ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: එකරුණින් දිට්ඨධම්මවේදනීය කර්‍මය දිට්ඨධම්මවේදනීය ස්වභාවයෙන් නියත වෙයි. උපපජ්ජවෙදනීය කර්‍මය … අපරාපරියවේදනීය කර්‍මය අපරාපරියවේදනීය ස්වභාවයෙන් නියත වේ.
කම්ම කථා නිමි.
ඒකවිංශද්වර්‍ගය නිමි.
එහි උද්දානය:
සාසන කථා යැ අවිවිත්ත කථා යැ සඤ්ඤෝජන කථා යැ ඉද්ධි කථා යැ බුද්ධ කථා යැ සබ්බදිසා කථා යැ ධම්ම කථා යැ කම්ම කථා යි.
ද්වාවිංශද්වර්‍ගය
22. 1.
පරිනිබ්බාන කථා
[රහත්හු සර්‍වඥවිෂයයෙහි නො පුහුන් සංයෝජන ඇති වැ මැ පිරිනිවෙති. එහෙයින් කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක් ඇතැ’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පරිනිබ්බාන කථා’ එයි.]
1. ස. පු: කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක් ඇත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කිසි සත්කායදෘෂ්ටියක් නො පියා … අනපත්‍රපාවක් නො පියා පිරිනිවීමෙක් ඇත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක් ඇත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රහත් සරාග … සක්ලේශ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: රහත් නිරාග … නික්ලේශ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් රහත් නිරාග … නික්ලේශ වී නම්,
ස. පා: භවත, ‘කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක් ඇතැ’යි නො කියැයුතු මැ යැ.
3. ප. පු: ‘කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක් ඇතැ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: රහත් හැම බුද්ධවිෂය දන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: එකරුණින් ‘කිසි සංයොජනයක් නො පියා පිරිනිවීමෙක්’ ඇත.
පරිනිබ්බාන කථා නිමි.
22. 2.
කුසලචිත්ත කථා
[රහත්හු ස්මෘතිවිපුලතාවට පැමිණියාහු පිරිනිවෙන්නාහු දු ස්මෘති සම්ප්‍රජන්‍යයෙන් යුක්ත වැ මැ පිරිනිවෙති. එහෙයින් රහත්හු ‘කුශලචිත්ත ඇති වැ පිරිනිවෙති’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘කුසලචිත්ත කථා’ එයි.]
1. ස. පු: රහත්හු කුශල සිත් ඇති වැ පිරිනිවෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු පුණ්‍යාභිසංස්කාර රැස් කෙරෙමින්, ආනෙඤ්ජාභිසංස්කාර රැස් කෙරෙමින්, ගතිසංවර්‍තනික කර්‍ම කෙරෙමින්, භවසංවර්‍තනික කර්‍ම කෙරෙමින්, ඓශ්චර්‍ය්‍යසංවර්‍තනික කර්‍ම කෙරෙමින්, ආධිපත්‍යසංවර්‍තතික කර්‍ම කෙරෙමින්, මහාභෝග සංවර්‍තනික කර්‍ම කෙරෙමින්, මහාපරිවාරසංවර්‍තනික කර්‍ම කෙරෙමින්, දේවසෞභාග්‍යසංවර්‍තනික කර්‍ම කෙරෙමින්, මනුෂ්‍යසෞභාග්‍යසංවර්‍තනික කර්‍ම කෙරෙමින්, පිරිනිවෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: රහත්හු කුශල සිත් ඇති වැ පිරිනිවෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු (කුශලාකුශලවිපාක) රැස් කෙරෙමින් විධ්වංශන කෙරෙමින් (කෙලෙසුන්) දුරු කෙරෙමින් (තෘෂ්ණා - මාන - දෘෂ්ටි විසින්) උපාදාන කෙරෙමින් (තෘෂ්ණාවශයෙන්) හිවමින් (මාන වශයෙන්) උත්කර්‍ෂණ කෙරෙමින් (කෙලෙස්ගිනි) නිවමින් දල්වමින් පිරිනිවෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රහත්හු (කුශලාකුශල විපාක) නො මැ රැස් කෙරෙති, විධ්වංශන නො කෙරෙති, විධ්වංශන කොට සිටියාහු නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් රහත්හු කුශලාකුශල විපාක නො මැ රැස් කෙරෙත් නම්, විධ්වංශන නො කෙරෙත් නම්, විධ්වංශන කොට සිටියාහු නම්,
ස. පා: භවත, රහත්හු කුශලසිත් ඇති වැ පිරිනිවෙති’යි නො කියැයුතු මැ යැ.
3. ස. අනු: රහත්හු (කෙලෙසුන්) නො මැ දුරු කෙරෙති, (තෘෂ්ණා - මාන - දෘෂ්ටි විසින්) උපාදාන නො කෙරෙති, (කෙලෙසුන්) දුරු කර සිටියාහු නො … (තෘෂ්ණා විසින්) නො මැ හිවෙති, (මාන විසින්) උත්කර්‍ෂණ නො කෙරෙති, (තෘෂ්ණා බන්‍ධන) දුරු කොට සිටියාහු … රහත්හු (කෙලෙස් ගිනි) නො මැ නිවෙති, නො දල්වති, නිවා සිටියාහු නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් රහත්හු විධූපන නො මැ කෙරෙත් නම් සංධූපන නො කෙරෙත් නම් විධූපන කොට සිටියාහු නම්,
ස. පා: භවත, ‘රහත්හු කුසල්සිත් ඇති වැ පිරිනිවෙති’යි නො කියැයුතු මැ යැ.
4. ප. පු: ‘රහත්හු කුසල්සිත් ඇති වැ පිරිනිවෙතී’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු එළැඹසිටි සිහි ඇත්තාහු ස්මෘති ඇත්තාහු සම්‍යග්ඥාන ඇත්තාහු පිරිනිවෙන්නාහු නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් රහත්හු එළැඹසිටි සිහි ඇති වැ ස්මෘතිමත් වැ සම්‍යග්ඥාන ඇති වැ පිරිනිවෙන්නාහු නම්,
ප. පා: එකරුණින් භවත, ‘රහත්හු කුසල්සිත් ඇති වැ පිරිනිවෙන්නාහ’යි කියැයුතු මැ යි.
කුසලචිත්ත කථා නිමි.
22. 3.
ආනෙඤ්ජ කථා
[“බුදුහු චතුර්‍ත්‍ථධ්‍යානයෙහි සිට පිරිනිවන් පෑහ’ යනු සලකා රහත්හු ආනෙඤ්‍ජයෙහි සිට පිරිනිවෙති’යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ආනෙඤ්‍ජ කථා’ එයි.]
1. ස. පු: රහතුන් වහන්සේ ආනෙඤ්‍ජයෙහි (අරූපාවචර ධ්‍යානයෙහි) සිට පිරිනිවෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රහතුන් වහන්සේ ප්‍රකෘතිචිත්තයෙහි සිට පිරිනිවෙත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් රහතුන් වහන්සේ ප්‍රකෘතිචිත්තයෙහි සිට පිරිනිවෙත් නම්,
ස. පා: භවත, ‘රහතුන් වහන්සේ ආනෙඤ්‍ජයෙහි සිට පිරිනිවෙති’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: රහත්හු ආනෙඤ්‍ජයෙහි සිට පිරිනිවෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු ක්‍රියාමය සිත්හි සිට පිරිනිවෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රහත්හු විපාකචිත්තයෙහි සිට පිරිනිවෙත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් රහත්හු විපාකචිත්තයෙහි සිට පිරිනිවෙත් නම්,
ස. පා: භවත, ‘රහත්හු ආනෙඤ්‍ජයෙහි සිට පිරිනිවෙති’යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: රහත්හු ආනෙඤ්‍ජයෙහි සිට පිරිනිවෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු ක්‍රියාව්‍යාකෘත සිත්හි සිට පිරිනිවෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: රහත්හු විපාකව්‍යාකෘත සිත්හි සිට පිරිනිවෙත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින්, රහත්හු විපාකව්‍යාකෘත සිත්හි සිට පිරිනිවෙත් නම්,
ස. පා: භවත, ‘රහත්හු ආනෙඤ්‍ජයෙහි සිට පිරිනිවෙති’යි නො කියැයුතු මැ යැ.
4. ස. පු: රහත්හු ආනෙඤ්‍ජයෙහි සිට පිරිනිවෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ චතුර්‍ත්‍ථධ්‍යානයෙන් නැඟී සමනන්තර වැ පිරිනිවියාහු නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් බුදුහු චතුර්‍ත්‍ථධ්‍යානයෙන් නැඟී සමනන්තර වැ පිරිනිවිසේක් වී නම්,
ස. පා: භවත, ‘රහත්හු ආනෙඤ්‍ජයෙහි සිට පිරිනිවෙති’යි නො කියැයුතු මැ යැ.
ආනෙඤ්‍ජ කථා නිමි.
22. 4.
ධම්මාභිසමය කථා
[අතීතභවයෙහි ශ්‍රෝතාපන්නයකු මව්කුසැ වැස නික්මෙන්නා දැක ගර්‍භාශය්‍යායෙහි ධර්‍මාභිසමය (ලෝකෝත්තර ධර්‍මාවබෝධය) ඇතැ’යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ධම්මාභිසමය කථා’ එයි.]
1. ස. පු: ගර්‍භාශය්‍යායෙහි (මව්කුසැ) ධර්‍මාභිසමය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ගර්‍භාශය්‍යායෙහි ධර්‍මදේශනා, ධර්‍මශ්‍රවණ, ධර්‍මසාකච්ඡා, පරිපෘච්ඡා, ශීලසමාදාන, ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරතා, භෝජනයෙහි මාත්‍රඥතා, පූර්‍වරාත්‍ර අපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝග ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ගර්‍භාශය්‍යායෙහි ධර්‍මදේශනා, ධර්‍මශ්‍රවණ, … පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝග නැත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ගර්‍භශය්‍යායෙහි ධර්‍මදේශනා, ධර්‍මශ්‍රවණ, … පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝග නැත් නම්,
ස. පා: භවත, ‘ගර්‍භශය්‍යායෙහි ධර්‍මාභහිසමය ඇතැ’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ගර්‍භශය්‍යායෙහි ධර්‍මාභිසමය ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්‍යග්දෘෂ්ටිහුගේ ඉපැත්මට පරතෝඝෝෂ යැ යෝනිසෝමනස්කාර යැ යි ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් ඇත්තාහු නො?