එහි භවේසනා කවර යත්: රූපාරූපභවයන්හි යම් භවච්ඡන්‍දයෙක් ... භවය ගිලගැනීමෙක් වේ ද, මේ ‘භවේසනා’ යි කියනු ලැබේ.
එහි බ්‍රහ්මචරියේසනා කවර යත්: ලෝකය ශාස්වතැ යි හෝ ලෝකය අශාස්වතැයි හෝ ... සත්ත්‍ව තෙම මරණින් මතු නොම වෙයි නොද නොවේ ය යි හෝ යම් මෙඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘බ්‍රහ්මචරියේසනා’ යි කියනු ලැබේ.
එහි කාමේසනා කවර යත්: කාමභවය තදේකස්ථ (එය හා එක්ව සිටි) අකුශල කායකර්‍ම ය, වාක්කර්‍ම ය, මනඃකර්‍ම යි. මේ ‘කාමේසනා’ යි කියනු ලැබේ.
එහි භවේසනා කවර යත්: භවරාග ය, තදේකස්ථ වූ අකුශල කායකර්‍ම ය, වාක්කර්‍ම ය, මනඃකර්‍ම යි. මේ ‘භවේසනා’ යි කියනු ලැබේ.
එහි බ්‍රහ්මචරියේසනා කවර යත්: අන්තග්‍රාහකදෘෂ්ටිය තදේකස්ථ වූ අකුශල කායකර්‍ම ය, වාක්කර්‍ම ය, මනඃකර්‍ම යි. මේ ‘බ්‍රහ්මචරියේසනා’ යි කියනු ලැබේ. මොහු ‘තුන් ඒසනා’ යි.
924. එහි තුන් විධා (මානය) කවරහ යත්: මම් ශ්‍රේෂ්ඨයෙමි විධායෙක. මම් සදෘශයෙමි විධායෙක. මම් හීනයෙමි විධායෙකි. මොහු තුන් විධා යි.
925. එහි තුන් භය කවරහ යත්: ජාතිභය ය, ජරාභය ය, මරණභය යි. එහි ජාතිභය කවරෙ යත්: ජාතිය පිණිස භයෙක් භයානකයෙක් තැතිගැන්මෙක් ලොමුදහගැන්මෙක් චිත්තයාගේ උත්‍රාසයෙක් වේ ද, මේ ‘ජාතිභය’ යි කියනු ලැබේ.
එහි ජරාභය කවරෙ යත්: ජරාව පිණිස බියෙක් බිය අයුරෙක් තැතිගැන්මෙක් ලොමුදහගැන්මෙක් චිත්තයාගේ උත්‍රාසයෙක් වේ ද, මේ ‘ජරාභය’ යි කියනු ලැබේ.
එහි මරණභය කවරෙ යත්: මරණය පිණිස බියෙක් බිය අයුරෙක් තැතිගැන්මෙක් ලොමුදහගැන්මෙක් චිත්තයාගේ උත්‍රාසයෙක් වේ ද, මේ ‘මරණභය’ යි කියනු ලැබේ.
926. එහි තුන් තමස්හු (අඳුරු) කවරහ යත්: අතීතකාලය හෝ ඇරබ සැක කෙරෙ යි, විචිකිත්සා කෙරෙ යි, එහි අධිමුක්ත නො වෙ යි, නො පහදී. අනාගතකාලය හෝ ඇරබ සැක කෙරෙ යි, විචිකිත්සා කෙරෙ යි, එහි අධිමුක්ත නො වෙයි, නො පහදී. මේ ප්‍රත්‍යුත්පන්නකාලය හෝ ඇරබ සැක කෙරෙ යි, විචිකිත්සා කෙරෙයි, එහි අධිමුක්ත නො වෙයි, නො පහදී. මේ තුන් තමස්හු වෙත්.
927. එහි තුන් තීර්‍ත්‍ථායතනයෝ කවරහ යත්: මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියනසුලු වෙයි. මෙබඳු දෘෂ්ටි ඇත්තේ යි: (කෙබඳු ද යත්) ‘මේ සත්ත්‍ව තෙම යම් කිසි සුඛවේදනාවක් හෝ දුඃඛවේදනාවක් හෝ උපේක්‍ෂාවේදනාවක් හෝ විඳී නම් ඒ සියල්ල පූර්‍වකෘතහේතුයෙන් විඳී’ යයි.
තව ද මෙ ලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියනසුලු වෙයි. මෙ බඳු දෘෂ්ටි ඇත්තේ යි: ‘මේ සත්ත්‍ව තෙම යම් කිසි සුඛවේදනාවක් හෝ දුඃඛවේදනාවක් හෝ උපේක්‍ෂාවේදනාවක් හෝ විඳී නම් ඒ සියල්ල ඊෂ්වරනිර්‍මාණහේතුයෙන් විඳී’ යයි.
තව ද, මෙ ලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියනසුලු වෙයි. මෙ බඳු දෘෂ්ටි ඇත්තේ යි: ‘මේ සත්ත්‍ව තෙම යම් කිසි සුඛවේදනාවක් හෝ දුඃඛවේදනාවක් හෝ උපේක්‍ෂාවේදනාවක් හෝ විඳී නම් ඒ සියල්ල හේතු රහිත ව ප්‍රත්‍යය රහිත ව විඳී’ යයි. මොහු ‘තුන් තීර්‍ත්‍ථායතනයෝ’ යි.
928. එහි තුන් පලිබෝධ කවරහ යත්: රාගය පලිබෝධයෙක, ද්වේෂය පලිබෝධයෙක, මෝහය පලිබෝධයෙකි. මොහු තුන් පලිබෝධයෝ යි.
929. එහි තුන් අඞ්ගණයෝ (තියුණු කෙලෙස්) කවරහ යත්: රාගය අඞ්ගණයෙක, ද්වේෂය අඞ්ගණයෙක, මෝහය අඞ්ගණයෙකි. මොහු තුන් අඞ්ගණයෝ යි.
930. එහි තුන් මල කවරහ යත්: රාගය මලයෙක, ද්වේෂය මලයෙක, මෝහය මලයෙකි. මොහු ‘තුන් මල’ වෙත්.
931. එහි තුන් විෂමයෝ කවරහ යත්: රාගය විෂමයෙක, ද්වේෂය විෂමයෙක, මෝහය විෂමයෙකි. මොහු ‘තුන් විෂමයෝ’ යි.
932. එහි අනෙකුදු තුන් විෂමයෝ කවරහ යත්: කායවිෂම ය, වාග්විෂම ය, මනෝවිෂම ය. මොහු ‘තුන් විෂමයෝ’ යි.
933. එහි තුන් ගිනි කවරහ යත්: රාග ගිනි ය, ද්වේෂ ගිනි ය, මෝහ ගිනි යි. මොහු තුන්ගිනි වෙත්.
934. එහි තුන් කසට කවරහ යත්: රාගකසට ය, ද්වේෂකසට ය, මෝහකසට යි. මේ තුන් කසට වෙත්.
935. එහි අනෙකුදු තුන් කසට කවරහ යත්: කායකසට ය, වාක්කසට ය, මනඃකසට යි. මේ තුන් කසට වෙත්.
936. එහි ආස්වාදදෘෂ්ටි කවර යත්: මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ ‘වස්තුකාමසේවනයෙහි දොස් නැතැ’ යි මෙසෙයින් කියනසුලු වෙයි. මෙ බඳු දෘෂ්ටි ඇත්තේ යි. හෙතෙම වස්තුකාමයන්හි (කෙලේශකාමය) පරිභෝග කළයුතු බවට පැමිණෙ යි. මේ ‘ආස්වාදදෘෂ්ටි’ යයි කියනු ලැබේ.
එහි ආත්මානුගතදෘෂ්ටි කවර යත්: මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ, සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් විපරීතදෘෂ්ටියෙන් දකී. ආත්මය රූප ඇත්තකැ යි හෝ රූපය ආත්මයෙහි ඇතැ යි හෝ ආත්මය රූපයෙහි ඇතැ යි හෝ දකී. වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්ම වශයෙන් විපරීතදෘෂ්ටියෙන් දකී. ආත්මය විඥානය ඇත්තකැයි හෝ විඥානය ආත්මයෙහි ඇතැ යි හෝ ආත්මය විඥානයෙහි ඇතැ යි හෝ විපරීතදෘෂ්ටියෙන් දකී. යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘ආත්මානුගතදෘෂ්ටි’ යයි කියනු ලැබේ.
එහි මිථ්‍යාදෘෂ්ටි කවර යත්: දුන් දැයෙහි විපාක නැත, පූජායෙහි විපාක නැත ... යම් කෙනෙක් මෙ ලොව ද පරලොව ද තුමූ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම් ඔහු නැතැ’ යි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘මිථ්‍යාදෘෂ්ටි’ යයි කියනු ලැබේ. ශාශ්වතදෘෂ්ටි ආස්වාදදෘෂ්ටි වෙයි, සත්කායදෘෂ්ටිය ආත්මානුදෘෂ්ටි වෙයි, උච්ඡේදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි වේ.
937. එහි අරති කවර යත්: ප්‍රාන්තසේනාසනයන්හි හෝ අන්‍යතරාන්‍යතරඅධිකුශලධර්‍මයන්හි හෝ යම් නො ඇල්මෙක් නො ඇලෙන අයුරෙක් අනභිරතියෙක් අනභිරමණයෙක් උකටලී බවෙක් උද්වේගයෙක් වේ ද, මේ ‘අරති’ යි කියනු ලැබේ.
එහි විහෙසා කවර යත්: මෙ ලොව ඇතැමෙක් අතින් හෝ කැටින් හෝ මුගුරින් හෝ සැතින් හෝ රැහැනින් හෝ එක්තර එක්තරයෙකින් සත්ත්‍වයන් පෙළ යි. යම් මෙබඳු පෙළීමෙක් වෙසෙසින් පෙළීමෙක් හිංසනයෙක් විහිංසනයෙක් රොෂ කිරීමෙක් වෙසෙසින් රොෂ කිරීමෙක් මෙරමා නැසීමෙක් වේ ද, මේ ‘විහෙසා’ යි කියනු ලැබේ.
එහි අධර්‍මචර්‍ය්‍යා කවර යත්: කායික අධර්‍මචර්‍ය්‍යා ය, විෂමචර්‍ය්‍යා ය, වාචසික අධර්‍මචර්‍ය්‍යා ය, විෂමචර්‍ය්‍යා ය, මානසික අධර්‍මචර්‍ය්‍යා ය, විෂමචර්‍ය්‍යා යි. මේ ‘අධර්‍මචර්‍ය්‍යා’ යි කියනු ලැබේ.
938. එහි දුර්වචස්කතා කවර යත්: ප්‍රඥප්තශික්‍ෂාපදයක් කියනු ලබන කල්හි යම් දුර්වච කමෙක් දුර්වචකර්ම ඇති බවෙක් දුර්වචස්කතායෙක් විරුද්ධග්‍රාහයෙක් විරෝධග්‍රාහයෙහි මිහිරි බවෙක් අනාදර බවෙක් අනාදර අයුරෙක් අගෞරව බවෙක් නිඃශ්‍රය රහිත බවෙක් වේ ද, මේ ‘දුර්වචස්කතා’ යි කියනු ලැබේ.
එහි පාපමිත්‍රතා කවර යත්: යම් ඒ පුද්ගල කෙනෙක් සැදැහැ නැත්තාහු දුසිල් වූවාහු අල්පශ්‍රැත වූවාහු මසුරු වූවාහු නුවණ නැත්තාහු වෙත් ද, ඔවුන් පිළිබඳ යම් සේවනයෙක් බලවත් සේවනයෙක් හාත්පසින් සේවනයෙක් භජනයෙක් හාත්පසින් භජනයෙක් භක්තියෙක් හාත්පසින් භක්තියෙක් ඔවුන් කෙරෙහි නැමුණු බවෙක් වේ ද, මේ ‘පාපමිත්‍රතා’ යි කියනු ලැබේ.
එහි නානාත්‍වසංඥා කවර යත්: කාමසංඥා ය, ව්‍යාපාදසංඥා ය, විහිංසාසංඥා යි. මේ ‘නානාත්‍වසංඥා’ යි කියනු ලැබේ. හැම අකුශලසංඥා නානාත්‍වසංඥා යි.
939. එහි ඖද්ධත්‍ය කවරෙ යත්: චිත්තයාගේ යම් උඩඟු බවෙක් නො සන්හිඳීමෙක් චිත්තයාගේ විසුරුණු බවෙක් චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් වේ ද, මේ ‘ඖද්ධත්‍ය’ යි කියනු ලැබේ.
එහි කෞසීද්‍යය - කුසීත බව කවරෙ යත්: කායදුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පස්කම්ගුණයෙහි හෝ චිත්තයාගේ විසර්‍ජන ය, පුනපුනා විසර්‍ජන ය, කුශලධර්‍මයන්ගේ වැඩීම පිණිස සකස් කොට නො කරන බව ය, නිරතුරු නො කරන බව ය, නො පිහිටි ක්‍රියා ඇති බව ය, හැකුළුණු පැවැතුම් ඇති බව ය, බහාතැබූ කුශලච්ඡන්‍ද ඇති බව ය, බහා තැබූ වීර්‍ය්‍යධුර ඇති බව ය, ආසේවන රහිත බව ය, නො වැඩීම ය, බහුල නො කිරීම ය, නො පිහිටීම ය, අනුයෝග නො කිරීම ය, ප්‍රමාද යයි. මේ ‘කෞසීද්‍ය’ යි කියනු ලැබේ.
එහි ප්‍රමාද කවරෙ යත්: කායදුශ්චරිතයෙහි වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පස්කම්ගුණයෙහි හෝ චිත්තයාගේ විසර්‍ජන ය, පුනපුනා විසර්‍ජන ය, කුශලධර්‍මයන්ගේ වැඩීම පිණිස සකස් කොට නො කරන බව ය, නිරතුරු නො කරන බව ය, නො පිහිටි ක්‍රියා ඇති බව ය, හැකුළුණු පැවැතුම් ඇති බව ය, බහාතැබූ කුශලච්ඡන්‍ද ඇති බව ය, බහාතැබූ වීර්‍ය්‍යධුර ඇති බව ය, ආසේවන රහිත බව ය, නො වැඩීම ය, බහුල නො කිරීම ය, නො පිහිටීම ය, පුනපුනා නො යෙදීම ය, ප්‍රමාදය යි. යම් මෙබඳු ප්‍රමාදයෙක් ප්‍රමාද අයුරෙක් ප්‍රමාද වූ බවෙක් වේ ද, මේ ‘ප්‍රමාද’ යි කියනු ලැබේ.
940. එහි අසන්තුෂ්ටිතා කවර යත්: ඉතරෙතරචීවරපිණ්ඩපාතසේනාසනග්ලානප්‍රත්‍යයභෛසජ්‍යපරිෂ්කාරයන්ගෙන් හෝ පඤ්චකාමගුණයෙන් හෝ නො සතුටු වූවහුගේ බොහෝ කැමැති බව ය. යම් මෙබඳු ඉච්ඡායෙක් ඉච්ඡාගතයෙක් නො සතුටු බවෙක් රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අසන්තුෂ්ටිතා’ යි කියනු ලැබේ.
එහි අසම්ප්‍රජන්‍යතා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් ... අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අසම්ප්‍රජන්‍යතා’ යි කියනු ලැබේ.
එහි මහෙච්ඡතා කවර යත්: ඉතරෙතරචීවරපිණ්ඩපාතසේනාසනග්ලානප්‍රත්‍යයභෛසජ්‍යපරිෂ්කාරයන්ගෙන් හෝ පඤ්චකාමගුණයෙන් හෝ නො සතුටු වූවහුගේ බොහෝ කැමැති බව ය. යම් මෙබඳු ඊප්සායෙක් ඊප්සාගතයෙක් මහේච්ඡබවෙක් රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘මහෙච්ඡතා’ යි කියනු ලැබේ.
941. එහි අපත්‍රපා කවර යත්: යමෙකින් ජුගුප්සා කළ යුත්ත ජුගුප්සා නො කෙරේ ද, ලාමක අකුශලධර්‍මයන්ට පැමිණීම ජුගුප්සා නො කෙරේ ද, මේ ‘අපත්‍රපා’ යි කියනු ලැබේ.
එහි අනොත්තප්පය කවරෙ යත්: යමෙකින් බියවියයුත්තට බිය නො වේද, ලාමක අකුශලධර්‍මයන්ට පැමිණීමට බිය නො වේ ද, මේ ‘අනොත්තප්පය’ යි කියනු ලැබේ.
එහි ප්‍රමාද කවරෙ යත්: කායදුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පඤ්චකාමගුණයෙහි හෝ චිත්තයාගේ විසර්‍ජනයෙක් පුනපුනා විසර්‍ජනයෙක් කුශලධර්‍මයන්ගේ වැඩීමට සකස් කොට නො කරන බවෙක් නිරතුරු නො කරන බවෙක් නො පිහිටි ක්‍රියා ඇති බවෙක් හැකුළුණු පැවැතුම් ඇති බවෙක් බහාතැබූ කුශලච්ඡන්‍දය ඇති බවෙක් බහාතැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් ආසේවනය නො කිරීමෙක් නො වැඩීමෙක්, බහුල නො කිරීමෙක්, නො පිහිටීමෙක්, අනුයෝග නොකිරීමෙක්, ප්‍රමාදයෙක් වේද, යම් මෙබඳු ප්‍රමාදයෙක් ප්‍රමාද අයුරෙක් ප්‍රමාද වූ බවෙක් වේ ද, මේ ‘ප්‍රමාද’ යි කියනු ලැබේ.
942. එහි අනාදරිය කවරෙ යත්: යම් අනාදර බවෙක් අනාදර අයුරෙක් අගෞරව බවෙක් නිඃශ්‍රය රහිත බවෙක් නො ගැන්මෙක් නො ගන්නා අයුරෙක් නො ගත් බවෙක් ආචාර රහිත බවෙක් ගරු නො කිරීමෙක් වේ ද, මේ ‘අනාදරිය’ යි කියනු ලැබේ.
එහි දුර්වචස්කතා කවර යත්: ප්‍රඥප්තශික්‍ෂාපදයක් කියනු ලබන කල්හි යම් දුර්වචකමෙක් දුර්වචකර්ම ඇති බවෙක් දුර්වචස්කතායෙක් විරුද්ධග්‍රාහයෙක් විරෝධග්‍රාහයෙහි මධුර බවෙක් අනාදර බවෙක් අනාදර අයුරෙක් අගෞරව බවෙක් නිඃශ්‍රය රහිත බවෙක් වේ ද , මේ ‘දුර්වචස්කතා’ යි කියනු ලැබේ.
එහි පාපමිත්‍රතා කවර යත්: යම් ඒ පුද්ගල කෙනෙක් අශ්‍රාද්ධ ද, දුශ්ශීල ද, අල්පශ්‍රැත ද, මාත්සර්‍ය්‍යයෝ ද, දුෂ්ප්‍රාඥයෝ ද, ඔවුන්ගේ යම් සේවනයෙක් බලවත් සේවනයෙක් හාත්පසින් සේවනයෙක් පුනපුනා සේවනයෙක් භජනයෙක් හාත්පසින් භජනයෙක් (ඔවුන් කෙරෙහි) භක්තියෙක් හාත්පසින් භක්තියෙක් ඔවුනට නැමුණු බවෙක් වේ ද, මේ ‘පාපමිත්‍රතා’ යි කියනු ලැබේ.
943. එහි ශ්‍රද්ධා නැති බව කවරෙ යත්: මෙ ලොව ඇතැමෙක් ශ්‍රද්ධා නැත්තේ වෙයි. බුදුන් හෝ දහම් හෝ සඞ්ඝයා හෝ නො හදහයි. යම් මෙබඳු ශ්‍රද්ධා නැති බවෙක් නො හදහන අයුරෙක් නො පිවිස ගැන්මෙක් නො පැහැදීමෙක් වේ ද, මේ ‘ශ්‍රද්ධා නැති බව’ යි කියනු ලැබේ.
එහි අවදඤ්ඤුතා (වචනඥ නො වන බව) කවර යත්: මාත්සර්‍ය්‍ය පසෙකි: ආවාස මාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි. යම් මෙබඳු මාත්සර්‍ය්‍යයෙක් මාත්සර්‍ය්‍ය අයුරෙක් මාත්සර්‍ය්‍ය කළ බවෙක් (ස්වකීය සම්පත්) ව්‍යාප්ත කරනු කැමැති බවෙක් තදමසුරු බවෙක් කටුකභාවයෙක් හැකුළුණුසිත් ඇති බවෙක් සිත නො විදහාගත් බවෙක් වේ ද, මේ ‘අවදඤ්ඤුතා’ යි කියනු ලැබේ.
එහි කෞසීද්‍යය කවරෙ යත්: කායදුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පඤ්චකාමගුණයෙහි හෝ චිත්තයාගේ විසර්‍ජනයෙක් පුනපුනා විසර්‍ජනයෙක් කුශලධර්‍මයන්ගේ වැඩීම පිණිස සකසා නො කරන බවෙක් සතතයෙන් නො කරන බවෙක් නො නිමි ක්‍රියා ඇති බවෙක් හැකුළුණු පැවතුම් ඇති බවෙක් බහාතැබූ කුශලච්ඡන්‍දය ඇති බවෙක් බහාතැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් ආසේවන රහිත බවෙක් අභාවනයෙක් බහුල නො කිරීමෙක් නො පිහිටීමෙක් අනුයෝග රහිත බවෙක් ප්‍රමාදයෙක් වේ ද, මේ ‘කෞසීද්‍ය’ යි කියනු ලැබේ.
944. එහි ඖද්ධත්‍ය කවරෙ යත්: චිත්තයාගේ යම් උද්ධත බවෙක් නො සන්හිඳීමෙක් චිත්තයාගේ වික්‍ෂේපයෙක් චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් වේ ද, මේ ‘ඖද්ධත්‍ය’ යි කියනු ලැබේ.
එහි අසංවර කවරෙ යත්: මෙ ලොව ඇතැමෙක් ඇසින් රූපයක් දැක නිමිති ගන්නේ අනුව්‍යඤ්ජන ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත ව වාස කරන්නා වූ මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමකඅකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදී. චක්‍ෂුරින්‍ද්‍රියය නො රකී. චක්‍ෂුරින්‍ද්‍රියෙහි සංවරයට නො පැමිණෙ යි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් ගහා ... දිවින් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන නිමිති ගන්නේ අනුව්‍යඤ්ජන ගන්නේ වෙයි. යම් කරුණෙකින් මනින්‍ද්‍රියය අසංවෘතව වාස කරන්නා වූ මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම් ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදි යි. මනින්‍ද්‍රිය නො රකි යි. මනින්‍ද්‍රියෙහි සංවරයට නො පැමිණෙයි. මේ ‘අසංවර’ යි කියනු ලැබේ.
එහි දුශ්ශීල බව කවරෙ යත්: කායිකව්‍යතික්‍රම ය, වාචසිකව්‍යතික්‍රම ය, කායිකවාචසිකව්‍යතික්‍රම යි. මේ ‘දුශ්ශීල බව’ යි කියනු ලැබේ.
945. එහි ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව කවර යත්: එහි ආර්‍ය්‍යයෝ කවරහ යත්: බුදුවරු ද බුද්ධශ්‍රාවකයෝ ද ආර්‍ය්‍යහ යි කියනු ලැබෙත්. යම් මේ ආර්‍ය්‍යයන්ගේ නො දැකීම කැමැති බවෙක් නො දක්නට කැමැති බවෙක් ඔවුන් වෙත නො එළඹෙනු කැමැති බවෙක් ඔවුන් හා එක්වන්නට නො කැමැති බවෙක් වේ ද, මේ ‘ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව’ යි කියනු ලැබේ.
එහි සදහම් නො අසනු කැමැති බව කවර යත්: එහි සද්ධර්‍ම කවරෙ යත්: සතර සතිපට්ඨාන ය, සතර සම්‍යක්ප්‍රධාන ය, සතරඍද්ධිපාද ය, පඤ්චේන්‍ද්‍රිය ය, පඤ්චබල ය, සප්තබෝධ්‍යඞ්ග ය, ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ග යයි මේ ‘සද්ධර්‍ම’ යි කියනු ලැබේ. යම් මේ සද්ධර්‍මය නො අසන්නට කැමැති බවෙක් නො අසනු කැමැති බවෙක් උගන්නට නො කැමැති බවෙක් දරන්නට නො කැමැති බවෙක් වේ ද, මේ ‘සදහම් නො අසනු කැමැති බව’ යි කියනු ලැබේ.
එහි උපාරම්භ සිත් ඇති බව කවරෙ යත්: එහි උපාරම්භ කවරෙ යත්: යම් උපාරම්භ (නින්‍දාපූර්‍වදෝෂාරෝපණ)යෙක් පුනපුනා උපාරම්භයෙක් උපාරම්භ අයුරෙක් පුනපුනා උපාරම්භ අයුරෙක් පුනපුනා උපාරම්භ කළ බවෙක් පහත්කොට සිතීමෙක් අවඥායෙක් පරිභවයෙක් රන්ධ්‍රගවේෂී (සිදුරු සොයන) බවෙක් වේ ද, මේ ‘උපාරම්භ සිත් ඇති බව’ යි කියනු ලැබේ.
946. එහි මූඪස්මෘති කවර යත්: යම් නො සිහි කිරීමෙක් පුනපුනා නො සිහි කිරීමෙක් අබිමුව ව සිහි නො කිරීමෙක් සිහි නො කරන අයුරෙක් නො දරන බවෙක් (අරමුණෙහි) ඉල්පෙන බවෙක් ප්‍රමොෂ බවෙක් වේ ද, මේ ‘මූඪස්මෘති’ යි කියනු ලැබේ.
එහි අසම්‍යග්ඥාන කවරෙ යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් ... අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අසම්‍යග්ඥාන’ යි කියනු ලැබේ.
එහි චිත්තවික්‍ෂේප කවරෙ යත්: චිත්තයාගේ යම් උද්ධත භාවයෙක් නො සන්හිඳීමෙක් චිත්තයාගේ විසිරීමෙක් චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් වේ ද, මේ ‘චිත්ත වික්‍ෂේප’ යි කියනු ලැබේ.
947. එහි අයෝනිසෝමනසිකාර කවරෙ යත්: අනිත්‍යයෙහි නිත්‍ය යනු අයෝනිසෝමනසිකාර ය, දුඃඛයෙහි සුඛ යනු අයෝනිසෝමනසිකාර ය, අනාත්මයෙහි ආත්ම යනු අයෝනිසෝමනසිකාර ය, අශුභයෙහි ශුභ යනු අයෝනිසෝමනසිකාර යි, සත්‍යයනට විලෝම විසින් හෝ චිත්තයාගේ ආවර්‍ජනයෙක් පුනපුනා ආවර්‍ජනයෙක් ආභෝගයෙක් සමන්‍වාහාරයෙක් මනසිකාරයෙක් වේ ද, මේ ‘අයෝනිසෝමනසිකාර’ යි කියනු ලැබේ.
එහි කුත්සිතමාර්‍ගසේවන කවරෙ යත්: එහි කුත්සිතමාර්‍ගය කවරෙ යත්: මිථ්‍යාදෘෂ්ටි ය, මිථ්‍යාසංකල්ප ය, මිථ්‍යාවචන ය, මිථ්‍යාකර්‍මාන්ත ය, මිථ්‍යාආජීව ය, මිථ්‍යාව්‍යායාම ය, මිථ්‍යාස්මෘති ය, මිථ්‍යාසමාධි යි. මේ ‘කුත්සිතමාර්‍ග’ යි කියනු ලැබේ. යම් මේ කුත්සිතමාර්‍ගයාගේ සේවනයෙක් බලවත් සේවනයෙක් හාත්පසින් සේවනයෙක් භජනයෙක් හාත්පසින් භජනයෙක් එය කෙරෙහි භක්තියෙක් හාත්පසින් භක්තියෙක් එයට හාත්පසින් නැමුණු බවෙක් වේ ද, මේ ‘කුත්සිතමාර්‍ගසේවන’ යි කියනු ලැබේ.
එහි චිත්තයාගේ ලීනත්‍වය කවරෙ යත්: චිත්තයාගේ යම් අකල්‍ය බවෙක් අකර්‍මණ්‍ය බවෙක් එලෙන බවෙක් හාත්පසින් එලෙන බවෙක් හැකිළීමෙක් හැකිළෙන අයුරෙක් හැකිළුණු බවෙක් චිත්තයාගේ තදයෙක් තද අයුරෙක් තද වූ බවෙක් වේ ද, මේ ‘චිත්තයාගේ ලීනත්‍ව’ යි කියනු ලැබේ.
ත්‍රික යි.
948. එහි සතර ආස්‍රවයෝ කවරහ යත්: කාමාස්‍රව ය, භවාස්‍රව ය, දෘෂ්ට්‍යාස්‍රව ය, අවිද්‍යාස්‍රව යි. එහි කාමාස්‍රව කවර යත්: පඤ්චකාමගුණයෙහි යම් කාමච්ඡන්‍දයෙක්, කාමරාගයෙක්, කාමනන්‍දියෙක්, කාමතෘෂ්ණායෙක්, කාමස්නේහයෙක්, කාමපරිදාහයෙක්, කාමමූර්ඡායෙක්, කාමයන්හි ගැලීමෙක් වේ ද, මේ ‘කාමාස්‍රව’ යි කියනු ලැබේ.
එහි භවාස්‍රව කවරෙ යත්: රූපාරූපභවයන්හි යම් භවච්ඡන්‍දයෙක් ... භවජ්ඣොසානායක් වේ ද, මේ ‘භවාස්‍රව’ යි කියනු ලැබේ.
එහි දෘෂ්ට්‍යාස්‍රව කවරෙ යත්: ලෝකය ශාස්වතැ යි හෝ ලෝකය අශාශ්සවතයැ යි හෝ ලෝකය අන්ත ඇතැයි හෝ ලෝකය අන්ත නැතැයි හෝ හේ මැ ජීවය හේ මැ ශරීර යැ යි හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ යි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු වේ යැ යි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු නො වේ යැ යි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ යැ යි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු නො ම වෙයි නො ද නො වේ යැ යි හෝ යම් මෙබඳු දෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘දෘෂ්ට්‍යාස්‍රව’ යි කියනු ලැබේ. හැම මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ට්‍යාස්‍රව වේ.
එහි අවිද්‍යාස්‍රව කවරෙ යත්: දුඃඛයෙහි නො දැනීම ය, දුඃඛසමුදයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි නො දැනීම ය, පූර්‍වාන්තයෙහි නො දැනීම ය, අවරාන්තයෙහි නො දැනීම ය, පූර්‍වාන්තාවරාන්තයෙහි නො දැනීම ය, ඉදංප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි නො දැනීම යි. යම් මෙබඳු නො දැනීමෙක් නො දැකීමෙක් ... අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යාස්‍රව’ යි කියනු ලැබේ. මොහු සතර ආස්‍රව වෙත්.
949. එහි සතර ග්‍රන්‍ථයෝ ... සතර ඕඝයෝ ... සතර යෝගයෝ ... සතර උපාදානයෝ කවරහ යත්: කාමොපාදාන ය, දෘෂ්ට්‍යුපාදාන ය, ශීලව්‍රතොපාදාන ය, ආත්මවාදෝපාදාන යි. එහි කාමොපාදාන කවරෙ යත්: පඤ්චකාමගුණයෙහි යම් කාමච්ඡන්‍දයෙක්, කාමරාගයෙක්, කාමනන්‍දියෙක්, කාමතෘෂ්ණායෙක්, කාමස්නේහයෙක්, කාමපරිදාහයෙක්, කාමමූර්ඡායෙක්, කාමයෙහි බැසගැනීමෙක් වේ ද, මේ ‘කාමොපාදාන’ යි කියනු ලැබේ.
එහි දෘෂ්ට්‍යුපාදාන කවරෙ යත්: ‘දුන්දැයෙහි විපාක නැත, පූජායෙහි විපාක නැත ... යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම් ඔහු නැතැ’ යි යම් මෙබඳු දෘෂ්ටියෙන් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘දෘෂ්ට්‍යුපාදාන’ යි කියනු ලැබේ. ශීලව්‍රතෝපාදානයත් ආත්මවාදොපාදානයත් තබා හැම මිථ්‍යාදෘෂ්ටිය ‘දෘෂ්ට්‍යුපාදාන’ යි.
එහි ශීලව්‍රතොපාදාන කවරෙ යත්: මෙ සස්නෙන් බැහැර මහණබමුණන්ගේ ශීලයෙන් ශුද්ධි ය, ව්‍රතයෙන් ශුද්ධි ය, ශීලව්‍රතයෙන් ශුද්ධි ය යි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘ශීලව්‍රතොපාදාන’ යි කියනු ලැබේ.
එහි ආත්මවාදෝපාදාන කවරෙ යත්: මෙලොව ආර්‍ය්‍යයන් නො දක්නාසුලු, ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ, ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ, සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් විපරීතදෘෂ්ටියෙන් දකී. ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ඇතැයි හෝ ආත්මය රූපයෙහි ඇතැයි හෝ විපරීතදෘෂ්ටියෙන් දකී. වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්මවශයෙන් විපරීතදෘෂ්ටියෙන් දකී. ආත්මය විඥානවත් කොට හෝ විඥානය ආත්මයෙහි ඇතැ යි හෝ ආත්මය විඥානයෙහි ඇතැ යි හෝ මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘ආත්මවාදෝපාදාන’ යි කියනු ලැබේ. මොහු සතර උපාදානයෝ යි.
950. එහි සතර තෘෂ්ණෝත්පාදයෝ කවරහ යත්: චීවරහේතුයෙන් හෝ මහණහට උපදනා තෘෂ්ණාව උපදී. පිණ්ඩපාතහේතුයෙන් හෝ මහණහට උපදනා තෘෂ්ණාව උපදී. සේනාසනහේතුයෙන් හෝ මහණහට උපදනා තෘෂ්ණාව උපදී. මෙසේ භවාභව (පිණි ඉපිණි තෙල්, මිහි, පැණි ඈ) හේතුයෙන් හෝ මහණහට උපදනා තෘෂ්ණාව උපදී. මොහු සතර තෘෂ්ණෝත්පාදයෝ යි.
951. එහි සතර අගතිගමනයෝ කවරහ යත්: ඡන්‍දයෙන් (ප්‍රේමවශයෙන්) අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි. මෝහයෙන් අගතියට යෙයි. භය විසින් අගතියට යේ. යම් මෙබඳු අගතිගමනයෙක් (අකටයුතු කිරීමෙක්) ඡන්‍දගමනයෙක් වර්‍ගගමනයෙක් (නිම්නගාමී බැවින්) වාරිගමනයෙක් වේ ද, මොහු සතර අගති ගමනයෝ යි.
952. එහි සතර විපර්‍ය්‍යාසයෝ කවරහ යත්: අනිත්‍යවස්තුයෙහි නිත්‍ය යයි සංඥාවිපර්‍ය්‍යාස ය, චිත්තවිපර්‍ය්‍යාස ය, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ය, දුඃඛයෙහි සුඛ යයි සංඥාවිපර්‍ය්‍යාස ය, චිත්තවිපර්‍ය්‍යාස ය, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ය, අනාත්මයෙහි ආත්ම යයි සංඥාවිපර්‍ය්‍යාස ය, චිත්තවිපර්‍ය්‍යාස ය, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ය, අශුභයෙහි ශුභ යයි සංඥාවිපර්‍ය්‍යාස ය, චිත්තවිපර්‍ය්‍යාස ය, දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි. මොහු සතර විපර්‍ය්‍යාසයෝ යි.
953. එහි සතර අනාර්‍ය්‍යව්‍යවහාරයෝ කවරහ යත්: අදෘෂ්ටයෙහි (නො දුටුයෙහි) දෘෂ්ටවාදීත්‍ව ය, අශ්‍රැතයෙහි (නො ඇසුයෙහි) ශ්‍රැතවාදීත්‍ව ය, අමුතයෙහි (නො ගත් ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යයෙහි) මුතවාදීත්ව ය, අවිඥාතයෙහි (නො දත්තෙහි) විඥාතවාදීත්ව යි. මොහු ‘සතර අනාර්‍ය්‍යව්‍යවහාරයෝ’ යි.
954. එහි අනෙකුදු සතර අනාර්‍ය්‍යව්‍යවහාරයෝ කවරහ යත්: දෘෂ්ටයෙහි අදෘෂ්ටවාදීත්‍ව ය, ශ්‍රැතයෙහි අශ්‍රැතවාදීත්‍ව ය, මුතයෙහි අමුතවාදීත්‍ව ය, විඥාතයෙහි අවිඥාතවාදීත්‍ව යයි. මොහු සතර අනාර්‍ය්‍යව්‍යවහාරයෝ යි.
955. එහි සතර දුශ්චරිතයෝ කවරහ යත්: ප්‍රාණඝාත ය, අදත්තාදාන ය, කාමමිථ්‍යාචාර ය, මෘෂාවාද යි. මොහු සතර දුශ්චරිතයෝ යි.
956. එහි අනෙකුදු සතර දුශ්චරිතයෝ කවරහ යත්: මෘෂාවාද ය, පිශුනවචන ය, පරුෂවචන ය, සම්ඵප්‍රලාප යි. මොහු සතර දුශ්චරිතයෝ යි.
957. එහි සතර භය කවරහ යත්: ජාතිය නිසා උපන් බිය ය, ජරාව නිසා උපන් බිය ය, ව්‍යාධිය නිසා උපන් බිය ය, මරණය නිසා උපන් බිය යි. මොහු සතර භය වෙත්.
958. එහි අනෙකුදු සතර භය කවරහ යත්: රජු කෙරෙන් උපන් බිය ය, සොරු කෙරෙන් උපන් බිය ය, ගින්නෙන් උපන් බිය ය, දියෙන් උපන් බිය යි. මොහු සතර භය වෙත්.
959. එහි අනෙකුදු සතර භය කවරහ යත්: තරඟවැල නිසා උපන් බිය ය, කිඹුලන් කෙරෙන් උපන් බිය ය, දියසුළියෙන් වන බිය ය, සැඩමසුන් කෙරෙන් උපන් බිය යි. මොහු සතර භය වෙත්.
960. එහි අනෙකුදු සතර භය කවරහ යත්: ආත්මානුවාදභය ය, පරානුවාදභය ය, දණ්ඩභය ය, දුර්‍ගතිභය යි. මොහු සතර භය වෙත්.
961. එහි සතර දෘෂ්ටීහු කවරහ යත්: සුවදුක් (වේදනාව) තමා විසින් කරන ලදැ යි සත්‍ය හෙයින් ස්ථිර හෙයින් දෘෂ්ටි උපදි යි. සුවදුක් වේදනා පරා විසින් කරන ලදැයි සත්‍ය හෙයින් ස්ථිර හෙයින් දෘෂ්ටි උපදී. සුවදුක් තමා විසිනුත් පරා විසිනුත් කරන ලදැයි සත්‍ය හෙයින් ස්ථිර හෙයින් දෘෂ්ටි උපදී. සුවදුක් තමා විසින් නො කරන ලද ය, පරා විසින් නො කරන ලද ය, අධිත්‍යසමුත්පන්න ය යි සත්‍ය හෙයින් ස්ථිර හෙයින් දෘෂ්ටි උපදී. මොහු සතර දෘෂ්ටීහු වෙත්.
චතුෂ්ක යි.
962. එහි පඤ්චඕරම්භාගියසංයෝජනයෝ කවරහ යත්: සත්කායදෘෂ්ටි ය, විචිකිත්සා ය, ශීලව්‍රතපරාමර්‍ශ ය, කාමච්ඡන්‍ද ය, ව්‍යාපාද යි. මොහු පඤ්චඕරම්භාගියසංයෝජනයෝ යි.
963. එහි පඤ්චඋද්ධම්භාගියසංයෝජනයෝ කවරහ යත්: රූපරාග ය, අරූපරාග ය, මාන ය, ඖද්ධත්‍ය ය, අවිද්‍යා යි. මොහු පඤ්චඋද්ධම්භාගියසංයෝජනයෝ යි.
964. එහි පඤ්චමාත්සර්‍ය්‍යයෝ කවරහ යත්: ආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යයි. මොහු පඤ්චමාත්සර්‍ය්‍යයෝ යි.
965. එහි පඤ්චසඞ්ගයෝ කවරහ යත්: රාගසඞ්ග ය, ද්වේෂසඞ්ග ය, මෝහසඞ්ග ය, මානසඞ්ග ය, දෘෂ්ටිසඞ්ග යි. මොහු පඤ්චසඞ්ගයෝ යි.
966. එහි පඤ්චශල්‍යයෝ කවරහ යත්: රාගශල්‍ය ය, ද්වේෂශල්‍ය ය, මෝහශල්‍ය ය, මානශල්‍ය ය, දෘෂ්ටිශල්‍ය යි. මොහු පඤ්චශල්‍යයෝ යි.
967. එහි පඤ්චචේතෝඛිලයෝ කවරහ යත්: ශාස්තෘන් කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නො ඇලෙයි, නො පහදී. ධර්‍මය කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නො ඇලෙයි, නො පහදී. සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නො ඇලෙයි, නො පහදී. ශික්‍ෂාව කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නො ඇලෙයි, නො පහදී. සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිත් ඇත්තේ ගැටුණු සිත් ඇත්තේ හටගත් චේතෝඛිල ඇත්තේ වෙයි. මොහු ‘පඤ්චචේතෝඛිලයෝ’ යි.
968. එහි පඤ්ච චිත්තවිනිබන්‍ධයෝ කවරහ යත්: වස්තුකාමක්ලේශකාමයන්හි අවිගත වූ රාග ඇත්තේ, අවිගත වූ ඡන්‍ද ඇත්තේ, අවිගත වූ ප්‍රේම ඇත්තේ, අවිගත වූ පිපාසා ඇත්තේ, අවිගත වූ පරිදාහ ඇත්තේ, අවිගත වූ තෘෂ්ණා ඇත්තේ වෙයි. අධ්‍යාත්මකායයෙහි අවිගතරාග ඇත්තේ වෙයි ... බහිද්ධාරූපයෙහි අවිගතරාග ඇත්තේ වෙයි ... කැමැති තාක් කුසපුරා වළඳා ශය්‍යාසුඛයෙහි ස්පර්‍ශසුඛයෙහි නිද්‍රාසුඛයෙහි යෙදුණේ වෙසෙයි. ‘මම් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ එක්තරා දෙවියෙක් හෝ වන්නෙමි’ එක්තරා දේවනිකායක් පතා බඹසර වෙසේ. මොහු පඤ්චචිත්තවිනිබන්‍ධයෝ යි.
969. එහි පඤ්චනීවරණයෝ කවරහ යත්: කාමච්ඡන්‍දනීවරණ ය, ව්‍යාපාදනීවරණ ය, ථීනමිද්ධනීවරණ ය, උද්ධච්චකුක්කුච්චනීවරණ ය, විචිකිච්ඡානීවරණ යි. මොහු පඤ්චනීවරණයෝ යි.
970. එහි පඤ්චානන්තර්‍ය්‍යකර්‍මයෝ කවරහ යත්: මව දිවියෙන් ගළවනලද වෙයි, පියා දිවියෙන් ගළවනලද වෙයි, රහත් දිවියෙන් ගළවනලද වෙයි, දුෂ්ට සිතින් තථාගත සිරුරෙහි ලෙහෙ උපදවන ලද්දේ වෙයි, සඞ්ඝයා බිඳුනා ලද්දේ වේ. මොහු පඤ්චානන්තර්‍ය්‍යකර්‍මයෝ යි.
971. එහි පඤ්චදෘෂ්ටීහු කවරහ යත්: මරණින් මත්තෙහි ආත්මය සංඥා ඇත්තේ නිත්‍ය වේ යයි ඇතැම් කෙනෙක් කියති. මරණින් මත්තෙහි ආත්මය සංඥා විරහිත වූයේ නිත්‍ය වේ යයි ඇතැම් කෙනෙක් කියති. මරණින් මත්තෙහි ආත්මය නෛවසංඥීනාසංඥී වූයේ නිත්‍ය වේ යයි ඇතැම් කෙනෙක් කියති. තවද විද්‍යමාන වූ ම සත්ත්‍වයාගේ සිඳීම විනාශය විභවය පනවත්. යළි ඇතැම් කෙනෙක් දෘෂ්ටධර්‍මනිර්‍වාණය හෝ කියත්. මොහු පඤ්චදෘෂ්ටීහු වෙත්.
972. එහි පඤ්චවෛරයෝ කවරහ යත්: ප්‍රාණඝාත ය, අදත්තාදාන ය, කාමමිථ්‍යාචාර ය, මෘෂාවාද ය, මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙර පීම යි. මොහු පඤ්ච වෛරයෝ යි.
973. එහි පඤ්චව්‍යසනයෝ කවරහ යත්: ඥාතිව්‍යසන ය, භෝගව්‍යසන ය, රෝගව්‍යසන ය, ශීලව්‍යසන ය, දෘෂ්ටිව්‍යසන යි. මොහු පඤ්චව්‍යසනයෝ යි.
974. එහි අක්‍ෂාන්තියෙහි පඤ්චආදීනවයෝ කවරහ යත්: බොහෝ දෙනාට අප්‍රිය වූයේ අමනාප වූයේ වෙයි. වෛරබහුල වූයේත් වද්‍යබහුල වූයේත් වෙයි. මූඪ වූයේ කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස ව පතිත වන නිරයට පැමිණේ. මොහු අක්‍ෂාන්තියෙහි පඤ්චආදීනවයෝ යි.
975. එහි පඤ්චභය කවරහ යත්: දිවිවැටුම නිසා උපන් බිය ය, ගැරැහුම්බිය ය, පිරිස්හි සාරද්‍ය සඞ්ඛ්‍යාත බිය ය, මරණයෙන් වූ බිය ය, දුගති බිය යි. මොහු පඤ්චභය වෙත්.
976. එහි පඤ්චදෘෂ්ටධර්‍මනිර්‍වාණවාදයෝ කවරහ යත්: මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. භවත, යම් තැනෙක පටන් මේ ආත්මය පස්කම්ගුණයෙන් ඇලුණේ යුක්ත වූයේ ඉඳුරන් පිනවා ද, භවත්නි, මෙතෙකින් මේ ආත්මය පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය පනවත්.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෙල ආත්මය ඇත් ම ය තෝ යමක් කීයෙහි නම් තෙල නැතැ යි නො කියමි. භවත, මෙතෙකින් මේ ආත්මය පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ නො ද වෙයි. ඊට හේතු කිම? භවත, කාමයෝ අනිත්‍යයහ, දුඃඛයහ, විපරිණාමස්වභාවයහ. ඔවුන්ගේ විපරිණාම සඞ්ඛ්‍යාත අන්‍යථාත්‍වයෙන් සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ උපදිත්. භවත, යම් තැනෙක පටන් මේ ආත්මය කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, මෙතෙකින් භවත, මේ ආත්මය පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ වේ ය යි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය පණවත්.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෙල ආත්මය ඇත් ම ය, තෝ යමක් කියෙහි නම් තෙල නැතැ යි නො කියමි. භවත, මේ ආත්මය මෙතෙකින් පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ නො ද වෙයි. ඊට හේතු කිම? එහි යම් ම විතර්‍කයෙක් විචාරයෙක් වේ ද, මෙයින් තෙල ප්‍රථමධ්‍යානය ඖදාරික ව වැටහෙයි. භවත, යම් තැනෙක පටන් මේ ආත්මය විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, මෙතෙකින් භවත, මේ ආත්මය පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ වේ ය යි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය පණවත්.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෙල ආත්මය ඇත් ම ය, තෝ යමක් කියෙහි නම් තෙල නැතැ යි නො කියමි. භවත, මේ ආත්මය මෙතෙකින් පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ නො ද වෙයි. ඊට හේතු කිම? එහි යම් මැ මෙයින් ප්‍රීතිගතයෙක් චිත්තයාගේ උත්ප්ලාවනයෙක් වේ ද, මෙයින් තෙල ද්විතීයධ්‍යානය ඖදාරික සේ වැටැහෙයි. භවත, යම් තැනෙක පටන් මේ ආත්මය ප්‍රීතියගේ ද විරාගයෙන් ... තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, භවත, මෙතෙකින් මේ ආත්මය පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ වේ ය යි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය පණවත්.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, මේ ආත්මය ඇත් ම ය, තෝ යමක් කියෙහි නම් තෙල නැතැ යි නො කියමි. භවත, මේ ආත්මය මෙතෙකින් පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ නො ද වෙයි. ඊට හේතු කිම? එහි යම් මැ සුඛයෙහි චිත්තයාගේ ආභෝගයෙක් වේ ද, මෙයින් තෙල තෘතීයධ්‍යානය ඖදාරික සේ වැටැහෙයි. භවත, යම් තැනෙක පටන් මේ ආත්මය සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, භවත, මෙතෙකින් මේ ආත්මය පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ වේ ය යි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය පණවත්. මේ පඤ්ච දෘෂ්ටධර්‍මනිර්‍වාණවාදයෝ යි.
පඤ්චක යි.
977. එහි විවාදමූලයෝ සදෙන කවරහ යත්: ක්‍රෝධ ය, මකු බව ය, ඊර්‍ෂ්‍යා ය, සඨ බව ය, පාපිච්ඡ බව ය, ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශ කරනසුලු බව යි. මොහු සදෙන විවාදමූලයෝ යි.