(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අප්‍රමාණයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අප්‍රමාණාලම්බනයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ප්‍රණීතයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) සම්‍යක්ත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) මාර්‍ගාලම්බන නො වෙති. මාර්‍ගහේතුක ද වන්නාහ. මාර්‍ගාධිපති ද වන්නාහ, මාර්‍ගහේතුකහ යි ද, මාර්‍ගාධිපතිහ යි ද නොකියයුතු ද වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අතීත ද වන්නා හ, අනාගත ද වන්නා හ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අතීතාලම්බනහ යි ද, අනාගතාලම්බනහ යි ද, ප්‍රත්‍යුත්පන්නාලබ්බනහ යි ද නො කියයුතු වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ආධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) බාහ්‍යාලම්බනයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අනිදර්‍ශනඅප්‍රතිඝයෝ යි.
566. සම්‍යග්දාෂ්ටිය හේතු වෙයි. සප්තමාර්‍ගාඞ්ගයෝ හේතු නො වෙත්.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) සහේතුකයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) හේතුසම්ප්‍රයුක්තයෝ ය.
සම්‍යග්දෘෂ්ටිය හේතු ද වූ ම සහේතුක වෙයි. සප්තමාර්‍ගාඞ්ගයෝ හේතු ද වූවාහු ම සහේතුකහ යි නො කියයුත්තාහ, සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙත්.
සම්‍යග්දෘෂ්ටිය හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්ත ද වෙයි. සප්තමාර්‍ගාඞ්ගයෝ හේතු ද වූවාහු ම හේතුසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ. හේතු සම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතු වෙත්.
සප්තමාර්‍ගාඞ්ගයෝ හේතු නොවෙති. සහේතුක වෙත්. සම්‍යග්දෘෂ්ටිය හේතු නො වූ සහේතුකහ යි ද හේතු නො වූ අහේතුකහ යි ද නො කියයුතුයි.
567. (අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) සප්‍රත්‍යයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) සඞ්ඛතයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අනිදර්‍ශනයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අප්‍රතිඝයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අරූපයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ලෝකෝත්තරයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) කිසි විඥානයකින් දතයුත්තාහ, කිසි විඥානයකින් නො දත යුත්තාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ආස්‍රවයෝ නො වෙති.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අනාස්‍රවයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ආස්‍රවවිප්‍රයුක්තයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ආස්‍රව ද වූ ම සාස්‍රවහ යි ද, සාස්‍රව ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ආස්‍රව ද වූ ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ආස්‍රවවිප්‍රයුක්ත අනාස්‍රවයෝ යි.
568. (අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) සංයෝජනයෝ නො වෙති ... ග්‍රන්‍ථයෝ නො වෙති ... ඕඝයෝ නො වෙති ... යෝගයෝ නො වෙති ... නීවරණයෝ නො වෙති ... පරාමර්‍ශයෝ නො වෙත්.
569. (අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) සාලම්බනයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තයෝ නො වෙති.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චෛතසිකයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තසම්ප්‍රයුක්තයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තසමුත්‍ථානයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තසහභූහ.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තානුපරිවර්තීහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූහු වෙති.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහු වෙත්.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) බාහිරයයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) උපාදා නො වෙති.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අනුපාදින්නයෝ යි.
570. (අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) උපාදානයෝ නොවෙති. ... (අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) ක්ලේශයෝ නො වෙති. ... (අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙත්.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙත්.
සම්‍යක්සංකල්පය අවිතර්‍ක ය. සප්තමාර්‍ගාඞ්ගයෝ සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු ය.
සම්‍යක්සංකල්පය සවිචාරය. සප්තමාර්‍ගාඞ්ගයෝ සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු ය.
සම්‍යක්සංකල්පය සප්‍රීතිකය. සප්තමාර්‍ගාඞ්ගයෝ සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
සම්‍යක්සංකල්පය ප්‍රීතිසහගත ය. සප්තමාර්‍ගාඞ්ගයෝ ප්‍රීතිසහගත ද වන්නාහ, නො ද ප්‍රීතිසහගත ද වන්නාහු ය.
සම්‍යක්සංකල්පය සුඛසහගත ය. සප්තමාර්‍ගාඞ්ගයෝ සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු ය.
සම්‍යක්සංකල්පය උපේක්‍ෂාසහගත නො වෙයි. සප්තමාර්‍ගාඞ්ගයෝ උපේක්‍ෂා සහගත ද වන්නාහ. නො ද උපේක්‍ෂා සහගත ද වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) කාමාවචරයෝ නො වෙති.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) රූපාවචරයෝ නො වෙති.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අරූපාවචරයෝ නො වෙත්.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අපර්‍ය්‍යාපන්නයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) නෛර්‍ය්‍යාණික ද වන්නාහ, අනෛර්‍ය්‍යාණික ද වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) නියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අනුත්තරයෝ ය.
(අෂ්ටමාර්‍ගාඞ්ගයෝ) අරණයෝ යි.
පඤ්හපුච්ඡක යි.
මාර්‍ගවිභඞ්ග නිමි.
12. ධ්‍යාන විභඞ්ගය
571. මෙ සස්නෙහි මහණ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් යුක්ත වූයේ ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව වාස කෙරෙයි. ස්වල්පමාත්‍ර වූ වරදෙහි භය දක්නාසුලු වූයේ ශික්‍ෂාපදයන්හි සමාදන් ව හික්මෙයි. ඉන්‍ද්‍රියයන්හි පියූ දොර ඇති ව, භෝජනයෙහි මාත්‍රඥ ව පූර්‍වරාත්‍ර - අපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝගයෙහි යෙදුණේ වීර්‍ය්‍යයෙන් හා ප්‍රඥායෙන් යුක්ත ව, බෝධිපාක්‍ෂිකධර්‍මයන් වැඩීමෙහි යෙදුණේ වෙසෙයි. හෙතෙම ඉදිරියට යෑමෙහි හා නැවැත්මෙහි සම්‍යග්ඥානයෙන් යුක්තව කරන්නේ වෙයි. ඉදිරිබැල්මෙහි හා විදිසාවන් බැල්මෙහි ද, අවයව හැකිලීමෙහි හා දිගුකිරීමෙහි ද, සඟළ පාසිවුරු දැරීමෙහි ද, භෝජනයෙහි, පානයෙහි, කෑමෙහි, රසවිඳීමෙහි ද, මලමූකිරීමෙහි ද, ගමනෙහි, සිටීමෙහි, හිඳීමෙහි, නිදීමෙහි, නිදිවැරීමෙහි, බිණීමෙහි, තූෂ්ණීම්භාවයෙහි ද සම්‍යග්ඥානයෙන් යුක්තව කරන්නේ වෙයි. හෙතෙම අරණ්‍ය ය, වෘක්‍ෂමූල ය, පර්‍වත ය, කඳුරැලි ය, ගිරිගුහා ය, සොහොන ය, වනපත්‍ථ ය, අභ්‍යවකාශ ය, පිදුරුබිස්ස ය, යන ශබ්ද රහිත, නිර්ඝෝෂ රහිත වූ, ජනවාත රහිත වූ, මිනිසුන්ගේ රහස්‍යකරණයට ස්ථාන වූ, විවේකයට අනුරූප වූ, විවේකසේනසුනක් භජනය කෙරෙයි. හෙතෙම අරණ්‍යසෙනාසනයට ගියේ හෝ වෘක්‍ෂමූලසේනාසනයට ගියේ හෝ, ශුන්‍යාගාරයට ගියේ හෝ, පලක් බැඳ කය ඍජුව තබා, සිහිය කර්‍මස්ථානයට අභිමුඛකොට එළවා හිඳියි. හෙතෙම ස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යාව හැර පියා, පහ වූ අභිධ්‍යා ඇති සිතින් යුක්ත ව වෙසෙයි. අභිධ්‍යායෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද ප්‍රදෝෂය දුරුකොට, ව්‍යාපාද රහිත සිත් ඇති ව සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පී ව වෙසෙයි. ව්‍යාපාද ප්‍රදෝෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ථීනමිද්ධය හැර පියා පහව ගිය ථීනමිද්ධ ඇති ව, ආලෝක සංඥා ඇති ව, සිහි ඇති ව, සම්‍යග්ඥාන ඇති ව වෙසෙයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්චකුක්කුච්චය හැර පියා උඩඟු නො වූයේ, අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇතිව වෙසෙයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිච්ඡාව හැර පියා තරණයකළ විචිකිත්සා ඇති ව, කුශලධර්‍මයන්හි සැක රහිතව වෙසෙයි, විචිකිත්සායෙන් සිත පිරිසිදු කෙරෙයි. හෙතෙම චිත්තයට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරන මේ පඤ්ච නීවරණයන් හැර පියා කාමයන්ගෙන් වෙන් ව ම, අකුශල ධර්‍මයන්ගෙන් වෙන් ව ම, විතර්‍ක සහිත වූ විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. විතර්‍කවිචාරයන් සංහිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, චිත්තයාගේ එකඟ බව ඇති, අවිතර්‍ක වූ, අවිචාර වූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති, ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. ප්‍රීතියගේ ද ඉක්මවීමෙන් උපේක්‍ෂා ඇත්තේ ද, සිහි ඇත්තේ ද, සම්‍යග්ඥාන ඇති ව නාමකයින් සුඛය ද විඳියි, යම් ධ්‍යානයක් හේතුකොටගෙන (බුද්ධාදී) ආර්‍ය්‍යයෝ ඒ ධ්‍යානසමඞ්ගීපුද්ගලයා ‘උපේක්‍ෂා ඇත්තේ ය, ස්මෘති ඇත්තේ ය, සුඛවිහරණ ඇත්තේ’ යි කියත් නම් ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. (කායික) සුඛයාගේ ද ප්‍රහාණයෙන්, දුඃඛයාගේ ද ප්‍රහාණයෙන්, පළමු වැ සොම්නස් දොම්නසුන්ගේ ප්‍රහාණයෙන්, දුක් නො වූ, සුඛ නො වූ, උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවාලීමෙන්, ප්‍රතිඝසංඥාවන් දුරලීමෙන්, නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාසය අනන්ත’ යි භාවනාකොට ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙයි. සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තය යි භාවනා කොට විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසෙයි. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණාඤ්චායතනය ඉක්මවා ‘නත්‍ථි කිඤ්චි’ යි භාවනා කොට ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේ යි.
මාතෘකා යි.
572. ‘ඉධ’ යනු: මේ දෘෂ්ටියෙහි, මේ ක්‍ෂාන්තියෙහි, මේ රුචියෙහි, මේ ග්‍රහණයෙහි, මේ ධර්‍මයෙහි, මේ විනයයෙහි, මේ ධර්‍මවිනයයෙහි, මේ ප්‍රවචනයෙහි, මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි, මේ ශාස්තෘශාසනයෙහි, එයින් කියනු ලැබෙයි ‘ඉධ’ යි.
573. ‘භික්ඛු’ යනු: ව්‍යවහාරයෙන් භික්‍ෂු ය, ප්‍රතිඥායෙන් භික්‍ෂු ය, භික්‍ෂාටනය කෙරේනු යි භික්‍ෂු ය, භික්‍ෂාටනය කරනුයේ නු යි භික්‍ෂු ය, භික්‍ෂාචර්‍ය්‍යාවට පැමිණියේ නු යි භික්‍ෂු ය, භින්න වූ වස්ත්‍ර දරනුයේ නු යි භික්‍ෂු ය, ලාමක අකුශලධර්‍මයන් බිඳී නු යි භික්‍ෂු ය, ලාමක අකුශලධර්‍මයන් බිඳහළ හෙයින් භික්‍ෂු ය, අවධි වශයෙන් ක්ලේශයන්ගේ ප්‍රහාණයෙන් භික්‍ෂු ය, අනවධි (සීමාරහිත) වශයෙන් ක්ලේශයන්ගේ ප්‍රහාණයෙන් භික්‍ෂු ය, ශෛක්‍ෂ භික්‍ෂු ය, අශෛක්‍ෂ භික්‍ෂු ය, නො ම ශෛක්‍ෂ වූ අශෛක්‍ෂ ද නො වූ භික්‍ෂු ය, (සීලසමාධිප්‍රඥාවිමුක්තියෙන්) අග්‍රවූයේ භික්‍ෂු ය, භද්‍ර භික්‍ෂු ය, මණ්ඩ (ප්‍රසන්න) භික්‍ෂු ය, සාර භික්‍ෂු ය, සමගසඞ්ඝයා විසින් අකෝප්‍ය වූ ස්ථානාර්‍හ වූ ඤත්තිචතුත්‍ථ කර්‍මයෙන් උපසම්පන්න වූයේ භික්‍ෂු යි.
574. ‘පාතිමොක්ඛ’ යනු: ශීල ය කුශලධර්‍මයන්ගේ ප්‍රතිලාභයට ප්‍රතිෂ්ඨා ය, ආදි ය, චරණ (පාද) ය, සංයම ය, සංවර ය, ද්වාර ය, ප්‍රමුඛ යි. ‘සංවර’ යනු: කායිකඅව්‍යතික්‍රම ය, වාචසිකඅව්‍යතික්‍රම ය, කායිකවාචසිකඅව්‍යතික්‍රම යි. ‘සංවුත’ යනු: මේ පාතිමොක්ඛසංවරයෙන් උපේත, සමුපේත, උපගත, සමුපගත, උපපන්න, සමුපපන්න, සමන්නාගත වූයේ වෙයි. එහෙයින් කියනු ලැබෙයි ‘පාතිමොක්ඛසංවරසංවුතො’ යි.
575. ‘විහරති’ යනු: ඉරියවු පවත්වයි, වැටෙයි, පාලනය කෙරෙයි, යැපෙයි, යපනය කෙරෙයි, හැසිරෙයි, වාසය කෙරේ. එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
576. ‘ආචාරගෝචරසම්පන්න’ යනු: ආචාරයෙක් ඇත, අනාචාරයෙක් ඇති. එහි අනාචාරය කවරෙ යත්: කායිකව්‍යතික්‍රම ය, වාචසිකව්‍යතික්‍රම ය, කායිකවාචසිකව්‍යතික්‍රම යි. මේ ‘අනාචාර’ යි කියනු ලැබේ. හැම දුශ්ශිල්‍යය අනාචාර යි. මෙ සස්නෙහි කිසිවෙක් හුණුදඬු දීමෙන් හෝ, පත්‍රදානයෙන් හෝ, පුෂ්පදානයෙන් හෝ, ඵලදානයෙන් හෝ, නහනු දීමෙන් හෝ, දැහැටිදඬු දීමෙන් හෝ, චාටුබස් කීමෙන් හෝ මුද්ගසූපය වැනි බොරු මුසු කථායෙන් හෝ, (දරුවන් නැලවීම් ආදි) පාරිභට්ටතායෙන් හෝ, (ගෙන්ගෙට) හසුන්පත් ගෙන යෑමෙන් හෝ, බුදුන් විසින් පිළිකුල් කරන ලද එක්තරාමිථ්‍යාජීවයෙකින් ජීවිකාව කෙරෙයි. මේ ‘අනාචාර’ යි කියනු ලැබේ. එහි ආචාර කවරෙ යත්: කායික අව්‍යතික්‍රම ය, වාචසික අව්‍යතික්‍රම ය, කායිකවාචසික අව්‍යතික්‍රම යි. මේ ‘ආචාර’ යි කියනු ලැබේ. හැම ශීලසංවරය ‘ආචාර’ යි. මෙ සස්නෙහි කිසිවෙක් හුණුදඬු දීමෙන්, පත්‍රදානයෙන්, පුෂ්පදානයෙන්, ඵලදානයෙන්, නහනු දීමෙන්, දැහැටිදඬු දීමෙන්, චාටුකම්‍යතායෙන්, මුද්ගසූප්‍යතායෙන්, පාරිභට්ටතායෙන්, ජඞ්ඝපෙසනියයෙන් යන බුදුන් විසින් පිළිකුල් කරන ලද අන්‍යතරාන්‍යතර මිථ්‍යාජීවයෙකින් ජීවිකාව නො කෙරේ. මේ ‘ආචාර’ යි කියනු ලැබේ.
‘ගෝචර’ යනු: ගෝචරයෙක් ඇත, අගෝචරයෙක් ඇති. එහි අගෝචර කවරෙ යත්: මෙ සස්නෙහි කිසිවෙක් වේශ්‍යාවන් ගෝචර කොට ඇත්තේ හෝ, වැන්දඹුවන් ගෝචර කොට ඇත්තේ හෝ, මැහැලි කුමාරිකාවන් ගෝචර කොට ඇත්තේ හෝ, පණ්ඩකයන් ගෝචර කොට ඇත්තේ හෝ, භික්‍ෂුණීන් ගෝචර කොට ඇත්තේ හෝ, අවන්හල් ගෝචර කොට ඇත්තේ හෝ වේ ද, රජුන් හා රජමහඇමැතියන් හා තීර්‍ත්‍ථකයන් හා තීර්‍ත්‍ථකශ්‍රාවකයන් හා අනනුලෝමික වූ සංසර්‍ගයෙන් සංසෘෂ්ට ව වෙසේ ද, යලි යම් ඒ කුලකෙනෙක් (බුද්ධාදීන් කෙරෙහි) හැදැහැලි නැත්තාහු ද, අප්‍රසන්න වූවාහු ද, ඕපානයක් (සතරමංසැල කැණිළිඳක්) වැනි නො වූවාහු ද, මහණ - මෙහෙණ - උවසු - උවැසියනට ආක්‍රෝශපරිභව කරන්නාහු, අවැඩ කැමැත්තාහු, අහිත කැමැත්තාහු, නො සුව කැමැත්තාහු, උපද්‍රව කැමැත්තාහු වෙත් ද, එබඳු කුලයන් සේවනභජනපර්‍ය්‍යුපාසන කෙරේ ද, මේ ‘අගෝචර’ යි කියනු ලැබේ.
එහි ‘ගෝචර’ කවරෙ යත්: මෙහි එකෙක් වේශ්‍යාවන් ගෝචර (යායුතුතැන්) කොට නැත්තේ වේ ද, වැන්දඹුවන් ගෝචර කොට නැත්තේ, මැහැලි කුමාරිකාවන් ගෝචර කොට නැත්තේ, පණ්ඩකයන් ගෝචර කොට නැත්තේ, භික්‍ෂුණීන් ගෝචර කොට නැත්තේ, සුරාගාරයන් ගෝචර කොට නැත්තේ වේ ද, රජුන් හා රජමහඇමැතියන් හා තීර්‍ත්‍ථකයන් හා තීර්‍ත්‍ථකශ්‍රාවකයන් හා අනනුලෝමික වූ සංසර්‍ගයෙන් අසංසෘෂ්ට ව වෙසේ ද, යලි යම් ඒ කුල කෙනෙක් (බුද්ධාදීන් කෙරෙහි) හැදැහැලි ඇත්තාහු, ප්‍රසන්න වූවාහු, ඕපානයක් වැනි වූවාහු, (මහණමෙහෙණන් හන් පෙරැවි) කහවත්හි ප්‍රභායෙන් එකාලොක වෙත් ද, (ගෙට වදන නික්මෙන මහණ මෙහෙණ සඞ්ඛ්‍යාත) ඍෂීන්ගේ චීවරවාතයෙන් පරිවාත වෙද්ද, භික්‍ෂුණී උපාසක උපාසිකාවනට වැඩ කැමැත්තාහු, හිත කැමැත්තාහු, සුව කැමැත්තාහු, නිර්‍භය කැමැත්තාහු වෙත් ද, එබඳු කුලයන් සේවනභජනපර්‍ය්‍යුපාසන කෙරේ ද, මේ ‘ගෝචර’ යි කියනු ලැබේ. මෙසේ මේ ආචාරයෙන් ද, මේ ගෝචරයෙන් ද උපේත වූයේ ... සමන්‍වාගත වේ. එහෙයින් කියනු ලැබෙයි. ‘ආචාරගෝචරසම්පන්නෝ’ යි.
577. ‘අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී’ යනු: එහි අනුමාත්‍රවද්‍යයෝ කවරහ යත්: යම් ඒ වද්‍ය කෙනෙක් අල්පමාත්‍ර වූවාහු ද, ස්වල්පමාත්‍ර වූවාහු ද, ලඝු වූවාහු ද, ලඝු යයි සම්මත වූවාහු ද, සංයම කළ යුතු වූවාහු ද, සංවර කළ යුතු වූවාහු ද, චිත්තෝත්පාදමාත්‍රයෙන් පිළියම් කළයුතු වූවාහු ද, ආවර්ජිතමාත්‍රයෙන් පිළියම් කළයුතු වූවාහු ද, මොහු අණුමාත්‍ර වද්‍යයෝ යි කියනු ලැබෙත්. මෙසේ මේ අනුමාත්‍රවද්‍යයන්හි වරද වශයෙන් දක්නාසුලු වූයේත්, භය වශයෙන් දක්නාසුලු වූයේත්, ආදීනව වශයෙන් දක්නාසුලු වූයේත්, නිස්සරණය දක්නාසුලු වූයේත් වේ. එහෙයින් කියනු ලැබෙයි ‘අණුමත්තෙසු වජ්ජෙසු භය දස්සාවී’ යි.
578. ‘සමාදාය සික්ඛති සික්ඛාපදෙසු’ යනු: එහි ශික්‍ෂා කවර යත්: ශික්‍ෂා සතරෙකි: භික්‍ෂූන්ට භික්‍ෂුශික්‍ෂා ය, භික්‍ෂූණීන්ට භික්‍ෂුණීශික්‍ෂා ය, උපාසකයන්ට උපාසකශික්‍ෂා ය, උපාසිකාවන්ට උපාසිකාශික්‍ෂා යි. මොහු ‘ශික්‍ෂා’ යි කියනු ලැබෙත්. මෙසේ මේ ශික්‍ෂාවන්හි සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිරවශේෂ කොට සමාදන් ව පවතියි. එහෙයින් කියනු ලැබෙයි ‘සමාදාය සික්ඛති සික්ඛාපදෙසු’ යි.
579. ‘ඉන්‍ද්‍රියෙසු ගුත්තද්වාරො’ යනු: ඉන්‍ද්‍රියයන්හි ගුත්තද්වාරතායෙක් ඇත. අගුත්තද්වාරතායෙක් ඇති. එහි ඉන්‍ද්‍රියයන්හි අගුත්තද්වාරතා කවර යත්: මෙ සස්නෙහි කිසිවෙක් චක්‍ෂුර්විඥානයෙන් රූපයක් දැක (ක්ලේශවස්තු වූ) නිමිති ගන්නේ වෙයි, (හස්තපාදාදි) ආකාර විසින් ගන්නේ වෙයි, යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවෘත ව වසන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදියි, චක්‍ෂුරින්‍ද්‍රිය නො රකී. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙයි. ශ්‍රෝත්‍රයෙන් ශබ්දයක් අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට ... ජිහ්වායෙන් රසයක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන නිමිති ගන්නේ වෙයි, ආකාර විසින් ගන්නේ වෙයි, යම් කරුණෙකින් මනින්‍ද්‍රියය අසංවෘත ව වසන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදියි, මනින්‍ද්‍රියය නො රකියි, මනින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙයි. මේ ෂඩ්ඉන්‍ද්‍රියයන්ගේ යම් අගුප්තියෙක්, අගෝපනයෙක්, අනාරක්‍ෂායෙක්, අසංවරයෙක් වේ ද, මේ ‘ඉන්‍ද්‍රියයන්හි අගුත්තද්වාරතා’ යි කියනු ලැබේ. එහි ඉන්‍ද්‍රියයන්හි ගුත්තද්වාරතා කවර යත්: මෙ සස්නෙහි කිසිවෙක් ඇසින් රූපයක් දැක (ක්ලේශවස්තු වූ) නිමිති නො ගන්නේ වෙයි, ආකාර විසින් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවෘත ව වාසය කරන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි, චක්‍ෂුරින්‍ද්‍රියය රකී, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. ශ්‍රෝත්‍රයෙන් ශබ්දයක් අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට ... දිවින් රසයක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් ධර්‍මයක් දැන නිමිති නො ගන්නේ වෙයි, ආකාර විසින් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් මනින්‍ද්‍රියය අසංවෘත ව වසන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි, මනින්‍ද්‍රියය රකියි, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. මේ ෂඩ්ඉන්‍ද්‍රියයන්ගේ යම් ගුප්තියෙක් ගෝපනයෙක් ආරක්‍ෂායෙක් සංවරයෙක් වේ ද මේ ‘ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරතා’ යි කියනු ලැබේ. මේ ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරතායෙන් උපේත වූයේ සමුපේත වූයේ සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘ඉන්‍ද්‍රියෙසු ගුත්තද්වාරො’ යි.
580. ‘භෝජනෙ මත්තඤ්ඤූ’ යනු: භෝජනයෙහි මාත්‍රඥතායෙක් ඇත, භෝජනයෙහි අමාත්‍රඥතායෙක් ඇති. එහි භෝජනයෙහි අමාත්‍රඥතා කවර යත්: මෙ සස්නෙහි කිසිවෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කොට නුනුවණින් කෙලි පිණිස, මද පිණිස, අලඞ්කාර පිණිස, සැරහුම් පිණිස ආහාර ගනී. ඒ භෝජනයෙහි යම් අසන්තුෂ්ට බවෙක්, අමාත්‍රඥ බවෙක්, ප්‍රත්‍යවේක්‍ෂා රහිත බවෙක් වේ ද, මේ ‘භෝජනයෙහි අමාත්‍රඥතා’ යි කියනු ලැබේ. එහි භෝජනයෙහි මාත්‍රඥතා කවර යත්: මෙ සස්නෙහි කිසිවෙක් ප්‍රත්‍යවේක්‍ෂා කොට නුවණින් අහර වළඳයි: කෙළි පිණිස නො ම වළඳයි, මද පිණිස, අලඞ්කාර පිණිස, සැරසුම් පිණිස නො ම වළඳයි. යම්තාක් මේ කය පැවැත්ම පිණිස, යැපීම පිණිස, බඩගිනි වේදනා නැසීම පිණිස, බඹසරට අනුග්‍රහ පිණිස වළඳයි. මෙසේ පැරණි බඩගිනි වේදනා නසමි, අළුත් වේදනාත් නූපදවමි, මාගේ යැපීම ද වන්නේ ය, අනවද්‍යභාවය ද, සැපවිහරණය ද වන්නේ යි. ඒ භෝජනයෙහි යම් සන්තුෂ්ට බවෙක් මාත්‍රඥ බවෙක් ප්‍රත්‍යවේක්‍ෂායෙක් වේ ද, මේ ‘භෝජනයෙහි මාත්‍රඥතා’ යි කියනු ලැබේ. මේ භෝජනයෙහි මාත්‍රඥතායෙන් යුක්ත වූයේ ... සමන්‍වාගත වූයේ වේ.
581. කිසෙයින් මහණ පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝගයෙහි යෙදුණේ වේ ද යත්: මෙ සස්නෙහි මහණ දහවල්හි සක්මනින් ද, හිඳීමෙන් ද නීවරණ ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රාත්‍රියෙහි පෙරයම සක්මනින් ද, හිඳීමෙන් ද ආවරණීයධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රෑ මැදියම දකුණුපයෙහි වම්පය මඳක් ඇද තබා, සිහිනුවණ ඇතියේ, උත්‍ථානසංඥාව මෙනෙහි කොට දකුණැලයෙන් සිංහශය්‍යාව කෙරෙයි. රෑ අලුයම නැගීසිට චඞ්ක්‍රමණයෙන්, නිෂද්‍යායෙන්, ආවරණීයධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. මෙසේ මහණ ‘පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝගයෙහි යෙදුණේ’ වේ.
582. ‘සාතච්චං’ යනු: යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද එය යි.
583. ‘නෙපක්කං’ යනු: යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එය යි.
584. ‘බෝධිපක්ඛියානං ධම්මානං භාවනානුයෝගමනුයුත්තො’ යනු: එහි බෝධිපාක්‍ෂිකධර්‍මයෝ කවරහ යත්: සප්තබෝධ්‍යඞ්ගයෝ ය: ස්මෘතිසම්බොධ්‍යඞ්ග ය, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග ය, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග ය, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග ය, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග ය, සමාධිසම්බොධ්‍යඞ්ග ය, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි. මොහු ‘බෝධිපාක්‍ෂිකධර්‍මයෝ’ යි කියනු ලැබෙත්. මෙසේ මේ බෝධිපාක්‍ෂිකධර්‍මයන් ආසෙවනය කෙරෙයි, භාවනා කෙරෙයි, බහුල කෙරෙයි. එහෙයින් කියනු ලැබෙයි: ‘බෝධිපක්ඛියානං ධම්මානං භාවනානුයෝගමනුයුත්තො’ යි.
585. කිසෙයින් මහණ ඉදිරියට යෑමෙහි, නැවැත්මෙහි සම්පජානකාරී වේ ද, ඉදිරිය බැලීමෙහි, හාත්පස බැලීමෙහි සම්පජානකාරී වේ ද, අත්පා හැකිළීමෙහි, දිගු කිරීමෙහි සම්පජානකාරී වේ ද, සඟල - පා - සිවුරු දැරීමෙහි සම්පජානකාරී වේ ද, භෝජනයෙහි, පානයෙහි, කෑමෙහි, රසවිඳීමෙහි සම්පජානකාරී වේ ද, මල - මූ කිරීමෙහි සම්පජානකාරී වේ ද, ගමනෙහි, සිටීමෙහි, හිඳීමෙහි, නිදීමෙහි, නිදිවැරීමෙහි, බිණීමෙහි, නො බිණීමෙහි සම්පජානකාරී වේ ද යත්: මෙ සස්නෙහි මහණ සිහි ඇති ව, නුවණ ඇති ව ඉදිරියට යෙයි, සිහි ඇති ව, නුවණ ඇති ව පෙරළා එයි, සිහිනුවණ ඇති ව ඉදිරිය බලයි, සිහිනුවණ ඇති ව හාත්පස බලයි, සිහිනුවණ ඇති ව අත්පා හකුළ යි, සිහිනුවණ ඇති ව අත්පා දිගු කෙරෙ යි, සඟල - පා - සිවුරු දැරීමෙහි සිහි ඇති ව නුවණින් කරනසුලු වෙයි. වැළඳීමෙහි, පීමෙහි, කෑමෙහි, රසවිඳීමෙහි සිහි ඇතිව නුවණින් කරනසුලු වෙයි. මල - මූ කිරීමෙහි සිහි ඇතිව නුවණින් කරනසුලු වෙයි. ගමනෙහි, සිටීමෙහි, හිඳීමෙහි, නිදීමෙහි, නිදිවැරීමෙහි, බිණීමෙහි, නො බිණීමෙහි සිහි ඇතිව නුවණින් කරනසුලු වේ.
‘සතෝ’ යනු: එහි සති කවර යත්: යම් ස්මෘතියක් අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ.
‘සම්පජානෝ’ යනු: එහි ‘සම්පජඤ්ඤ’ කවරෙ යත්: යම් ප්‍රඥාවක්, පජානනාකාරයෙක් ... අමෝහයෙක්, ධර්‍මවිචයෙක්, සම්‍යග්දෘෂ්ටියක් වේ ද, මේ ‘සම්පජඤ්ඤ’ යි කියනු ලැබේ. මෙසේ මේ සතියෙන් ද, සම්පජඤ්ඤයෙන් ද උපේත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. මෙ සෙයින් මහණ සිහි නුවණ ඇතියේ ඉදිරියට යෙයි, සිහි නුවණ ඇතියේ පෙරළා එයි. සිහි නුවණ ඇතියේ ඉදිරිය බලයි. සිහි නුවණ ඇතියේ හාත්පස බලයි, සිහි නුවණ ඇතියේ අත්පා හකුළයි, සිහි නුවණ ඇතියේ අත්පා දිගු කෙරෙයි, සඟල - පා - සිවුරු දැරීමෙහි සිහි ඇති ව නුවණින් කරනසුලු වෙයි, වැළඳීමෙහි පීමෙහි කෑමෙහි රසවිඳීමෙහි සිහි ඇතිව නුවණින් කරනසුලු වෙයි, මල - මූ කිරීමෙහි සිහි ඇතිව නුවණින් කරනසුලු වෙයි. ගමනෙහි, සිටීමෙහි, හිඳීමෙහි, නිදීමෙහි, නිදිවැරීමෙහි, බිණීමෙහි, නො බිණීමෙහි සිහි ඇති ව නුවණින් කරනසුලු වේ.
586. ‘විවිත්තං’ යනු: සමීපයෙහි සෙනසුනක් වේ නමුදු එ ද ගිහියන්ගෙන් පැවිද්දන්ගෙන් අනාකීර්‍ණ වේ නම් එ කරුණින් එය විවික්ත ය. දුරෙහි වූ සෙනසුනක් වේ නමුදු එ ද ගිහියන්ගෙන් පැවිද්දන්ගෙන් අනාකීර්‍ණ වේ නම් එ කරුණින් එය විවික්ත යි.
587. ‘සේනාසනං’ යනු: ඇඳ ද සෙනසුනෙක, පුටුව ද සෙනසුනෙක, බිස්ස ද සෙනසුනෙක, බිම්බෝහනය ද සෙනසුනෙක, විහාරය ද සෙනසුනෙක, ගුරුළුවක් සෙවෙනි ඇති ගෙය ද සෙනසුනෙක, පහය ද සෙනසුනෙක, අටල්ල ද සෙනසුනෙක, මහල ද සෙනසුනෙක, ලෙන ද සෙනසුනෙක, ගුහාව ද සෙනසුනෙක, රුක්මුල ද සෙනසුනෙක, හුණුලැහැබ ද සෙනසුනෙකි. තවද යම් තැනෙක භික්‍ෂූහු රැස්වෙත් නම් එ හැම සෙනසුනි.
588. ‘භජති’ යනු: මේ විවික්තසේනාසනය භජනය කෙරෙයි, සම්භජනය කෙරෙයි, සේවනය කෙරෙයි, නිසේවනය කෙරෙයි, සංසේවනය කෙරේ. එයින් කියනු ලැබෙයි ‘විවිත්තං සේනාසනං භජති’ යි.
589. ‘අරඤ්ඤං’ යනු: ඉන්‍ද්‍රඛීලයෙන් පිටත නික්ම තෙල සියල්ල අරණ්‍ය යි.
590. ‘රුක්ඛමූලං’ යනු: වෘක්‍ෂමූලය ම ‘රුක්ඛමුල’ යි. පබ්බතය ම පර්‍වත යි. කන්‍දරා ම කඳුරැලි යි. ගිරිගුහා ම ගිරිගුහා යි. සුසානය ම සොහොන යි. අබ්භෝකාසය ම අභ්‍යවකාශ යි. පලාලපුඤ්ජය ම පලාලපුඤ්ජ යි.
591. ‘වනපත්‍ථං’ යනු: තෙල දුරැ වූ සෙනසුන්වලට නමෙකි. ‘වනපත්‍ථං’ යනු: තෙල වනලැහැබ් සෙනසුන්වලට නමෙකි. ‘වනපත්‍ථං’ යනු: තෙල බිහිසුණු සෙනසුන්වලට නමෙකි. ‘වනපත්‍ථං’ යනු: ලොමුදහගැනුම් සහිත සෙනසුන්වලට නමෙකි. ‘වනපත්‍ථං’ යනු: තෙල වනකෙළවර වූ සෙනසුන්වලට නමෙකි. ‘වනපත්‍ථං’ යනු: තෙල මිනිසුන්ගේ හැසිරීම් නැති සෙනසුන්වලට නමෙකි. ‘වනපත්‍ථං’ යනු: තෙල නො ලත් විවේකසුව ඇතියන් විසින් නො විසිය හැකි සෙනසුනට නමෙකි.
592. ‘අප්පසද්දං’ යනු: සමීපයෙහි සෙනසුනක් වේ නමුදු එ ද ගිහියන්ගෙන් පැවිද්දන්ගෙන් අනාකීර්‍ණ වේ නම් එ කරුණින් එය අල්පශබ්ද ය, දුරැ සෙනසුනක් වේ නමුදු එ ද ගිහියන්ගෙන් පැවිද්දන්ගෙන් අනාකීරණ වේ නම් එ කරුණින් එය අල්පශබ්ද යි.
593. ‘අප්පනිග්ඝෝසං’ යනු: යමෙක් ම අල්පශබ්ද වේ නම් එ ම අල්පනිර්ඝෝෂ යි, යමෙක් ම අල්පනිර්ඝෝෂ නම් එ ම විජනවාත යි. යමෙක් ම විජනවාත නම් එ ම මනුස්ස රාහසෙය්‍යක යි, යමෙක් ම මනුෂ්‍යරාහසෙය්‍යක නම් එ ම ප්‍රතිසංලීනයට සුදුසුයි.
594. ‘අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා’ යනු: අරණ්‍යයකට ගියේ හෝ, වෘක්‍ෂමූලයකට ගියේ හෝ, ශුන්‍යාගාරකට ගියේ හෝ වේ.
595. ‘නිසීදති පල්ලඞ්කං ආභුජිත්‍වා’ යනු: පලක් බැඳ හුන්නේ වේ.
596. ‘උජුං කායං පණිධාය’ යනු: කය ඍජුව සිටියේ පිහිටුවන ලද්දේ වේ.
597. ‘පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා’ යනු: එහි ‘සති’ කවර යත්: යම් ස්මෘතියක්, අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ. මේ ‘සතිය’ නාසිකාග්‍රයෙහි හෝ මුඛනිමිත්තෙහි හෝ එළඹ සිටියා මැනැවින් එළඹ සිටියා වේ. එහෙයින් කියනු ලැබෙයි ‘පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා’ යි.
598. ‘අභිජ්ඣං ලෝකේ පහාය’ යනු: එහි අභිධ්‍යා කවර යත්: යම් රාගයෙක් සංරාගයෙක් ... චිත්තයාගේ සංරාගයෙක් වේ ද, මේ ‘අභිධ්‍යා’ යි කියනු ලැබේ. එහි ලෝකය කවරෙ යත්: පඤ්චෝපාදානස්කන්‍ධයෝ ලෝක යි. මේ ‘ලෝක’ යි කියනු ලැබේ. මේ අභිධ්‍යාව මේ උපාදානස්කන්‍ධලෝකයෙහි ශාන්ත - ශමිත - ව්‍යුපශාන්ත - අස්තඞ්ගත - අභ්‍යස්තඞ්ගත - අර්පිත - ව්‍යර්පිත - ශොෂිත - විශොෂිත - ව්‍යන්තීකෘත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘අභිජ්ඣං ලෝකේ පහාය’ යි.
599. ‘විගතාභිජ්ඣෙන චේතසා’ යනු: එහි චිත්තය කවරෙ යත්: යම් චිත්තයෙක්, මනසෙක්, මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ සිත පහ වූ අභිධ්‍යා ඇත්තේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘විගතාභිජ්ඣෙන චේතසා’ යි.