තිරච්ඡාන කථා නිමි.
20. 5.
මග්ග කථා
[“පුබ්බේව ඛො පනස්ස කායකම්මං වචීකම්මං ආජීවො සුපරිසුද්ධෝ හොති - පළමු මැ ඔහුගේ කායකර්‍ම වාක්කර්‍ම ආජීව සුපරිශුද්ධ වෙයි” යන මේ සූත්‍රපාඨ ද, සම්‍යක් වචන කර්‍මාන්ත ආජීවයන්ගේ චිත්ත විප්‍රයුක්තතා ද නිසා නිෂ්පර්‍ය්‍යායයෙන් මාර්‍ගය පඤ්චාඞ්ගික වෙති’ යි මහිංසාසික නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘මග්ගකථා’ එයි]
1. ස. පු: මාර්‍ගය පඤ්චාඞ්ගික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටාඞ්ගිකමාර්‍ගය වදාරනලද නො: ඒ කෙසේ යැ යත්? “සම්‍යක්දෘෂ්ටි ය ... සම්‍යක්සමාධි” යි වදාරනලද නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටාඞ්ගික මාර්‍ගය වදාරනලද වී නම්, ඒ කෙසේ යැ යත්: ‘සම්‍යක්දෘෂ්ටි යැ … සම්‍යක් සමාධි’ යි වදාරනලද වී නම්,
ස. පා: භවත මාර්‍ගය පඤ්චාඞ්ගික යයි නො කියැයුතු මැ යැ.
2. ස. පු: මාර්‍ගය පඤ්චාඞ්ගික වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො:
“මාර්‍ගයන් අතුරින් අෂ්ටාඞ්ගිකමාර්‍ගය උතුමි. සත්‍යයන් අතුරින් (දඃඛසත්‍යාදි) සතරපදයෝ උතුම්හ. ධර්‍මයන් අතුරින් විරාගය උතුමි. දෙපා ඇතියවුන් අතුරින් චක්‍ෂුස්මත් බුදුහු උතුම්හ” යි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් මාර්‍ගය අෂ්ටාඞ්ග ඇති වෙයි.
3. ස. පු: සම්‍යග් වචනය මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග නො වන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්‍යග්දෟෂ්ටිය මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග නො වන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: සම්‍යග් වචනය මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග නො වන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්‍යක්සංකල්පය … සම්‍යග්ව්‍යායාමය සම්‍යක්ස්මෘතිය … සම්‍යක්සමාධිය මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග නො වන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: සම්‍යග්කර්‍මාන්තය සම්‍යගාජීවය මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග නො වන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධිය මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග නො වන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: සම්‍යග්දෘෂ්ටි මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්‍යග්වචන මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: සම්‍යග්දෘෂ්ටි මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්‍යක්කර්‍මාන්ත … සම්‍යගාජීව මාර්‍ගාඞ්ග වෙයි එ ද මාර්‍ග වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: සම්‍යක්සංකල්ප … සම්‍යග්ව්‍යායාම ... සම්‍යක්ස්මෘතිය … සම්‍යක්සමාධි මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්‍යග්වචන … සම්‍යග්කර්‍මාන්ත … සම්‍යගාජීව මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ප. පු: ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ග වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “පළමු මැ ඔහට කායකර්‍ම වාක්කර්‍ම ආජීව සුපරිශුද්ධ වෙයි. මෙසේ ඔහට මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය භාවනායෙන් පරිපූර්‍ණ බවට යේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ …
ප. පා: එකරුණින් පඤ්චාඞ්ගික මාර්‍ගය වේ.
10. ස. පු: පඤ්චාඞ්ගික මාර්‍ගය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො? “සුභද්‍රය, යම් ධර්‍මවිනයෙකැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය නො ලැබේ ද, එහි ශ්‍රමණ ද නො ලැබෙයි. එහි ද්විතීය ශ්‍රමණ ද නො ලැබෙයි, එහි තෘතීය ශ්‍රමණ ද නො ලැබෙයි. එහි චතුර්‍ත්‍ථ ශ්‍රමණ ද නො ලැබෙයි. සුභද්‍රය වැළිත් යම් ධර්‍මවිනයෙකැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය උපලබ්ධ වේ ද, එහි ශ්‍රමණ ද උපලබ්ධ ද වෙයි. එහි ද්විතීය ශ්‍රමණ ද උපලබ්ධ වෙයි. එහි තෘතීය … චතුර්‍ත්‍ථ ශ්‍රමණ ද උපලබ්ධ වෙයි. සුභද්‍රය, මේ ධර්‍ම විනයෙහි ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය උපලබ්ධ වෙයි. සුභද්‍රය, ශ්‍රමණ (සෝවන්) මෙ සස්නෙහි මැ වෙයි. ද්විතීය ශ්‍රමණ (සෙදගැමි) ද මෙහි මැ වෙයි. තෘතීය ශ්‍රමණ (අනගැමි) ද මෙහි මැ වෙයි. චතුර්‍ත්‍ථ ශ්‍රමණ (රහත්) ද මෙහි මැ වෙයි. අන්‍ය පර (දෙසැට මිසදිටු ගතුවන්ගේ) ප්‍රවාදයෝ ශ්‍රමණයන්ගෙන් ශුන්‍ය වෙති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් අෂ්ටාඞ්ගිකමාර්‍ග වෙයි.
මග්ග කථා නිමි.
20. 6.
ඤාණ කථා
[ලෞකික ලෝකෝත්තර විසින් ඥානය ද්විවිධ යි. සමාපත්ති ඥානයත් දානාදි වශයෙන් පැවැති කර්‍මස්වකෘත ඥානයත් ලෞකික වෙයි. සත්‍යය පිරිසිඳුනා මාර්‍ගඥානයත් ඵලඥානයත් ලෝකෝත්තර වෙයි. මේ වෙනස නො ගෙන ‘සත්‍යය පිරිසිඳුනා ඥානය මැ ඥාන වෙයි, සෙසු ඥාන නැතැ’යි ද එහෙයින් මැ පෘථග්ජනහට ඥානය නැතැ’ යි ද හේතුවාදීන් සෙයින් ලබ්ධි ගතුවන්ගේ වාද බිඳුනට ‘ඤාණකථා’ එයි]
1. ස. පු: ද්වාදශවස්තුකඥානය ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ලෝකෝත්තර ඥාන දොළොසෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: ලෝකෝත්තරඥාන දොළොසෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සෝවන් මාර්‍ග දොළොසෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: ශ්‍රෝතාපත්තිමාර්‍ග දොළොසෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රෝතාපත්තිඵල දොළොසෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සකෘදාගාමිමාර්‍ග දොළොසෙක් … අනාගාමි … අර්‍හන්මාර්‍ග දොළොසෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: අර්‍හන්මාර්‍ග දොළොසෙක් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අර්‍හත්ඵල දොළොසෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ප. පු: ද්වාදශවස්තුක ඥානය ලෝකෝත්තර වෙති යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නො: “මහණෙනි, මේ (පඤ්චස්කන්‍ධය) දුඃඛාර්‍ය්‍යසත්‍ය යැයි පෙර නො ඇසූ දහම්හි මට චක්‍ෂුස පහළ වී. ඥානය පහළ වී. විද්‍යාව පහළ වී. ප්‍රඥාව පහළ වී. ආලොකය පහළ වී. මහණෙනි, ඒ මේ දුඃඛාර්‍ය්‍යසත්‍යය පරිඥා කටයුතු යැ යි මට … මහණෙනි, පරිඥා කරනලදැ’ යි මට … මහණෙනි, මේ (තෘෂ්ණාව) දුඃඛසමුදයාර්‍ය්‍ය සත්‍ය යැ යි මට … මහණෙනි, ඒ මේ දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය ප්‍රහාතව්‍ය යැ යි මට ... මහණෙනි, මට ප්‍රහීණ යැ යි … මහණෙනි, මේ දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය යැ යි මට ... මහණෙනි, ඒ මේ දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ යි මට … මහණෙනි, මා විසින් සාක්‍ෂාත්කෘත යැ යි … මහණෙනි, මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යැ යි මට … මහණෙනි, ඒ මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය භාවිතව්‍ය යැයි මට … මහණෙනි, මා විසින් භාවිත යැ යි පෙර නො ඇසූ දහම්හි චක්‍ෂුස පහළ වී … ආලොකය පහළ වී” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් ද්වාදශවස්තුක ඥානය ලෝකෝත්තර වේ.
ඤාණ කථා නිමි.
විංශද් වර්‍ගය නිමි.
එහි උද්දානය:
මාතෘඝාතක ආනන්තරික යැ පිතෘඝාතක ආනන්තරික යැ අරහන්තඝාතක ආනන්තරික යැ ලෝහිතුප්පාදක ආනන්තරික යැ සඞ්ඝභේදක ආනන්තරික යැ යන අසඤ්චිච්චකථා යැ, නත්‍ථි පුථුජ්ජනස්ස ඤාණං යනුවෙන් දැක්වූ ඤාණකථා යැ, නත්‍ථි නිරයෙසු නිරයපාලා යනුවෙන් දැක්වූ නිරයපාලකථා යැ, අතථි දේවේසු තිරච්ඡානගතායි දක්වනලද තිරච්ඡානකථා යැ, පඤ්චඞ්ගිකො මග්ගෝයි දක්වන ලද මග්ගකථා යැ, ද්වාදසවත්‍ථුකං ඤාණං යි දක්වන ලද ඤාණකථා’ යි.
ඒකවිංශද්වර්‍ගය
ඒකවිංශද් වර්‍ගය
21. 1.
සාසන කථා.
[‘සඞ්ගීතීත්‍රය සඳහා ශාසනය නවීකෘත යැ යි ද, තථාගත ශාසනය අළුත් කරන කිසිවෙක් ඇතැ යි ද, තථාගත ශාසනය අළුත් කරන්නට ලැබේ යැ යි ද සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘සාසනකථා’ එයි.]
1. ස. පු: ශාසනය නවීකෘත (අළුත් කරන ලද) වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සතිපට්ඨානය නවීකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ
2. ස. පු: ශාසනය නවීකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම්‍යක් ප්‍රධානය … ඍද්ධිපාද … ඉන්‍ද්‍රිය … බල … බෝධ්‍යඞ්ගයෝ නවීකෘත වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පළමු අකුශලය පසු වැ කුශල කරනලද ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: පළමු සාස්‍රවය … සංයෝජනියය ... ග්‍රන්‍ථනීයය ... ඕඝනීයය ... යොගනීයය ... නීවරණියය … පරාමෘෂ්ටය ... උපාදානියය ... සාංක්ලේශිකය පසුව අසාංක්ලේශික කරනලද වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: තථාගතයන්ගේ සස්න අළුත් කරන කිසිවෙක් ඇද්ද?