40. සියල්ල නානාවස්තුක වූ පචිති පසක් වස්තු කීර්‍තනය කොට දෙසන්නේ යැයි බුදුරජුන් විසින් වදාරණ ලදි.
41. සියල්ල නානාවස්තුක වූ කෙතෙක් පචිති කුමක් කීර්‍තනය කොට දෙසන්නේ දැ යි බුදුරජුන් විසින් වදාරණ ලද ද යත්:
42. සියල්ල නානාවස්තුක වූ පචිති ඇවැත් නවයක් වස්තු කීර්‍තනය කොට දෙසන්නේ යැ යි බුදුරජුන් විසින් වදාරණ ලදි.
43. යාවතතියකයෙහි ඇවැත්හු කෙතෙක් ද, වාග්ව්‍යවහාර හේතුවෙන් ඇවැත්හු කෙතෙක් ද, වළඳන්නහුට ඇවැත්හු කෙතෙක් ද, භෝජන හේතුවෙන් ඇවැත්හු කෙතෙක් ද යත්:
44. යාවතතියකයෙහි (පරිජි, සඟවෙසෙස්, පචිති) ඇවැත්හු තිදෙනෙකි, වාග්ව්‍යවහාර හේතුවෙන් (පරිජි, සඟවෙසෙස්, ථුලැසි, පචිති, පාටිදේසනීය, දුකුළා) ඇවැත්හු සදෙනෙකි. වළඳන්නහුට (ථුලැසි, දුකුළා, පචිති) ඇවැත්හු තිදෙනෙකි. භෝජන හේතුවෙන් (සඟවෙසෙස්, ථුලැසි, පචිති, පාටිදේසනීය, දුකුළා) ඇවැත්හු පස්දෙනෙකි.
45. සියලු යාවතතියක ආපත්තීහු කෙතෙක් තැනට යෙත් ද, කීදෙනකුන්හට ඇවැත් වේ ද, අධිකරණය කීදෙනකුන් පිළිබඳ ද යත්:
46. සියලු යාවතතියක ආපත්තීහු (දුකුළා, ථුලැසි, පරිජි, සඟවෙසෙස්, පචිති) පස් තැනකට යෙත්. ඇවැත් නම් පස්සහදැමියනට වෙයි. (යුක්ති විචාරණ සඞ්ඛ්‍යාත) අධිකරණය ද පස් සහදැමියනට ම වේ.
47. කීදෙනකුන්හට අධිකරණ විනිශ්චය වේ ද, කීදෙනකුන්හට අධිකරණ ශමථය වේ ද, කීදෙනකුන්හට ඇවැත් නො වේ ද, කෙතෙක් කරුණෙන් හොබී ද යත්:
48. අධිකරණ විනිශ්චය පස් සහදැමියනට වෙයි. පස්සහදැමියනට අධිකරණ ශමථය වෙයි. ඇවැත් නො වීම ද පස් සහදමියනට මැයි. (සඞ්ඝ, ගණ, පුද්ගල) තුන් කරුණෙන් හොබී.
49. රාත්‍රියෙති කායිකාපත්තීහු කෙතෙක් ද, දහවල්හි කායිකාපත්තීහු කෙතෙක් ද බලන්නහුට ඇවැත්හු කෙතෙක් ද, පිණ්ඩපාත හේතුවෙන් ඇවැත්හු කෙතෙක් ද යත්:
50. රාත්‍රියෙහි කායිකාපත්තීහු (පචිති, දුකුළා) දෙදෙනෙකැ. දහවල්හි කායිකා පත්තීහු දෙදෙනෙකැ. (අසවල් තැන ඇතැයි) බලන්නහුට එක් දුකුළා ඇවතෙකැ. පිණ්ඩපාත හේතුවෙන් එක් දුකුළා ඇවතෙකි.
51. කෙතෙක් අනුසස් දක්නේ මෙරමාහට සැදෑයෙන් ඇවැත දෙසන්නේ ද, උක්ඛිත්තකයෝ කෙතෙකැයි වදාරණ ලදහ. ද, ඒ උක්ඛිත්තකයන්ගේ ද මනා පැවැතුම්හු කෙතෙක් ද යත්:
52. අට අනුසස් දක්නේ මෙරමාහට සැදෑයෙන් ඇවැත දෙසන්නේ ය. උත්ක්‍ෂේපණීය කර්‍මය කරණු ලැබූවෝ තිදෙනෙකැ යි වදාරණ ලදහ. මනා පැවැතුම්හු තෙසාලිසෙකි.
53. මුසාවාදය කෙතෙක් ආපත්තිස්ථානගත වේ දී කෙතෙක් පරම යැ යි කියනු ලැබේ ද, පාටිදේසනීයයෝ කෙතෙක් ද, කීදෙනකුන්හට වරද දෙසීම් වේ ද යත්:
54. මුසාවාදය (පරිජි, සඟවෙසෙස්, ථුලැසි, පචිති, දුකුළා) පස් තැනකට යන්නේ වෙයි. පරම තුදුසෙකැ යි කියනු ලැබෙයි. පාටිදේසනීයයෝ (භික්‍ෂුන්ගේ සතරක් හා භික්‍ෂුණීන්ගේ අටෙකැයි) දොළොසෙකි. (දෙව්දත් ආදි) සතර දෙනකුන් ගේ වරද දෙසීම් වේ.
55. මුසාවාදය කෙතෙක් අඞ්ග ඇත්තේ ද, උපෝසථාඞ්ගයෝ කෙතෙක් ද, දුතාඞ්ගයෝ කෙතෙක් ද, තීර්‍ත්‍ථකයන් විසින් පිරියයුතු වත් කෙතෙක් ද යත්:
56. මුසාවාදය අටඟක් ඇත්තේ වේ. උපෝසථාඞ්ගයෝ අටදෙනෙකි ධූතාඞ්ගයෝ අටදෙනෙකි. තීර්‍ත්‍ථකයන්ගේ වත් අටෙකි.
57. (භික්‍ෂුණීන්ගේ) උපසම්පදා කෙතෙක් වාක්‍යයන්ගෙන් යුක්ත වන්නී ද, කීදෙනකුන් දැක හුනස්නෙන් නැඟිටිය යුතු ද, කීදෙනකුන්හට අසුන් දියයුතු ද, භික්ඛුනෝවාදක මහණ අඞ්ග කීයකින් යුක්ත වියයුතු ද, යත්:
58. (භික්‍ෂුණීන්ගේ) උපසම්පදා ඤත්තිචතුත්‍ථකම්ම වාක්‍යය භික්‍ෂුභික්‍ෂුණී දෙපසෙහි වශයෙන්) අෂ්ට වාක්‍යයකින් යුක්ත වන්නී ය. (භික්‍ෂුණින්) අටදෙනකුන් හට (බත්හලෙහි වැඩිමහලු පිළිවෙළින්) දැක හුනස්නෙන් නැඟිය යුතු යි. (භික්‍ෂුණීන්) අටදෙනකුන්හට (වැඩිමහලු පිළිවෙළින්) අසුන් දියයුතු යි. භික්ඛුනෝවාදක මහණ (සීලවා හොති යනාදි) අටඟින් යුක්ත වියයුතු යි.
59. සියල්ලන්ට (සඞ්ඝභේද සඞ්ඛ්‍යාත) එක් වස්තුවක් ඇත්තේ කීදෙනකුන් හට පරිජි වේද, කී දෙනකුන්හට ථුලැසි වේ ද, කීදෙනකුන්හට ඇවැත් නො වේ ද යත්:
60. සියල්ලන්ට (සඞ්ඝභේද සඞ්ඛ්‍යාත) එක් වස්තුවක් ඇත්තේ ඒ එකකුහට (භේදකානුවර්‍තක) සතර දෙනාහට ථුලැසි වෙයි. (ධර්‍මවාදී ඉතිරි) සතරදෙනාහට ඇවැත් නො වේ.
61. ආඝාත වස්තූහු කෙතෙක් ද, කී දෙනකුන්ගෙන් සඞ්ඝයා බිඳේ ද, මෙහි ප්‍රථමාපත්තිකයෝ කෙතෙක් ද, ඤත්තියෙන් කටයුතු කර්‍මයෝ කෙතෙක් ද යත්:
62. ආඝාතවස්තූහු නවයෙකි. භික්‍ෂූන් නවදෙනකුන්ගෙන් සඞ්ඝයා බිඳේ. මෙහි ප්‍රථමාපත්තිකයෝ නවදෙනෙකි. ඤත්තියෙන් කටයුතු කර්‍මයෝ නවදෙනෙකි.
63. කෙතෙක් පුඟුලෝ නො වැන්ද යුත්තෝ ද, (කීදෙනකුන්හට) සාමීචිකර්‍ම සහිත අඤ්ජලිකර්‍ම නො කටයුතු ද, කීදෙනකුන්හට දුකුළා වේ ද, අතිරේක සිවුරු දැරීම් කෙතෙක් ද යත්:
64. දස පුඟුලෝ නො වැන්ද යුත්තාහ. සාමීචිකර්‍ම සහිත අඤ්ජලිකර්‍ම ඔවුනට නොකටයුතු යි. (ඒ දසදෙනාට වත් කරන්නහුට) දුකුළා වේ. අතිරේක සිවුරු දැරීම දස දිනක් පමණි.
65. වැස නිමවූ වස් ඇති කී දෙනකුන්හට මෙහි සිවුරු දිය යුතු ද, කීදෙනකුන්හට (සුදුසු ප්‍රතිග්‍රාහකයකු) ඇති කල්හි දියයුතු ද, කීදෙනකුන්හට නොදියයුතු ද යත්:
66. විසූ වස් ඇති පස්සහදැමියනට මෙහි සිවුරු (සම්මුඛයෙහි) දියයුතු යි. (උම්මත්තක උක්ඛිත්තකාදි) සත්දෙනාහට අසම්මුඛයෙහිදු දියයුතු යි. (පණ්ඩකාදි) සොළොස් දෙනාහට සිවුරු නො දියයුතු යි.
67. කී සියයක් ඇවැත් රෑ සියයක් සඟවා පිරිවෙස් වසන තැනැත්තේ කී රැයක් වැස මිදෙන්නේ ද යත්:
68. සියක් රැයක් තුළ ඇවැත් දහසක් සඟවා පිරිවෙස් වසන තැනැත්තේ දස රැයක් වැස මිදෙන්නේ යි.
69. කෙතෙක් සියල්ල ම දැහැමි නො වූ කෙතෙක් කර්‍ම දෝෂයෝ සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් චම්පා නුවරැ විනය වස්තුවෙහි වදාරණ ලදහු ද යත්:
70. චම්පා නුවරැ විනය වස්තුවෙහි සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් සියල්ල ම දැහැමි නො වූ අපලෝකන ආදි කර්‍ම සතර “අධම්මේන වග්ගා” ආදි තුන් තුන් අයුරින් දොළොස් කර්‍ම දෝෂයෝ වදාරණ ලදහ.
71. චම්පා නුවරැ විනය වස්තුවෙහි කෙතෙක් සියල්ල ම දැහැමි වූ කෙතෙක් කර්‍ම සම්පත්තීහු සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් වදාරණ ලදහු ද යත්:
72. චම්පා නුවරැ විනය වස්තුවෙහි සූර්‍ය්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් සියල්ල ම දැහැමි වූ (අපලෝකන ආදි සතර “ධම්මේන සමග්ගං” ආදි විසින්) සතර සම්පත්තීහු වදාරණ ලදහ.
73. සූර්‍ය්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් චම්පා නුවරැ විනය වස්තුවෙහි කෙතෙක් කර්‍මයෝ වදාරණ ලදහු ද ධාර්මික වූවෝ කෙතෙක් ද, අධාර්මික වූවෝ කෙතෙක් ද යත්:
74. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් චම්පා නුවරැ විනය වස්තුවෙහි (“අධම්මේන වග්ගකම්මං ආදි”) ෂට් කර්‍ම කෙනෙක් දේශිතයහ. මෙහි (ධර්‍මයෙන් කරණ සමනුභාසන) කර්‍මය වූ එකම කර්‍මය ධාර්මික යයි ප්‍රකාශිත යැ. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කර්‍ම පසෙක් අධාර්මික යයි වදාරණ ලදී.
75. චම්පා නුවරැ විනය වස්තුවෙහි සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් කර්‍මයෝ වදාරණ ලදහ. ද ධාර්මික වූවෝ කෙතෙක් ද, අධාර්මික වූවෝ කෙතෙක් ද යත්:
76. චම්පා නුවරැ විනය වස්තුවෙහි සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් (අධම්මේන වග්ග කම්මං යනාදි) කර්‍ම සතරෙක් වදාරණ ලදී. මෙහි (“ධම්මෙන සමග්ග කම්මං” යන) එකම කර්‍මය ධාර්මික යයි ප්‍රකාශ කරණ ලදී. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කර්‍ම තුණෙක් අධාර්මික යයි වදාරණ ලදී.
77. තාදී වූ විවේකදර්ශී වූ අනන්තජිනයන් විසින් දෙසන ලද යම් ඇවැත් කඳුහු වෙත් ද, මෙහි කෙතෙක් ඇවැත් ශමථයෙන් තොර වැ සන්හිඳේ දැයි විභඞ්ගකෝවිදය, ඔබ විචාරමි, වදාළ මැනැවැ.
78. තාදී වූ විවේකදර්ශී වූ අනන්තජිනයන් විසින් දෙසන ලද යම් ඇවැත් කඳුහු වෙත් ද, ඔවුනතුරෙන් එක ම සම්මුඛථාවිනය හෝ පාරාජිකාපත්තිස්කන්‍ධය හෝ ශමථයෙන් තොර වැ සන්හිඳේ. විභඞ්ගකෝවිදය, ඔබට මෙය කියමි.
79. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කීදෙනෙක් ආපායිකයහ යි වදාරණ ලදහු ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසම්හ.
80. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් සයක් අඩු එක්සියපණස් දෙනෙක් සඞ්ඝභේදක පුද්ගලයෝ ආපායිකයහ, නේරයිකයහ, කල්පස්ථායීහ යි වදාරණ ලද්දාහ. විනය දන්නා වූ මාගේ විනය නය අසව.
81. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කී දෙනෙක් ආපායික නො වන්නාහ යි වදාරණ ලදහු ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසම්හ.
82. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් අටළොස් දෙනෙක් ආපායික නො වන්නාහ යි වදාරණ ලදහ. විනය දන්නා වූ මාගේ විනය නය අසව.
83. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් අෂ්ටකයෝ වදාරණ ලදහ. ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
84. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් අෂ්ටකයෝ අටළොසක් වදාරණ ලදහ. විනය දන්නා වූ මාගේ විනය නය අසව.
85. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් කර්‍මයෝ වදාරණ ලදහ. ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
86. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කර්‍මයෝ සොළොසක් වදාරණ ලදහ. විනය දන්නා වූ මාගේ විනය නය අසව.
87. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් කර්‍මදෝෂයෝ වදාරණ ලදහ. ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
88. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කර්‍මදෝෂයෝ දොළොසක් වදාරණ ලදහ. විනය දන්නා වූ මාගේ විනය නය අසව.
89. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් කර්‍මසම්පත්තීහු වදාරණ ලදහු ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
90 සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කර්‍මසම්පත්තීහු සතරක් වදාරණ ලදහ, විනය දන්නාවූ මාගේ විනය නය අසව.
91. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් කර්‍මයෝ වදාරණ ලදහු ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
92. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කර්‍මයෝ සයක් වදාරණ ලදහ. විනය දන්නා වූ මාගේ විනය නය අසව.
93. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් කර්‍මයෝ වදාරණ ලදහුද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
94. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කර්‍මයෝ සතරක් වදාරණ ලදහ. විනය දන්නා වූ මාගේ විනය නය අසව.
95. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් පාරාජිකාපත්තීහු වදාරණ ලදහු ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
96. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් (භික්‍ෂු භික්‍ෂුණීන්ගේ වශයෙන්) පාරාජිකාපත්තීහු අටක් වදාරණ ලදහ. විනය දන්නාවූ මාගේ විනය නය අසව.
97. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් සඞ්ඝාදිසේසාපත්තීහු වදාරණ ලදහු ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
98. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් සඞ්ඝාදිසේසාපත්තීහු තෙවිස්සක් වදාරණ ලදහ. විනය දන්නා වූ මාගේ විනය නය අසව.
99. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් අනියතාපත්තීහු වදාරණ ලදහු ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
100. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් අනියතාපත්තීහු දෙදෙනෙක් වදාරණ ලදහ, විනය දන්නා වූ මාගේ විනය නය අසව.
101. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් නිස්සග්ගියාපත්තීහු වදාරණ ලදහු ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
102. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් නිස්සග්ගියාපත්තීහු දෙසාළිසක් වදාරණ ලදහ. විනය දන්නා වූ මාගේ විනය නය අසව.
103. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් පාචිත්තියාපත්තීහු වදාරණ ලදහු ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
104. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් පාචිත්තියාපත්තීහු එක්සිය අටාසුවක් වදාරණ ලදහ. විනය දන්නා වූ මාගේ විනයනය අසව.
105. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් පාටිදේසනීයාපත්තීහු වදාරණ ලදහු ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
106. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් පාටිදේසනීයාපත්තීහු දොළොසක් වදාරණ ලදහ. විනය දන්නා වූ මාගේ විනය නය අසව.
107. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් කෙතෙක් සෙබියා ධර්‍මයෝ වදාරණ ලදහු ද? විනය දන්නා වූ ඔබගේ විනය නය අසමු.
108. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජුන් විසින් පන්සැත්තෑවක් සෙබියා ධර්‍මයෝ වදාරණ ලදහ. විනය දන්නා වූ මාගේ විනය නය අසව.
109. ඔබ විසින් යම්තාක් මොනොවට විචාරණ ලද්දේ ද? මා විසින් යම්තාක් මොනොවට විසඳන ලද්දේ ද, (ඒ තාක්ම) ප්‍රශ්න ඇසීමෙහි හෝ විසඳීමෙහි හෝ කිසි අයුත්තෙක් නැත්තේ යි.
දෙවන ගාථා සඩ්ගණිකය නිමි.
සෙදමොචනගාථා
1. භික්‍ෂූන් හා ද භික්‍ෂුණීන් හා ද පොහෝ පවුරුණු ආදි සංවාස නැත්තෙක් වෙයි. ඔහු කෙරෙහි සමහර (අකැප) සම්හොගයෙක් නො ලැබේ. සහාගාරයෙය්‍යාවෙන් ද ඇවැත් නො වේ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය ලදරු පුතු හා මවු මෙහෙණ සඳහා යැ.)
2. මහර්ෂි වූ බුදුරජුන් විසින් වියදම් නොකට යුතු වූ ද නො බෙදිය යුතු වූද ගරු බඩු පසෙක් වදාරණ ලදහ. ඒ බඩු වියදම් කරන්නාහට පරිභෝග කරන්නාහට ද ඇවැත් නො වේ. මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (භයෙහි සෙනසුන් රැක්ම පිණිස නො ගරු බඩු වියදම් කොට වැළඳීම නිදොස් බව දක්වනු සඳහා යැ.)
3. (අවන්‍දිය) දශපුද්ගලයන් ද නො කියමි. එකොළොස් වර්‍ජනීය පුද්ගලයන් ද නො කියමි. වැඩිමහලු මහණහු වඳින්නහුට ඇවැත් වේ. මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (සෙලු මහණ සඳහා යැ.)
4. උඛෙව්නීකම් කරණලදුයෙක් නො වෙයි. පිරිවෙස් වසන්නෙත් නො වෙයි. සඞ්ඝභේද කළේත් නො වෙයි. තීර්‍ත්‍ථකායතනයකට ගියේත් නො වෙයි. සමාන සංවාසක භූමියෙහි මැ සිටියේ ශික්‍ෂාවෙන් කෙසේ නම් අසමාන වන්නේ ද? මේ ප්‍රශ්නය විඥයින් විසින් සිතන ලදි. (කරනැවෑමි විරු මහණහු ක්‍ෂුර භාණ්ඩ පරිහරණය නොලැබීම සඳහා යැ.)
5. අර්‍ත්‍ථයෙන් යුක්ත වූ කුශලධර්‍මයන් පිළිවිසිමින් පිරිසට එළැඹෙන්නේත් වේ. හෙ ජීවත් වන්නේ නො වෙයි. මළේත් නො වෙයි. පිරිනිවියේත් නො වෙයි. බුදුවරයෝ ඒ පුඟුලා කවරෙකැයි වදාරත් ද? මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය නිර්මිත බුදුන් සඳහා යැ.)
6. අකු ඇටයෙන් මත්තෙහි ද, නැබින් යට ද (මෙවුන් දමක් ගැණ) නො කියමි. ඒ දෙපස හැර මෙවුන්දම් හේතුවින් කෙසේ පරිජි වන්නේ ද? මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය කවන්‍ධයා සඳහා යැ.)
7. මහණ තමා ඉල්වා ගත් උපකරණයෙන් නො දෙසූ කුටිවාස්තු ඇති පමණ ඉක්ම වූ උවදුරු සහිත වූ උපචාර, රහිත වු කිළියක් කෙරේ. (ඔහුට එයින්) ඇවැත් නො වේ. මේ ප්‍රශ්නය විඥයන් , විසින් සිතන ලදි. (මෙය තණ සෙවෙනි කළ කිළිය සඳහා යැ.)
8. මහණ තමා ඉල්වා ගත් උපකරණයෙන් දෙසන ලද කුටිවාස්තු ඇති ප්‍රමාණවත් වූ උවදුරු රහිත වූ උපචාර සහිත වූ කිළියක් කෙරේ. (මේ හේතුවෙන් ඔහුට) ඇවැත් වේ. මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය ධනිය තෙරුන්ගේ කිළිය වැනි සියල්ල මැටිමුවා කිළිය සඳහා යැ.)
9. කායික වූ කිසියම් ප්‍රයෝගයකුත් නො කරන්නේ ය. වචනයෙන් අනුන්ට කිසිවකුත් නො කියන්නේ ය. (එහෙත්) ගරුක වූ පරිජි ඇවතට පැමිණෙන්නේ ය. මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය වජ්ජපටිච්ඡාදක මෙහෙණ සඳහා යැ).
10. සත්පුරුෂ තෙමේ කයින් ද, වචනයෙන් ද පවක් නො කරන්නේ ය. සිතිනුදු කිසි පවක් නො කරන්නේ ය. නසන ලද හෙතෙමේ කුමක් හෙයින් මොනවට නසන ලද්දේ වන්නේ ද, මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය පණ්ඩකාදි එකොළොස් අභව්‍ය පුද්ගලයන් සඳහා යැ).
11. කිසියම් මිනිසක්හු සමඟ කථා නො කරන්නේ කිසි වචනයක් මෙරමාහට නො බණන්නේ ද වෙයි. එහෙත් කායද්වාරික නො වූ වාග්ද්වාරික ඇවැතකට පැමිණෙන්නේ ය. ම ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය පොහෝගෙයි සාපත්තික වැ තුෂ්ණිම්භූත වන මහණහු සඳහා යැ).
12. බුදුරජුන් විසින් වර්‍ණනා කරණ ලද (පණවන ලද) සඟවෙසෙස් සිකපදයෝ සතරෙක් වන්නාහ. ඒ සියල්ලට එක් පියොවින් අවදනේ ය. මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය අරුණෝද්ගමනයෙහි අන් ගමකට ඇතුළත් නදියක පරතෙරට පැමිණි මෙහෙණහු සඳහා යැ)
13. දෙදෙනෙක් එක් එක් පක්‍ෂයෙන් උපසපන් වූහ. ඒ දෙදෙනාගේ අතින් යමෙක් සිවුරක් පිළිගන්නේ නම්, (ඔහුට) වෙන් වෙන් ඇවැත් වන්නේ ය. මේ මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය ඒකතෝ උපසම්පන්න මෙහෙණන් දෙදෙනකු සඳහා යැ).
14. සතර දෙනෙක් (ඔවුනොවුන්ට) විධාන කොට ගෙණ ගරු බඩුවක් සොරා ගත්හ. (ඔවුනතුරෙන්) තිදෙනෙක් පරිජි වූහ. එකෙක් පරිජි නො වීය. මේ ප්‍රශ්නය විඥයන් විසින් (මෙය සාහත්‍ථික ආණත්තික භේදයෙන් කියන ලදි.)
15. ස්ත්‍රියක් තොමෝත් ඇතුළු ගෙයි වන්නී ය. මහණෙක් තෙමේත් ගෙයින් පිටත වන්නේ ය. ඒ ගෙයි සිදුරෙක් නැත. (එසේ කල්හි) මෙවුන්දම් හේතුවෙන් කෙසේ පරිජි වන්නේ ද, මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මේ ගෙය පිළියෙන් කළ බැවිනි.)
16. තෙල් යැ, මී යැ, උක්පැණි යැ, ගිතෙල් යැ, යන මේ ද්‍රව්‍යයන් තෙමේ පිළිගෙන තබන්නේ ය. සත් දින ඉකුත් නො වූ කල්හි ම ප්‍රයෝජනයක් ඇති කල්හි වළඳන්නහුට ඇවැත් වේ. මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය ලිඟු පෙරැළි වූවන් සඳහා යැ.)
17. නිසඟි පචිති ඇවැතට ද, ශුද්ධ පචිති ඇවැතට ද එකවට පැමිණෙන්නේ වන්නේ ය. මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය සඟසතු සිවුරුවලින් එකවර දෙකක් ගන්නා මහණ සඳහා යැ).
18. භික්‍ෂුහු විංශති වර්‍ග වූවාහු රැස්වන්නාහු ය. සමග්‍ර සංඥා ඇත්තාහු සඞ්ඝ කර්‍මය කරන්නාහ. මහණෙක් දොළොස් යොදුනෙක්හි සිටියේ වන්නේ ය. වර්‍ග හේතුවෙන් ඒ කර්‍මය ද කෝප්‍ය වන්නේ ය. මේ ප්‍රශ්නය විඥයන් විසින් සිතන ලදි. (මෙය බාරාණසී ආදිය වැනි විශාල නගරයන්හි ග්‍රාමසීමාව සඳහා කියන ලදී.)
19. පදවීතිහාර මාත්‍රයෙන් ද, වචනයෙන් කියූ පමණින් ද ප්‍රතිකර්‍ම සහිත වූ සියලුම සූසැටක් ගරු ඇවැතුන්ට එකවර පැමිණෙන්නේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය සඤ්චරිත්තය සඳහා කියන ලදි.)
20. අඳනා සිවුරෙන් හඳනා ලද්දේ සඟළ සිවුර උතුරුසඟසිවුර හා එක්කිරීමෙන් ද්විගුණ කොට පොරෝනා ලද්දේ (ඒ තුන් සිවුර කයින් වෙන් වූයේ) ඒ සියලු සිවුරු නිසඟි වෙත්. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය නො නෑ මෙහෙණක ලවා සිවුරු දෙවීම සඳහා කියන ලදි.)
21. ඤත්තිය ද නැත. කර්‍මවාක්‍යය ද නැත. සර්‍වඥ තෙමේ “එව මහණ යි” නො වදාළේ ය. ඔහුට සරණාගමනෝපසම්පදාව ද නැත. (එහෙත්) උපසපන් යැ. ඔහුගේ උපසම්පදාව ද අකෝප්‍ය වේ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මහාපජාපති ගොතමියගේ අෂ්ටගුරුධර්‍ම ප්‍රතිග්‍රහණ උපසම්පදාව සඳහා කියන ලදි.)
22. ස්ත්‍රියක නසන්නේ ය. (එහෙත්) මව නො වෙයි. පුරුෂයකුදු නසන්නේ ය. (එහෙත්) පියා නො වෙයි. අඥානපුද්ගල තෙමේ මෙසේ ආර්‍ය නො වූ ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ නසන්නේ ය. ඒ නැසීම් හේතුවෙන් ආනන්තර්‍ය්‍යකර්‍මය ස්පර්‍ශ කරන්නේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය කර්‍මවිපාක හේතුවෙන් ලිඞ්ග පරිවර්‍තනයෙන් ස්ත්‍රී වූ පියා ද පුරුෂ වූ මව ද නසන්නහු සඳහා කියන ලදි.)
23. මව වූ ස්ත්‍රිය ද නසන්නේ ය. පිය වූ පුරුෂයා ද නසන්නේ ය. මෙසේ මව ද පියා ද නසා ඒ කර්‍මය හේතුකොට ගෙණ ආනන්තර්‍ය්‍ය කර්‍මය ස්පර්‍ශ නො කරන්නේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය මිනිස් වැ සිට තිරිසන් වූ දෙමවුපියන් නසන්නවුන් සඳහා කියන ලදි.)
24. චෝදනා නො කොට සිහි නො කරවා හමු නොවුවහුට කර්‍මය කරන්නේ ය කරණ ලද කර්‍මය මොනවට කරණ ලද වන්නේ ය. කාරක සඞ්ඝ තෙමේ ද ආපත්ති රහිත වන්නේ ය. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය දූතයකු ලවා උපසපන් කරවීම සඳහා කියන ලදි.)
25. චෝදනා කොට සිහි කරවා හමුවූවහුට කර්‍මය කරන්නේ ය. කරණ ලද කර්‍මය ද නො කරණ ලද වන්නේ ය. කාරකසඞ්ඝ තෙමේ ද ආපත්ති සහිත වේ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය පණඩකාදීන්ගේ උපසම්පදාව සඳහා කියන ලදි.)
26. රුක් ඈ සිඳින්නහුට ඇවැත් වේ. කෙස් ඈ සිඳින්නහුට ඇවැත් නො වේ. (ඇවැත් ඈ) වසන්නහුට ඇවැත් වේ. (ගේදොර) වසන්නහුට ඇවැත් නො වේ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි.
27. සත්‍යය කියන්නේ ගරු ඇවැතට පැමිණෙයි, බොරු කියන්නහුට ලුහු ඇවැත් වෙයි, බොරු කියන්නේ ගරු ඇවැතට පැමිණෙයි, සත්‍යය කියන්නහුට ලුහු ඇවැත් වේ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි.
28. ඉටන ලද්දා වූ ද කැපරඳනින් රඳන ලද්දා වූ ද කප්බින්‍දු තබන ලද්දා වූ ද (සිවුරක්) පිරිබෝ කරන්නහුට ඇවැත් වේ. මේ ප්‍රශ්නය විනයඥයන් විසින් සිතන ලදි. (මෙය පළමු පරිභෝග කරමින් සිටිය දී නිසඟි වූ සිවුර නො නිසදා පරිභෝග කරන්නහු සඳහා කියන ලදි.)