සත්වැනි සුවවග යි.
[8. සනිමිත්ත වර්‍ගය]
2. 2. 8. 1.
[සැවැත්නිදාන යි]
27. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සනිමිත්ත ව උපදිත්. අනිමිත්ත ව නූපදිත්. ඒ නිමිත්තයාගේ ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.
2. 2. 8. 2.
28. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සනිදාන ව උපදිත්. අනිදාන ව නූපදිත්. ඒ නිදානයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.
2. 2. 8. 3.
29. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සහේතුක ව උපදිත්. අහේතුක ව නූපදිත්. ඒ හේතුහුගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.
2. 2. 8. 4.
30. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සංස්කාර සහිත ව උපදිත්. සංස්කාර රහිත ව නූපදිත්. ඒ සංස්කාරයන්ගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.
2. 2. 8. 5.
31. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ ප්‍රත්‍යය සහිත ව උපදිත්. ප්‍රත්‍යය රහිත ව නූපදිත්. ඒ ප්‍රත්‍යයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශල ධර්‍මයෝ නො වෙත් ය යි.
2. 2. 8. 6.
32. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ රූපසහිත ව උපදනාහ. රූප රහිත ව නූපදනාහ. ඒ රූපයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.
2. 2. 8. 7.
33. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ වේදනා සහිත ව උපදනා හ. වේදනා රහිත ව නූපදනා හ. ඒ වේදනාහුගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.
2. 2. 8. 8.
34. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සංඥා සහිත ව උපදනාහ. සංඥා රහිත ව නූපදනාහ. ඒ සංඥාහුගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නොවන්නා හයි.
2. 2. 8. 9.
35. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ විඥාන සහිත ව උපදනාහ. විඥාන රහිත ව නූපදනාහ. ඒ විඥානයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.
2. 2. 8. 10.
36. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ (හේතුප්‍රත්‍යයෙන් උපන්) සංස්කෘතය අරමුණු කොට උපදනාහ. (හේතුප්‍රත්‍යයෙන් නූපන්) අසංස්කෘතය අරමුණු කොට නූපදනාහ. ඒ සඞ්ඛතයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.
අටවන වග යි.
[9. ධර්‍ම වර්‍ගය]
2. 2. 9. 1.
[සැවැත්නිදාන යි]
37. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඵලසමාධි සඞ්ඛ්‍යාත) චේතෝවිමුක්තිය හා (ඵලප්‍රඥා සඞ්ඛ්‍යාත) ප්‍රඥාවිමුක්තිය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක යි.
2. 2. 9. 2.
38. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (වීර්‍ය්‍යසඞ්ඛ්‍යාත) ප්‍රග්‍රාහය හා (චිතෛතකාග්‍රතා සඞ්ඛ්‍යාත) අවික්‍ෂේපය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක යි.
2. 2. 9. 3.
39. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (අරූපස්කන්‍ධ සඞ්ඛ්‍යාත) නාමය හා රූප (ස්කන්‍ධ) ය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක යි.
2. 2. 9. 4.
40. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඵලඥාන සඞ්ඛ්‍යාත) විද්‍යාව හා (ඵලඥාන සම්ප්‍රයුක්ත සෙසු ධර්‍ම සඞ්ඛ්‍යාත) විමුක්තිය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
2. 2. 9. 5.
41. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ශාශ්වත සඞ්ඛ්‍යාත) භවදෘෂ්ටිය හා (උච්ඡේද සඞ්ඛ්‍යාත) විභවදෘෂටිය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
2. 2. 9. 6.
42. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (පවට ලජ්ජා නැති බව වූ) අහ්‍රිකය හා (පවට නො බානා බව වූ) අනපත්‍රපාව හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
2. 2. 9. 7.
43. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (පවට ලජ්ජා ඇති බව වූ) හ්‍රීය හා (පවට බානා බව වූ) අපත්‍රපාව හා යන දෙක ය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
2. 2. 9. 8.
44. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඔවා නොපිළිගන්නා බව වූ) දෝවචස්සතාව හා (පවිටු මිතුරන් සෙවුනා බව වූ) පාපමිත්තතාව හා යන දෙක ය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
2. 2. 9. 9.
45. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඔවා පිළිගන්නා බව වූ) සොවචස්සතාව හා (කලණමිතුරන් සෙවුනා බව වූ) කල්‍යාණමිත්තතාව හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
2. 2. 9. 10.
46. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (අෂටාදශ) ධාතුන් දැනීමෙහි දක්‍ෂ බව හා (ඒ) ධාතුන් අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කිරීමෙහි දක්‍ෂ බව හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
2. 2. 9. 11.
47. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: සප්තාපත්තිස්කන්‍ධයන් දැනීමෙහි දක්‍ෂ බව හා ඇවැතින් නැගීසිටීමෙහි දක්‍ෂ බව හා යන දෙක ය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
නවවන වග යි.
[10. බාල වර්‍ගය]
[සැවැත්නිදාන යි]
2. 2. 10. 1.
48. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙක් නො පැමිණි බර උසුලනුයේ ද, යමෙකුත් පැමිණි බර නො උසුලනුයේ නම් හේය යන මේ දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
2. 2. 10. 2.
49. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් පැමිණි බර උසුලනුයේ ද, යමෙකුත් නො පැමිණි බර නො උසුලනුයේ ද යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
2. 2. 10. 3.
50. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් නො කැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
2. 2. 10. 4.
51. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අකැප දැයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
2. 2. 10. 5.
52. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අනාපත්තියෙහි ආපත්ති සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ආපත්තියෙහි අනාපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
2. 2. 10. 6.
53. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අනාපත්තියෙහි අනාපත්ති සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ආපත්තියෙහි ආපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
2. 2. 10. 7.
54. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අධර්‍මයෙහි ධර්‍මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්‍මයෙහි අධර්‍මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
2. 2. 10. 8.
55. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අධර්‍මයෙහි අධර්‍මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්‍මයෙහි ධර්‍මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
2. 2. 10. 9.
56. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අවිනයෙහි විනයසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් විනයෙහි අවිනය සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
2. 2. 10. 10.
57. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: අවිනයෙහි අවිනයසංඥා ඇති යමෙකුත් වේ ද, විනයෙහි විනයසංඥා ඇති යමෙකුත් වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
2. 2. 10. 11.
58. මහණෙනි, දෙදෙනකුන්ට ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ටය යත්: යමෙකුත් කුකුස් නො කළ යුත්තෙහි කුකුස් කරණුයේ ද, යමෙකුත් කුකුස් කළ යුත්තෙහි කුකුස් නො කරණුයේ ද යන දෙදෙනය. මහණෙනි, මේ දෙදෙනහට ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.
2. 2. 10. 12.
59. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් කුකුස් නො කළ යුත්තෙහි කුකුස් නො කරණුයේ ද, යමෙකුත් කුකුස් කළ යුත්තෙහි කුකුස් කරණුයේ ද, යන දෙදෙනය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.
2. 2. 10. 13.
60. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අකැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි නො කැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.
2. 2. 10. 14.
61. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අකැප දැයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.
2. 2. 10. 15.
62. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අනාපත්තියෙහි ආපත්තිසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ආපත්තියෙහි අනාපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.
2. 2. 10. 16.
63. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් ආපත්තියෙහි ආපත්තිසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් අනාපත්තියෙහි අනාපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.
2. 2. 10. 17.
64. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ වැඩෙත්. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අධර්‍මයෙහි ධර්‍මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්‍මයෙහි අධර්‍මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.
2. 2. 10. 18.
65. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අධර්‍මයෙහි අධර්‍මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්‍මයෙහි ධර්‍මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.
2. 2. 10. 19.
66. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අවිනයෙහි විනයසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් විනයෙහි අවිනයසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.
2. 2. 10. 20.
67. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අවිනයෙහි අවිනයසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් විනයෙහි විනයසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.
දසවන වගයි.
දෙවන පණ්ණාසකය සමාප්තයි.
තෙවන පණ්ණාසකය
[11. ආසා වර්‍ගය]
[සැවැත්නිදාන යි]
2. 3. 11. 1.
1. මහණෙනි, මේ ආශාවෝ දෙදෙනෙක් හැරැලීමට දුෂ්කර වෙත්. කවර දෙදෙනෙක යත්: ලාභාශාව හා ජීවිතාශාව යන දෙකය. මහණෙනි, මේ ආශාවෝ දෙදෙන හැරැලීමට දුෂ්කර වෙත් ය යි.
2. 3. 11. 2.
2. මහණෙනි, ලොව්හි මේ පුඟුලෝ දෙදෙනෙක් දුලබ වෙති. කවර දෙදෙනෙක යත්: යමෙකුත් පළමු ම උපකාර කරන්නේ වේ ද, යමෙකුත් කෘතඥ වූයේ කෘතවේදී වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මේ පුඟුලෝ දෙදෙන වනාහි ලොව්හි දුලබ වෙත් ය යි.