Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 10101-10200 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT(1) කථඤ්ච භික්ඛවෙ පුග්ගලො සකිං නිමුග්ගො නිමුග්ගොව හොති: ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො සමන්නාගතො හොති එකන්ත කාළකෙහි අකුසලෙහි ධම්මෙහි. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සකිං නිමුග්ගො නිමුග්ගොව හොති.
Sinhala BJT(1) මහණෙනි, පුද්ගල එක් වරක් නිමග්න වූයේ කෙසේ නිමග්න ම වේ ය යත්: මහණෙනි, මෙ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ඒකාන්තයෙන් කෘෂ්ණ වූ අකුශලධර්‍මයෙන් (නියත මිථ්‍යාදෘෂ්ටියෙන්) සමන්‍වාගත වෙයි. මහණෙනි, මෙසෙයින් පුද්ගල වරක් නිමග්න වූයේ නිමග්න ම වෙයි.
Pali BJT(2) කථඤ්ච භික්ඛවෙ පුග්ගලො උම්මුජ්ජිත්වා නිමුජ්ජති: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො උම්මුජ්ජති “සාධු සද්ධා කුසලෙසු ධම්මෙසු, සාධු හිරි -පෙ- සාධු ඔත්තප්පං -පෙ- සාධු විරියං -පෙ- සාධු පඤ්ඤා කුසලෙසු ධම්මෙසූ”ති තස්ස සා සද්ධා නෙව තිට්ඨති, නො වඩ්ඪති, හායතෙව. තස්ස සා හිරි -පෙ- තස්ස තං ඔත්තප්පං -පෙ- තස්ස තං විරියං -පෙ- තස්ස සා පඤ්ඤා නෙව තිට්ඨති, නො වඩ්ඪති, හායතෙව. එවං ඛො භික්ඛවෙ පුග්ගලො උම්මුජ්ජිත්වා නිමුජ්ජති.
Sinhala BJT(2) මහණෙනි, කෙසේ නම් පුද්ගල ඉපිල කිඳුනේ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් “කුසල්දහම්හි ශ්‍රද්ධාව මැනැව, හිරි මැනැව, ඔතප් මැනැව, වැර මැනැව, කුශලධර්‍මයන්හි ප්‍රඥාව මැනැවැ”යි ඉල්පෙයි. ඔහුගේ එ ශ්‍රද්ධාව නො සිටුනේ ය, නො වැඩෙයි, පිරිහේ ම ය. ඔහුගේ ඒ හිරිය ... ඔහුගේ එ ඔත්තපප්ය … ඔහුගේ එ වීර්‍ය්‍යය ... ඔහුගේ එ ප්‍රඥාව නො මැ සිටුනේ ය. නො මැ වැඩෙයි, පිරිහේ මැ යි. මහණෙනි, මෙ සෙයින් පුද්ගල ඉල්ප කිඳුනේ වේ.
Pali BJT(3) කථඤ්ච භික්ඛවෙ පුග්ගලො උම්මුජ්ජිත්වා ඨිතො හොති: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො උම්මුජ්ජති “සාධු සද්ධා කුසලෙසු ධම්මෙසු, සාධු හිරි -පෙ- සාධු ඔත්තප්පං -පෙ- සාධු විරියං -පෙ- සාධු පඤ්ඤා කුසලෙසු ධම්මෙසූ”ති. තස්ස සා සද්ධා නෙව හායති, නො වඩ්ඪති, ඨිතා හොති. තස්ස සා හිරි -පෙ- තස්ස තං ඔත්තප්පං -පෙ- තස්ස තං විරියං -පෙ- තස්ස සා පඤ්ඤා නෙව හායති, නො වඩ්ඪති, ඨිතා හොති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො උම්මුජ්ජිත්වා ඨිතො හොති.
Sinhala BJT(3) මහණෙනි, කිසෙයින් පුද්ගල ඉල්පී සිටියේ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් “කුශලධර්‍මයන්හි පිහිටි ශ්‍රද්ධාව මනා ය, හිරිය මනා ය, ඔත්තපප්ය මනා ය, වීර්‍ය්‍යය මනා ය, කුශලධර්‍මයන්හි පිහිටි ප්‍රඥාව මනා ය” යි ඉල්ප සිටිනේ ය. ඔහුගේ එ සැදැහැ නො ම පිරිහෙයි, නො ද වැඩෙ යි, සිටියා ම වෙයි, ඔහුගේ එ හිරිය ... ඔහුගේ එ ඔත්තපප්ය … ඔහුගේ එ වීර්‍ය්‍යය ... ඔහුගේ එ ප්‍රඥාව නො ම පිරිහෙයි, නො ද වැඩෙයි, සිටියා ම වෙ යි. මහණෙනි, මෙසෙයින් පුද්ගල ඉල්ප සිටියේ වෙයි.
Pali BJT(4) කථඤ්ච භික්ඛවෙ පුග්ගලො උම්මුජ්ජිත්වා විපස්සති, විලොකෙති: ඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො උම්මුජ්ජති “සාධු සද්ධා කුසලෙසු ධම්මෙසු, සාධු හිරි -පෙ- සාධු ඔත්තප්පං -පෙ- සාධු විරියං -පෙ- සාධු පඤ්ඤා කුසලෙසු ධම්මෙසූ”ති. සො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො. එවං ඛො භික්ඛවෙ පුග්ගලො උම්මුජ්ජිත්වා විපස්සති. විලොකෙති.
Sinhala BJT(4) මහණෙනි, කිසෙයින් පුද්ගල ඉපිල වටා බලන්නේ ය, අනුවිලෝකන කරන්නේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් “කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා මනා ය, හිරිය මනා ය, ඔතප් මනා ය, වැර මනාය, කුශලධර්‍මයන්හි පිහිටි ප්‍රඥා මනා ය” යි ඉල්පෙයි. හේ තුන් සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අවිනිපාතස්වභාව ඇතියේ නියත වූ සම්බෝධිපරායණ වූයේ සෝවන් වෙයි. මහණෙනි, මෙසේ පුඟුල් ඉල්ප යායුතු දිග් බලයි, නහමයි.
Pali BJT(5) කථඤ්ච භික්ඛවෙ පුග්ගලො උම්මුජ්ජිත්වා පතරති: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො උම්මුජ්ජති “සාධු සද්ධා කුසලෙසු ධම්මෙසු, සාධු හිරි -පෙ- සාධු ඔත්තප්පං -පෙ- සාධු විරියං -පෙ- සාධු පඤ්ඤා කුසලෙසු ධම්මෙසූ”ති. සො තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී හොති. සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො උම්මුජ්ජිත්වා පතරති.
Sinhala BJT(5) මහණෙනි, කිසේ නම් පුඟුල් ඉල්ප තරණය කෙරේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් “කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා මනා ම ය, හිරි මනා ම ය, ඔතප් මනා ම ය, වීර්‍ය්‍යය මනා ම ය, ප්‍රඥා මනා ම ය” යි ඉල්පෙයි. හෙ තුන් සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් රාගද්වේෂමෝහයන්ගේ තනුත්‍වයෙන් සකෘදාගාමී වෙයි. එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි. මහණෙනි, මෙසේ පුඟුල් ඉල්ප තරණය කෙරෙයි.
Pali BJT(6) කථඤ්ච භික්ඛවෙ පුග්ගලො උම්මුජ්ජිත්වා පතිගාධප්පත්තො හොති: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො උම්මුජ්ජති “සාධු සද්ධා කුසලෙසු ධම්මෙසු, සාධු හිරි -පෙ- සාධු ඔත්තප්පං -පෙ- සාධු විරියං -පෙ- සාධු පඤ්ඤා කුසලෙසු ධම්මෙසූ”ති. සො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා. එවං ඛො භික්ඛවෙ පුග්ගලො උම්මුජ්ජිත්වා පතිගාධප්පත්තො හොති.
Sinhala BJT(6) මහණෙනි, කිසේ නම් පුඟුල් ඉල්ප ප්‍රතිෂ්ඨා ප්‍රාප්ත වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් “කුසල් දහම්හි ශ්‍රද්ධා මනා ම ය, හිරි මනා ම ය, ඔතප් මනා ම ය, වීර්‍ය්‍යය මනා ම ය, ප්‍රඥා මනා ම ය” යි ඉල්පෙයි. හෙ පඤ්චඕරම්භාගිය සංයෝජන පරික්‍ෂයෙන් එහි ම පිරිනිවෙන සුලු ඒ සුදවැසි බඹ ලොවින් පෙරළා නො එන සැහැවි ඇතියේ ඕපපාතික වෙයි. මහණෙනි, මෙසේ පුඟුල් ඉල්ප ප්‍රතිෂ්ඨාප්‍රාප්ත වෙයි.
Pali BJT(7) කථඤ්ච භික්ඛවෙ පුග්ගලො උම්මුජ්ජිත්වා තිණ්ණො හොති පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො: ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො උම්මුජ්ජති “සාධු සද්ධා කුසලෙසු ධම්මෙසු, සාධු හිරි -පෙ- සාධු ඔත්තප්පං -පෙ- සාධු විරියං -පෙ- සාධු පඤ්ඤා කුසලෙසු ධම්මෙසූ”ති. සො ආසවානං ඛයා අනාසවං චෙතො විමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො උම්මුජ්ජිත්වා තිණ්ණො හොති පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො.
Sinhala BJT(7) මහණෙනි, කිසේ නම් පුඟුල් ඉල්ප තරණය කළේ වෙයි, පරතෙර ගියේ වෙයි, බාහිත පාපි බ්‍රාහ්මණ (නිවන්) තෙලෙහි සිටියේ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් “කුශලධර්‍මයන්හි ශ්‍රද්ධා මනා ය, හිරි මනා ය, ඔතප් මනා ය, වැර මනා ය, ප්‍රඥා මනා ය” යි ඉල්පෙයි. හෙ ආස්‍රවක්‍ෂයයෙන් ආස්‍රව රහිත වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මභාවයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වෙසෙයි. මහණෙනි, මෙසේ පුඟුල් ඉල්ප තරණය කළේ පරතෙර ගියේ බාහිතපාපී බ්‍රාහ්මණ (නිවන්) තෙලෙහි සිටුනේ ය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ සත්ත උදකූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, ලොව්හි විද්‍යාමාන වන මෙ උදකෝපම පුද්ගලයෝ සත් දෙන යි.
Pali BJT7. 1. 2. 6.
Sinhala BJT7. 1. 2. 6.
Pali BJT[අනිච්චානුපස්සී සුත්තං]
Sinhala BJT[අනිච්චානුපස්සී සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT16. සත්තිමෙ භික්ඛවෙ, පුග්ගලා ආහුනෙය්යා පාහුනෙය්යා දක්ඛිණෙය්යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙ සත්ත:
Sinhala BJT16. මහණෙනි, ආහුනනාර්‍හ වූ ප්‍රාඝුණාර්‍හ වූ දක්‍ෂිණාර්‍හ වූ අඤ්ජලිකරණයට නිසි වූ ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ පුඟුල්හු සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
Pali BJT(1) ඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සී විහරති අනිච්චසඤ්ඤී අනිච්චපටිසංවෙදී සතතං සමිතං අබ්බොකිණ්ණං චෙතසා අධිමුච්චමානො පඤ්ඤාය පරියොගාහමානො. සො ආසවානං ඛයා [අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං] -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයං භික්ඛවෙ, පඨමො පුග්ගලො ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.
Sinhala BJT(1) සර්‍වසංස්කාරයන්හි අනිත්‍යානුදර්ශී වූයේ, අනිත්‍යසංඥා ඇතියේ, අනිත්‍යප්‍රතිසංවේද ඇතියේ, හැම කල්හි (පූර්‍වාපර සමූපගත සිත් ඇතියේ) නිරතුරු (අන් සිතකින්) නො මුසු සේ සිතින් සනිටුහන් කරනුයේ, විවසුන් නැණින් පර්‍ය්‍යවගාහ කරමින් (බැස ගණිමින්) වෙසෙයි. හේ ආස්‍රවක්‍ෂයෙන් ... (ආස්‍රව රහිත චේතෝවිමුත්ති - පඤ්ඤාවිමුත්ති) සාක්‍ෂාත් කොට එයට එළඹ වාසය කෙරෙයි. මහණෙනි, මෙ ආහුනනාර්‍හ වූ ප්‍රාඝුණාර්‍හ වූ දක්‍ෂිණාර්‍ශ වූ අඤ්ජලිකරණයට යෝග්‍ය වූ ලෝකයාට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ ප්‍රථම පුද්ගල යි.
Pali BJT(2) පුන චපරං භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සී විහරති අනිච්චසඤ්ඤී අනිච්චපටිසංවෙදී සතතං සමිතං අබ්බොකිණ්ණං චෙතසා අධිමුච්චමානො පඤ්ඤාය පරියොගාහමානො. තස්ස අපුබ්බං අචරිමං ආසවපරියාදානඤ්ච හොති ජීවිතපරියාදානඤ්ච. අයං භික්ඛවෙ, දුතියො පුග්ගලො ආහුනෙය්යො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.
Sinhala BJT(2) තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් සර්‍වසංස්කාරයන්හි අනිත්‍යානුදර්ශී වූයේ, අනිත්‍යසංඥා ඇතියේ, අනිත්‍යප්‍රතිසංවිද් ඇතියේ, හැමකල් නිරතුරු අමිශ්‍ර සේ සිතින් සනිටුහන් කරණුයේ, ප්‍රඥායෙන් පර්‍ය්‍යාවගාහ කරණුයේ වාසය කෙරෙයි. ඔහට නො පෙර පසුව ආස්‍රවසිඳීයෑම ද ජීවිතය සිඳීයෑම ද වෙයි. මහණෙනි, මෙ ආහුනනාර්‍හ වූ ... ලෝකයට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ ද්විතීය (ජීවිත සමසීසී) පුද්ගල යි.
Pali BJT(3) පුන චපරං භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සී විහරති අනිච්චසඤ්ඤී අනිච්චපටිසංවෙදී සතතං සමිතං අබ්බොකිණ්ණං චෙතසා අධිමුච්චමානො පඤ්ඤාය පරියොගාහමානො. සො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති. [අයං තතියො පුග්ගලො] (4) -පෙ- උපහච්චපරිනිබ්බායී හොති. [අයං චතුත්ථො පුග්ගලො] (5) -පෙ- අසඞ්ඛාරපරිනිබ්බායී හොති. [අයං පඤ්චමො පුග්ගලො] (6) -පෙ- සසඞ්ඛාරපරිනිබ්බායී හොති. [අයං ඡට්ඨමො පුග්ගලො] (7) -පෙ- උද්ධංසොතො හොති අකනිට්ඨගාමී. අයං භික්ඛවෙ, සත්තමො පුග්ගලො ආහුනෙය්යො, පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.
Sinhala BJT(3) තවද මහණෙනි, මෙලොව්හි ඇතැම් පුඟුලෙක් සර්‍වසංස්කාරයන්හි අනිත්‍යානුදර්ශී වූයේ, අනිත්‍යසංඥා ඇතියේ, අනිත්‍යප්‍රතිසංවිද් ඇතියේ හැමවිට නිරතුරු අසම්මිශ්‍ර කොට සිතින් අධිමෝක්‍ෂ කරමින්, ප්‍රඥායෙන් පර්‍ය්‍යවගාහ කරමින් වෙසේ. හෙ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අන්තරාපරිනිබ්බායී (ශුද්ධාවාසයෙහි උපන් කෙණෙහි හෝ මදක් පසුව පිරිනිවෙන්නේ) වෙයි. (4) ... උපහච්චපරිනිබ්බායී (ආයු මැද පිරිනිවෙන්නේ) වෙයි. (5) ... අසඞ්ඛාරපරිනිබ්බායී (උත්සාහ රහිතව පිරිනිවෙන්නේ) වෙයි. (6) … සසඞ්ඛාරපරිනිබ්බායී (උත්සාහ සහිතව පිරිනිවෙන්නේ) වෙයි. (7) … අකනිට්ඨාගාමී උද්ධංසෝත (අකනිටාබඹලෝතෙක් යන සුලුව පිරිනිවෙන්නේ) වෙයි. මහණෙනි, ආහුනනාර්‍හ වූ ප්‍රාඝුණාර්‍හ වූ දක්‍ෂිණාර්‍හ වූ අඤ්ජලිකරණීය වූ ලෝකයට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ සත්වන පුද්ගල යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, සත්ත පුග්ගලා ආහුනෙය්යා පාහුනෙය්යා -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, ආහුනනාර්‍හ වූ ප්‍රාඝුණාර්‍හ වූ ... ලෝකයට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ සත්පුඟුල්හු වෙති.
Pali BJT7. 1. 2. 7.
Sinhala BJT7. 1. 2. 7.
Pali BJT[දුක්ඛානුපස්සි සුත්තං]
Sinhala BJT[දුක්ඛානුපස්සී සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT17. සත්තිමෙ භික්ඛවෙ, පුග්ගලා ආහුනෙය්යා පාහුනෙය්යා දක්ඛිණෙය්යා -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙ සත්ත:
Sinhala BJT17. මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ පුඟුල්හු සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො සබ්බසඞ්ඛාරෙසු දුක්ඛානුපස්සී විහරති -පෙ- ඉමෙ ඛො භික්ඛවෙ, සත්ත පුග්ගලා ආහුනෙය්යා -පෙ- ලොකස්සසාති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් සර්‍වසංස්කාරයන්හි දුඃඛානුදර්ශී වූයේ වෙසෙයි ... මහණෙනි, ආහුනනාර්‍හ වූ .... ලොවට (අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ) මේ පුඟුල්හු සත් දෙන වෙත්.
Pali BJT7. 1. 2. 8.
Sinhala BJT7. 1. 2. 8.
Pali BJT[අනත්තානුපස්සී සුත්තං]
Sinhala BJT[අනත්තානුපස්සී සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(සූත්‍රයෙහි අදහස අර්‍ත්‍ථකථාවෙන් දතයුතු.)
Pali BJT18. සත්තිමෙ භික්ඛවෙ, පුග්ගලා ආහුනෙය්යා -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙ සත්ත:
Sinhala BJT18. මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මේ පුඟුල්හු සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො සබ්බධම්මෙසු අනත්තානුපස්සී විහරති -පෙ- ඉමෙ ඛො භික්ඛවෙ, සත්ත පුග්ගලා ආහුනෙය්යා -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සර්‍වධර්‍මයන්හි අනාත්මානුදර්ශී වූයේ වෙසෙයි ... මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට (අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ) මේ සත් පුඟුල්හු වෙති.
Pali BJT7. 1. 2. 9.
Sinhala BJT7. 1. 2. 9.
Pali BJT[සුඛානුපස්සී සුත්තං]
Sinhala BJT[සුඛානුපස්සී සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT19. සත්තිමෙ භික්ඛවෙ, පුග්ගලා ආහුනෙය්යා -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙ සත්ත:
Sinhala BJT19. මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මේ පුඟුල්හු සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො පුග්ගලො නිබ්බානෙ සුඛානුපස්සී විහරති සුඛසඤ්ඤී සුඛපටිසංවෙදී සතතං සමිතං අබ්බොකිණ්ණං චෙතසා අධිමුච්චමානො පඤ්ඤාය පරියොගාහමානො. සො ආසවානං ඛයා [අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං] -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයං භික්ඛවෙ, පඨමො පුග්ගලො ආහුනෙය්යො -පෙ- [අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං] ලොකස්ස.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් නිවනෙහි සුඛානුදර්ශී වූයේ සුඛසංඥා ඇතියේ සුඛප්‍රතිසංවිද් ඇතියේ හැම කල්හි නිරතුරු ව්‍යතිමිශ්‍ර නො කොට සිතින් සනිටුහන් කරමින් ප්‍රඥායෙන් වැදගන්මින් වෙසෙයි. හේ ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ අර්‍හත්ඵල සමාධිය හා අර්‍හත්ඵල ප්‍රඥාව ... සාක්‍ෂාත් කොට එළඹ වෙසෙයි. මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට (පුණ්‍යක්‍ෂේත්‍ර වූ) මේ ප්‍රථම පුද්ගල යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො නිබ්බානෙ සුඛානුපස්සී විහරති සුඛසඤ්ඤී සුඛපටිසංවෙදී සතතං සමිතං අබ්බොකිණ්ණං චෙතසා අධිමුච්චමානො පඤ්ඤාය පරියොගාහමානො. තස්ස අපුබ්බං අචරිමං ආසවපරියාදානඤ්ච හොති ජීවිතපරියාදානඤ්ච. අයං භික්ඛවෙ, දුතියො පුග්ගලො ආහුනෙය්යො -පෙ- [අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං] ලොකස්ස.
Sinhala BJTතවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් නිර්‍වාණයෙහි සුඛානුදර්ශී වූයේ සුඛසංඥා ඇතියේ සුඛප්‍රතිසංවිද් ඇතියේ හැමවිට නරතුරු අසම්මිශ්‍ර කොට සිතින් අධිමෝක්‍ෂ කරණුයේ ප්‍රඥායෙන් පර්‍ය්‍යවගාහ කරනුයේ වෙසෙයි. ඔහට නො පෙරපසු ව ආස්‍රවපරික්‍ෂය ද ජීවිතපරික්‍ෂය ද වෙයි. මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට (පුණ්‍යක්‍ෂේත්‍ර වූ) මේ ද්විතීය පුද්ගල යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො නිබ්බානෙ සුඛානුපස්සී විහරති සුඛසඤ්ඤී සුඛපටිසංවෙදී සතතං සමිතං අබ්බොකිණ්ණං චෙතසා අධිමුච්චමානො පඤ්ඤාය පරියොගාහමානො. සො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති -පෙ- උපහච්චපරිනිබ්බායී හොති. -පෙ- අසඞ්ඛාරපරිනිබ්බායී හොති. -පෙ- සසඞ්ඛාරපරිනිබ්බායී හොති. -පෙ- උද්ධංසොතො හොති අකනිට්ඨගාමී. අයං භික්ඛවෙ, සත්තමො පුග්ගලො ආහුනෙය්යො -පෙ- ලොකස්ස.
Sinhala BJTතවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් නිවන්හි සුව අනුව දක්මින් සුඛසංඥා ඇතියේ සුව පිළිවිදිනාසුලු වූයේ හැමකල් නරතුරු ව්‍යතිමිශ්‍ර නො කොට සිතින් සනිටුහන් කරමින් ප්‍රඥායෙන් වැදගන්මින් වෙසෙයි. හෙ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අන්තරා පරිනිබ්බායී වෙයි ... උපහච්චපරිනිබ්බායී වෙයි ... අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි ... සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි ... අකනිට්ඨාගාමීඋද්ධංසෝත වෙයි. මහණෙනි, මේ ආහුනෙය්‍ය වූ .... ලොවට (පුණ්‍යක්‍ෂේත්‍ර වූ) සප්තම පුද්ගල යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, සත්ත පුග්ගලා ආහුනෙය්යා පාහුනෙය්යා දක්ඛිණෙය්යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, ආහුනෙය්‍ය වූ පාහුනෙය්‍ය වූ දක්‍ෂිණෙය්‍ය වූ අඤ්ජලිකරණීය වූ ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ සත් පුඟුල් හු යි.
Pali BJT7. 1. 2. 10.
Sinhala BJT7. 1. 2. 10.
Pali BJT[නිද්දසවත්ථුසුත්තං]
Sinhala BJT[නිද්දසවත්‍ථු සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT20. සත්තිමානි භික්ඛවෙ, නිද්දසවත්ථූනි, කතමානි සත්ත.
Sinhala BJT20. මහණෙනි, මෙ නිර්දශවස්තු සතෙකි. කවර සතෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සික්ඛාසමාදානෙ තිබ්බච්ඡන්දො හොති ආයතිඤ්ච සික්ඛාසමාදානෙ අවිගතපෙමො. ධම්මනිසන්තියා තිබ්බච්ඡන්දො හොති ආයතිඤ්ච ධම්මනිසන්තියා අවිගතපෙමො. ඉච්ඡාවිනයෙ තිබ්බච්ඡන්දො හොති ආයතිඤ්ච ඉච්ඡාවිනයෙ අවිගතපෙමො. පටිසල්ලානෙ තිබ්බච්ඡන්දො හොති ආයතිඤ්ච පටිසල්ලානෙ අවිගතපෙමො. විරියාරම්භෙ තිබ්බච්ඡන්දො හොති ආයතිඤ්ච විරියාරම්භෙ අවිගත පෙමො. සතිනෙපක්කෙ තිබ්බච්ඡන්දො හොති ආයතිඤ්ච සතිනෙපක්කෙ අවිගතපෙමො. දිට්ඨිපටිවෙධෙ තිබ්බච්ඡන්දො හොති ආයතිඤ්ච දිට්ඨිපටිවෙධෙ අවිගතපෙමො.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ශික්‍ෂාසමාදානයෙහි තීව්‍ර ඡන්‍ද ඇතියේ මත්තෙහි දු ශික්‍ෂාසමාදානයෙහි අවිගත ප්‍රේම ඇතියේ වෙයි. ධම්මනිසන්තියෙහි (විදර්‍ශනායෙහි) තීව්‍ර ඡන්‍ද ඇතියේ මත්තෙහි දු ධම්මනිසන්තියෙහි අවිගත ප්‍රේම ඇතියේ වෙයි. ඉච්ඡාවිනයෙහි (තෘෂ්ණාවිනයෙහි) තීව්‍ර ඡන්‍ද ඇතියේ මත්තෙහි දු ඉච්ඡාවිනයෙහි අවිගත ප්‍රේම ඇතියේ වෙයි. පිළිසලනෙහි (ඒකීභාවයෙහි) තීව්‍ර ඡන්‍ද ඇතියේ මත්තෙහි දු පිළිසලනෙහි අවිගත ප්‍රේම ඇතියේ වෙයි. වීර්‍ය්‍යාරම්භයෙහි තීව්‍ර ඡන්‍ද ඇතියේ මත්තෙහි දු වීර්‍ය්‍යාරම්භයෙහි අවිගතප්‍රේම ඇතියේ වෙයි. ස්මෘති නිපකභාවයෙහි (සිහි හා ස්ථානෝචිත ප්‍රඥාහි) තීව්‍ර ඡන්‍ද ඇතියේ මතුයෙහි දු ස්මෘති නිපකභාවයෙහි අවිගත ප්‍රේම ඇතියේ වෙයි. (මාර්‍ගදර්‍ශනසඞ්ඛ්‍යාත) දෘෂ්ටිප්‍රතිවේධයෙහි තීව්‍ර ඡන්‍ද ඇතියේ මතුයෙහි දු දෘෂ්ටිප්‍රතිවේධයෙහි අවිගත ප්‍රේම ඇතියේ වෙයි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, සත්ත නිද්දසවත්ථුනිති.
Sinhala BJTමහණෙනි, මෙ නිර්දශවස්තු (රහතුන් පිළිබඳ “දසවස්හි පිරිනිවියහු නැවත දසවස් නොවෙති” ආදි කථා කරුණු) සත යි.
Pali BJTඅනුසයවග්ගො දුතියො.
Sinhala BJTඅනුශයවර්‍ගය දෙවෙනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ අනුසයා කුලං පුග්ගලං උදකූපමඤ්ච පඤ්චමං, අනිච්චං දුක්ඛං අනත්තා ච සුඛ නිද්දස වත්ථූහි තෙ දසාති,
Sinhala BJTඅනුසය සූත්‍ර දෙක ය, කුලසූත්‍රය, පුග්ගලසූත්‍රය, උදකකූපමසූත්‍ර ය, අනිච්චසූත්‍ර ය, දුක්ඛසූත්‍ර ය, අනත්තසූත්‍ර ය, සුඛසූත්‍ර ය, නිද්දසවත්‍ථුසූත්‍ර ය දැයි දසයෙකි.
Pali BJT3. වජ්ජිසත්තක වග්ගො.
Sinhala BJT3. වජ්ජිසත්තක වර්‍ගය
Pali BJT7. 1. 3. 1.
Sinhala BJT7. 1. 3. 1.
Pali BJT[සාරන්දද සුත්තං]
Sinhala BJT[සාරන්‍දද සූත්‍රය]
Pali BJT21. එවං මෙ සුතං එකං සමයං භගවා වෙසාලියං විහරති සාරන්දදෙ චෙතියෙ.
Sinhala BJT21. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වේසාලී නගරයෙහි සාරන්‍දද චේතිය වෙහෙරෙහි වැඩ වසනසේක.
Pali BJTඅථ ඛො සම්බහුලා ලිච්ඡවී යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ ලිච්ඡවි භගවා එතදවොච:
Sinhala BJTඑක්බිති බොහෝ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ ලිච්ඡවීනට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණු වදාළහ:
Pali BJTසත්ත වො ලිච්ඡවී, අපරිහානියෙ ධම්මෙ දෙසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති. එවම්භන්තෙති ඛො තෙ ලිච්ඡවී භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT“ලිච්ඡවියෙනි, තොපට සප්තඅපරිහානීය ධර්‍මයන් දෙසමි. එ අසවු. මනාකොට මෙනෙහි කරවු. කියමි”යි. ‘එසේ ය වහන්සැ’යි ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.
Pali BJTකතමෙ ච ලිච්ඡවී සත්ත අපරිහානීයා ධම්මා:
Sinhala BJTලිච්ඡවියෙනි, අපරිහානීයධර්‍ම සත කවර යත්:
Pali BJT(1) යාවකීවඤ්ච ලිච්ඡවී, වජ්ජී අභිණ්හං සන්නිපාතා භවිස්සන්ති සන්නිපාතබහුලා, වුද්ධියෙව ලිච්ඡවී, වජ්ජීනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJT(1) ලිච්ඡවියෙනි, ව්‍රජීහු යම්තාක්කල් නිතර රැස්වන්නාහු රැස්වීම් බහුල කොට ඇත්තාහු නම්, ලිච්ඡවියෙනි, ව්‍රජීන්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
Pali BJT(2) යාවකීවඤ්ච ලිච්ඡවී, වජ්ජී සමග්ගා සන්නිපතිස්සන්තී, සමග්ගා වුට්ඨහිස්සන්ති, සමග්ගා වජ්ජිකරණීයානි කරිස්සන්ති වුද්ධියෙව ලිච්ඡවී වජ්ජීනං පාටික්ඛා නො පරිහානි.
Sinhala BJT(2) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්‍රජීහු සමඟ ව රැස් වෙත් නම්, සමඟ ව නැඟ සිටුනාහු නම්, සමඟ ව ව්‍රජීනට අයත් කරණී කෙරෙත් නම්, ලිච්ඡවියෙනි, ව්‍රජීනට වෘද්ධිය මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
Pali BJT(3) යාවකීවඤ්ච ලිච්ඡවී, වජ්ජී අපඤ්ඤත්තං න පඤ්ඤාපෙස්සන්ති, පඤ්ඤත්තං න සමුච්ඡින්දිස්සන්ති, යථා පඤ්ඤත්තෙ පොරාණෙ වජ්ජිධම්මෙ සමාදාය වත්තිස්සන්ති, වුද්ධියෙව ලිච්ඡවී වජ්ජීනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJT(3) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්‍රජීහු අප්‍රඥප්තයන් (පෙර රජුන් විසින් නො පනවන ලද ව්‍යවස්ථා) නො පණවත් නම්, ප්‍රඥප්තය (පැණවූ ව්‍යවස්ථා) නො සිඳලත් නම්, යථාප්‍රඥප්ත වූ පැරණි ව්‍රජීධර්‍මයෙහි සමාදන් කොට ගෙන වැටෙත් නම්, ලිච්ඡවියෙනි, ව්‍රජිනට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු.
Pali BJT(4) යාවකීවඤ්ච ලිච්ඡවී, වජ්ජී යෙ තෙ වජ්ජීනං වජ්ජිමහල්ලකා, තෙ සක්කරිස්සන්ති, ගරුකරිස්සන්ති, මානෙස්සන්ති, පූජෙස්සන්ති, තෙසඤ්ච සොතබ්බං මඤ්ඤිස්සන්ති, වුද්ධියෙව ලිච්ඡවී, වජ්ජීනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJT(4) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්‍රජීහු යම් බඳු මහලු ව්‍රජීහු වෙත් නම්, ඔවුනට සත්කාර කරන්නාහු, ගරුකරන්නාහු, බුහුමන් කරන්නාහු, පූජා කරන්නාහු නම්, ඔවුන්ගේ ද අවවාද කථා ඇසියයුතු කොට හඟනාහු නම්, ලිච්ඡවියෙනි, ව්‍රජීනට වෘද්ධිය මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු.
Pali BJT(5) යාවකීවඤ්ච ලිච්ඡවී, වජ්ජී යා තා කුලිත්ථියො කුලකුමාරියො, තා න ඔකස්ස{1} පසය්හ වාසෙස්සන්ති, වුද්ධියෙව ලිච්ඡවී, වජ්ජීනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJT(5) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්‍රජීහු යම් බඳු කුලස්ත්‍රීහු කුලකුමාරීහු වෙත් නම්, ඔවුන් හැදගෙණ බලාත්කාරයෙන් මැඩගෙණ නො වස්වන්නාහු නම් ලිච්ඡවියෙනි, ව්‍රජීන්හට වෘද්ධියම මුත් පරිහානියෙක් නො කැමති වියයුතු.
Pali BJT(6) යාවකීවඤ්ච ලිච්ඡවී, වජ්ජී යානි තානි වජ්ජීනං වජ්ජිචෙතියානි අබ්භන්තරානි චෙව බාහිරානි ච, තානි සක්කරිස්සන්ති, ගරුකරිස්සන්ති, මානෙස්සන්ති. පූජෙස්සන්ති, තෙසඤ්ච දින්නපුබ්බං කතපුබ්බං ධම්මිකං බලිං නො පරිහාපෙස්සන්ති, වුද්ධියෙව ලිච්ඡවී, වජ්ජීනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJT(6) ලිච්ඡවියෙනි, යම් තාක් කල් වැදෑරට වැසියෝ ව්‍රජින්ගේ ඇතුළුනුවර පිහිටි හෝ බිහිනුවර පිහිටි හෝ යම් බඳු ව්‍රජිචෛත්‍යස්ථානයෝ වෙත් නම්, එ හැමට සත්කාරකරන්නාහු, ගරු කරන්නාහු, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම්, ඔවුනට (රජමහ ඇමති ආදීන් විසින්) දුන්විරූ, කළවිරූ දැහැමි බලි නො පිරිහෙළන්නාහු නම්, ලිච්ඡවියෙනි, ව්‍රජින්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
Pali BJT(7) යාවකීවඤ්ච ලිච්ඡවී, වජ්ජීනං අරහන්තෙසු ධම්මිකා රක්ඛාවරණගුත්තී සුසංවිහිතා භවිස්සති ‘කින්ති අනාගතා ච අරහන්තො විජිතං ආගච්ඡෙය්යුං, ආගතා ච අරහන්තො විජිතෙ ඵාසුං විහරෙය්යුන්ති’ වුද්ධියෙව ලිච්ඡවී, වජ්ජීනං පාටිඞ්ඛා නො පරිහානි.
Sinhala BJT(7) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්‍රජීන් විසින් රහතුන් (පැවිද්දන්) කෙරෙහි “කෙසේ නො පැමිණි රහත්හු විජිතයට එන්නාහු ද, පැමිණියාහු ද පහසු සෙයින් වෙසෙත් ව”යි දැහැමි රැකවරණ හා ගෝපන මොනොවට කරණලද වේ නම්, ලිච්ඡවියෙනි, ව්‍රජීන්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු.
Pali BJTයාවකීවඤ්ච ලිච්ඡවී, ඉමෙ සත්ත අපරිහානීයා ධම්මා වජ්ජීසු ඨස්සන්ති, ඉමෙසු ච සත්තසු අපරිහානීයෙසු ධම්මෙසු වජ්ජී සන්දිස්සන්ති, වුද්ධියෙව ලිච්ඡවී, වජ්ජීනං පාටිකඞ්ඛා නො පරිහානීති.
Sinhala BJTලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්‍රජීන් කෙරෙහි මෙ සප්ත අපරිහානීයධර්‍මයෝ පවත්නාහු නම්, මේ සප්ත අපරිහානීය ධර්‍මයන්හිදු ව්‍රජීහු පැණෙත් නම්, ලිච්ඡවියෙනි, ව්‍රජීනට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු යයි.
Pali BJT7. 1. 3. 2.
Sinhala BJT7. 1. 3. 2.
Pali BJT[වස්සකාරසුත්තං]
Sinhala BJT[වස්සකාර සූත්‍රය]
Pali BJT22. එවම්මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති, ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන රාජා මාගධො අජාතසත්තු වෙදෙහි පුත්තො වජ්ජී අභියාතුකාමො හොති.
Sinhala BJT22. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්‍වතයෙහි වැඩ වසන සේක. එ සමයෙහි මාගධරාජ වූ වේදේහී පුත්‍ර වූ අජාතසත්තු තෙම වැදෑරජුන් මඩනට යනු කැමැතියේ වෙයි.
Pali BJTසො එවමාහ: අහං ඉමෙ වජ්ජී එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ උච්ඡෙච්ඡාමි{1} වජ්ජී විනාසෙස්සාමි වජ්ජී අනයබ්යසනං ආපාදෙස්සාමීති.
Sinhala BJTහේ මෙසේ කියයි: මම මෙසෙයින්, මහර්ධි ඇති මෙසෙයින් මහානුභාව ඇති මෙ ව්‍රජිරජුන් සිඳ ලන්නෙමි, ව්‍රජිරජුන් වනසන්නෙමි, ව්‍රජරාජයන් අනයව්‍යසනයට පමුණුවන්නෙමියි.
Pali BJTඅථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහි පුත්තො වස්සකාරං බ්රාහ්මණං මගධමහාමත්තං{2} ආමන්තෙසි: එහි ත්වං බ්රාහ්මණ, යෙන භගවා තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්ද, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ:
Sinhala BJTඉක්බිති මාගධරාජ වූ වේදේහී පුත්‍ර අජාතසත්තු රජ මගධ මහාමාත්‍ර වූ වත්සකාර බ්‍රාහ්මණයා ඇමැතී ය: බ්‍රාහ්මණය, එව තෝ භාග්‍යවතුන් වහන්සේ කරා යව. ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳුව. අල්පාබාධ අල්පාතඞ්ක සැහැල්ලු පැවැතුම් සිරිරුබල පහසුවිහරණ පුළුවුස්ව.
Pali BJT”රාජා භන්තෙ මාගධො අජාතසත්තු වෙදෙහි පුත්තො භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. එවඤ්ච වදෙහි: රාජා භන්තෙ මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො, සො එවමාහ: අහං ඉමෙ වජ්ජී එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ උච්ඡෙච්ඡාමි{1} වජ්ජී විනාසෙස්සාමි වජ්ජී අනයබ්යසනං ආපාදෙස්සාමි’ති. යථා{3} භගවා ව්යාකරොති තං සාධුකං උග්ගහෙත්වා මම ආරොචෙය්යාසී, න හි තථාගතා විතථං භණන්තී”ති.
Sinhala BJT“වහන්ස, වේදේහී පුත්‍ර අජාතසත්තු මාගධරාජ භාග්‍යවතුන් වහන්සේගේ පා වඳනේ ය. අල්පාබාධ අල්පාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ විචාරන්නේ ය. වහන්ස, වේදේහී පුත්‍ර අජාතසත්තු මගධරජ වැදෑමහරජුන් මඩනට යනු කැමැත්තේ ය. හේ මෙසේ කියයි: “මම මෙබඳු මහර්ධි ඇති මෙ බඳු මහානුභාව ඇති මෙ වැදෑ රජුන් උසුන් කරන්නෙමි. මෙ වැදෑරජුන් වනසාලන්නෙමි. මෙ ව්‍රජීන් මම අනය ව්‍යසනයට පමුණුවන්නෙමි”යි. ඒ භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි පාළ කරණසේක් නම් එය මනාකොට උගෙණ මට සැළ කරව. තථාගතයෝ අසත්‍යයක් නො වදාරන්නාහ”යි.
Pali BJTඑවං භොති ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො{4} රඤ්ඤො මාගධස්ස අජාතසත්තුස්ස වෙදෙහිපුත්තස්ස පටිස්සුත්වා උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො{4} භගවන්තං එතදවොච:
Sinhala BJTඑසේ ය භවත්නි’ය මගධමහාමාත්‍ර වූ වස්සකාර බ්‍රාහ්මණ වේදේහි පුත්‍ර වූ අජාතසත්තු මගධමහරජහට පිළිවදන් අස්වා හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ කරා ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ හා සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහිපත් කටයුතු කථාව කොට නිම වා එකත්පසෙක හින. එකත්පසෙක හුන් වස්සකාර මගධමහාමාත්‍ර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය:
Pali BJTරාජා භො ගොතම, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භොතො ගොතමස්ස පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, වේදේහිපුත්‍ර මගධරාජ අජාතසත්තු තෙම භවත් ගෞතමයන්ගේ පා සිරසින් වඳනේ අල්පාබාධා, අල්පාතඞ්ක, සැහැල්ලු පැවැතුම, බලය, ඵාසුවිහාර ද පුළුවුස්නේ ය.
Pali BJTරාජා භො ගොතම, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො. සො එවමාහ: අහං ඉමෙ වජ්ජී එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ උච්ඡෙච්ඡාමි, වජ්ජී විනාසෙස්සාමි, වජ්ජි අනයබ්යසනං ආපාදෙස්සාමිති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, වේදේහිපුත්‍ර වූ අජාතසත්තු මගධාධිපතිරජ වැදෑරජුන් මඩනට යනු කැමැතියේ ය. “හේ මෙසේ ද කියයි: මෙබඳු මහර්ධි ඇති, මෙබඳු මහානුභාව ඇති මෙ ව්‍රජීන් මම සිඳ පියන්නෙමි, ව්‍රජීන් වනසාලන්නෙමි, ව්‍රජීන් අනයව්‍යසනයට පමුණුවන්නෙමි”යි.
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මා ආනන්දො භගවතො පිට්ඨිතො{1} හොති භගවන්තං වීජයමානො. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි:
Sinhala BJTඑසමයෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ පිටුපස්හි භාග්‍යවතුන් වහන්සේට පවන් සලන්නාහු වෙත්. එක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමතූ සේක:
Pali BJT(1) කින්ති තෙ ආනන්ද සුතං වජ්ජී අභිණ්හං සන්නිපාතා සන්නිපාත බහුලාති?
Sinhala BJT(1) ආනන්‍දයෙනි, වජ්ජීහු නිතර රැස්වන්නාහු සන්නිපාත බහුල වූවාහු ය යන තෙල පුවත කිම තොප විසින් අසනලද දැයි.
Pali BJTසුතං මෙ තං භන්තෙ, වජ්ජී අභිණ්හං සන්නිපාතා සන්නිපාතබහුලාති.
Sinhala BJTවහන්ස, වජ්ජීහු නිතර රැස්වන්නාහු සන්නිපාතබහුලයහයි මා විසින් අසනලදැයි.
Pali BJTයාවකීවඤ්ච ආනන්ද, වජ්ජී අභිණ්හං සන්නිපාතා භවිස්සන්ති, සන්නිපාතබහුලා, වුද්ධියෙව ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJTආනන්‍දයෙනි, වජ්ජීහු යම් තාක් කල් නිතර රැස්වන්නාහු සන්නිපාතබහුල වූවාහු වෙත් ද, ආනන්‍දයෙනි, වජ්ජීන්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
Pali BJT(2) කින්ති තෙ ආනන්ද, සුතං, වජ්ජී සමග්ගා සන්නිපතන්ති සමග්ගා වුට්ඨහන්ති සමග්ගා වජ්ජිකරණීයානි කරොන්තීති?
Sinhala BJT(2) ආනන්‍දයෙනි, කිම, වජ්ජීහු සමඟ ව රැස්වන්නාහු සමඟ ව නැඟසිටුනාහ, සමඟ ව වජ්ජිකරණී කෙරෙති යි තොප විසින් අසන ලද දැ යි.
Pali BJTසුතං මෙ තං භන්තෙ, වජ්ජී සමග්ගා සන්නිපතන්ති, සමග්ගා වුට්ඨහන්ති සමග්ගා වජ්ජිකරණීයානි කරොන්තීති.
Sinhala BJTවහන්ස, වජ්ජීහු සමඟ ව රැස්වන්නාහ, සමඟ ව නැඟ සිටුනාහ, සමඟ ව වජ්ජීකරණි කරණාහයි මා විසින් අසනලදැයි.
Pali BJTයාවකීවඤ්ච ආනන්ද, වජ්ජී සමග්ගා සන්නිපතිස්සන්ති, සමග්ගා වුට්ඨහිස්සන්ති සමග්ගා වජ්ජිකරණීයානි කරිස්සන්ති, වුද්ධියෙව ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJTආනන්‍දයෙනි, යම් තාක් කල් වජ්ජීහු සමඟ ව රැස් වන්නාහු සමඟ ව නැඟීසිටුනාහ, සමඟ ව වජ්ජිකරණී (රජයේ කටයුතු) කරන්නාහු ද, ආනන්‍දයෙනි, වජ්ජීන්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් කැමැති නො විය යුතු.
Pali BJT(3) කින්ති තෙ ආනන්ද, සුතං වජ්ජී අපඤ්ඤත්තං න පඤ්ඤාපෙන්ති, පඤ්ඤත්තං න සමුච්ඡින්දන්ති. යථාපඤ්ඤත්තෙ පොරාණෙ වජ්ජිධම්මෙ සමාදාය වත්තන්තීති?
Sinhala BJT(3) ආනන්‍දයෙනි, කිම, වජ්ජීහු අප්‍රඥප්තය නො පණවන්නාහ, ප්‍රඥප්තය නො සිඳපියන්නාහ, යථාප්‍රඥප්ත වූ පැරණි වජ්ජීධර්‍මයෙහි සමාදන් කොට ගෙණ වැටෙතියි තොප විසින් අසන ලද දැයි.
Pali BJTසුතං මෙතං භන්තෙ, වජ්ජී අපඤ්ඤත්තං න පඤ්ඤාපෙන්ති, පඤ්ඤත්තං න සමුච්ඡින්දන්ති, යථාපඤ්ඤත්තෙ පොරාණෙ වජ්ජිධම්මෙ සමාදාය වත්තන්තීති.
Sinhala BJTවහන්ස, වජ්ජීහු නො පණවන ලද්දක් නො පණවත්, පණවනලද්ද නො සිඳ පියත්, යථාප්‍රඥප්ත පෞරාණික වජ්ජිධර්‍මයෙහි සමාදන් කොටගෙන වැටෙන්නාහ යන තෙල කරුණ මා විසින් අසනලදැයි.
Pali BJTයාවකීවඤ්ච ආනන්ද, වජ්ජී පඤ්ඤත්තං න පඤ්ඤාපෙස්සන්ති, පඤ්ඤත්තං න සමුච්ඡින්දිස්සන්ති, යථාපඤ්ඤත්තෙ පොරාණෙ වජ්ජිධම්මෙ සමාදාය වත්තිස්සන්ති, වුද්ධියෙව ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJTආනන්‍දයෙනි, යම් තාක් කල් වජ්ජීහු අප්‍රඥප්තය නො පණවත් ද, ප්‍රඥප්තය නො සිඳපියත් ද, යථාප්‍රඥප්ත පෞරාණික ව්‍රජිධර්‍මයෙහි සමාදන් කොටගෙන වැටෙත් ද, ආනන්‍දයෙනි, වජ්ජින්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
Pali BJT(4) කින්ති තෙ ආනන්ද, සුතං වජ්ජී යෙ තෙ වජ්ජීනං වජ්ජී මහල්ලකා, තෙ සක්කරොන්ති ගරුකරොන්ති{2} මානෙන්ති පූජෙන්ති, තෙසඤ්ච සොතබ්බං මඤ්ඤන්ති?
Sinhala BJT(4) ආනන්‍දයෙනි, කිම, වජ්ජීහු වජ්ජින්ගේ යම් බඳු මහලු වජ්ජිහු වෙත් ද, ඔවුනට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්, ඔවුන්ගේ කථා ද ඇසියයුතු කොට සිතත් යන තෙල කරුණ තොප විසින් අසන ලද දැයි.
Pali BJTසුතං මෙතං භන්තෙ, වජ්ජී යෙ තෙ වජ්ජීනං වජ්ජිමහල්ලකා, තෙ සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, තෙසඤ්ච සොතබ්බං මඤ්ඤන්තීති.
Sinhala BJTවහන්ස, වජ්ජින්ගේ මහලු යම් බඳු වජ්ජිහු වෙත් නම් වජ්ජිහු ඔවුන්ට සත්කාර කරත්, ගරුකරත්, බුහුමන් කරත්, පුදත්, ඔවුන්ගේ බස් ඇසියයුතු කොට හඟිත් යන තෙල කරුණ ම විසින් අසනලදැයි.
Pali BJTයාවකීවඤ්ච ආනන්ද, වජ්ජී යෙ තෙ වජ්ජීනං වජ්ජී මහල්ලකා තෙ සක්කරිස්සන්ති ගරුකරිස්සන්ති මානෙස්සන්ති පූජෙස්සන්ති තෙසඤ්ච සොතබ්බං මඤ්ඤිස්සන්තී, වුද්ධියෙව ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJTආනන්‍දයෙනි, යම් තාක් කල් වජ්ජින්ගේ යම් බඳු මහලු වජ්ජීහු වෙත් ද, වජ්ජිහු ඔවුන්ට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්, ඔවුන්ගේ කථාත් ඇසියයුතු සෙ හඟිත් නම්, ආනන්‍දයෙනි, වජ්ජිනට වෘද්ධිය මුත් පරිහානිය නො කැමති වියයුතු.
Pali BJT(5) කින්ති තෙ ආනන්ද, සුතං වජ්ජී යා තා කුලිත්ථියො කුලකුමාරියො තා න ඔකස්ස පසය්හ වාසෙන්තීති?
Sinhala BJT(5) ආනන්‍දයෙනි, කිම, යම් බඳු කුලස්ත්‍රීහු කුලකුමාරීහු වෙත් නම්, වජ්ජීහු ඔවුන් බලාත්කාරයෙන් හැද මැඩගෙණ නො වස්වති යන තෙල කරුණ තොප විසින් අසන ලද දැයි.
Pali BJTසුතං මෙතං භන්තෙ, වජ්ජී යා තා කුලිත්ථියො කුලකුමාරියො තා න ඔකස්ස පසය්හ වාසෙන්තීති.
Sinhala BJTවහන්ස, යම් බඳු කුලස්ත්‍රීහු කුලකුමාරීහු වෙත් නම්, වජ්ජීහු ඔවුන් බලාත්කාරයෙන් හැද මැඩගෙණ නො වස්වති යන තෙල කරුණ මා විසින් අසන ලදැයි.
Pali BJTයාවකීවඤ්ච ආනන්ද, වජ්ජී යා තා කුලිත්ථියො කුලකුමාරියො තා න ඔකස්ස{1} පසය්හ වාසෙස්සන්තී, වුද්ධියෙව ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJTආනන්‍දයෙනි, යම් තාක් වජ්ජීහු යම් බඳු කුලස්ත්‍රීහු කුල කුමාරීහු වෙත් නම්, ඔවුන් බලාත්කාරයෙන් හැද මැඩගෙණ නො වස්වත් ද, ආනන්‍දයෙනි, වජ්ජීනට අභිවෘද්ධිය ම මුත් පරිහානිය නො කැමැති වියයුතු.
Pali BJT(6) කින්ති තෙ ආනන්ද, සුතං වජ්ජී යානි තානි වජ්ජීනං වජ්ජිචෙතියානි අබ්භන්තරානි චෙව බාහිරානි ච තානි සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්තී, තෙසඤ්ච දින්නපුබ්බං කතපුබ්බං ධම්මිකං බලිං නො පරිහාපෙන්තීති?
Sinhala BJT(6) ආනන්‍දයෙනි, කිම, වජ්ජීන්ගේ යම් බඳු අභ්‍යන්තර වූත් බාහිර වූත් චෛත්‍යස්ථානයෝ වෙත් නම්, එ හැමට වජ්ජිහු සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්, ඔවුන්ට දුන්විරූ කළවිරූ දැහැමි බලිපුද නො පිරිහෙලත් යන තෙල කරුණ තොප විසින් අසනලද දැයි.
Pali BJTසුතං මෙතං භන්තෙ, වජ්ජී යානි තානි වජ්ජීනං වජ්ජිචෙතියානි අබ්භන්තරානි චෙව බාහිරානි ච තානි සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, තෙසඤ්ච දින්නපුබ්බං කතපුබ්බං ධම්මිකං බලිං නො පරිහාපෙන්තීති.
Sinhala BJTවහන්ස, වජ්ජිහු අභ්‍යන්තර වූත් බාහිර වූත් යම් ඒ වජ්ජින්ගේ චෛත්‍යස්ථානයෝ වෙත් නම්, එ හැමට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්, ඔවුන්ට දුන්විරූ කළවිරූ දැහැමි බලිපුද නො පිරිහෙලත් යන තෙල කරුණ මා විසින් අසනලද දැයි.
Pali BJTයාවකීවඤ්ච ආනන්ද, වජ්ජී යානි තානි වජ්ජීනං වජ්ජිචෙතියානි අබ්භන්තරානි චෙව බාහිරානි ච තානි සක්කරිස්සන්ති, ගරුකරිස්සන්ති මානෙස්සන්ති, පූජෙස්සන්ති, තෙසඤ්ච දින්නපුබ්බං කතපුබ්බං ධම්මිකං බලිං නො පරිහාපෙස්සන්ති, වුද්ධියෙව ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJTආනන්‍දයෙනි, යම් තාක් වජ්ජීහු වජ්ජින්ගේ යම් බඳු අභ්‍යන්තර වූ ද බාහිර වූ ද චෛත්‍යස්ථානයෝ වෙත් නම්, ඔවුන්ට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්, ඔවුන්ට දුන්විරූ කළවිරූ දැහැමි බලිපුද නො පිරිහෙළත් නම්; ආනන්‍දයෙනි, වජ්ජීනට අභිවෘද්ධිය ම පරිහානියෙක් නො කැමැති වියයුතු.
Pali BJT(7) කින්ති තෙ ආනන්ද, සුතං වජ්ජීනං අරහන්තෙසු ධම්මිකා රක්ඛාවරණගුත්ති සුසංවිහිතා, ‘කින්ති අනාගතා ච අරහන්තො විජිතං ආගච්ඡෙය්යුං, ආගතා ච අරහන්තො විජිතෙ ඵාසුං විහරෙය්යු’න්ති.
Sinhala BJT(7) ආනන්‍දයෙනි, කිම, වජ්ජීන් විසින් ‘කිසෙයින් නො පැමිණි රහත්හු විජිතයට එන්නාහු ද, පැමිණියාවූත් රහත්හු විජිතයෙහි පහසුයෙන් වෙසෙත්වා’යි රහතුන් කෙරෙහි දැහැමි රැකවරණ ගෝපනය මොනොවට සංවිහිත කරණලදැයි යන තෙල කරුණ තොප විසින් අසන ලද දැයි.
Pali BJTසුතං මෙතං භන්තෙ වජ්ජීනං අරහන්තෙසු ධම්මිකා රක්ඛාවරණගුත්තී සුසංවිහිතා භවිස්සති ‘කින්ති අනාගතා ච අරහන්තො විජිතං ආගච්ඡෙය්යුං, ආගතා ච අරහන්තො විජිතෙ ඵාසුං විහරෙය්යු’න්ති.
Sinhala BJTවහන්ස, වජ්ජීන් විසින් ‘කිසෙයින් නො පැමිණි රහත්හු විජිතයට එන්නාහු ද, පැමිණියා වූත් රහත්හු විජිතයෙහි පහසුයෙන් වෙසෙත්වා’යි රහතුන් කෙරෙහි ධාර්මික රක්‍ෂාවරණ ගෝපනය මැනැවින් කරණ ලද ය යන තෙල කරුණ මා විසින් අසන ලදැයි.
Pali BJTයාවකීවඤ්ච ආනන්ද, වජ්ජීනං අරහන්තෙසු ධම්මිකා රක්ඛාවරණගුත්ති සුසංවිහිතා භවිස්සති ‘කින්ති අනාගතා ච අරහන්තො විජිතං ආගච්ඡෙය්යුං, ආගතා ච අරහන්තො විජිතෙ ඵාසුං විහරෙය්යුන්ති’ වුද්ධියෙව ආනන්ද වජ්ජීනං පාටිකඞ්ඛා නො පරිහානීති.
Sinhala BJTආනන්‍දයෙනි, යම්තාක් වජ්ජීන් විසින් ‘කිසෙයින් නො පැමිණි රහත්හු විජිතයට යම් කවර සෙයකින් පැමිණෙන්නාහු ද, පැමිණියා වූත් රහත්හු විජිතයෙහි පහසුයෙන් වෙසෙත්වා’යි රහතුන් කෙරෙහි ධාර්මික රක්‍ෂාවරණ ගුප්තිය මොනොවට කරණලද නම්, ආනන්‍දයෙනි, වජ්ජිනට වාද්ධිය මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු යයි.
Pali BJTඅථ ඛො භගවා වස්සකාරං බ්රාහ්මණං මගධමහාමත්තං ආමන්තෙසි. එකමිදාහං බ්රාහ්මණ, සමයං වෙසාලියං විහරාමි සාරන්දදෙ චෙතියෙ. තත්රාහං බ්රාහ්මණ වජ්ජීනං ඉමෙ සත්ත අපරිහානීයෙ ධම්මෙ දෙසෙසිං. යාවකීවඤ්ච බ්රාහ්මණ, ඉමෙ සත්ත අපරිහානීයා ධම්මා වජ්ජීසු ඨස්සන්ති, ඉමෙසු ච සත්තසු අපරිහානියෙසු ධම්මෙසු වජ්ජී සන්දිස්සන්ති, වුද්ධියෙව බ්රාහ්මණ, වජ්ජීනං පාටිකඞ්ඛා නො පරිහානීති.
Sinhala BJTඑක්බිති, භාග්‍යවතුන් වහන්සේ වස්සකාර මගධමහමාත්‍රයා ඇමැතූසේක: බමුණ, මම එක් සමයෙක්හි මෙ විසල්පුරයෙහි සාරන්‍දද චෙතියෙහි වසමි. බමුණ එහි දී මම වජ්ජීනට මෙ සප්ත අපරිහානිය ධර්‍මය දෙසීමි. බමුණ යම් තාක් මෙ සප්ත අපරිහානීධර්‍මයෝ වජ්ජීන් කෙරෙහි සිටුත් නම්, මෙ සප්ත අපරිහානීයධර්‍මයන්හි වජ්ජීහු ද පැණෙත් නම්, බ්‍රාහ්මණය, වජ්ජිනට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු ය යි.
Pali BJTඑවං වුත්තෙ වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො භගවන්තං එතදවොච: එකමෙකෙනපි භො ගොතම, අපරිහානීයෙන ධම්මෙන සමන්නාගතානං වජ්ජීනං වුද්ධියෙව පාටිකඞ්ඛා නො පරිහානි, කො පන වාදො සත්තහි අපරිහානීයෙහි ධම්මෙහි? අකරණීයා ච භො ගොතම, වජ්ජී රඤ්ඤා මාගධෙන අජාතසත්තුනා වෙදෙහි පුත්තෙන යදිදං යුද්ධස්ස අඤ්ඤත්ර උපලාපනා{1} අඤ්ඤත්ර මිථුභෙදා.
Sinhala BJTමෙසේ වදාළ කල්හි වස්සකාර මගධමහාමාත්‍ර භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, එක් අපරිහානීය ධර්‍මයෙකිනුදු සමන්‍වාගත වජ්ජීනට වෘද්ධිය මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු. සප්තාපරිහානීයධර්‍මයෙන් සමන්‍වාගත නම් කවර කථායෙක් ද, භවත් ගෞතමයන් වහන්ස, නැළැවීම් වචනයෙන් විනා, පරස්පරභේදයෙන් විනා වේදේහිපුත්‍ර වූ මගධපති අජාතසත්තු රජහු විසින් වජ්ජීහු යුද්ධයෙන් දිනා නො ගත හැකියාහු ම වෙති යි.
Pali BJTහන්දචදානි මයං භො ගොතම, ගච්ඡාම, බහුකිච්චා මයං බහුකරණීයාති. යස්සදානි ත්වං බ්රාහ්මණ, කාලං මඤ්ඤසීති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, දැන් වනාහි අපි යම්හ. අපි බොහෝ කිස ඇතියම්හ. බොහෝ කරණී ඇතියම්හයි. බ්‍රාහ්මණය, එයට දැන් කල් දනුවයි.
Pali BJTඅථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමීති.
Sinhala BJTඑක්බිති වස්සකාර මගධමහාමාත්‍ර භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙණ අනුමෝදන් ව හුනස්නෙන් නැඟී නික්මගියේ ය.
Pali BJT7. 1. 3. 3.
Sinhala BJT7. 1. 3. 3.
Pali BJT[භික්ඛු අපරිහානීය සුත්තං]
Sinhala BJT[භික්ඛුඅපරහානීය සූත්‍රය]
Pali BJT23. එවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති. ගිජ්ඣකූටෙ පබ්බතෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: සත්ත වො භික්ඛවෙ අපරිහානීයෙ ධම්මෙ දෙසිස්සාමි. තං සුණාථ සාධුකං මනසිකරොථ භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං භගවා එතදවොච:
Sinhala BJT23. මා විසින් මෙසේ අසනලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්යෙහි වැඩ වසනසේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමැතූහ: “මහණෙනි, තොපට සප්තඅපරිහානීයධර්‍මයන් දෙසමි. එ අසව, මොනොවට මෙනෙහි කරව, දෙසමියි. වහන්ස, එසේ යයි එ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJTකතමෙ ච භික්ඛවෙ සත්ත අපරිහානීයා ධම්මා:
Sinhala BJTමහණෙනි, සප්තාපරහානීය ධර්‍මයෝ කවරහ යත්:
Pali BJT(1) යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ අභිණ්හං සන්නිපාතා භවිස්සන්ති සන්නිපාතබහුලා, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි.
Sinhala BJT(1) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු නිතර රැස්වීම් ඇත්තාහු සන්නිපාත බහුල වෙත් නම් මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
Pali BJT(2) යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ සමග්ගා සන්නිපතිස්සන්තී, සමග්ගා වුට්ඨහිස්සන්ති, සමග්ගා සඞ්ඝකරණීයානි කරිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි.
Sinhala BJT(2) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු සමඟ ව නිතර රැස් වන්නාහු නම්, සමඟ ව නැඟීසිටුනාහු නම්, සමඟ ව සඞ්ඝකෘත්‍ය කෙරෙත් නම් මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු.