Vibhaṅga

Analysis

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

පෙන්වන කොටස් 3801-3900 න් 4234

978. එහි ගෘහශ්‍රිත වූ ඡන්‍දරාගධර්‍මයෝ සදෙන කවරහ යත්: මනවඩන රූපයන්හි ගෘහශ්‍රිත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත්රාගයෙක්, මනවඩන ශබ්දයන්හි ... මනවඩන ගන්‍ධයන්හි ... මනවඩන රසයන්හි ... මනවඩන ස්ප්‍රෂ්ටව්‍යයන්හි ... මනවඩන ධර්‍මාලම්බනයන්හි ගෘහශ්‍රිත රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මොහු සදෙන ගෘහශ්‍රිතඡන්‍දරාගධර්‍මයෝ යි.
979. එහි විරුද්ධවස්තූහු සදෙන කවරහ යත්: අනිෂ්ට වූ රූපයන්හි චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් සැඩ බවෙක් දුරුක්තියෙක් චිත්තයාගේ නො සතුටුබවෙක්, අනිෂ්ට වූ ශබ්දයන්හි ... අනිෂ්ට වූ ගන්‍ධයන්හි ... අනිෂ්ට වූ රසයන්හි ... අනිෂ්ට වූ ස්ප්‍රෂටව්‍යයන්හි ... අනිෂ්ට වූ ධර්‍මාලම්බනයන්හි චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් සැඬ බවෙක් දුරුක්තියෙක් චිත්තයාගේ නො සතුටුබවෙක් වේ ද, මොහු විරුද්ධවස්තූහු සදෙන වෙත්.
980. එහි ෂට්තෘෂ්ණාකාය කවරෙ යත්: රූපතෘෂ්ණා ය, ශබ්දතෘෂ්ණා ය, ගන්‍ධතෘෂ්ණා ය, රසතෘෂ්ණා ය, ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා ය, ධර්‍මතෘෂ්ණා යි. මොහු ෂට්තෘෂ්ණාකාය වෙත්.
981. එහි අගෞරවයෝ සදෙන කවරහ යත්: ශාස්තෘන් කෙරෙහි ගෞරව රහිත ව නිඃශ්‍රය රහිත ව වෙසෙ යි. ධර්‍මය කෙරෙහි ගෞරව රහිත ව නිඃශ්‍රය රහිත ව වෙසෙ යි. සංඝයා කෙරෙහි ගෞරව රහිත ව නිඃශ්‍රය රහිත ව වෙසෙ යි. ශික්‍ෂායෙහි ගෞරව රහිත ව නිඃශ්‍රය රහිත ව වෙසෙ යි. අප්‍රමාදයෙහි ගෞරව රහිත ව නිඃශ්‍රය රහිත ව වෙසෙ යි. ප්‍රතිසන්‍ථාරයෙහි ගෞරව රහිත ව නිඃශ්‍රය රහිත ව වෙසෙ යි. මොහු අගෞරවයෝ සදෙන වෙත්.
982. එහි පරිහාණියධර්‍මයෝ සදෙන කවරහ යත්: කම්හි ඇලුණු බව ය, කථායෙහි ඇලුණු බව ය, නිද්‍රායෙහි ඇලුණු බව ය, සඞ්ගණිකායෙහි ඇලුණු බව ය, සංසර්‍ගයෙහි ඇලුණු බව ය, ප්‍රපඤ්චයෙහි ඇලුණු බව යි. මොහු පරිහාණියධර්‍මයෝ සදෙන වෙත්.
983. එහි අන්‍ය වූ ද, පරිහාණියධර්‍මයෝ සදෙන කවරහ යත්: කම්හි ඇලුණු බව ය, කථායෙහි ඇලුණු බව ය, නිද්‍රායෙහි ඇලුණු බව ය, සඞ්ගණිකායෙහි ඇලුණු බව ය, දුබැසි බව ය, පාපමිත්‍ර බව යි. මොහු පරිහාණියධර්‍මයෝ සදෙන වෙත්.
984. එහි සෝමනස්සුපවිචාරයෝ සදෙන කවරහ යත්: ඇසින් රූපයක් දැක සොම්නසට කරුණු වූ රූපයෙහි සිත එළවයි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් අසා ... දිවින් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන සොම්නසට කරුණු වූ ධර්‍මයෙහි සිත එළවයි. මොහු සෝමනස්සුපවිචාරයෝ සදෙන වෙත්.
985. එහි දෝමනස්සුපවිචාරයෝ සදෙන කවරහ යත්: ඇසින් රූපයක් දැක දොම්නසට කරුණු වූ රූපයෙහි සිත එළවයි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් අසා ... දිවින් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන දොම්නසට කරුණු වූ ධර්‍මයෙහි සිත එළවයි. මොහු දෝමනස්සුපවිචාරයෝ සදෙන වෙත්.
986. එහි උපෙක්ඛුපවිචාරයෝ සදෙන කවරහ යත්: ඇසින් රූපයක් දැක උපේක්‍ෂාවට කරුණු වූ රූපයෙහි සිත එළවයි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් අසා ... දිවින් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන උපේක්‍ෂාවට කරුණු වූ දහම්හි සිත එළවයි. මොහු උපෙක්ඛුපවිචාරයෝ සදෙන වෙත්.
987. එහි ගෘහශ්‍රිත සෞමනස්‍යයෝ සදෙන කවරහ යත්: මනවඩනා රූපයන්හි කාමාශ්‍රිත වූ චෛතසිකසාතයෙක් චෛතසිකසුඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදනායෙක්, මනවඩනා ශබ්දයන්හි ... මනවඩනා ගන්‍ධයන්හි ... මනවඩනා රසයන්හි ... මනවඩනා ස්ප්‍රෂ්ටව්‍යයන්හි ... මනවඩනා දහම්හි කාමාශ්‍රිත වූ චෛතසික සාතයෙක් චෛතසික සුඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදනායෙක් වේද, මොහු ගෘහශ්‍රිතසෞමනස්‍යයෝ සදෙන වෙත්.
988. එහි ගෘහශ්‍රිත දෞර්‍මනස්‍යයෝ සදෙන කවරහ යත්: අනිෂ්ට වූ රූපයන්හි ගෘහශ්‍රිත වූ චෛතසික අසාතයෙක් චෛතසික දුඃඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාතදුඃඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාතදුඃඛවේදනායෙක්, අනිෂ්ට වූ ශබ්දයන්හි ... අනිෂ්ට වූ ගන්‍ධයන්හි ... අනිෂ්ට වූ රසයන්හි ... අනිෂ්ට වූ ස්ප්‍රෂ්ටව්‍යයන්හි ... අනිෂ්ට වූ ධර්‍මයන්හි ගෘහශ්‍රිත වූ චෛතසික අසාතයෙක් චෛතසික දුඃඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාතදුඃඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාතදුඃඛවේදනායෙක් වේද, මොහු ‘ගෘහශ්‍රිත දෞර්‍මනස්‍යයෝ සදෙන’ වෙත්.
989. එහි ගෘහශ්‍රිතඋපේක්‍ෂාවෝ සදෙන කවරහ යත්: උපේක්‍ෂාවට කරුණු වූ රූපයන්හි ගෘහශ්‍රිත වූ චෛතසික නෛවසාතනාසාතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් උපේක්‍ෂාවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් උපේක්‍ෂාවේදනායෙක්, උපේක්‍ෂාවට කරුණු වූ ශබ්දයන්හි ... උපේක්‍ෂාවට කරුණු වූ ගන්‍ධයන්හි ... උපේක්‍ෂාවට කරුණු වූ රසයන්හි ... උපේක්‍ෂාවට කරුණු වූ ස්ප්‍රෂ්ටව්‍යයන්හි ... උපේක්‍ෂාවට කරුණු වූ ධර්‍මයන්හි ගෘහශ්‍රිත වූ චෛතසික නෛවසාතනාසාතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් උපේක්‍ෂාවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් උපේක්‍ෂාවේදනායෙක් වේද, මොහු ගෘහශ්‍රිත උපේක්‍ෂාවෝ සදෙන වෙත්.
990. එහි ෂඩ්දෘෂ්ටීහු කවරහ යත්: මාගේ ආත්මය ඇතැ යි හෝ සත්‍ය විසින් ස්ථිර විසින් ඔහුට දෘෂ්ටිය උපදියි. මාගේ ආත්මය නැතැ යි හෝ සත්‍ය විසින් ස්ථිර විසින් ඔහුට දෘෂ්ටිය උපදියි. (සංඥාස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ආත්මයෙන් (අවශෙෂස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ආත්මය දනිමි හෝ සත්‍ය විසින් ස්ථිර විසින් ඔහුට දෘෂ්ටිය උපදියි. ආත්මයෙන් අනාත්මය දනිමි හෝ සත්‍ය විසින් ස්ථිර විසින් ඔහුට දෘෂ්ටිය උපදියි. අනාත්මයෙන් ආත්මය දනිමි හෝ සත්‍ය විසින් ස්ථිර විසින් ඔහුට දෘෂ්ටිය උපදියි. නොහොත් යළි ඔහුට මෙබඳු දෘෂ්ටි යෙක් වෙයි: (කෙබඳු ය යත්) යමෙක් කථා කරනුයේ නම් විඳුනේ නම් ඒ ඒ තැන්හි දිගුකලක් කල්‍යාණපාපකකර්‍මයන්ගේ විපාකය අනුභව කෙරේ නම් ඒ මේ මාගේ ආත්මය වෙයි. හෙතෙම නූපන්නේ නො වූයේ ය, හෙතෙම නූපන්නේ නො වන්නේ ය, නිත්‍ය ය, ධ්‍රැව ය, අවිපරිණාමස්වභාව ඇත්තේ ය යි හෝ ඔහුට සත්‍ය විසින් ස්ථිර විසින් දෘෂ්ටිය උපදී. මොහු ෂඩ්දෘෂ්ටීහු වෙත්.
ෂට්ක යි.
991. එහි සප්තානුශයයෝ කවරහ යත්: කාමරාගානුශය ය, ප්‍රතිඝානුශය ය, මානානුශය ය, දෘෂ්ට්‍යනුශය ය, විචිකිත්සානුශය ය, භවරාගානුශය ය, අවිද්‍යානුශය යි. මොහු සප්තානුශය වෙත්.
992. එහි සප්තසංයෝජනයෝ කවරහ යත්: කාමරාගසංයෝජන ය, ප්‍රතිඝසංයෝජන ය, මානසංයෝජන ය, දෘෂ්ටිසංයෝජන ය, විචිකිත්සාසංයෝජන ය, භවරාගසංයෝජන ය, අවිද්‍යාසංයෝජන යි. මොහු සප්තසංයෝජනයෝ යි.
993. එහි සප්ත පර්‍ය්‍යුත්‍ථානයෝ කවරහ යත්: කාමරාගපර්‍ය්‍යුත්‍ථාන ය, ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථාන ය, මානපර්‍ය්‍යුත්‍ථාන ය, දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ය, විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ය, භවරාගපර්‍ය්‍යුත්‍ථාන ය, අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන යි. මොහු සප්ත පර්‍ය්‍යුත්‍ථානයෝ යි.
994. එහි සප්ත අසද්ධර්‍මයෝ කවරහ යත්: අශ්‍රාද්ධයෙක් වෙයි, අහ්‍රීකයෙක් වෙයි, පාපභීරුක නො වූයෙක් වෙයි, අල්පශ්‍රැතයෙක් වෙයි, කුසීතයෙක් වෙයි, මූඪස්මෘති ඇත්තේ වෙයි, දුෂ්ප්‍රාඥයෙක් වේ. මොහු සප්තඅසද්ධර්‍මයෝ යි.
995. එහි සප්ත දුශ්චරිතයෝ කවරහ යත්: ප්‍රාණඝාත ය, අදත්තාදාන ය, කාමමිථ්‍යාචාර ය, මෘෂාවාද ය, පිශුනවචන ය, පරුෂවචන ය, සම්ඵප්‍රලාප යි. මොහු සප්ත දුශ්චරිතයෝ යි.
996. එහි සප්ත මානයෝ කවරහ යත්: මාන ය, අතිමාන ය, මානාතිමාන ය, අවමාන ය, අධිමාන ය, අස්මීමාන ය, මිථ්‍යාමාන යි. මොහු සප්ත මානයෝ යි.
997. එහි සප්තදෘෂ්ටීහු කවරහ යත්: මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. භවත, යම් හෙයකින් රූපී වූ චාතුර්මහාභූතික වූ මාතෘපෛතෘකසම්භව වූ මේ ආත්මය කරජකායයාගේ බිඳීමෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, භවත, මෙතෙකින් මේ ආත්මය මොනොවට සිඳුනේ වේ යයි, මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවති.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි.: භවත, තෝ යමක් කියෙහි නම් තෙල ආත්මය ඇත් ම ය, තෙල නැතැ යි නො කියමි. එතෙකුදුවත් භවත, මේ ආත්මය මෙතෙකින් මොනොවට සිඳුණේ නො වෙයි. භවත, දිව්‍ය වූ රූපී වූ කාමාවචර වූ කවලීකාරාහාරය වළඳනා අන්‍ය ආත්මයෙක් ඇත් මැ යි. එය තෝ නො දන්නෙහි ය, නො දක්නෙහි ය. එය මම් දනිමි දක්මි. භවත, ඒ මේ ආත්මය යම් හෙයෙකින් කරජකායයාගේ භේදයෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, භවත, මෙතෙකින් මේ ආත්මය මොනොවට සිඳුනේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවති.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෝ යමක් කියෙහි නම් තෙල ආත්ම ඇත් ම ය, තෙලෙ නැතැ’ යි නො කියමි. එතෙකුදුවත් භවත, මේ ආත්මය මෙතෙකින් මොනොවට සිඳුනේ නො වෙයි. භවත, දිව්‍ය වූ රූපී වූ (ධ්‍යාන) මනසින් නිපන් හැම අඟපසඟ ඇති පරිපූර්‍ණ ඉන්‍ද්‍රිය ඇති අන්‍ය ආත්මයෙක් ඇත් මැ යි. එය තෝ නො දන්නෙහි ය, නො දක්නෙහි ය, එය මම් දනිමි, දක්මි. භවත, ඒ මේ ආත්මය යම් හෙයෙකින් ශරීරයාගේ භේදයෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, මෙතෙකින් භවත, මේ ආත්මය මොනොවට සිඳුණේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවති.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෝ යමක් කීයෙහි නම් තෙල ආත්මය ඇත් ම ය, තෙලෙ නැතැ යි නො කියමි. එතෙකුදුවත් භවත, මේ ආත්මය මෙතෙකින් මොනොවට සිඳුනේ නො වෙයි. භවත, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්ත ය’ යි ආකාසානඤ්චායතනයට පැමිණි අන්‍ය ආත්මයෙක් ඇත. එය තෝ නො දන්නෙහි ය, නො දක්නෙහි ය, එය මම් දනිමි, දක්මි. භවත, ඒ ආත්මය යම් හෙයෙකින් ශරීරයාගේ භේදයෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, මෙතෙකින් භවත, මේ ආත්මය මොනොවට සිඳුණේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවති.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෝ යමක් කියෙහි ද, තෙල ආත්ම ඇත, ‘තෙලෙ නැතැ’ යි නො කියමි. එතෙකුදුවත් භවත, මේ ආත්මය මෙතෙකින් මොනොවට සිඳුනේ නො වෙයි. භවත, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඥානය අනන්ත ය’ යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණි අන්‍ය ආත්මයෙක් ඇත් මැ යි, එය තෝ නො දන්නෙහි ය, නො දක්නෙහි ය, එය මම් දනිමි, දක්මි. භවත, ඒ ආත්මය යම් හෙයෙකින් ශරීරයාගේ භේදයෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, භවත, මෙතෙකින් මේ ආත්මය මොනොවට සිඳුණේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවති.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෝ යමක් කීයෙහි ද, තෙල ආත්ම ඇත් ම ය, ‘තෙලෙ නැතැ’ යි නො කියමි. එතෙකුදුවත් භවත, මේ ආත්මය මෙතෙකින් මොනොවට සිඳුනේ නො වෙයි. භවත, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි අන්‍යආත්මයෙක් ඇත් මැ යි, එය තෝ නො දන්නෙහි ය, නො දක්නෙහි ය, එය මම් දනිමි, දක්මි. භවත, ඒ මේ ආත්මය යම් හෙයෙකින් ශරීරයාගේ භේදයෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, මෙතෙකින් භවත, මේ ආත්මය මොනොවට සිඳුණේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවති.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෝ යමක් කියෙහි නම් තෙල ආත්මය ඇත් ම ය, ‘තෙලෙ නැතැ’ යි නො කියමි. එතෙකුදුවත් භවත, මේ ආත්මය මෙතෙකින් මොනොවට සිඳුනේ නො වෙයි. භවත, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණි අන්‍ය ආත්මයෙක් ඇත් මැ යි, එය තෝ නො දන්නෙහි ය, නො දක්නෙහි ය, එය මම් දනිමි, දක්මි. භවත, ඒ මේ ආත්මය යම් හෙයෙකින් ශරීරයාගේ භේදයෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, මෙතෙකින් භවත, මේ ආත්මය මොනොවට සිඳුණේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවත්. මොහු සප්තදෘෂ්ටීහු වෙත්.
සප්තක යි.
998. එහි අෂ්ට ක්ලේශවස්තූහු කවරහ යත්: ලෝභ ය, ද්වේෂ ය, මෝහ ය, මාන ය, දෘෂ්ටි ය, විචිකිත්සා ය, ථීන ය, ඖද්ධත්‍ය යි. මොහු අෂ්ට ක්ලේශවස්තූහු වෙත්.
999. එහි අෂ්ට කුසීදවස්තූහු කවරහ යත්: මෙ සස්නෙහි මහණහු විසින් කළයුතු කිසෙක් වෙයි, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මා විසින් කළයුතු කිසෙක් වන්නේ ය, මා කිස කරන්නහුට කය ක්ලාන්ත වෙයි. මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම වැදහොවී. නො පැමිණියහු (ධ්‍යානාදිය) ගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්‍රත්‍යක්‍ෂ නො කළහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ පළමු වැනි කුසීදවස්තුව වෙයි.
තව ද අනෙකෙකි: මහණහු විසින් කිසෙක් කරන ලද වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි, මම වනාහි කිසක් කෙළෙමි. මා කිස කරන්නහුට කය ක්ලාන්ත විය. මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම හොවී. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්‍රත්‍යක්‍ෂ නො කළහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ දෙවැනි කුසීදවස්තුව වෙයි.
තව ද අනෙකෙකි: මහණහු විසින් මග යා යුතු වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි, මා වනාහි මග යා යුතු වෙයි. මා මග යන්නහුට කය ක්ලාන්ත වෙයි. මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම හොවී. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්‍රත්‍යක්‍ෂ නො කළහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ තුන්වැනි කුසීදවස්තුව වෙයි.
තව ද අනෙකෙකි: මහණහු විසින් මග ගියේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි. මම මග ගියෙමි. මා මග යන්නහුට කය ක්ලාන්ත විය. මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම හොවී. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්‍රත්‍යක්‍ෂ නො කළහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ සතරවැනි කුසීදවස්තුව වෙයි.
තව ද අනෙකෙකි: මහණ තෙම ගමෙක හෝ නියම්ගමෙක හෝ පිඬු පිණිස සරන්නේ රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජනයක් කැමැති තෙක් කුසපුරා නො ලබයි, ඔහුට මෙබඳු සිතෙක් වෙයි, මම වනාහි ගමෙහි හෝ නියම්ගමෙහි හෝ පිඬු පිණිස සරන්නෙම් රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජනයක් කැමැති තෙක් කුසපුරා නො ලද්දෙමි. ඒ මාගේ කය ක්ලාන්ත විය. අකර්‍මණ්‍ය විය, මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම හොවී. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්‍රත්‍යක්‍ෂ නො කළහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ පස්වැනි කුසීදවස්තුව වෙයි.
තව ද අනෙකෙකි: මහණ තෙම ගමෙක හෝ නියම්ගමෙක හෝ පිඬු පිණිස සරන්නේ රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජනයක් කැමැති තෙක් කුසපුරා ලබයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි, මම වනාහි ගමෙහි හෝ නියම්ගමෙහි හෝ පිඬු පිණිස සරන්නෙම් රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජනයක් කැමැති තෙක් කුසපුරා ලදිමි. ඒ මාගේ කය ක්ලාන්ත විය, අකර්‍මණ්‍ය විය, (තෙත්) මෑ ඇට පිරූ කලක් වැන්න. මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම හොවියි. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්‍රත්‍යක්‍ෂ නො කළහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ සවැනි කුසීදවස්තුව වෙයි.
තව ද අනෙකෙකි: මහණහට අල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ වෙයි, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මට මේ අල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ ය. නිදන්නට කැප ඇති, මම් නිදනුයෙම් නම් මැනැවැ’ යි හෙතෙම නිදයි. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්‍රත්‍යක්‍ෂ නො කළහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ සත්වැනි කුසීදවස්තුව වේ.
තව ද අනෙකෙකි: මහණ තෙම ගිලන් ව සිට ඉන් නැඟුණේ ගිලන් බැවින් නැගි නොබෝකල් ඇතියේ වෙයි, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මම වනාහි ගිලනින් නැගුනෙම් ගිලන් බැවින් නැගි නොබෝකල් ඇතියෙමි, ඒ මාගේ කය දුබල ය, අකර්‍මණ්‍ය ය, මම් හොවිම් නම් මැනැවැ’ යි හෙතෙම හොවියි. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්‍රත්‍යක්‍ෂ නො කළහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ අටවැනි කුසීදවස්තුව වේ. මොහු අෂ්ටකුසීදවස්තූහු වෙත්.
1000. එහි කවර අෂ්ටලොකධර්‍මයෙහි චිත්තයාගේ ප්‍රතිඝාතය වේ ද යත්: ලාභයෙහි බලවත් රාග ය, අලාභයෙහි ප්‍රතිවිරෝධ ය, යශස්හි බලවත් රාග ය, අයසෙහි ප්‍රතිවිරෝධ ය, ප්‍රශංසායෙහි බලවත් රාග ය, නින්‍දායෙහි ප්‍රතිවිරෝධ ය, සුඛයෙහි බලවත් රාගය, දුඃඛයෙහි ප්‍රතිවිරෝධ යයි. මේ අෂ්ටලොකධර්‍මයෙහි චිත්තයාගේ ප්‍රතිඝාතය වේ.
1001. එහි අෂ්ට අනාර්‍ය්‍යව්‍යවහාරයෝ කවරහ යත්: අදෘෂ්ටයෙහි දෘෂ්ටවාදී බව ය, අශ්‍රැතයෙහි ශ්‍රැතවාදි බව ය, අමුතයෙහි මුතවාදී බව ය, අවිඥාතයෙහි විඥාතවාදී බව ය, දෘෂ්ටයෙහි අදෘෂ්ටවාදී බව ය, ශ්‍රැතයෙහි අශ්‍රැතවාදී බව ය, මුතයෙහි අමුතවාදී බව ය, විඥාතයෙහි අවිඥාතවාදී බව යි. මොහු අෂ්ට අනාර්‍ය්‍යව්‍යවහාරයෝ යි.
1002. එහි අෂ්ට මිථ්‍යාත්‍වයෝ කවරහ යත්: මිථ්‍යාදෘෂ්ටි ය, මිථ්‍යාසංකල්ප ය, මිථ්‍යාවචන ය, මිථ්‍යාකර්‍මාන්ත ය, මිථ්‍යාආජීව ය, මිථ්‍යාව්‍යායාම ය, මිථ්‍යාස්මෘති ය, මිථ්‍යාසමාධි යි. මොහු අෂ්ට මිථ්‍යාත්‍වයෝ යි.
1003. එහි අෂ්ට පුරුෂදෝෂයෝ කවරහ යත්: මෙ සස්නෙහි මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ නො සිහි කෙරෙමි, නො සිහි කෙරෙමි නො සිහියෙන් ම මිදෙයි. මේ පළමුවැනි පුරුෂදෝෂය වෙයි.
තව ද අනෙකෙකි: මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ ‘බොළඳ වූ අව්‍යක්ත වූ තාගේ කථායෙන් කිම? තො ද මා කියයුත්තකු කොට හඟනෙහි දැ’ යි චෝදකයාහට ම පටහැනි වෙයි. මේ දෙවැනි පුරුෂදෝෂය වෙයි.
තව ද අනෙකෙකි: මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ ‘තො ද මෙ නම් ඇවැතට පැමිණියෙහි, තෝ පළමු කොට පිළියම් කරව’ යි චෝදකයාහට ම ප්‍රත්‍යාරෝපණය කෙරේ. මේ තුන්වැනි පුරුෂදෝෂය වෙයි.
තව ද අනෙකෙකි: මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ අනෙකෙකින් පිළි සොය යි. කථාව බැහැරට නම යි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරේ. මේ සතරවැනි පුරුෂදෝෂය වෙයි.
තව ද අනෙකෙකි: මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ සඟ මැද අත්සලමින් කථා කෙරෙයි. මේ පස්වැනි පුරුෂදෝෂය වෙයි.
තව ද අනෙකෙකි: මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ ‘මම් නො ම අවන්මි, යළි මම් නො අවන්නෙම් නො වෙමි’ තූෂ්ණීම්භූතව සඞ්ඝයා වෙහෙසයි. මේ සවැනි පුරුෂදෝෂය වෙයි.
තව ද අනෙකෙකි: මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ සඞ්ඝයා අනදර කොට චෝදකයා අනදර කොට සාපත්තික ව ම කැමැති තැනෙක යේ. මේ සත්වැනි පුරුෂදෝෂය වෙයි.
තව ද අනෙකෙකි: මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ මෙසේ කියයි: ‘ඇවැත්නි, මුඹ වහන්සේ මා කෙරෙහි කුමට ඉතා දැඩි ව (පමණ ඉක්ම) ව්‍යාපෘතවවු ද? දැන් මම ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි බවට පෙරළෙමි’ යි හෙතෙම ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි ව මෙසේ කිය යි: ‘ඇවැත්නි දැන් මුඹ වහන්සේ සතුටුසිතැති වවු’ යයි. මේ අටවැනි පුරුෂදෝෂය වේ. මොහු අෂ්ට පුරුෂදෝෂයෝ යි.
1004. එහි අෂ්ට අසංඥීවාදයෝ කවරහ යත්: ආත්මය රූප ඇත්තේ වෙයි, මරණින් මත්තෙහි නිත්‍ය වේ යැ යි ද, ඒ ආත්මය අසංඥී යැ යි ද පනවති. ආත්මය රූප නැත්තේ වෙයි ... රූප ඇත්තේ ද රූප නැත්තේ ද වෙයි ... නො ම රූප ඇත්තේ නො ද රූප නැත්තේ වෙයි ... ආත්මය අනන්තවත් වෙයි, මරණින් මත්තෙහි නිත්‍ය වේ යැ යි ද ඒ ආත්මය අසංඥී යැ යි ද පනවති. ආත්මය අනන්තවත් වෙයි, මරණින් මත්තෙහි නිත්‍ය වේ යැ යි ද, එය අසංඥී යැ යි ද පනවති. ආත්මය අන්තවත් ද අනන්තවත් ද වෙයි, මරණින් මත්තෙහි නිත්‍ය වේ යැ යි ද එය අසංඥී යැ යි ද පනවති. ආත්මය නො ම අන්තවත් නො ද අනන්තවත් වෙයි, මරණින් මත්තෙහි නිත්‍ය වේ යැ යි ද එය අසංඥී යැ යි ද පනවත්. මොහු අෂ්ට අසංඥීවාදයෝ යි.
1005. එහි අෂ්ට නෛවසංඥීනාසංඥීවාදයෝ කවරහ යත්: ආත්මය රූපවත් වෙයි, මරණින් මතු නිත්‍ය වේ යැ යි ද, එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවති. ආත්මය අරූපී වෙයි, මරණින් මතු නිත්‍ය වේ යැ යි ද, එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවති. ආත්මය රූපීත් අරූපීත් වෙයි, මරණින් මතු නිත්‍ය වේ යැ යි ද එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවති. ආත්මය නෛවරූපීනාරූපී වෙයි, මරණින් මතු නිත්‍ය වේ යැ යි ද, එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවති. ආත්මය අන්තවත් වෙයි, මරණින් මතු නිත්‍ය වේ යැ යි ද, එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවති. ආත්මය අන්තවත් නො වෙයි, මරණින් මතු නිත්‍ය වේ යැ යි ද, එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවති. ආත්මය අන්තවත් ද අනන්තවත් ද වෙයි, මරණින් මතු නිත්‍ය වේ යැ යි ද, එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවති. ආත්මය නො ම අන්තවත් නොද අනන්තවත් වෙයි. මරණින් මතු නිත්‍ය වේ යැ යි ද, එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවත්. මොහු අෂ්ට නෛවසංඥීනාසංඥීවාදයෝ යි.
අෂ්ටක යි.
1006. එහි නව ආඝාතවස්තූහු කවරහ යත්: මට අනර්‍ත්‍ථයක් කෙළේ යැ යි ආඝාතයෙක් උපදී. මට අනර්‍ත්‍ථයක් කෙරේ යැ යි ආඝාතයෙක් උපදියි. මට අනර්‍ත්‍ථයක් කරන්නේ යැ යි ආඝාතයෙක් උපදියි. මාගේ ප්‍රියමනාපයහට අනර්‍ත්‍ථයක් කෙළේ ය, අනර්‍ත්‍ථයෙක් කෙරෙයි, අනර්‍ත්‍ථයක් කරන්නේ යැ යි ආඝාතයෙක් උපදියි. මාගේ අප්‍රිය අමනාපයහට අර්‍ත්‍ථයක් කෙළේ ය, අර්‍ත්‍ථයක් කෙරෙයි, අර්‍ත්‍ථයක් කරන්නේ යැ යි ආඝාතයෙක් උපදියි. මොහු නව ආඝාතවස්තූහු වෙත්.
1007. එහි නව පුරුෂමලයෝ කවරහ යත්: ක්‍රෝධ ය, මකු බව ය, ඊර්‍ෂ්‍යා ය, මාත්සර්‍ය්‍ය ය, මායා ය, ශඨ බව ය, මෘෂාවාද ය, පාපේච්ඡතා ය, මිථ්‍යාදෘෂ්ටි යි. මොහු නව පුරුෂමලයෝ යි.
1008. එහි නවවිධ මානයෝ කවරහ යත්: මම ශ්‍රේෂ්ඨයහට ශ්‍රේෂ්ඨයෙමි යන මානය, මම ශ්‍රේෂ්ඨයහට සදෘශයෙමි යන මාන ය, මම ශ්‍රේෂ්ඨයහට හීනයෙමි යන මානය, මම සදෘශයහට ශ්‍රේෂ්ඨයෙමි යන මාන ය, මම සදෘශයහට සදෘශයෙමි යන මාන ය, මම සදෘශයහට හීනයෙමි යන මාන ය, මම හීනයහට ශ්‍රේෂ්ඨයෙමි යන මාන ය, මම හීනයහට සදෘශයෙමි යන මාන ය, මම හීනයහට හීනයෙමි යන මාන යි. මොහු නවවිධ මානයෝ යි.
1009. එහි නව තෘෂ්ණාමූලකධර්‍මයෝ කවරහ යත්: තෘෂ්ණාව නිසා (රූපාදි අරමුණු) සෙවීම ය, පර්‍ය්‍යෙෂණය නිසා ලාභ ය, ලාභය නිසා තෘෂ්ණාදෘෂ්ටිවිනිශ්චය ය, විනිශ්චය නිසා ඡන්‍දරාග ය, ඡන්‍දරාගය නිසා (මම ය මාගේ ය යන) අධ්‍යවසාන ය, අධ්‍යවසානය නිසා තෘෂ්ණාදෘෂ්ටි පරිග්‍රහ ය, පරිග්‍රහය නිසා මාත්සර්‍ය්‍ය ය, මාත්සර්‍ය්‍යය නිසා ආරක්‍ෂාව ය, ආරක්‍ෂාව හේතු කොට දඬුගැනීම ය, අවිගැනීම ය, කලහ ය, විග්‍රහ ය, විවාද ය, තෝ තෝ යන බස ය, පෛශුන්‍ය ය, මෘෂාවාද ය යන මොහු ය, නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ ය, යන මොහු වෙත්. මොහු නව තෘෂ්ණාමූලකධර්‍මයෝ යි.
1010. එහි නව ඉඤ්ජිතයෝ කවරහ යත්: ‘වෙමි’ යන තෙල ඉඤ්ජිතයෙක, ‘මම වෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘මේ මම වෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘රූපී වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘අරූපී වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘සංඥී වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘අසංඥී වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘නෛවසංඥීනාසංඥී වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙකි. මොහු නව ඉඤ්ජිතයෝ යි.
1011. එහි නව මඤ්ඤිතයෝ කවරහ යත්: ... නව ඵන්‍දිතයෝ ... නවපපඤ්චිතයෝ ... නව සඞ්ඛතයෝ කවරහ යත්: ‘වෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘මම වෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘මේ මම වෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘වන්නෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘රූපී වන්නෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘අරූපී වන්නෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘සංඥී වන්නෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘අසංඥී වන්නෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘නෛවසංඥීනාසංඥී වන්නෙමි’ තෙල සඞ්ඛතයෙකි. මොහු නව සඞ්ඛතයෝ යි.
නවක යි.
1012. එහි දශ ක්ලේශවස්තූහු කවරහ යත්: ලෝභ ය, ද්වේෂ ය, මෝහ ය, මාන ය, දෘෂ්ටි ය, විචිකිත්සා ය, ස්ත්‍යාන ය, ඖද්ධත්‍ය ය, අහ්‍රීයක ය, අනපත්‍රපා යි. මොහු දශක්ලේශවස්තූහු වෙත්.
1013. එහි දශ ආඝාතවස්තු කවරහ යත්: මට අනර්‍ත්‍ථ කළැ යි ආඝාත උපදී. මට අනර්‍ත්‍ථ කෙරේ යැ යි ආඝාත උපදී. මට අනර්‍ත්‍ථ කරන්නේ යැ යි ආඝාත උපදී. මාගේ ප්‍රියමනාපයහට අනර්‍ත්‍ථ කෙළේ ය, අනර්‍ත්‍ථ කෙරෙ යි, අනර්‍ත්‍ථ කරන්නේ යැ යි ආඝාත උපදී. මාගේ අප්‍රියඅමනාපයහට අර්‍ත්‍ථ කෙළේ ය, අර්‍ත්‍ථ කෙරෙ යි, අර්‍ත්‍ථ කරන්නේ යැ යි ආඝාත උපදී. යළි අස්ථානයෙහි හෝ ආඝාත උපදී. මොහු දශ ආඝාතවස්තු වෙත්.
1014. එහි දශ අකුශලකර්‍මපථයෝ කවරහ යත්: ප්‍රාණවධය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මෘෂාවාදය, පිශුනවචනය, පරුෂවචනය, සම්ඵප්‍රලාපය, අභිධ්‍යාය, ව්‍යාපාදය මිථ්‍යාදෘෂ්ටි යි. මොහු දශ අකුශලකර්‍මපථයෝ යි.
1015. එහි දශ සංයෝජනයෝ කවරහ යත්: කාමරාගසංයෝජන ය, ප්‍රතිඝසංයෝජන ය, මානසංයෝජන ය, දෘෂ්ටිසංයෝජන ය, විචිකිත්සාසංයෝජන ය, ශීලව්‍රතපරාමර්‍ශසංයෝජන ය, භවරාගසංයෝජන ය, ඊර්‍ෂ්‍යාසංයෝජන ය, මාත්සර්‍ය්‍යසංයෝජන ය, අවිද්‍යාසංයෝජන යි. මොහු දශ සංයෝජනයෝ යි.
1016. එහි දශ මිථ්‍යාත්‍වයෝ කවරහ යත්: මිථ්‍යාදෘෂ්ටි ය, මිථ්‍යාසංකල්ප ය, මිථ්‍යාවාක් ය, මිථ්‍යාකර්‍මාන්ත ය, මිථ්‍යාජීව ය, මිථ්‍යාව්‍යායාම ය, මිථ්‍යාස්මෘති ය, මිථ්‍යාසමාධි ය, මිථ්‍යාඥාන ය, මිථ්‍යාවිමුක්ති යි. මොහු දශ මිථ්‍යාත්‍වයෝ යි.
1017. එහි දශවස්තුකමිථ්‍යාදෘෂ්ටි කවර යත්: දුන්දැයෙහි විපාක නැත, පුදනලදුයෙහි විපාක නැත, හවනලදුයෙහි විපාක නැත, සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මව් නැත, පියා නැත, ඕපපාතිකසත්ත්‍වයෝ නැත, ලොව යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ ම දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම්, එබඳු සම්‍යග්ගත වූ සම්‍යක්ප්‍රතිපන්න වූ ශ්‍රමණබ්‍රාහ්මණ කෙනෙක් නැතැ යි, මේ දශවස්තුකමිථ්‍යාදෘෂ්ටි වේ.
1018. එහි දශවස්තුක අන්තග්‍රාහිකදෘෂ්ටි කවර යත්: ලෝකය ශාස්වතැ යි හෝ ලෝකය අශාශ්වතැ යි හෝ ලෝකය අන්තවත් යැ යි හෝ ලෝකය අනන්තවත්යැ යි හෝ එ මැ ජීවය එ මැ ශරීර යැ යි හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ යි හෝ, සත්ත්‍ව තෙමේ මරණින් මතු වෙයි හෝ, සත්ත්‍ව තෙමේ මරණින් මතු නො වෙයි හෝ, සත්ත්‍ව තෙමේ මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ යැ යි හෝ සත්ත්‍ව තෙමේ මරණින් මතු නො ම වෙයි නො වන්නේ නො වෙයි හෝ යි. මේ දශවස්තුක අන්තග්‍රාහිකාදෘෂ්ටි වේ.
දශක යි.
1019. එහි ආධ්‍යාත්මිකපඤ්චස්කන්‍ධය නිසා පවත්නා අටළොස් තෘෂ්ණාවිචරිතයෝ කවරහ යත්: (මම) ‘වෙමි’ (තෘෂ්ණාව) වෙයි, ‘මේ ප්‍රකාර වෙමි’ තෘෂ්ණා වෙයි, ‘මෙසේ වෙමි’ තෘෂ්ණාව වෙයි, ‘අන් ප්‍රකාරයෙකින් වෙමි’ තෘෂ්ණා වෙයි, (මම) ‘වන්නෙමි’ තෘෂ්ණා වෙයි, ‘මේ ප්‍රකාරයෙන් වන්නෙමි’ වෙයි, ‘මෙසේ වන්නෙමි’ වෙයි, ‘අන් ප්‍රකාරයෙකින් වන්නෙමි’ වෙයි, ‘ශාස්වතයෙමි’ වෙයි, ‘අශාස්වතයෙමි’ වෙයි, ‘වන්නෙම් දෝහෝ’ යි වෙයි, ‘මේ ප්‍රකාරයෙන් වන්නෙම් දෝහෝ’ යි වෙයි, ‘මෙසේ වන්නෙම් දෝහෝ’ යි වෙයි, ‘අන් ප්‍රකාරයෙකින් වන්නෙම් දෝහෝ’ යි වෙයි, ‘වන්නෙම් නම් මැනැවැ’ යි වෙයි, ‘මේ ප්‍රකාරයෙන් වන්නෙම් නම් මැනැවැ’ යි වෙයි, ‘මෙසේ වන්නෙම් නම් මැනැවැ’ යි වෙයි, ‘අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැවැ’ යි වේ.
කිසෙයින් ‘වෙමි’ වේ ද යත්: කිසි දහමක් රූපය, වේදනාව, සංඥාව, සංස්කාරයන් විඥානය නො වෙන් කොට ගෙන ‘මම වෙමි’ යි තෘෂ්ණාවට පැමිණෙ යි. ‘මම වෙමි’ යි මානයට පැමිණෙයි. ‘මම වෙමි’ යි දෘෂ්ටියට පැමිණෙ යි. ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි ‘මේ ප්‍රකාර වෙමි’ යි හෝ ‘මෙසේ වෙමි’ යි හෝ ‘අන් ප්‍රකාරයෙකින් වෙමි’ යි හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙති.
කිසෙයින් ‘මේ ප්‍රකාර වෙමි’ වේ ද යත්: ක්‍ෂත්‍රියයෙමි හෝ බ්‍රාහ්මණයෙමි හෝ වෛශ්‍යයෙමි හෝ ශුද්‍රයෙමි හෝ ගෘහස්තයෙමි හෝ ප්‍රව්‍රජිතයෙමි හෝ දිව්‍යයෙමි හෝ මනුෂ්‍යයෙමි හෝ රූපී වෙමි හෝ අරූපී වෙමි හෝ සංඥී වෙමි හෝ අසංඥී වෙමි හෝ නෛවසංඥීනාසංඥී වෙමි හෝ ‘මේ ප්‍රකාර වෙමි’ යි වේ.
කිසෙයින් ‘මෙසේ වෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රියෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණයෙමි හෝ යම්සේ හෙතෙම වෛශ්‍ය වේ නම් එසෙයින් මම වෛශ්‍යයෙමි හෝ යම්සේ හෙතෙම ශුද්‍ර වේ නම් එසෙයින් මම ශුද්‍රයෙමි හෝ යම්සේ හෙතෙම ගෘහස්ථ වේ නම් එසෙයින් මම ගෘහස්ථයෙමි හෝ යම්සේ හෙතෙම ප්‍රව්‍රජිත වේ නම් එසෙයින් මම ප්‍රව්‍රජිතයෙමි හෝ යම්සේ හෙතෙම දිව්‍ය වේ නම් එසෙයින් මම දිව්‍යයෙමි හෝ යම්සේ හෙතෙම රූපී වේ නම් එසෙයින් මම රූපී වෙමි හෝ යම්සේ හෙතෙම අරූපී වේ නම් එසෙයින් මම අරූපී වෙමි හෝ යම්සේ හෙතෙම සංඥී වේ නම් එසෙයින් මම සංඥී වෙමි හෝ යම්සේ හෙතෙම අසංඥී වේ නම් එසෙයින් මම අසංඥී වෙමි හෝ යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී වෙමි හෝ මෙසෙයින් ‘මෙසේ වෙමි’ යි වේ.
කිසෙයින් ‘අන්ප්‍රකාරයෙකින් වෙමි’ වේ ද යත්: පරපුඟුලකු පිණිස යම් සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය නො වෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ නො වෙමි හෝ යම්සේ හෙතෙම වෛශ්‍ය වේ නම් එසෙයින් මම වෛශ්‍ය නො වෙමි හෝ යම්සේ හෙතෙම ශුද්‍ර වේ නම් එසෙයින් මම ශුද්‍ර නො වෙමි හෝ යම්සේ හෙතෙම ගෘහස්ථ වේ නම් එසෙයින් මම ගෘහස්ථ නො වෙමි හෝ යම්සේ හෙතෙම ප්‍රව්‍රජිත වේ නම් එසෙයින් මම ප්‍රව්‍රජිත නො වෙමි හෝ යම්සේ හෙතෙම දෙවි වේ නම් එසෙයින් මම දෙවි නො වෙමි හෝ යම්සේ හෙතෙම මනුෂ්‍ය වේ නම් එසෙයින් මම මනුෂ්‍ය නො වෙමි හෝ යම්සේ හෙතෙම රූපී වේ නම් එසෙයින් මම රූපී නො වෙමි හෝ යම්සේ හෙතෙම අරූපී වේ නම් එසෙයින් මම අරූපී නො වෙමි හෝ යම්සේ හෙතෙම සංඥී වේ නම් එසෙයින් මම සංඥී නො වෙමි හෝ යම්සේ හෙතෙම අසංඥී වේ නම් එසෙයින් මම අසංඥී නො වෙමි හෝ යම් සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී නො වෙමි හෝ මෙසෙයින් ‘අන් ප්‍රකාරයෙකින් වෙමි’ යි වේ.
කිසෙයින් ‘වන්නෙමි’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය නො වෙන් කොටගෙන මම වන්නෙමි තෘෂ්ණාවට පැමිණෙයි, වන්නෙමි මානයට පැමිණෙයි, වන්නෙමි දෘෂ්ටියට පැමිණෙයි, ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි මේ ප්‍රකාරයෙන් වන්නෙමි හෝ මෙසේ වන්නෙමි හෝ අන් ප්‍රකාරයෙකින් වන්නෙමි හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙත්.
කිසෙයින් ‘මේ ප්‍රකාරයෙන් වන්නෙමි’ යි වේ ද යත්: ක්‍ෂත්‍රිය වන්නෙමි හෝ, බ්‍රාහ්මණ වන්නෙමි හෝ, වෛශ්‍ය වන්නෙමි හෝ, ශුද්‍ර වන්නෙමි හෝ, ගෘහස්ථ වන්නෙමි හෝ, ප්‍රව්‍රජිත වන්නෙමි හෝ, දිව්‍ය වන්නෙමි හෝ, මනුෂ්‍ය වන්නෙමි හෝ, රූපී වන්නෙමි හෝ, අරූපී වන්නෙමි හෝ, සංඥී වන්නෙමි හෝ, අසංඥී වන්නෙමි හෝ, නෛවසංඥීනාසංඥී වන්නෙමි හෝ මෙසෙයින් ‘මේ ප්‍රකාරයෙන් වන්නෙමි’ යි වේ.
කිසෙයින් ‘මෙසේ වන්නෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය වන්නෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ වන්නෙමි හෝ ... යම් සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී වන්නෙමි හෝ මෙසෙයින් ‘මෙසේ වන්නෙමි’ යි වේ.
කිසෙයින් ‘අන් ප්‍රකාරයෙකින් වන්නෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය නො වන්නෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ නො වන්නෙමි හෝ ... යම් සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී නො වන්නෙමි හෝ මෙසෙයින් ‘අන් ප්‍රකාරයෙකින් වන්නෙමි’ යි වේ.
කිසෙයින් ‘ශාස්වතයෙමි’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය නො වෙන් කොට ගෙන මම නිත්‍යයෙමි ධ්‍රැවයෙමි ශාශ්වතයෙමි විපරිණාමස්වභාව නැත්තෙමි’ යි මෙසෙයින් ‘ශාශ්වතයෙමි’ යි වේ.
කිසෙයින් ‘අශාස්වතයෙමි’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය නො වෙන් කොටගෙන මම සිඳෙන්නෙමි, වැනැසෙන්නෙමි, නො වන්නෙමි’ යි මෙසෙයින් ‘අශාශ්වතයෙමි’ යි වේ.
කිසෙයින් වන්නෙම් දෝහෝ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය නො වෙන් කොටගෙන මම වන්නෙම් දෝ හො යි තෘෂ්ණාවට පැමිණෙයි, වන්නෙම් දෝ හො යි මානයට පැමිණෙයි, වන්නෙම් දෝ හො යි දෘෂ්ටියට පැමිණෙයි. ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි මේ ප්‍රකාරයෙන් වන්නෙම් දෝහෝ කියා හෝ මෙසේ වන්නෙම් දෝහෝ කියා හෝ අන් ප්‍රකාරයෙකින් වන්නෙම් දෝහෝ කියා හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙත්.
කිසෙයින් මේ ප්‍රකාරයෙන් වන්නෙම් දෝහෝ’ යි වේ ද යත්: ක්‍ෂත්‍රිය වන්නෙම් දෝහෝ යි කියා හෝ බ්‍රාහ්මණ වන්නෙම් දෝහෝ යි කියා හෝ වෛශ්‍ය වන්නෙම් දෝහෝ යි කියා හෝ ශුද්‍ර වන්නෙම් දෝහෝ යි කියා හෝ ගෘහස්ථ වන්නෙම් දෝහෝ’ යි කියා හෝ ප්‍රව්‍රජිත වන්නෙම් දෝහෝ’ යි කියා හෝ දිව්‍ය වන්නෙම් දෝහෝ’ යි කියා හෝ මනුෂ්‍ය වන්නෙම් දෝහෝ’ යි කියා හෝ රූපී වන්නෙම් දෝහෝ’ යි කියා හෝ අරූපී වන්නෙම් දෝහෝ’ යි කියා හෝ සංඥී වන්නෙම් දෝහෝ’ යි කියා හෝ අසංඥී වන්නෙම් දෝහෝ’ යි කියා හෝ නෛවසංඥීනාසංඥී වන්නෙම් දෝහෝ’ යි කියා හෝ මෙසෙයින් ‘මේ ප්‍රකාරයෙන් වන්නෙම් දෝහෝ’ යි වේ.
කිසෙයින් මෙසේ වන්නෙමි දෝහෝ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම් සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය වන්නෙම් දෝහෝ’ යි කියා හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ වන්නෙම් දෝහෝ’ යි කියා හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී වන්නෙම් දෝහෝ’ යි කියා හෝ මෙසෙයින් ‘මෙසේ වන්නෙම් දෝහෝ’ යි යනු වේ.
කිසෙයින් අන් ප්‍රකාරයෙකින් වන්නෙමි දෝහෝ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම් සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය නො වන්නෙම් දෝහෝ’ යි කියා හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ නො වන්නෙම් දෝහෝ’ යි කියා හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී නො වන්නෙම් දෝහෝ’ යි කියා හෝ මෙසෙයින් ‘අන් ප්‍රකාරයෙකින් වන්නෙමි දෝහෝ’ යනු වේ.
කිසෙයින් මම වන්නෙම් නම් මැනැවැයි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය නො වෙන් කොටගෙන මම වන්නෙම් නම් මැනැවැ’ යි තෘෂ්ණාවට පැමිණෙයි, මම වන්නෙම් නම් මැනැවැ යි මානයට පැමිණෙයි, මම වන්නෙම් නම් මැනැවැ යි දෘෂ්ටියට පැමිණෙයි. ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි මම මේ ප්‍රකාරයෙන් වන්නෙම් නම් මැනැවැ’ යි හෝ මම මෙසේ වන්නෙම් නම් මැනැවැ යි හෝ මම අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැවැ’ යි හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙත්.
කිසෙයින් ‘මම මේ ප්‍රකාරයෙන් වන්නෙම් නම් මැනැවැ’ යි වේ ද යත්: මම ක්‍ෂත්‍රිය වන්නෙම් නම් මැනැවැ යි හෝ මම බ්‍රාහ්මණ වන්නෙම් නම් මැනැවැ යි හෝ මම වෛශ්‍ය වන්නෙම් නම් මැනැවැ යි හෝ මම ශුද්‍ර වන්නෙම් නම් මැනැවැ යි හෝ මම ගෘහස්ථ වන්නෙම් නම් මැනැවැ යි හෝ මම පැවිදි වන්නෙම් නම් මැනැවැ යි හෝ මම දෙවි වන්නෙම් නම් මැනැවැ යි හෝ මම මිනිස් වන්නෙම් නම් මැනැවැ යි හෝ මම රූපී වන්නෙම් නම් මැනැවැ යි හෝ මම අරූපී වන්නෙම් නම් මැනැවැ යි හෝ මම සංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මම අසංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මම නෛවසංඥීනාසංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙසෙයින් ‘මම මේ ප්‍රකාරයෙන් වන්නෙම් නම් මැනැව’ යනු වේ.
කිසෙයින් ‘ මම මෙසේ වන්නෙම් නම් මැනැවැ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය වන්නෙම් නම් මැනැවැ යි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ වන්නෙම් නම් මැනැවැ යි හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙසෙයින් ‘මම මෙසේ වන්නෙම් නම් මැනැව’ යනු වේ.
කිසෙයින් ‘මම අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැවැ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම ක්‍ෂත්‍රිය නො වන්නෙම් නම් මැනැවැ යි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම බ්‍රාහ්මණ නො වන්නෙම් නම් මැනැවැ යි හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම නෛවසංඥීනාසංඥී නො වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙසෙයින් ‘මම අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැව’ යනු වේ. මොහු ආධ්‍යාත්මික ස්කන්‍ධපඤ්චකය ගෙන අටළොස් තෘෂ්ණාවිචරිතයෝ යි.
එහි බාහිර ස්කන්‍ධපඤ්චකය ගෙන අටළොස් තෘෂ්ණාවිචරිතයෝ කවරහ යත්: මෙයින් (මම) වෙමි වෙයි, මෙයින් මේ ප්‍රකාරයෙන් වෙමි වෙයි, මෙයින් මෙසේ වෙමි වෙයි, මෙයින් අන් ප්‍රකාරයෙකින් වෙමි වෙයි, මෙයින් (මම) වන්නෙමි වෙයි, මෙයින් මේ ප්‍රකාරයෙන් වන්නෙමි වෙයි, මෙයින් මෙසේ වන්නෙමි වෙයි, මෙයින් අන් ප්‍රකාරයෙකින් වන්නෙමි වෙයි, මෙයින් ශාශ්වතයෙමි වෙයි, මෙයින් අශාශ්වතයෙමි වෙයි, මෙයින් වන්නෙම් දෝහෝ යි වෙයි, මෙයින් මේ ප්‍රකාරයෙන් වන්නෙම් දෝහෝ යි වෙයි, මෙයින් මෙසේ වන්නෙම් දෝහෝ යි වෙයි, මෙයින් අන් ප්‍රකාරයෙකින් වන්නෙම් දෝහෝ යි වෙයි, මෙයින් මම වන්නෙම් නම් මැනැවැ යි වෙයි, මෙයින් මම මේ ප්‍රකාරයෙන් වන්නෙම් නම් මැනැවැ යි වෙයි, මෙයින් මම මෙසේ වන්නෙම් නම් මැනැවැ යි වෙයි, මෙයින් මම අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැවැ යි වේ.
කිසෙයින් ‘මෙයින් (මම) වෙමි’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය වෙන් කොටගෙන මෙයින් ‘(මම) වෙමි’ යි තෘෂ්ණාවට පැමිණෙයි, මෙයින් ‘වෙමි’ යි මානයට පැමිණෙයි, මෙයින් ‘වෙමි’ යි දෘෂ්ටියට පැමිණෙයි, ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි මෙයින් මේ ප්‍රකාරයෙන් වෙමි හෝ මෙයින් මෙසේ වෙමි හෝ මෙයින් අන් ප්‍රකාරයෙකින් වෙමි හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙත්.
කිසෙයින් මෙයින් මේ ප්‍රකාරයෙන් වෙමි’ යි වේ ද යත්: මෙයින් ක්‍ෂත්‍රිය වෙමි හෝ මෙයින් බ්‍රාහ්මණ වෙමි හෝ මෙයින් වෛශ්‍ය වෙමි හෝ මෙයින් ශුද්‍ර වෙමි හෝ මෙයින් ගැහැවි වෙමි හෝ මෙයින් පැවිදි වෙමි හෝ මෙයින් දෙවි වෙමි හෝ මෙයින් මිනිස් වෙමි හෝ මෙයින් රූපී වෙමි හෝ මෙයින් අරූපී වෙමි හෝ මෙයින් සංඥී වෙමි හෝ මෙයින් අසංඥී වෙමි හෝ මෙයින් නෛවසංඥීනාසංඥී වෙමි හෝ මෙසේ ‘මෙයින් මේ ප්‍රකාරයෙන් වෙමි’ යි වේ.
කිසෙයින් ‘මෙයින් මෙසේ වෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය වෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ වෙමි හෝ ... යම් සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී වෙමි හෝ මෙසේ ‘මෙයින් මෙසේ වෙමි’ යි වේ.
කිසෙයින් මෙයින් අන් ප්‍රකාරයෙකින් වෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය නො වෙමි හෝ යම් සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ නො වෙමි හෝ ... යම් සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී නො වෙමි හෝ මෙසේ ‘මෙයින් අන් ප්‍රකාරයෙකින් වෙමි’ යි වේ.
කිසෙයින් ‘මෙයින් (මම) වන්නෙමි’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය වෙන් කොටගෙන මෙයින් වන්නෙමි තෘෂ්ණාවට පැමිණෙයි, මෙයින් වන්නෙමි මානයට පැමිණෙයි, මෙයින් වන්නෙමි දෘෂ්ටියට පැමිණෙයි. ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි මෙයින් මේ ප්‍රකාරයෙන් වන්නෙමි හෝ මෙයින් මෙසේ වන්නෙමි හෝ මෙයින් අන් ප්‍රකාරයෙකින් වන්නෙමි හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙත්.
කිසෙයින් ‘මෙයින් මේ ප්‍රකාරයෙන් වන්නෙමි’ යි වේ ද යත්: මෙයින් ක්‍ෂත්‍රිය වන්නෙමි හෝ ... මෙයින් අරූපී වන්නෙමි හෝ මෙයින් සංඥී වන්නෙමි හෝ මෙයින් අසංඥී වන්නෙමි හෝ මෙයින් නෛවසංඥීනාසංඥී වන්නෙමි හෝ මෙසේ ‘මෙයින් මේ ප්‍රකාර වන්නෙමි’ යි වේ.
කිසෙයින් ‘මෙයින් මෙසේ වන්නෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය වන්නෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ වන්නෙමි හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී වන්නෙමි හෝ මෙසෙයින් ‘මෙයින් මෙසේ වන්නෙමි’ යි වේ.
කිසෙයින් ‘මෙයින් අන් ප්‍රකාරයෙකින් වන්නෙමි’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය නො වන්නෙමි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ නො වන්නෙමි හෝ ... යම් සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී නො වන්නෙමි හෝ මෙසෙයින් ‘මෙයින් අන් ප්‍රකාර වන්නෙමි’ යි වේ.
කිසෙයින් ‘මෙයින් ශාශ්වතයෙමි’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය වෙන් කොටගෙන මෙයින් නිත්‍යයෙමි, ධ්‍රැවයෙමි, ශාශ්වතයෙමි, අවිපරිණාමස්වභාව ඇත්තෙමි’ යි ‘මෙසෙයින් ශාශ්වතයෙමි’ යි වේ.
කිසෙයින් ‘මෙයින් මම අශාශ්වතයෙමි’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය වෙන් කොටගෙන මෙයින් සිඳෙන්නෙමි, වැනැසෙන්නෙමි, නො වන්නෙමි’ යි මෙසෙයින් ‘මෙයින් අශාශ්වතයෙමි’ යි වේ.
කිසෙයින් ‘මෙයින් වන්නෙම් දෝහෝ’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය වෙන් කොටගෙන මෙයින් වන්නෙම් දෝහෝ’ යි තෘෂ්ණාවට පැමිණෙයි. මෙයින් වන්නෙම් දෝහෝ’ යි මානයට පැමිණෙයි. මෙයින් වන්නෙම් දෝහෝ’ යි දෘෂ්ටියට පැමිණෙයි. ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි මෙයින් මේ ප්‍රකාර වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් මෙසේ වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් අන් ප්‍රකාර වන්නෙම් දෝහෝ කියා හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙත්.
කිසෙයින් ‘මෙයින් මේ ප්‍රකාර වන්නෙමි දෝහෝ’ යි වේ ද යත්: මෙයින් ක්‍ෂත්‍රිය වන්නෙම් දෝහෝ කියා හෝ, මෙයින් බ්‍රාහ්මණ වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් වෛශ්‍ය වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් ශුද්‍ර වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් ගැහැවි වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් පැවිදි වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් දෙවි වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් මිනිස් වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් රූපී වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් අරූපී වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් සංඥී වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් අසංඥී වන්නෙම් දෝහෝ කියා හෝ මෙයින් නෛවසංඥානාසංඥී වන්නෙම් දෝහෝ කියා හෝ මෙසෙයින් ‘මෙයින් මේ ප්‍රකාර වන්නෙම් දෝහෝ’ යි වේ.
කිසෙයින් ‘මෙයින් මෙසේ වන්නෙම් දෝහෝ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය වන්නෙම් දෝහෝ යි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ වන්නෙම් දෝහෝ’ යි හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී වන්නෙම් දෝහෝ යි හෝ මෙසෙයින් ‘මෙයින් මෙසේ වන්නෙම් දෝහෝ’ යි වේ.
කිසෙයින් ‘මෙයින් අන් ප්‍රකාර වන්නෙම් දෝහෝ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය නො වන්නෙම් දෝහෝ යි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ නො වන්නෙම් දෝහෝ’ යි හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී නො වන්නෙම් දෝහෝ’ යි හෝ මෙසෙයින් ‘මෙයින් අන් ප්‍රකාර වන්නෙම් දෝහෝ’ යි වේ.