[“දුක්ඛමෙව හි සම්හොති” ආදි වචන නිසා දුඃඛය මැ පරිනිෂ්පන්න වෙයි. අවශේෂ ස්කන්‍ධායතනධාතුඉන්‍ද්‍රිය ධර්‍මයෝ අපරිනිෂ්පන්න වෙතියි සමහර උත්තරාපථකයන් හා හේතුවාද නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අපරිනිෂ්ඵන්න කථා’ එයි.]
1. ස. පු: රූපය අපරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපය අනිත්‍ය නො, සංස්කෘත නො, ප්‍රතීත්‍යසමුත්පන්න නො, ක්‍ෂයස්වභාව ඇත්තේ නො, ව්‍යයස්වභාව ඇත්තේ නො, විරාගස්වභාව ඇත්තේ නො, නිරෝධස්වභාව ඇත්තේ නො, විපරිණාමස්වභාව ඇත්තේ නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: රූපය අනිත්‍ය, සංස්කෘත, ප්‍රතීත්‍යසමුත්පන්න නො? ක්‍ෂයස්වභාව, ව්‍යයස්වභාව, විරාගස්වභාව, නිරෝධස්වභාව, විපරිණාමස්වභාව ඇත්තේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් රූපය අනිත්‍ය, සංස්කෘත … විපරිණාමස්වභාව ඇත්තේ වී නම්,
ස. පා: භවත, ‘රූපය අපරිනිෂ්පන්න වෙති’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: දුඃඛය මැ පරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘යමක් අනිත්‍ය වී නම් ඒ දුඃඛ යැ’යි වදාරනලද නො? රූපය අනිත්‍ය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් “යමක් අනිත්‍ය වී නම් ඒ දුඃඛ වේ”යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද වී නම්, රූපය අනිත්‍ය වී නම්,
ස. පා: භවත, දුඃඛය මැ පරිනිෂ්පන්න වෙතියි නො කියැයුතු මැ යැ.
3. ස. පු: වේදනා … සංඥා … සංස්කාරයෝ … විඥානය … චක්‍ෂුරායතන … ධර්‍මායතන … චක්‍ෂුර්ධාතු … ධර්‍මධාතු … චක්‍ෂුරින්‍ද්‍රිය … අඤ්‍ඤාතාවින්‍ද්‍රිය අපරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අඤ්‍ඤාතාවින්‍ද්‍රිය අනිත්‍ය නො වේ ද … විපරිණාමස්වභාව ඇත්තේ නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අඤ්‍ඤාතාවින්‍ද්‍රිය අනිත්‍ය, සංස්කෘත … විපරිණාමස්වභාව ඇත්තේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අඤ්‍ඤාතාවින්‍ද්‍රිය අනිත්‍ය, සංස්කෘත, ප්‍රතීත්‍යසමුත්පන්න, ක්‍ෂයධර්‍ම, ව්‍යයධර්‍ම, විරාගධර්‍ම, නිරෝධධර්‍ම, විපරිණාමධර්‍ම වී නම්,
ස. පා: භවත, ‘අඤ්‍ඤාතාවින්‍ද්‍රිය, අපරිනිෂ්පන්න වෙති’යි නො කියැයුතු මැ යැ.
4. ස. පු: දුඃඛය මැ පරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘යමක් අනිත්‍ය නම් ඒ දුඃඛ වේ’ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො? අඤ්‍ඤාතාවින්‍ද්‍රිය අනිත්‍ය නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ‘යමක් අනිත්‍ය වී නම් ඒ දුඃඛ වේ’යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද වී නම්, අඤ්‍ඤාතාවින්‍ද්‍රිය අනිත්‍ය වී නම්,
ස. පා: භවත, ‘දුඃඛය මැ පරිනිෂ්පන්න වෙති’යි නො කියැයුතු මැ යැ.
අපරිනිෂ්ඵන්න කථා නිමි.
තෙවිසිවන වග නිමි.
එහි උද්දානය:
ඒකාධිප්පාය කථා යැ අරහන්තවණ්ණ කථා යැ ඉස්සරියකාමකාරිතා කථා යැ පතිරූප කථා යැ අපරිනිප්ඵන්න කථා යි.
(1) “(මහත් කථාවස්තු ඇතුළත් කළ වර්‍ග ඇතියෙන්) මහාපණ්ණාසක යැ, (නියාම කථායෙන් ආරබ්ධ වර්‍ග ඇතියෙන් දෙවැනි) නියාම පණ්ණාසක යැ, (අනුසය කථායෙන් ආරබ්ධ වර්‍ග ඇතියෙන් තෙවෙනි) අනුසය පණ්ණාසක යැ, (නිග්ගහ කථායෙන් ආරබ්ධ වර්‍ග ඇතියෙන් සිව්වැනි) නිග්ගහ පණ්ණාසක යැ, (‘සාසනකථා’ ආදි කුඩා කථා ඇතුළත් කෙළෙන්) පස්වැනි වැ සිටුනා ඛුද්දක කාණ්ඩ යැ, යන මේහැම (එකෙන් එකෙන් වෙන වෙන) පරවාද මඩනේ වෙයි. (මොහු හැම සාධක වශයෙන්) සූත්‍රමූල ඇති වැ ශාස්තෘසමයෙහි බැබැළුම ඇත්තාහුයැ”.
කථාවස්තුප්‍රකරණයෙහි පන්තිස් බණවර නිමි.
කථාවස්තුප්‍රකරණය සමාප්ත යි.