9. නන්වැදෑරුම් රන්රිදීමසුකහවණු ගනුදෙනුවට පැමිණෙන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු නන්වැදෑරුම් රන්රිදීමසුකහවණු ගනු දෙනුවට පැමිණියාහු ය, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
10. නන්වැදෑරුම් සිවුරු ඈ කැපබඩු ගනුදෙනුවට පැමිණෙන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පිරිවැජියකු සමග ගනුදෙනුවට පැමිණියේ ය. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
දෙවන කෝසියවර්‍ග යි.
4. 3.
1. නො ඉටු නො විකැපු අතිරේක පාත්‍රයක් දස දිනක් ඉක්මවා දරන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු (නො ඉටු නො විකැපු) අතිරේක පාත්‍රයක් දැරුහ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ. අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කිසි විටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
2. උනු පස්බාන පාත්‍රයෙකින් යුතු වැ මුත් අනෙක් අළුත් පාත්‍රයක් විනවා ගන්නහු පිළිබඳ නිසගිපචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: ශාක්‍යජනපදයෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මඳක් බුන් පමණකිනිදු මඳක් කැඩුණු පමණකිනුදු ඉරි ගැසුනු පමණකිනිදු බොහෝ පාත්‍රයන් විනවූහ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
3. බෙහෙත් පිළිගෙන සත් දිනක් ඉක්ම වන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු බෙහෙත් පිළිගෙන සත් දිනක් ඉක්ම වූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නගියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...
4. ගිමන් සිවු මසින් අයිරා (අතිරේක) මසක් ඉතිරි වැ ඇති කල්හි වැසිසළු සිවුරක් සොයන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ගිමන් සිවු මසින් අයිරා මසක් ඉතිරි වැ ඇති කල්හි වැසිසළු සිවුරක් සෙවූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සිවුවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟියි: ...
5. මහණක්හට තමා ම සිවුරක් දී කිපී නොසියමන් (නො සතුටු) වැ පැහැර ගන්නහු පිළිබඳ නිසගිපචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර මහණක්හට තෙමේ සිවුරක් දී කිපියේ නොසියමන් වූයේ පැහැර ගත්තේ ය, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟියි: ...
6. තමා ම හූ විනවා ගෙන පෙහෙරන් ලවා සිවුරක් වියවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: රජගහ නුවරැ දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු තුමූ ම හූ විනවා ගෙන පෙහෙරන් ලවා සිවුරක් වියවූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟියි: ...
7. පෙරැ නො පැවැරූ නො නෑ ගැහැවියක්හුගේ පෙහෙරන් වෙත එළඹ සිවුරු පිළියෙහි අධික විධානයට පැමිණෙන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබයැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර පෙරැ නො පවරණ ලද්දේ නො නෑ නො පැවරූ ගැහැවියකු ගේ පෙහෙරන් වෙත එළඹ සිවුරු පිළියෙහි අධික විධානයට පැමිණියේ ය, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟි. ...
8. ඉක්මන් සිවුරක් පිළිගෙන (නො ඉටා නො විකපා) චීවරකාලසමය ඉක්මවන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු ඉක්මන් සිවුරක් පිළිගෙන චීවරකාලසමය ඉක්මවූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...
9. තුන් සිවුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගමෙහි තබා අයිරා සරැයක් ඒ සිවුරෙන් වෙන් වැ වසන්නහු පිළිබඳ නිසගිපචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු තුන් සිවුර අතුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගමැ තබා අයිරා සරැයක් වෙන් වැ, විසූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...
10. පිරිනමනලද සඟසතු ලාභය දැන දැන තමහට නතුකරන්නහු පිළිබඳ නිසගි පචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු පිරිනමන ලද සඟසතු ලාභය දැන දැන තමහට නතුකරවූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
තෙවන පත්ත වර්‍ග යි.
එහි උද්දානය:
අතිරේකචීවරය ද, ඒකරත්තය ද, අකාලචීවරයද, පුරාණචීවරධොවනයද, අඤ්ඤාතක පටිග්ගහණය ද, අඤ්ඤාතකවිඤ්ඤත්තිය ද, උද්දිස්සය ද, අප්පචාරිත දෙක ද, අතිරේක තික්ඛත්තුචෝදනා ද,
මිස්සකය ද, සුද්ධකය ද, තූලය ද, අනුවස්සකය ද, පුරාණසන්‍ථතය ද, ඵළක ලෝමනීහරණය ද, එළකලෝමධොවනය ද, රූපිය ද, රූපියසංවෝහාරය කයවික්කය යන දෙසික ද,
අතිරෙකපත්ත ඌනපඤ්චබන්‍ධන යන දෙසික ද, භේසජ්ජය ද, (වස්සික) සාටකය ද, පස්වැනි අච්ජින්‍දනය ද, තන්තවාය දෙසික ද, අච්චෙක චීවරය ද, ඡාරත්ත විප්පවාසය ද අත්තපරිණාමනය ද යන තිස යි.
තිස් නිසගිපචිති නිමි.
1. 5.
පාචිත්තිය කාණ්ඩය
5. 1.
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් දැන දැන බොරු කීමෙහි පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: හත්‍ථක ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් හත්‍ථක ශාක්‍යපුත්‍ර තීර්‍ත්‍ථකයන් සමග සාකච්ඡා කරණුයේ වළහා පිළිණ කෙළේයැ, පිළිණ කොට වැළහී යැ. ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි. වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
2. (ජාත්‍යාදියෙන්) ගටා බිණීමෙහි පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ප්‍රියශීල භික්‍ෂූන් සමග ඩබර කරන්නාහු ප්‍රියශීල භික්‍ෂූන් ගටා බිණුහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
3. මහණුන් බිඳුවන පෙහෙසුන් බස්හි පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විවාදයට බැසගත් භික්‍ෂූන් අතරැ ප්‍රියභාවය සුන් කරණ පෙහෙසුන් බස් එළවූහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
4. අනුපසපනක්හු සමග පද වශයෙන් ධර්‍මය කියන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු උවසුවන් හා පද වශයෙන් ධර්‍මය කීහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නගියි: කිසි විටෙක වචනයෙන් නඟියි, කයින් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. ...
5. අනුපසපනක්හු සමග දෙතුන් රැයකින් මත්තෙහි ඒකත්‍රශයනය කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: අළව්නුවරැ දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙහි ද යත්: බොහෝ මහණහු අනුපසපනක්හු සමග ඒකත්‍රශයනය කළහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
6. මාගමක හා සමග එක් සෙනස්නෙහි ශයනය කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ඇරැබ යැ.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ මාගමක හා සමග එක් සෙනස්නෙහි ශයනය කළහ, ඒ වස්තුයෙහි යැ.
පඤ්ඤත්ති එකෙකි.