ යි. මහණෙනි, මෙසෙයින් පුද්ගල ඉල්ප සිටියේ වෙයි.
(4) මහණෙනි, කිසෙයින් පුද්ගල ඉපිල වටා බලන්නේ ය, අනුවිලෝකන කරන්නේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් “කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා මනා ය, හිරිය මනා ය, ඔතප් මනා ය, වැර මනාය, කුශලධර්‍මයන්හි පිහිටි ප්‍රඥා මනා ය” යි ඉල්පෙයි. හේ තුන් සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අවිනිපාතස්වභාව ඇතියේ නියත වූ සම්බෝධිපරායණ වූයේ සෝවන් වෙයි. මහණෙනි, මෙසේ පුඟුල් ඉල්ප යායුතු දිග් බලයි, නහමයි.
(5) මහණෙනි, කිසේ නම් පුඟුල් ඉල්ප තරණය කෙරේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් “කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා මනා ම ය, හිරි මනා ම ය, ඔතප් මනා ම ය, වීර්‍ය්‍යය මනා ම ය, ප්‍රඥා මනා ම ය” යි ඉල්පෙයි. හෙ තුන් සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් රාගද්වේෂමෝහයන්ගේ තනුත්‍වයෙන් සකෘදාගාමී වෙයි. එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි. මහණෙනි, මෙසේ පුඟුල් ඉල්ප තරණය කෙරෙයි.
(6) මහණෙනි, කිසේ නම් පුඟුල් ඉල්ප ප්‍රතිෂ්ඨා ප්‍රාප්ත වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් “කුසල් දහම්හි ශ්‍රද්ධා මනා ම ය, හිරි මනා ම ය, ඔතප් මනා ම ය, වීර්‍ය්‍යය මනා ම ය, ප්‍රඥා මනා ම ය” යි ඉල්පෙයි. හෙ පඤ්චඕරම්භාගිය සංයෝජන පරික්‍ෂයෙන් එහි ම පිරිනිවෙන සුලු ඒ සුදවැසි බඹ ලොවින් පෙරළා නො එන සැහැවි ඇතියේ ඕපපාතික වෙයි. මහණෙනි, මෙසේ පුඟුල් ඉල්ප ප්‍රතිෂ්ඨාප්‍රාප්ත වෙයි.
(7) මහණෙනි, කිසේ නම් පුඟුල් ඉල්ප තරණය කළේ වෙයි, පරතෙර ගියේ වෙයි, බාහිත පාපි බ්‍රාහ්මණ (නිවන්) තෙලෙහි සිටියේ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් “කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා මනා ය, හිරි මනා ය, ඔතප් මනා ය, වැර මනා ය, ප්‍රඥා මනා ය” යි ඉල්පෙයි. හෙ ආස්‍රවක්‍ෂයයෙන් ආස්‍රව රහිත වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මභාවයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වෙසෙයි. මහණෙනි, මෙසේ පුඟුල් ඉල්ප තරණය කළේ පරතෙර ගියේ බාහිතපාපී බ්‍රාහ්මණ (නිවන්) තෙලෙහි සිටුනේ ය.
මහණෙනි, ලොව්හි විද්‍යාමාන වන මෙ උදකෝපම පුද්ගලයෝ සත් දෙන යි.
7. 1. 2. 6.
[අනිච්චානුපස්සී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
16. මහණෙනි, ආහුනනාර්‍හ වූ ප්‍රාඝුණාර්‍හ වූ දක්‍ෂිණාර්‍හ වූ අඤ්ජලිකරණයට නිසි වූ ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ පුඟුල්හු සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
(1) සර්‍වසංස්කාරයන්හි අනිත්‍යානුදර්ශී වූයේ, අනිත්‍යසංඥා ඇතියේ, අනිත්‍යප්‍රතිසංවේද ඇතියේ, හැම කල්හි (පූර්‍වාපර සමූපගත සිත් ඇතියේ) නිරතුරු (අන් සිතකින්) නො මුසු සේ සිතින් සනිටුහන් කරනුයේ, විවසුන් නැණින් පර්‍ය්‍යවගාහ කරමින් (බැස ගණිමින්) වෙසෙයි. හේ ආස්‍රවක්‍ෂයෙන් ... (ආස්‍රව රහිත චේතෝවිමුත්ති - පඤ්ඤාවිමුත්ති) සාක්‍ෂාත් කොට එයට එළඹ වාසය කෙරෙයි. මහණෙනි, මෙ ආහුනනාර්‍හ වූ ප්‍රාඝුණාර්‍හ වූ දක්‍ෂිණාර්‍ශ වූ අඤ්ජලිකරණයට යෝග්‍ය වූ ලෝකයාට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ ප්‍රථම පුද්ගල යි.
(2) තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් සර්‍වසංස්කාරයන්හි අනිත්‍යානුදර්ශී වූයේ, අනිත්‍යසංඥා ඇතියේ, අනිත්‍යප්‍රතිසංවිද් ඇතියේ, හැමකල් නිරතුරු අමිශ්‍ර සේ සිතින් සනිටුහන් කරණුයේ, ප්‍රඥායෙන් පර්‍ය්‍යාවගාහ කරණුයේ වාසය කෙරෙයි. ඔහට නො පෙර පසුව ආස්‍රවසිඳීයෑම ද ජීවිතය සිඳීයෑම ද වෙයි. මහණෙනි, මෙ ආහුනනාර්‍හ වූ ... ලෝකයට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ ද්විතීය (ජීවිත සමසීසී) පුද්ගල යි.
(3) තවද මහණෙනි, මෙලොව්හි ඇතැම් පුඟුලෙක් සර්‍වසංස්කාරයන්හි අනිත්‍යානුදර්ශී වූයේ, අනිත්‍යසංඥා ඇතියේ, අනිත්‍යප්‍රතිසංවිද් ඇතියේ හැමවිට නිරතුරු අසම්මිශ්‍ර කොට සිතින් අධිමෝක්‍ෂ කරමින්, ප්‍රඥායෙන් පර්‍ය්‍යවගාහ කරමින් වෙසේ. හෙ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අන්තරාපරිනිබ්බායී (ශුද්ධාවාසයෙහි උපන් කෙණෙහි හෝ මදක් පසුව පිරිනිවෙන්නේ) වෙයි. (4) ... උපහච්චපරිනිබ්බායී (ආයු මැද පිරිනිවෙන්නේ) වෙයි. (5) ... අසඞ්ඛාරපරිනිබ්බායී (උත්සාහ රහිතව පිරිනිවෙන්නේ) වෙයි. (6) … සසඞ්ඛාරපරිනිබ්බායී (උත්සාහ සහිතව පිරිනිවෙන්නේ) වෙයි. (7) … අකනිට්ඨාගාමී උද්ධංසෝත (අකනිටාබඹලෝතෙක් යන සුලුව පිරිනිවෙන්නේ) වෙයි. මහණෙනි, ආහුනනාර්‍හ වූ ප්‍රාඝුණාර්‍හ වූ දක්‍ෂිණාර්‍හ වූ අඤ්ජලිකරණීය වූ ලෝකයට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ සත්වන පුද්ගල යි.
මහණෙනි, ආහුනනාර්‍හ වූ ප්‍රාඝුණාර්‍හ වූ ... ලෝකයට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ සත්පුඟුල්හු වෙති.
7. 1. 2. 7.
[දුක්ඛානුපස්සී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
17. මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ පුඟුල්හු සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් සර්‍වසංස්කාරයන්හි දුඃඛානුදර්ශී වූයේ වෙසෙයි ... මහණෙනි, ආහුනනාර්‍හ වූ .... ලොවට (අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ) මේ පුඟුල්හු සත් දෙන වෙත්.
7. 1. 2. 8.
[අනත්තානුපස්සී සූත්‍රය]
[සැවැත්නිදාන යි]