සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝම සමුට්ඨානයෙහි යැ. ...
7. මාගමකට සපස්වදනෙකින් මත්තෙහි දහම් දෙසන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ මාගමකට දහම් දෙසීය, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති දෙකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: පදසො ධම්ම සමුට්ඨානයෙහි යැ. ...
8. අනුපසපනක්හට විද්‍යාමාන වූ උතුරුමිනිස්දහම් ආරොචන කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: විසල් පුරයෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: වග්ගුමුදාතීරවාසී භික්‍ෂූන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: වග්ගුමුදාතීරවාසී භික්‍ෂූහු ගිහියනට ඔවුනොවුන් පිළිබඳ උතුරුමිනිස් දහම්හි ගුණ වැණූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක වචනයෙන් නඟියි, කයින් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. ...
9. මහණක්හු පිළිබඳ තුළුල් ඇවතක් අනුපසපනක්හට ආරෝචනා කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මහණක්හු පිළිබඳ තුළුල් ඇවතක් අනුපසපනක්හට ආරෝචනා කළහ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි. ...
10. පොළොව කණින්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: අළව් නුවරැ දි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: අළව්පුරවැසි මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: අළව්පුරවැසි මහණහු පොළොව කැණුහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි. ...
පළමුවන මුසාවාද වර්‍ග යි.
5. 2. භූතගාම වර්‍ගය
1. අමු ලිය රුක් තණ ආදි භූතසමූහය සිඳීමෙහි පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: අළව්පුරයෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: අළව්පුරවැසි මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: අළව්පුරවැසි මහණහු ගසක් සිඳලූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
2. අනෙකක් කීමෙහි ද (නිහඬවීමෙන්) වෙහෙසීමෙහි ද පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: කොසඹෑනුවරැ දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න මහණහු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න මහණ සඟමැද ඇවතින් චෝදනා කරණු ලබනුයේ අනෙකෙකින් අනෙකක් වැසී ය, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
3. අවමන් කිරීමෙහි ද අයුණු කීමෙහි ද පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: රජගහ නුවරැ දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: මෙත්තිය භුම්මජක භික්‍ෂූන් ඇරැබැ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: මෙත්තිය භුම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍රයනට භික්‍ෂූන් ලවා අවමන් කරවූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
4. සඟසතු ඇඳක් හෝ පුටුවක් හෝ බිස්සක් හෝ බදවෙළුවක් හෝ එළිමහනෙහි අතුට නො නගා තබා නො පිළිවිසැ බැහැර යන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු සඟසතු සෙනසුන් එළිමහනෙහි අතුට නො නඟා තබා නො පිළිවිසැ බැහැර ගියාහු යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...
5. සඟසතු වෙහෙරෙහි ශය්‍යාවක් අතුට නො නඟා තබා නො පිළිවිස බැහැර යන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සතළොස්වග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සතළොස්වග මහණහු සඟසතු වෙහෙරෙහි ශය්‍යාවන් අතුට නො නගා තබා නො පිළිවිස බැහැර ගියාහු යැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...
6. සඟසතු වෙහෙරෙහි දැන දැන පළමු එළඹ සිටි මහණහු හමුවට වැද ශයනය කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ස්ථවිර භික්‍ෂූන් හමුවට වැද ශයනය කළාහු යැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නගියි, වචනයෙන් නො නඟී. ...
7. කිපී නොසතුටු සිතින් මහණක්හු සඟසතු වෙහෙරින් බැහැර කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවගමහණහු කිපියාහු නොසතුටු සිත් ඇත්තාහු භික්‍ෂූන් සඟසතු වෙහෙරින් බැහැර කළාහු යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
8. සඟසතු වෙහෙරෙහි නො සෙවෙණි කළ කිළිය මතුයෙහි වල්හිස විද සිළුගන්වා කළ පා ඇති ඇඳෙකැ හෝ පුටුවෙකැ හෝ හිඳින්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් සඟසතු වෙහෙරෙහි නො සෙවෙණි කළ කිළිය මතුයෙහි වල්හිස විද සිළු ගන්වා කළ පා ඇති ඇඳෙකැ යුහුව හුන්නේ යැ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින්ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. …
9. දෙතුන් පරික්‍ෂේපයක් විධාන කොට ඊට වැඩියක් විධාන කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: කොසැඹෑනුවරැ පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න මහණහු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න මහණ කොට නිමවන ලද විහාරයක් පුනපුනා සෙවෙණි කරවීය, පුන පුනා අලෙව් කරවීය. ඉතා බර වූ විහාරය පතිත විය, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
10. පණුවන් සහිත දිය දැන දැන තණපත්හි හෝ මැටියෙහි හෝ ඉසින්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: අළව් නුවරැදි පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: අළව්පුරවැසි මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: අළව් පුරවැසි මහණහු පණුවන් සහිත දිය දැන දැන තණපත්හි ද මැටියෙහි ද ඉසියහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
දෙවන භූතගාම වර්‍ග යි.
5. 3. ඕවාද වර්‍ගය
1. භික්බුනෝවාදක සම්මුතිය නොලැබ මෙහෙණන්ට ඔවා දෙන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සම්මතය නො ලත් සවග මහණහු මෙහෙණන්ට ඔවා දුන්හ, ඒ වස්තුයෙහි යැ.
එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්න පඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකැ, අනුප්පන්න පඤ්ඤත්ති එහි නැති.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නගියි: කිසි විටෙක වචනයෙන් නඟියි, කයින් නො නඟියි, හිතින් නො නගී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. ...
2. හිරු අවරට ගියකල්හි මෙහෙණන්ට ඔවා දෙන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් චුල්ලපන්‍ථක ස්ථවිර හිරු අස්තයට ගිය කල්හි මෙහෙණන්ට ඔවා දුන්නේ යැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: පද සෝධම්ම සමුට්ඨානයෙහි ය. ...
3. මෙහෙණවරට එළඹැ මෙහෙණන්ට ඔවා දෙන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: ශාක්‍යජනපදයෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මෙහෙණවරට එළඹැ මෙහෙණකට ඔවා දුන්හ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...
4. භික්‍ෂූන් ආමිස හේතුයෙන් මෙහෙණන්ට ඔවා දෙතියි කියන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ආමිස හේතුයෙන් භික්‍ෂූන් මෙහෙණන්ට ඔවා දෙතියි කීහු, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
5. නො නෑ මෙහෙණක්හට සිවුරක් දෙන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් නො නෑ මෙහෙණකට සිවුරක් දින, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...