Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 14301-14400 න් 15036

ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නො:
“අපායසංවර්‍තනික වූ නිරයසංවර්‍තනික වූ කල්පස්ථ වූ වර්‍ගරත වූ අර්‍ධමස්ථ වූ සඞ්ඝභේදක නිවනින් පිරිහේ. සමග සඞ්ඝයා බිඳ කපක් මුළුල්ලෙහි නිරයෙහි පැසේ” යයි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. පා: එකරුණින් “සඞ්ඝභේදක ආනන්තරික වෙයි’.
අසඤ්චිච්ච කථා නිමි.
ඤාණ කථා
[ලෞකික ලෝකෝත්තර විසින් ඥානය ද්විවිධ වෙයි. සමාපත්ති ඥානයත් දානාදි වශයෙන් පවත්නා කර්‍මස්වකෘත ඥානයත් ලෞකික වෙයි. සත්‍යපරිච්ඡේදක (සත්‍යය පිරිසිඳුනා) මාර්‍ගඥානයත් ඵලඥානයත් ලෝකෝත්තර වෙයි. මේ වෙනස නො ගෙන සත්‍යපරිච්ඡේදක ඥාන මැ ඥාන වෙයි. අන්‍ය ඥාන නැත. එහෙයින් පෘථග්ජනහට ඥාන නැතැයි හේතුවාදීන් සෙයින් ලබ්ධිගත්තවුන්ගේ වාද බිඳුනට ඤාණකථා’ එයි.]
1. ස. පු: පෘථග්ජනහට ඥාන නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පෘථග්ජනහට ප්‍රඥා ප්‍රජානන විචය ප්‍රවිචය ධර්‍මවිචය සංලක්‍ෂණ උපලක්‍ෂණ ප්‍රත්‍යුපලක්‍ෂණ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පෘථග්ජනහට ප්‍රඥා ප්‍රජානන විචය ... ප්‍රත්‍යුපලක්‍ෂණ ඇත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් පෘථග්ජනහට ප්‍රඥා ප්‍රජානන විචය … ප්‍රත්‍යුපලක්‍ෂණ ඇත් නම්,
ස. පා: භවත, ‘පෘථග්ජනහට ඥාන නැතැ’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: පෘථග්ජනහට ඥාන නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පෘථග්ජන පුද්ගල ප්‍රථමධ්‍යානයට සමවදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් පෘථග්ජන පුද්ගල ප්‍රථමධ්‍යානයට සමවදනේ නම්,
ස. පා: භවත, ‘පෘථග්ජනහට ඥාන නැතැ’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: පෘථග්ජන පුද්ගල ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට … ආකාසානඤ්චායතනයට සමවදනේ වේ ද? විඤ්ඤාණඤ්චායතනයට ... ආකිඤ්චඤ්ඤායතනයට … නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදනේ වේ ද? පෘථග්ජන පුද්ගල දන් දෙන්නේ වේ ද, … සිවුරු දෙන්නේ වේ ද, පිඬුවා දෙන්නේවේ ද … සෙනසුන් දෙන්නේ වේ ද, ගිලන්පස බෙහෙත් පිරිකර දෙන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් පෘථග්ජන පුද්ගල ගිලන්පස බෙහෙත් පිරිකර දෙන්නේ නම්,
ස. පා: භවත, ‘පෘථග්ජන පුද්ගලහට ඥාන නැතැ’ යි නො’ කියැයුතු මැ යැ.
4. ස. පු: පෘථග්ජනහට ඥාන ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පෘථග්ජන පුද්ගල එ ඥානයෙන් දුඃඛපරිඥාන කෙරේ ද, සමුදය දුරු කෙරේ ද, නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද, මාර්‍ගය වඩන්නේ වේ ද?.
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ඤාණ කථා නිමි.
නිරයපාල කථා
[‘නිරයෙහි නිරයසංවර්‍තතික කර්‍ම මැ නිරයපාලරූප වශයෙන් වධ කෙරෙත් මිස නිරයපාල සත්ත්‍වයෝ නැතැ’යි අන්‍ධක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘නිරයපාලකථා’ එයි.]
1. ස. පු: නිරයෙහි නිරයපාලකයෝ නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නිරයෙහි කම්කටොලු නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: නිරයෙහි කම්කටොලු ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නිරයෙහි නිරෑපල්ලෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: මිනිසුන් කෙරෙහි කම්කටොලු ඇද්ද, කම්කටොලු කරන්නෝත් ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නිරයෙහි කම්කටොලු ඇද්ද, කම්කටොලු කරන්නෝත් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: නිරයෙහි කම්කටොලු ඇද්ද, කම්කටොලු කරන්නෝ නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මිනිසුන් කෙරෙහි කම්කටොලු ඇද්ද, කම්කටොලු කරන්නෝ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ප. පු: නිරයෙහි නිරෑපල්ලෝ ඇද්ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො:
“මෙලොවින් කරනලද පරලොවට ගියහු එහි දී වෙස්සභූ රජ ද නො නසයි. ප්‍රේතරාජ ද නො නසයි. සෝම යැ යම යැ වෛශ්‍රවණරජ යැ යන මොහු ද නො නසති. (වැළිත්) ස්වකීය කර්‍මයෝ මැ නසති” යි.
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. පා: එකරුණින් නිරයෙහි නිරැපල්ලෝ නැත.
6. ප. පු: නිරයෙහි නිරැපල්ලෝ නැද්ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “මහණෙනි, තුලුහුට යමපල්හු පඤ්චවිධබන්‍ධන නම් කම්කටොලු කෙරෙති: රත්වූ යහුලක් අතෙක ගසති. රත්වූ යහුලක් දෙවන අතැ ගසති රත්වූ යහුලක් පයෙකැ ගසති. රත්වූ යහුලක් දෙවන පයැ ගසති. රත්වූ යහුලක් උරමැද ගසති. හේ එහි දී තීව්‍ර වූ කටුක වූ දුක් වේදනා විඳී. ඒ පාපකර්‍ම ගෙවී අපගත නො වන තාක් කල් නො ද මියෙයි” වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් නිරයෙහි නිරෑපල්ලෝ ඇත.
7. ස. පු: නිරයෙහි යමපල්හු නැද්ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “මහණෙනි, යමපල්හු තුලුහු (යපොළොවැ) හොවා පොරොවින් සසිති. මහණෙනි, යමපල්හු තුලුහු පා උඩුබල්වා හිස බිම් බල්වා තබා වැහෙයෙන් සසිති. මහණෙනි, යමපල්හු තුලුහු රියෙහි යොදා ඇවිළගත් ගිනි සහිත ප්‍රජ්වලිත පෘථුවියෙහි ඔබමොබ ඇවිදුවත් … මහණෙනි, යමපල්හු තුලුහු ඇවිළගත් ගිනි සහිත ප්‍රජ්වලිත වූ මහත් අඞ්ගාර පර්‍වතයට නංවති, බස්වති …
මහණෙනි, යමපල්හු තුලුහු පා උඩුබල්වා හිස බිම් බල්වා ගෙන තප්ත වූ ආදීප්ත වූ ජ්‍යොතිර්භූත වූ සම්ප්‍රජ්වලිත වූ ලෝහකුම්භියෙහි ප්‍රක්‍ෂේප කෙරෙති. හෙ එහි පෙණ උදහ කොට පැසෙයි. හේ එහි පෙණ උදහ කොට පස්නේ වරක් උඩට යෙයි. වරක් යටට යෙයි. වරක් සරසට යෙයි. හේ එහි ත්‍රීව වූ කටුක වූ දුක් වේදනා විඳියි. ඒ පාප කර්‍ම අපගත නො වනතාක් කල් නො මියෙයි. මහණෙනි, යමපල්හු තුලුහු ගෙන මහා නිරයෙහි බහාලති. මහණෙනි ඒ මහානිරය වනාහි:
“සතරකන් ඇතියෙ යැ. සතර දොර ඇතියෙ යැ. කොටස් විසින් පමණ කොට බෙදන ලදුයේ යැ. යපවුරින් පිරිකෙව් කරනලද්දේ යැ. සපියනින් වසන ලද්දේ යි.
එහි අයෝමයභූමිය ජ්වලිත වූවා තෙදින් යුතු වූවා හාත්පසින් සියක් යොදුන් තැන හැම කල්හි පැතිර සිටි”යයි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් නිරයෙහි නිරයපාලකයෝ ඇත.
නිරයපාල කථා නිමි.
තිරච්ඡාන කථා
[දෙවියන් කෙරෙහි ඓරාවණ ආදි දිව්‍යපුත්‍රයෝ හස්තිර්‍වණ අශ්වර්‍වණ විකුර්‍වණ කෙරෙති. එහි තිරිසන්ගතයෝ නැත. යම් කෙනකුන්ට තිරිසන්වනින් සිටි දිව්‍යපුත්‍රයන් දැක ‘දෙව්ලොවැ තිරිසන්ගිය සත්ත්‍වයෝ ඇතැ’යි අන්‍ධකනිකායවාසීනට සෙයින් ලබ්ධි ඇත් ද උන්ගේ වාද බිඳුනට ‘තිරච්ඡානකථා’ එයි.]
1. ස. පු: දෙව්ලොවැ තිරිසන්ගිය සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තිරිසන්ගිය සත්ත්‍වයන් කෙරෙහි දෙවියෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: දෙව්ලොවැ තිරිසන්ගිය සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෙව්ලොවැ තිරිසන් යෝනි ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: දෙවියන් කෙරෙහි තිරිසන්ගතයෝ ඇද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: එහි කුරුමිණියෝ පළගැටියෝ මදුරුවෝ මැස්සෝ සපුසු නුහුසුවො සියපාහු ගඬවිල්හු ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ප. පු: දෙවියන් කෙරෙහි තිරශ්චීනගතයෝ නැද්ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: එහි ඓරාවණ නම් හස්තිරාජයෙක්, සහස්‍රයුක්ත දිව්‍යයානයෙක් ඇත් නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් එහි ඓරාවණ නම් හස්තිරාජයෙක්, සහස්‍රයුක්ත දිව්‍යයානයෙක් ඇත් නම්,
ප. පා: භවත, එකරුණින් ‘දෙවියන් කෙරෙහි තිරශ්චීනගතයෝ ඇත.’
5. ස. පු: දෙවියන් කෙරෙහි තිරශ්චීනගතයෝ නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: එහි ඇත්ගොවුවෝ අස්ගොවුවෝ හස්ති ආදීන්ට යව (තණාදිය) දෙන්නෝ හස්තිදමනාදී කම් කරන්නෝ හස්ති ආදින්ට බත් පිසන්නෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. පා: එකරුණින් ‘දෙවියන් කෙරෙහි තිරශ්චීනගතයෝ නැත.’