කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් මහණක්හුගේ තුළුල් ඇවත් දැන දැන සැඟවී, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
5. පිළිසඳ පටන් උනුවිසිවස් පුඟුලක්හු දැන දැන උපසපන් කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහ නුවරැදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු උනුවිසිවස් ඇති පුඟුලක්හු දැන දැන උපසපන් කළහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
6. දැන දැන සොර ගැල් සාත්තුවක් හා සමග කතිකා කොටගෙන එක් අදන්මගකට පිළිපන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් දැන දැන සොර ගැල් සාත්තුවක් හා සමග කතිකා කොටගෙන එක් අදන්මගකට පිළිපන්නේ යැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
7. මාගමක හා කතිකා කොට ගෙණ එක් අදන්මගකට පිළිපන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් මාගමක හා කතිකා කොට ගෙණ එක් අදන්මගකට පිළිපන්නේ යැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟී. ...
8. තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි ලාමක දෘෂ්ටිය නො හරින්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: පෙරැ ගිජුලිහිණින් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ මහණහු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: පෙරැ ගිජුලිහිණින් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ මහණ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි ලාමක දෘෂ්ටිය නො හළේ යැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
9. එසේ (මම බුදුරදුන් වදාළ ධර්‍මය දනිමි) කියන නො කළ ඔසාරණ කම් ඇති දෘෂ්ටිය නො හළ මහණහු සමඟ දැන දැන ධර්‍මාමිෂසම්භෝග කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු එසේ (මම බුදුරදුන් වදාළ ධර්‍මය දනිමි) කියන නො කළ ඔසාරණ කම් ඇති ඒ දෘෂ්ටිය නො හළ අරිට්ඨ මහණහු සමග ධර්‍මාමිෂ සම්භෝග කළාහු යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
10. දැන දැන එසේ නෙරණ ලද හෙරණහට සඞ්ග්‍රහ කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු දැන දැන එසේ නෙරණ ලද කණ්ටක හෙරණහට සඞ්ග්‍රහ කළාහු යැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
සත්වන සප්පාණක වර්‍ග යි.
5. 8.
1. භික්‍ෂූන් විසින් බුද්ධප්‍රඥප්ත ශික්‍ෂාපද සහිත කොට කියනු ලබන්නේ “ඇවැත්නි, මම ව්‍යක්ත වූ විනයධර වූ අන් මහණක්හු පිළිවිස්නා තාක් තෙල ශික්‍ෂාපදයෙහි නො හික්මෙන්නෙමි” යි කියන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: කොසඹැ නුවරැදි පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න මහණහු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න මහණ භික්‍ෂූන් විසින් බුද්ධප්‍රඥප්ත ශික්‍ෂාපද සහිත කොට කියනු ලබන්නේ “ඇවැත, ව්‍යක්ත වූ විනයධර වූ අන් භික්‍ෂු නමක් යම්තාක් නො විචාරන්නෙම් ද, ඒ තාක් මම තෙල සිකපදයෙහි නො හික් මෙන්නෙමි” යි කීයැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී: ...
2. විනය නිඟන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද, යත්: සවග මහණහු විනය ගැරහූ හු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
3. මුළා කරවීමෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මුළා කරවූහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
4. කුපිත වූ නො සතුටු සිතින් මහණක්හට පහර දෙන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු කිපියාහු නො සතුටු සිත් ඇත්තාහු භික්‍ෂූන්ට පහර දුන්හු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
5. කුපිත වූ නො සතුටු සිතින් මහණක්හට අතුල් නගා දක්වන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු කිපියාහු නො සතුටු සිත් ඇත්තාහු භික්‍ෂූන්ට අතුල් නගා දැක්වූහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
6. අමුලු සඟවෙසෙසින් මහණක්හට චෝදනා කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු අමුලු සඟවෙසෙසින් මහණක්හට චෝදනා කළහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. …
7. දැන දැන මහණක්හට කුකුස් උපදවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු දැන දැන භික්‍ෂූන්ට කුකුස් ඉපදවූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. …
8. හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විවාදාධිකරණයට පැමිණි භික්‍ෂූන්ගේ බස් ඇසෙන තැනෙක සිටින්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විවාදාධිකරණයට පැමිණි භික්‍ෂූන්ගේ බස් ඇසෙන තැන සිටියහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. …
9. දැහැමි කර්‍මයන්ට ඡන්‍දය දී පසුව දොස් කීමට පැමිණෙන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු දැහැමි කර්‍මයන්ට ඡන්‍දය දී පසුව දොස් කීහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. …
10. සඞ්ඝයා අතරැ විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟී යන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් සඞ්ඝයා අතරැ විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟී ගියේ යැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. …
11. සමග සඞ්ඝයා විසින් මහණක්හට සිවුරක් දී පසුවැ දොස් කීමට පැමිණෙන්නාහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැ දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු සමග සඞ්ඝයා විසින් මහණක්හට සිවුරක් දී පසුවැ දොස් කීමට පැමිණියාහු යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
12. සඟනට පිරිනමන ලද සඟසතු ලාභය දැන දැන පුද්ගලයක්හට පිරිනමන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු සඟනට පිරිණමන ලද සඟසතු ලාභය දැන දැන පුද්ගලයක්හට පිරිණැමූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
අටවැනි සහධර්මික වර්‍ගයි.
5. 9.
1. පළමු නො දන්වන ලදුව රජුගේ යහන්ගැබට පිවිසෙන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරබ ද යත්: ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇරබ යැ.