සිවුවන දිට්ඨාවීකම්ම වර්‍ගය නිමි.
එහි නාමාවලිය:
දිට්ඨාවීකම්ම දෙක යැ අපර දෙක යැ පටිග්ගහ දෙක යැ අනතිරිත්ත යැ පවාරණ යැ පටිඤ්ඤාතකරණ යැ ඕකාසකම්ම යැ සාකච්ඡාව සමග පඤ්හ යැ අඤ්ඤඛ්‍යාකරණ විශුද්ධි යැ භෝජන යැ යි.
5. අත්තාදාන වර්‍ගය
1. වහන්ස, මෙරමාහට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් කෙතෙක් කරුණු තමා කෙරෙහිලා සලකා මෙරමා චෝදනා කළයුතු ද ?
උපාලි, මෙරමාහට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් කරුණු පසක් තමා කෙරෙහිලා සලකා මෙරමා චෝදනා කළයුතු යි. කවර පසෙක යත්:- උපාලි, අනෙකකුට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි: “මම පිරිසිදු වූ කායසමාචාර ඇත්තෙම් සිදුරු රහිත වූ අනුන් විසින් විමසා සදොසැයි ගතහැකි වරද නැති පිරිසිදු වූ කායසමාචාරයෙන් යුක්ත වූයෙම් ද, මේ ධර්‍මය මා තුළ පවතී ද නැද්ද” කියා යි. උපාලි, ඉදින් මහණ පිරිසිදු වූ කායසමාචාර ඇත්තෙක් නො වේ නම් සිදුරු රහිත වූ විමසා සදොසැයි ගතහැකි වරද නැති පිරිසිදු වූ කායසමාචාරයෙන් යුක්ත වූවෙක් නො වේ නම් ඔහුට නුගුණ කියන්නෝ වෙති. “එබැවින් ආයුෂ්මත් පළමු කොට කායසමාචාරයෙහි හික්මෙන්නැ”යි ඔහුට මෙසේ කියන්නෝ වෙත්.
උපාලි, තවද අනෙකකි; අන්‍යයාහට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි: “මම පිරිසිදු වූ වාක්සමාචාර ඇත්තෙම් ද, සිදුරු රහිත වූ විමසා සදොසැයි ගතහැකි වරද නැති පිරිසිදු වූ වාක්සමාචාරයෙන් යුක්ත වූයෙම් ද, මේ ධර්‍මය මා කෙරෙහි පවතී ද, නැද්ද” කියා යි. උපාලි, ඉදින් මහණ තෙමේ පිරිසිදු වූ වාක් සමාචාර ඇත්තෙක් නො වේ නම් සිදුරු රහිත වූ විමසා සදොසැයි ගතහැකි වරද නැති පිරිසිදු වූ වාක්සමාචාරයෙන් යුක්ත වූවෙක් නො වේ නම් ඔහුට නුගුණ කියන්නෝ වෙති. “එබැවින් ආයුෂ්මත් පළමු කොට වාක්සමාචාරයෙහි හික්මෙන්නැ”යි ඔහුට මෙසේ කියන්නෝ වෙත්.
උපාලි, තවද අනෙකකි; අන්‍යයාට චෝදනා කරණු කැමැති වූ චෝදක මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි. “සබ්‍රම්සරුන් කෙරෙහි ආඝාත රහිත මාගේ මෙත් සිත එළඹ සිටියේ ද, මේ ධර්‍මය මා තුළ පවතී ද නැද්ද” කියා යි. උපාලි, ඉදින් සබ්‍රම්සරුන් කෙරෙහි ආඝාත රහිත මෙත් සිත මහණහු තුළ නො එළඹ සිටියේ වේ නම් ඔහුට නුගුණ කියන්නෝ වෙති. “එබැවින් ආයුෂ්මත් පළමු කොට සබ්‍රම්සරුන් කෙරෙහි මෙත් සිත උපදවා ගන්නැ” යි මෙසේ ඔහුට කියන්නෝ වෙත්.
උපාලි, තවද අනෙකකි; අන්‍යායාට චෝදනා කරණු කැමැති වූ චෝදක මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි. “මම සුතධර වූ සුතසන්නිචය වූ බහුශ්‍රැතයෙම් ද, ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන වූ යම් ධර්‍මකෙනෙක් කේවල පරිපූර්‍ණ කොට පිරිසිදු කොට බඹසර පවසත් නම් එබඳු ධර්‍මයෝ මා විසින් බොහෝ කොට අසන ලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පුන පුනා විමසන ලද්දාහු “ප්‍රඥායෙන් මොනවට අවබෝධ කරණ ලද්දාහු වෙද්ද? තෙල ධර්‍මය මා තුළ පවතී ද නොහොත් නැද්දැ” යි. උපාලි, ඉදින් මහණ සුතධර වූ සුතසන්නිචය වූ බහුශ්‍රැතයෙක් නො වේ නම් ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන වූ යම් ධර්‍ම කෙනෙක් කේවල පරිපූර්‍ණ කොට පිරිසිදු කොට බඹසර පවසත් ද එබඳු ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පුනපුනා විමසන ලද්දාහු ප්‍රඥායෙන් මොනවට අවබෝධ කරණ ලද්දාහු නො වෙත් නම් ඔහුට නුගුණ කියන්නෝ වෙති. “එබැවින් ආයුෂ්මත් පළමු කොට ආගමධර්‍මය පුහුණු කරන්නැ”යි මෙසේ ඔහුට කියන්නෝ වෙත්.
උපාලි, තවද අනිකකි; අන්‍යයාට චෝදනා කරණු කැමැති වූ චෝදක මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි: “මා විසින් උභයප්‍රාතිමෝක්‍ෂය පෙළ වශයෙන් ද (අර්‍ත්‍ථකථාදි) අනුව්‍යඤ්ජන වශයෙන් ද විස්තර වශයෙන් මොනවට ප්‍රගුණ කරණ ලද ද, මොනවට විභාග කොට දැන ගන්නා ලද ද, මොනවට දැරීම් වශයෙන් පවත්වා ගන්නා ලද ද, මොනවට විනිශ්චය කොට දැනගන්නා ලද ද, මේ ධර්‍මය මා තුළ පවතී ද නැද්ද කියා යි. උපාලි, ඉදින් මහණහු විසින් උභයප්‍රාතිමෝක්‍ෂය පෙළ වශයෙන් ද අනුව්‍යඤ්ජන වශයෙන් ද විස්තර වශයෙන් මොනවට ප්‍රගුණ නො කරණ ලද මොනවට විභාග කොට නො දන්නා ලද මොනවට දැරීම් වශයෙන් පවත්වා නො ගන්නා ලද මොනවට විනිශ්චය කොට නො දන්නා ලද නම් ඇවැත, මෙය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් කොතැන්හි දේශිත දැයි විචාරණ ලද්දේ සිහි කොට නො කියයි ද, (කිය නොහැකි වේ ද) දන්වනු නොහැකි වේ ද, ඔහුට නුගුණ කියන්නෝ වෙති: “එබැවින් ආයුෂ්මත් තෙමේ පළමු කොට විනය ප්‍රගුණ කරන්නැ” යි මෙසේ ඔහුට කියන්නෝ වෙත්. උපාලි, අන්‍යයාට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් මේ දහම් පස තමන් කෙරෙහි නුවණින් සලකා බලා අන්‍යයාට චෝදනා කටයුතු ය.
2. වහන්ස, පරා චෝදනා කරණු කැමති චෝදක මහණහු විසින් කෙතෙක් දහම් තමා කෙරෙහි එළවා ගෙන පරා චෝදනා කටයුතු ද?
උපාලි, පරා චෝදනා කරණු කැමති චෝදක මහණහු විසින් දහම් පසක් තමා කෙරෙහි එළවා ගෙන පරා චෝදනා කටයුතු යි. කවර පසෙකැ යත්: සුදුසු කල්හි කියන්නෙමි, නො කල්හි නො කියන්නෙමි. භූතයෙන් කියන්නෙමි, අභූතයෙන් නො කියන්නෙමි. මෘදු වූ වචනයෙන් කියන්නෙමි, රළු වචනයෙන් නො කියන්නෙමි. අර්‍ත්‍ථසංහිතයෙන් කියන්නෙමි, අනර්‍ත්‍ථසංහිතයෙන් නො කියන්නෙමි. මෙත් සිත් ඇති වැ කියන්නෙමි, දූෂිත සිත් ඇති වැ නො කියන්නෙමි යි. උපාලි, පරා චෝදනා කරණු කැමති චෝදක මහණහු විසින් මේ දහම් පස තමා කෙරෙහි එළවා ගෙන පරා චෝදනා කටයුතු යි.
3. වහන්ස, අන්‍යයාට චෝදනා කරණු කැමති චෝදක මහණුන් විසින් කෙතෙක් දහම් තමන් තුළ මෙනෙහි කොට අන්‍යයාට චෝදනා කටයුතු ද?
උපාලි, අන්‍යයාට චෝදනා කරණු කැමති චෝදක මහණහු විසින් දහම් පසක් තමා තුළ මෙනෙහි කොට අන්‍යායාට චෝදනා කටයුතු යි. කවර පසෙක යත්: කුළුණැති බව යැ හිතෛෂී බව යැ අනුකම්පා ඇති බව යැ ඇවැතින් නැගිටුවා ශුද්ධියෙහි පිහිටුවන බව යැ විනය පෙරටු කොට ඇති බව යි. උපාලි, අන්‍යයාට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් මේ දහම් පස තමා තුළ මෙනෙහි කොට අන්‍යයාට චෝදනා කටයුතු යි.
4. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් සමන්‍වාගත ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට නිසි වේ ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට නිසි නො වෙයි. කවර පසෙකැ යත්: අපිරිසිදු කායසමාචාර ඇත්තේ වෙයි. අපිරිසිදු වාක් සමාචාර ඇත්තේ වෙයි. අපිරිසිදු දිවිපෙවෙත් ඇත්තේ වෙයි. අව්‍යක්ත වූ අඥානයෙක් වෙයි. විචාරණු ලබන්නේ විචාළ දෑ කියන්නට ප්‍රතිබල නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට නිසි නො වේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට නිසි වෙයි. කවර පසෙකින යත්: පිරිසිදු කායසමාචාරය ඇත්තේ වෙයි. පිරිසිදු වාක් සමාචාරය ඇත්තේ වෙයි. පිරිසිදු දිවිපෙවෙත් ඇත්තේ වෙයි. ව්‍යක්ත වූ පණ්ඩිතයෙක් වෙයි. විචාරණු ලබන්නේ විචාළ දෙය කියන්නට ප්‍රතිබල වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට නිසි වේ.
5. වහන්ස, අත්තාදානය (ශාසනය ශුද්ධ කරණු කැමති මහණහු විසින් ගණු ලබන අධිකරණය) ගණු කැමති මහණහු විසින් කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ අත්තාදානය ගත යුතු ද?
උපාලි, අත්තාදානය ගනු කැමති මහණහු විසින් අඞ්ග පසෙකින් යුක්ත වූ අත්තාදානය ගත යුතු යි. කවර පසෙකින යත්: උපාලි, අත්තාදානය ගණු කැමති මහණහු විසින් මෙසේ නුවණින් සලකා බැලිය යුතු යි. “මම යම් අත්තාදානයක් ගණු කැමැත්තෙම් ද මේ අත්තාදානය ගන්නට සුදුසු කාලය වේ ද, නොහොත් නො වේ දැ” යි. ඉදින් උපාලි, මහණ නුවණින් සලකා බලනුයේ “මේ අත්තාදානය ගැනීමට නො කල් ය, නිසි කල් නො වේ” ය යි මෙසේ දනී ද, උපාලි, ඒ අත්තාදානය නො ගත යුතු යි.
උපාලි, ඉදින් වනාහි මහණ නුවණින් සලකා බලනුයේ “මේ අත්තාදානය ගැණීමට කල් යැ. නො කල් නො වේ”ය යි මෙසේ දනී ද, උපාලි, ඒ මහණහු විසින් මත්තෙහි සලකා බැලිය යුතු යි: “මම් වනාහි යම් අත්තාදානයක් ගණු කැමැත්තෙම් ද මේ අත්තාදානය වූවක් ද නැතහොත් නොවූවක් දැ”යි. උපාලි, ඉදින් මහණ නුවණින් සලකා බලනුයේ, “මේ අත්තාදානය නොවුවකි, වූවක් නො වේ” යැයි මෙසේ දනී ද, උපාලි, ඒ අත්තාදානය නො ගතයුතු යි.
උපාලි, ඉදින් වනාහි නුවණින් සලකා බලනුයේ “මේ අත්තාදානය වූවකි, නො වූවක් නො වේ” යැ යි මෙසේ දනී ද, උපාලි, ඒ මහණහු විසින් මත්තෙහි දු සලකා බැලිය යුතු යි: “මම් වනාහි යම් මේ අත්තාදානයක් ගණු කැමැත්තෙම් ද මේ අත්තාදානය අර්‍ත්‍ථසංහිතයෙක් ද නැතහොත් අනර්‍ත්‍ථසංහිතයෙක් දැ” යි, උපාලි, ඉදින් මහණ තෙමේ නුවණින් සලකා බලනුයේ “මේ අත්තාදානය අනර්‍ත්‍ථසංහිතයකි අර්‍ත්‍ථසංහිත නො වේ” යයි මෙසේ දනී ද, උපාලි, ඒ අත්තාදානය නොගත යුතු යි.
උපාලි, ඉදින් වනාහි මහණ නුවණින් සලකා බලනුයේ “මේ අත්තාදානය අර්‍ත්‍ථසංහිත යැ. අනර්‍ත්‍ථසංහිත නො වේ” යැයි මෙසේ දනී ද, උපාලි, ඒ මහණහු විසින් මත්තෙහි නුවණින් සලකා බැලිය යුතු යි: “මම් වනාහි මේ අත්තාදානය ගන්නෙම් ධර්‍ම විසින් විනය විසින් පක්‍ෂ වූ සන්‍දිට්ඨ සම්භත්ත භික්‍ෂූන් ලබන්නෙම් ද, නැතහොත් නො ලබන්නෙම් දැයි, උපාලි, ඉදින් මහණ නුවණින් සලකා බලනුයේ “මම් වනාහි මේ අත්තාදානය ගන්නෙම් ධර්‍ම විසින් විනය විසින් පක්‍ෂ වූ සන්‍දිට්ඨ සම්භත්ත භික්‍ෂූන් නො ලබන්නෙමි” යි මෙසේ දනී ද, උපාලි, ඒ අත්තාදානය නොගත යුතු ය.
උපාලි, ඉදින් වනාහි මහණ නුවණින් සලකා බලනුයේ “මම් වනාහි මේ අත්තාදානය ගන්නෙම් ධර්‍ම විසින් විනය විසින් පක්‍ෂ වූ සන්‍දිට්ඨසම්භත්ත භික්‍ෂූන් ලබන්නෙමි” යි මෙසේ දනී ද, උපාලි, ඒ මහණහු විසින් මත්තෙහි නුවණින් සලකා බැලිය යුතු යි: “මේ අත්තාදානය මා ගත් කල්හි ඒ හේතුයෙන් සඞ්ඝයාගේ භණ්ඩනයෙක් කලහයෙක් විග්‍රහයෙක් විවාදයෙක් සඞ්ඝභේදයෙක් සඞ්ඝරාජියක් සඞ්ඝව්‍යවත්‍ථානයෙක් සඞ්ඝනානාකරණයෙක් වන්නේ ද, නැතහොත් නො වන්නේ දැ”යි, උපාලි, ඉදින් මහණ නුවණින් සලකා බලනුයේ “මා මේ අත්තාදානය ගත්කල්හි ඒ හේතුයෙන් සඞ්ඝයාගේ භණ්ඩනයෙක් කලහයෙක් විග්‍රහයෙක් විවාදයෙක් සඞ්ඝභේදයෙක් සඞ්ඝරාජියක් සඞ්ඝව්‍යවත්‍ථානයෙක් සඞ්ඝනානාකරණයෙක් වන්නේ යැ” යි මෙසේ දනී ද, උපාලි, ඒ අත්තාදානය නොගත යුතු යි.
උපාලි, ඉදින් මහණ නුවණින් සලකා බලනුයේ “මේ අත්තාදානය මා ගත්කල්හි ඒ හේතුයෙන් සඞ්ඝයාගේ භණ්ඩනයෙක් කලහයෙක් විග්‍රහයෙක් විවාදයෙක් සඞ්ඝභේදයෙක් සඞ්ඝරාජියක් සඞ්ඝව්‍යවත්‍ථානයෙක් සඞ්ඝනානාකරණයෙක් නො වන්නේ යැ” යි මෙසේ දනී ද, උපාලි, ඒ අත්තාදානය ගතයුතු යි. උපාලි, මෙසේ අඞ්ග පසෙකින් යුක්ත වූ අත්තාදානය ගන්නා ලදුයේ පසු දු විපිළිසරබව නොකරන්නක් වන්නේ යි.
6. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් සමන්‍වාගත මහණ උපන් අධිකරණ ඇති භික්‍ෂූන්ට බොහෝ උපකාර ඇත්තේ වේ ද?
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණ උපන් අධිකරණ ඇති භික්‍ෂූන්ට බොහෝ උපකාර ඇත්තේ වෙයි. කවර පසෙකින යත්: සිල්වත් වූයේ ප්‍රාතිමෝක්‍ෂසංවරශීලයෙන් යුක්ත වූයේ ආචාරගෝචරසම්පන්න වූයේ අණුමාත්‍ර වරදෙහි බිය දක්නාසුලු වූයේ වෙසෙයි, සිකපද සමාදන් වැ සිකපදයන්හි හික්මෙයි. ඇසූ පිරූ තැන් ඇති ඇසූ දැය රැස් කොට තබා ගැණුම් ඇති බහුශ්‍රැතයෙක් වෙයි. මුල යහපත් වූ මැද යහපත් වූ අවසනැ යහපත් වූ අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ හාත්පසින් පිරිපුන් පිරිසිදු බඹසර ප්‍රකාශ කරණ එබඳු වූ ධර්‍මයෝ ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පුනපුනා සලකා බලන ලද්දාහු දෘෂ්ටියෙන් මොනොවට අවබෝධ කරණ ලද්දාහු වෙත් ද, පෙළ වශයෙන් ද අනුව්‍යඤ්ජන වශයෙන් ද උභයප්‍රාතිමෝක්‍ෂය ඔහු විසින් විස්තර වශයෙන් මොනොවට ප්‍රගුණ කරණ ලද්දාහු මොනොවට විභාග කොට දැනගන්නා ලද්දාහු මොනොවට දැරීම් වශයෙන් පවත්වා ගන්නා ලද්දාහු මොනොවට විනිශ්චය කොට දැනගන්නා ලද්දාහු වෙත්. විනයයෙහි පැකිළීම් නැත්තේ ස්ථිර වැ පිහිටියේ වෙයි. (ස්වපක්‍ෂ - විපක්‍ෂ) දෙපක්‍ෂයෙහි තමහට සතුරු වූවන් අස්වසන්නට දන්වන්නට කල්පනාවට බස්වන්නට බලවන්නට පහදවන්නට ප්‍රතිබල වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණ උපන් අධිකරණ ඇති භික්‍ෂූන්ට බොහෝ උපකාර ඇත්තේ වේ.
උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණ උපන් අධිකරණ ඇති භික්‍ෂූන්ට බොහෝ උපකාර ඇත්තේ වෙයි. කවර පසෙකින යත්: පිරිසිදු වූ කායසමාචාර ඇත්තේ වෙයි, පිරිසිදු වූ වාක් සමාචාර ඇත්තේ වෙයි, පිරිසිදු වූ දිවිපෙවෙත් ඇත්තේ වෙයි, ව්‍යක්ත වූ පණ්ඩිතයෙක් වෙයි, විචාරණු ලබන්නේ විචාළ දෙය කියා දෙන්නට ප්‍රතිබලයෙක් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උපන් අධිකරණ ඇති භික්‍ෂූන්ට බොහෝ උපකාර ඇත්තේ වේ.
උපාලි, අනෙකුදු අඞ්ග පසකින් යුක්ත වූ මහණ උපන් අධිකරණ ඇති භික්‍ෂූන්ට බොහෝ උපකාර ඇත්තේ වෙයි. කවර පසෙකින යත්: වස්තුව දනියි, නිදානය දනියි, ප්‍රඥප්තිය දනියි, පද පෙරැළිය දනියි, ගැළපෙන වදන් මග දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණ උපන් අධිකරණ ඇති භික්‍ෂූන්ට බොහෝ උපකාර ඇත්තේ වේ.
7. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහු විසින් නො පිළිවිසිය යුතු ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත මහණහු විසින් නො පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: සූත්‍රය නො දනියි, සූත්‍රානුලෝමය නො දනියි, විනය නො දනියි, විනයානුලෝමය නො දනියි, කාරණාකාරණයන්හි දක්‍ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත මහණහු විසින් අනුයුඤ්ජනය (පිළිවිසීම) නො කටයුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත මහණහු විසින් පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: සූත්‍රය දනියි, සූත්‍රානුලෝමය දනියි, විනය දනියි, විනයානුලෝමය දනියි, කාරණා කාරණයන්හි දක්‍ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් පිළිවිසිය යුතු යි.
8. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත මහණහු විසින් නො පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: ධර්‍මය නො දනියි, ධර්‍මානුලොමය නො දනියි, විනය නො දනියි, විනයානුලෝමය. නො දනියි, පෙරැපසු කථාවන්හි දක්‍ෂ වූයේත් නො වේ. “උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් නො පිළිවිසිය යුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත මහණහු විසින් පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: ධර්‍මය දනියි, ධර්‍මානුලොමය දනියි, විනය දනියි, විනයානුලෝමය දනියි, පෙරැපසු කථාවන්හි දක්‍ෂ වූයේත් වේ. “උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් පිළිවිසිය යුතු යි.
9. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් නො පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: වස්තුව නො දනියි, නිදානය නො දනියි, ප්‍රඥප්තිය නො දනියි, පද පෙරැළිය නො දනියි, ගැළපෙන වදන්මග නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් නො පිළිවිසිය යුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත මහණහු විසින් පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: වස්තුව දනියි, නිදානය දනියි, ප්‍රඳප්තිය දනියි, පදපෙරැළිය දනියි, ගැළපෙන වදන්මග දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් පිළිවිසිය යුතු යි.
10. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් නො පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: ආපත්තිය නො දනියි, ආපත්තිසමුට්ඨානය නො දනියි, ආපත්තිප්‍රයෝගය නො දනියි, ආපත්තිව්‍යුපශමය නො දනියි, ආපත්ති විනිශ්චය කිරීමෙහි දක්‍ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් නො පිළිවිසිය යුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: ආපත්තිය දනියි, ආපත්තිසමුට්ඨානය දනියි, ආපත්තිප්‍රයෝගය දනියි, ආපත්තිව්‍යුපශමය දනියි, ආපත්තිවිනිශ්චය කිරීමෙහි දක්‍ෂ වේ. උපාලි. මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් පිළිවිසිය යුතු යි.
11. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් නො පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: අධිකරණය නො දනියි, අධිකරණ සමුට්ඨානය නො දනියි, අධිකරණ ප්‍රයෝගය නො දනියි, අධිකරණ ශමථය නො දනියි, අධිකරණ විනිශ්චයෙහි දක්‍ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් නො පිළිවිසිය යුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: අධිකරණය දනියි, අධිකරණ සමුට්ඨානය දනියි, අධිකරණ ප්‍රයෝගය දනියි, අධිකරණ ශමථය දනියි, අධිකරණ විනිශ්චයෙහි දක්‍ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් පිළිවිසිය යුතු යි.
පස්වන අත්තාදාන වර්‍ගය නිමි.
එහි නාමාවලිය:
පරිසුද්ධ යැ කාල යැ කාරුඤ්ඤ යැ ඕකාසකම්මය සමග අත්තාදාන යැ අධිකරණ යැ අපරයත් සමග වස්තු යැ සුත්ත යැ ධම්ම යැ නැවැත වස්තු යැ අධිකරණය සමග ආපත්ති යි.
6. ධුතඞ්ග වර්‍ගය
1. වහන්ස, ආරණ්‍යකයෝ කෙතෙක් ද?
උපාලි, මේ ආරණ්‍යකයෝ පස්දෙනෙක් වෙති. කවර පස්දෙනෙක යත්: නො දැනීමෙන් මුළාබැවින් ආරණ්‍යක වෙයි. (ප්‍රත්‍යය ප්‍රාර්‍ත්‍ථනා නැමැති) ලාමක අදහස් ඇත්තේ ඒ ලාමක අදහසින් මඩනා ලද්දේ ආරණ්‍යක වෙයි. උමතු බැවින් චිත්තවික්‍ෂේපයෙන් ආරණ්‍යක වෙයි. බුදුවරුන් විසින් බුදුසව්වන් විසින් වර්‍ණනා කරණ ලදැයි ආරණ්‍යක වෙයි. වැලිදු අපිස්බව මැ නිසා සතොස්බව මැ නිසා (කෙලෙස්) දුරැලීම මැ නිසා ප්‍රවිවේකය මැ නිසා මේ පිළිවෙතෙහි ප්‍රයෝජන ඇතිබව මැ නිසා ආරණ්‍යක වේ. උපාලි, මොහු පස් දෙන ආරණ්‍යකයෝ යි.
2.-12. වහන්ස, පිණ්ඩපාතිකයෝ කෙතෙක් ද? ... වහන්ස, පංසුකූලිකයෝ කෙතෙක් ද? ... වහන්ස, රුක්ඛමූලිකයෝ කෙතෙක් ද? ... වහන්ස, සෝසානිකයෝ කෙතෙක් ද? ... වහන්ස, අබෙභාකාසිකයෝ කෙතෙක් ද? ... වහන්ස, තෙචීවරිකයෝ කෙතෙක් ද? ... වහන්ස, සපදානචාරිකයෝ කෙතෙක් ද? ... වහන්ස, නෙසජ්ජිකයෝ කෙතෙක් ද? ... වහන්ස, යථාසන්‍ථතිකයෝ කෙතෙක් ද? ... වහන්ස ඒකාසනිකයෝ කෙතෙක් ද? ... වහන්ස බලුපච්ඡාභත්තිකයෝ කෙතෙක් ද? ...
13. වහන්ස පත්තපිණ්ඩිකයෝ කෙතෙක් ද?
උපාලි, මේ පත්තපිණ්ඩිකයෝ පස් දෙනෙක් වෙති. කවර පස් දෙනෙක යත්: නො දැනීමෙන් මුළා බැවින් පත්තපිණ්ඩික වෙයි. ලාමක අදහස් ඇත්තේ ලාමක අදහසින් මඩනා ලද්දේ පත්තපිණ්ඩික වෙයි. උමතුවෙන් චිත්තවික්‍ෂේපයෙන් පත්තපිණ්ඩික වෙයි. බුදුවරුන් විසින් බුදුසව්වන් විසින් වර්‍ණනා කරණ ලදැයි පත්තපිණ්ඩික වෙයි. වැලිදු අපිස්බව මැ නිසා සතොස්බව මැ නිසා කෙලෙස් දුරැලීම මැ නිසා ප්‍රවිවේකය මැ නිසා මේ පිළිවෙතෙහි ප්‍රයෝජන ඇති බව මැ නිසා පත්තපිණ්ඩික වේ. උපාලි, මොහු පස්දෙන පත්තපිණ්ඩිකයෝ යි.
සවන ධුතඞ්ග වර්‍ගය නිමි.
එහි නාමාවලිය:
ආරඤ්ඤක යැ පිණ්ඩපාතික යැ පංසුකූලික යැ රුක්ඛමූලික යැ පස්වනු වූ සෝසානික යැ අබ්භෝකාසික යැ තෙචීවරික යැ සපදාන යැ නෙසජ්ජික යැ යථාසන්‍ථතික යැ ඒකාසනික යැ බලුපච්ඡාභත්තික යැ පත්තපිණ්ඩික යැ යි.
7. මුසාවාද වර්‍ගය
1. වහන්ස, මුසාවාද කෙතෙක් ද?
උපාලි, මේ මුසාවාද පසෙකි. කවර පසෙකැ යත්: පරිජියට පැමිණෙන මුසාවාදයෙක් ඇත, සඟවෙසෙසට පැමිණෙන මුසාවාදයෙක් ඇත, ථුලැසියට පැමිණෙන මුසාවාදයෙක් ඇත, පචිතියට පැමිණෙන මුසාවාදයෙක් ඇත, දුකුළාවට පැමිණෙන මුසාවාදයෙක් ඇති. උපාලි, මේ මුසාවාද පසයි.
2. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන මහණහට: “මහණ, කම් නැත, ඩබර නො කර, කලහ නො කර, විග්‍රහ නො කර, විවාද නො කර යි” (තමාගේ වචනයෙන් ඔහුගේ වචනය) මැඩලා සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතු ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන මහණහට “මහණ, කම් නැත ඩබර නො කර, කලහ නො කර, විග්‍රහ නො කර, විවාද නො කර”යි (ඔහුගේ වචනය) මැඩලා සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතු යැ. කවර පසෙකිනැ යත්: ලජ්ජා නැත්තේත් වෙයි, අඥානත් වෙයි, අපුවතත් වූයේත් වෙයි, (භික්‍ෂුභාවයෙන්) චුත කරවන අදහසින් කියන්නේ වෙයි, (ඇවැතින්) නැගී සිටුවන අදහසින් නො කියන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන මහණහට “මහණ, කම් නැත, ඩබර නො කර, කලහ නො කර, විග්‍රහ නො කර, විවාද නො කර”යි (ඔහුගේ වචනය) මැඩලා සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතු යි.
උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන මහණහට “මහණ, කම් නැත, ඩබර නො කර, කලහ නො කර, විග්‍රහ නො කර, විවාද නො කර”යි (ඔහුගේ වචනය) මැඩ සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතු යැ. කවර පසෙකිනැ යත්: අපිරිසිදු කායසමාචාර ඇත්තේ වෙයි, අපිරිසිදු වාක්සමාචාර ඇත්තේ වෙයි, අපිරිසිදු දිවි පෙවෙත් ඇත්තේ වෙයි, අව්‍යක්ත වූ අඥානයෙක් වෙයි, ඩබර කරන්නේ කලහ කරන්නේ වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන්නා වූ මහණහට “මහණ, කම් නැත, ඩබර නො කර, කලහ නො කර, විග්‍රහ නො කර, විවාද නො කර”යි (ඔහුගේ වචනය) මැඩලා සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතුයි.
3. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහට අනුයෝගය නො දිය යුතු ද?
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහට අනුයෝගය නො දිය යුතුයි: කවර පසෙකින යත්: ඇවැත නො ඇවැත නො දනියි, ලුහු ගුරු ඇවැත නො දනියි, සාවසේස අනවසේස ඇවැත නො දනියි, තුළුල් නො තුළුල් ඇවැත නො දනියි, පිළියම් සහිත පිළියම් රහිත ඇවැත නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහට අනුයෝගය (චෝදනා විචාරණය) නො දිය යුතු යි.
උපාලි, අඞ්ග පසකින් යුත් මහණහට අනුයෝගය දිය යුතු යි. කවර පසෙකින යත්: ඇවැත නො ඇවැත දනියි, ලුහු ගුරු ඇවැත දනියි, සාවසේස අනවසේස ඇවැත දනියි, තුළුල් නො තුළුල් ඇවැත දනියි, පිළියම් සහිත පිළියම් රහිත ඇවැත දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහට අනුයෝගය දිය යුතු යි.
4. වහන්ස, කෙතෙක් අයුරින් මහණ ඇවැතට පැමිණේ ද?
උපාලි, පස් අයුරෙකින් මහණ ඇවැතට පැමිණේ. කවර පසෙකින යත්: ලජ්ජා නැති බව යැ, අඥාන බව යැ, කුකුසින් මැඩුණු බව යැ, නො කැපයෙහි කැපැයි හැඟීම් ඇති බව යැ, කැපයෙහි නො කැපැයි හැඟීම් ඇති බව යි. උපාලි, මේ පස් අයුරින් මහණ ඇවැතට පැමිණේ.
උපාලි, අනෙකුදු පස් අයුරෙකින් මහණ ඇවැතට පැමිණේ. කවර පසෙකින යත්: (විනයධරයා) නො දැකීමෙන් යැ. (විනයධරයාගේ බස්) නො ඇසීමෙන් යැ. (සහගාර සෙය්‍යාවෙහි) නිදන බැවින් යැ, අකැපයෙහි කැපැයි සංඥා ඇති බැවින් යැ, සිහිමුළායෙනි. උපාලි, මේ පස් අයුරෙන් මහණ ඇවැතට පැමිණේ.
5. වහන්ස, වෙරයෝ කෙතෙක් ද?
උපාලි, මේ වෙරයෝ පසෙක් වෙති. කවර පසෙක යත්: පණිවා යැ, අයිනාදන යැ, කාමයන්හි වරදවා හැසිරීම යැ, මුසවා යැ, මද ප්‍රමාදයට හේතු වූ රහමෙර යි. උපාලි, මේ පස් වෙරයෝ යි.
6. වහන්ස, විරමණයෝ කෙතෙක් ද?
උපාලි, මේ විරමණයෝ පසෙක් වෙති. කවර පසෙක යත්: ප්‍රාණඝාතයෙන් වැළකීම යැ, නො දුන් දැය ගැන්මෙන් වැළකීම යැ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම යැ, මුසවායෙන් වැළකීම යැ, මදයට හා ප්‍රමාදයට හේතු වූ රහමෙරින් වැළැකීම යි. උපාලි, මේ පස් විරමණයෝ යි.
7. වහන්ස, ව්‍යසනයෝ කෙතෙක් ද?
උපාලි, මේ ව්‍යසනයෝ පසෙක් වෙති. කවර පසෙක යත්: ඥාතිව්‍යසන යැ, භොගව්‍යසන යැ, රෝගව්‍යසන යැ, ශීලව්‍යසන යැ, දෘෂ්ටිව්‍යසන යි. මේ පස් ව්‍යසනයෝ යි.
8. වහන්ස, සම්පත්තීහු කෙතෙක් ද?
උපාලි, මේ සම්පත්තීහු පසෙක් වෙති. කවර පසෙක් ද යත්: ඥාති සම්පත්ති යැ, භෝගසම්පත්ති යැ, ආරෝග්‍යසම්පත්ති යැ, ශීලසම්පත්ති යැ, දෘෂ්ටිසම්පත්ති යි. උපාලි, මේ පස් සම්පත්තීහු වෙත්.
සත්වන මුසාවාද වර්‍ගය නිමි.
එහි නාමාවලිය:
මුසාවාද යැ ඔමද්ද යැ අන්‍ය වූ අනුයෝග යැ ආපත්ති යැ අන්‍ය වූ වෙර යැ වේරමණී යැ ව්‍යසන යැ සම්පදා යැ යන මොහු සත්වන වර්‍ගයෙහි සඞ්ගෘහීතයහ.
8. භික්ඛුනෝවාද වර්‍ගය
1. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහට භික්‍ෂුණීසඞ්ඝයා විසින් මැ කර්‍ම කළයුතු ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්තවූ මහණහට භික්‍ෂුණී සඞ්ඝයා විසින්ම “ඒ මහණ භික්‍ෂුණීසඞ්ඝයා විසින් නොවැඳිය යුත්තෙකැ” යි (දණ්ඩ) කර්‍ම කළ යුතු යි. කවර පසෙකින යත්: කය විවෘත කොට භික්‍ෂුණීන්හට දක්වයි; වටොර දක්වයි, රහසඟ දක්වයි, දෙඋරහිස් දක්වයි, නොසැබි තෙපුල් කියයි. ගිහියන් හා (මෙවුන්දම්හි) යොදවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට භික්‍ෂුණී සඞ්ඝයා විසින් මැ “ඒ මහණ භික්‍ෂුණී සඞ්ඝයා විසින් නො වැඳිය යුත්තෙකැ” යි කර්‍ම කළයුතු යි.
උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහට භික්‍ෂුණී සඞ්ඝයා විසින් මැ “ඒ මහණ භික්‍ෂුණී සඞ්ඝයා විසින් නො වැන්ද යුත්තෙකැ” යි කර්‍ම කළයුතුයි. කවර පසෙකින යත්: භික්‍ෂුණීන්හට අලාභ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂුණීන්හට අනර්‍ත්‍ථ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂුණීන්ගේ නො විසීම පිණිස (වසන තැනින් නෙරපීම පිණිස) යත්න කෙරෙයි, භික්‍ෂුණීන්හට ආක්‍රෝශ - පරිභව කෙරෙයි, මහණුන් මෙහෙණන් හා බිඳුවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට භික්‍ෂුණී සඞ්ඝයා විසින් මැ “ඒ මහණ භික්‍ෂුණී සඞ්ඝයා විසින් නො වැන්ද යුත්තෙකැ” යි කර්‍ම කළ යුතු යි.
උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහට භික්‍ෂුණිසඞ්ඝයා විසින් මැ “ඒ මහණ භික්‍ෂුණිසඞ්ඝයා විසින් නො වැන්ද යුත්තෙකැ” යි කර්‍ම කළ යුතු යි. කවර පසෙකින යත්: භික්‍ෂුණීන්හට අලාභ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂුණීන්හට අනර්‍ත්‍ථ පිණිස යත්න කෙරෙයි. භික්‍ෂුණීන්ගේ නො විසීම පිණිස යත්න කෙරෙයි. භික්‍ෂුණීන්හට ආක්‍රෝශ කෙරෙයි. නින්‍දා කෙරෙයි, මහණුන් මෙහෙණන් හා (මෙවුන්දම්හි) යොදවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට භික්‍ෂුණීසඞ්ඝයා විසින් මැ “ඒ මහණ භික්‍ෂුණීසඞ්ඝයා විසින් නොවැන්ද යුත්තෙකැ”යි කර්‍ම කළ යුතු යි.
2. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු යි. කවර පසෙකින යත්: කය විවෘත කොට භික්‍ෂූන්හට දක්වයි, වටොර දක්වයි, රහසඟ දක්වයි, දෙ උරහිස් දක්වයි, නොසැබි තෙපුල් කියයි, (මෙහෙණන් හා මෙවුන්දම් සෙවුනා පිණිස) ගිහියන් යොදවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු යි.
උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු යි. කවර පසෙකින යත්: භික්‍ෂූන්හට අලාභ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්හට අනර්‍ත්‍ථ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්ගේ නො විසීම පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්හට ආක්‍රෝශ කෙරෙයි, නින්‍දා කෙරෙයි, මෙහෙණන් මහණුන් හා බිඳුවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළ යුතු යි.
උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු යි. කවර පසෙකින යත්: භික්‍ෂූන්හට අලාභ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්හට අනර්‍ත්‍ථ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්ගේ නො විසීම පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්හට ආක්‍රෝශ කෙරෙයි, නින්‍දා කෙරෙයි, මෙහෙණන් මහණුන් හා මෙවුන්දම් පිණිස යොදවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු යි.
3. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතුයි. කවර පසෙකින යත්: ලජ්ජා නැත්තෙක් වෙයි. අඥානත් වෙයි. අපුවතත් වූයේ වෙයි. (භික්‍ෂු භාවයෙන්) චුත කරවනු කැමැත්තේ කියන්නේ වෙයි. (ඇවැතින්) නැගුටුවන අදහස් ඇත්තේ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු යි.
උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු යි. කවර පසෙකින යත්: අපිරිසිදු කායසමාචාර ඇත්තේ වෙයි. අපිරිසිදු වාක් සමාචාර ඇත්තේ වෙයි. අපිරිසිදු දිවිපෙවෙත් ඇත්තේ වෙයි. අව්‍යක්ත වූ අඥානයෙක් වෙයි. විචාරණු ලබන්නේ අනුයෝගය දෙන්නට ප්‍රතිබල නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු යි.
උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතුයි. කවර පසෙකින යත්: කායික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. වාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. කායිකවාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. භික්‍ෂුණීන්හට ආක්‍රෝශ පරිභව කරන්නේ වෙයි. භික්‍ෂුණීන් සමඟ නො සුදුසුයේ එක් වැ හැනී වෙසේ. උපාලි, මේ අංග පසින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු යි.
උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නො තැබිය යුතු යි. කවර පසෙකින යත්: ලජ්ජා නැත්තේ වෙයි. අඥානත් වෙයි. අපුවතත් වූයේත් වෙයි. කලහ කරන්නේ අරගල කරන්නේත් වෙයි. ශික්‍ෂාවන් සම්පූර්‍ණ කරන්නේ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු යි.
4. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහු විසින් භික්‍ෂුණීන්හට අවවාද කිරීම නොපිළිගත යුතු ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් භික්‍ෂුණීන්ට අවවාද කිරීම නොපිළිගත යුතු යි. කවර පසෙකින යත්: කායික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. වාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. කායික වාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. භික්‍ෂුණීන්හට ආක්‍රෝශ පරිභව කරන්නේ වෙයි. භික්‍ෂුණීන් සමග නොසුදුසු සේ එක් වැ හැනී වෙසේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් භික්‍ෂුණීන්හට අවවාද කිරීම නොපිළිගත යුතු යි.
උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් භික්‍ෂුණීන්හට අවවාද කිරීම නො පිළිගත යුතු යි. කවර පසෙකින යත්: ලජ්ජා නැත්තේත් වෙයි. අඥානත් වෙයි. අපුවතත් වූයේත් වෙයි. ගමිකයෙක් හෝ වෙයි. ගිලනෙක් හෝ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් භික්‍ෂුණීන්හට අවවාද කිරීම නොපිළිගත යුතු යි.
5. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහු සමග (කැප අකැපාදිය පිළිබඳ) සාකච්ඡා නො කළ යුතු ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු සමග සාකච්ඡා නො කළ යුතු යි. කවර පසෙකින යත්: අශෛක්‍ෂ වූ ශීලරාශියෙන් යුක්ත වූයේ නො වෙයි, අශෛක්‍ෂ වූ සමාධිරාශියෙන් යුක්ත වූයේ නො වෙයි, අශෛක්‍ෂ වූ ප්‍රඥාරාශියෙන් යුක්ත වූයේ නො වෙයි, අශෛක්‍ෂ වූ විමුක්ති රාශියෙන් යුක්ත වූයේ නො වෙයි, අශෛක්‍ෂ වූ විමුක්තිඥානදර්‍ශනරාශියෙන් යුක්ත වූයේ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු සමග (කැප අකැපාදිය පිළිබඳ) සාකච්ඡා නො කළ යුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු සමග සාකච්ඡා කළ යුතු යි. කවර පසෙකින යත්: අශෛක්‍ෂ වූ ශීලරාශියෙන් යුක්ත වූයේ වෙයි, අශෛක්‍ෂ සමාධිරාශියෙන් යුක්ත වූයේ වෙයි, අශෛක්‍ෂ වූ ප්‍රඥාරාශියෙන් යුක්ත වූයේ වෙයි, අශෛක්‍ෂ වූ විමුක්තිරාශියෙන් යුක්ත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ විමුක්තිඥාන දර්‍ශනරාශියෙන් යුක්ත වූයේ වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු සමග සාකච්ඡා කළ යුතු යි.
උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු සමග සාකච්ඡා නො කළ යුතු යි. කවර පසෙකින යත්: අර්‍ත්‍ථකථායෙහි ප්‍රභේදගත ඥානයට නො පැමිණියේ වෙයි. පෙළදහමෙහි ප්‍රභේදගතඥානයට නො පැමිණියේ වෙයි, ව්‍යවහාර නිරුක්තියෙහි ප්‍රභේදගත ඥානයට නො පැමිණියේ වෙයි, ප්‍රතිභාන සඞ්ඛ්‍යාත ප්‍රභේදගත ඥානයට නො පැමිණියේ වෙයි, (සතර ඵල විමුක්තීන්ගේ වශයෙන්) මිදුනු සිත (එකුන්විසි - පස්විකුම් නුවණින්) ප්‍රත්‍යවේක්‍ෂා නො කරන්නේ වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු සමග (නාම රූප පරිච්ඡේදාදිය) සාකච්ඡා නො කළ යුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු සමග සාකච්ඡා කළ යුතු යි. කවර පසෙකින යත්: අර්‍ත්‍ථකථායෙහි ප්‍රභේදගතඥානයට පැමිණියේ වෙයි, පෙළදහමෙහි ප්‍රභේදගතඥානයට පැමිණියේ වෙයි, ව්‍යවහාර නිරුක්තියෙහි ප්‍රභේදගතඥානයට පැමිණියේ වෙයි, ප්‍රහිහාන සඞ්ඛ්‍යාත ප්‍රභේදගතඥානයට පැමිණියේ වෙයි, (සතරඵල විමුක්තීන්ගේ වශයෙන්) මිදුනු සිත (එකුන්විසි පස්විකුම් නුවණින්) ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු සමග සාකච්ඡා කළ යුතු යි.
අටවන භික්බුනෝවාදක වර්‍ගය නිමි.
එහි නාමාවලිය:
භික්ඛුණීභෙවකාතබ්බ යැ එසේම අපරෙහි දෙක යැ භික්‍ෂුණීන් පිළිබඳ වූ කර්‍ම තුණ යැ න ඨපේතබ්බදුක දෙක යැ න ගභෙතබ්බ දෙක යැ සාකච්ඡාවන්හි දුක දෙක යැ.
9. උබ්බාහිකා වර්‍ගය