උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතු යි, කවර පසෙකින් ද යත්: ඇවැත් නො ඇවැත් දනියි, ලුහු ගුරු ඇවැත් දනියි, සාවසේස අනවසේස ආපත්ති දනියි, තුළුල් නො තුළුල් ඇවැත් දනියි, පස් වස් ඇත්තේ හෝ අයිරා පස් වස් ඇත්තේ හෝ වේ. උපාලි, මේ පසඟින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතු යි.
4. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුත් මහණහු විසින් උපසපන් නො කරවිය යුතු ද, නිස නොදිය යුතු ද, හෙරණකු ලවා උවටැන් නො කරවිය යුතු ද ?
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් උපසපන් නො කරවිය යුතු යැ. නිස නො දිය යුතු යැ. හෙරණකු ලවා උවැටන් නො කරවිය යුතු යැ. කවර පසෙකින් ද යත්: ගිලන් වූ අතැවැසියකුට හෝ සද්ධිවිහාරිකයකුට හෝ උවැටන් කරන්නට හෝ උවැටන් කරවන්නට හෝ, උපන් අනභිරතිය (උකටලී බව) බැහැර කරන්නට හෝ කරවන්නට හෝ උපන් කුකුස දහමින් විනයෙන් දුරු කරන්නට හෝ දුරු කරවන්නට හෝ, අභිධර්‍මයෙහි (නාම රූප පරිච්ඡේදයෙහි) හික්මවන්නට, අභිවිනයෙහි හික්මවන්නට ප්‍රතිබල නො වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් උපසපන් නො කරවියැ යුතු යැ. නිස නො දිය යුතු යැ. හෙරණකු ලවා උවැටන් නො කරවිය යුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් උපසපන් කරවිය යුතු යැ, නිස දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි. කවර පසෙකින් ද යත්: ගිලන් වූ අතැවැසියකුට හෝ සද්ධිවිහාරිකයකුට හෝ උවැටන් කරන්නට හෝ උවැටන් කරවන්නට හෝ, උපන් උකටලී බව බැහැර කරන්නට හෝ කරවන්නට හෝ, උපන් කුකුස දහමින් විනයෙන් දුරු කරන්නට හෝ දුරු කරවන්නට හෝ, අභිධර්‍මයෙහි හික්මවන්නට, සියලු විනය පිටකයෙහි හික්මවන්නට ප්‍රතිබල වෙයි. උපාලි, මේ පසඟින් යුත් මහණහු විසින් උපසපන් කරවිය යුතු යැ, නිස දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි.
5. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් උපසපන් නො කරවිය යුතු යැ, නිස නො දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් නො කරවිය යුතු යි. කවර පසෙකින් ද යත්: අතැවැසියකු හෝ සද්ධිවිහාරිකයකු හෝ ආභිසමාචාරික ශික්‍ෂාවන්හි (කඳුවත්හි) හික්මවන්නට, ආදිබ්‍රහ්මචරිය සඞ්ඛ්‍යාත සේඛපණ්ණත්ති ශික්‍ෂාවන්හි (පරිජි සඟ වෙසෙස්හි) හික්මවන්නට, අධිශීලයෙහි (ප්‍රාතිමෝක්‍ෂ ශීලයෙහි) හික්මවන්නට, අධිචිත්තයෙහි (ලෞකිකසමාධිභාවනාවෙහි) හික්මවන්නට අධිප්‍රඥායෙහි (ලෝකෝත්තර මාර්‍ගභාවනාවෙහි) හික්මවන්නට ප්‍රතිබල නො වෙයි, උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් උපසපන් නො කරවිය යුතු යැ, නිස නො දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් නො කරවිය යුතු යැ.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් උපසපන් කරවිය යුතු යැ. නිස දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි. කවර පසෙකින් ද යත්: අතැවැසියකු හෝ සද්ධිවිහාරිකයකු හෝ ආභිසමාචාරික ශික්‍ෂාවෙහි හික්මවන්නට ආදිබ්‍රහ්මචරියක ශික්‍ෂාවෙහි හික්මවන්නට, අධිශීලයෙහි හික්මවන්නට, අධිචිත්තයෙහි හික්මවන්නට, අධිප්‍රඥාවෙහි හික්මවන්නට ප්‍රතිබල වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුතු මහණහු විසින් උපසපන් කරවිය යුතු යි. නිස දිය යුතු යි. හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි.
6. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහට (තජ්ජනීයාදි සත්වැදෑරුම්) කර්‍මය කටයුතු ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහට (තජ්ජනීයාදි) කර්‍ම කටයුතු යි. කවර පසෙකින් ද යත්: ලජ්ජා නැත්තේ ද වෙයි. අඥාන ද වෙයි. උඛෙව්නීකම් කරණ ලද්දේ ද වෙයි. මිථ්‍යා දෘෂ්ටික ද වෙයි. නට දිවිපෙවෙත් ඇත්තේ ද වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහට (තජ්ජනීයාදි) කර්‍ම කටයුතු යි.
7. උපාලි, අනෙකුදු අංග පසෙකින් යුත් මහණ හට (තජ්ජනීයාදි) කර්‍ම කටයුතු යි. කවර පසෙකින් ද යත්: අධිශීලයෙහි නටුවා වූ සිල් ඇත්තේ (පරිජි සඟවෙසෙස් ඇවැතුන්ට පැමිණියේ) වෙයි. අධ්‍යාචාරයෙහි නටුවා වූ ආචාර ඇත්තේ (සෙසු පස් ඇවැතුන්ට පැමිණියේ) වෙයි, සම්‍යග් දෘෂ්ටියෙහි නටදිටු ඇත්තේ වෙයි, මිසදිටු ද වෙයි, නටුවා වූ දිවි පෙවෙත් ඇත්තේ ද වේ, උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහට (තජ්ජනීයාදි) කර්‍ම කටයුතු යි.
8. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහට (තජ්ජනීයාදි) කර්‍ම කටයුතු යි. කවර පසකින් ද යත්, (දු කෙළි ආදී) කායික ක්‍රීඩාවෙන් යුක්ත වූයේ වෙයි, (කට බෙර ගැසීම් ආදී) වාචසික ක්‍රීඩාවෙන් යුක්ත වූයේ වෙයි. (නැටීම් ගැයීම් ආදි) කායික වාචසික ක්‍රීඩාවෙන් යුක්ත වූයේ වෙයි, මිසදිටු වූයේත් වෙයි, නටුවා වූ දිවිපෙවෙත් ඇත්තේත් වේ. උපාලි මේ පසඟින් යුත් මහණහට කර්‍ම කටයුතු යි.
9. උපාලි අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහට කර්‍ම කටයුතු යි. කවර පසෙකින් ද යත්: කායික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි, වාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි, කායික වාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි, මිසදිටු වූයේත් වෙයි. නටුවා වූ දිවිපෙවෙත් ඇත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි.
10. උපාලි අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහට කර්‍ම කටයුතු යි. කවර පසෙකින් ද යත්, කය පිළිබඳ ව්‍යතික්‍රමණයෙන් (සික පද කැඩීමෙන්) යුක්ත වූයේ වෙයි, වචනය පිළිබඳ ව්‍යතික්‍රමණයෙන් යුක්ත වූයේ වෙයි. කය වචනය පිළිබඳ ව්‍යතික්‍රමණයෙන් යුක්ත වූයේ වෙයි. මිසදිටු වූයේ වෙයි, නටුවා වූ දිවි පෙවෙත් ඇත්තේත් වෙයි, උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහට කර්‍ම කටයුතු යි.
11. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහට කර්‍ම කටයුතු යි, කවර පසෙකින් ද යත්: (හසුන් ගෙනයාම වෙදකම් ආදි) කය පිළිබඳ සදොස් ජීවිකායෙන් යුක්ත වූයේ වෙයි, (පණිවිඩ කීම් ආදි) වාචසික සදොස් ජීවිකායෙන් යුක්ත වූයේ වෙයි, (මෙකී) කායික වාචසික සදොස් ජීවිකාවෙන් යුක්ත වූයේ වෙයි, මිසදිටු වූයේත් වෙයි, නටුවා වූ දිවිපෙවෙත් ඇත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි.
12. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි. කවර පසකින් ද යත්, “ඇවැතට පැමිණියේ කර්‍ම කරන ලදුයේ උපසපන් කරවයි, නිස දෙයි, හෙරණකු ලවා උවැටන් කරවයි, භික්‍ෂුණී අවවාද සම්මුතිය ඉවසයි, සම්මුතිය ලදුයේ නමුදු මෙහෙණන්ට අවවාද කෙරෙයි. උපාලි මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි.
13. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි. කවර පසෙකින් ද යත්: සඞ්ඝයා විසින් යම් ඇවැතෙකින් කර්‍මය කරන ලද්දේ වේ ද, ඒ ඇවැතට හෝ පැමිණෙයි, එබඳු වූ අනෙක් ඇවැතකට හෝ පැමිණෙයි, එයට වඩා ඉතා ලමු ඇවැතකට හෝ පැමිණෙයි, (විනය) කර්‍මයට ගර්‍හා කෙරෙයි, (විනය) කර්‍ම කළවුන්ට ගර්‍හා කෙරේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට කර්‍ම කටයුතු යි.
14. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහට කර්‍ම කටයුතු යි, කවර පසෙකින් ද යත්: බුදුන්ගේ අගුණ කියයි, ධර්‍මයේ අගුණ කියයි, සඞ්ඝයාගේ අගුණ කියයි, මිසදිටු වූයේත් වෙයි, නටුවා වූ දිවිපෙවෙත් ඇත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට (තජ්ජනීයාදි) කර්‍ම කටයුතු යි.
පළමුවන අනිස්සිත වර්‍ගය නිමි.
එහි නාමාවලිය:
1. උපෝසථ යැ, පවාරණ යැ, ආපත්ති යැ, ගිලාන යැ, අභිසමාචාර යැ, ලජ්ජී යැ, දවය සමඟ අධිශීල යැ.
2. අනාචාර යැ, උපඝාති යැ, මිච්ඡා යැ, ආපත්ති යැ, යාය ආපත්තියා යැ, බුද්ධස්ස යැ යි ප්‍රථම වර්‍ගයෙහි සංග්‍රහය වේ.
2. න පටිප්පස්සමහන වර්‍ගය
1. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණක්හුගේ (විනය) කර්‍මය නො සන්හිඳුවියයුතු ද?
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණක්හුගේ (විනය) කර්‍මය නො සන්හිඳුවියයුතු ය. කවර පසෙකින් ද යත්: ඇවැතට පැමිණියේ (තජ්ජනීයාදි) කර්‍ම කරණ ලද්දේ උපසපන් කරවයි, නිස දෙයි, හෙරණකු ලවා උවැටන් කරවයි, භික්බුනෝවාදක සම්මුතිය ඉවසයි, සම්මුතිය ලද්දේ නමුදු මෙහෙණන්ට ඔවා දේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහුගේ කර්‍මය නො සන්හිඳුවියයුතු යි.
2. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණක්හුගේ කර්‍මය නො සන්හිඳු වියයුතු යි. කවර පසෙකින් ද යත්: සඞ්ඝයා විසින් යම් ඇවැතෙකින් කර්‍මය කරණ ලද නම් (නැවැත) ඒ ඇවැතට පැමිණෙයි, එබඳු වූ අනෙක් ඇවැතකට හෝ පැමිණෙයි, එයට වඩා ඉතා ලමු ඇවැතකට හෝ පැමිණෙයි, කර්‍මයට ගර්‍හා කෙරෙයි. කර්‍මය කළවුන්ට ගර්‍හා කෙරේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහුගේ කර්‍මය නො සන්හිඳු වියයුතු යි.
3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණක්හුගේ කර්‍මය නො සන්හිඳු වියයුතු යි. කවර පසෙකින් ද යත්: බුදුන්ගේ අගුණ කියයි, ධර්‍මයෙහි අගුණ කියයි, සඞ්ඝයාගේ අගුණ කියයි, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේත් වෙයි, නටුවා වූ දිවිපෙවෙත් ඇත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහුගේ කර්‍මය නො සන්හිඳු වියයුතු යි.
4. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණක්හුගේ කර්‍මය නො සන්හිඳු වියයුතු යි. කවර පසෙකින් ද යත්: ලජ්ජා නැත්තේත් වෙයි, අඥාන වූයේත් වෙයි, ප්‍රකෘතියෙහි පිහිටි භික්‍ෂුත්‍වය නැත්තේත් වෙයි. සිකපද මඩිමින් ක්‍රියා කරන්නේත් වෙයි. වත්හිද සිඛයෙහි ද සම්පූර්‍ණ කිරීම් නැත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහුගේ කර්‍මය නො සන්හිඳු වියයුතු යි.
5. වහන්ස, සඞ්ගාමාවචර (අධිකරණ විනිශ්චය පිණිස රැස් වූ සඞ්ඝයා වෙත එළඹෙන) මහණ විසින් කෙතෙක් කරුණු තම සිතෙහි එළවාගෙණ සඞ්ඝයා වෙත එළඹිය යුතු ද?
උපාලි, සංග්‍රාමාවචර මහණ විසින් කරුණු පසක් තම සිතෙහි එළවා ගෙණ සඞ්ඝයා වෙත එළඹිය යුතුයි. කවර පසෙක් ද යත්: උපාලි, සඞ්ගාමාවචර මහණ විසින් පාපිස්නක් හා සම වූ නිහතමාන සිතින් යුතු වැ සඞ්ඝයා වෙත එළඹිය යුතු යැ. නිදොස් වැ හිඳීමෙහි දක්‍ෂවූවහු විසින් අසුනක් (තෝරා) ගැන්මෙහි සමත් වියයුතු යැ ස්ථවිර භික්‍ෂූන් නොගටමින් නවක භික්‍ෂූන් ආසනයෙන් බැහැර නොකරමින් (තමහට) සුදුසු අස්නෙකැ හින්ද යුතු යැ. තිරශ්චීන කථාවන් ගෙන් තොර වැ නානාවිධ අනර්‍ත්‍ථකථා නොකරන්නකු වියයුතු යැ. තමා හෝ දහමක් දෙසිය යුතු යැ අනෙකකුට හෝ ආරාධනා කටයුතු යැ ආර්‍ය්‍ය නිශ්ශබ්දභාවය හෝ නොඉක්ම වියයුතු යි. උපාලි, ඉදින් සඞ්ඝ තෙමේ සමග වූවන් විසින් කටයුතු වූ (උපෝසථාදි) කර්‍මයන් කෙරේ ද උපාලි, ඉදින් එහි දී (යම්කිසි) මහණක්හට එය රුචි නො වේ නම් ඇවැත් දෙසීමවත් කොට සමගිය එළවිය යුතු යි. ඊට හේතු කවරේ ද මම සඞ්ඝයාගෙන් වෙනස් වූ වෙම් නො වන්නෙමි, කියායි. උපාලි සඞ්ගාමාවචර මහණ විසින් මේ කරුණු පස තම සිත්හි පිහිටුවා ගෙණ සඞ්ඝයා වෙත එළඹිය යුතු යි.
6. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ, අධිකරණ විනිශ්චය කරන්නේ බොහෝදෙනාට අප්‍රියයෙක් වේ ද, බොහෝදෙනාගේ මන නොවඩන්නෙක් වේ ද, බොහෝදෙනාට රුචි නොවන්නෙක් වේ ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ අධිකරණ විනිශ්චය කරන්නේ බොහෝදෙනාට අප්‍රියයෙක් වෙයි, බොහෝදෙනාගේ මන නොවඩන්නෙක් ද වෙයි, බොහෝදෙනාට රුචි නොවන්නෙක් ද වෙයි, කවර පසෙකින් ද යත්: තමා හුවා දක්වන කථා ඇත්තේත් වෙයි, අනුන් ඇසුරු කොට තමන් හුවා දක්වන කථා ඇත්තේත් වෙයි. කථානුසන්‍ධියෙහිත් විනිශ්චයානුසන්‍ධියෙහිත් දක්‍ෂ නො වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා කරන්නේ නො වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් (විනය කර්‍ම) නො කරවන්නේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට අප්‍රියයෙක් ද වෙයි. බොහෝ දෙනාගේ මන නොවඩන්නෙක් ද වෙයි, බොහෝ දෙනාට රුචි නොවන්නෙක් ද වේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ, විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට ප්‍රියයෙක් ද වෙයි, බොහෝ දෙනාගේ මන වඩන්නෙක් ද වෙයි, බොහෝ දෙනාට රුචි වූවෙක් ද වෙයි. කවර පසෙකින් ද යත්: තමා හුවා දක්වන කථා නැත්තේ වෙයි. අනුන් ඇසුරු කොට තමා හුවා දක්වන කථා නැත්තේත් වෙයි. කථානුසන්‍ධියෙහිත් විනිශ්චයානුසන්‍ධියෙහිත් දක්‍ෂ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා කරන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් (විනය කර්‍ම) කරවන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ, විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට ප්‍රියයෙක් ද වෙයි. බොහෝ දෙනාගේ මන වඩන්නෙක් ද වෙයි, බොහෝ දෙනාට රුචි කරන්නෙක් ද වේ.
7. උපාලි, අනෙකුදු අඞ්ග පසකින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ, විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට අප්‍රියයෙක් ද වෙයි, බොහෝ දෙනාගේ මන නො වඩන්නෙක් ද වෙයි, බොහෝ දෙනාට අරුචි ද වෙයි. කවර පසෙකින් ද යත්: තම පක්‍ෂය හුවා දක්වන්නේ වෙයි, පර පක්‍ෂය හෙළා දක්වන්නේ වෙයි නො දැහැමි පක්‍ෂය ගණී, දැහැමි පක්‍ෂය දුරු කෙරෙයි, බොහෝ වැඩ නැති කථා කෙරෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට අප්‍රියයෙක් ද වෙයි, බොහෝ දෙනාගේ මන නො වඩන්නෙක් ද වෙයි, බොහෝ දෙනාට රුචි ද නො වේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ, විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට ප්‍රිය ද වෙයි, බොහෝ දෙනාගේ මන වඩන්නේ ද වෙයි, බොහෝ දෙනාට රුචි ද වේ. කවර පසෙකින් ද යත්: තමා උසස් කොට කථා කරන්නේත් නො වෙයි, (අනුන්) පහත් කොට කථා කරන්නේත් නො වෙයි, දැහැමි පක්‍ෂය ගණී, නො දැහැමි පක්‍ෂය දුරු කෙරෙයි, බොහෝ වැඩ නැති කථා නො කරයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ බොහෝ දෙනාට ප්‍රිය ද වෙයි, බොහෝ දෙනාගේ මන වඩන්නේ ද වෙයි, බොහෝ දෙනාට රුචි ද වේ.
8. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට අප්‍රිය ද වෙයි, බොහෝ දෙනාගේ මන නො වඩන්නේ ද වෙයි, බොහෝ දෙනාට රුචි ද නො වේ. කවර පසෙකින් ද යත්: බලාත්කාරයෙන් කථා කරන්නේ වෙයි, අවසර නො ගෙණ කථා කරන්නේත් වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා නො කරන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් (විනය කර්‍ම) නො කරවන්නේ වෙයි, (තමාගේ) දෘෂ්ටිය වූ පරිද්දෙන් ප්‍රකාශ නො කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට අප්‍රිය ද වෙයි, බොහෝ දෙනාගේ මන නො වඩන්නේ ද වෙයි. බොහෝ දෙනාට රුචි ද නො වේ.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට ප්‍රිය ද වෙයි, බොහෝ දෙනාගේ මන වඩන්නේ ද වෙයි, බොහෝ දෙනාට රුචි ද වේ. කවර පසෙකින් ද යත්: බලාත්කාරයෙන් කථා නොකරන්නේත් වෙයි. අවසර ගෙණ කථා කරන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා කරන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් (විනය කර්‍ම) කරවන්නේ වෙයි, (තමාගේ) දෘෂ්ටිය වූ පරිද්දෙන් ප්‍රකාශ කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට ප්‍රිය ද වෙයි, බොහෝ දෙනාගේ මන වඩන්නේ ද වෙයි, බොහෝ දෙනාහට රුචි ද වේ.
9. වහන්ස, විනය හැදෑරීමෙහි අනුසස් කෙතෙක් ද?
උපාලි, විනයහැදෑරීමෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක් ද යත්: තමාගේ ශීලස්කන්‍ධය මනා වැ රක්නා ලද්දේ මනා වැ ගෝපනය කරණ ලද්දේ වෙයි, කුකුසින් මඩනා ලද්දවුන්ට පිළිසරණ වෙයි. නිර්භීත වූයේ වෙයි, සඟ මැද ව්‍යවහාර කෙරෙයි, (තමහට පසමිතුරු යැ සසුනට පසමිතුරු යැ යන දෙවැදෑරුම්) පසමිතුරනට කරුණු සහිතව කීමෙන් මොනවට නිග්‍රහ කරන්නේ වෙයි, (ත්‍රිවිධ) ශාසනයාගේ තිරකල් පැවැත්ම පිණිස පිළිපන්නේ වේ. උපාලි, විනය හැදෑරීමෙහි මේ අනුසස් පසයි.
දෙවන න පටිප්පසම්භන වර්‍ගය නිමි.
එහි නාමාවලිය:
1. ආපන්න යැ යායවණ්ණ යැ අලජ්ජී යැ සඞ්ගාමාවචරය සමග උස්සිතා යැ උස්සාදෙතා යැ පසය්හ යැ පරියත්ති යැ යි.
පළමුවන යමක පඤ්ඤත්තිය යි.
3. වෝහාර වර්‍ගය
1. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නොකටයුතු ද ?
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ, විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: ඇවැත නො දනී, ඇවැත් නැගීම නො දනියි, ඇවැත පිළිබඳ කායවාග් ප්‍රයෝගය නො දනියි, ඇවැත පිළිබඳ සන්හිඳීම නො දනියි, ඇවැත පිළිබඳ විනිශ්චයෙහි දක්‍ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය කටයුතු යි, කවර පසෙකින් ද යත්: ඇවැත දනියි, ඇවැත් නැගීම දනියි. ඇවැත පිළිබඳ කාය වාග් ප්‍රයෝගය දනියි, ඇවැත පිළිබඳ සන්හිඳීම දනියි, ඇවැත පිළිබඳ විනිශ්චයෙහි දක්‍ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
2. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි, කවර පසෙකින යත්: අධිකරණය නො දනියි, අධිකරණ සමුට්ඨානය නො දනියි, අධිකරණය පිළිබඳ ප්‍රයෝගය නො දනියි, අධිකරණය පිළිබඳ සන්හිඳීම නො දනියි, අධිකරණය විසඳීමෙහි දක්‍ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ, විනිශ්චය නො කටයුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: අධිකරණය දනියි, අධිකරණ සමුට්ඨානය දනියි, අධිකරණය පිළිබඳ ප්‍රයෝගය දනියි, අධිකරණය පිළිබඳ සන්හිඳීම දනියි, අධිකරණ විනිශ්චයෙහි දක්‍ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සංඝයා අතරැ, විනිශ්චය නො කටයුතු යි, කවර පසෙකින යත්: මෙරමා ලාහෙළා කථා කරන්නේ වෙයි, අවසර නොගෙන කථා කරන්නේ වෙයි, ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා නොකරන්නේ වෙයි. ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් (විනය කර්‍ම) නොකරන්නේ වෙයි. (ස්වකීය) දෘෂ්ටිය වූ පරිද්දෙන් ප්‍රකාශ නොකරන්නේ වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: ලාහෙලා කථා නො කරන්නේ වෙයි. අවසර ගෙණ කථා කරන්නේ වෙයි. ධර්‍මය වූ පරිද්දෙන්, විනය වූ පරිද්දෙන්, ඇවැත් වූ පරිද්දෙන් චෝදනා කරන්නේ වෙයි. ධර්‍මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් (විනය කර්‍ම) කරවන්නේ වෙයි. දෘෂ්ටිය වූ පරිද්දෙන් ප්‍රකාශ කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
4. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ, විනිශ්චය නො කටයුතුයි. කවර පසෙකින යත්: ඇවැත නො ඇවැත නො දනියි, ලුහු ගුරු ඇවැත නො දනියි, සාවසේස අනවසේස ඇවැත නො දනියි, තුළුල් නො තුළුල් ඇවැත නො දනියි, ප්‍රතිකර්‍ම සහිත වූ ද ප්‍රතිකර්‍ම රහිත වූ ද ඇවැත නො දනියි, උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: ඇවැත නො ඇවැත දනියි, ලුහු ගුරු ඇවැත දනියි, සාවසේස අනවසේස ඇවැත දනියි, තුළුල් නො තුළුල් ඇවැත දනියි, ප්‍රතිකර්‍ම සහිත වූ ද ප්‍රතිකර්‍ම රහිත වූ ද ඇවැත දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සංඝයා අතරැ, විනිශ්චය කටයුතු යි.
5. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: කර්‍මය නො දනියි, කර්‍මය කිරීම නො දනියි, කර්‍මය පිළිබඳ වස්තුව නො දනියි, කර්‍මය පිළිබඳ වත නො දනියි, කර්‍මය පිළිබඳ සන්හිඳීම නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: කර්‍මය දනියි, කර්‍මය කිරීම දනියි, කර්‍මය පිළිබඳ වස්තුව දනියි. කර්‍මය පිළිබඳ වත දනියි, කර්‍මය පිළිබඳ සන්හිඳීම දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
6. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: වස්තුව නො දනියි, නිදානය නො දනියි, ප්‍රඳප්ති නො දනියි, පද පෙරළිය නො දනියි, ගැළපෙන වදන් මග නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කට යුතු යි. කවර පසෙකින් ද යත්: වස්තුව දනියි, නිදානය දනියි, ප්‍රඥප්තිය දනියි, පද පෙරළිය දනියි, ගැළපෙන වදන් මග දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
7. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, ලජ්ජා නැත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි, බියෙන් අගතියට නො යෙයි, ලජ්ජා ඇත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
8. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යෙයි, විනයෙහි අදක්‍ෂ වූයේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතුයි. කවර පසෙකින යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි. ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි. බියෙන් අගතියට නො යෙයි. විනයෙහි දක්‍ෂ වූයේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
9. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: ඤත්තිය නො දනියි, ඤත්තිකරණය නො දනියි, ඤත්තිය පිළිබඳ අනුසාවණය නො දනියි, ඤත්තිය පිළිබඳ ශමථය නො දනියි, ඤත්තිය පිළිබඳ සන්හිඳීම නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් වූ මහණහු විසින් සංඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: ඤත්තිය දනියි, ඤත්තිකරණය දනියි. ඤත්තිය පිළිබඳ අනුසාවණය දනියි, ඤත්තිය පිළිබඳ ශමථය දනියි, ඤත්තිය පිළිබඳ සන්හිඳීම දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
10. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: සූත්‍රය නො දනියි, සූත්‍රානුලෝමය නො දනියි, විනය නො දනියි, විනයානුලෝමය නො දනියි, කරුණු නො කරුණු දෙක්හි දක්‍ෂ වූයේත් නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින යත්: සූත්‍රය දනී, සූත්‍රානුලෝමය දනියි, විනය දනියි, විනයානුලෝමය දනියි, කරුණු නො කරුණු දෙක්හි දක්‍ෂ වූයේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
11. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි. කවර පසෙකින යත්: ධර්‍මය නො දනියි, ධර්‍මානුලොමය නො දනියි, විනය නො දනියි, විනයානුලෝමය නො දනියි, පෙරැ පසු කථාවන්හි දක්‍ෂ වූයේත් නො වේ. උපාලි, මේ අඞ්ග දෙපසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය නො කටයුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි. කවර පසෙකින් ද යත්: ධර්‍මය දනියි, ධර්‍මානුලොමය දනියි, විනය දනියි, විනයානු ලෝමය දනියි, පෙරැ පසු කථාවන්හි දක්‍ෂ වූයේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් සඞ්ඝයා අතරැ විනිශ්චය කටයුතු යි.
තෙවන වෝහාර වර්‍ගය නිමි.
එහි නාමාවලිය:
ආපත්ති යැ, අධිකරණ යැ, පසය්හ යැ, ආපත්තිජානන යැ, කර්‍ම යැ, වස්තු යැ, අලජ්ජි යැ, අකුසල යැ, ඤත්ති යැ, සුත්තං න ජානාති යැ, ධම්මං න ජානාති යැ, (යන මේ) තුන්වන වර්‍ග සඞ්ග්‍රහය වේ.
4. දිට්ඨාවිකර්‍ම වර්‍ගය
1. වහන්ස, නො දැහැමි දිට්ඨාවීකම්ම (ඇවැත් දෙසීම්) කෙතෙක් ද?
උපාලි, මේ නොදැහැමි දිට්ඨාවීකම්ම පසෙකි. කවර පසෙකැ යත්: අනාපත්තියෙහි (ඇවැතැයි) ඇවැත දෙසයි, දේසනාගාමිනී නොවූ ගරු ඇවැතෙහි ඇවැත දෙසයි. දෙසූ ඇවතෙහි (යළි) ඇවැත දෙසයි, හතර පස් දෙනෙකුන් හා (එකතුව) ඇවැත දෙසයි, (වාග්භේද නො කොට) සිතීමෙන් මැ ඇවැත දෙසයි. උපාලි, මේ නො දැහැමි ඇවැත් දෙසීම් පස යි.
උපාලි, මේ දැහැමි ඇවැත් දෙසීම් පසෙකි. කවර පසෙකැ යත්: ඇවැතෙහි ඇවැත දෙසයි, දේසනාගාමිනී ඇවැතෙහි ඇවැත දෙසයි, නො දෙසූ ඇවතෙහි ඇවැත දෙසයි, සතර පස් දෙනෙකුන් හා නොම එකතුව ඇවැත දෙසයි, සිතීමෙන් ම නො වැ වාග්භේද කොට ඇවැත දෙසයි. උපාලි, මේ දැහැමි ඇවැත් දෙසීම් පස යි.
2. උපාලි, අනෙකුදු නොදැහැමි ඇවැත් දෙසීම් පසෙකි, කවර පසෙක යත්: (ලබ්ධි වශයෙන් හෝ කර්‍ම වශයෙන් හෝ) නානා සංවාසකයකු හමුවෙහි ඇවැත් දෙසයි, නානා සීමාවෙහි සිටියහු හමුවෙහි ඇවැත් දෙසයි, ප්‍රකෘත නොවූ මහණක්හු (උඛෙවුනීකම් කරණ ලද්දහු හෝ පොහෝ පවුරුණු තබන ලද්දහු) හමුවෙහි ඇවැත දෙසයි. සතර පස් දෙනෙකුන් හා කැටිවැ ඇවැත දෙසයි, (වාග්භේද නොකොට) සිතීමෙන් ම ඇවැත දෙසයි. උපාලි, මේ නො දැහැමි ඇවැත් දෙසීම් පස යි.
උපාලි, මේ දැහැමි ඇවැත් දෙසීම් පසෙකි, කවර පසෙකැ යත්: සමානසංවාසකයකු හමුයෙහි ඇවැත දෙසයි, සමාන සීමාවෙහි සිටියහු හමුයෙහි ඇවැත දෙසයි, ප්‍රකෘත මහණක්හු හමුවෙහි ඇවැත දෙසයි, සතර පස් දෙනෙකුන් හා නොම එකතුව ඇවැත දෙසයි, සිතීමෙන් මැ නොවැ වාග්භේද කොට මැ ඇවැත දෙසයි. උපාලි, මේ දැහැමි ඇවැත් දෙසීම් පස යි.
3. වහන්ස, නොදැහැමි පිළිගැණුම් කෙතෙක් ද?
උපාලි, මේ නොදැහැමි පිළිගැණුම් පසෙකි, කවර පසෙකැ යත්: (මෙරමා) කයින් දෙනු ලබන්නක් (තමාගේ) කයින් නොපිළිගන්නා ලද්ද යැ, (මෙරමා) කයින් දෙනු ලබන්නක් (තමාගේ) කය පිළිබැදියකින් නොපිළිගන්නා ලද්ද යැ, (මෙරමා) කය පිළිබැදියකින් දෙනු ලබන්නක් (තමාගේ) කයින් නොපිළිගන්නා ලද්ද යැ, (මෙරමා කය පිළිබැදියකින් දෙනු ලබන්නක් (තමාගේ) කය පිළිබැදියකින් නොපිළිගන්නා ලද්ද යැ, නිසැදුමෙන් දෙනු ලබන්නක් (තමාගේ) කයින් හෝ කය පිළිබැදියකින් හෝ නොපිළිගන්නා ලද්ද යි. උපාලි, මේ නොදැහැමි පිළිගැණුම් පස යි.
උපාලි, මේ දැහැමි පිළිගැණුම් පසෙකි, කවර පසෙක යත්: කයින් දෙනු ලබන්නක් කයින් පිළිගන්නා ලද්ද යැ, කයින් දෙනු ලබන්නක් කය පිළිබැදියකින් පිළිගන්නා ලද්ද යැ, කය පිළිබැදියකින් දෙනු ලබන්නක් කයින් පිළිගන්නා ලද්ද යැ, (මෙරමා) කය පිළිබැදියකින් දෙනු ලබන්නක් (තමාගේ) කය පිළිබැදියකින් පිළිගන්නා ලද්ද යැ, නිසැදුමෙන් දෙනු ලබන්නක් කයින් හෝ කය පිළිබැදියකින් හෝ පිළිගන්නා ලද්ද යැ. උපාලි, මේ දැහැමි පිළිගැණුම් පස යි.
4. වහන්ස, අනතිරික්ත කෙතෙක් ද ?
උපාලි, මේ අනතිරික්ත පසෙකි, කවර පසෙක යත්: කැප නොකරණ ලද වෙයි, පිළිගැන්ම නොකරණලද වෙයි, ඔසවාපෑම නොකරණලද වෙයි, අත්පස්හි නොකරණ ලද වෙයි, මේ සියල්ල සෑහේ යැ යි (වාග්භේද කොට) නො කියන ලද වේ. උපාලි, මේ අනතිරික්ත පස යි.
උපාලි, මේ අතිරික්ත පසෙකි, කවර පසෙක යත්: කැප කරණලද වෙයි, පිළිගැන්ම කරණලද වෙයි, ඔසවා පෑම කරණලද වෙයි, අත්පස්හි කරණලද වෙයි, මේ සියල්ල සෑහේ යැ යි කියනලද වේ. උපාලි, මේ අතිරික්ත පස යි.
5. වහන්ස, කෙතෙක් අයුරින් පවාරණය පැණේ ද ?
උපාලි, පස් අයුරකින් පවාරණය පැණෙයි. කවර පසෙකින යත්:-(අඩාළ) බොජුන පැණෙයි, (පස් බොජුන් අතුරෙන්) එක් බොජුනෙක් පැණෙයි, (දෙරියන් වියත්) අත්පසෙහි සිටියේ වෙයි. (කයින්) එළවයි, (කයින් වචනින්) පිළිකෙව් කිරීම පැණේ. උපාලි, මේ පස් අයුරින් පවාරණය පැණෙයි.
6. වහන්ස, නොදැහැමි ප්‍රතිඥාතකරණ කෙතෙක් ද?
උපාලි, මේ නොදැහැමි ප්‍රතිඥාතකරණ පසෙකි, කවර පසෙක යත්: මහණ පරිජි අවන් වෙයි, පරිජි ඇවතින් චෝදනා කරණු ලබන කල්හි සඟවෙසෙස් අවන්මි යි පිළින කෙරෙයි, සඞ්ඝ තෙමේ ඔහුට සඟවෙසෙසින් විනය කර්‍ම කරවා නම් (එය) අධම්මික පටිඤ්ඤාතකරණ යැ. මහණ පරිජි අවන් වෙයි, පරිජි ඇවතින් චෝදනා කරණු ලබන කල්හි පචිති ඇවැත් ... පිළිදෙස්නී ඇවැත් ...
දුකුළා ඇවැත් අවන්මි යි පිළින කෙරෙයි, ඔහුට සඞ්ඝයා දුකුළා ඇවැතින් විනයකර්‍ම කරවා නම් (එය) අධම්මික පටිඤ්ඤාතකරණ යැ. මහණ සඟවෙසෙස් ඇවැත් ... පචිති ඇවැත් ... පිළිදෙස්නී ඇවැත් ... දුකුළා ඇවැත් අවන් වෙයි, දුකුළා ඇවැතින් චෝදනා කරණු ලබන කල්හි පරිජි අවන්මි යි පිළින කෙරෙයි, ඔහුට සඞ්ඝයා පරිජි ඇවැතින් විනය කර්‍ම කරවා නම් (එය) අධම්මික පටිඤ්ඤාතකරණ යැ. මහණ දුකුළා ඇවැත් අවන් වෙයි, දුකුළා ඇවැතින් චෝදනා කරණු ලබන කල්හි සඟවෙසෙස් ඇවැත් ... පචිති ඇවැත් ... පිළිදෙස්නී ඇවැත් අවන්මි යි පිළින කෙරෙයි, ඔහුට සඞ්ඝයා පිළිදෙස්නී ඇවැතින් විනයකර්‍ම කරවා නම් (එය) අධම්මිකපටිඤ්ඤාතකරණ යි. උපාලි, මේ අධම්මිකපටිඤ්ඤාතකරණ පස යි.
උපාලි, මේ ධම්මිකපටිඤ්ඤාතකරණ පසෙකි. කවර පසෙක් ද යත්: මහණ පරිජි ඇවැත් අවන් වෙයි, පරිජි ඇවැතින් චෝදනා කරණු ලබන කල්හි පරිජි අවන්මි යි පිළින කෙරෙයි, ඔහුට සඞ්ඝයා පරිජි ඇවැතින් විනයකර්‍ම කරවා නම් (එය) ධම්මිකපටිඤ්ඤාතකරණ යැ, මහණ සඟවෙසෙස් ඇවැත් ... පචිති ඇවැත් ... පිළිදෙස්නී ඇවැත් ... දුකුළා ඇවැත් අවන් වෙයි, දුකුළා ඇවැතින් චෝදනා කරණු ලබන කල්හි දුකුළා ඇවැත් අවන්මි යි පිළින කෙරෙයි, ඔහුට සඞ්ඝයා දුකුළා ඇවැතින් විනයකර්‍ම කරවා නම් (එය) ධම්මිකපටිඤ්ඤාතකරණ යි. උපාලි, මේ ධම්මිකපටිඤ්ඤාතකරණ පස යි.
7. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට නො නිසි ද?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාස කර්‍මය කරන්නට නො නිසි වෙයි. කවර පසෙකිනැ යත්: අලජ්ජීත් වෙයි, අඥාන වූයේත් වෙයි, අප්‍රකෘත වූයේත් වෙයි, සසුනෙන් පහ කරවනු කැමැති ව කියනුයේ වෙයි, (ඇවැතින්) නගා සිටුවන අදහස් ඇති වැ නො කියනුයේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට සුදුසු නො වේ.
උපාලි, අඞ්ග පසෙකින් යුත් ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට සුදුසු වෙයි. කවර පසෙකිනැ යත්: ලජ්ජීත් වෙයි, නුවණැත්තේත් වෙයි, ප්‍රකෘත වූයේත් වෙයි, (ඇවැතින්) නගා සිටුවන අදහස් ඇති වැ කියනුයේත් වෙයි, සස්නෙන් පහ කරවන අදහස් නැත්තේත් වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට සුදුසු වේ.
8. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහු සමඟ විනය සාකච්ඡා නො කටයුතු ද ?
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු සමග විනය සාකච්ඡා නො කටයුතු යි. කවර පසෙකින් ද යත්: (ඇවැත් පිළිබඳ) වස්තුව නො දනියි, නිදානය නො දනියි, ප්‍රඥප්තිය නො දනියි, පදපෙරළිය නො දනියි, ගැළපෙන වදන්මග නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු සමග විනය සාකච්ඡා නො කටයුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු සමග විනය සාකච්ඡා කටයුතු යි. කවර පසෙකිනැ යත්: වස්තුව දනියි, නිදානය දනියි, ප්‍රඥප්තිය දනියි, පදපෙරැළිය දනියි, ගැළපෙන වදන්මග දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු සමග විනය සාකච්ඡා කටයුතු යි.
9. වහන්ස, පැණ පිළිවිසීම් කෙතෙක් ද ?
උපාලි, මේ පැණ පිළිවිසීම් පසෙකි. කවර පසෙකැ යත්: නුවණ මඳ බැවින් මෝහයෙන් මුළා බැවින් ප්‍රශ්න විචාරයි, ලාමක අදහස් ඇතියේ ලාමක අදහසින් මඩනා ලදුයේ ප්‍රශ්න විචාරයි, නින්‍දාරෝපණය කරණු කැමැත්තෙන් ප්‍රශ්න විචාරයි, දැනගණු කැමැත්තෙන් ප්‍රශ්න විචාරයි. ඉදින් මා විසින් පැණ පුළුවුස්නා ලදුයේ මොනවට විසඳනුයේ නම් එසේ තෙල විසඳීම මැනැව, ඉදින් පැණ පුළුවුස්නා ලදුයේ මොනවට නොවිසඳනුයේ නම් මම ඔහුට මැනැවින් ප්‍රකාශ කරන්නෙමි යි ප්‍රශ්න විචාරයි. උපාලි, මේ පැණ පිළිවිසීම් පස යි.
10. වහන්ස, රහත් බව ප්‍රකාශ කිරීම් කෙතෙක් ද?
උපාලි, මේ රහත් බව ප්‍රකාශ කිරීම් පසෙකි. කවර පසෙකැ යත්: නුවණ මඳ බැවින් මෝහයෙන් මුළා බැවින් රහත්බව පළ කෙරෙයි, ලාමක අදහස් ඇතියේ ලාමක අදහසින් මඩනා ලදුයේ රහත්බව පළ කෙරෙයි, උමතුවෙන් සිත් පෙරැළීමෙන් රහත්බව පළ කෙරෙයි. (පසක් කෙළෙමි යන) අධිමානයෙන්. රහත්බව පළ කෙරෙයි, විද්‍යාමාන වූ රහත්බව පළ කෙරෙයි. උපාලි, මේ රහත්බැව් පළ කිරීම් පස යි.
11. වහන්ස, විශුද්ධි කෙතෙක් ද?
උපාලි, මේ විශුද්ධි පසෙකි. කවර පසෙකැ යත්: නිදානය උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි. මේ පළමුවන විශුද්ධි යැ. නිදානය උදෙසා සතර පරිජි උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි. මේ දෙවන විශුද්ධි යැ. නිදානය උදෙසා සතර පරිජි උදෙසා තෙළෙස් සඟවෙසෙස් උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි. මේ තෙවන විශුද්ධි යැ. නිදානය උදෙසා සතර පරිජි උදෙසා තෙළෙස් සඟවෙසෙස් උදෙසා දෙඅනියතය උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි. මේ සතරවන විශුද්ධි යැ. විත්‍ථාරුද්දේසයෙන් පස්වන විශුද්ධිය වේ. උපාලි, මේ විශුද්ධි පස යි.
12. වහන්ස, භෝජන කෙතෙක් ද ?
උපාලි, මේ භෝජන පසෙකි. කවර පසෙකැ යත්: බත යැ, කොමු යැ, අත්සුණු යැ, දියමස් යැ, ගොඩමස් යැ. උපාලි, මේ භෝජන පස යි.