එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවරෙ යත්: යම් චෛතසික වූ නො ම මිහිරි වූ අමිහිරි නො වූ චේතෝසම්ඵස්සයෙන් උපන් උපේක්‍ෂාවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් උපේක්‍ෂාවේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.
එහි වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ කවරෙ යත්: චිත්තයාගේ යම් අධිමෝක්‍ෂයෙක් අධිමොක්‍ෂාකාරයෙක් ආලම්බනයෙහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ’ යි කියනු ලැබේ.
එහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භව කවරෙ යත්: අධිමෝක්‍ෂය තබා වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මේ ‘අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ.
එහි භවප්‍රත්‍යයෙන් ජාති කවරෙ යත්: ඒ (අරූපී) ධර්‍මයන්ගේ යම් නිපැද්මෙක් වෙසෙසින් නිපැද්මෙක් හටගැන්මෙක් වෙසෙසින් හටගැන්මෙක් පහළවීමෙක් වේ ද, මේ ‘භවප්‍රත්‍යයෙන් ජාති’ යි කියනු ලැබේ.
එහි ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ කවරෙ යත්: ජරාවක් ඇත, මරණයෙක් ඇති. එහි ජරා කවර යත්: ඒ අරූපීධර්‍මයන්ගේ යම් ජරාවක් දිරන බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් වේ ද, මේ ‘ජරා’ යි කියනු ලැබේ. එහි මරණ කවරෙ යත්: ඒ අරූපීධර්‍මයන්ගේ යම් ක්‍ෂයවීමෙක් ව්‍යයවීමෙක් බිඳීමෙක් හාත්පසින් බිඳීමෙක් අනිත්‍ය බවෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ ‘මරණ’ යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය දැ යි මේ ‘ජරාමරණ’ යි කියනු ලැබේ.
‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යනු: මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සඞ්ගතිය වෙයි, සමාගමය වෙයි, සමවධානය වෙයි, ප්‍රාදුර්‍භාවය වේ. එයින් කියනු ලැබෙයි ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.
අකුශලවිපාකමූලකය නිමි.
අභිධර්‍මභාජනිය නිමි.
ප්‍රතීත්‍යසමුත්පාදවිභඞ්ගය නිමි.
7. සතිපට්ඨාන විභඞ්ගය
454. සතිපට්ඨානයෝ සතර දෙනෙකි: මේ සස්නෙහි මහණ කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ සම්‍යග්ඥාන ඇත්තේ ස්මෘතිමත් වූයේ කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට තමාගේ කයෙහි කය අනුව බලමින් වෙසෙයි, මෙරමාගේ කයෙහි කය අනුව බලමින් වෙසෙයි, කලෙක තමාගේ කයෙහි ද කලෙක මෙරමාගේ කයෙහි ද කය අනුව බලමින් වෙසෙයි. කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ ස්මෘතිමත් වූයේ වේදනා සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට තමාගේ වේදනාවන්හි වේදනාව අනුව බලමින් වෙසෙයි, මෙරමාගේ වේදනාවන්හි වේදනා අනුව බලමින් වෙසෙයි, කලෙක තමාගේ වේදනාවන්හි ද කලෙක මෙරමාගේ වේදනාවන්හි ද වේදනා අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ ස්මෘතිමත් වූයේ චිත්ත සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට තමාගේ චිත්තයෙහි සිත අනුව බලමින් වෙසෙයි, මෙරමාගේ චිත්තයෙහි සිත අනුව බලමින් වෙසෙයි, තමාගේ සිත්හි ද මෙරමාගේ සිත්හි ද සිත අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ ස්මෘතිමත් වූයේ (නීවරණාදී) ධර්‍ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට තමාගේ (නීවරණාදි) ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසෙයි, මෙරමාගේ (නීවරණාදි) ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසෙයි, තමා හා මෙරමාගේ (නීවරණාදි) ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසේ.
455. කිසෙයින් මහණ තෙමෙ තමාගේ කයෙහි කය අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ පාතෙලෙන් උඩ කෙසගින් යට (සරසැ) සිවි හිම් කොට ඇති තමාගේ කය නන් වැදැරුම් අසුචි පිරුණක් කොට ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ කයෙහි කෙස් ඇත, ලොම් - නිය - දත් - සිවි - මස් - නහර - ඇට - ඇටමිඳුළු - වකුගඬ - හදවත - අක්මාව - දලබුව - බඩදිව - පෙණහලු - අතුණු - අතුණුබහන - නො පැසුණු අහර - පැසුණු අහර - පිත - සෙම - පූයා - ලෙහෙ - සෝදිය - මේදතෙල් - කඳුළු - වුරුණුතෙල් - කෙළ - මුකුණු - සඳමිදුළු - සුලුදිය ඇති. හෙතෙම ඒ කමටහන් නිමිත්ත ඇසුරු කෙරෙයි, වඩයි, පුනපුනා වඩයි, මොනොවට නිශ්චය කෙරෙයි. හෙතෙම ඒ නිමිත්ත ඇසුරු කොට වඩා බහුල කොට මැනැවින් නිශ්චය කොට මෙරමාගේ කයෙහි (තමාගේ) සිත එළවයි.
කිසෙයින් මහණ මෙරමාගේ කයෙහි කය පුනපුනා බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ පාතෙලෙන් උඩ කෙසගින් යට සිවිපිරියත් කොට ඇති මෙරමාගේ කය නන් වැදැරුම් අසුචි පිරුණක් කොට ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ කයෙහි කෙස් ඇත, ලොම් - නිය - දත් - සිවි - මස් - නහර - ඇට - ඇටමිඳුළු - වකුගඬ - හදවත - අක්මාව - දලබුව - බඩදිව - පෙණහලු - අතුණු - අතුණුබහන - නො පැසුණු අහර - පැසුණු අහර - පිත - සෙම - පූයා - ලෙහෙ - සෝදිය - මේදතෙල් - කඳුළු - වුරුණුතෙල් - කෙළ - මුකුණු - සඳමිදුළු - සුලුදිය ඇති. හෙතෙම ඒ කමටහන් නිමිත්ත ආසේවන කෙරෙයි, වඩයි, පුනපුනා වඩයි, මොනොවට නිශ්චය කෙරෙයි. හෙතෙම ඒ නිමිත්ත ආසේවන කොට වඩා, පුනපුනා වඩා, මැනැවින් නිශ්චය කොට තමා හා මෙරමාගේ කයෙහි (තමාගේ) සිත එළවයි.
කිසෙයින් මහණ අධ්‍යාත්ම වූ ද බාහිර වූ ද කයෙහි කායානුපස්සීව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ පාතෙලෙන් උඩ කෙසගින් යට සිවිපිරියත් කොට ඇති අධ්‍යාත්ම වූ ද බාහිර වූ ද කය නන්වැදෑරුම් අසුචි පිරුණක් කොට ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ කයෙහි කෙස් ඇත, ලොම් - නිය - දත් - සිවි - මස් - නහර - ඇට - ඇටමිඳුළු - වකුගඬ - හදවත - අක්මාව - දලබුව - බඩදිව - පෙණහලු - අතුණු - අතුණුබහන - නො පැසුණු අහර - පැසුණු අහර - පිත - සෙම - පූයා - ලෙහෙ - සෝදිය - මේදතෙල් - කඳුළු - වුරුණුතෙල් - කෙළ - මුකුණු - සඳමිදුළු - සුලුදිය ඇති. මෙසෙයින් මහණ කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ ස්මෘතිමත් වූයේ කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට කලෙක තමාගේ කයෙහි කලෙක මෙරමාගේ කයෙහි කායානුපස්සී ව වෙසේ.
456. අනුපස්සී යනු: එහි අනුපස්සනා කවර යත්: යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද, මේ ‘අනුපස්සනා’ යි කියනු ලැබේ. මේ අනුපස්සනායෙන් යුක්ත වූයේ සමුපේත වූයේ එළඹ සිටියේ මොනොවට එළඹ සිටියේ නො වෙන් වූයේ පිරිපුන් වූයේ සමන්‍විත වූයේ යි. එහෙයින් ‘අනුපස්සී’ යි කියනු ලැබේ.
විහරති යනු: ඉරියවු පවත්වයි, ඉරියවු උපදවයි, ඉරියවු රකියි, යපනය කෙරෙයි, යාපනය කෙරෙයි, හැසිරෙයි, වෙසෙයි, එහෙයින් ‘විහරති’ යි කියනු ලැබේ.
ආතාපී යනු: එහි ආතප්ප කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘ආතප්ප’ යි කියනු ලැබේ. මේ ආතප්පයෙන් යුක්ත වූයේ සමුපේත වූයේ එළඹ සිටියේ මොනොවට එළඹ සිටියේ නො වෙන් වූයේ පිරිපුන් වූයේ සමන්‍විත වූයේ යි. එහෙයින් ‘ආතාපී’ යි කියනු ලැබේ.
සම්පජානෝ යනු: එහි ‘සම්පජඤ්ඤ’ කවරෙ යත්: යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද, මේ ‘සම්පජඤ්ඤ’ යි කියනු ලැබේ. මේ ‘සම්පජඤ්ඤයෙන්’ යුක්ත වූයේ සමුපේත වූයේ එළඹ සිටියේ මොනොවට එළඹ සිටියේ නො වෙන් වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ යි. එහෙයින් ‘සම්පජාන’ යි කියනු ලැබේ.
සතිමා යනු: එහි ‘සති’ කවර යත්: යම් ස්මෘතියක් අනුස්මෘතියක් … සම්‍යක් ස්මෘතියක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ. මේ සතියෙන් උපේත වූයේ සමුපේත වූයේ එළඹ සිටියේ මොනොවට එළඹ සිටියේ නො වෙන වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ යි, එහෙයින් ‘සතිමා’ යි කියනු ලැබේ.
විනෙය්‍ය ලෝකෙ අභිජ්ඣාදෝමනස්සං යනු: එහි ‘ලෝක’ කවරෙ යත්: එ ම කය ලෝක යැ, පඤ්චෝපාදානස්කන්‍ධයෝ ද ලෝක යැ, මේ ‘ලෝක’ යි කියනු ලැබේ.
එහි ‘අභිජ්ඣා’ කවර යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අභිජ්ඣා’ යි කියනු ලැබේ.
එහි ‘දෝමනස්ස’ කවරෙ යත්: යම් චෛතසික වූ අසාතයෙක් චෛතසික දුඃඛයෙක් චේතෝසම්ඵස්සජ වූ අසාත වූ දුඃඛ වූ වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ වූ අසාතදුඃඛ වේදනාවක් වේ ද, මේ ‘දෝමනස්ස’ යි කියනු ලැබේ. මෙසේ මේ අභිධ්‍යාව ද මේ දොම්නස ද මේ කායසඞ්ඛ්‍යාත ලෝකයෙහි දුරු කරන ලද්දාහු වෙසෙසින් දුරු කරන ලද්දාහු සන්හුන්නාහු සන්හිඳුවන ලද්දාහු ව්‍යුපශම කරන ලද්දාහු නිරෝධසඞ්ඛ්‍යාත අස්තයට ගියාහු අතිශයින් අස්තයට ගියාහු නසන ලද්දාහු වෙසෙසින් නසන ලද්දාහු වියළන ලද්දාහු මොනොවට වියළන ලද්දාහු විගතාන්ත කරන ලද්දාහු වෙත්. එහෙයින් ‘විනෙය්‍ය ලෝකෙ අභිජ්ඣාදෝමනස්සං’ යි කියනු ලැබේ.
කායානුපස්සනා නිර්දේශ යි.
457. කිසෙයින් මහණ තමා පිළිබඳ වේදනාවන්හි වේදනානුදර්ශී ව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ (කායික වූ හෝ චෛතසික වූ හෝ) සුඛවේදනාව විඳිනුයේ ‘සුඛ වේදනාව විඳිමී’ දැනගනි, දුඃඛවේදනාව විඳිනුයේ ‘දුඃඛවේදනාව විඳිමී’ දැනගනි, උපේක්‍ෂා වේදනාව විඳිනුයේ ‘උපේක්‍ෂාවේදනාව විඳිමී’ දැනගනි, සාමිස (පඤ්චකාමගුණ නිශ්‍රිත) වූ හෝ සුඛවේදනාව විඳිනුයේ ‘සාමිසසුඛවේදනාව විඳිමී’ දැනගනි, නිරාමිස වූ හෝ සුඛවේදනාව විඳිනුයේ ‘නිරාමිසසුඛවේදනාව විඳිමී’ දැනගනි, සාමිස වූ හෝ දුඃඛවේදනාව විඳිනුයේ ‘සාමිසදුඃඛවේදනාව විඳිමී’ දැනගනි, නිරාමිස වූ හෝ දුඃඛවේදනාව විඳිනුයේ ‘නිරාමිසදුඃඛවේදනාව විඳිමී’ දැනගනි, සාමිස වූ හෝ අදුක්ඛමසුඛවේදනාව විඳිනුයේ ‘සාමිසඅදුක්ඛමසුඛවේදනාව විඳිමී’ දැනගනි, නිරාමිස වූ හෝ අදුක්ඛමසුඛවේදනාව විඳිනුයේ ‘නිරාමිස වූ අදුක්ඛමසුඛ වේදනාව විඳිමී’ දැනගනි. හෙතෙම ඒ වේදනා නිමිත්ත ආසේවන කෙරෙයි, වඩයි, බහුල කෙරෙයි, මොනොවට නිශ්චය කෙරෙයි. හෙතෙම ඒ නිමිත්ත ආසේවන, භාවන, බහුලීකරණය කොට මැනැවින් නිශ්චය කොට මෙරමා පිළිබඳ වේදනාවන්හි සිත එළවයි.
කිසෙයින් මහණ මෙරමා පිළිබඳ වේදනාවන්හි වේදනානුදර්ශී ව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙමෙ සුඛවේදනාව විඳින්නහු ‘සුඛ වේදනාව විඳී’ යයි දැනගනි, දුඃඛවේදනාව විඳින්නහු ‘දුඃඛවේදනාව විඳී’ යයි දැනගනි, අදුක්ඛමසුඛවේදනාව විඳින්නහු ‘අදුක්ඛමසුවේදනාව විඳී’ යයි දැනගනි, සාමිස වූ හෝ සුඛවේදනාව විඳින්නහු ‘සාමිසසුඛවේදනාව විඳී’ යයි දැනගනි, නිරාමිස වූ හෝ සුඛවේදනාව විඳින්නහු ‘නිරාමිසසුඛ වේදනාව විඳී’ යයි දැනගනි, සාමිස වූ හෝ දුඃඛවේදනාව විඳින්නහු ‘සාමිසදුඃඛවේදනාව විඳී’ යයි දැනගනි, නිරාමිස වූ හෝ දුඃඛවේදනාව විඳින්නහු ‘නිරාමිසදුඃඛවේදනාව විඳී’ යයි දැනගනි, සාමිස වූ හෝ අදුක්ඛමසුඛවේදනාව විඳින්නහු ‘සාමිස වූ අදුක්ඛමසුඛවේදනාව විඳී’ යයි දැනගනි, නිරාමිස වූ හෝ අදුක්ඛමසුඛවේදනාව විඳින්නහු ‘නිරාමිසඅදුක්ඛමසුඛවේදනාව විඳී’ යයි දැනගනි. හෙතෙම ඒ (වේදනා) නිමිත්ත සේවනය කෙරෙයි, වඩයි, පුනපුනා වඩයි, මොනොවට නිශ්චය කෙරෙයි. හෙතෙම ඒ නිමිත්ත සේවනය කොට වඩා පුනපුනා වඩා මැනැවින් නිශ්චය කොට තමාගේ ද මෙරමාගේ ද වේදනාවන්හි සිත එළවයි.
කිසෙයින් මහණ අජ්ඣත්තබහිද්ධා වේදනාවන්හි වේදනානුදර්ශී ව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම සුඛවේදනාව ‘සුඛවේදනා’ යි දැනගනි, දුඃඛවේදනාව ‘දුඃඛවේදනා’ යි දැනගනි, අදුක්ඛමසුඛවේදනාව ‘අදුක්ඛමසුවේදනා’ යි දැනගනි, සාමිස වූ හෝ සුඛවේදනාව ‘සාමිසසුඛවේදනා’ යි දැනගනි, නිරාමිස වූ හෝ සුඛවේදනාව ‘නිරාමිසසුඛ වේදනාව’ යි දැනගනි, සාමිස වූ හෝ දුඃඛවේදනාව ‘සාමිසදුඃඛවේදනා’ යි දැනගනි, නිරාමිස වූ හෝ දුඃඛවේදනාව ‘නිරාමිසදුඃඛවේදනා’ යි දැනගනි, සාමිස වූ හෝ අදුක්ඛමසුඛවේදනාව ‘සාමිස වූ අදුක්ඛමසුඛවෙදනා’ යි දැනගනි, නිරාමිස වූ හෝ අදුක්ඛමසුඛවේදනාව ‘නිරාමිසඅදුක්ඛමසුඛවේදනාව’ යයි දැනගනි. මෙසේ මහණ තෙම කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ ස්මෘතිමත් වූයේ වේදනා සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට තමාගේ ද මෙරමාගේ ද වේදනාවන්හි වේදනානුදර්ශී ව වෙසේ.
458. අනුපස්සී යනු: … විහරති යනු: … ආතාපී යනු: … සම්පජානෝ යනු: … සතිමා යනු: … විනෙය්‍ය ලෝකෙ අභිජ්ඣාදෝමනස්සං යනු: එහි ලෝකය කවර යත්: ඒ වේදනාව ම ලෝක නමි. පඤ්චෝපාදානස්කන්‍ධයෝ ද ලෝක නමි. මේ ‘ලෝක’ යි කියනු ලැබේ.
එහි ‘අභිධ්‍යා’ කවර යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අභිධ්‍යා’ යි කියනු ලැබේ. එහි ‘දෝමනස්ස’ කවරෙ යත්: යම් චෛතසික වූ අසාතයෙක් චෛතසික වූ දුඃඛයෙක් චේතෝසම්ඵස්සජ අසාතදුඃඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සජ අසාතදුඃඛවේදනායෙක් වේ ද, මේ ‘දෝමනස්ස’ යි කියනු ලැබේ. මෙසේ මේ අභිධ්‍යාව ද මේ දොම්නස ද මේ වේදනා ලෝකයෙහි බැහැර කරන ලද්දාහු වෙසෙසින් බැහැර කරන ලද්දාහු සන්හිඳුනාහු සන්හිඳුවන ලද්දාහු ව්‍යුපශම කරන ලද්දාහු නිරෝධ සඞ්ඛ්‍යාත අස්තයට ගියාහු අතිශයින් අස්තයට ගියාහු නසන ලද්දාහු වෙසෙසින් නසන ලද්දාහු වියළන ලද්දාහු වෙසෙසින් වියළන ලද්දාහු විගතාන්ත කරන ලද්දාහු වෙත්. එහෙයින් ‘විනෙය්‍ය ලෝකෙ අභිජ්ඣා දෝමනස්සං’ යි කියනු ලැබේ.
වේදනානුපස්සනා නිර්දේශ යි.
459. කිසෙයින් මහණ තමාගේ චිත්තයෙහි චිත්තානුදර්ශී ව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම රාග සහිත වූ හෝ චිත්තය ‘මාගේ චිත්තය රාග සහිත ය’ යි දැනගනි. වීතරාග වූ හෝ සිත ‘මාගේ සිත වීතරාග ය’ යි දැනගනි, සදෝස වූ හෝ සිත ‘මාගේ සිත සදෝස ය’ යි දැනගනි, වීතදෝස වූ හෝ සිත ‘මාගේ සිත වීතදෝස ය’ යි දැනගනි, මෝහ සහිත වූ හෝ සිත ‘මාගේ සිත මෝහ සහිත ය’ යි දැනගනි, විගතමෝහ වූ හෝ සිත ‘මාගේ සිත වීතමෝහ ය’ යි දැනගනි, (ථීනමිද්ධ වශයෙන්) හැකුළුණු හෝ සිත ‘මාගේ සිත හැකිළිණැ’ යි දැනගනි, (උද්ධච්ච වශයෙන්) විසුරුණ වූ හෝ සිත ‘මාගේ සිත විසිරිණැ’ යි දැනගනි, මහද්ගත වූ හෝ සිත ‘මාගේ සිත මහද්ගත ය’ යි දැනගනි, අමහද්ගත වූ හෝ සිත ‘මාගේ සිත අමහද්ගත ය’ යි දැනගනි, සඋත්තර වූ හෝ සිත ‘මාගේ සිත සඋත්තර ය’ යි දැනගනි, අනුත්තර වූ හෝ සිත ‘මාගේ සිත අනුත්තර ය’ යි දැනගනි, සමාධියට පැමිණියා වූ හෝ සිත ‘මාගේ සිත සමාහිත ය’ යි දැනගනි, අසමාහිත වූ හෝ සිත ‘මාගේ සිත අසමාහිත ය’ යි දැනගනි, (තදඞ්ග විෂ්කම්භණ විසින්) විමුක්ත හෝ සිත ‘මාගේ සිත විමුක්ත ය’ යි දැනගනි, අවිමුක්ත හෝ සිත ‘මාගේ සිත අවිමුක්ත ය’ යි දැනගනි. හෙතෙම ඒ (භාවනා) නිමිත්ත ආසේවනය කෙරෙයි, භාවනා කෙරෙයි, පුනපුනා වඩයි, මොනොවට නිශ්චය කෙරෙයි. හෙතෙම ඒ නිමිත්ත ආසේවනය කොට භාවනා කොට පුනපුනා වඩා මැනැවින් නිශ්චය කොට මෙරමාගේ සිත්හි (තමාගේ) සිත එළවයි.
කිසෙයින් මහණ මෙරමාගේ චිත්තයෙහි චිත්තානුදර්ශී ව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම සරාග වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත සරාග’ යයි දැනගනි. වීතරාග වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත වීතරාග’ යයි දැනගනි, සදෝස වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත සදෝස’ යයි දැනගනි, වීතදෝස වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත වීතදෝස ’ යයි දැනගනි, සමෝහ වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත සමෝහ’ යයි දැනගනි, වීතමෝහ වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත වීතමෝහ’ යයි දැනගනි, සංක්‍ෂිප්ත වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත සංක්‍ෂිප්ත’ යයි දැනගනි, වික්‍ෂිප්ත වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත වික්‍ෂිප්ත’ යයි දැනගනි, මහද්ගත වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත මහද්ගත’ යයි දැනගනි, අමහද්ගත වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත අමහද්ගත’ යයි දැනගනි, සඋත්තර වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත සඋත්තර’ යයි දැනගනි, අනුත්තර වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත අනුත්තර’ යයි දැනගනි, සමාහිත වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත සමාහිත’ යයි දැනගනි, අසමාහිත වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත අසමාහිත’ යයි දැනගනි, විමුක්ත වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත විමුක්ත’ යයි දැනගනි, අවිමුක්ත වූ හෝ ඔහුගේ සිත ‘ඔහුගේ සිත අවිමුක්ත ය’ යයි දැනගනි. හෙතෙම ඒ නිමිත්ත ආසේවනය කෙරෙයි, භාවනා කෙරෙයි, පුනපුනා වඩයි, මොනොවට නිශ්චය කෙරෙයි. හෙතෙම ඒ නිමිත්ත ආසේවනය කොට භාවනා කොට බහුල කොට මැනැවින් නිශ්චය කොට අධ්‍යාත්මබාහිරචිත්තයෙහි සිත එළවයි.
කිසෙයින් මහණ කලෙකැ තමාගේ ද කලෙකැ මෙරමාගේ ද සිත්හි චිත්තානුදර්ශී ව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ සරාග වූ හෝ සිත ‘සරාගසිතැ’ යි දැනගනි. වීතරාග වූ හෝ සිත ‘වීතරාග සිතැ’ යි දැනගනි, සදෝස වූ හෝ සිත ‘සදෝස සිත’ යි දැනගනි, වීතදෝස වූ හෝ සිත ‘වීතදෝස සිතැ’ යි දැනගනි, සමෝහ වූ හෝ සිත ‘සමෝහ සිතැ’ යි දැනගනි, වීතමෝහ වූ හෝ සිත ‘වීතමෝහ සිතැ’ යි දැනගනි, හැකුළුණු හෝ සිත ‘හැකුළුණු සිතැ’ යි දැනගනි, විසුරුණු හෝ සිත ‘විසිරුණු සිතැ’ යි දැනගනි, මහද්ගත වූ හෝ සිත ‘මහද්ගත සිතැ’ යි දැනගනි, මහද්ගත නො වූ හෝ සිත ‘මහද්ගත නො වූ සිතැ’ යි දැනගනි, සඋත්තර වූ හෝ සිත ‘සඋත්තර සිතැ’ යි දැනගනි, අනුත්තර වූ හෝ සිත ‘අනුත්තර සිතැ’ යි දැනගනි, සමාහිත වූ හෝ සිත ‘සමාහිත සිතැ’ යි දැනගනි, අසමාහිත වූ හෝ සිත ‘අසමාහිත සිතැ’ යි දැනගනි, විමුක්ත වූ හෝ සිත ‘විමුක්ත සිතැ’ යයි දැනගනි, අවිමුක්ත වූ හෝ සිත ‘අවිමුක්ත සිතැ’ යයි දැනගනි. මෙසෙයින් මහණ කෙලෙස් තවන වැර ඇති ව සම්‍යග්ඥාන වැ සිහි ඇති ව චිත්ත සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට තමාගේ හා මෙරමාගේ සිත්හි සිත අනුව නුවණින් බලමින් වෙසේ.
460. අනුපස්සී යනු: .... විහරති යනු: ... ආතාපී යනු: ... සම්පජානෝ යනු: ... සතිමා යනු: ... විනෙය්‍ය ලෝකෙ අභිජ්ඣාදෝමනස්සං යනු: එහි ලෝක කවරෙ යත්: එ ම චිත්තය ‘ලෝක’ වෙයි. පඤ්චෝපාදානස්කන්‍ධයෝ ම ලෝක යි.
එහි ‘අභිධ්‍යා ’ කවර යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් ... චිත්තයාගේ ඇල්මෙක් වේ ද, මේ ‘අභිධ්‍යා’ යි කියනු ලැබේ.
එහි ‘දෝමනස්ස’ කවරෙ යත්: යම් චෛතසික අසාතයෙක් චෛතසික දුඃඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාත – දුඃඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාත – දුඃඛවේදනාවක් වේ ද, මේ ‘දෝමනස්ස’ යි කියනු ලැබේ. මෙසේ මේ අභිධ්‍යාව ද මේ දොම්නස ද මේ චිත්ත සඞ්ඛ්‍යාත ලෝකයෙහි බැහැර කරන ලද්දාහු වෙසෙසින් බැහැර කරන ලද්දාහු සන්හිඳුණාහු සන්හිඳුවන ලද්දාහු ව්‍යුපශම කරන ලද්දාහු නිරෝධ සඞ්ඛ්‍යාත අස්තයට ගියාහු අතිශයින් අස්තයට ගියාහු නසන ලද්දාහු වෙසෙසින් නසන ලද්දාහු වියළන ලද්දාහු වෙසෙසින් වියළන ලද්දාහු විගතාන්ත කරන ලද්දාහු වෙත්. එහෙයින් ‘විනෙය්‍ය ලෝකෙ අභිජ්ඣාදෝමනස්සං’ යි කියනු ලැබේ.
චිත්තානුපස්සනා නිර්දේශ යි.
461. කිසෙයින් මහණ තමාගේ (නීවරණාදි) ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී ව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ කාමච්ඡන්‍ද නීවරණය ‘මාගේ අධ්‍යාත්මයෙහි කාමච්ඡන්‍දනීවරණය ඇතැ’ යි දැනගනි. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ කාමච්ඡන්‍දය ‘මාගේ අධ්‍යාත්මයෙහි කාමච්ඡන්‍දය නැතැ’ යි දැනගනි. නූපන් කාමච්ඡන්‍දයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම්, එය ද දැනගනි. උපන් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණය යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනී. ප්‍රහීණ වූ කාමච්ඡන්‍දයාගේ මතු නො ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එකරුණ ද දැනගනි.
අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ව්‍යාපාද නීවරණය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ථීනමිද්ධනීවරණය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ උද්ධච්චකුක්කුච්ච නීවරණය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ විචිකිච්ඡානීවරණය ‘මාගේ අධ්‍යාත්මයෙහි විචිකිච්ඡානීවරණය ඇතැ’ යි දැනගනි. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ විචිකිච්ඡානීවරණය ‘මාගේ අධ්‍යාත්මයෙහි විචිකිච්ඡානීවරණය නැතැ’ යි දැනගනි. නූපන් විචිකිච්ඡානීවරණයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එ කරුණ ද දැනගනි. උපන් විචිකිච්ඡානීවරණයාගේ ප්‍රහාණය යම් කරුණෙකින් වේ නම් එ කරුණ ද දැනගනි. ප්‍රහීණ වූ විචිකිච්ඡානීවරණයාගේ මතු නො ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එ කරුණ ද දැනගනී.
462. අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ‘මාගේ අධ්‍යාත්මයෙහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ඇතැ’ යි දැනගනි. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ‘මාගේ අධ්‍යාත්මයෙහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය නැතැ’ යි දැනගනි. නූපන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ උත්පාදය, යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. උපන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණ වීම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි.
අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය . . අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ සමාධිසම්බෝධ්‍යඞ්ගය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ‘මාගේ අධ්‍යාත්මයෙහි උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය ඇතැ’ යි දැනගනි. අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය ‘මාගේ අධ්‍යාත්මයෙහි උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය නැතැ’ යි දැනගනි. නූපන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. උපන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණ වීම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. හෙතෙම ඒ ධර්‍මනිමිත්ත ආසේවනය කෙරෙයි, භාවනා කෙරෙයි, බහුල කෙරෙයි, මොනොවට නිශ්චය කෙරේ. හෙතෙම ඒ නිමිත්ත ආසේවනය කොට භාවනා කොට පුනපුනා වඩා මැනැවින් නිශ්චය කොට බාහිරධර්‍මයන්හි සිත එළවයි.
463. කිසෙයින් මහණ මෙරමාගේ (නීවරණාදී) ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම විද්‍යමාන වූ හෝ ඔහුගේ කාමච්ඡන්‍දය ‘ඔහුගේ කාමච්ඡන්‍දය ඇතැ’ යි දැනගනි. අවිද්‍යමාන වූ හෝ ඔහුගේ කාමච්ඡන්‍දය ‘ඔහුගේ කාමච්ඡන්‍දය නැතැ’ යි දැනගනි. නූපන් කාමච්ඡන්‍දයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එ කරුණ ද දැනගනි. උපන් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණය යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනී. ප්‍රහීණ වූ කාමච්ඡන්‍දයාගේ මතු නො ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි.
විද්‍යමාන වූ හෝ ඔහුගේ ව්‍යාපාදනීවරණය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ ථීනමිද්ධ නීවරණය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ උද්ධච්චකුක්කුච්චනීවරණය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ විචිකිච්ඡානීවරණය ‘ඔහුගේ විචිකිච්ඡානීවරණය ඇතැ’ යි දැනගනි. අවිද්‍යාමාන වූ හෝ ඔහුගේ විචිකිච්ඡානීවරණය ‘ඔහුගේ විචිකිච්ඡානීවරණය නැතැ’යි දැනගනී. නූපන් විචිකිත්සාවගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනී. උපන් විචිකිත්සාවගේ ප්‍රහාණය යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. ප්‍රහීණ විචිකිත්සාවගේ මතු නො ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනී.
විද්‍යමාන වූ හෝ ඔහුගේ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ‘ඔහුගේ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ඇතැ’ යි දැනගනි. අවිද්‍යමාන වූ හෝ ඔහුගේ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ‘ඔහුගේ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය නැතැ’ යි දැනගනි. නූපන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. උපන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණ වීම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. විද්‍යමාන වූ හෝ ඔහුගේ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ සමාධිසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ ඔහුගේ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය ‘ඔහුගේ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ඇතැ’ යි දැනගනි. අවිද්‍යමාන වූ හෝ ඔහුගේ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය‘ඔහුගේ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය නැතැ’ යි දැනගනි. නූපන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. උපන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණ වීම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි, හෙතෙම ඒ ධර්‍මනිමිත්ත ආසේවනය කෙරෙයි, භාවනා කෙරෙයි, පුනපුනා වඩයි, මොනොවට නිශ්චය කෙරේ. හෙතෙම ඒ නිමිත්ත ආසේවනය කොට භාවනා කොට පුනපුනා වඩා මැනැවින් නිශ්චය කොට තමාගේ හා මෙරමාගේ (නීවරණාදි) ධර්‍මයන්හි සිත එළවයි.
464. කිසෙයින් මහණ කලෙකැ තමාගේ ද කලෙකැ මෙරමාගේ ද (නීවරණාදි) ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී ව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම විද්‍යමාන වූ හෝ කාමච්ඡන්‍දය ‘කාමච්ඡන්‍දය ඇතැ’ යි දැනගනි. අවිද්‍යමාන වූ හෝ කාමච්ඡන්‍දය ‘කාමච්ඡන්‍දය නැතැ’ යි දැනගනි. නූපන් කාමච්ඡන්‍දයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. උපන් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණය යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. ප්‍රහීණ වූ කාමච්ඡන්‍දයාගේ මතු නො ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි.
විද්‍යමාන වූ හෝ ව්‍යාපාදය ... විද්‍යමාන වූ හෝ ථීනමිද්ධය ... විද්‍යමාන වූ හෝ උද්ධච්චකුක්කුච්චය ... විද්‍යමාන වූ හෝ විචිකිත්සාව ‘විචිකිත්සාව ඇතැ’ යි දැනගනි. අවිද්‍යමාන වූ හෝ විචිකිත්සාව ‘විචිකිත්සාව නැතැ’ යි දැනගනි. නූපන් විචිකිත්සාවගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. උපන් විචිකිත්සාවගේ ප්‍රහාණය යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. ප්‍රහීණ වූ විචිකිත්සාවගේ මතු නො ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි.
465. විද්‍යමාන වූ හෝ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ඇතැ’ යි දැනගනි. අවිද්‍යමාන වූ හෝ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ගය නැතැ’ යි දැනගනි. නූපන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. උපන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණ වීම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි.
විද්‍යමාන වූ හෝ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ සමාධිසම්බෝධ්‍යඞ්ගය ... විද්‍යමාන වූ හෝ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ‘උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ඇතැ’ යි දැනගනි. අවිද්‍යමාන වූ හෝ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ‘උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය නැතැ’ යි දැනගනි. නූපන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයාගේ ඉපැද්ම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. උපන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයාගේ භාවනායෙන් පරිපූර්‍ණ වීම යම් කරුණෙකින් වේ නම් එය ද දැනගනි. මෙසෙයින් මහණ තෙම කෙලෙස් තවන වැර ඇති ව සම්‍යග්ඥාන ඇති ව සිහි ඇති ව ධර්‍ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට තමාගේ හා මෙරමාගේ (නීවරණාදි) ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී ව වෙසේ.
466. ‘අනුපස්සී’ යනු: එහි ‘අනුපස්සනා’ කවර යත්: යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දාෂ්ටියක් වේ ද, මේ ‘අනුපස්සනා’ යි කියනු ලැබේ. මේ අනුපස්සනායෙන් යුක්ත වූයේ සමුපේත වූයේ එළඹසිටියේ මොනොවට එළඹසිටියේ නො වෙන් වූයේ පිරිපුන් වූයේ සමන්‍විත වූයේ වේ. එහෙයින් ‘අනුපස්සී’ යි කියනු ලැබේ.
‘විහරති’ යනු: ඉරියවු පවත්වයි, ඉරියවු උපදවයි, ඉරියවු රකියි, යපනය කෙරෙයි, යාපනය කෙරෙයි, හැසිරෙයි, වෙසෙයි. එහෙයින් ‘විහරති’ යි කියනු ලැබේ.
‘ආතාපී’ යනු: එහි ‘ආතප්ප’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘ආතප්ප’ යි කියනු ලැබේ. මේ ආතප්පයෙන් යුක්ත වූයේ ... සමන්‍වාගත වූයේ වෙයි. එහෙයින් ‘ආතාපී’ යි කියනු ලැබේ.
‘සම්පජානෝ’ යනු: එහි ‘සම්පජඤ්ඤ’ කවරෙ යත්: යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්ෂ්ටියක් වේ ද, මේ ‘සම්පජඤ්ඤ’ යි කියනු ලැබේ. මේ සම්පජඤ්ඤයෙන් යුක්ත වූයේ සමුපේත වූයේ ... සමන්‍වාගත වූයේ වෙයි. එහෙයින් ‘සම්පජාන’ යි කියනු ලැබේ.
‘සතිමා’ යනු: එහි ‘සති’ කවර යත්: යම් ස්මෘතියක් අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක් වේ ද, මේ ‘සති ’ යි කියනු ලැබේ. මේ සතියෙන් යුක්ත වූයේ සමුපේත වූයේ ... සමන්‍වාගත වූයේ වෙයි. එහෙයින් ‘සතිමා’ යි කියනු ලැබේ.
‘විනෙය්‍ය ලෝකෙ අභිජ්ඣාදෝමනස්සං’ යනු: එහි ‘ලෝක’ කවරෙ යත්: එම ධර්‍මයෝ ‘ලෝක ’ ය, පඤ්චෝපාදානස්කන්‍ධයෝ ම ලෝක යි. මේ ‘ලෝක’ යි කියනු ලැබේ.
එහි ‘අභිජ්ඣා’ කවර යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් ... චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අභිධ්‍යා’ යි කියනු ලැබේ.
එහි ‘දෝමනස්ස’ කවරෙ යත්: යම් චෛතසික වූ අසාතයෙක් චෛතසික වූ දුඃඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාතදුඃඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාතදුඃඛවේදනාවක් වේ ද, මේ ‘දෝමනස්ස’ යි කියනු ලැබේ. මෙසේ මේ අභිධ්‍යාව ද මේ දොම්නස ද මේ ධර්‍ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි දුරු කරන ලද්දාහු වෙසෙසින් දුරු කරන ලද්දාහු සන්හුන්නාහු සන්හිඳුවන ලද්දාහු ව්‍යුපශම කරන ලද්දාහු නිරෝධ සඞ්ඛ්‍යාත අස්තයට ගියාහු වෙසෙසින් අස්තයට ගියාහු නසන ලද්දාහු වෙසෙසින් නසන ලද්දාහු වියළන ලද්දාහු මොනොවට වියළන ලද්දාහු විගතාන්ත කරන ලද්දාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘විනෙය්‍ය ලෝකෙ අභිජ්ඣාදෝමනස්සං’ යි.
ධම්මානුපස්සනා නිර්දේශ යි.
සූත්‍රාන්තභාජනිය යි.
467. ස්මෘතිප්‍රස්ථානයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ තෙම (රූප) කයෙහි කය අනුව බලමින් වෙසෙයි, වේදනාවන්හි වේදනා අනුව බලමින් වෙසෙයි, සිතෙහි සිත අනුව බලමින් වෙසෙයි, (නීවරණාදි) ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසේ.
468. කිසෙයින් මහණ තෙම කයෙහි කය අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කයෙහි කය අනුව බලමින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක් ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිප්‍රස්ථාන’ යි කියනු ලැබේ. අවශේෂ ධර්‍මයෝ ‘ස්මෘතිප්‍රස්ථානසම්ප්‍රයුක්තයෝ’ යි.
469. කිසෙයින් මහණ තෙම වේදනාවන්හි වේදනා අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණිකවූ අපචයගාමීවූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, වේදනාවන්හි වේදනා අනුව බලමින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක් ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිප්‍රස්ථාන’ යි කියනු ලැබේ. අවශේෂ ධර්‍මයෝ ‘ස්මෘතිප්‍රස්ථානසම්ප්‍රයුක්තයෝ’ යි.
470. කිසෙයින් මහණ තෙම සිතෙහි සිත අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, සිතෙහි සිත අනුව බලමින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිප්‍රස්ථාන’ යි කියනු ලැබේ. අවශේෂ ධර්‍මයෝ ස්මෘතිප්‍රස්ථානසම්ප්‍රයුක්තයෝ’ යි.
471. කිසෙයින් මහණ තෙම (නීවරණාදි) ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ග පර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිප්‍රස්ථාන’ යි කියනු ලැබේ. අවශේෂ ධර්‍මයෝ ‘ස්මෘති ප්‍රස්ථානසම්ප්‍රයුක්තයෝ’ යි.
472. එහි ‘ස්මෘතිප්‍රස්ථාන’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී ව කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිප්‍රස්ථාන’ යි කියනු ලැබේ. අවශේෂ ධර්‍මයෝ ස්මෘතිප්‍රස්ථානසම්ප්‍රයුක්තයෝ යි.
473. සතිපට්ඨානයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ තෙම කයෙහි කය අනුව බලමින් වෙසෙයි, වේදනාවන්හි ... චිත්තයෙහි ... ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසේ.
474. කිසෙයින් මහණ කයෙහි කය අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කයෙහි කය අනුව බලමින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ශුන්‍යත වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක් ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සතිපට්ඨාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සතිපට්ඨානසම්ප්‍රයුක්තයෝ යි.
475. කිසෙයින් මහණ වේදනාවන්හි වේදනා අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් වේදනාවන්හි වේදනා අනුව බලමින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ශුන්‍යත වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සතිපට්ඨාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ‘සතිපට්ඨානසම්ප්‍රයුක්තයෝ’ යි.
476. කිසෙයින් මහණ සිතෙහි සිත අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ බැවින් වැඩූ බැවින් සිතෙහි සිත අනුව බලමින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ශුන්‍යත වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සමාධ්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සතිපට්ඨාන’ යි කියනු ලැබේ. අවශේෂ ධර්‍මයෝ ‘සතිපට්ඨානසම්ප්‍රයුක්තයෝ’ යි.
477. කිසෙයින් මහණ ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩූ බැවින් ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ශුන්‍යත වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සතිපට්ඨාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ‘සතිපට්ඨානසම්ප්‍රයුක්තයෝ’ යි.
478. එහි ‘සතිපට්ඨාන’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධ - අභිඥාඇති ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩූ බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධ අභිඥා ඇති ශුන්‍යත වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සතිපට්ඨාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ‘සතිපට්ඨානසම්ප්‍රයුත්තයෝ’ යි.
අභිධර්‍මභාජනිය යි.
479. ස්මෘතිප්‍රස්ථානයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇති ව සම්‍යග්ඥාන ඇති ව සිහි ඇති ව කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට කයෙහි කය අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වැර ඇති ව සම්‍යග්ඥාන ඇති ව සිහි ඇති ව වේදනා සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට වේදනාවන්හි වේදනා අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වැර ඇති ව සම්‍යග්ඥාන ඇති ව සිහි ඇති ව චිත්ත සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට සිතෙහි සිත අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වැර ඇති ව සම්‍යග්ඥාන ඇති ව සිහි ඇති ව ධර්‍ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වෙසේ.
480. සතර සතිපට්ඨානයන් අතුරෙහි කෙතෙක් කුශලයෝ ද කෙතෙක් අකුශලයෝ ද කෙතෙක් අව්‍යාකෘතයෝ ද ... කෙතෙක් සරණයෝ ද කෙතෙක් අරණයෝ ද යත්:
481. (සතර සතිපට්ඨානයෝ) කුසල් ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහු ය.
සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහු ය.
විපාක ද වන්නාහ, විපාකස්වභාවධර්‍ම ද වන්නාහු ය.
අනුපාදින්නෝපාදානියහ.
අසංක්ලිෂ්ටඅසාංක්ලේශිකයහ.
සවිතර්‍කසවිචාර ද වන්නාහ, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නාහ, අවිතර්‍කඅවිචාර ද වන්නාහු ය.
ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත ද වන්නාහු ය.
නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හ.
නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියහ.
අපචයගාමී ද වන්නාහ, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු ය.
ශෛක්‍ෂ ද වන්නාහ, අශෛක්‍ෂ ද වන්නාහු ය.
අප්‍රමාණයහ.
අප්‍රමාණාලම්බනයහ.
ප්‍රණීතයහ.
සම්‍යක්ත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
මාර්‍ගාලම්බනයෝ නො වෙති, මාර්‍ගහේතුක ද වන්නාහ, මාර්‍ගාධිපති ද වන්නාහ, මාර්‍ගහේතුකහ යි ද මාර්‍ගාධිපති යි ද නො කියයුතු ද වන්නාහු ය.
උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහු ය.
අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කිය යුත්තාහ.
අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.
බාහිරාලම්බනයහ.
අනිදර්‍ශනඅප්‍රතිඝයහ.
482. හේතූහු නො වෙති.
සහේතුකයහ.
හේතුසම්ප්‍රයුක්තයහ.
හේතු ද වූ ම සහේතුකහ යි ද නො කියයුත්තාහ,
සහේතුක ද වූවාහු ම නො ද හේතූහු වෙති.
හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තහ යි ද නො කියයුත්තාහ, හේතුසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතූහු වෙති.