ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ තෙල වදාළාහු නො: “ඇවැත්නි. අධ්‍යාත්මික කයත් නො බිඳුණේ වේ ද, බාහ්‍ය ස්ප්‍රෂ්ටව්‍යයෝත් ආපාථයට නො එත් ද, ... ඇවැත්නි, අධ්‍යාත්මික කයත් නොබිඳුණේ වේ ද, බාහ්‍ය ස්ප්‍රෂ්ටව්‍යයෝත් ආපාථයට එත් ද, … ඇවැත්නි, යම් හෙයෙකින් ආධ්‍යාත්මික කයත් නො බිඳුණේ වේ ද, බාහ්‍ය ස්ප්‍රෂ්ටව්‍යයෝත් ආපාථයට එත් ද, තදනුරූප මනසිකාරත් වේ ද, මෙසේ තදනුරූපවිඥානභාගයාගේ ප්‍රාදුර්‍භාවය වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් ‘කායායතනය කායවිඥානය හා සහජාත වෙතී’ යි නො කියැයුතු යැ.
6. ප. පු: හැම දහම්හු ඒකචිත්තක්‍ෂණිකයහ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: හැම දහම්හු නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාම ස්වභාව ඇත්තාහු වෙත් ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. පා: එකරුණින් හැම දහම්හු ඒකචිත්තක්‍ෂණික වෙති.
ක්‍ෂණික කථා නිමි.
ද්වාවිංශද්වර්‍ගය නිමි.
එහි උද්දානය:
පරිනිබ්බානකථා යැ කුසලචිත්තකථා යැ ආනෙඤ්‍ජ කථා යැ ධම්මාභිසමයකථා යැ තිස්සො’පි කථා යැ අබ්‍යාකතකථා යැ ආසේවනපච්චය කථා යැ ඛණිකකථා යි.
තෙවිසිවන වග
23. 1.
ඒකාධිප්පාය කථා
[කාරුණ්‍යයෙන් ඒකාධිප්‍රාය ඇති වැ වේවයි, සසර දී එක්වම්හයි ස්ත්‍රිය හා සමග බුද්ධපූජාදිය කොට ප්‍රාර්‍ත්‍ථනා තැබීම් වශයෙන් ඒකාධිප්‍රාය ඇති වැ වේවයි, මෙසේ ස්ත්‍රීපුරුෂ දෙදෙනා මැ ඒකාධිප්‍රාය ඇති වැ මෛථුන ධර්‍ම සේවන කටයුතු යයි අන්‍ධක වෛතුල්‍යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඒකාධිප්පාය කථා’ එයි.]
1. ස. පු: එකාධිප්‍රායයෙන් මෛථුනධර්‍ම සේවන කටයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: එකාධිප්‍රායයෙන් අශ්‍රමණ වියයුතු වේ ද, අභික්‍ෂු වියයුතු වේ ද, ඡින්‍නමූල වියයුතු වේ ද, පාරාජික වියයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: එකාධිප්‍රායයෙන් මෛථුනධර්‍ම සේවන කටයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: එකාධිප්‍රායයෙන් ප්‍රාණඝාත කළයුතු වේ ද, … අයිනාදන් කළයුතු වේ ද, මුසවා බිණියයුතු වේ ද, පිසුණුබස් බිණියයුතු වේ ද, … පරොස්බස් බිණියයුතු වේ ද … පලප් බිණියයුතු වේ ද … සන්‍ධිච්ඡේද කළයුතු වේ ද … මහාවිලෝප කළයුතු වේ ද, ඒකාගාරික කම් කළයුතු වේ ද … (කඩපලා සොරකම් පිණිස) මහමඟ සිටියයුතු වේ ද … පරඹුවන් කරා යායුතු වේ ද … ගම් පැහැරීම් කළයුතු වේ ද … නියම්ගම්පැහැරීම් කළයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ඒකාධිප්පාය කථා නිමි.
23. 2.
අරහන්තවණ්ණ කථා
[සමෘද්ධ ඉරියව් ඇති සමෘද්ධ ආකල්ප ඇති පාපභික්‍ෂූන් දැක රහත්වෙසින් සිට අමනුෂ්‍යයෝ මෛථුනධර්‍මසේවන කෙරෙති’යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අරහන්තවණ්ණ කථා’ එයි]
1. ස. පු: රහත්වනින් (රහත් වෙසින්) අමනුෂ්‍යයෝ මෛථුනධර්‍මසේවන කෙරෙත්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රහත්වතින් අමනුෂ්‍යයෝ ප්‍රාණඝාත කෙරෙත් ද … අයිනාදන් කෙරෙත් ද … මුසවා බෙණෙත් ද පිසුනුබස් බෙණෙත් ද … පරොස්බස් බෙණෙත් ද … පලප් බෙණෙත් ද … සන්‍ධිච්ඡේද කෙරෙත් ද … තිල්ලෝපහරණ (මහාවිලෝප) කෙරෙත් ද … එක් ගෙයක් පැහැරගන්නා කම් කෙරෙත් ද … කඩපලාසොරකම් කෙරෙත් ද … විරඹු සොරකම් කෙරෙත් ද … ගම්පහරනා කම් කෙරෙත් ද … නියම්ගම්පහරනා කම් කෙරෙත් ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
අරහන්තවණ්ණ කථා නිමි.
23. 3.
ඉස්සරියකාමකාරිතා කථා
[“බෝසත් ඡද්දන්තජාතකාදියෙහි පෙණෙන පරිදි ඓශ්චර්‍ය්‍යකාමකාරී බව (කර්‍මබලය නොව සිය කැමැත්තෙන් ක්‍රියා කිරීම) හේතුකොට ගෙන තිරිසන් ගත වෙයි, විනිපාතයට යෙයි, ගර්‍භශය්‍යාවට බැසගනී, දුෂ්කරක්‍රියා කෙළේ යැ. මෙරමා නො තවනු කෙළේ යැ. අන්‍යශාස්තෘවක්හු උදෙසී”යයි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඉස්සරියකාමකාරිතා කථා’ එයි.]
1. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා (අදහස ඉටුකිරීමට සිය කැමැත්තෙන් ක්‍රියා කිරීම්) හේතුවින් විනිපාතයට (නිරයට වුවත්) යන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් නිරයට යන්නේ වේ ද … සඤ්‍ජවමහනිරයට යන්නේ වේ ද … කාලසූත්‍රමහනිරයට යන්නේ වේ ද … තාපමහනිරයට යන්නේ වේ ද … ප්‍රතාපමහනිරයට යන්නේ වේ ද ... සඞ්ඝාත මහනිරයට යන්නේ වේ ද … රෞරව මහනිරයට යන්නේ වේ ද … අවීචිමහනිරයට යන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් විනිපාතයට යන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් විනිපාතයට යෙති’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටි: නැත.
ස. ඨ: ඉදින් ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් විනිපාතයට යෙති’යි වදාළ සූත්‍රාන්තයෙක් නැත්තේ මැ වී නම්,
ස. පා: භවත, ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් විනිපාතයට යෙති’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ගර්‍භශය්‍යාවට (ගැබහොවීමට) වදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් නිරයෙහි උපදනේ වේ ද … තිරිසන්යොන්හි උපදනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ගර්‍භශය්‍යාවට වදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: බෝසත් ඍද්ධිමත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: බෝසත් ඍද්ධිමත් වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: බෝසතුන් විසින් ඡන්‍දිද්ධිපාද වඩනලද වේ ද … වීරියිද්ධිපාද වඩනලද වේ ද … චිත්තිද්ධිපාද වඩනලද වේ ද … වීමංසිද්ධිපාද වඩනලද වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ගර්‍භශය්‍යාවට වදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ගර්‍භශය්‍යාවට වදනේ වේ’ යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටි: නැත.
ස. ඨ: ඉදින් ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ගර්‍භශය්‍යාවට වදනේ වේ’යයි වදාළ සූත්‍රාන්තයෙක් නැත්තේ මැ වී නම්,
ස. පා: භවත, “බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ගර්‍භශය්‍යාවට වදනේ වේ”යයි නො කියැයුතු මැ යැ.
7. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් දුෂ්කර ක්‍රියා කෙළේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ‘ලෝකය ශාශ්වත යැ’යි හැදහී ද, ‘ලෝකය අශාශ්වත යැ’යි … ‘ලෝකය අන්තවත් යැ’යි … ‘ලෝකය අනන්තවත් යැ’යි … ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’යි … ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි … ‘සත්ත්‍ව මරණින් මතු වේ’ යයි, ‘සත්ත්‍ව මරණින් මතු නො වේ’ යයි … ‘සත්ත්‍ව මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ’යයි ‘සත්ත්‍ව මරණින් මතු නො මැ වන්නේත් නො ද නො වන්නේත් වේ’ යයි හැදැහී ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් දුෂ්කර ක්‍රියා කෙළේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් දුෂ්කර ක්‍රියා කෙළේ වේ’යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටි: නැත.
ස. ඨ: ඉදින් ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් දුෂ්කර ක්‍රියා කෙළේ වේ’යයි වදාළ සූත්‍රාන්තයෙක් නැත්තේ මැ වී නම්,
ස. පා: භවත, ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් දුෂ්කර ක්‍රියා කෙළේ වේ’යයි නො කියැයුතු මැ යැ.
9. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් මෙරමා නො තවනු කෙළේ ද, අන්‍යශාස්තෘවක්හු උදෙසී ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ‘ලෝකය ශාශ්වත යැ’යි ඇදැහී ද … ‘සත්ත්‍ව මරණින් මතු නො මැ වන්නේත් නො ද වන්නේත් වේ’යයි ඇදැහී ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් අන්‍ය ශාස්තෘවක්හු උදෙසී ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් අන්‍ය ශාස්තෘවක්හු උදෙසී’යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටි: නැත.
ස. ඨ: ඉදින් ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් අන්‍ය ශාස්තෘවක්හු උදෙසී’යයි වදාළ සූත්‍රාන්තයෙක් නැත්තේ මැ වී නම්,
ස. පා: භවත, ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් අන්‍ය ශාස්තෘවක්හු උදෙසී’යයි නො කියැයුතු මැ යැ.
ඉස්සරියකාමකාරිතා කථා නිමි.
23. 4.
පතිරූප කථා
[මෛත්‍රී කරුණා මෘදුතා සඳහා රාග නො වූ රාගප්‍රතිරූපකයෙක් ඇතැ යි ද, ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය කෞකෘත්‍ය සඳහා ද්වේෂ නො වූ ද්වේෂප්‍රතිරූපකයෙක් ඇතැයි ද, හසිතොත්පාදය සඳහා මෝහ නො වූ මොහප්‍රතිරූපකයෙක් ඇතැ යි ද, දුර්‍මඞකු පුද්ගලයනට නිග්‍රහත්, ප්‍රියශීලි භික්‍ෂුනට අනුග්‍රහත්, පාපගර්‍හාත්, කල්‍යාණප්‍රශංසාත්, ආයුෂ්මත් පිළින්‍දවච්ඡ තෙරණුවන්ගේ වසලවාදයත්, භාග්‍යවතුන් වහන්සේගේ ඛෙළාසිකවාදයත් මෝඝපුරිසවාදයත් සඳහා ක්ලේශ නො වූ ක්ලේශප්‍රතිරූපකයෙක් ඇතැයි ද අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පතිරූප කථා’ එයි.]
1. ස. පු: රාග නො වූ රාගප්‍රතිරූපකයෙක් ඇත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්‍ශ නො වූ ස්පර්‍ශප්‍රතිරූපකයෙක් ඇත් ද, වේදනා නො වූ වේදනා ප්‍රතිරූපකයෙක් ඇත් ද, සංඥා නො වූ සංඥාප්‍රතිරූපකයෙක් ඇත් ද, චේතනා නො වූ චේතනාප්‍රතිරූපකයෙක් ඇත් ද, චිත්ත නො වූ චිත්තප්‍රතිරූපකයෙක් ඇත් ද, ශ්‍රද්ධා නො වූ ශ්‍රද්ධාප්‍රතිරූපකයෙක් ඇත් ද, වීර්‍ය්‍ය නො වූ වීර්‍ය්‍යප්‍රතිරූපකයෙක් ඇත් ද, ස්මෘති නො වූ ස්මෘතිප්‍රතිරූපකයෙක් ඇත් ද, සමාධි නො වූ සමාධිප්‍රතිරූපකයෙක් ඇත් ද, ප්‍රඥා නො වූ ප්‍රඥාප්‍රතිරූපකයෙක් ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: ද්වේෂ නො වූ ද්වේෂප්‍රතිරූපකයෙක් ඇත් ද ... මෝහ නො වූ මොහප්‍රතිරූපකයෙක් ඇත් ද ... ක්ලේශ නො වූ ක්ලේශප්‍රතිරූපකයෙක් ඇත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්‍ශ නො වූ ස්පර්‍ශප්‍රතිරූපකයෙක් ඇත් ද … ප්‍රඥා නො වූ ප්‍රඥාප්‍රතිරූපකයෙක් ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
පතිරූප කථා නිමි.
23. 5.
අපරිනිප්ඵන්න කථා