කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක් හි ද යත්: හුදෙකලා වූ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර හුදෙකලා මාගමක හා රහස්හි හින, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
6. ඇරයුම් ලද බත් ඇතියහු විසින් වැළත සිටි මහණක්හු නො විචාරා පෙර බත්හි හෝ පසු බත්හි හෝ කුලයන්හි හැසිරෙන මහණහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: රජගහනුවරැදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍රයන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක් හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍ර ඇරැයුම් ලද බත් ඇතියේ පෙර බත්හි ද පසු බත්හි ද කුලයන්හි හැසිරීමට පැමිණියේ යැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති සතරෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ.
7. එයින් (පවරණ ලද පමණින්) වැඩියක් බෙහෙත් විනවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: ශාක්‍ය ජනපදයෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මහානාම ශාක්‍යයන් විසින් “ස්වාමීනි. අද එකදවසක් පොරොත්තුවුව මැනැවැ” යි කියනු ලබන්නෝ පොරොත්තු නොවුහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නගී. ...
8. සටනට නිකුත් සෙනඟ දැක්මට යන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු සටනට නික්මුණු සෙනග දැක්මට ගියාහු යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නගියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
9. අයිරා තෙරැයක් සේනායෙහි වසන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු අයිරා තෙරැයක් සේනාවෙහි විසූහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නගියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
10. යුද බිමට යන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු යුදබිමට ගියාහු ය, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නගියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
පස්වන අචේලක වර්‍ග යි.
5. 6.
1. රහමෙර පීමෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: කොසැඹ නුවරදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් සාගත තෙරුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් සාගත තෙරණුවෝ මත්පැන් පානය කළහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නගී. කිසිවිටෙක කයින් ද සිතින් නඟියි, වචනයෙන් නො නඟී. ...
2. ගිරිති කැවීමෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ගිරිති කැවීමෙන් මහණක්හු සිනහ ගැන්වූහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
3. දිය කෙළනා රිසියෙන් කිමිදෙන සැහැවියෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සතළොස්වග මහණුන් ඇරැබයැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සතළොස්වග මහණහු අචිරවතී නදියෙහි දිය කෙළි කළෝ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි. වචනයෙන් නො නඟී. ...
4. අනදර කිරීමෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: කොසඹෑ නුවරැදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න මහණහු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න මහණ අනදර කෙළේයැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟී. ...
5. මහණක්හු බිය ගන්වන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හුහු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මහණක්හු බිය ගැන්වූහු. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නගී. ...
6. ගිනි දල්වා තප්නහු පිළිබඳ පචිතිසිකපදය කො තැන්හි පණවන ලද ද යත්: භගුදනවුහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු ගිනි දල්වා තැප්පාහු යැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති දෙකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
7. අඩමසෙකින් මොබ නහන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු රජු ද දැක පමණ නො දැන නැවාහු යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති සයෙකි.
සබ්බත්‍ථ පඤ්ඤත්ති පදෙස පඤ්ඤත්ති ද යත්: පදෙස පඤ්ඤත්ති යි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
8. තෙවැදෑරුම් දුර්වර්‍ණ කිරීම් අතුරෙන් එක්තරා දුර්වර්‍ණ කිරීමක් නො ගෙණ (කප්බිඳු නො තබා) අළුත් සිවුරක් පරිභෝග කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු තමන්ගේ සිවුරු නො හැඳින ගත්හු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි. ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.
9. මහණක්හට හෝ මෙහෙණකට හෝ හික්මනුවකට හෝ හෙරණකුට හෝ හෙරණකට හෝ තෙමේ සිවුරක් දී නො පසුදුරා පරිභෝග කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර මහණක්හට තෙමේ සිවුරක් දී නො පසුදුරා පරිභෝග කෙළේ යැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... කඨින සමුට්ඨානයෙහි යැ.
10. මහණක්හු ගේ (ඉටන් පොහෝනා) පාත්‍රයක් හෝ (විකපුන් පොහෝනා) සිවුරක් හෝ නිසීදනයක් හෝ හිදිගුලාවක් හෝ කාබහනක් හෝ සඟවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු භික්‍ෂූන් ගේ පාත්‍රද සිවුරු ද සැඟවූහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නගී. ...
සවන සුරාමේරය වර්‍ගයි.
5. 7.
1. දැන දැන (තිරිසන්) සතක්හු දිවි ගළවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ දැන දැන සතක්හු දිවි ගැළවීයැ. ඒ වස්තුවෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
2. දැන දැන පණුවන් සහිත ජලය වළඳන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු දැන දැන පණුවන් සහිත ජලය පරිභෝග කළාහු යැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
3. දැන දැන දැහැමින් සන්හිඳුවන ලද අධිකරණය නැවත විසඳීම් පිණිස උගුළුවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු දැන දැන දැහැමින් සන්හිඳුවන ලද අධිකරණය නැවත විසදීම් පිණිස ඉගිළවූහු. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
4. මහණක්හුගේ තුළුල් (සඟවෙසෙස්) ඇවතක් දැන දැන සඟවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.