ශ්‍රද්ධා ඇති සිල්වත් වූ බහුශ්‍රැති වූ ත්‍යාගවත් වූ ප්‍රඥාවත් වූ යම් පුද්ගල කෙනෙක් ඇද්ද, ඔහුන්ගේ යම් සේවනයෙක් බලවත් සේවනයෙක් හාත්පසින් සේවනයෙක් භජනයෙක් සම්ජනයෙක් භක්තියෙක් සම්භක්තියෙක් ඔහුත් කෙරෙහි නැමුණු බවෙක් ඇද්ද, මෝ ‘කල්‍යාණමිත්තතා’ යයි කියනුලබා.
1335. එහි ආපත්තිකුසලතා කවර යත්:
පඤ්ච ආපත්තිස්කන්‍ධයෝ ද ආපත්තීහු යැ සප්ත ආපත්තිස්කන්‍ධයෝ ද ආපත්තීහු යැ. ඒ ආපත්තීන්ගේ පරිච්ඡේද දන්නා බවෙක් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යක්දෘෂ්ටියෙක් ඇද්ද, මෝ ‘ආපත්තිකුසලතා’ යයි කියනුලබා.
1336. එහි ආපත්තිවුට්ඨානකුසලතා කවර යත්:
ඒ ආපත්තින්ගෙන් නැගීසිටීමෙහි දැනීමෙක් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද,මෝ ‘ආපත්තිවුට්ඨානකුසලතා’ යයි කියනුලබා.
1337. එහි සමාපත්තිකුසලතා කවර යත්:
සවිතර්‍කසවිචාර සමාපත්තියෙක් ඇත. අවිතර්‍කවිචාරමාත්‍ර සමාපත්තියෙක් ඇත. අවිතර්‍කඅවිචාරසමාපත්තියෙක් ඇත. ඒ සමාපත්තීන්ගේ පරිකර්‍ම සහිත අර්‍පණා පරිච්ඡේදයෙහි කුසල බවෙක් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද,මෝ ‘සමාපත්තිකුසලතා’ යයි කියනුලබා.
1338. එහි සමාපත්තිවුට්ඨානකුසලතා කවර යත්:
ඒ සමාපත්තින්ගෙන් යම් නැගීසිටීමෙහි නිපුණ බවෙක් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද, මෝ ‘සමාපත්තිවුට්ඨානකුසලතා’ යයි කියනුලබා.
1339. එහි ධාතුකුසලතා කවර යත්:
අටළොස් ධාතු කෙනෙක් වෙති: චක්ඛුධාතු යැ රූපධාතු යැ චක්ඛුවිඤ්ඤාණධාතු යැ, ඝානධාතු යැ ගන්‍ධධාතු යැ ඝානවිඤ්ඤාණධාතු යැ, ජිව්හාධාතු යැ රසධාතු යැ ජිව්හාවිඤ්ඤාණධාතු යැ, කායධාතු යැ ඵොට්ඨබ්බ ධාතු යැ කායවිඤ්ඤාණධාතු යැ, මනෝධාතු යැ ධම්මධාතු යැ මනෝවිඤ්ඤාණ ධාතු යි. ඒ ධාතුන්ගේ යම් උද්ග්‍රහමනසිකාරාදි ධාතුකුසලතායෙක් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද, මෝ ‘ධාතුකුසලතා’ යයි කියනුලබා.
1340. එහි මනසිකාරකුසලතා කවර යත්:
ඒ ධාතුන්ගේ උද්ග්‍රහමනසිකාර දැනීමෙක් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද, මෝ ‘ධාතුකුසලතා’ යයි කියනුලබා.
1341. එහි ආයතනකුසලතා කවර යත්:
දොළොස් ආයතන කෙනෙක් වෙති: චක්ඛායතන ය රූපායතන යැ, සෝතායතන යැ සද්දායතන යැ, ඝානායතන යැ ගන්‍ධායතන යැ, ජිව්හායතන යැ රසායතන යැ, මනායතන යැ ධම්මායතන යි. ඒ ආයතනයන්ගේ යම් (උද්ග්‍රහමනසිකාරාදි) ආයතනකුසලතායෙක් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද, මෝ ‘ආයතනකුසලතා’ යයි කියනුලබා.
1342. එහි පටිච්චසම්මුප්පාදකුසලතා කවර යත්:
අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි. නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන වෙයි. ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණා වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන වෙයි. උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාති වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍යෝපාදානයෝ සම්භව වෙත්. මෙසේ මේ කේවලදුඃඛරාශිහුගේ සමුදය වේ යයි එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මෝ ‘පටිච්චසම්මුපාදකුසලතා’ යයි කියනුලබා.
1343. එහි ස්ථානකුශලතා කවර යත්:
යම් යම් ධර්‍ම කෙනෙක් යම් යම් ධර්‍ම කෙනෙකුන්ගේ උත්පාදය පිණිස හේතුප්‍රත්‍යය වෙත් ද, ඒ ඒ ධර්‍මය කාරණ වේ යයි එහි යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්මාදිට්ඨියෙක් වේ ද, මෝ ‘ඨානකුසලතා’ යයි කියනුලබා.
1344. එහි අස්ථානකුසලතා කවර යත්:
යම් යම් ධර්‍ම කෙනෙක් යම් යම් ධර්‍ම කෙනෙකුන්ගේ උත්පාදය පිණිස හේතු නො වෙත් ද ප්‍රත්‍යය නො වෙත් ද ඒ ඒ ධර්‍මය අස්ථාන යයි එහි යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද, මෝ අස්ථානකුසලතා’ යයි කියනුලබා.
1345. එහි ආජීව කවරෙ යත්:
යම් ඍජු බවෙක් නො ඇද බවෙක් නො වක් බවෙක් අකුටිල බවෙක් ඇද්ද, මේ ‘ආජීව’ යයි කියනුලැබේ.
1346. එහි මාර්‍දව කවරෙ යත්:
යම් මෘදු බවෙක් සිනිඳු බවෙක් නො කැකුළු බවෙක් නො තද බවෙක් යටත් සිත් ඇති බවෙක් වේ ද, මේ ‘මාර්‍දව’ යයි කියනුලැබේ.
1347. එහි ක්‍ෂාන්ති කවර යත්:
යම් ක්‍ෂාන්තියක් සහන බවක් අධිවාසනා කරන බවෙක් නො සැඬ බවෙක් පිරිපුන් වචන ඇති බවෙක් චිත්තයාගේ සියමන බවෙක් ඇද්ද, මෝ ‘ක්‍ෂාන්ති’ යයි කියනු ලබා.
1348. එහි සුරතතා කවර යත්,
යම් කායික අවීතික්‍රමයෙක් වාචසික අවීතික්‍රමයෙක් කායිකවාචසික අවීතික්‍රමයෙක් ඇද්ද, මේ ‘සොරච්ච’ යයි කියනු ලැබේ. හැම සීලසංවර ‘සොරච්ච’ නමි.
1349. එහි සඛිල බව කවරෙ යත්:
යම් තෙපුලෙක් (ඛුංසන වම්භනාදීන්) හටගත් අණ්ඩක ඇති පූතික වු පරාහට කටුක වු මෙරමා ලැගෙනසුලු ක්‍රෝධයට ආසන්න වු සමාධිය පිණිස නො පවත්නේ වේ ද, එබඳු වු තෙපුල් හැරපියා යම් තෙපුලෙක් නිර්දෝෂ ද කනට සුව එළවා ද ප්‍රේමනීය ද හෘදයඞ්ගම ද නාගරිකද බොහෝ දෙනාට කාන්ත ද බොහෝ දෙනාට මනවඩා ද එබඳු තෙපුල් කියන්නේ වෙයි. ඒ පුගුල් කෙරෙහි යම් සිලුටු වචන ඇති බවෙක් මෘදු වචන ඇති බවෙක් නො පරොස් වචන ඇති බවෙක් ඇද්ද, මේ ‘සාඛල්‍ය’ (සඛිල බව) යයි කියනුලැබේ
1350.එහි පටිසන්‍ථාර කවරෙ යත්:
පටිසන්‍ථාරයෝ දෙදෙනෙකි: ආමිසපටිසන්‍ථාර ද ධම්මපටිසන්‍ථාර දැ යි. මෙලොවැ කිසිවෙක් ආමිසපටිසන්‍ථාරයෙන් හෝ ධම්මපටිසන්‍ථාරයෙන් හෝ අතුරු නැති කරන්නේ වෙයි. මේ ‘පටිසන්‍ථාර’ යයි කියනුලැබේ.
1351. එහි ඉන්‍ද්‍රියයන්හි අගුප්තද්වාරතා කවර යත්:
මෙලොවැ කිසිවෙක් ඇසින් රූ දැක නිමිති විසින් ගන්නේ වෙයි. අනුව්‍යඤ්ජන වශයෙන් ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට වසන මෙ පුඟුල්හු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත පාපක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු ද ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදී. චක්‍ෂුරින්‍ද්‍රිය නො රක්නේ වෙයි. චක්‍ෂුරින්‍ද්‍රියෙහි සංවරයට නො පැමිණෙයි. කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ අසා ... දිවින් රස විඳ ... කයින් පැහැසි පැහැස. .. මනසින් දහම් දැන නිමිත්තග්‍රාහී අනුව්‍යඤ්ජනග්‍රාහී වෙයි. යම් කරුණෙකින් මනින්‍ද්‍රිය අසංවෘත කොට වාස කරන මොහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය පාපක අකුශලධර්‍මයෝ මැඩැපවත්නාහු වෙත් ද ඒ මනින්‍ද්‍රියාගේ සංවරය පිණිස නො පිළිපදී, මනින්‍ද්‍රිය නො රක්නේ වෙයි. මනින්‍ද්‍රියෙහි සංවරයට නො පැමිණෙයි මේ ෂඬින්‍ද්‍රියයන්ගේ යම් අගුප්තියක් අගෝපනයෙක් නො රැක්මෙක් අසංවරයෙක් ඇද්ද, මේ ‘ඉන්‍ද්‍රියයන්හි නො පියූ දොර ඇති බව’ යයි කියනුලැබේ.
1352. එහි භෝජනයෙහි අමාත්‍රඥතා කවර යත්:
මෙහි කිසිවෙක් ප්‍රත්‍යවේක්‍ෂා ප්‍රඥායෙන් නො දැන, නො විමසා අනුපායයෙන් කෙළි පිණිස මද පිණිස මණ්ඩන පිණිස විභූෂණ පිණිස ආහාර වළඳ කෙරෙහි, ඒ ප්‍රත්‍යවේක්‍ෂා නො කොට වැළැඳීමෙහි යම් අසන්තුෂ්ටිතායෙක් අමාත්‍රඥතායෙක් ඇද්ද, මේ ‘භෝජනයෙහි අමාත්‍රඥතා’ යයි කියනුලබා.
1353. එහි ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාර බව කවර යත්:
මෙ ලොවැ කිසිවෙක් ඇසින් රූ දැක නිමිත්ත විසින් නො ගන්නේ වෙයි. අනුව්‍යඤ්ජන විසින් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය සංවෘත කොට වෙසෙන තෙල පුඟුල්හු අභිධ්‍යාදෞර්‍මනස්‍ය ලාමක අකුශලධර්‍මයෝ මැඩැගෙන සිටුනාහු ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරයට පැමිණෙයි. චක්‍ෂුරින්‍ද්‍රියය රකී. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ අසා ... දිවින් රස විඳ ... කයින් පැහැසි පැහැසැ ... මනසින් දහම් දැන නිමිත්ත විසින් නො ගන්නේ වෙයි. අනුව්‍යඤ්ජන විසින් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් මනින්‍ද්‍රිය අසංවෘත වැ වෙසෙන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය ලාමක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු ද මනින්‍ද්‍රියයාගේ සංවරයට පිළිපන්නේ වෙයි. මනින්‍ද්‍රිය රකී. මනින්‍ද්‍රියයාගේ සංවරයට පැමිණෙයි. මේ ෂඩින්‍ද්‍රියයන්ගේ යම් ගුප්තියක් ගෝපනයෙක් ආරක්‍ෂායෙක් සංවරයෙක් ඇද්ද, මේ ‘ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාර බව’ යයි කියනුලැබේ.
1354. එහි භෝජනයෙහි මාත්‍රඥතා කවර යත්:
මෙ ලොවැ කිසිවෙක් නුනුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ආහාර වළඳ කෙරෙයි. කෙළි පිණිස නො මැ වෙයි. මදයට නො වෙයි. මණ්ඩනයට නො වෙයි. මේ ශරීරයාගේ ස්ථිතියට යැපීමට වෙහෙස සන්හිඳුවීමට බ්‍රහ්මචර්‍ය්‍යානුග්‍රහයට පමණ වෙයි. මෙසේ පැරැණි බඩගිනි වේදනාත් නසමි. අලුත් බඩගිනි වේදනාත් නූපදවමි. මාගේ ජීවිතයාත්‍රාව ද අනවද්‍ය භාවය ද සුඛවිහරණ ද වේ යයි කියා යි. ඒ ප්‍රත්‍යවේක්‍ෂා කොට වැළඳීමෙහි යම් සතුටු බවෙක් පමණ දන්නා බවෙක් ඇද්ද, මේ ‘භෝජනයෙහි මාත්‍රඥ බව’ යයි කියනුලැබේ.
1355. එහි මූඪස්මෘති බව කවර යත්:
යම් අසතියක් අනුස්මෘති රහිත බවෙක් ප්‍රතිස්මෘති රහිත බවෙක් අසතියක් සිහි නො කරන බවෙක් නො දරන බවෙක් අරමුණෙහි ඉල්පෙන බවෙක් නටසිහි ඇති බවෙක් ඇද්ද, මේ ‘මුළාසිහි ඇති බව’ යයි කියනුලැබේ.
1356. එහි අසම්ප්‍රජන්‍ය කවරෙ යත්:
යම් නො දැනීමෙක් නො දැක්මෙක් අනභිසමයෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් (සිවුසස් දහම්) අප්‍රතිවේධයෙක් අසඞ්ග්‍රාහයෙක් නො බැසගැනීමෙක් සමව නො දැක්මෙක් ධර්‍මස්වභාව නො දැක්මෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් චිත්තසන්තානයාගේ අපවිත්‍ර බවෙක් බාල බවෙක් සම්‍යක්ප්‍රඥා රහිත බවෙක් මෝහයෙක් ප්‍රමොහයෙක් සම්මොහයෙක් අවිද්‍යායෙක් අවිද්‍යා - ඕඝයෙක්, අවිද්‍යා - යෝගයෙක් අවිද්‍යානුශයෙක් අවිද්‍යා - පර්‍ය්‍යුත්‍ථායෙක් අවිද්‍යාලඞ්ගියෙක් මෝහ - අකුශලමූලයෙක් ඇද්ද, මේ ‘අසම්ප්‍රජන්‍ය’ යයි කියනුලැබේ.
1357. එහි ස්මෘති කවර යත්:
යම් ස්මෘතියක් පුනපුනා සිහිකිරීමෙක් අභිමුඛ වැ මෙන් සිහිකිරීමෙක් ස්මෘතියක් සිහිකරන අයුරෙක් ධරණබවෙක් අරමුණෙහි නො ඉල්පෙන බවෙක් නො මුළාවන බවෙක් ස්මෘතියක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ඇද්ද, මෝ ‘ස්මෘති’ යයි කියනුලැබේ.
1358. එහි සම්‍යක්ප්‍රඥා කවර යත්:
යම් ප්‍රඥාවක් දන්නා අයුරෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද, මෙ ‘සම්ප්‍රජන්‍ය’ යයි කියනුලැබේ.
1359. එහි පටිසඞ්ඛාන (ප්‍රත්‍යවේක්‍ෂා) බල කවරෙ යත්:
යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද, මෙ ‘ප්‍රත්‍යවේක්‍ෂාබල’ යයි කියනුලැබේ.
1360. එහි භාවනා බල කවරෙ යත්:
බෝධිපාක්‍ෂික කුශලධර්‍මයන්ගේ යම් ආසේවනායෙක් භාවනායෙක් පුනපුනා වැඩීමෙක් ඇද්ද, මේ ‘භාවනාබල’ යයි කියනුලැබේ. සප්තබෝධ්‍යඞ්ගයෝ මැ භාවනාබල යි.
1361. එහි සමථ කවරෙ යත්:
චිත්තයාගේ යම් අරමුණෙහි අචල වැ සිටීමෙක් ... සම්‍යක්සමාධියෙක් ඇද්ද, මේ ‘සමථ’ යයි කියනුලැබේ.
1362. එහි විපස්සනා කවර යත්:
යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද, මෝ ‘විපස්සනා’ යයි කියනුලබා.
1363. එහි සමථනිමිත්ත කවරෙ යත්:
චිත්තයාගේ අරමුණෙහි යම් අචල වැ සිටීමෙක් ... සම්‍යක්සමාධියෙක් ඇද්ද, මේ ‘සමථනිමිත්ත’ යයි කියනුලැබේ.
1364. එහි ප්‍රග්‍රාහනිමිත්ත කවරෙ යත්:
යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යක්ව්‍යායාමයෙක් ඇද්ද, මේ ‘ප්‍රග්‍රාහනිමිත්ත’ යයි කියනුලැබේ.
1365. එහි ප්‍රග්‍රාහ කවරෙ යත්:
යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් ඇද්ද, මේ ‘ප්‍රග්‍රාහ’ යයි කියනුලැබේ.
1366. එහි අවික්‍ෂේප කවරෙ යත්:
චිත්තයාගේ යම් අරමුණෙහි අචල වැ සිටීමෙක් … සම්‍යක්සමාධියෙක් ඇද්ද, මේ ‘අවික්‍ෂේප’ යයි කියනුලැබේ.
1367. එහි ශීලවිපත්ති කවර යත්:
යම් කායික ව්‍යතික්‍රමයෙක් වාචසික ව්‍යතික්‍රමයෙක් කායිකවාචසික ව්‍යතික්‍රමයෙක් ඇද්ද, මෝ ‘ශීලවිපත්ති’ යයි කියනුලබා. හැම දුශ්ශිල්‍යය ශීලවිපත්ති නමු.
1368. එහි දෘෂ්ටිවිපත්ති කවර යත්:
දුන් දැය විපාක නැත, පූජායෙහි විපාක නැත, හෝමයෙහි විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, උපපාදුක සත්‍වයෝ නැත, ලොවැ යැම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද, එබඳු වූ සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණබමුණු කෙනෙක් නැතැයි මෙබඳු වූ යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝමදෘශ්ටි ඇති බවෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටාසිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මෝ ‘දෘෂ්ටිවිපත්ති’ යැයි කියනු ලබා. හැම මිථ්‍යාදෘෂ්ටි දෘෂ්ටිවිපත්ති නමු.
1369. එහි ශීලසම්පත් කවර යත්:
යම් කායික අව්‍යතික්‍රමයෙක් වාචසික අව්‍යතික්‍රමයෙක් කායිකවාචසික අව්‍යතික්‍රමයෙක් ඇද්ද, මෝ ‘ශීලසම්පත්’ යයි කියනුලබා. හැම ශීලසංවර ශීලසම්පත් නමු.
1370. එහි දෘෂ්ටිසම්පත් කවර යත්:
‘දුන් දැය විපාක ඇත, පුදනලද්දෙහි විපාක ඇත, හෝම (ආගන්තුක සත්කාර) යෙහි විපාක් ඇත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක ඇත, මෙලොව ඇත, පරලොව ඇත, මවු ඇත, පියා ඇත, උපපාදුක සත්‍වයෝ ඇත, ලොව සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න වූ යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද එබඳු ශ්‍රමණබ්‍රාහ්මණයෝ ඇතැ’යි යම් මෙබඳු වූ ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද, මෙ ‘දිට්ඨිසම්පදා’ යි කියනුලැබේ. හැම සම්‍යග්දෘෂ්ටි දිට්ඨිසම්පදා යි.
1371. එහි ශීලවිසුද්ධි කවර යත්:
යම් කායික අව්‍යතික්‍රමයෙක් වාචසික අව්‍යාතික්‍රමයෙක් කායිකවාචසික අව්‍යාතික්‍රමයෙක් ඇද්ද, මේ ‘ශීලවිසුද්ධි’ යැයි කියනු ලබා. හැම ශීලසංවරය ශීලවිසුද්ධි යි.
1372. එහි දිට්ඨිවිසුද්ධි කවර යත්:
කර්‍මස්වකතාඥානය සත්‍යානුලෝමිකඥානය මාර්‍ගසමඞ්ගීහුගේ ඥානය ඵලසමඞ්ගීහුගේ ඥාන යි.
1373. ‘දිට්ඨිවිසුද්ධි ඛො පන’ යනු යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද, එයයි.
1374. ‘යථාදිට්ඨිස්ස ච පධානං’ යනු යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් ඇද්ද, එයයි.
1375. ‘සංවේගො’ යනු ජාතිභය ජරාභය ව්‍යාධිභය මරණභය යි. ‘සංවෙජනීයං ඨානං’ යනු ජාති ජරා ව්‍යාධි මරණ යි.
1376. ‘සංවිග්ගස්ස ච යෝනිසෝ පධානං’ යනු මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපැදීම පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩි කොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩි කොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. නූපන් කුශලධර්‍මයන්ගේ ඉපැදීම පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩි කොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් කුශලධර්‍මයන්ගේ ස්ථිතිය පිණිස අවිනාශයට බහුලභාවයට විපුලත්‍වයට වැඩීමට සම්පූර්‍ණ වීමට කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩි කොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
1377. ‘අසන්තුට්ඨිතා ච කුසලෙසු ධම්මේසු’ යනු කුශලධර්‍මයන්ගේ වැඩීමෙහි අසන්තුෂ්ට වූවහුගේ බොහෝ කොට කැමතිබවෙක් ඇද්ද එය යි.
1378. ‘අප්පටිචානිතා ච පධානස්මිං’ යනු කුශලධර්‍මයන්ගේ වැඩීමෙහි යම් සකස් කොට කරන බවෙක් නිරතුරු වැ කරන බවෙක් නො නැවත කරන බවෙක් නො හැකුළුණු පැවතුම් ඇති බවෙක් නො පියූ කුශලච්ඡන්‍දය ඇති බවෙක් නො පියූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් ආසේවනායෙක් භාවනායෙක් බහුල කිරීමෙක් ඇද්ද එය යි.
1379. ‘විජ්ජා’ යනු ත්‍රිවිද්‍යා යැ. පූර්‍වනිවාසානුස්මෘතිඥානය විද්‍යා යැ, සත්‍වයන්ගේ ච්‍යුති උපප්‍රාප්තියෙහි ඥානය විද්‍යා යැ, ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙහි ඥානය විද්‍යා යි.
1380. ‘විමුක්ති’ යනු විමුක්ති දෙකෙකි: අෂ්ටසමාපත්තී සඞ්ඛ්‍යාත වූ චිත්තයාගේ අධිමුක්තිය ද නිර්‍වාණය දැ යි.
1381. ‘ඛයෙඤාණං’ යනු මාර්‍ගසමඞ්ගීහුගේ ඥානය යි.
1382. ‘අනුප්පාදෙඤාණං’ යනු ඵලසමඞ්ගීහුගේ ඥානය යි.
සූත්‍රාන්ත මාතෘකාය
නික්‍ෂේපකාණඩය නිමි.
4. අට්ඨකථාකාණ්ඩය
1383. කුශලධර්‍මයෝ කවරහ යත්:
සතර භූමියෙහි කුශල යැ. මේ ධර්‍මයෝ කුශලයෝ යි.
1384. අකුශලධර්‍මයෝ කවරහ යත්:
දොළොස් අකුශලචිත්තෝත්පාදයෝ යැ. මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
1385. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්:
සතර භූමියෙහි විපාකය ද තුන් භූමියෙහි ක්‍රියාව්‍යාකෘතය ද රූපය ද නිර්‍වාණය ද යන මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
1386. සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
කාමාවචරකුශලයෙන් සතර සොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ යැ අකුශලයෙන් (සොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ) සතර දෙන යැ කාමාවචරකුශලයාගේ විපාකයෙන් ද ක්‍රියායෙන් ද (සෝමනස්සසහගත විපාක සතරයැ හසිතුප්පාදචිත්තය දැ යි චිත්තෝපාදයෝ) පස්දෙන යැ කුශලයෙන් ද විපාකයෙන් ද ක්‍රියායෙන් ද රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යාන චිත්තයෝ යැ කුශලයෙන් ද විපාකයෙන් ද ලෝකෝත්තර ත්‍රිකචතුෂ්කධ්‍යාන චිත්තයෝ යැ යන මොහු යැ. මෙහි උපන් සුඛවේදනාව තබා මේ ධර්‍මයෝ සුඛවේදනාව හා සම්ප්‍රයුක්තයෝ යි.
1387. දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
දොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙන යැ දුක්සහගිය කායවිඥාන යි. මෙහි උපන් දුඃඛවේදනාව තබා මේ ධර්‍මයෝ දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්තයෝ යි.