29. හිරු අවරට ගිය කල්හි මහණ තෙමේ මස් අනුභව කරයි. උමතුවූවෙක් ද නො වෙයි. පෙරැළි සිතැත්තේ ද නො වෙයි. හෙතෙමේ වේදනායෙන් පෙළුනෙක් ද නො වන්නේ ය. (එහෙත්) ඔහුට ඇවැත් නො වේ. ඒ ධර්‍මය ද බුදුරජුන් විසින් දේශනා කරන ලද්දේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය වමාරා කන මහණහු සඳහා කියන ලදි.)
30. මෙවුන්දම්රායෙන් රත් වූ සිතැත්තේ නො වෙයි. සොරසිත් ඇත්තේ ද නො වෙයි. හෙතෙමේ මෙරමා නසනු පිණිස ද නො සිතී ය. ලභ දෙන්නහුට පරිජි වෙයි. පිළිගන්නහුට ථුලැසි වේ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (සඞ්ඝභේදයෙහි ලහ ගැන්වීම සඳහා කියන ලදි.)
31. සැක සහිත යැ යි සම්මත වූ වනසෙනසුනෙක් ද නො වෙයි. බිඳුනු සඟහු විසින් අවිප්පවාසසම්මුතිය දෙන ලද්දී නො වෙයි. ඒ පුද්ගලයා විසින් කඨිනයෙක් නො අතුරණ ලද්දේ ය. සැක සහිත යැ යි සම්මත වනසෙනසුනක් නො වූ තන්හි ම සිවුර තබා අඩ යොදුනක් තැන් යන්නේ ය. එහි ම අරුණ නගන්නහුට ඇවැත් නො වේ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය මනාව පිහිටි නුගරුක් වැනි එක් කුලයක් හුගේ රුක්මුල සඳහා කියන ලදි.)
32. කයින් සිදු වෙති. වචනයෙන් සිදු නො වෙති. සියල්ලෝ වෙන් වෙන් වූ වස්තු ඇත්තාහු වෙත්. පෙරැ පසු නො වැ එකවර (සඟවෙසෙස්) අවදනේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය බොහෝ මාගමුන්ගේ කෙස් හෝ ඇඟිලි හෝ එකට අල්වා සඟවෙසෙස් අවදනහු සඳහා කියන ලදි.)
33. වචනයෙන් සිදු වෙති. කයින් සිදු නො වෙති. වෙන් වෙන් වූ සියලු ඇවැතුන්ට පෙරැ පසු නො වැ එකවර පැමිණෙන්නේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය “සබ්බාව තුම්හෙ සිඛරණියෝ “යනාදි විසින් තුළුල් තෙපුල් කියන්නහු සඳහා කියන ලදි.)
34. මිනිස්, නො මිනිස්, තිරිසන් විසින් ස්ත්‍රීහු තිදෙනෙකි. (ඔවුන් හා) ඒ මෛථුන සේවනය ද නො කරන්නේ ය. මිනිස්, නො මිනිස්, නිරිසත් යන තුන් පුරුෂයන් වෙත ද, උභතෝබ්‍යඤ්ජනකසඞ්ඛ්‍යාත අනාර්‍ය්‍යයන් තිදෙන වෙත ද, පණ්ඩකයන් තිදෙන වෙත ද එළඹ මෙවුන්දම් සෙවුනේ ද නො වෙයි. ලම්බී මුදුපිට්ඨිකාදි අනුලොම් පාරාජික වස්තුවෙහි ද මෙවුන්දම් නො හැසිරෙන්නේ ය. (එහෙත්) මෛථුන ධර්‍ම හේතුවෙන් පරිජි වන්නේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය අෂ්ට වස්තුක පාරාජිකාව සඳහා කියන ලදි.)
35. මවගෙන් සිවුරක් ඉල්ලන්නේ ය. සඞ්ඝයාහට පිරිනමන ලද්දෙක් ද නො වෙයි. නෑයන් විනවීමෙහි ඇවැත් නො වේ. ඔහුට කවර ශික්‍ෂාපදයෙකින් ඇවැත් වේ ද, මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය පිට්ඨිසමය නම් වූ ඉල්මස පසළොස්වක පටන් පොසොන් පසළොස්වක තෙක් සත් මස තුළ වස්සිකසාටික චීවරය පිණිස සතුප්පාදකරණය සඳහා කියන ලදි.)
36. කිපියේ සිත් ගන්නේ වෙයි, කිපියේ ගැරැහියැ යුත්තේ වෙයි, යම් කරුණෙකින් කිපියේ පැසැසිය යුත්තේ වේ ද, වැළිදු එබඳු වූ ඒ ධර්‍මය තෙමේ කවරේ ද? මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි.
37. තුටුවූයේ සිත් ගන්නේ වෙයි, තුටුවුයේ ගැරහිය යුත්තේ වෙයි, යම් කාරණයෙකින් තුටුවූයේ ගැරහිය යුත්තේ වේ ද? වැළිදු ඒ ධර්‍මය තෙමේ කවරේද? මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මේ ගාථා දෙක තීර්‍ත්‍ථකයන්ගේ වත කියන ලදි.)
38. සඟවෙසෙස යැ. ථුලැසි යැ, පචිති ය, පිළිදෙස්නී යැ. දුකුළා යැ යන මේ ඇවැතුන්ට එකවර අවදනේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය මෙවුන්දම්රායෙන් තෙත් වූ මෙහෙණක් එසේ වූ පිරිමියකු අතින් අහරක් ගෙණ මිනිස්මස් ලුණු පිණි බොජුන් හා සෙසු අකැපමස් හා සමග හනා වළඳා ද, ඇය සඳහා කියන ලදි.)
39. දෙදෙන ම පිරිපුන් විසි වයස් ඇත්තාහ. දෙදෙනාහට ම එක් ම උපාධ්‍යායයෙක් වෙයි. එක් ම ආචාර්‍ය්‍යයෙක් , වෙයි. එක් ම කර්‍මවාක්‍යයෙක් වෙයි. (එහෙත්) එකෙක් උපසම්පන්න යැ, එකෙක් අනුපසම්පන්න යැ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය අහස්හි සිටි හෙරණහු සඳහා කියන ලදි.)
40. (යම් සිවුරක්) කප්බින්‍දු නො තබන ලද ද, කැපරඳනින් නො රඳනා ලද ද, ඒ සිවුරෙන් හඳනා ලද්දේ කැමැති තැනකට යන්නේ ද, ඒ මහණහට ඇවැත් නො වේ. ඒ ධර්‍මය තෙමේත් බුදුරජුන් විසින් දෙසන ලද්දේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය අසිඳගත් සිවුරු ඇති මහණහු සඳහා කියන ලදි.)
41. මෙහෙයන තැනැත්තී නො දෙයි. මෙහෙයනු ලැබූ තැනැත්තී මෙහෙයන මෙහෙණ අතින් නො පිළිගණියි. ඒ කාරණයෙන් (මෙහෙයන තැනැත්තිය අතින් මෙහෙයනු ලැබූ මෙහෙණගේ) පිළිගැන්මෙක් නැත. එහෙත් ගරු ඇවැතට පැමිණෙයි. ලුහු ඇවැතට නො පැමිණේ. හෙද පිරිබෝ කිරීම් හේතුවෙනි. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය මෙවුන්දම්රායෙන් තෙත් වූ පිරිමියකු අතින් අහරක් පිළිගැණීමට මෙහෙණක මෙහෙයන මෙහෙණ සඳහා කියන ලදි.)
42. තොමෝ නො දෙයි. අන් තැනැත්තිය ද නො පිළිගණියි. ඒ කාරණයෙන් පිළිගැන්මෙක් නැත. එහෙත් ලුහු ඇවැතට පැමිණෙයි, ගරු ඇවැතට නො පැමිණේ. එද පිරිබෝ කිරීම් හේතුවෙනි. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙවුන්දම්රායෙන් තෙත් වූ පිරිමියකු අතින් දියදහැටි පිළිගැණීමට මෙහෙණක මෙහෙයන මෙහෙණ සඳහා කියන ලදි.)
43. සාවශේෂ වූ ගරු ඇවැතට පැමිණෙයි. අනදරය පිණිස (ඇවැත) සඟවාලයි. ඕ මෙහෙණක් නො වේ. (ඇවැත සැඟවීමෙන්) වරදක් ද නො පහස්නේ යි. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය උඛෙව්නීකම් කරණ ලද මහණහු සඳහා කියන ලදි.)
සෙදමොචන ගාථා නිමි
එහි නාමාවලිය:
අසංවාස යැ, අවිස්සජ්ජික යැ, දස (පුග්ගල) යැ, අනුක්ඛිත්තක උපේතිධම්ම උබ්හක්ඛක තුණ යැ, සඤ්ඤාචිකා දෙක යැ.
න කායික ගරුක යැ, න කායික සුභාසිත යැ, අනාලපන්ත යැ. සික්ඛා යැ. උභො යැ, චතුරොජනා යැ.
ඉත්‍ථි යැ, තෙල යැ, නිස්සග්ගිය යැ. හීක්බු යැ, පදවීති යැ. නිවත්‍ථ යැ. න චාපිඤත්තිය න මාතර පිතර යැ, භනෙ යැ.
අචෝදයිත්‍වා යැ, චොදයිත්‍වා යැ, ජින්‍දන්ත යැ, සච්ච යැ, අධිට්ඨිත යැ. අත්‍ථංගත යැ, නරත්ත යැ, න චාපි ආරඤ්ඤක යැ,
කායිකා යැ. වාචසිකා යැ. තිස්සිත්‍ථි යැ, මාතර යැ කුද්ධ ආරාධක යැ. තුට්ඨ ආරාධක යැ, සඞ්ඝාදිසේස යැ. උභො යැ.
අකප්පකත යැ, න දෙති යැ, ආපජ්ජති ගරුක යැ, යන ප්‍රශ්නයෝ විනයඥයන් විසින් ප්‍රකාශ කරණ ලද සෙදමොචනික ගාථාවෝ වෙති.
පඤ්ච වර්ගය
1. කර්‍මවර්‍ගය
1. කර්‍ම සතරෙකි: අපලෝකන කර්‍ම යැ. ඤත්ති කර්‍ම යැ. ඤත්තිදුතිය කර්‍ම යැ, ඤත්තිචතුත්‍ථ කර්‍ම යැ යි. මේ සතර කර්‍මයෝ කෙතෙක් අයුරෙකින් කෝප්‍ය වෙත් ද ; මේ සතර කර්‍මයෝ පස් අයුරෙකින් කෝප්‍ය වෙති. වස්තුයෙන් හෝ ඤත්තියෙන් හෝ අනුශ්‍රාවණයෙන් හෝ සීමායෙන් හෝ පිරිස වසයෙන් හෝ යැ.
2. වස්ත්‍රයෙන් කර්‍මයෝ කෙසේ කෝප්‍ය වෙත් ද යත්: හමුයෙහි කටයුතු කර්‍මය නො හමුයෙහි කෙරෙයි. වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. පිළිවිස කටයුතු කර්‍මය නො පිළිවිස කෙරෙයි, වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. ප්‍රතිඥායෙන් කටයුතු කර්‍මය අප්‍රතිඥායෙන් කෙරෙයි, වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. සතිවිනයට සුදුසු වූවහුට අමූළ්හවිනය දෙයි, වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. අමූළ්හවිනයට සුදුසු වූවහුට තස්සපාපිය්‍යසිකාකර්‍මය කෙරෙයි, වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. තස්සපාපිය්‍යසිකා කර්‍මයට සුදුසු වූවහුට තජ්ජනීය කර්‍මය කෙරෙයි. වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. තජ්ජනීය කර්‍මයට සුදුසු වූවහුට නියස්සකර්‍මය කෙරෙයි. වස්තු විපන්න අධර්‍මකර්‍මය වෙයි. නියස්ස කර්‍මයට සුදුසු වූවහුට පබ්බාජනීය කර්‍මය කෙරෙයි. වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි පබ්බාජනීය කර්‍මයට සුදුසු වූවහුට පටිසාරණීය කර්‍මය කෙරෙයි. වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි. පටිසාරණීය කර්‍මයට සුදුසු වූවහුට උක්ඛේපනීය කර්‍මය කෙරෙයි, වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. උක්ඛේපනීය කර්‍මයට සුදුසු වූවහුට පරිවාසය දෙයි, වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. පරිවාසයට සුදුසු වූවහුට මූලායපටිකස්සනය කෙරෙයි, වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. මූලායපටිකස්සනයට සුදුසු වූවහුට මානත දෙයි, වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි.
මානතට සුදුසු වූවහු අබිභාන කෙරෙයි, වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. අබිභානයට සුදුසු වූවහු උපසපන් කෙරෙයි, වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. නොපොහෝ දිනයෙහි පොහොය කෙරෙයි, වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. නොපවුරුණු දිනයෙහි පවාරණය කෙරෙයි. වස්තුවිපන්න අධර්‍ම කර්‍මය වෙයි. මෙසේ වස්ත්‍රයෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්.
3. ඤත්තියෙන් කර්‍මයෝ කෙසේ කෝප්‍ය වෙත් ද යත්: පස් අයුරෙකින් ඤත්තියෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්, වස්තුව පරාමර්‍ශනය නො කෙරෙයි. සඞ්ඝයා පරාමර්‍ශනය නො කෙරෙයි. පුද්ගලයා පරාමර්‍ශනය නො කෙරෙයි. ඤත්තිය පරාමර්‍ශනය නො කෙරෙයි. පසු වැ ඤත්තිය තබයි. මේ පස් අයුරින් ඤත්තියෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්.
4. අනුශ්‍රාවණයෙන් කර්‍මයෝ කෙසේ කෝප්‍ය වෙත් ද යත්: පස් අයුරෙකින් අනුශ්‍රාවණයෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්. වස්තුව පරාමර්‍ශනය නො කෙරෙයි. සඞ්ඝයා පරාමර්‍ශනය නො කෙරෙයි. පුද්ගලයා පරාමර්‍ශනය නො කෙරෙයි. ඇස්වීම පිරිහෙළයි, නො කල්හි හෝ අස්වයි. මේ පස් අයුරෙන් අනුශ්‍රාවණයෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්.
5. සීමායෙන් කර්‍මය කෙසේ කෝප්‍ය වෙත් ද යත්: එකොළොස් අයුරෙකින් සීමායෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්. ඉතා කුඩා සීමාවක් සම්මත කෙරෙයි. ඉතා මහත් සීමාවක් සම්මත කෙරෙයි. අඝටිත නිමිති ඇති සීමාවක් සම්මත කෙරෙයි. සෙවණලු නිමිති කොට ඇති සීමාවක් සම්මත කෙරෙයි. නිමිති රහිත වූ සීමාවක් සම්මත කෙරෙයි. සීමාවෙන් බැහැර සිටියේ සීමාවක් සම්මත කෙරෙයි. නදියෙහි සීමාවක් සම්මත කෙරෙයි. සමුද්‍රයෙහි සීමාවක් සම්මත කෙරෙයි. විලෙහි සීමාවක් සම්මත කෙරෙයි. සීමායෙන් සීමාව මුසු කෙරෙයි. සීමායෙන් සීමාව යටපත් කෙරෙයි. මේ එකොළොස් අයුරින් සීමායෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්.
6. පිරිස වශයෙන් කර්‍මයෝ කෙසේ කෝප්‍ය වෙත් ද යත්: දොළොස් අයුරෙකින් පිරිස වශයෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්. චතුවර්‍ගකරණ කර්‍මයෙහි යම් පමණ භික්‍ෂුහු කර්‍ම ප්‍රාප්තයෝ ද ඔහු නො පැමිණියාහු වෙති. ඡන්‍දයට සුදුස්සන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වෙයි. සම්මුඛ වූවෝ ප්‍රතික්‍රෝෂණය කෙරෙති. චතුර්වර්‍ගකරණ කර්‍මයෙහි යම් පමණ භික්‍ෂුහු කර්‍ම ප්‍රාප්තයෝ ද ඔහු පැමිණියාහු වෙති. ඡන්‍දයට සුදුස්සන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වෙයි. සම්මුඛ වූවෝ ප්‍රතිකෝෂණය කෙරෙති. පඤ්චවර්‍ගකරණ කර්‍මයෙහි ... දශවර්‍ග කරණ කර්‍මයෙහි ... විංශතිවර්‍ගකරණ කර්‍මයෙහි යම් පමණ භික්‍ෂුහු කර්‍ම ප්‍රාප්තයෝ ද ඔහු පැමිණියාහු වෙති. ඡන්‍දයට සුදුස්සන් ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වෙයි. සම්මුඛ වූවෝ ප්‍රතික්‍රෝෂණය කෙරෙති විංශතිවර්‍ගකරණ කර්‍මයෙහි යම් පමණ භික්‍ෂුහු කර්‍මප්‍රාප්තයෝ ද ඔහු නොපැමිණියාහු වෙති. ඡන්‍දයට සුදුස්සන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වෙයි. හමු වූවෝ ප්‍රතිකෝෂණය කෙරෙති විංශතිවර්‍ගකරණ කර්‍මයෙහි යම් පමණ භික්‍ෂුහු කර්‍මප්‍රාප්තයෝද ඔහු පැමිණියාහු වෙති. ඡන්‍දයට සුදුස්සන්ගේ ඡන්‍දය ගෙණෙන ලද්දේ වෙයි. හමු වූවෝ ප්‍රතික්‍රෝෂණය කෙරෙති. මේ දොළොස් අයුරින් පිරිස වශයෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්.
7. චතුර්වර්‍ගකරණ කර්‍මයෙහි පුවතත් වූ භික්‍ෂුහු සතර නමක් කර්‍මප්‍රාප්තයහ. පුවතත් වූ සෙසු භික්‍ෂුහු ඡන්‍දයට සුදුසු වෙති. යමක්හට සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ ද, හෙතෙමේ කර්‍මප්‍රාප්ත නො වේ මැ යි. ඡන්‍දයට ද සුදුසු නො වේ. එහෙත් කර්‍මයට සුදුසු වේ. පඤ්චවර්‍ගකරණ කර්‍මයෙහි පුවතත් වූ භික්‍ෂුහු පස්නමක් කර්‍මප්‍රාප්තයහ. පුවතත් වූ සෙසු භික්‍ෂුහු ඡන්‍දයට සුදුසු වෙති. යමක් හට සඞ්ඝ තෙමේ කර්‍මය කෙරේ ද, හෙතෙමේ කර්‍මප්‍රාප්ත නො වේ මැ යි. ඡන්‍දයට ද සුදුසු නො වේ. එහෙත් කර්‍මයට සුදුසු වේ. දශවර්‍ගකරණ කර්‍මයෙහි පුවතත් වූ භික්‍ෂුහු දසනමක් කර්‍මප්‍රාප්තයහ. පුවතත් වූ සෙසු භික්‍ෂුහු ඡන්‍දයට සුදුසු වෙති. යමක්හට සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ ද, හෙතෙමේ කර්‍මප්‍රාප්ත නො වේ මැයි, ඡන්‍දයට ද සුදුසු නොවේ. එහෙත් කර්‍මයට සුදුසු වේ. විංශතිවර්‍ගකරණ කර්‍මයෙහි පුවතත් වූ භික්‍ෂුහු විසිනමක් කර්‍මප්‍රාප්තයහ. පුවතත් වූ සෙසු භික්‍ෂුහු ඡන්‍දයට සුදුසු වෙති. යමක්හට සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ ද, හෙතෙමේ කර්‍මප්‍රාප්ත නො වේ මැ යි. ඡන්‍දයට ද සුදුසු නො වේ, එහෙත් කර්‍මයට සුදුසු වේ.
8. කර්‍ම සතරෙකි: අපලෝකන කර්‍ම යැ, ඤත්ති කර්‍ම යැ, ඤත්තිදුතිය කර්‍ම යැ, ඤත්තිචතුත්‍ථ කර්‍ම යැයි. මේ සතර කර්‍මයෝ කෙතෙක් අයුරෙකින් කෝප්‍ය වෙත්ද යත්: මේ සතර කර්‍මයෝ පස් අයුරෙකින් කෝප්‍ය වෙත් වස්තුවෙන් හෝ ඤත්තියෙන් හෝ අනුශ්‍රාවණයෙන් හෝ සීමායෙන් හෝ පිරිස වශයෙන් හෝ යැ.
9. වස්තුවෙන් කර්‍මයෝ කෙසේ කෝප්‍ය වෙත් ද යත්: පණ්ඩකයා උපසපන් කෙරෙයි. වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි. ථෙය්‍යසංවාසකයා උසසපන් කෙරෙයි, වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි. තීර්‍ත්‍ථකායතනයට ගියහු උපසපන් කෙරෙයි. වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි. තිරිසන් ගියහු උපසපන් කෙරෙයි. වස්තුවිප්පන්න අධර්‍මකර්‍මය වෙයි. මාතෘඝාතකයා උපසපන් කෙරෙයි. වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි. පිතෘඝාතකයා උපසපන් කෙරෙයි, වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි. අරහන්තසාතකයා උපසපන් කෙරෙයි. වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි. භික්‍ෂුණීදුෂකයා උපසපන් කෙරෙයි, වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි, සඞ්ඝභේදකයා උපසපන් කෙරෙයි. වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි. ලෝහිතුප්පාදකයා උපසපන් කෙරෙයි. වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි. උභතෝබ්‍යඤ්ජනකයා උපසපන් කෙරෙයි. වස්තුවිපන්න අධර්‍මකර්‍මය වෙයි. උනු විසිවයස් ඇති පුඟුලක්හු උපසපන් කෙරෙයි, වස්තුවිපන්න අධර්‍මකර්‍මය වේ. මෙසේ වස්තුවෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්.
10. ඤත්තියෙන් කර්‍මයෝ කෙසේ කෝප්‍ය වෙත් ද යත්; පස් අයුරෙකින් ඤත්තියෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්. වස්තුව පරාමර්‍ශනය නො කෙරෙයි, සඞ්ඝයා පරාමර්‍ශනය නො කෙරෙයි, පුද්ගලයා පරාමර්‍ශනය නො කෙරෙයි, ඤත්තිය පරාමර්‍ශනය නො කෙරෙයි, පසු වැ හෝ ඤත්තිය තබයි. මේ පස් අයුරෙන් ඤත්තියෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්.
11. අනුශ්‍රාවණයෙන් කර්‍මයෝ කෙසේ කෝප්‍ය වෙත් ද යත්: පස් අයුරෙකින් අනුශුරාවණයෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්: වස්තුව පරාමර්‍ශනය නො කෙරෙයි, සඞ්ඝයා පරාමර්‍ශනය නො කෙරෙයි, පුද්ගලයා පරාමර්‍ශනය නො කෙරෙයි, ඇස්වීම පිරිහෙළයි, නොකල්හි හෝ අස්වයි, මේ පස් අයුරෙන් අනුශ්‍රාවණයෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්.
12. සීමායෙන් කර්‍මයෝ කෙසේ කෝප්‍ය වෙත් ද යත්: එකොළොස් අයුරෙකින් සීමායෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්. ඉතා කුඩා සීමාවක් සම්මත කෙරෙයි. ඉතා මහත් සීමාවක් සම්මත කෙරෙයි, කඩ නිමිති ඇති සීමාවක් සම්මත කෙරෙයි. සෙවණලු නිමිති කොට ඇති සීමාවක් සම්මත කෙරෙයි,
නිමිති රහිත වූ සීමාවක් සම්මත කෙරෙයි, සීමායෙන් බැහැරැ සිටියේ සීමාව සම්මත කෙරෙයි, නදියෙහි සීමාව සම්මත කෙරෙයි, සමුද්‍රයෙහි සීමාව සම්මත කෙරෙයි, විලෙහි සීමාව සම්මත කෙරෙයි, සීමායෙන් සීමාව මුසු කෙරෙයි, සීමායෙන් සීමාව යටපත් කෙරෙයි. මේ එකොළොස් අයුරෙන් සීමායෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්.
13. පිරිස වශයෙන් කර්‍මයෝ කෙසේ කෝප්‍ය වෙත් ද යත්: දොළොස් අයුරෙකින් පිරිස වශයෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්. චතුවර්‍ගකරණ කර්‍මයෙහි යම් පමණ භික්‍ෂුහු කර්‍මප්‍රාප්තයෝ ද, ඔහු නො පැමිණියාහු වෙති. ඡන්‍දයට සුදුසු වූවන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වෙයි. සම්මුඛ වූවෝ ප්‍රතිකෝෂණය කෙරෙත්. චතුර්වර්‍ගකරණ කර්‍මයෙහි යම් පමණ භික්‍ෂුහු කර්‍මප්‍රාප්තයෝ ද, ඔහු පැමිණියාහු වෙති. ඡන්‍දයට සුදුසු වූවන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වෙයි. සම්මුඛ වූවෝ ප්‍රතිකෝෂණය කෙරෙත්. චතුර්වර්‍ගකරණ කර්‍මයෙහි යම් පමණ භික්‍ෂුහු කර්‍මප්‍රාප්තයෝ ද, ඔහු පැමිණියාහු වෙති. ඡන්‍දයට සුදුසු වූවන්ගේ ඡන්‍දය ගෙණෙන ලද්දේ වෙයි. සම්මුඛ වූවෝ ප්‍රතිකෝෂණය කෙරෙත්. පඤ්චවර්‍ගකරණ කර්‍මයෙහි ... දශවර්‍ගකරණ කර්‍මයෙහි ... විංශතිවර්‍ගකරණ කර්‍මයෙහි යම් පමණ භික්‍ෂුහු කර්‍මප්‍රාප්තයෙන් ද, ඔහු නො පැමිණියාහු වෙත්. ඡන්‍දයට සුදුසු වූවන්ගේ ඡන්‍දය නො ගෙණෙන ලද්දේ වෙයි. සම්මුඛ වූවෝ ප්‍රතිකෝෂණය කරත්. විංශතිවර්‍ගකරණ කර්‍මයෙහි යම් පමණ භික්‍ෂුහු කර්‍මප්‍රාප්තයෝ ද, ඔහු පැමිණියාහු වෙති ඡන්‍දයට සුදුසු වූවන්ගේ ඡන්‍දය නොගෙණන ලද්දේ වෙයි. සම්මුඛ වූවෝ ප්‍රතිකෝෂණය කෙරෙති. විංශතිවර්‍ගකරණ කර්‍මයෙහි යම් පමණ භික්‍ෂුහු කර්‍මප්‍රාප්තයෝද, ඔහු පැමිණියාහු වෙති. ඡන්‍දයට සුදුසු වූවන්ගේ ඡන්‍දය ගෙණෙන ලද්දේ වෙයි. සම්මුඛ වූවෝ ප්‍රතිකෝෂණය කෙරෙති. මේ දොළොස් අයුරෙන් පිරිස වශයෙන් කර්‍මයෝ කෝප්‍ය වෙත්.
14. අපලෝක න කර්‍මය කෙතෙක් තැනට යේ ද, ඤත්ති කර්‍මය කෙතෙක් තැනට යේ ද, ඤත්තිදුතිය කර්‍මය කෙතෙක් තැනට යේ ද, ඤත්තිචතුත්‍ථ කර්‍මය කෙතෙක් තැනට යේ ද යත්: අපලෝකන කර්‍මය පස් තැනකට යෙයි. ඤත්ති කර්‍මය නව තැනකට යෙයි. ඤත්තිදුතිය කර්‍මය සත් තැනකට යෙයි. ඤත්තිචතුත්‍ථ කර්‍මය සත් තැනකට යෙයි.
15. අපලෝකන කර්‍මය කිනම් පස්තැනට යේ ද යත්: ඔසාරණ යැ නිස්සාරණ යැ භණඩුකර්‍ම යැ බුහමදණඩ යැ පස්වැනි වූ කර්‍මලක්‍ෂණ යැ යි අපලෝකන කර්‍මය මේ පස්තැනට යෙයි.
16. ඤත්ති කර්‍මය කිනම් නවතැනට යේ ද යත්: ඔසාරණ යැ නිස්සාරණ යැ උපෝසථ යැ පවාරණ යැ සම්මුති යැ දාන යැ පටිග්ගහ යැ පච්චුක්කඩ්ඪන යැ නව වැනි වූ මැ කර්‍මලක්‍ෂණ යැ යි ඤත්ති කර්‍මය මේ නවතැනට යෙයි.
17. ඤත්තිදුතිය කර්‍මය කිනම් සත්තැනට යේ ද යත්: ඔසාරණ යැ නිස්සාරණ යැ සම්මුති යැ දාන යැ උද්ධරණ යැ දෙසන යැ සත්වැනි වූ මැ කර්‍මලක්‍ෂණ යැ යි ඤත්තිදුතිය කර්‍මය මේ සත්තැනට යෙයි.
18. ඤත්තිචතුත්‍ථ කර්‍මය කිනම් සත්තැනට යේද යත්: ඔසාරණ යැ නිස්සාරණ යැ සම්මුති යැ දාන යැ නිග්ගහ යැ සමනුභාෂණ යැ සත්වැනි වූ මැ කර්‍මලක්‍ෂණ ය යි ඤත්තිචතුත්‍ථ කර්‍මය මේ සත්තැනට යේ,
19. චතුවර්‍ගකරණ කර්‍මයෙහි පුවතත් වූ භික්‍ෂූහු සතරනමක් කර්‍ම ප්‍රාප්තයහ. පුවතත් සෙසු භික්‍ෂුහු ඡන්‍දයට සුදුසු වෙති. යමක් හට සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ ද හෙතෙමේ කර්‍මප්‍රාප්ත නො වේ මැ යි. ඡන්‍දයට සුදුසු නො වේ. එහෙත් කර්‍මයට සුදුසු වේ. පඤ්චවර්‍ගකරණ කර්‍මයෙහි පුවතත් වූ භික්‍ෂුහු පස්නමක් කර්‍මප්‍රාප්තයහ. පුවතත් වූ සෙසු භික්‍ෂුහු ඡන්‍දයට සුදුසු වෙති. යමක්හට සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ ද හෙතෙමේ කර්‍මප්‍රාප්ත නො වේ මැ යි. ඡන්‍දයට සුදුසු ද නො වේ. එහෙත් කර්‍මයට සුදුසු වේ. දසවර්‍ගකරණ කර්‍මයෙහි පුවතත් වූ භික්‍ෂුහු දසනමක් කර්‍මප්‍රාප්තයහ. පුවතත් වූ සෙසු භික්‍ෂුහු ඡන්‍දයට සුදුසු වෙති. යමක්හට සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ ද, හෙතෙමේ කර්‍මප්‍රාප්ත නො වේ මැ යි. ඡන්‍දයට සුදුසු ද නො වේ. එහෙත් කර්‍මයට සුදුසු වේ. විංශතිවර්‍ගකරණ කර්‍මයෙහි පුවතත් වූ භික්‍ෂුහු විසිනමක් කර්‍මප්‍රාප්තයහ. පුවතත් වූ සෙසු භික්‍ෂුහු ඡන්‍දයට සුදුසු වෙති. යමක් හට සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ ද, හෙතෙමේ කර්‍මප්‍රාප්ත නො වේ මැ යි. ඡන්‍දයට සුදුසු ද නො වේ. එහෙත් කර්‍මයට සුදුසු වේ.
පළමුවන කර්‍මවර්‍ග යි.
2. අත්‍ථවස වර්‍ගය
1. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි සඞ්ඝයාගේ මනා පිළිගැන්ම පිණිස යැ, සඞ්ඝයාගේ පහසුබව පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
2. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පනවන ලදී. දුසිල් පුඟුලන්ගේ නිගැන්ම පිණිස යැ, ප්‍රියශීලී භික්‍ෂුන්ගේ පහසු විහරණය පිණිස යැ, මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
3. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදී. දිටුදැමියෙහි විඳියයුතු දුක්ගැහැට වළකනු පිණිස යැ, පරලෙව්හි විඳියයුතු දුක්ගැහැට නසනු පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
4. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි. දිටුදැමියෙහි පස් පව් වළකනු පිණිස යැ, පරලෙව්හි විඳියයුතු විපාක දුක් නැසීම පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
5. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි. දිටුදැමියෙහි හළයුතු පව් වළකනු පිණිස යැ, පරලොව්හි විඳියයුතු විපාක දුක් නැසීම පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
6. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි. දිටුදැමියෙහි ලැබිය හැකි (ගැරහුම් ඈ) බිය වළකනු පිණිස යැ, පරලොව්හි විඳියයුතු විපාක දුක් නැසීම පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
7. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි. දිටුදැමියෙහි වන සුලු අකුසල් ධම් වළකනු පිණිස යැ. පරලෙව්හි විඳියයුතු විපාක දුක් නැසීම පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
8. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි. ගිහියනට අනුකම්පා පිණිස යැ, ලමුඅදහස් ඇති පුඟුලන්ගේ වගබැඳුම් බිඳීම පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
9. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි. නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස යැ, පැහැදුනවුන්ගේ අයිරා පැහැදීම පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
10. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි. ශාසනයාගේ චිරකල් පැවැත්ම පිණිස යැ, විනයට රුකුල් පිණිස යැ. මේ දෙ කරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට සිකපද පණවන ලදි.
දෙවන අත්‍ථවසවර්‍ග යි
3. පඤ්ඤත්ත වර්‍ගය
1. දෙ කරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට පාතිමොක්ඛය පණවන ලදි. … පාතිමෝක්ඛද්දෙසය. පණවන ලදි. … පාතිමෝක්ඛඨපනය පණවන ලදි. … පවාරණය පණවන ලදි. … පවාරණඨපනය පණවන ලදි. … තජ්ජනීය කර්‍මය පණවන ලදි. … නියස්ස කර්‍මය පණවන ලදි. … පබ්බාජනීයකර්‍මය පණවන ලදි. … පටිසාරණීය කර්‍මය පණවන ලදි. … උක්ඛේපනීය කර්‍මය පණවන ලදි. … පරිවාසදානය පණවන ලදි. … මූලායපටිකස්සනය පණවන ලදි. … මානත්තදානය පණවන ලදි. … අබ්භානය පණවන ලදි. … ඔසාරණීයය පණවන ලදි. … නිස්සාරණීයය පණවන ලදි. … උපසම්පදාව පණවන ලදි. … අපලෝකන කර්‍මය පණවන ලදි. … ඤත්තිකර්‍මය පණවන ලදි. … ඤත්තිදුතිය කර්‍මය පණවන ලදි. … ඤත්තිචතුත්‍ථ කර්‍මය පණවන ලදි...
තෙවන පඤ්ඤත්ත වර්‍ග යි
4. අප්‍රඥප්තයෙහි ප්‍රඥප්ත වර්‍ගය
1. නො පණවනලද්දෙහි පණවනලදි. … පණවනලද්දෙහි නැවැත පණවන ලදි. … සම්මුඛාවිනය පණවනලදි. … සතිවිනය පණවනලදි. … අමූළ්හවිනය පණවනලදි. … පටිඤ්ඤාතකරණය පණවනලදි. … යේභුය්‍යසිකාව පණවන ලදි. … තස්සපාපිය්‍යසිකාව පණවනලදි. … තිණවත්‍ථාරකය පණවනලදි. සඞ්ඝයාගේ මනා පිළිගැන්ම පිණිස යැ. සඞ්ඝයාගේ පහසුබව පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
2. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. දුසිල් පුඟුලන්ගේ නිගැන්ම පිණිස යැ. ප්‍රියශීලි භික්‍ෂුන්ගේ පහසු විහරණය පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
3. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. දිටුදැමියෙහි විඳියයුතු දුක්ගැහැට වළකනු පිණිස යැ, පරලෙව්හි විඳියයුතු දුක්ගැහැට නසනු පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
4. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. දිටුදැමියෙහි වනසුලු පස්පව් වළකනු පිණිස යැ, පරලෙව්හි විඳියයුතු විපාක දුක් නසනු පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
5. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවිත්‍ථාරකය පණවන ලදි. දිටුදැමියෙහි වනසුලු වරද වළකනු පිණිස යැ, පරලොව් විඳියයුතු අනිටු විපාක නසනු පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
6. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. දිටුදැමියෙහි ලැබිය යුතු (ගැරහුම් ඈ) බිය වළකනු පිණිස යැ, පරලෙව්හි විඳියයුතු විපාකදුක් නසනු පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
7. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. දිටුදැමියෙහි වන සුලු අකුශලධර්‍ම වළකනු පිණිස යැ, පරලෙව්හි විඳිය යුතු විපාක දුක් නසනු පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
8. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. ගිහියනට අනුකම්පා පිණිස යැ, ලමු අදහස් ඇති පුඟුලන්ගේ ගණබැඳුම් බිඳීම පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
9. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස යැ, පැහැදුනවුන්ගේ අයිරා පැහැදීම පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේයි.
10. දෙකරුණක් පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලදි. ශාසනයාගේ තිරකල් පැවැත්ම පිණිස යැ, විනයට රුකුල් පිණිස යැ. මේ දෙකරුණ පිණිස තථාගතයන් විසින් ශ්‍රාවකයනට තිණවත්‍ථාරකය පණවන ලද්දේ යි.
සතර වන අප්‍රඥප්තයෙහි ප්‍රඥප්තවර්‍ග යි.
5. නවසඞ්ග්‍රහ වර්‍ගය
1. නවසඞ්ග්‍රහයෝ: වස්තුසඞ්ග්‍රහ යැ විපත්තිසඞ්ග්‍රහ යැ ආපත්තිසඞ්ග්‍රහ යැ නිදාන සඞ්ග්‍රහ යැ පුද්ගලසඞ්ග්‍රහ යැ ස්කන්‍ධසඞ්ග්‍රහ යැ සමුත්‍ථානසඞ්ග්‍රහ යැ අධිකරණ සඞ්ග්‍රහ යැ ශමථසඞ්ග්‍රහ යි.
2. අධිකරණයක් උපන් කල්හි ඉදින් ආත්ම ප්‍රතිපක්‍ෂ වූ දෙදෙනා ම (චූදිතචෝදක) පැමිණෙත් ද දෙපසට ම වස්තුව සැලකරවිය යුතු යි. දෙපසට ම වස්තුව සැලකරවා දෙපසෙහි ම ප්‍රතිඥාව ඇසිය යුතු යි. දෙපසෙහි ම ප්‍රතිඥාව අසා අපගේ මේ අධිකරණය සන්හිඳුවීමෙහි දෙපසෙහිම වූ තෙපි සතුටුවන්නහු දැ”යි දෙපසෙහි ම වූවෝ කියයුත්තාහු වෙති. ඉදින් දෙපස ම අපි සතුටු වම්හ යි කීහු නම් සඞ්ඝයා විසින් ඒ අධිකරණය පිළිගත යුතුයි. ඉදින් පිරිස අලජ්ජින්ගෙන් බලවත් වූවා ද, උබ්බාහිකායෙන් සන්හිඳවියයුතු යි. ඉදින් පිරිස බාලයන්ගෙන් බලවත් වූවා ද, විනයධරයෙක් සෙවිය යුතු යි. යම් ධර්‍මයෙකින් යම් විනයෙකින් යම් ශාස්තෘශාසනයෙකින් ඒ අධිකරණය සන්හිඳේ නම්. එසේ ඒ අධිකරණය සන්හිඳවිය යුතු යි.
වස්තුව දතයුතු යැ ගෝත්‍රය දතයුතු යැ නාමය දතයුතු යැ ආපත්තිය දතයුතු යැ
3. “මෙථූනධම්මෝ” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි. “පාරාජිකං” යනු නාමය ද ආපත්තිය ද වේ.
4. “අදින්නාදානං” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි, “පාරාජික” යනු නාමය ද ආපත්තිය ද වේ.
5. “මනුස්සවිග්ගහො” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි, “පාරාජිකං” යනු නාමය ද ආපත්තිය ද වේ.
6. “උත්තරිමනුස්සධම්මෝ” යනු වස්තුව ද ගෝත්‍රය ද වේ, “පාරාජිකං” යනු නාමය ද ආපත්තිය ද වේ.
7. “සුක්කවිසට්ඨි” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” නාමය ද ආපත්තිය ද වේ.
8. “කායසංසග්ගො” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
9. “දුට්ඨුල්ලවාචා”යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
10. “අත්තකාමය” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
11. “සඤ්චරිත්තං” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
12. “සඤ්ඤාචිකාය කුටිං කාරාපනං” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
13. “මහල්ලකං විහාරං කාරාපනං” යනු වස්තුව ද , ගෝත්‍රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
14. “භික්ඛුං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසනං” යනු වස්තුව ද ගෝත්‍රය ද වේ. “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
15. “භික්ඛුං අඤ්ඤභාගියස්ස අධිකරණස්ස කිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය පාරාජිකෙන ධම්මෙන අනුද්ධිසනං” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි. “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
16. “සඞ්ඝභේදකස්ස භික්ඛුනෝ යාවතතියං සමනුභාසනාය න පටිනිස්සජ්ජනං” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
17. “භේදකානුවත්තකාං භික්ඛූනං යාවතතියං සමනුභාසනාය න පටිනිස්සජ්ජනං” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි, “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
18. “දුබ්බචස්ස භික්ඛුනෝ යාවතතියං සමානුභාසනාය න , පටිනිස්සජ්ජනං” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි. “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ.
19. “කුලදුසකස්ස භික්ඛුනෝ යාවතතියං සමනුභාසනාය න පටිනිස්සජ්ජනං” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි. “සඞ්ඝාදිසේසො” යනු නාමය ද ආපත්තිය ද වේ ...
20. “අනාදරියා පටිච්ච උදකෙ උච්චාරණ වා පස්සාවං වා ඛෙළං වා කරණං” යනු වස්තුව ද ගෝත්‍රය ද වෙයි. “දුක්කටං” යනු නාමය ද ආපත්තිය ද වේ.
පස්වන නවසංග්‍රහ වර්‍ග යි.
වර්‍ගපඤ්චකයෙහි උද්දානය:
1. අපලෝකන යැ ඤත්ති යැ ඤත්තිදුතිය යැ ඤත්තිචතුත්‍ථ යැ වත්‍ථු යැ ඤත්ති යැ අනුසාවන යැ සීමා යැ පරිස යැ.
2. සම්මුඛයා යැ පටිපුච්ඡා යැ පටිඤ්ඤා යැ විනයාරහ යැ වත්‍ථු යැ සඞ්ඝ යැ පුග්ගල යැ න ඤත්ති යැ, පච්ඡා ඤත්ති යැ.