එහි සතර ආලම්බනයෝ කවරහ යත්: පරිත්ත වූ පරිත්තාලම්බනප්‍රඥා ය, පරිත්ත වූ අප්‍රමාණාලම්බනප්‍රඥා ය, අප්‍රමාණ වූ පරිත්තාලම්බනප්‍රඥා ය, අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බනප්‍රඥා යි.
එහි පරිත්ත වූ පරිත්තාලම්බනප්‍රඥා කවර යත්: නිකාමලාභී (කැමැති සේ ලබන සුලු) නො වූ සමාධිහුගේ අරමුණ අල්ප ව ස්පර්‍ශ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘පරිත්ත වූ පරිත්තාලම්බන ප්‍රඥා’ යි කියනු ලැබේ.
එහි පරිත්ත වූ අප්‍රමාණාලම්බනප්‍රඥා කවර යත්: නිකාමලාභී නො වූ සමාධිහුගේ අරමුණ විපුල ව ස්පර්‍ශ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘පරිත්ත වූ අප්‍රමාණාලම්බන ප්‍රඥා’ යි කියනු ලැබේ.
එහි අප්‍රමාණ වූ පරිත්තාලම්බනප්‍රඥා කවර යත්: නිකාමලාභීසමාධිහුගේ අරමුණ අල්ප ව ස්පර්‍ශ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අප්‍රමාණ වූ පරිත්තාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ.
එහි අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බනප්‍රඥා කවර යත්: නිකාමලාභීසමාධිහුගේ අරමුණ විපුල ව ස්පර්‍ශ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ. මොහු සතර ආලම්බනයෝ යි.
මාර්‍ගසමඞ්ගීහුගේ යම් ඥානයෙක් වේ ද තෙල ජරාමරණයෙහි ඥාන ද වෙයි, තෙල ජරාමරණසමුදයෙහි ඥාන ද වෙයි, තෙල ජරාමරණනිරෝධයෙහි ඥාන ද වෙයි, තෙල ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන ද වේ.
එහි ජරාමරණයෙහි ඥාන කවරෙ යත්: ජරාමරණය ඇරැබැ යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘ජරාමරණයෙහි ඥාන’ යි කියනු ලැබේ. ජරාමරණසමුදය ඇරැබැ ... ජරාමරණනිරෝධය ඇරැබැ ... ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව ඇරැබැ යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන’ යි කියනු ලැබේ.
මාර්‍ගසමඞ්ගීහුගේ යම් ඥානයෙක් වේ ද තෙල ජාතියෙහි ඥානය ද වෙයි ... භවයෙහි ඥානය ද වෙයි ... උපාදානයෙහි ඥානය ද වෙයි ... තෘෂ්ණායෙහි ඥානය ද වෙයි ... වේදනායෙහි ඥානය ද වෙයි ... ස්පර්‍ශයෙහි ඥානය ද වෙයි ... ෂඩායතනයෙහි ඥානය ද වෙයි ... නාමරූපයෙහි ඥානය ද වෙයි ... විඥානයෙහි ඥානය ද වෙයි ...
තෙල සංස්කාරයන්හි ඥානය ද වෙයි, සංස්කාරසමුදයෙහි ඥානය ද වෙයි, සංස්කාරනිරෝධයෙහි ඥානය ද වෙයි, සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥානය ද වේ. එහි සංස්කාරයන්හි ඥානය කවර යත්: සංස්කාරයන් නිසා යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘සංස්කාරයන්හි ඥාන’ යි කියනු ලැබේ. සංස්කාරසමුදය නිසා ... සංස්කාරනිරෝධය නිසා ... සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදාව නිසා යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන’ යි කියනු ලැබේ.
මෙසේ චතුෂ්ප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
චතුෂ්ක යි.
821. එහි පඤ්චාඞ්ගික වූ සම්‍යක්සමාධි කවරෙ යත්: පීතිඵරණතා ය, සුඛඵරණතා ය, චේතෝඵරණතා ය, ආලෝකඵරණතා ය, පච්චවෙක්ඛණානිමිත්ත යි. (ප්‍රථම ද්විතීය) ධ්‍යානද්වයෙහි ප්‍රඥාව පීතිඵරණතා ය, ධ්‍යානත්‍රයෙහි ප්‍රඥාව සුඛඵරණතා ය, පරචිත්තයෙහි ප්‍රඥාව චේතෝඵරණතා ය, දිව්‍යචක්‍ෂුස ආලෝකඵරණතා ය, ඒ ඒ සමාධියෙන් නැඟීසිටියහුගේ ප්‍රත්‍යවේක්‍ෂාඥානය පච්චවෙක්ඛණානිමිත්ත යි. මේ ‘පඤ්චාඞ්ගික වූ සම්‍යක්සමාධි’ යි කියනු ලැබේ.
එහි පඤ්චඥානික වූ සම්‍යක්සමාධිය කවරෙ යත්: මේ (අර්‍හත්ඵල) සමාධිය ප්‍රත්‍යුත්පන්නසුඛයත් ආයතිසුඛවිපාකත් ඇත්තේ යයි තමා කෙරෙහි ම ඥානය උපදී, මේ සමාධිය ආර්‍ය්‍ය ය, නිරාමිෂ යයි තමා කෙරෙහි ම ඥානය උපදී, මේ සමාධිය මහාපුරුෂයන් විසින් සෙවුනා ලදැ යි තමා කෙරෙහි ම ඥානය උපදී. මේ සමාධිය ශාන්ත ය, ප්‍රණීත ය, කෙලෙසුන් සන්හිඳුවීමෙන් ලබන ලද ය. එකඟ බැවින් පැමිණෙන ලද ය, සප්‍රෙයෝග සිතින් නිග්‍රහ කොට කෙලෙස් වරා පැමිණියේ නො වේ යයි තමා කෙරෙහි ඥානය උපදී. ඒ මම මේ සමාධියට සිහි ඇති ව සමවදිමි සිහි ඇති ව (ඉන්) නැඟෙමී තමා කෙරෙහි ම ඥානය උපදී. මේ පඤ්චඥානික වූ සම්‍යක්සමාධිය වේ. මෙසේ පඤ්චප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
822. එහි ෂට් - අභිඥාවන්හි ප්‍රඥා කවර යත්: ඍද්ධිවිධයෙහි ඥානය, ශ්‍රෝතධාතු විශුද්ධියෙහි ඥාන ය, පරචිත්තයෙහි ඥාන ය, පූර්‍වනිවාසානුස්මෘතියෙහි ඥාන ය, සත්ත්‍වයන්ගේ ච්‍යුති - උපපාතයෙහි ඥාන ය, ආස්‍රවක්‍ෂයයෙහි ඥාන යි. මේ ෂට් - අභිඥාවන්හි ප්‍රඥා යි. මෙසේ ෂට්ප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
823. එහි සත්සැත්තෑ ඥානවස්තුහු කවරහ යත්: ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ යැ යි ඥානයෙක, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි ඥානයෙක, අතීතකාලයෙහිදු ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ යැ යි ඥානයෙක, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි ඥානයෙක, අනාගතකාලයෙහිදු ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ යැ යි ඥානයෙක, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි ඥානයෙක, යම් ඒ ධර්‍මස්ථිති (ප්‍රත්‍යයාකාර) ඥානයෙකුත් වන්නේ නම් හෙ ද ක්‍ෂයස්වභාව ඇත්තේ ය, ව්‍යයස්වභාව ඇත්තේ ය, විරාගස්වභාව ඇත්තේ ය, නිරෝධස්වභාව ඇත්තේ යැ යි ඥානයෙක, භවප්‍රත්‍යයෙන් ජාතිය වේ යැ යි ඥානයෙක ... උපාදානප්‍රත්‍යයෙන් භවය වේ යැ යි ඥානයෙක ... තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වේ යැ යි ඥානයෙක ... වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ යැ යි ඥානයෙක ... ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා වේ යැ යි ඥානයෙක ... ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වේ යැ යි ඥානයෙක ... නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වේ යැ යි ඥානයෙක ... විඥානප්‍රත්‍යයෙන් නාමරූප වේ යැ යි ඥානයෙක ... සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වේ යැ යි ඥානයෙක ... අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙතැ යි ඥානයෙක. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නැතැ යි ඥානයෙක, අතීතකාලයෙහිදු අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වූහ යි ඥානයෙක. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නැතැ යි ඥානයෙක, අනාගතකාලයෙහිදු අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වන්නාහ යි ඥානයෙක. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නැතැ යි ඥානයෙක, යම් ඒ ධර්‍මස්ථිතිඥානයෙකුත් වන්නේ නම් හෙ ද ක්‍ෂයස්වභාව ඇත්තේ ය, ව්‍යයස්වභාව ඇත්තේ ය, විරාගස්වභාව ඇත්තේ ය, නිරෝධස්වභාව ඇත්තේ යැ යි ඥානයෙකි. මොහු සත්සැත්තෑ ඥානවස්තූහු වෙත්. මෙසේ සප්තප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
824. එහි සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥා කවර යත්: ශ්‍රෝතාපත්තිමාර්‍ගයෙහි ප්‍රඥා ය, ශ්‍රොතාපත්තිඵලයෙහි ප්‍රඥා ය, සකෘදාගාමීමාර්‍ගයෙහි ප්‍රඥා ය, සකෘදාගාමීඵලයෙහි ප්‍රඥා ය, අනාගාමිමාර්‍ගයෙහි ප්‍රඥා ය, අනාගාමීඵලයෙහි ප්‍රඥා ය, අර්‍හන්මාර්‍ගයෙහි ප්‍රඥා ය, අර්‍හත්ඵලයෙහි ප්‍රඥා යි. මේ සතර මාර්‍ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥායි. මෙසේ අෂ්ප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
825. එහි නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්හි ප්‍රඥා කවර යත්: ප්‍රඥමධ්‍යානසමාපත්තියෙහි ප්‍රඥා ය, ද්විතීයධ්‍යානසමාපත්තියෙහි ප්‍රඥා ය, තෘතීයධ්‍යානසමාපත්තියෙහි ප්‍රඥා ය, චතුර්‍ත්‍ථධ්‍යානසමාපත්තියෙහි ප්‍රඥා ය, ආකාසානඤ්චායතනසමාපත්තියෙහි ප්‍රඥා ය, විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙහි ප්‍රඥා ය, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි ප්‍රඥා ය, නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙහි ප්‍රඥා ය, සංඥාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැඟීසිටියහු ගේ ප්‍රත්‍යවෙක්‍ෂණාඥාන යි. මේ අනුපූර්‍වවිහාරසමාපත්තීන්හි ප්‍රඥා යි. මෙසේ නවප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
826. එහි තථාගතයන්ගේ කාරණය කාරණ හෙයින් ද අකාරණය අකාරණ හෙයින් ද ඇති සැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්න (සෝවන්) පුද්ගල තෙමේ කිසි සංස්කාරයක් නිත්‍ය විසින් ගන්නේ නම් මෙය අහේතුක ය, අනවකාශ ය. මෙ කරුණ නො පැනේ යයි මෙහි තථාගත තෙමේ දනියි. යම් කරුණෙකින් පෘථග්ජන තෙමේ කිසි සංස්කාරයක් නිත්‍ය විසින් ගන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්නපුද්ගල තෙමේ කිසි සංස්කාරයක් සුඛ විසින් ගන්නේ නම් මේ අස්ථාන ය, අනවකාශ ය, මෙ කරුණ නො පැනේ යයි දනියි. යම් කරුණෙකින් පෘථග්ජන තෙමේ කිසි සංස්කාරයක් සුඛ විසින් ගන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්නපුද්ගල තෙමේ කිසි සංස්කාරයක් ආත්ම විසින් ගන්නේ නම් මේ අස්ථාන ය, අනවකාශ ය, මෙ කරුණ නො පැනේ යයි දනියි. යම් කරුණෙකින් පෘථග්ජන තෙමේ කිසි සංස්කාරයක් ආත්ම විසින් ගන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී.
යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්නපුද්ගල තෙම මව දිවි ගලවන්නේ නම් මේ හේතු රහිතය, ප්‍රත්‍යය රහිතය, මෙ කරුණ නො පැනේ යයි දනියි. යම් කරුණෙකින් පෘථග්ජන තෙම මව දිවිගලවන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්නපුද්ගල තෙම පියා දිවිගලවන්නේ නම් ... රහත්හු දිවිගලවන්නේ නම් ... දුෂ්ට වූ සිතින් බුදුන් සිරිරින් ලෙහෙ සොලවා නම් ... සඞ්ඝභේද කෙරේ නම් ... අන් ශාස්තෘවක්හු උදෙසා නම් ... අට වැනි භවයෙක උපදනේ නම් හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ නො පැනේ යයි දනී. යම් කරුණෙකින් පෘථග්ජන තෙම අටවැනි භවයෙක උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී.
යම් කරුණෙකින් එක් ලෝකධාතුයෙක්හි අර්‍හත් සම්මාසම්බුදුවරයෝ දෙදෙනෙක් පෙරපසු නො ව උපදනාහු නම් මෙ කරුණ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් එක් ලෝකධාතුයෙක්හි එක් අර්‍හත් සම්මාසම්බුදුවරයෙක් උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් එක් ලෝකධාතුයෙක්හි සක්විතිරජවරු දෙදෙනෙක් පෙරපසු නො ව උපදනාහු නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් එක් ලෝකධාතුයෙක්හි එක් සක්විතිරජෙක් උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් මාගමක් අර්‍හත් සම්මාසම්බුදු වේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් පිරිම්නියෙක් අර්‍හත් සම්මාසම්බුදු වේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් මාගමක් සක්විතිරජ වේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් පිරිම්නියෙක් සක්විතිරජ වේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් මාගමක් ශක්‍ර බව ... මාර බව ... බ්‍රහ්ම බව කෙරේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් පිරිම්නියෙක් බ්‍රහ්ම බව කෙරේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී.
යම් කරුණෙකින් කායදුශ්චරිතයාගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාකය උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් කායදුශ්චරිතයාගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ විපාක උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් වාග්දුශ්චරිතයාගේ ... මනෝදුශ්චරිතයාගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාකය උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් මනෝදුශ්චරිතයාගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ විපාකය උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් කායසුචරිතයාගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ විපාකය උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් කායසුචරිතයාගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාකය උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් වාක්සුචරිතයාගේ ... මනස්සුචරිතයාගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ විපාකය උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් මනස්සුචරිතයාගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාකය උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී.
යම් කරුණෙකින් කායදුශ්චරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන් මරණින් මත්තෙහි සැපයට ගති වූ ස්වර්‍ගලෝකයෙහි උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් කායදුශ්චරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස ව පතිත වන නිරයට පැමිණෙන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් වාග්දුශ්චරිතසමඞ්ගී වූ ... මනෝදුශ්චරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන් මරණින් මත්තෙහි සැපයට ගති වූ ස්වර්‍ගලෝකයෙහි උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් මනෝදුශ්චරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස ව පතිත වන නිරයෙහි උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී.
යම් කරුණෙකින් කායසුචරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස ව පතිත වන නිරයෙහි උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් කායසුචරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයට ගති වූ ස්වර්‍ගලෝකයෙහි උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් වාක්සුචරිතසමඞ්ගී වූ ... මනස්සුචරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුකට ගති වූ නිරයෙහි උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් මනස්සුචරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයට ගති වූ ස්වර්‍ගලෝකයෙහි උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් යම් ධර්‍ම කෙනෙක් යම් යම් ධර්‍ම කෙනෙකුන්ට හේතු වෙත් ද ප්‍රත්‍යය වෙත් ද, ඒ ඒ ධර්‍මය පිණිස කාරණ ය, යම් යම් ධර්‍ම කෙනෙක් යම් යම් ධර්‍ම කෙනෙකුන්ට හේතු නො වෙත් ද, ප්‍රත්‍යය නො වෙත් ද, ඒ ඒ ධර්‍මය පිණිස අකාරණ යැ යි එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන්ගේ කාරණය කාරණ හෙයින් ද අකාරණය අකාරණ හෙයින් ද ඇති සැටියෙන් දන්නා නුවණ’ වේ.
827. එහි තථාගතයන්ගේ කාරණ විසින් හේතු විසින් අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ විපාකය ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම මෙසේ දනී. කෙසේ ද යත්: ‘ගතිසම්පත්තීන් බාධිත ව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්‍මසමාදාන කෙනෙක් ඇත, උපධිසම්පත්තීන් බාධිත ව විපත නො දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්‍මසමාදාන කෙනෙක් ඇත, කාලසම්පත්තීන් බාධිත ව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්‍මසමාදාන කෙනෙක් ඇත. ප්‍රයෝගසම්පත්තීන් බාධිත ව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්‍මසමාදාන කෙනෙක් ඇත, ගතිවිපත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්‍මසමාදාන කෙනෙක් ඇත, උපධිවිපත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්‍මසමාදාන කෙනෙක් ඇත, කාලවිපත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්‍මසමාදාන කෙනෙක් ඇත, ප්‍රයෝගවිපත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්‍මසමාදාන කෙනෙක් ඇත, ගතිවිපත්තීන් බාධිත ව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්‍මසමාදාන කෙනෙක් ඇත, උපධිවිපත්තීන් බාධිතව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්‍මසමාදාන කෙනෙක් ඇත, කාලවිපත්තීන් බාධිතව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්‍මසමාදාන කෙනෙක් ඇත, ප්‍රයෝගවිපත්තීන් බාධිත ව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්‍මසමාදාන කෙනෙක් ඇත, ගතිසම්පත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්‍මසමාදාන කෙනෙක් ඇත, උපධිසම්පත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්‍මසමාදාන කෙනෙක් ඇත, කාලසම්පත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්‍මසමාදාන කෙනෙක් ඇත, ප්‍රයෝගසම්පත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්‍මසමාදාන කෙනෙක් ඇතැ’ යි. එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන්ගේ කාරණ විසින් හේතු විසින් අතීතානාගතප්‍රත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ විපාකය ඇති සැටියෙන් දන්නා නුවණ’ වේ.
828. එහි තථාගතයන්ගේ සර්‍වත්‍රගාමිනීප්‍රතිපදාව ඇතිසැටියෙන් දන්නානුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම මේ මඟ මේ පිළිවෙත නිරයගාමී යි දැනගනී. මේ මඟ මේ පිළිවෙත තිර්‍ය්‍යග්යෝනිගාමී යි දැනගනී. මේ මඟ මේ පිළිවෙත ප්‍රෙත්‍යවිෂයගාමී යි දැනගනී. මේ මඟ මේ පිළිවෙත මනුෂ්‍යලෝකගාමී යි දැනගනී. මේ මඟ මේ පිළිවෙත දිව්‍යලෝකගාමී යි දැනගනී. මේ මඟ මේ පිළිවෙත නිර්‍වාණගාමී යි දැනගනී යි එහි යම් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ තථාගතයන්ගේ සර්‍වත්‍රගාමිනීප්‍රතිපදාව ඇතිසැටියෙන් දන්නා නුවණ වේ.
829. එහි තථාගතයන්ගේ අනේකධාතුනානාධාතුලෝකය ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම ස්කන්‍ධනානාත්‍වය දැනගනී. ආයතනනානාත්‍වය දැනගනී. ධාතුනානාත්‍වය දැනගනී. අනේකධාතුනානාධාතුලෝකනානාත්‍වය දැනගනී යි එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ තථාගතයන්ගේ අනෙධාතුනානාධාතුලෝකය ඇතිසැටියෙන් දන්නා නුවණ වේ.
830. එහි තථාගතයන් සත්ත්‍වයන්ගේ නානාධිමුක්තික බව ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම මෙසේ දැනගනි යි. කෙසේ ද යත්: හීනාධිමුක්තික සත්ත්‍වයෝ වෙති, ප්‍රණීතාධිමුක්තිකසත්ත්‍වයෝ වෙත්, හීනාධිමුක්තිකසත්ත්‍වයෝ හීනාධිමුක්තිකසත්ත්‍වයන් සේවනය කෙරෙති, භජනය කෙරෙති, පර්‍ය්‍යුපාසනය කෙරෙත්. ප්‍රණීතාධිමුක්තිකසත්ත්‍වයෝ ප්‍රණීතාධිමුක්තිකසත්ත්‍වයන් සේවනය කෙරෙති, භජනය කෙරෙති, පර්‍ය්‍යුපාසනය කෙරෙත්, අතීතකාලයෙහිදු හීනාධිමුක්තිකසත්ත්‍වයෝ හීනාධිමුක්තිකසත්ත්‍වයන් සේවනය කළහ, භජනය කළහ, පර්‍ය්‍යුපාසනය කළහ, ප්‍රණීතාධිමුක්තිකසත්ත්‍වයෝ ප්‍රණීතාධිමුක්තිකසත්ත්‍වයන් සේවනය කළහ, භජනය කළහ, පර්‍ය්‍යුපාසනය කළහ, අනාගතකාලයෙහිදු හීනාධිමුක්තිකසත්ත්‍වයෝ හීනාධිමුක්තිකසත්ත්‍වයන් සේවනය කරන්නාහ, භජනය කරන්නාහ, පර්‍ය්‍යුපාසනය කරන්නාහු ය. ප්‍රණීතාධිමුක්තිකසත්ත්‍වයෝ ප්‍රණීතාධිමුක්තිකසත්ත්‍වයන් සේවනය කරන්නාහ, භජනය කරන්නාහ, පර්‍ය්‍යුපාසනය කරන්නාහු යි එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ තථාගතයන් සත්ත්‍වයන්ගේ හීනාධිමුක්තික බව ඇතිසැටියෙන් දන්නා නුවණ වේ.
831. එහි තථාගතයන් පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරාවරතා ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම සත්ත්‍වයන්ගේ ආසය දැනගනී, අනුසය දැනගනියි, චරිතය දැනගනියි, අධ්‍යාශය දැනගනියි, අල්පරජස්ක වූ මහාරජස්ක වූ (ශ්‍රද්ධාදි) තියුණු වූ ඉන්‍ද්‍රිය ඇති මෘදු වූ ඉන්‍ද්‍රිය ඇති සුන්‍දර වූ ආකාර ඇති නපුරු වූ ආකාර ඇති සුවසේ හැඟැවිය හැකි දුකසේ හැඟැවිය හැකි භව්‍යාභව්‍ය වූ සත්ත්‍වයන් දැනගනී.
සත්ත්‍වයන්ගේ ආසය කවරෙ යත්: ලෝකය ශාස්වත යැ හෝ ලෝකය අශාස්වත යැ හෝ ලෝකය අන්තවත් යැ හෝ ලෝකය අනන්තවත් යැ හෝ එ ම ජීව යැ එ ම ශරීර යැ හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ යි හෝ සත්ත්‍ව තෙමේ මරණින් මත්තෙහි වන්නේ යැ හෝ සත්ත්‍ව තෙමේ මරණින් මත්තෙහි නො වන්නේ යැ හෝ සත්ත්‍ව තෙමේ මරණින් මත්තෙහි වන්නේත් නො වන්නේත් වේ යැ හෝ සත්ත්‍ව තෙමේ මරණින් මත්තෙහි නො ම වන්නේත් නො ද නො වන්නේත් වේ යැ හෝ මෙසේ ශාස්වත දෘෂ්ටිනිශ්ශ්‍රිත වූ හෝ උච්ඡේදදෘෂ්ටිනිශ්ශ්‍රිත වූ හෝ සත්ත්‍වයෝ වෙති. මේ අන්තද්වයට නො පැමිණ ඉදංප්‍රත්‍යයභාවයෙහි ද ප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි ද විදර්‍ශනාඥාන සඞ්ඛ්‍යාත අනුලෝමක්‍ෂාන්තිය ලබන ලද වෙයි. යථාභූතඥානය හෝ ලබන ලද වේ. මේ ‘සත්ත්‍වයන්ගේ ආසය’ යි.
සත්ත්‍වයන්ගේ අනුසය කවරෙ යත්: අනුශයයෝ සත් දෙනෙකි: කාමරාගානුශය ය, ප්‍රතිඝානුශය ය, මානානුශය ය, දෘෂ්ට්‍යනුශය ය, විචිකිත්සානුශය ය, භවරාගානුශය ය, අවිද්‍යානුශය යි. යමෙක් ලෝකයෙහි ප්‍රියරූප සාතරූප වේ ද, මෙහි සත්ත්‍වයන්ගේ රාගානුශය පවතී. යමෙක් ලෝකයෙහි අප්‍රියරූප අසාතරූප වේ ද, මෙහි සත්ත්‍වයන්ගේ ප්‍රතිඝානුශය පවතී. මෙසේ මේ දෙ දහම්හි අවිද්‍යාව (අරමුණු වශයෙන්) පතිත වෙයි. තදේකස්ථ වූ මානය ද දෘෂ්ටිය ද විචිකිත්සාව ද දතයුතු. මේ සත්ත්‍වයන්ගේ අනුශය යි.
සත්ත්‍වයන්ගේ චරිතය (කරන ලද්ද) කවරෙ යත්: පරිත්තභූමක වූ හෝ මහද්ගතභූමක වූ හෝ පුණ්‍යාභිසංස්කාර ය, අපුණ්‍යාභිසංස්කාර ය, ආනෙඤ්ජාභිසංස්කාර යි. මේ සත්ත්‍වයන්ගේ චරිත යි.
සත්ත්‍වයන්ගේ අධ්‍යාශය කවරෙ යත්: හීන වූ අධ්‍යාශය ඇති සත්ත්‍වයෝ ඇත. ප්‍රණීත වූ අධ්‍යාශය ඇති සත්ත්‍වයෝ ඇති. හීන වූ අධ්‍යාශය ඇති සත්ත්‍වයෝ හීන වූ අධ්‍යාශය ඇති සත්ත්‍වයන් සේවනය කෙරෙති, භජනය කෙරෙති, පර්‍ය්‍යුපාසනය කෙරෙත්. ප්‍රණීත වූ අධ්‍යාශය ඇති සත්ත්‍වයෝ ප්‍රණීත වූ අධ්‍යාශය ඇති සත්ත්‍වයන් සේවනය කෙරෙති භජනය කෙරෙති, පර්‍ය්‍යුපාසනය කෙරෙත්. අතීතකාලයෙහි දු ... අනාගත කාලයෙහි දු හීනාධිමුක්තිකසත්ත්‍වයෝ හීනාධිමුක්තිකසත්ත්‍වයන් සේවනය කරන්නාහ, භජනය කරන්නාහ, පර්‍ය්‍යුපාසනය කරන්නාහු ය. ප්‍රණීතාධිමුක්තික සත්ත්‍වයෝ ප්‍රණීතාධිමුක්තික සත්ත්‍වයන් සේවනය කරන්නාහ, භජනය කරන්නාහ, පර්‍ය්‍යුපාසනය කරන්නාහු යි. මේ සත්ත්‍වයන්ගේ අධිමුක්ති යි.
ඒ මහාරජස්කසත්ත්‍වයෝ කවරහ යත්: කෙලේශවස්තූහු දශදෙනෙකි: ලෝභ ය ද්වේෂ ය මෝහ ය මාන ය දෘෂ්ටි ය විචිකිත්සා ය ස්ත්‍යාන ය ඖද්ධත්‍ය ය අහ්‍රීකය ය අනපත්‍රපා යි. යම් සත්ත්‍ව කෙනෙකුන් විසින් මේ දශක්ලේශවස්තූහු සෙවුනා ලද්දාහු ද වඩනා ලද්දාහු ද බහුල කරන ලද්දාහු ද උත්සද (විපුල) කරන ලද්දාහු ද, මොහු ඒ මහාරජස්ක සත්ත්‍වයෝ යි.
එ අල්පරජස්කසත්ත්‍වයෝ කවරහ යත්: යම් සත්ත්‍ව කෙනෙකුන් විසින් මේ දශක්ලේශවස්තූහු නො සෙවුනා ලද්දාහු ද නො වඩනා ලද්දාහු ද බහුල නො කරන ලද්දාහු ද උත්සද නො කරන ලද්දාහු ද, මොහු ඒ අල්පරජස්කසත්ත්‍වයෝ යි.
එ මෘද්වින්‍ද්‍රියසත්ත්‍වයෝ කවරහ යත්: ඉන්‍ද්‍රියයෝ පස් දෙනෙකි: ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතින්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය යයි. යම් සත්ත්‍ව කෙනෙකුන් විසින් මේ පඤ්චේන්‍ද්‍රියයෝ නො සෙවුනා ලද්දාහු ද, නො වඩනා ලද්දාහු ද, බහුල නො කරන ලද්දාහු ද, උත්සද නො කරන ලද්දාහු ද, මොහු ඒ මෘද්වින්‍ද්‍රියසත්ත්‍වයෝ යි.
ඒ තීක්‍ෂෙණන්‍ද්‍රියසත්ත්‍වයෝ කවරහ යත්: යම් සත්ත්‍ව කෙනෙකුන් විසින් මේ පඤ්චේන්‍ද්‍රියයෝ සෙවුනා ලද්දාහු ද, වඩනා ලද්දාහු ද, බහුල කරන ලද්දාහු ද, උත්සද කරන ලද්දාහු ද, මොහු ඒ තීක්‍ෂෙණන්‍ද්‍රියසත්ත්‍වයෝ යි.
ඒ ද්වාකාරසත්ත්‍වයෝ කවරහ යත්: යම් ඒ සත්ත්‍ව කෙනෙක් අකුශලාධ්‍යාශය ඇත්තාහු ද, පාපානුශය ඇත්තාහු ද, ලාමකචරිත ඇත්තාහු ද, ලාමකඅධ්‍යාශය ඇත්තාහු ද, මහාරජස්කයෝ ද, මෘද්වින්‍ද්‍රිය ඇත්තාහු ද, මොහු ඒ ද්වාකාරසත්ත්‍වයෝ යි.
ඒ ස්වාකාරසත්ත්‍වයෝ කවරහ යත්: යම් ඒ සත්ත්‍ව කෙනෙක් කල්‍යාණ ද, කල්‍යාණාධ්‍යාශය ඇත්තාහු ද, කල්‍යාණ චරිත ඇත්තාහු ද, කල්‍යාණාධිමුක්ති ඇත්තාහු ද, අල්පරජස්කයෝ ද, තීක්‍ෂෙණන්‍ද්‍රිය ඇත්තාහු ද, මොහු ඒ ස්වාකාරසත්ත්‍වයෝ යි.
ඒ දුර්විඥාප්‍යසත්ත්‍වයෝ කවරහ යත්: යම් මැ කෙනෙක් ඒ ද්වාකාරසත්ත්‍වයෝ නම් ඔහු මැ ඒ දුර්විඥාප්‍යසත්ත්‍වයෝ යි. යම් මැ කෙනෙක් ඒ ස්වාකාරසත්ත්‍වයෝ නම් ඔහු මැ ඒ සුවිඥාප්‍යසත්ත්‍වයෝ යි.
ඒ අභව්‍යසත්ත්‍වයෝ කවරහ යත්: යම් ඒ සත්ත්‍ව කෙනෙක් කර්‍මාවරණයෙන් සමන්‍වාගතයෝ ද, ක්ලේශාවරණයෙන් සමන්‍වාගතයෝ ද, විපාකාවරණයෙන් සමන්‍වාගතයෝ ද, අශ්‍රද්ධායෝ ද, කුශලච්ඡන්‍ද රහිතයෝ ද, දුෂ්ප්‍රාඥයෝ ද, කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍වනියාම සඞ්ඛ්‍යාත මාර්‍ගයට බැසගන්නට අභව්‍ය වූවාහු ද, මොහු ඒ අභව්‍ය සත්ත්‍වයෝ යි.
ඒ භව්‍යසත්ත්‍වයෝ කවරහ යත්: යම් ඒ සත්ත්‍ව කෙනෙක් කර්‍මාවරණයෙන් සමන්‍වාගත නො වූවාහු ද, ක්ලේශාවරණයෙන් සමන්‍වාගත නො වූවාහු ද, විපාකාවරණයෙන් සමන්‍වාගත නො වූවාහු ද, ශ්‍රද්ධා ඇත්තාහු ද, කුශලච්ඡන්‍ද ඇත්තාහු ද, ප්‍රඥා ඇත්තාහු ද, කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව නියාම සඞ්ඛ්‍යාත මාර්‍ගයට බැසගන්නට භව්‍යයෝ ද, මොහු ඒ භව්‍යසත්ත්‍වයෝ යි. එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක්, සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන් පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරාවරතා ඇතිසැටියෙන් දන්නා නුවණ’ යි.
832. එහි තථාගතයන් ධ්‍යානවිමෝක්‍ෂසමාධිසමාපත්තීන්ගේ සංක්ලේශව්‍යවදාන ව්‍යුත්‍ථාන ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: ධ්‍යායී යනු: ධ්‍යායීහු සතර දෙනෙකි: සම්පත් වූයේ ම විපතැ යි ගනී නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, විපත් වූයේ ම සම්පතැ යි ගනී නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, සම්පත් වූයේ ම සම්පතැ යි ගනී නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, විපත් වූයේ ම විපතැ යි ගනී නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇති. මොහු සතර ධ්‍යායීහු ය.
අන්‍ය වූ ද ධ්‍යායීහු සතර දෙනෙකි: ලැසි ව සමවදී නම් වහා දැහැනින් නැඟේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, වහා සමවදී නම් ලැසි ව දැහැනින් නැඟේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, ලැසි ව සමවදී නම් ලැසිව දැහැනින් නැඟේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, වහා සමවදී නම් වහා දැහැනින් නැඟේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇති. මොහු සතර ධ්‍යායීහු ය.
අන්‍ය වූ ද ධ්‍යායීහු සතර දෙනෙකි: සමාධියෙහි සමාධිකුශල වේ නම්, සමාධියෙහි සමාපත්තිකුශල නො වේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, සමාධියෙහි සමාපත්තිකුශල වේ නම් සමාධියෙහි සමාධිකුශල නො වේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, සමාධියෙහි සමාධිකුශල වේ නම් සමාධියෙහි සමාපත්තිකුශල ද වේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, සමාධියෙහි නො ම සමාධිකුශල වේ නම් සමාධියෙහි නො ද සමාපත්තිකුශල වේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇති. මොහු සතර ධ්‍යායීහු වෙත්.
ධ්‍යාන යනු: ධ්‍යාන සතරෙකි: ප්‍රථමධ්‍යාන ය, ද්විතීයධ්‍යාන ය, තෘතීයධ්‍යාන ය, චතුර්‍ත්‍ථධ්‍යාන යි.
විමෝක්‍ෂ යනු විමෝක්‍ෂ අටෙකි: රූපධ්‍යාන ඇත්තේ රූපයන් දකී. මේ ප්‍රථම විමෝක්‍ෂ ය, අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ බාහ්‍යරූපයන් දකී. මේ ද්විතීය විමෝක්‍ෂ ය. ශුභ යයි අධිමුක්ති ඇත්තේ වෙයි. මේ තෘතීය විමෝක්‍ෂ ය, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්තය’ යි ආකාසානඤ්චායතනයට පැමිණ වාස කෙරෙයි. මේ චතුර්‍ත්‍ථවිමෝක්‍ෂ ය, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම ‘විඥානය අනන්තය’ යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි. මේ පඤ්චමවිමොක්‍ෂය යි. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි. මේ ෂෂ්ඨවිමෝක්‍ෂය යි. සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි. මේ සප්තමවිමොක්‍ෂය යි. සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සංඥාවේදයිතනිරෝධයට පැමිණ වාස කෙරේ. මේ අෂ්ටමවිමෝක්‍ෂය යි.
සමාධි යනු: සමාධි තුනෙකි: සවිතර්‍කසවිචාරසමාධි ය, අවිතර්‍කවිචාරමාත්‍රසමාධි ය, අවිතර්‍කඅවිචාරසමාධි යි.
සමාපත්ති යනු: අනුපූර්‍වවිහාරසමාපත්ති නවයෙකි. ප්‍රථමධ්‍යානසමාපත්ති ය, ද්වීතීයධ්‍යානසමාපත්ති ය, තෘතීයධ්‍යානසමාපත්ති ය, චතුර්‍ත්‍ථධ්‍යානසමාපත්ති ය, ආකාසානඤ්චායතනසමාපත්ති ය, විඤ්ඤාණඤ්චායතනසමාපත්ති ය, ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති ය, නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති ය, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්ති යි.
සංකෙලේශ යනු: හානභාගිය ධර්‍ම යි.
වෝදාන යනු: විශේෂභාගිය ධර්‍ම යි.
ව්‍යුත්‍ථාන යනු: ව්‍යවදානය ද ව්‍යුත්‍ථාන ය, ඒ ඒ සමාධියෙන් නැඟීසිටීම ද ව්‍යුත්‍ථාන යි. එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන් ධ්‍යානවිමෝක්‍ෂසමාධිසමාපත්තීන්ගේ සාංක්ලේශව්‍යවදානව්‍යුත්‍ථාන ඇති සැටියෙන් දන්නා නුවණ’ යි.
833. එහි තථාගතයන්ගේ පූර්‍වනිවාසයන් (පෙරවිසූකඳපිළිවෙළ) ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම නන්වැදෑරුම් වූ පූර්‍වනිවාසය සිහි කෙරෙයි. හෙ මෙසේ යි: එක් ජාතියකුදු, ජාති දෙකකුදු, ජාති තුනකුදු, ජාති සතරකුදු, ජාති පසකුදු, ජාති දසයකුදු, ජාති විස්සකුදු, ජාති තිසකුදු, ජාති සතළිසකුදු, ජාති පනසකුදු, ජාති සියයකුදු, ජාති දහසකුදු, ජාති ලක්‍ෂයකුදු, නොයෙක් සංවර්‍තකල්පයනුදු, නොයෙක් විවර්‍තකල්පයනුදු, නොයෙක් සංවර්‍තවිවර්‍තකල්පයුනුදු, අසුවල් තැන මෙබඳු නම් ඇතියෙම් මෙබඳු ගෝත්‍ර ඇතියෙම් මෙබඳු පැහැසටහන් ඇතියෙම් මෙබඳු ආහාර ඇතියෙම් මෙබඳු සුවදුක් විඳුනාසුලුයෙම් මෙබඳු ආයුපර්‍ය්‍යන්ත ඇතියෙම් වීමි. මම එතැනින් ච්‍යුත වූයෙම් අසුවල් තැන උපන්මි. එහිදු මෙබඳු නම් ඇතියෙම් මෙබඳු ගෝත්‍ර ඇතියෙම් මෙබඳු පැහැසටහන් ඇතියෙම් මෙබඳු ආහාර ඇතියෙම් මෙබඳු සුවදුක් විඳුනාසුලුයෙම් මෙබඳු ආයුපර්‍ය්‍යන්ත ඇතියෙම් වීමි. මම එතැනින් ච්‍යුත වූයෙම් මෙහි උපන්මියි මෙසේ ආකාර සහිත ව උද්දේශ සහිත ව නන්වැදෑරුම් වූ පූර්‍වනිවාසය සිහි කෙරේ යයි, එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ තථාගතයන්ගේ පූර්‍වනිවාසයන් ඇති සැටියෙන් දන්නා නුවණ යි.
834. එහි තථාගතයන් සත්ත්‍වයන්ගේ ච්‍යුති - උත්පත්ති ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම මිනිස් බව ඉක්මගිය විශුද්ධ වූ දිවඇසින් ච්‍යුතවන්නා වූ හීන වූ ප්‍රණීත වූ ශෝභනවර්‍ණ වූ දුර්වර්‍ණ වූ සුන්‍දරගති ඇති නපුරුගති ඇති සත්ත්‍වයන් දකී. මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, ආර්‍ය්‍යෝපවාදකයහ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහ. මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන ඇත්තාහ, ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ගති ඇති විවස ව පතිත වන නිරයෙහි උපන්නාහු ය. තවද මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් සමන්‍වාගතයහ, වාක්සුචරිතයෙන් සමන්‍වාගතයහ, මනස්සුචරිතයෙන් සමන්‍වාගතයහ, ආර්‍ය්‍යයන්ට උපවාද නො කරන්නාහ, සම්‍යග්දෘෂ්ටි ඇත්තාහ, සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදාන ඇත්තාහ, ඔහු කාබුන් මරණින් මතු සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපන්නාහු යි මෙසේ මිනිස් බව ඉක්මගිය විශුද්ධ වූ දිව ඇසින් ච්‍යුත වන්නා වූ උපදනා වූ හීන වූ ප්‍රණීත වූ ශෝභනවර්‍ණ වූ දුර්වර්‍ණ වූ සුන්‍දරගති ඇති නපුරුගති ඇති සත්ත්‍වයන් දකී. කම්වූපරිද්දෙන් ගිය සත්ත්‍වයන් දැනගනී යයි එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන් සත්ත්‍වයන්ගේ ච්‍යුති - උත්පත්ති ඇතිසැටියෙන් දන්නා නුවණ’ යි.
835. එහි තථාගතයන්ගේ ආස්‍රවක්‍ෂයයෙහි යථාභූතඥානය කවරෙ යත්: මෙහි තථාගත තෙම ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් මෙ අත්බැව්හි ම තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසේ යයි එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් සංලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් (අනිත්‍යාදි) විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් පෘථුලප්‍රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥා - අවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන්ගේ ආස්‍රවක්‍ෂයයෙහි යථාභූතඥාන’ යි. මොහු තථාගතයන්ගේ දශතථාගතබලයෝ යි. යම් බලකෙනකුන්ගෙන් සමන්‍වාගත වූ තථාගත තෙම ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරේ නම් පිරිස්හි අභීතනාද කෙරේ නම් ශ්‍රේෂ්ඨ වු ධර්‍මචක්‍රය පවත්වා නම් ඔහු යි.
මෙසේ දශප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
දශක යි.
ඥානවිභඞ්ග නිමි.
17. ඛුද්දකවත්‍ථු විභඞ්ගය
836. ජාතිමද ය, ගොත්‍රමද ය, ආරෝග්‍යමද ය, යෞවනමද ය, ජීවිතමද ය, ලාභමදය, සත්කාරමද ය, ගරුකාරමද ය, පුරස්කාරමද ය, පරිවාරමද ය, භෝගමද ය, වර්‍ණමද ය, ශ්‍රැතමදය, ප්‍රතිභානමද ය, රාත්‍රඥමද ය, පිණ්ඩපාතිකමද ය, අනවඥමද ය, ඊර්‍ය්‍යාපථමද ය, ඍද්ධිමද ය, යශෝමද ය, ශීලමද ය, ධ්‍යානමද ය, ශිල්පමද ය, ආරෝහමද ය, පරිණාහමද ය, සංස්ථානමද ය, පරිපූර්‍ණමද ය, මද ය ප්‍රමාද ය, ස්තම්භ ය, සාරම්භ ය, අත්‍රිච්ඡ බව ය, මහේච්ඡ බව ය, පාපේච්ඡ බව ය, ශෘඞ්ග ය, තින්තින ය, චපල බව ය, නො සම පැවැත්ම ය, නො ඇල්ම ය, මැලි බව ය, ඇඟමැලිහරන බව ය, බත්මත ය, චිත්තයාගේ ලීන බව ය, කුහක බව ය, ලපන ය, නෛමිත්තිකබව ය, නිප්පෙසිකතා (පරගුණපිසලීම) ය, ලාභයෙන් ලාභ සොයන බව ය. මම උසස්මි යන මාන ය, මම සමානයෙමි යන මාන ය, මම හීනයෙමි යන මාන ය, මම උසස්වූවහුට උසස්මි යන මාන ය, මම උසස් වූවහුට සමානයෙමි යන මාන ය, මම උසස් වූවහුට හීනයෙමි යන මාන ය, මම සමානයාහට උසස්මි යන මාන ය, මම සමානයාට සමානයෙමි යන මාන ය, මම සමානයාට හීනයෙමි යන මාන ය, මම හීනයාට උසස්මි යන මානය, මම හීනයාට සමානයෙමි යන මානය, මම හීනයාට හීනයෙමි යන මානය, මානය, අතිමාන ය, මානාතිමාන ය, අවමාන ය, අධිමාන ය, අස්මිමාන ය, මිථ්‍යාමාන ය, ඥාතිවිතර්‍ක ය, ජනපදවිතර්‍ක ය, අමරවිතර්‍ක ය, මෙරමාහට දයායෙන් ප්‍රතිසංයුක්ත විතර්‍ක ය, ලාභසත්කාරශ්ලෝකප්‍රතිසංයුක්තවිතර්‍ක ය, අනවඥාප්‍රතිසංයුක්තවිතර්‍ක යි.
එකක යි.
837. ක්‍රෝධය ද බද්ධවෛරය ද, මකු බව ද පළාසය ද, ඊර්‍ෂ්‍යාව ද මාත්සර්‍ය්‍ය ද, මායාව ද සඨ බව ද, අවිද්‍යාව ද භවතෘෂ්ණාව ද, භවදෘෂ්ටිය ද විභවදෘෂ්ටිය ද, ශාශ්වතදෘෂ්ටිය ද උච්ඡේදදෘෂ්ටිය ද, අන්තවද්දෘෂ්ටිය ද, අනන්තවද්දෘෂ්ටිය ද, පූර්‍වාන්තානුදෘෂ්ටිය ද, අවරාන්තානු දෘෂ්ටිය ද, අපත්‍රපාව ද, අනුත්තාපය ද, දුර්වච බව ද, පාපමිත්‍ර බව ද, අනාර්‍ජවය ද, අමාර්දවය ද, නො ඉවසීම ද, සුරත නො වන බව ද, අසඛිල බව ද, පටිසන්‍ථාර රහිත බව ද, ඉන්‍ද්‍රියයන්හි අගුප්තද්වාර බව ද, භෝජනයෙහි අමාත්‍රඥ බව ද, මුෂිතස්මෘතිය ද, සම්‍යග්ඥාන රහිත බව ද, ශීලවිපත්තිය ද, දෘෂ්ටිවිපත්තිය ද, අධ්‍යාත්ම සංයෝජන ද බාහ්‍යසංයෝජන දැ යි.
ද්වික යි.
838. අකුශලමූලයෝ තිදෙනෙකි, අකුශලවිතර්‍කයෝ තිදෙනෙකි, අකුශලසංඥාවෝ තිදෙනෙකි, අකුශලධාතුහු තිදෙනෙකි, දුශ්චරිතයෝ තිදෙනෙකි, ආස්‍රවයෝ තිදෙනෙකි, සංයෝජනයෝ තිදෙනෙකි, තෘෂ්ණාවෝ තිදෙනෙකි, අන්‍ය වූ ද තෘෂ්ණාවෝ තිදෙනෙකි, ඒෂණයෝ තිදෙනෙකි, විධාවෝ (මාන) තිදෙනෙකි, භය තුනෙකි, තමස්හු තිදෙනෙකි, තීර්‍ත්‍ථායතනයෝ තිදෙනෙකි, කිඤ්චන (පලිබෝධ) යෝ තිදෙනෙකි, අඞ්ගණයෝ තිදෙනෙකි, මලයෝ තිදෙනෙකි, විෂමයෝ තිදෙනෙකි, අන්‍ය වූද විෂමයෝ තිදෙනෙකි, අග්නීහු තිදෙනෙකි, කසටයෝ තිදෙනෙකි, අන්‍ය වූද කසටයෝ තිදෙනෙකි, ආස්වාදදෘෂ්ටි ය ආත්මානුදෘෂ්ටි ය මිථ්‍යාදෘෂ්ටි ය, අරති ය විහෙසා ය අධර්‍මචර්‍ය්‍යා ය,
දුර්වචතා ය පාපමිත්‍රතා ය නානාත්‍වසංඥා ය, ඖද්ධත්‍ය ය කෞසීද්‍ය ය, ප්‍රමාද ය, අසන්තුෂ්ටිතා ය අසම්‍යග්ඥානතා ය, මහෙච්ඡතා ය, අපත්‍රපා ය, අනුත්තාප ය ප්‍රමාද ය, අනාදරිය ය, දුර්වචතා ය පාපමිත්‍රතා ය, අශ්‍රද්ධා ය, අවදඤ්ඤුතා ය, කෞසීද්‍ය ය, ඖද්ධත්‍ය ය, අසංවර ය දුශ්ශීල්‍ය ය, ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව ය සදහම් නො අසනු කැමැති බව ය උපාරම්භ සිත් ඇති බව ය, මුළාසී බව ය සම්‍යග්ඥාන රහිත බව ය චිත්තයාගේ වික්‍ෂේප ය, මනසිකාර ය කුත්සිත මාර්‍ගසේවන ය චිත්තයාගේ ලීනතා යි.
ත්‍රික යි.
839. ආස්‍රව සතරෙකි, ග්‍රන්‍ථ සතරෙකි, ඕඝ සතරෙකි, යෝග සතරෙකි, උපාදාන සතරෙකි, තෘෂ්ණෝත්පාද සතරෙකි, අගතිගමන සතරෙකි, විපර්‍ය්‍යාස සතරෙකි, අනාර්‍ය්‍ය ව්‍යවහාර සතරෙකි, අන්‍ය වූ ද අනාර්‍ය්‍යව්‍යවහාර සතරෙකි, දුශ්චරිත සතරෙකි, අන්‍ය වූ ද දුශ්චරිත සතරෙකි, භය සතරෙකි, අන්‍ය වූ ද භය සතරෙකි, දෘෂ්ටි සතරෙකි.
චතුෂ්ක යි.
840. ඕරම්භාගියසංයෝජන පසෙකි, උද්ම්භාගියසංයෝජන පසෙකි, මාත්සර්‍ය්‍ය පසෙකි, සඞ්ග පසෙකි, ශල්‍ය පසෙකි, චේතෝඛිල පසෙකි, චිත්තයාගේ විනිබන්‍ධ පසෙකි, නීවරණ පසෙකි, ආනන්තර්‍ය්‍යකර්‍ම පසෙකි, දෘෂ්ටි පසෙකි, වෛර පසෙකි, ව්‍යසන පසෙකි, අක්‍ෂාන්තියෙහි ආදීනව පසෙකි, භය පසෙකි, දෘෂ්ටධර්‍මනිර්‍වාණවාද පසෙකි.
පඤ්චක යි.
841. විවාදමූල සයෙකි, ගෘහශ්‍රිතඡන්‍දරාගධර්‍ම සයෙකි, විරුද්ධවස්තු සයෙකි, තෘෂ්ණාකාය සයෙකි, අගෞරව සයෙකි, පරිහානිකරධර්‍ම සයෙකි, අන්‍ය වූ ද පරිහානිකර ධර්‍ම සයෙකි, සෞමනස්‍යෝපවිචාර සයෙකි, දෞමනස්‍යොපවිචාර සයෙකි, උපේක්‍ෂෝපවිචාර සයෙකි, ගෘහශ්‍රිතසෞමනස්‍ය සයෙකි, ගෘහශ්‍රිතදෞර්‍මනස්‍ය සයෙකි, ගෘහශ්‍රිතඋපේක්‍ෂා සයෙකි, දෘෂ්ටි සයෙකි.
ෂට්ක යි.
842. අනුශය සතෙකි, සංයෝජන සතෙකි, පර්‍ය්‍යුත්‍ථාන සතෙකි, අසද්ධර්‍ම සතෙකි, දුශ්චරිත සතෙකි, මාන සතෙකි, දෘෂ්ටි සතෙකි.
සප්තක යි.
843. ක්ලේශවස්තු අටෙක, කුසීතවස්තු අටෙක, අෂ්ටලොකධර්‍මයෙහි චිත්තයාගේ ප්‍රතිඝාත ය, අනාර්‍ය්‍යව්‍යවහාර අටෙක, මිථ්‍යාත්‍ව අටෙක, පුරුෂදෝෂ අටෙක, අසංඥීවාද අටෙක, නෛවසංඥානාසංඥීවාද අටෙකි.
අෂ්ටක යි.
844. ආඝාතවස්තු නවයෙක, පුරුෂමල නවයෙක, නවවිධමානය, තෘෂ්ණාමූලක ධර්‍ම නවයෙක, ඉඤ්ජිත නවයෙක, මඤ්ඤිත නවයෙක, ස්පන්‍දිත නවයෙක, ප්‍රපඤ්චිත නවයෙක, සඞ්ඛත නවයෙකි.
නවක යි.
845. ක්ලේශවස්තු දසයෙක, ආඝාතවස්තු දසයෙක, අකුශලකර්‍මපථ දසයෙක, සංයෝජන දසයෙක, මිථ්‍යාත්‍ව දසයෙක, දශවස්තුකමිථ්‍යාදෘෂ්ටි ය, දශවස්තුක අන්තග්‍රාහික දෘෂ්ටි යි.
දශක යි.
846. තෘෂ්ණාවිචරිත අටළොසෙක ආධ්‍යාත්මිකස්කන්‍ධ නිසා, තෘෂ්ණාවිචරිත අටළොසෙක බාහිරස්කන්‍ධ නිසා, එය එක් අයුරෙකින් රැස් කොට හකුළුවා තෘෂ්ණාවිචරිත සතිසෙක් වෙයි. මෙසේ අතීතතෘෂ්ණාවිචරිත සතිසෙක, අනාගතතෘෂ්ණාවිචරිත සතිසෙක, ප්‍රත්‍යුත්පන්නතෘෂ්ණාවිචරිත සතිසෙක, එය එක් අයුරෙකින් රැස් කොට හකුළුවා තෘෂ්ණාවිචරිත අටතුරාසියෙක් වේ. තවද භාග්‍යවතුන් විසින් බ්‍රහ්මජාල ව්‍යාකරණයෙහි යම් දෙසැටදෘෂ්ටි කෙනෙක් වදාරන ලද්දාහු නම් ඔහු යි.
මාතෘකා යි.
847. එහි ජාතිමද කවරෙ යත්: ජාතිය නිසා මදයෙක් මත් අයුරෙක් මත් වූ බවෙක් මානයෙක් මානනාකාරයෙක් මානය කළ බවෙක් උන්නතියෙක් උන්නාමයෙක් ධ්වජයෙක් සම්ප්‍රග්‍රාහයෙක් චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘ජාතිමද’ යි කියනු ලැබේ.
848. එහි ගොත්‍රමද කවරෙ යත්: ගෝත්‍රය නිසා ... ආරෝග්‍යය නිසා ... යෞවනය නිසා ... ජීවිතය නිසා ... ලාභය නිසා ... සත්කාරය නිසා ... ගරුකාරය නිසා ... පුරස්කාරය නිසා ... පිරිවර නිසා ... භෝගය නිසා ... වර්‍ණය නිසා ... ශ්‍රැතය නිසා ... ප්‍රතිභානය නිසා ... රාත්‍රඥතාව නිසා ... පිණ්ඩපාතික බව නිසා ... අවඥා නො කිරීම නිසා ... ඊර්‍ය්‍යාපථය නිසා ... ඍද්ධිය නිසා ... යශස නිසා ... ශීලය නිසා ... ධ්‍යානය නිසා ... ශිල්පය නිසා ... ආරෝහය නිසා ... පරිණාහය නිසා ... සටහන නිසා ... පරිපූර්‍ණ බව නිසා මදයෙක් මත් අයුරෙක් මත් වූ බවෙක් මානයෙක් මානනාකාරයෙක් මානය කළ බවෙක් උන්නතියෙක් උන්නාමයෙක් ධ්වජයෙක් සම්ප්‍රග්‍රාහයෙක් චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘පාරිපූරීමද’ යි කියනු ලැබේ.
849. එහි මද කවරෙ යත්: යම් මදයෙක් මත් අයුරෙක් මත් වූ බවෙක් මානයෙක් මානාකාරයෙක් මානය කළ බවෙක් උන්නතියෙක් උන්නාමයෙක් ධ්වජයෙක් සම්ප්‍රග්‍රාහයෙක් චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මද’ යි කියනු ලැබේ.
850. එහි ප්‍රමාද කවරෙ යත්: කායදුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පඤ්චකාමගුණයෙහි හෝ චිත්තයාගේ විසර්‍ජනයෙක් පුන පුනා විසර්‍ජනයෙක්, කුශලධර්‍මයන්ගේ වැඩීම පිණිස නො සකසා කරන බවෙක් සාතත්‍යක්‍රියා රහිත බවෙක් අනවස්ථිතක්‍රියා බවෙක් හැකුළුණු පැවැතුම් ඇති බවෙක් බහා තැබූ වීර්‍ය්‍ය ඡන්‍දය ඇති බවෙක් බහා තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් අනාසේවනයෙක් අභාවනයෙක් බහුල නො කිරීමෙක් නො පිහිටීමෙක් අනුයෝග රහිත වීමෙක් ප්‍රමාදයෙක් වේ ද, යම් මෙබඳු ප්‍රමාදයෙක් ප්‍රමාද අයුරෙක් ප්‍රමත්ත බවෙක් වේ ද, මේ ‘ප්‍රමාද’ යි කියනු ලැබේ.
851. එහි ස්තම්භ කවරෙ යත්: යම් ස්තම්භයෙක්, තද ඇයුරෙක්, තද වූ බවෙක්, කර්‍කශ බවෙක්, පරුෂ බවෙක්, (අභිවාදනාදියෙහි) නො නැමෙන සිත් ඇති බවෙක්, මෘදු නො වන බවෙක් වේ ද, මේ ‘ස්තම්භ’ යි කියනු ලැබේ.
852. එහි සාරම්භ කවරෙ යත්: යම් කරණොත්තරකරණයෙක්, ප්‍රතිසාරම්භයෙක්, සාරම්භාකාරයෙක්, ප්‍රතිසාරම්භාකාරයෙක්, ප්‍රතිසාරම්භ කළ බවෙක් වේ ද, මේ ‘සාරම්භ’ යි කියනු ලැබේ
853. එහි අත්‍රිච්ඡතා කවර යත්: යම්කිසි සිවුරු - පිඬුවා - සෙනසුන් - ගිලන්පස - බෙහෙත්පිරිකරින් හෝ පස්කම්ගුණෙන් හෝ නො සතුටු වූවහුගේ බොහෝ කැමැති බවෙක් වේ ද, යම් මෙබඳු ඉච්ඡායෙක්, ඉච්ඡාගතයෙක්, අතිශයින් කැමැති බවෙක්, රාගයෙක්, සාරාගයෙක්, අනූනයෙක්, අනුරෝධයෙක්, නන්‍දියෙක්, නන්‍දිරාගයෙක්, චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අත්‍රිච්ඡතා’ යි කියනු ලැබේ.
854. එහි මහිච්ඡතා කවර යත්: යම්කිසි සිවුරු - පිඬුවා - සෙනසුන් - ගිලන්පස - බෙහෙත්පිරිකරින් නො සතුටු වූවහුගේ බොහෝ කැමැති බවෙක් වේ ද, යම් මෙබඳු ඉච්ඡායෙක්, ඉච්ඡාගතයෙක්, මහේච්ඡ බවෙක්, රාගයෙක්. බලවත් රාගයෙක්, ... චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘මහිච්ඡතා’ යි කියනු ලැබේ.
855. එහි පාපිච්ඡතා කවර යත්: මෙලොව ඇතැමෙක් ශ්‍රද්ධා රහිත වූයේ ම, ශ්‍රද්ධා ඇතියෙකැ යි ජන තෙම මා දනී ව යි කැමැති වෙ යි. දුශ්ශීල වූයේ ම, සිල්වතෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. අල්පශ්‍රැත වූයේ ම බහුශ්‍රැතයෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. ගණයා කෙරෙහි ඇලුණේ ම විවික්තයෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. කුසීත වූයේ ම රුකුළුවැර ඇතියෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. මුළාසී ඇතියේ ම එළඹසිටිසිහි ඇතියෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. අසමාහිත වූයේ ම සමාහිතයෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. නුවණ නැතියෙක් වූයේ ම නුවණැතියෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. ක්‍ෂීණාස්‍රව නො වූයේ ම ක්‍ෂීණාස්‍රවයෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. යම් මෙ බඳු ඉච්ඡායෙක්, ඉච්ඡාගතයෙක්, පාපේච්ඡ බවෙක්, රාගයෙක්, බලවත් රාගයෙක් ... චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘පාපිච්ඡතා’ යි කියනු ලැබේ.
856. එහි ශෘඞ්ග කවරෙ යත්: යම් ක්ලේශශෘඞ්ගයෙක් ශෘඞ්ගාර (නාගරික) බවෙක් චතුර බවෙක් චාතුර්‍ය්‍යයෙක් දැඩි ශෘඞ්ගාර බවෙක් බලවත් ශෘඞ්ගාර බවෙක් වේ ද, මේ ‘ශෘඞ්ගය’ යි කියනු ලැබේ.
857. එහි තින්තින කවරෙ යත්: යම් කෙඳිරියක්, කොඳුරන අයුරෙක් කොඳුළ බවෙක්, ලොල් බවෙක්, ලොල් අයුරෙක්, ලොල් කළ බවෙක්, නඟුට සලන බවෙක් මිහිරි කැමැති බවෙක් වේ ද, මේ ‘තින්තින’ යි කියනු ලැබේ.
858. එහි චපල බව කවරෙ යත්: සිවුරු සැරසීමෙක්, පාත්‍ර සැරසීමෙක්, සෙනසුන් සැරසීමෙක්, මේ පූතිකායයාගේ හෝ බාහිරපරිෂ්කාරයන්ගේ හෝ සැරසීමෙක් විභූෂණයෙක්, නැළවීමෙක්, හාත්පසින් නැළවීමෙක්, ගිජු බවෙක්, චපලබවෙක්, චාපල්‍යයෙක් වේ ද, මේ ‘චපල බව’ යි කියනු ලැබේ.
859. එහි අසභාගවෘත්ති කවර යත්: මව කෙරෙහි හෝ පියා කෙරෙහි හෝ දෙටු බෑයා කෙරෙහි හෝ කනිටු බෑයා කෙරෙහි හෝ ආචාර්‍ය්‍යයන් කෙරෙහි හෝ උපාධ්‍යායයා කෙරෙහි හෝ බුදුන් කෙරෙහි හෝ බුදුසව්වන් කෙරෙහි හෝ අන්‍යතරාන්‍යතර ගරුස්ථානයන්හි විලෝමග්‍රාහයෙක් විරුද්ධකරණයෙන් සුඛිතවන අයුරෙක් අනාදර බවෙක් අනාදරත්‍වයෙක් අගෞරව බවෙක් දෙටු කොට නො ගැන්මෙක් වේ ද, මේ ‘අසභාගවෘත්ති’ යයි කියනු ලැබේ.
860. එහි අරති කවර යත්: ප්‍රාන්තසේනාසනයන්හි හෝ අන්‍යතරාන්‍යතර අධිකුශලධර්‍මයන්හි හෝ යම් නො ඇල්මෙක් නො ඇලෙන අයුරෙක් අනභිරතියෙක් අනභිරමණයෙක් උකටලී බවෙක් උද්වේගයෙක් වේ ද, මේ ‘අරති’ යයි කියනු ලැබේ.
861. එහි තන්‍දි කවර යත්: යම් මැලිවීමෙක් මැලි අයුරෙක් මැලි සිත් ඇති බවෙක් අලස බවෙක් අලස අයුරෙක් අලස වූ බවෙක් වේ ද, මේ ‘තන්‍දි’ යයි කියනු ලැබේ.
862. එහි විජම්බිකා කවර යත්: ශරීරයාගේ යම් ජෘම්භණයෙක් විජෘම්බණයෙක් ඉදිරියට නැමීමෙක් පස්සට නැමීමෙක් හාත්පසැ නැමීමෙක් නඟාසිටුවීමෙක් ගිලන් බවෙක් වේ ද, මේ ‘විජම්භිකා’ යි කියනු ලැබේ.
863. එහි භත්තසම්මද කවරෙ යත්: වැළඳුවහුට යම් භක්තමූර්ඡායෙක් භක්තක්ලමථුයෙක් භක්තපරිදාහයෙක් කය පිළිබඳ අකර්‍මණ්‍ය බවෙක් වේ ද, මේ ‘භත්තසම්මද’ යි කියනු ලැබේ.
864. එහි චිත්තයාගේ ලීනත්‍වය කවරෙ යත්: චිත්තයාගේ යම් අකල්‍ය බවෙක්, අකර්‍මණ්‍ය බවෙක්, එලෙන බවෙක්, හාත්පසින් එලෙන බවෙක්, හැකිළීමෙක්, හැකිළෙන අයුරෙක්, හැකුළුණු බවෙක්, සිත පිළිබඳ තද වීමෙක්, තද අයුරෙක්, තද බවෙක් වේ ද, මේ ‘චිත්තයාගේ ලීනත්‍වය’ යි කියනු ලැබේ.
865. එහි කුහනා කවර යත්: ලාභසත්කාරප්‍රශංසා ඇසුරු කළ, පාපේච්ඡ වූ, (අසද්ගුණ ප්‍රකාශ කරනු කැමැති) ආශායෙන් මඩනා ලද්දහුගේ ප්‍රත්‍යයප්‍රතිෂෙධනය යි කියන ලද කොහොන්වතින් හෝ සාමන්තජල්පනයෙන් හෝ ඊර්‍ය්‍යාපථයාගේ හෝ ආදියෙහි තැබීමෙක් තබන අයුරෙක් මොනොවට තැබීමෙක් මුහුණ හකුළුවන බවෙක් මුහුණ හකුළන අයුරෙක් විස්මය කරවීමෙක් විස්මය පැවැත්වීමෙක් කොහොන් බවෙක් වේ ද, මේ ‘කුහනා’ යි කියනු ලැබේ.