සතළොස් ධාතූහු චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ නො වෙති. ධර්‍මධාතුව චිත්ත සංසෘෂ්ටසමුත්‍ථාන ද වන්නේ ය, චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නොද වන්නේ යි.
සතළොස් ධාතූහු චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වෙති. ධර්‍මධාතුව චිත්ත සංසෘෂ්ටසමුත්‍ථානසහභූ ද වන්නේ ය, චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නොද වන්නේ යි.
සතළොස් ධාතූහු චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී නො වෙති. ධර්‍මධාතුව චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්ති ද වන්නේ ය, චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්ති නොද වන්නේ යි.
ධාතූහු දොළොස් දෙනෙක් ආධ්‍යාත්මිකයෝ. ධාතූහු ස දෙනෙක් බාහිරයෝ යි.
ධාතූහු නව දෙනෙක් උපාදා වෙති. ධාතූහු අට දෙනෙක් උපාදා නො වෙති. ධර්‍ම ධාතුව උපාදා ද වන්නේ ය, උපාදා නොද වන්නේ යි.
ධාතූහු දශ දෙනෙක් උපාදින්නයෝ ය. ශබ්දධාතුව අනුපාදින්න ය. ධාතූහු සත් දෙනෙක් උපාදින්න ද වන්නාහ, අනුපාදින්න ද වන්නාහු යි.
277. සතළොස් ධාතූහු උපාදානයෝ නො වෙති. ධර්‍මධාතුව උපාදාන ද වන්නේ ය, උපාදාන නො ද වන්නේ යි.
සොළොස් ධාතූහු උපාදානිය වෙති. ධාතූහු දෙදෙනෙක් උපාදානිය ද වන්නාහ, අනුපාදානිය ද වන්නාහු යි.
සොළොස් ධාතූහු උපාදානවිප්‍රයුක්තයෝ ය. ධාතූහු දෙදෙනෙක් උපාදානසම්ප්‍රයුක්ත ද වන්නාහ, උපාදානවිප්‍රයුක්ත ද වන්නාහු යි.
ධාතූහු සොළොස් දෙනෙක් උපාදාන ද වූ ම උපාදානිය වෙති යි නො කියයුත්තාහ, උපාදානිය ද වූවාහු ම නොද උපාදානයෝ වෙති. මනෝවිඥානධාතුව උපාදාන ද වූයේ ම උපාදානිය යි නො කියයුත්තේ ය. උපාදානිය ද වූයේ ම උපාදාන ද වන්නේ ය. උපාදානිය ද වූයේ ම නොද උපාදානයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව උපාදාන ද වූයේ ම උපාදානිය ද වන්නේ ය, උපාදානිය ද වූයේ ම නොද උපාදානයෙක් වන්නේ ය, උපාදානෙයක් ද වූයේ ම උපාදානිය යි ද උපාදානිය ද වූයේ ම නොද උපාදානයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සොළොස් ධාතූහු උපාදාන ද වූවාහු ම උපාදානසම්ප්‍රයුක්තහ යි ද උපාදානසම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද උපාදානහ යි ද නො කියයුත්තාහ. මනෝවිඥානධාතුව උපාදානයෙක් ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත යැ යි නො කියයුත්තේ ය, උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම උපාදානයෙක් නොද වන්නේ ය, උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද උපාදානයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව උපාදානයෙක් ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත ද වන්නේ ය, උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද උපාදානයෙක් ද වන්නේ ය, උපාදානයෙක් ද වූයේ ම උපාදානසම්ප්‍රයුක්ත යි ද උපාදානසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද උපාදාන යි ද නො කියයුතු වන්නේ යි.
සොළොස් ධාතූහු උපාදානවිප්‍රයුක්තඋපාදානිය වෙති. ධාතූහු දෙ දෙනෙක් උපාදාන විප්‍රයුක්තඋපාදානිය ද වන්නාහ, උපාදානවිප්‍රයුක්තඅනුපාදානිය ද වන්නාහ, උපාදානවිප්‍රයුක්ත උපාදානිය යි ද නො කියයුතු වන්නාහු යි.
278. සතළොස් ධාතූහු ක්ලේශයෝ නො වෙති. ධර්‍මධාතුව ක්ලේශ ද වන්නේ ය, ක්ලේශ නොද වන්නේ යි.
සොළොස් ධාතූහු සාංක්ලේශිකයෝ ය. ධාතූහු දෙදෙනෙක් සාංක්ලේශික ද වන්නාහ, අසාංක්ලේශික ද වන්නාහු යි.
සොළොස් ධාතූහු අසංක්ලිෂ්ටයෝ ය. ධාතූහු දෙදෙනෙක් සංක්ලිෂ්ට ද වන්නාහ, අසංක්ලිෂ්ට ද වන්නාහු යි.
සොළොස් ධාතූහු ක්ලේශවිප්‍රයුක්තයෝ ය. ධාතූහු දෙදෙනෙක් ක්ලේශ සම්ප්‍රයුක්ත ද වන්නාහ, ක්ලේශවිප්‍රයුක්ත ද වන්නාහු යි.
සොළොස් ධාතූහු ක්ලේශ ද වූ ම සාංක්ලේශිකයෝ යි නො කියයුත්තාහ, සාංක්ලේශික ද වූවාහු ම නොද ක්ලේශයෝ වෙති. මනෝවිඥානධාතුව ක්ලේශයෙක් ද වූයේ ම සාංක්ලේශික යි නො කියයුත්තේ ය, සාංක්ලේශික ද වූයේ ම ක්ලේශයෙක් නොද වන්නේ ය. සාංක්ලේශික ද වූයේ ම නොද ක්ලේශයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව ක්ලේශයෙක් ද වූයේ ම සාංක්ලේශික ද වන්නේ ය, සාංක්ලේශික ද වූයේ ම ක්ලේශයෙක් නොද වන්නේ ය. ක්ලේශයෙක් ද වූ ම සාංක්ලේශික යි ද සාංක්ලේශික ද වූයේ ම නොද ක්ලේශ යි ද නො කියයුතු වන්නේ යි.
සොළොස් ධාතූහු ක්ලේශ ද වූ ම සංක්ලිෂ්ටහ යි ද සංක්ලිෂ්ට ද වූවාහු ම නොද ක්ලේශහ යි ද නො කියයුත්තාහ. මනෝවිඥානධාතුව ක්ලේශයෙක් ද වූ ම සංක්ලිෂ්ටයෙකැ යි නො කියයුත්තේ ය. සංක්ලිෂ්ට ද වූයේ ම නොද ක්ලේශ ද වන්නේ ය. සංක්ලිෂ්ට ද වූයේ ම නොද ක්ලේශයි ද නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව ක්ලේශයෙක් ද වූයේ ම සංක්ලිෂ්ට ද වන්නේ ය. සංක්ලිෂ්ට ද වූයේ ම නොද ක්ලේශයෙක් ද වන්නේ ය. ක්ලේශයෙක් ද වූ ම සංක්ලිෂ්ටයෙකැ යි ද සංක්ලිෂ්ට ද වූයේ ම නොද ක්ලේශයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සොළොස් ධාතූහු ක්ලේශ ද වූ ම ක්ලේශසම්ප්‍රයුක්තහ යි ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද ක්ලේශහ යි ද නො කියයුත්තාහ. මනෝවිඥානධාතුව ක්ලේශ ද වූ ම ක්ලේශසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුත්තේ ය. ක්ලේශසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ක්ලේශයෙක් වෙයි. ක්ලේශසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ක්ලේශයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මධාතුව ක්ලේශයෙක් ද වූ ම ක්ලේශසම්ප්‍රයුක්ත ද වන්නේ ය. ක්ලේශසම්ප්‍රුයුක්ත ද වූයේ ම නොද ක්ලේශයෙක් ද වන්නේ ය. ක්ලේශයෙක් ද වූ ම ක්ලේශසම්ප්‍රයුක්තයෙකැ යි ද ක්ලේශසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ක්ලේශයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
සොළොස් ධාතූහු ක්ලේශවිප්‍රයුක්ත වූ සාංක්ලේශිකයෝ ය. ධාතූහු දෙ දෙනෙක් ක්ලේශවිප්‍රයුක්ත සාංක්ලේශික ද වන්නාහ. ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශික ද වන්නාහ. ක්ලේශවිප්‍රයුක්ත සාංක්ලේශිකහ’ යි ද, ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශිකහ’ යි ද නො කිය යුතු වන්නාහු ය.
279. සොළොස් ධාතූහු දර්‍ශනයෙන් ප්‍රහාණය නො කටයුත්තාහ. ධාතූහු දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාණය කටයුතු ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාණය නො කටයුතු ද වන්නාහු යි.
සොළොස් ධාතූහු භාවනායෙන් ප්‍රහාණය නො කටයුත්තාහ. ධාතූහු දෙ දෙනෙක් භාවනායෙන් ප්‍රහාණය කටයුතු ද වන්නාහ. භාවනායෙන් ප්‍රහාණය නො කටයුතු ද වන්නාහු යි.
සොළොස් ධාතූහු දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති. ධාතූහු දෙ දෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහ. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක නො ද වන්නාහු යි.
සොළොස් ධාතූහු භාවනායෙන් ප්‍රහාණය කටයුතු හේතු නැත්තාහ, ධාතූහු දෙ දෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක නො ද වන්නාහු යි.
පසළොස් ධාතු කෙනෙක් අවිතර්‍කයෝ ය, මනෝධාතුව සවිතර්‍ක ය. ධාතූහු දෙ දෙනෙක් සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු යි.
පසළොස් ධාතු කෙනෙක් අවිචාරයෝ ය. මනෝධාතුව සවිචාර ය. ධාතූහු දෙ දෙනෙක් සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු ය.
සොළොස් ධාතූහු අප්‍රීතිකයෝ ය. ධාතූහු දෙ දෙනෙක් සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
සොළොස් ධාතූහු ප්‍රීතිසහගතයෝ නො වෙති. ධාතූහු දෙ දෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නො ද වන්නාහු ය.
පසළොස් ධාතු කෙනෙක් සුඛසහගත නො වෙති. ධාතූහු තිදෙනෙක් සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු ය.
එකොළොස් ධාතු කෙනෙක් උපේක්‍ෂාසහගත නො වෙති. ධාතූහු පස් දෙනෙක් උපේක්‍ෂාසහගතයෝ ය. ධාතූහු දෙ දෙනෙක් උපේක්‍ෂාසහගත ද වන්නාහ, උපේක්‍ෂා සහගත නොද වන්නාහු ය.
සොළොස් ධාතූහු කාමාවචරයෝ ය. ධාතූහු දෙ දෙනෙක් කාමාවචර ද වන්නාහ, කාමාවචර නො ද වන්නාහු ය.
සොළොස් ධාතූහු රූපාවචරයෝ නො වෙති. ධාතූහු දෙ දෙනෙක් රූපාවචර ද වන්නාහ, අරූපාවචර නො ද වන්නාහු ය.
සොළොස් ධාතූහු අරූපාවචරයෝ ය. ධාතූහු දෙ දෙනෙක් අරූපාවචරයෝ ද වන්නාහ, අරූපාවචරයෝ නො ද වන්නාහු ය.
සොළොස් ධාතූහු පර්‍ය්‍යාපන්නයෝ ය. ධාතූහු දෙ දෙනෙක් පර්‍ය්‍යාපන්න ද වන්නාහ, අපර්‍ය්‍යාපන්න ද වන්නාහු ය.
සොළොස් ධාතූහු අනෛර්‍ය්‍යාණිකයෝ ය. ධාතූහු දෙ දෙනෙක් නෛර්‍ය්‍යාණික ද වන්නාහ, අනෛර්‍ය්‍යාණික ද වන්නාහු ය.
සොළොස් ධාතූහු අනියතයෝ ය. ධාතූහු දෙ දෙනෙක් නියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
සොළොස් ධාතූහු සඋත්තරයෝ ය. ධාතූහු දෙදෙනෙක් සඋත්තර ද වන්නාහ, අනුත්තර ද වන්නාහු ය.
සොළොස් ධාතූහු අරණයෝ ය. ධාතූහු දෙ දෙනෙක් සරණ ද වන්නාහ, අරණ ද වන්නාහු යයි.
පඤ්හපුච්ඡක යි.
ධාතුවිභඞ්ග නිමි.
4. සත්‍යවිභඞ්ගය
280. ආර්‍ය්‍යසත්‍යයෝ සතර දෙනෙකි: දුඃඛාර්‍ය්‍යසත්‍යය, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි.
281. එහි දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරෙ යත්: ජාතිය ද දුක් ය, ජරාව ද දුක් ය, මරණය දුක් ය, සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ ද දුක්, අප්‍රියසම්ප්‍රයෝගය දුක් ය, ප්‍රියවිප්‍රයෝගය දුක් ය, කැමැති වූයේ යමක් නො ලබා නම් හෙ ද දුක් ය, සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ දුඃඛයෝ යි.
එහි ‘ජාති’ කවර යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙහි (අපරිපූර්‍ණායතන විසින්) යම් ඉපැද්මෙක් (පරිපූර්‍ණායතන විසින්) මොනොවට ඉපැද්මෙක් (අණ්ඩජජරායුජ විසින්) අවක්‍රාන්තියෙක් (සංස්වේදජ උපපාදුක විසින්) වෙසෙසින් ඉපැද්මෙක් ස්කන්‍ධයන්ගේ පහළවීමෙක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් වේ ද, මේ ‘ජාති’ යි කියනු ලැබේ.
එහි ‘ජරා’ කවර යත්: ඒ ඒ සත්ත්‍වනිකායයෙහි ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් දිරීමෙක් දිරන අයුරෙක් (දන්තනඛාදීන්ගේ) ඛණ්ඩිත බවෙක් (කේශාදීන්ගේ) පැසුණු බවෙක් රැලි නැඟුණු සම ඇති බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් ඉඳුරන් මිහිකිරීමෙක් වේ ද, මේ ‘ජරා’ යි කියනු ලැබේ.
එහි ‘මරණ’ කවරෙ යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙන් යම් ච්‍යුතියක් ච්‍යුතවන බවෙක් බිඳීමෙක් අතුරුදහන් වීමෙක් මෘත්‍යු සංඛ්‍යාත මරණයෙක් කලුරිය කිරීමෙක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් කලෙවරයාගේ බහා තැබීමෙක් ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීමෙක් වේ ද, මේ ‘මරණ’ යි කියනු ලැබේ.
එහි ‘සෝක’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශීලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යතරව්‍යසනයෙකින් සමන්‍විත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛ හේතුවකින් පහස්නා ලද්දහුගේ ශෝකයෙක් ශෝකාකාරයෙක් ශෝක කළ බවෙක් ඇතුළත ශෝකයෙක් ඇතුළත පරිශෝකයෙක් සිත දවන අයුරෙක් දොම්නසෙක් ශෝක ශල්‍යයෙක් වේ ද, මේ ‘සෝක’ යයි කියනු ලැබේ.
එහි ‘පරිදේව’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝග ව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශිලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යතරව්‍යසනයෙකින් සමන්‍විත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛහේතුවකින් පහස්නා ලද්දහුගේ නම කියා හැඬීමෙක් ගුණ කියා හැඬීමෙක් නම කියා හඬන අයුරෙක් ගුණ කියා හඬන අයුරෙක් නම කියා හඬන බවෙක් ගුණ කියා හඬන බවෙක් වචනයෙක් ප්‍රලාපයෙක් විප්‍රලාපයෙක් පුනපුනා කීමෙක් පුනපුනා කියන අයුරෙක් පුනපුනා කී බවෙක් වේ ද මේ ‘පරිදේව’ යි කියනු ලැබේ.
එහි ‘දුඃඛය’ කවරෙ යත්: කායික වූ යම් නො සුවයෙක් කායික වූ දුකෙක් කාපහසින් උපන් නො සුව වූ දුක් වූ වේදයිතයෙක් කාපහසින් උපන් නො සුව වූ දුක් වූ වේදනායෙක් වේ ද, මේ ‘දුඃඛ’ යි කියනු ලැබේ.
එහි ‘දෝමනස්ස’ කවරෙ යත්: චෛතසික වූ යම් නො සුවයෙක් චෛතසික වූ දුකෙක් සිත් පහසින් උපන් නො සුව වූ දුක් වූ වේදයිතයෙක් දුක්පහසින් උපන් නො සුව වූ දුක් වූ වේදනායෙක් වේ ද, මේ ‘දෝමනස්ස’ යයි කියනු ලැබේ.
එහි ‘උපායාස’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝග ව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශීලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යතරව්‍යසනයෙකින් සමන්‍වාගත වූවහුගේ, අන්‍යතරාන්‍යතරදුඃඛ හේතුවකින් පහස්නා ලද්දහුගේ ආයාසයෙක් බලවත් ආයාසයෙක් ආයසයට පැමිණි බවෙක් උපායාසයට පැමිණි බවෙක් වේ ද, මේ ‘උපායාස’ යයි කියනු ලැබේ.
එහි ‘අප්‍රියසම්ප්‍රයෝගදුඃඛය’ කවරෙ යත්: මෙලොව අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය කෙනෙක් වෙත් ද, යළි අනර්‍ත්‍ථය කැමැති වූ අහිතය කැමැති වූ නො සුවය කැමැති වූ අයෝගක්‍ෂේමය කැමැති වූ යම් කෙනෙක් හෝ වෙත් ද, ඔවුන් සමග යම් එක්වීමෙක් සමාගමයෙක් සංයෝගයෙක් මිශ්‍රීභාවයෙක් වේ ද, මේ ‘අප්‍රියසම්ප්‍රයෝගදුඃඛය’ යි කියනු ලැබේ.
එහි ‘ප්‍රියවිප්‍රයෝගදුඃඛය’ කවරෙ යත්: මෙලොව ඉෂ්ට වූ කානත් වූ මනාප වූ යම් රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය කෙනෙක් වෙත් ද, යළි වැඩ කැමැති වූ හිත කැමැති වූ මව හෝ පියා හෝ බෑයා හෝ බුනැණිය හෝ සගයහළුවෝ හෝ නෑසහලේ නෑයෝ හෝ යන යම් කෙනෙක් හෝ වෙත් ද, ඔවුන් සමග යම් අසංගමයෙක් අසමාගමයෙක් අසමවධානයෙක් අමිශ්‍රීභාවයෙක් වේ ද, මේ ‘ප්‍රියවිප්‍රයෝගදුඃඛය’ යි කියනු ලැබේ.
එහි ‘යමක් කැමැති වනුයේ එය නො ලබා නම් හෙ ද දුකය’ යනු කවරෙ යත්: ජාතිය ස්වභාවය කොට ඇති සත්නට මෙබඳු තෘෂ්ණායෙක් උපදී. “ඇපි ජාතිය ස්වභාව කොට ඇති නො වමෝ වා, අපට ජාතිය නො ද පැමිණේ ව” යි. එතෙකුදුවත් තෙල ප්‍රාර්‍ත්‍ථනායෙන් නො ලැබිය යුතු ය. මෙ ද ‘යමක් කැමැති වනුයේ නො ලබ් නම් හෙ දුකැ’ යි කියනු ලැබේ. ජරාව ස්වභාව කොට ඇති සත්නට ... ව්‍යාධිය ස්වභාව කොට ඇති සත්නට … මරණය ස්වභාව කොට ඇති සත්නට … සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාස ස්වභාව කොට ඇති සත්නට මෙසේ තෘෂ්ණාව උපදී. ‘අපි සෝකපරිදේව දුක්ඛදෝමනස්සුපායාස ස්වභාව කොට ඇති නොවමෝ වා’, අපට සෝකපරිදේවදුක්ඛ දෝමනස්සුපායාසයෝ නො ද පැමිණෙත්ව’ යි. එතෙකුදුවත් තෙල ප්‍රාර්‍ත්‍ථනායෙන් නො ලැබිය යුත්තේ ය. මෙ ද ‘යමක් කැමැති වනුයේ නො ලබා නම් හෙ ද දුකැ’ යි කියනු ලැබේ.
එහි සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධදුඃඛයෝ කවරහ යත්: ඒ මෙසේ ය: රූපෝපාදානස්කන්‍ධ ය, වේදනෝපාදානස්කන්‍ධ ය, සංඥෝපාදානස්කන්‍ධ ය, සංස්කාරෝපාදානස්කන්‍ධ ය, විඥානෝපාදානස්කන්‍ධ යි. මේ සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධ දුඃඛයෝ ය යි කියනු ලැබෙත්.
මේ දුඃඛාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
282. එහි දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය කවරෙ යත්: පුනර්‍භවය පිණිස පවත්නා වූ නන්‍දිරාගය සමග පවත්නා වූ රූපාදි ඒ ඒ අරමුණෙහි ඇලෙන්නා වූ යම් තෘෂ්ණාවක් වේ ද, ඒ මෙසේ ය: කාමතණ්හා ය, භවතණ්හා ය, විභවතණ්හා යි.
ඒ තෙල තෘෂ්ණාව උපදනී කොහි උපදී ද පිහිටා සිටිනී කොහි පිහිටා සිටී ද යත්: ලොව යම් ප්‍රියස්වභාවයෙක් මධුරස්වභායෙක් වේ ද උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී (පුනපුනා පැවැතුම් විසින්) මෙහි පිහිටා සිටී.
ලොව ප්‍රියස්වභාවය, මධුරස්වභාවය කවරෙ යත්: ලෝකයෙහි ඇස ප්‍රිය ස්වභාව මධුරස්වභාව වෙයි. තෙල තෘෂ්ණාව උපදනී මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොව ශ්‍රෝත්‍රය … ලොව ඝ්‍රාණය … ලොව ජිව්හාව … ලොව කය … ලොව මනස ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදි. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
ලොව රූපයෝ ප්‍රියරූප ය, සාතරූප යි. මෙහි උපදනා වූ තෙල තෘෂ්ණාව උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොව ශබ්දයෝ … ලොව ගන්‍ධයෝ … ලොව රසයෝ … ලොව ස්ප්‍රෂ්ටව්‍යයෝ ලොව ධර්‍මයෝ ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදි. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
ලොව චක්‍ෂුර්විඥානය ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී … ලොව ශ්‍රෝත්‍රවිඥානය … ලොව ඝ්‍රාණවිඥානය … ලොව ජිහ්වාවිඥානය … ලොව කායවිඥානය … ලොව මනෝවිඥානය ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
ලොවැ චක්ඛුසම්ඵස්සය ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොවැ සෝතසම්ඵස්සය … ලොවැ ඝානසම්ඵස්සය … ලොවැ ජිව්හාසම්ඵස්සය … ලොවැ කායසම්ඵස්සය … ලොවැ මනෝසම්ඵස්සය ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
ලොවැ චක්ඛුසම්ඵස්සජ වේදනාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී, පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොවැ සෝතසම්ඵස්සජ වේදනාව … ලොවැ ඝානසම්ඵස්සජ වේදනාව ලොවැ ජිව්හාසම්ඵස්සජවේදනාව … ලොවැ කායසම්ඵස්සජවේදනාව … ලොවැ මනෝසම්ඵස්සජවේදනාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
ලොවැ රූපසංඥාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොවැ ශබ්ද සංඥාව … ලොවැ ගන්‍ධසංඥාව …. ලොවැ රසසංඥාව … ලොව ස්ප්‍රෂ්ටව්‍යසංඥාව … ලොවැ ධර්‍මසංඥාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
ලොවැ රූපසංචේතනාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොවැ සද්දසංචේතනාව … ලොවැ ගන්‍ධ සඤ්චේතනාව … ලොවැ රසසඤ්චේතනාව … ලොවැ ඵොට්ඨබ්බසඤ්චේතනාව … ලොවැ ධම්මසඤ්චේතනාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
ලොවැ රූපතණ්හාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොවැ සද්දතණ්හාව … ලොවැ ගන්‍ධතණ්හාව … ලොවැ රසතණ්හාව … ලොවැ ඵොට්ඨබ්බතණ්හාව … ලොවැ ධම්මතණ්හාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
ලොවැ රූපවිතර්‍කය ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොවැ ශබ්දවිතර්‍කය … ලොවැ ගන්‍ධවිතර්‍කය … ලොවැ රසවිතර්‍කය … ලොවැ ස්ප්‍රෂ්ටව්‍යවිතර්‍කය … ලොවැ ධර්‍මවිතර්‍කය ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
රූපවිචාරය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ශබ්දවිචාරය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ගන්‍ධවිචාරය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. රසවිචාරය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ස්ප්‍රෂ්ටව්‍යවිචාරය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ධර්‍මවිචාරය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
මේ දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
283. එහි දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය කවරෙ යත්: ඒ තෘෂ්ණාවගේ මැ යම් අසේස විරාගනිරෝධයෙක් ත්‍යාගයෙක් දුරැලීමෙක් මිදීමෙක් නො ඇලීමෙක් වේ ද, එය යි.
ප්‍රහීණ වන්නා වූ තෙල තෘෂ්ණාව කොහි ප්‍රහීණ වේ ද, නිරුද්ධ වන්නී කොහි නිරුද්ධ වේ ද යත්: යමෙක් ලෝකයෙහි ප්‍රියස්වභාව මධුරස්වභාව වූයේ ද, ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
කුමක් ලෝකයෙහි ප්‍රියස්වභාව මධුරස්වභාව වූයේ ද යත්: ඇස ලෝකයෙහි ප්‍රිය රූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ. කන ලෝකයෙහි … නැහැය ලෝකයෙහි … දිව ලෝකයෙහි … කය ලෝකයෙහි … මනස ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
රූපයෝ ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි, ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ. ශබ්දයෝ ලෝකයෙහි … ගන්‍ධයෝ ලෝකයෙහි … රසයෝ ලෝකයෙහි … ස්ප්‍රෂ්ටව්‍යයෝ ලෝකයෙහි … ධර්‍මයෝ ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
චක්‍ෂුර්විඥානය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි, ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ. ශ්‍රෝත්‍රවිඥානය ලෝකයෙහි … ඝ්‍රාණවිඥානය ලෝකයෙහි … ජිහ්වාවිඥානය ලෝකයෙහි … කායවිඥානය ලෝකයෙහි … මනෝවිඥානය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
චක්ඛුසම්ඵස්සය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි, ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ. සෝතසම්ඵස්සය ලෝකයෙහි … ඝානසම්ඵස්සය ලෝකයෙහි … ජිහ්වාසම්ඵස්සය ලෝකයෙහි … කායසම්ඵස්සය ලෝකයෙහි … මනෝසම්ඵස්සය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි, ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ. සෝතසම්ඵස්සජවේදනාව ලෝකයෙහි … ඝානසම්ඵස්සජවේදනාව ලෝකයෙහි … ජිහ්වාසම්ඵස්සජවේදනාව ලෝකයෙහි … කායසම්ඵස්සජවේදනාව ලෝකයෙහි … මනෝසම්ඵස්සජවේදනාව ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
රූපසංඥාව ලෝකයෙහි … ශබ්දසංඥාව ලෝකයෙහි … ගන්‍ධසංඥාව ලෝකයෙහි … රසසංඥාව ලෝකයෙහි … ස්ප්‍රෂ්ටව්‍යසංඥාව ලෝකයෙහි … ධර්‍මසංඥාව ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
රූපසඤ්චේතනාව ලෝකයෙහි … ශබ්දසඤ්චේතනාව ලෝකයෙහි … ගන්‍ධ සඤ්චේතනාව ලෝකයෙහි … රසසඤ්චේතනාව ලෝකයෙහි … ස්ප්‍රෂ්ටව්‍යසඤ්චේතනාව ලෝකයෙහි … ධර්‍මසඤ්චේතනාව ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
රූපතෘෂ්ණාව ලෝකයෙහි … ශබ්දතෘෂ්ණාව ලෝකයෙහි … ගන්‍ධතෘෂ්ණාව ලෝකයෙහි … රසතෘෂ්ණාව ලෝකයෙහි … ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණාව ලෝකයෙහි … ධර්‍මතෘෂ්ණාව ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
රූපවිතර්‍කය ලෝකයෙහි … ශබ්දවිතර්‍කය ලෝකයෙහි … ගන්‍ධවිතර්‍කය ලෝකයෙහි … රසවිතර්‍කය ලෝකයෙහි … ස්ප්‍රෂ්ටව්‍යවිතර්‍කය ලෝකයෙහි … ධර්‍මවිතර්‍කය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
රූපවිචාරය ලෝකයෙහි … ශබ්දවිචාරය ලෝකයෙහි … ගන්‍ධවිචාරය ලෝකයෙහි … රසවිචාරය ලෝකයෙහි … ස්ප්‍රෂ්ටව්‍යවිචාරය ලෝකයෙහි … ධර්‍මවිචාරය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
මේ දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ
284. එහි ‘දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය’ කවරෙ යත්: මෙ මැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය යි. ඒ කවරෙ යත්: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි යි.
එහි ‘සම්මාදිට්ඨි’ කවර යත්: දුඃඛසත්‍යයෙහි ඥාන ය, දුඃඛසමුදයසත්‍යයෙහි ඥාන ය, දුඃඛනිරෝධසත්‍යයෙහි ඥාන ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයෙහි ඥාන යයි. මේ ‘සම්මාදිට්ඨි’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාසංකප්ප’ කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍යසංකල්ප ය, අව්‍යාපාදසංකල්ප ය, අවිහිංසාසංකල්ප යි. මේ ‘සම්මාසඞ්කප්ප’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාවාචා’ කවරෙ යත්: මුසවායෙන් වෙන්වීම ය, පිසුනුබසින් වෙන්වීම ය, රළුබසින් වෙන්වීම ය, හිසබස්බිණීමෙන් වෙන්වීම යි. මේ ‘සම්මාවාචා’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාකම්මන්ත’ කවරෙ යත්: පණිවායෙන් වෙන්වීම ය, අයිනාදනින් වෙන්වීම ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීම යි. මේ ‘සම්මාකම්මන්ත’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාආජීව’ කවරෙ යත්: මෙසස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මිථ්‍යාආජීවය හැර සම්‍යක් ආජීවයෙන් දිවි රකී ද, මේ ‘සම්‍යක් ආජීව’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාවායාම’ කවරෙ යත්: මෙසස්නෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්‍මයන් නො ඉපදවීම පිණිස ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩි කොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩිකොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. නූපන් කුශලධර්‍මයන් ඉපැදවීම පිණිස ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩිකොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. උපන් කුශලධර්‍මයන්ගේ පැවැත්ම පිණිස නො නැසීම පිණිස බහුල බව පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ වීම පිණිස ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩිකොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. මේ ‘සම්මාවායාම’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාසති’ කවර යත්: මෙසස්නෙහි මහණ තෙම කෙලෙසුන් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක්ප්‍රඥා ඇත්තේ සිහි ඇත්තේ කායලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට කයෙහි කය අනුව බලමින් වාසය කෙරෙයි, වේදනාවන්හි … චිත්තයෙහි … ධර්‍මයන්හි කෙලෙසුන් තවන වැර ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ සිහි ඇතියේ (ස්කන්‍ධාදි ධර්‍ම සංඛ්‍යාත) ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට ධර්‍මානුදර්ශී ව වාසය කෙරේ. මේ ‘සම්මාසති’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාසමාධි’ කවරෙ යත්: මෙසස්නෙහි මහණ තෙම කාමච්ඡන්‍දනීවරණයෙන් වෙන් ව ම (ශේෂනීවරණ සංඛ්‍යාත) අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි, විතර්‍කවිචාරයන්ගේ ඉක්මැවීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ ඒකෝදිභාවය (එකඟ බව) ඇති අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. ප්‍රීතියගේ ද ඉක්මැවීමෙන් උපේක්‍ෂා ඇත්තේ වෙසෙයි, සිහි ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ නාමකයින් සුඛය ද විඳී. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් හේතුකොටගෙන උපේක්‍ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සුඛවිහරණ ඇතැ යි ප්‍රකාශ කෙරෙත් ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පළමු (උපචාරක්‍ෂණයෙහි) ම සොම්නස්දොම්නසුන්ගේ ප්‍රහාණයෙන් දුක් නො වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ. මේ ‘සම්මාසමාධි’ යි කියනු ලැබේ.
මේ දුඃඛනිරෝධ ගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
සුත්තන්තභාජනීය යි.
285. සත්‍යයෝ සතර දෙනෙකි: දුක්ඛ ය, දුක්ඛසමුදය ය, දුක්ඛනිරෝධ ය, දුක්ඛ නිරෝධගාමිනීපටිපදා යි.
එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණා යි. මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: අවශේෂක්ලේශයෝ ද, අවශේෂඅකුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද, අවශේෂ වූ සාසස්‍රවකුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ කුශලාකුශල ධර්‍මයන්ගේ විපාකයෝ ද, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාප්‍රහාණය යි, මේ ‘දුක්ඛනිරෝධය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙසස්නෙහි මහණ යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි, සම්මාදිට්ඨිය … සම්මාසමාධි යි.
එහි ‘සම්මාදිට්ඨි’ කවර යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් සිව්සස් දහම් විමසීමෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචය සම්මොබාධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාදිට්ඨි’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාසංකප්ප’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ ‘සම්මාසංකප්ප’ යි කියනු ලැබේ.