Aṅguttara Nikāya

Numerical Discourses

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 901-1000 න් 15980

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
an-2:156.15
සත්වැනි සුවවග යි.
an-2:158.1
[8. සනිමිත්ත වර්‍ගය]
an-2:158.2
2. 2. 8. 1.
an-2:158.3
[සැවැත්නිදාන යි]
an-2:158.4
27. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සනිමිත්ත ව උපදිත්. අනිමිත්ත ව නූපදිත්. ඒ නිමිත්තයාගේ ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.
an-2:158.5
2. 2. 8. 2.
an-2:158.6
28. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සනිදාන ව උපදිත්. අනිදාන ව නූපදිත්. ඒ නිදානයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.
an-2:158.7
2. 2. 8. 3.
an-2:158.8
29. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සහේතුක ව උපදිත්. අහේතුක ව නූපදිත්. ඒ හේතුහුගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.
an-2:158.9
2. 2. 8. 4.
an-2:158.10
30. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සංස්කාර සහිත ව උපදිත්. සංස්කාර රහිත ව නූපදිත්. ඒ සංස්කාරයන්ගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.
an-2:158.11
2. 2. 8. 5.
an-2:158.12
31. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ ප්‍රත්‍යය සහිත ව උපදිත්. ප්‍රත්‍යය රහිත ව නූපදිත්. ඒ ප්‍රත්‍යයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශල ධර්‍මයෝ නො වෙත් ය යි.
an-2:158.13
2. 2. 8. 6.
an-2:158.14
32. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ රූපසහිත ව උපදනාහ. රූප රහිත ව නූපදනාහ. ඒ රූපයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.
an-2:158.15
2. 2. 8. 7.
an-2:158.16
33. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ වේදනා සහිත ව උපදනා හ. වේදනා රහිත ව නූපදනා හ. ඒ වේදනාහුගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.
an-2:158.17
2. 2. 8. 8.
an-2:158.18
34. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සංඥා සහිත ව උපදනාහ. සංඥා රහිත ව නූපදනාහ. ඒ සංඥාහුගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නොවන්නා හයි.
an-2:160.1
2. 2. 8. 9.
an-2:160.2
35. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ විඥාන සහිත ව උපදනාහ. විඥාන රහිත ව නූපදනාහ. ඒ විඥානයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.
an-2:160.3
2. 2. 8. 10.
an-2:160.4
36. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ (හේතුප්‍රත්‍යයෙන් උපන්) සංස්කෘතය අරමුණු කොට උපදනාහ. (හේතුප්‍රත්‍යයෙන් නූපන්) අසංස්කෘතය අරමුණු කොට නූපදනාහ. ඒ සඞ්ඛතයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.
an-2:160.5
අටවන වග යි.
an-2:160.6
[9. ධර්‍ම වර්‍ගය]
an-2:160.7
2. 2. 9. 1.
an-2:160.8
[සැවැත්නිදාන යි]
an-2:160.9
37. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඵලසමාධි සඞ්ඛ්‍යාත) චේතෝවිමුක්තිය හා (ඵලප්‍රඥා සඞ්ඛ්‍යාත) ප්‍රඥාවිමුක්තිය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක යි.
an-2:160.10
2. 2. 9. 2.
an-2:160.11
38. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (වීර්‍ය්‍යසඞ්ඛ්‍යාත) ප්‍රග්‍රාහය හා (චිතෛතකාග්‍රතා සඞ්ඛ්‍යාත) අවික්‍ෂේපය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක යි.
an-2:160.12
2. 2. 9. 3.
an-2:160.13
39. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (අරූපස්කන්‍ධ සඞ්ඛ්‍යාත) නාමය හා රූප (ස්කන්‍ධ) ය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක යි.
an-2:160.14
2. 2. 9. 4.
an-2:160.15
40. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඵලඥාන සඞ්ඛ්‍යාත) විද්‍යාව හා (ඵලඥාන සම්ප්‍රයුක්ත සෙසු ධර්‍ම සඞ්ඛ්‍යාත) විමුක්තිය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
an-2:160.16
2. 2. 9. 5.
an-2:160.17
41. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ශාශ්වත සඞ්ඛ්‍යාත) භවදෘෂ්ටිය හා (උච්ඡේද සඞ්ඛ්‍යාත) විභවදෘෂටිය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
an-2:162.1
2. 2. 9. 6.
an-2:162.2
42. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (පවට ලජ්ජා නැති බව වූ) අහ්‍රිකය හා (පවට නො බානා බව වූ) අනපත්‍රපාව හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
an-2:162.3
2. 2. 9. 7.
an-2:162.4
43. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (පවට ලජ්ජා ඇති බව වූ) හ්‍රීය හා (පවට බානා බව වූ) අපත්‍රපාව හා යන දෙක ය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
an-2:162.5
2. 2. 9. 8.
an-2:162.6
44. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඔවා නොපිළිගන්නා බව වූ) දෝවචස්සතාව හා (පවිටු මිතුරන් සෙවුනා බව වූ) පාපමිත්තතාව හා යන දෙක ය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
an-2:162.7
2. 2. 9. 9.
an-2:162.8
45. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඔවා පිළිගන්නා බව වූ) සොවචස්සතාව හා (කලණමිතුරන් සෙවුනා බව වූ) කල්‍යාණමිත්තතාව හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
an-2:162.9
2. 2. 9. 10.
an-2:162.10
46. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (අෂටාදශ) ධාතුන් දැනීමෙහි දක්‍ෂ බව හා (ඒ) ධාතුන් අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කිරීමෙහි දක්‍ෂ බව හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
an-2:162.11
2. 2. 9. 11.
an-2:162.12
47. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: සප්තාපත්තිස්කන්‍ධයන් දැනීමෙහි දක්‍ෂ බව හා ඇවැතින් නැගීසිටීමෙහි දක්‍ෂ බව හා යන දෙක ය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
an-2:162.13
නවවන වග යි.
an-2:162.14
[10. බාල වර්‍ගය]
an-2:162.15
[සැවැත්නිදාන යි]
an-2:162.16
2. 2. 10. 1.
an-2:162.17
48. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙක් නො පැමිණි බර උසුලනුයේ ද, යමෙකුත් පැමිණි බර නො උසුලනුයේ නම් හේය යන මේ දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
an-2:162.18
2. 2. 10. 2.
an-2:162.19
49. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් පැමිණි බර උසුලනුයේ ද, යමෙකුත් නො පැමිණි බර නො උසුලනුයේ ද යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
an-2:164.1
2. 2. 10. 3.
an-2:164.2
50. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් නො කැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
an-2:164.3
2. 2. 10. 4.
an-2:164.4
51. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අකැප දැයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
an-2:164.5
2. 2. 10. 5.
an-2:164.6
52. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අනාපත්තියෙහි ආපත්ති සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ආපත්තියෙහි අනාපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
an-2:164.7
2. 2. 10. 6.
an-2:164.8
53. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අනාපත්තියෙහි අනාපත්ති සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ආපත්තියෙහි ආපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
an-2:164.9
2. 2. 10. 7.
an-2:164.10
54. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අධර්‍මයෙහි ධර්‍මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්‍මයෙහි අධර්‍මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
an-2:164.11
2. 2. 10. 8.
an-2:164.12
55. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අධර්‍මයෙහි අධර්‍මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්‍මයෙහි ධර්‍මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
an-2:164.13
2. 2. 10. 9.
an-2:164.14
56. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අවිනයෙහි විනයසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් විනයෙහි අවිනය සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
an-2:164.15
2. 2. 10. 10.
an-2:164.16
57. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: අවිනයෙහි අවිනයසංඥා ඇති යමෙකුත් වේ ද, විනයෙහි විනයසංඥා ඇති යමෙකුත් වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
an-2:166.1
2. 2. 10. 11.
an-2:166.2
58. මහණෙනි, දෙදෙනකුන්ට ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ටය යත්: යමෙකුත් කුකුස් නො කළ යුත්තෙහි කුකුස් කරණුයේ ද, යමෙකුත් කුකුස් කළ යුත්තෙහි කුකුස් නො කරණුයේ ද යන දෙදෙනය. මහණෙනි, මේ දෙදෙනහට ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.
an-2:166.3
2. 2. 10. 12.
an-2:166.4
59. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් කුකුස් නො කළ යුත්තෙහි කුකුස් නො කරණුයේ ද, යමෙකුත් කුකුස් කළ යුත්තෙහි කුකුස් කරණුයේ ද, යන දෙදෙනය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.
an-2:166.5
2. 2. 10. 13.
an-2:166.6
60. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අකැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි නො කැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.
an-2:166.7
2. 2. 10. 14.
an-2:166.8
61. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අකැප දැයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.
an-2:166.9
2. 2. 10. 15.
an-2:166.10
62. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අනාපත්තියෙහි ආපත්තිසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ආපත්තියෙහි අනාපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.
an-2:166.11
2. 2. 10. 16.
an-2:166.12
63. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් ආපත්තියෙහි ආපත්තිසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් අනාපත්තියෙහි අනාපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.
an-2:166.13
2. 2. 10. 17.
an-2:166.14
64. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ වැඩෙත්. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අධර්‍මයෙහි ධර්‍මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්‍මයෙහි අධර්‍මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.
an-2:166.15
2. 2. 10. 18.
an-2:166.16
65. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අධර්‍මයෙහි අධර්‍මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්‍මයෙහි ධර්‍මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.
an-2:168.1
2. 2. 10. 19.
an-2:168.2
66. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අවිනයෙහි විනයසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් විනයෙහි අවිනයසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.
an-2:168.3
2. 2. 10. 20.
an-2:168.4
67. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අවිනයෙහි අවිනයසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් විනයෙහි විනයසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.
an-2:168.5
දසවන වගයි.
an-2:168.6
දෙවන පණ්ණාසකය සමාප්තයි.
an-2:168.7
තෙවන පණ්ණාසකය
an-2:168.8
[11. ආසා වර්‍ගය]
an-2:168.9
[සැවැත්නිදාන යි]
an-2:168.10
2. 3. 11. 1.
an-2:168.11
1. මහණෙනි, මේ ආශාවෝ දෙදෙනෙක් හැරැලීමට දුෂ්කර වෙත්. කවර දෙදෙනෙක යත්: ලාභාශාව හා ජීවිතාශාව යන දෙකය. මහණෙනි, මේ ආශාවෝ දෙදෙන හැරැලීමට දුෂ්කර වෙත් ය යි.
an-2:168.12
2. 3. 11. 2.
an-2:168.13
2. මහණෙනි, ලොව්හි මේ පුඟුලෝ දෙදෙනෙක් දුලබ වෙති. කවර දෙදෙනෙක යත්: යමෙකුත් පළමු ම උපකාර කරන්නේ වේ ද, යමෙකුත් කෘතඥ වූයේ කෘතවේදී වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මේ පුඟුලෝ දෙදෙන වනාහි ලොව්හි දුලබ වෙත් ය යි.