1. වස්තු යැ නිදාන යැ ආකාර යැ පුබ්බාපර යැ කතාකත යැ කම්ම යැ අධිකරණ යැ සමථ යැ ඡන්‍දගාමී යැ.
2. දෝසගාමී යැ මෝහගාමී යැ භයගාමී යැ සඤ්ඤාපනීය යැ නිජ්ඣාපනීය යැ පෙක්ඛනීය යැ පසාදනීය යැ ලද්ධපක්ඛ යැ බහුස්සුත යැ ථේරතර යැ.
3. අසම්පත්ත යැ සම්පත්ත යැ ධම්ම - විනය සත්‍ථුසාසන යැ යන මෙයින් ද මහාසඞ්ග්‍රාමය හැඳින් වේ.
කඨිනභේදය
කවරක්හු විසින් කඨිනය නො අතුරණ ලද ද, කවරක්හු විසින් කඨිනය අතුරණ ලද ද කඨිනය කෙසේ නො අතුරණලද ද, කඨිනය කෙසේ අතුරණලද ද?
කවරක්හු විසින් කඨිනය නො අතුරණලද ද යත්: නො අතුරන්නා යැ නො අනුමෝදන්වන්නා යැයි පුද්ගලයන් දෙදෙනා විසින් කඨිනය නො අතුරණ ලද වෙයි. මේ පුද්ගලයන් දෙදෙනා විසින් කඨිනය නො අතුරණලද වේ.
කවරක්හු විසින් කඨිනය අතුරණලද ද යත්: අතුරන්නා යැ අනුමෝදන්වන්නා යැ යි පුද්ගලයන් දෙදෙනා විසින් කඨිනය අතුරණලද වෙයි. මේ පුද්ගලයන් දෙදෙනා විසින් කඨිනය අතුරණලද වේ.
කඨිනය කෙසේ නො අතුරණලද ද යත්: සූවිසි අයුරෙකින් කඨිනය නො අතුරණ ලද වෙයි: (පමණ ගැන්මට) ලකුණු කළ පමණින් කඨිනය නො අතුරණ ලද වෙයි. දොවාලූ පමණින් කඨිනය නො අතුරණ ලද වෙයි. කඩ නියම කිරීම් පමණින් කඨිනය නො අතුරණලද වෙයි. කඩ කැපීම් පමණින් කඨිනය නො අතුරණ ලද වෙයි. බැඳීම් (හිස් නූල් ඇදීම්) පමණින් කඨිනය නො අතුරණ ලද වෙයි. දික් මැහීම් කළ පමණින් කඨිනය නො අතුරණලද වෙයි. අතුබැඳීම් පමණින් කඨිනය නො අතුරණලද වෙයි, (දැඩිවීම පිණිස) දෙපට එකට මැසීම් පමණින් කඨිනය නො අතුරණ ලද වෙයි. පිටනුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුරණලද වෙයි. ඇතුල්නුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුරණලද වෙයි. අමුතු රෙදිපටක් ඇල්ලූ පමණින් කඨිනය නො අතුරණලද වෙයි. වරක් පඬුපෙවූ පමණින් කඨිනය නො අතුරණලද වෙයි. නිමිති කොට ලත් වස්ත්‍රයෙන් කඨිනය නො අතුරණලද වෙයි. පරිකථාවෙන් ලත් වස්ත්‍රයෙන් කඨිනය නො අතුරණලද වෙයි. තාවකාලික වස්ත්‍රයෙන් කඨිනය නො අතුරණලද වෙයි. තැන්පත් කොට තැබූ වස්තුයෙන් කඨිනය නො අතුරණලද වෙයි. නිසඟි වූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුරණ ලද වෙයි. කප්බිඳු නො තැබූ සිවුරෙන් කඨිනය නො අතුරණලද වෙයි. සඟළසිවුර හැර අනෙකෙකින් කඨිනය නො අතුරණලද වෙයි. උතුරුසඟ සිවුර හැර අනෙකෙකින් කඨිනය නො අතුරණලද වෙයි. අඳනය හැර අනෙකෙකින් කඨිනය නො අතුරණලද වෙයි. එදවස ම කඩකපනලද මහමඬුලු අඩමඬුලු ඇතිව කරණලද කඩපසකින් හෝ අයිරාකඩපසකින් හෝ තොරවූවෙකින් කඨිනය නො අතුරණලද වෙයි. පුද්ගලයාගේ ඇතිරීමෙන් තොර ව කඨිනය නො අතුරණ ලද වෙයි. ඉදින් මනා වැ කඨිනය අතුරණලද වේ නම් ඉදින් එය උපචාරසීමාවෙන් බැහැර සිටියෙක් අනුමෝදන් වේ නම් මෙසේ ද කඨිනය නො අතුරණලද වේ.
නිමිත්තකර්‍මය නම්: “මේ වස්ත්‍රයෙන් කඨිනයක් අතුරන්නෙමි” යි නිමිති කෙරෙ යි.
පරිකථා නම්: “මේ පරිකථාවෙන් කඨින වස්ත්‍රයක් උපදවා ගන්නෙමි “යි පරිකථා කෙරෙ යි.
කුක්කුකත නම්: තව්කැලි දීමැ යි කියනු ලැබේ.
සන්නිධි නම්: (එදින ම නො කොට තබා කිරීම වූ) කරණ සන්නිධි යැ (ලැබූ දින හැර පසු දින පමුණුවා ලීම වූ) නිචය සන්නිධි යැ යන සන්නිධි දෙක යැ.
නිස්සග්ගිය නම්: (කඨිනයෙහි) පරිකර්‍ම කරත් ම අරුණ නගී. මේ සූවිසි අයුරෙන් කඨිනය නො අතුරණ ලද වේ.
කඨිනය කෙසේ අතුරණ ලද ද යත්: සතළොස් අයුරෙකින් කඨිනය අතුරණ ලද වෙයි. අළුත් වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. අළුත් වස්ත්‍රයට සමාන වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. රෙදි කැබලියෙන් කළ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. පංසුකූල වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. සල්පිල් දොරටුවෙහි හැර දැමූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. නිමිත්ත කර්‍මයෙන් නො ලද වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. පරිකථා නො කොට උපන් වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. තව්කැලි නො වූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. (කරණ නිචය) සන්නිධියෙන් තොර වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. නිසඟි නො වූ සිවුරෙන් කඨිනය අතුරණ ලද වෙයි. කප්බිඳු තැබූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. සඟළ සිවුරෙන් කඨිනය අතුරණ ලද වෙයි. උතුරුසඟසිවුරෙන් කඨිනය අතුරණ ලද වෙයි. අඳන සිවුරෙන් කඨිනය අතුරණ ලද වෙයි. එදවස ම කැපූ කඩ ඇති මැඩිලි සහිත වූ කඩ පසකින් හෝ අයිරා කඩ පසකින් හෝ යුත් සිවුරෙන් කඨිනය අතුරණ ලද වෙයි. පුද්ගලයාගේ ඇතිරීමෙන් කඨිනය අතුරණ ලද වෙයි. ඉදින් මනා වැ කඨිනය අතුරණ ලද නම් ඉදින් උපචාර සීමාව තුළ සිටියේ අනුමෝදන් වේ නම් මෙසේ ද කඨිනය අතුරණ ලද වෙයි. මේ සතළොස් අයුරෙන් කඨිනය අතුරණ ලද වේ.
කඨිනය ඇතිරීම සමඟ කෙතෙක් ධර්‍මයෝ උපදිත් ද යත්: කඨිනය ඇතිරීම සමඟ මාතෘකා අටක් ද පළිබෝධ දෙකක් ද අනුසස් පසක් දැ යි පසළොස් ධර්‍ම කෙනෙක් උපදිත්. කඨිනය ඇතිරීම සමඟ මේ පසළොස් ධර්‍මයෝ උපදිත්.
ප්‍රශ්නවිසර්‍ජනය
(සත් වැදෑරුම් පූර්‍ව කරණය පිණිස පැන් එළවීම් ආදි) ප්‍රයෝගයට කවර ධර්‍මයෝ අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, නිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, උපනිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, පුරේජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, පශ්චාජ්ජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වෙද්ද, සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, පූර්‍ව කරණයට කවර ධර්‍ම කෙනෙක් අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද ... ප්‍රත්‍යුද්ධාරයට (අධිෂ්ඨානය ඉවත් කිරීමට) කවර ධර්‍ම කෙනෙක් ... අධිෂ්ඨානයට කවර ධර්‍ම කෙනෙක් ... අත්‍ථාරයට (ඇතිරීමට) කවර ධර්‍ම කෙනෙක් ... මාතෘකාවන්ට හා පළිබෝධයන්ට කවර ධර්‍ම කෙනෙක් ... කඨින වස්තුවට කවර ධර්‍ම කෙනෙක් අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, නිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, උපනිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, පුරේජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, පශ්චාජ්ජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද, සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙද්ද යත්:
පූර්‍ව කරණය ප්‍රයොගයට අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, නිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, උපනිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. ප්‍රයෝගය පූර්‍ව කරණයට පුරේජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. පූර්‍ව කරණය ප්‍රයොගයට පශ්චාජ්ජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වෙයි. පඤ්චදශ ධර්‍මයෝ සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙත්.
ප්‍රත්‍යුද්ධාරය පූර්‍ව කරණයට අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, නිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, උපනිඃශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. පූර්‍වකරණය ප්‍රත්‍යුද්ධාරයට පුරේජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. ප්‍රත්‍යුද්ධාරය පූර්‍වකරණයට පශ්චාජ්ජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි. පඤ්චදශ ධර්‍මයෝ සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙත්.
අධිෂ්ඨානය ප්‍රත්‍යුද්ධාරයට අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, “සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, නිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, උපනිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. ප්‍රත්‍යුද්ධාරය අධිෂ්ඨානයට පුරේජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, අධිෂ්ඨානය ප්‍රත්‍යුද්ධාරයට පශ්චාජ්ජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, පඤ්චදශ ධර්‍මයෝ සහාජත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙත්.
අත්‍ථාරය අධිෂ්ඨානයට අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, නිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, උපනිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. අධිෂ්ඨානය අත්‍ථාරයට පුරේජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, අත්‍ථාරය අධිෂ්ඨානයට පශ්චාජ්ජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, පඤ්චදශ ධර්‍මයෝ සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙත්.
මාතෘකාවෝ ද පළිබෝධයෝ ද අත්‍ථාරයට අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙති, සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙති, නිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙති. උපනිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙති. අත්‍ථාරය මාතෘකාවන්ට ද පළිබෝධයන්ට ද පුරේජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි. මාතෘකාවෝ ද පළිබෝධයෝ ද අත්‍ථාරයට පශ්චාජ්ජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙති. පඤ්චදශ ධර්‍මයෝ සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙත්.
ලාභාසාව ද අනාසාව ද වස්තුවට (කඨිනයට) අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, නිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, උපනිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. (කඨින) වස්තුව ආසාවන්ට ද අනාසාවන්ට ද පුරේජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි. ආසාව ද අනාසාව ද (කඨින) වස්තුවට පශ්චාජ්ජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ නුයි පඤ්චදශ ධර්‍මයෝ සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙත්.
පූර්‍වකරණය කුමක් නිදාන කොට ඇත්ද, කුමක් සමුදය කොට ඇත්ද, කුමක් ජාති කොට ඇත්ද, කුමක් ප්‍රභව කොට ඇත්ද, කුමක් සම්භාර කොට ඇත්ද, කුමක් සමුට්ඨාන කොට ඇත්ද, පච්චුද්ධාරය කුමක් නිදාන කොට ඇත්ද, කුමක් සමුදය කොට ඇත්ද, කුමක් ජාති කොට ඇත්ද, කුමක් ප්‍රභව කොට ඇත්ද, කුමක් සම්භාර කොට ඇත්ද, කුමක් සමුට්ඨාන කොට ඇත්ද, අධිෂ්ඨානය කුමක් නිදාන කොට ඇත්ද කුමක් සමුදය කොට ඇත්ද, කුමක් ජාති කොට ඇත්ද, කුමක් ප්‍රභව කොට ඇත්ද, කුමක් සම්භාර කොට ඇත්ද, කුමක් සමුට්ඨාන කොට ඇත්ද, අත්‍ථාරය කුමක් නිදාන කොට ඇත්ද, කුමක් සමුදය කොට ඇත්ද, කුමක් ජාති කොට ඇත්ද, කුමක් ප්‍රභව කොට ඇත්ද,
කුමක් සම්භාර කොට ඇත්ද, කුමක් සමුට්ඨාන කොට ඇත්ද, මාතෘකාවෝ ද පළිබෝධයෝ ද කුමක් නිදාන කොට ඇත්ද, කුමක් සමුදය කොට ඇත්ද, කුමක් ජාති කොට ඇත්ද, කුමක් ප්‍රභව කොට ඇත්ද, කුමක් සම්භාර කොට ඇත්ද, කුමක් සමුට්ඨාන කොට ඇත්ද, ආසාව ද අනාසාව ද කුමක් නිදාන කොට ඇත්ද, කුමක් සමුදය කොට ඇත්ද, කුමක් ජාති කොට ඇත්ද, කුමක් ප්‍රභව කොට ඇත්ද, කුමක් සම්භාර කොට ඇත්ද, කුමක් සමුට්ඨාන කොට ඇත්ද යත්:
පූර්‍වකරණය ප්‍රයෝගය නිදාන කොට ඇත, ප්‍රයෝගය සමුදය කොට ඇත, ප්‍රයෝගය ජාති කොට ඇත, ප්‍රයෝගය ප්‍රභව කොට ඇත, ප්‍රයෝගය සම්භාර කොට ඇත, ප්‍රයෝගය සමුට්ඨාන කොට ඇති.
පච්චුද්ධාරය පූර්‍වකරණය නිදාන කොට ඇත, පූර්‍වකරණය සමුදය කොට ඇත, පූර්‍වකරණය ජාති කොට ඇත, පූර්‍වකරණය ප්‍රභව කොට ඇත, පූර්‍වකරණය සම්භාර කොට ඇත, පූර්‍වකරණය සමුට්ඨාන කොට ඇති.
අධිට්ඨානය පච්චුද්ධාරය නිදාන කොට ඇත, පච්චුද්ධාරය සමුදය කොට ඇත, පච්චුද්ධාරය ජාති කොට ඇත, පච්චුද්ධාරය ප්‍රභව කොට ඇත, පච්චුද්ධාරය සම්භාර කොට ඇත, පච්චුද්ධාරය සමුට්ඨාන කොට ඇති.
අත්‍ථාරය අධිට්ඨානය නිදාන කොට ඇත, අධිට්ඨානය සමුදය කොට ඇත, අධිට්ඨානය ජාති කොට ඇත, අධිට්ඨානය ප්‍රභවකොට ඇත, අධිට්ඨානය සම්භාර කොට ඇත, අධිට්ඨානය සමුට්ඨාන කොට ඇති.
මාතෘකාවෝ ද පළිබෝධයෝ ද අත්‍ථාරය නිදාන කොට ඇත්තාහ. අත්‍ථාරය සමුදය කොට ඇත්තාහ. අත්‍ථාරය ජාති කොට ඇත්තාහ. අත්‍ථාරය ප්‍රභවකොට ඇත්තාහ. අත්‍ථාරය සම්භාර කොට ඇත්තාහ. අත්‍ථාරය සමුට්ඨාන කොට ඇත්තාහු යි.
ආසාව ද අනාසාව ද (කඨින) වස්තුව නිදාන කොට ඇත, (කඨින) වස්තුව සමුදය කොට ඇත, (කඨින) වස්තුව ජාති කොට ඇත. (කඨින) වස්තුව ප්‍රභවකොට ඇත, (කඨින) වස්තුව සම්භාර කොට ඇත, (කඨින) වස්තුව සමුට්ඨාන කොට ඇති.
ප්‍රයෝගය කුමක් නිදාන කොට ඇත්ද, කුමක් සමුදය කොට ඇත්ද, කුමක් ජාති කොට ඇත්ද, කුමක් ප්‍රභව කොට ඇත්ද, කුමක් සම්භාර කොට ඇත්ද, කුමක් සමුට්ඨාන කොට ඇත්ද, පූර්‍වකරණය ... පච්චුද්ධාරය ... අධිට්ඨානය ... අත්‍ථාරය ... මාතෘකාවෝ ද පළිබෝධයෝ ද ... (කඨින) වස්තුව ... ආසාව ද අනාසාව ද කුමක් නිදාන කොට ඇත්ද, කුමක් සමුදය කොට ඇත්ද, කුමක් ජාති කොට ඇත්ද, කුමක් ප්‍රභව කොට ඇත්ද, කුමක් සම්භාර කොට ඇත්ද, කුමක් සමුට්ඨාන කොට ඇත්ද යත්:
ප්‍රයෝගය හේතුව නිදාන කොට ඇත, හේතුව සමුදය කොට ඇත, හේතුව ජාති කොට ඇත, හේතුව ප්‍රභව කොට ඇත, හේතුව සම්භාර කොට ඇත, හේතුව සමුට්ඨාන කොට ඇත. පූර්‍වකරණය ... පච්චුද්ධාරය ... අධිට්ඨානය ... අත්‍ථාරය ... මාතෘකාවෝ ද පළිබෝධයෝ ද ... (කඨින) වස්තුව ද ... ආසාව ද අනාසාව ද හේතුව නිදාන කොට ඇත, හේතුව සමුදය කොට ඇත, හේතුව ජාති කොට ඇත, හේතුව ප්‍රභව කොට ඇත, හේතුව සම්භාර කොට ඇත, හේතුව සමුට්ඨාන කොට ඇති.
ප්‍රයෝගය කුමක් නිදාන කොට ඇත් ද, කුමක් සමුදය කොට ඇත් ද, කුමක් ජාති කොට ඇත් ද, කුමක් ප්‍රභව කොට ඇත් ද, කුමක් සම්භාර කොට ඇත් ද, කුමක් සමුට්ඨාන කොට ඇත් ද, පූර්‍ව කරණය ... පච්චුද්ධාරය ... අධිට්ඨානය …. අත්‍ථාරය ... මාතෘකාවෝ ද පළිබෝධයෝ ද ... (කඨින) වස්තුව ... ආසාව ද, අනාසාව ද කුමක් නිදාන කොට ඇත් ද, කුමක් සමුදය කොට ඇත් ද, කුමක් ජාති කොට ඇත් ද, කුමක් ප්‍රභවකොට ඇත් ද, කුමක් සම්භාර කොට ඇත් ද, කුමක් සමුට්ඨාන කොට ඇත් ද, යත්:
ප්‍රයෝගය ප්‍රත්‍යය නිදාන කොට ඇත, ප්‍රත්‍යය සමුදය කොට ඇත, ප්‍රත්‍යය ජාති කොට ඇත, ප්‍රත්‍යය ප්‍රභවකොට ඇත, ප්‍රත්‍යය සම්භාර කොට ඇත, ප්‍රත්‍යය සමුට්ඨාන කොට ඇත. පූර්‍ව කරණය ... පච්චුද්ධාරය ... අධිට්ඨානය ... අත්‍ථාරය මාතෘකාවෝ ද පළිබෝධයෝ ද ... (කඨින) වස්තුව ... ආසාව ද අනාසාව ද ප්‍රත්‍යය නිදාන කොට ඇත, ප්‍රත්‍යය සමුදය කොට ඇත, ප්‍රත්‍යය ජාති කොට ඇත. ප්‍රත්‍යය ප්‍රභව කොට ඇත, ප්‍රත්‍යය සම්භාර කොට ඇත, ප්‍රත්‍යය සමුට්ඨාන කොට ඇති.
සංග්‍රහවාරය
පූර්‍වකරණය කෙතෙක් කරුණින් සඞ්ග්‍රහ කරණ ලද ද යත්: පූර්‍වකරණය ධර්‍ම සතෙකින් සඞ්ග්‍රහ කරණ ලද යැ: සේදීමෙන, කඩ නියම කිරීමෙන, කැපීමෙන, හිස්නූල් තැබීමෙන, මැසීමෙන, පඬු පෙවීමෙන, කප්බිඳු තැබීමෙනැ යි. පූර්‍ව කරණය මේ සත් කරුණින් සඞ්ග්‍රහ කරණ ලදී.
පච්චුද්ධාරය කෙතෙක් කරුණින් සඞ්ග්‍රහ කරණ ලද ද යත්: පච්චුද්ධාරය තුන් කරුණෙකින් සඞ්ග්‍රහ කරණ ලද යැ: සඟළ සිවුරෙන, උතුරුසඟ සිවුරෙන, අඳනා සිවුරෙනැ යි.
අධිෂ්ඨානය කෙතෙක් කරුණින් සඞ්ග්‍රහ කරණ ලද ද යත්: අධිෂ්ඨානය, තුන් කරුණෙකින් සඞ්ග්‍රහ කරණ ලද යැ: සඟළ සිවුරෙන, උතුරුසඟ සිවුරෙන, අඳනා සිවුරෙනැ යි.
අත්‍ථාරය කෙතෙක් කරුණින් සඞ්ග්‍රහ කරණ ලද ද යත්: අත්‍ථාරය එක් කරුණෙකින් සඞ්ග්‍රහ කරණ ලද යැ: වාග්භේදයෙනි.
කඨිනයට මූලයෝ කෙතෙකැ, වස්තුහු කෙතෙකැ, භූමීහු කෙතෙකැ යත්: කඨිනයට එක් මුලෙකි: සඞ්ඝයා යි. වස්තු තුණෙකි: සඞ්ඝාටි යැ, උත්තරා සඞ්ගයැ, අන්තරවාසක යැ යි. භූමීහු සදෙනකි: කොමු පිළි යැ, කපු පිළි යැ, තිහිරි පිළි යැ, කම්බල යැ, හණවැහැරි යැ, මුසු පිළි යැ යි.
කඨිනයට ආදිය කවරේ ද, මධ්‍යය කවරේ ද, අවසානය කවරේ ද යත්: කඨිනයට පූර්‍ව කරණය ආදි යැ. (පච්චුද්ධාර-අධිට්ඨාන) ක්‍රියා මධ්‍ය යැ, අත්‍ථාරය අවසාන යි.
කෙතෙක් අඞ්ගයන්ගෙන් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු නො වේ ද, කෙතෙක් අඞ්ගයන්ගෙන් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු වේ ද යත්: අඞ්ග අටකින් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු නො වෙයි, අඞ්ග අටකින් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු වේ.
කවර අඞ්ග අටකින් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු නො වේ ද යත්: පුබ්බකරණය නො දනියි, පච්චුද්ධාරය නො දනියි, අධිට්ඨානය නො දනියි, අත්‍ථාරය නො දනියි, (අෂ්ට) මාතෘකාව නො දනියි, (උභය) පළිබෝධය නො දනියි, උද්ධාරය නො දනියි, ආනිසංසය නො දනී. මේ අඞ්ග අටින් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු නො වේ.
කවර අඞ්ග අටකින් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු වේ ද යත්: පුබ්බකරණය දනියි, පච්චුද්ධාරය දනියි, අධිට්ඨානය දනියි, අත්‍ථාරය දනියි, (අෂ්ට) මාතෘකාව දනියි (උභය) පළිබෝධය දනියි, උද්ධාරය දනියි, ආනිසංසය දනී. මේ අඞ්ග අටින් යුත් පුද්ගල කඨිනය අතුරන්නට සුදුසු වේ.
කෙතෙක් පුද්ගල කෙනකුන්ගේ කඨිනත්‍ථාරයෝ (පිරිපුන් බවට) නො නැඟෙත් ද, කෙතෙක් පුද්ගල කෙනකුන්ගේ කඨිනත්‍ථාරයෝ (පිරිපුන් බවට) නැඟෙත් ද යත්: පුද්ගලයන් තිදෙනකුන්ගේ කඨිනත්‍ථාරයෙන් නො නැඟෙති, පුද්ගලයන් තිදෙනකුන්ගේ කඨිනත්‍ථාරයෝ නැඟෙත්.
කවර පුද්ගලයන් තිදෙනකුන්ගේ කඨිනත්‍ථාරයෝ නො නැඟෙත් ද යත්: උපචාර සීමාවෙන් බැහැර සිටියේ අනුමෝදන් වේ ද, අනුමෝදන් වන්නේ වාග්භේද නො කෙරේ ද, වාග්භේද කරන්නේ මෙරමා නො දන්වා දැයි මේ පුද්ගලයන් තිදෙනාගේ කඨිනත්‍ථාරයෝ නො නැඟෙත්.
කවර පුද්ගලයන් තිදෙනකුන්ගේ කඨිනත්‍ථාරයෙන් නැඟෙත් ද යත්: සීමාවෙහි සිටියේ අනුමෝදන් වේ ද, අනුමෝදන් වන්නේ වාග්භේද කෙරේ ද, වාග්භේද කරන්නේ මෙරමා දන්වා දැයි මේ පුද්ගලයන් තිදෙනාගේ කඨිනත්‍ථාරයෝ නැඟෙත්.
කෙතෙක් කඨිනත්‍ථාරයෝ නො නැඟෙත් ද, කෙතෙක් කඨිනත්‍ථාරයෝ නැගෙත් ද යත්: කඨිනත්‍ථාරයෝ තිදෙනෙක් නො නැගෙති, කඨිනත්‍ථාරයෝ තිදෙනෙක් නැගෙත්.
කවර කඨිනත්‍ථාරයෝ තිදෙන නො නැගෙත් ද යත්: වස්තු විපන්නත් වේ ද, කාල විපන්නත් වේ ද, කරණ විපන්නත් වේ දැයි මේ කඨිනත්‍ථාරයෝ තිදෙන නො නැගෙත්.
කවර කඨිනත්‍ථාරයෝ තිදෙන නැගෙත් ද යත්: වස්තුසම්පන්නත් වේ ද, කාලසම්පන්නත් ද කරණසම්පන්නත් වේ දැ යි මේ කඨිනත්‍ථාරයෝ තිදෙන නැගෙත්.
1. කඨිනය දතයුතු යැ, කඨිනත්‍ථාරය දතයුතු යැ, කඨිනත්‍ථාර මාසය දතයුතු යැ, කඨිනත්‍ථාර විපත්තිය දතයුතු යැ, කඨිනත්‍ථාර සම්පත්තිය දතයුතු යැ, නිමිත්තකර්‍මය දතයුතු යැ, පරිකථාව දතයුතු යැ, තාවකාලිකය දතයුතු යැ, සන්නිධිය දතයුතු යැ, නිස්සග්ගිය දතයුතු.
2. කඨිනා ජානිතබ්බං යනු: මේ ‘ කඨින’ යයි (යම් රූපාදි ධර්‍ම කෙනකුන් ඇති කල්හි) ඒ රූප ධර්‍මයන්ගේ ම සඞ්ග්‍රහයෙක් සමවායයෙක් නාමයෙක් නාම කර්‍මයෙක් නාමධෙයයෙක් නිරුක්තියෙක් ව්‍යඤ්ජනයෙක් අභිලාපයෙක් වේ ද එය යි.
3. කඨිනස්ස අත්‍ථාරමාසෝ ජානිතබ්බො යනු: වස්සාන ඍතුව පිළිබඳ පශ්චිම මාසය දතයුතු යි.
4. කඨිනස්ස අත්‍ථාරවිපත්ති ජානිතබ්බා යනු: සූවිසි අයුරෙකින් කඨිනත්‍ථාරවීපත්තිය දතයුතු යි.
5. කඨිනස්ස අත්‍ථාර සම්පත්ති ජානිතබ්බා යනු: සතළොස් අයුරෙකින් කඨිනත්‍ථාර සම්පත්තිය දතයුතු යි.
6. නිමිත්ත කම්මං ජානිතබ්බං යනු: ‘මේ වස්ත්‍රයෙන් කඨිනය අතුරන්නෙමි’යි නිමිති කෙරෙයි.
7. පරිකථා ජානිතබ්බා යනු: ‘මේ පරිකථාවෙන් කඨින වස්ත්‍රයක් උපදවා ගන්නෙමි’ යි පරිකථාව කෙරෙයි.
8. කුක්කුකතං ජානිතබ්බං යනු: තමාට ගැන්මට නො දුන් බව දතයුතු යි.
9. සන්නිධි ජානිතබ්බා යනු: (එදින ම පරිකර්‍ම නිම නො කොට තබා නැවැත කිරීම නම් වූ) කරණ සන්නිධි යැ (කඨින වස්ත්‍රය ලැබූ දින හැර පසු දා පමුණුවාලීම නම් වූ) නිචය සන්නිධි යැ යි දෙවැදෑරුම් සන්නිධිය දතයුතු යි.
10. නිස්සග්ගියං ජානිතබ්බං යනු: පරිකර්‍ම කරණු ලබන කල්හි අරුණ නැගීම වෙයි.
11. කඨිනත්‍ථාරො ජානිතබ්බො යනු: ඉදින් සඞ්ඝයාට කඨින වස්ත්‍රයෙක් උපන්නේ නම් (එකල්හි) සඞ්ඝයා විසින් කෙසේ පිළිපැදියයුතු ද, අතුරන්නහු විසින් කෙසේ පිළිපැදියයුතු ද, අනුමෝදන් වන්නහු විසින් කෙසේ පිළිපැදියයුතු ද යත්:
12. සඞ්ඝයා විසින් ඤත්තිදුතිය කර්‍මයෙන් කඨිනත්‍ථාරක මහණහට දියයුතු යැ ඒ කඨිනත්‍ථාරක මහණහු විසින් එ දවස ම දොවා පිරිමැද (රැලි හැර) කඩ අතු බෙදා සිඳ, මසා පඬු පොවා කප්බිඳු තබා කඨිනය ඇතිරිය යුතු යි. ඉදින් සඟළ සිවුරෙන් කඨිනය අතුරණු කැමැත්තේ නම් (එකල්හි) පුරාණ සඞ්ඝාටිය පච්චුද්ධරණය කටයුතු යැ. නව සඞ්ඝාටිය අධිෂ්ඨාන කටයුතු යැ. “මේ සඞ්ඝාටියෙන් කඨිනය අතුරමි”යි වාග්භේද කටයුතු යි. ඉදින් උත්තරාසඞ්ගයෙන් කඨිනය අතුරණු කැමැත්තේ නම් (එකල්හි) පුරාණ උත්තරාසඞ්ගය පච්චුද්ධරණය කටයුතු යැ, නව උත්තරාසඞ්ගය අධිෂ්ඨාන කටයුතු යැ. “මේ උත්තරාසඞ්ගයෙන් කඨිනය අතුරමි’යි වාග්භේද කටයුතු යි. ඉදින් අන්තරවාසකයෙන් කඨිනය අතුරණු කැමැත්තේ නම් (එකල්හි) පුරාණ අන්තරවාසකය පච්චුද්ධරණය කටයුතු යි. නව අන්තරවාසකය අධිෂ්ඨාන කටයුතු යැ, “මේ අන්තරවාසකයෙන් කඨිනය අතුරමි”යි වාග්භේද කටයුතු වේ.
13. ඒ කඨිනත්‍ථාරක මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උත්තරාසඞ්ගය එකස් කොට ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ යැ, “වහන්ස, සඞ්ඝයාගේ කඨිනය (මවිසින්) අතුරණ ලද යැ, කඨිනත්‍ථාරය ධාර්මික වෙයි. (ඒ කඨිනානිසංසය) අනුමෝදන් වුව මැනවැ”යි. ඒ කඨිනානිසංසය අනුමෝදන් වන භික්‍ෂූන් විසින් උත්තරාසඞ්ගය එකස් කොට ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ යැ, “ඇවැත්නි, සඞ්ඝයාගේ කඨිනය තොප විසින් අතුරණ ලද යැ, කඨිනත්‍ථාරය ධාර්මික වෙයි (ඒ කඨිනානිසංසය) අනුමෝදන් වමු” යි.
14. ඒ කඨිනත්‍ථාරක මහණහු විසින් බොහෝ භික්‍ෂූන් වෙත එළඹ උත්තරාසඞ්ගය එකස් කොට ඇඳිලි බැඳ මෙසේ කියයුතු යැ. “වහන්ස, සඞ්ඝයාගේ කඨිනය (මවිසින්) අතුරණ ලද යැ, කඨිනත්‍ථාරය ධාර්මික වෙයි, (ඒ කඨිනානිසංසය) අනුමෝදන් වුව මැනවැ යි. ඒ කඨිනානිසංසය අනුමෝදන් වන භික්‍ෂූන් විසින් උත්තරාසඞ්ගය එකස් කොට ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ යැ. “ඇවැත්නි, සඞ්ඝයාගේ කඨිනය තොප විසින් අතුරණ ලද යැ, කඨිනත්‍ථාරය ධාර්මික වෙයි (ඒ කඨිනානිසංසය) අනුමෝදන් වමු”යි.
15. ඒ කඨිනත්‍ථාරක මහණහු විසින් එක් මහණක්හු වෙත එළඹ උත්තරාසඞ්ගය එකස් කොට ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ යැ. “ඇවැත්නි, සඞ්ඝයාගේ කඨිනය (ම විසින්) අතුරණ ලද යැ, කඨිනත්‍ථාරය ධාර්මික වෙයි, (ඒ කඨිනානිසංසය) අනුමෝදන් වුව මැනැවැ”යි. ඒ අනුමෝදන් වන මහණහු විසින් උත්තරාසඞ්ගය එකස් කොට ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ යැ. “ඇවැත්නි, සඞ්ඝයාගේ කඨිනය තොප විසින් අතුරණ ලද යැ, කඨිනත්‍ථාරය ධාර්මික වෙයි, (ඒ කඨිනානිසංසය) අනුමෝදන් වෙමි”යි.
සඞ්ඝයා කඨිනය අතුරා ද, ගණයා කඨිනය අතුරා ද, පුද්ගල කඨිනය අතුරා ද යත්: සඞ්ඝයා කඨිනය නො අතුරයි, ගණයා කඨිනය නො අතුරයි, පුද්ගල කඨිනය අතුරයි. ඉදින් සඞ්ඝයා කඨිනය නො අතුරා නම්, ගණයා කඨිනය නො අතුරා නම් පුද්ගල කඨිනය අතුරා නම් සඞ්ඝයා විසින් කඨිනය නො අතුරණ ලද වෙයි, ගණයා විසින් කඨිනය නො අතුරණ ලද වෙයි, පුද්ගලයා විසින් කඨිනය අතුරණ ලද වේ.
සඞ්ඝයා පාමොක් උදෙසා ද, ගණයා පාමොක් උදෙසා ද, පුද්ගල පාමොක් උදෙසා ද යත්: සඞ්ඝයා පාමොක් නො උදෙසයි, ගණයා පාමොක් නො උදෙසයි, පුද්ගල පාමොක් උදෙසයි. ඉදින් සඞ්ඝයා පාමොක් නො උදෙසා නම් ගණයා පාමොක් නො උදෙසා නම් පුද්ගල පාමොක් උදෙසා නම් සඞ්ඝයා විසින් පාමොක් නො උදෙසන ලද වෙයි, ගණයා විසින් පාමොක් නො උදෙසන ලද වෙයි, පුද්ගලයා විසින් පාමොක් උදෙසන ලද වේ. සඞ්ඝයාගේ සමගියෙන් ගණයාගේ සමගියෙන් පුද්ගලයාගේ (පාමොක්) උදෙසීමෙන් සඞ්ඝයා විසින් පාමොක් උදෙසන ලද වෙයි, ගණයා විසින් පාමොක් උදෙසන ලද වෙයි, පුද්ගලයා විසින් පාමොක් උදෙසන ලද වේ.
එසෙයින් ම සඞ්ඝයා කඨිනය නො අතුරයි, ගණයා කඨිනය නො අතුරයි, පුද්ගල කඨිනය අතුරයි. සඞ්ඝයාගේ අනුමෝදනයෙන් ගණයාගේ අනුමෝදනයෙන් පුද්ගලයාගේ ඇතිරීමෙන් සඞ්ඝයා විසින් කඨිනය අතුරණ ලද වෙයි, ගණයා විසින් කඨිනය අතුරණ ලද වෙයි, පුද්ගලයා විසින් කඨිනය අතුරණ ලද වේ.
1. අනපේක්‍ෂිත වැ ආවාසයෙන් නික්ම යෑම කෙළවර කොට සිටින පක්කමනන්තිකකඨිනුද්ධාරය සූර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. (එහි) කවර පළිබෝධයෙක් පළමු වැ සිඳේ දැයි තෙල කරුණ ද මම ඔබ විචාරමි.
2. පක්කමනන්තිකකඨිනුද්ධාරය සුර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. මම තෙල කරුණ තොපට විසඳා කියමි. (එහි) චීවර පළිබෝධය පළමු වැ සිඳෙයි, ඔහු සීමාවෙන් බැහැර යන්නා හා මැ ආවාස පළිබෝධය සිඳේ.
3. (සිවුර කොට නිමවීම කෙළවර කොට සිටි) නිට්ඨානන්තිකකඨිනුද්ධාරය සූර්‍ය්‍ය බන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. (එහි) කවර පළිබෝධයෙක් පළමු වැ සිඳේ දැයි මම තෙල කරුණ ද ඔබ විචාරමි.
4. නිට්ඨානන්තිකකඨිනුද්ධාරය සුර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. (එහි) මම තෙල කරුණ තොපට විසඳා කියමි. (එහි) ආවාස පළිබෝධය පළමු වැ සිඳෙයි, සිවුර කොට නිමි කල්හි චීවර පළිබෝධය සිඳේ.
5. (සිවුරත් නො කරමි ආවාසයටත් නො යමි’යි සනිටුහන් කිරීම කෙළවර කොට සිටි) සන්නිට්ඨානන්තිකකඨිනුද්ධාරය සුර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. (එහි) කවර පළිබෝධයෙක් පළමු වැ සිඳේ දැයි මම තෙල කරුණ ද ඔබ විචාරමි.
6. සන්නිට්ඨානන්තිකකඨිනුද්ධාරය සූර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. තෙල කරුණ මම තොපට විසඳා කියමි: (එහි) චීවර යැ ආවාස යැ යි උභය පළිබෝධයෝ පෙර පසු නො වැ එකවිට මැ සිඳෙත්.
7. (සිවුර නැසීම කෙළවර කොට ඇති) නාසනන්තිකකඨිනුද්ධාරය සුර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. එහි කවර පළිබෝධයෙක් පළමු වැ සිඳේ දැයි මම තෙල කරුණ ද ඔබ විචාරමි.
8. නාසනන්තිකකඨිනුද්ධාරය සූර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. තෙල කරුණ මම තොපට විසඳා කියමි: එහි ආවාස පළිබෝධය පළමු වැ සිඳෙයි, සිවුර නට කල්හි චීවර පළිබෝධය සිඳේ.
9. (විහාරයෙහි කඨිනුද්ධාරය කරණ ලදැයි ඇසීම කෙළවර කොට ඇති) සවනන්තික කඨිනුද්ධාරය සුර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. (එහි) කවර පළිබෝධයෙක් පළමු වැ සිඳේ දැයි මම තෙල කරුණ ද ඔබ විචාරමි.
10. සවනන්තිකකඨිනුද්ධාරය සූර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. තෙල කරුණ ද මම තොපට විසඳා කියමි: (එහි) චීවර පළිබෝධය පළමු වැ සිඳෙයි. ඔහු එ පවත් අසන්නා හා මැ ආවාස පළිබෝධය සිඳේ.
11. (සිවුරු ලැබෙයි යන ආසාව සිඳීමෙන් අනුසස් සිඳීම කෙළවර කොට ඇති) ආසාවච්ඡේදිකකඨිනුද්ධාරය සූර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. (එහි) කවර පළිබෝධයෙක් පළමු වැ සිඳේ දැයි මම තෙල කරුණ ද ඔබ විචාරමි.
12. ආසාවච්ඡේදිකකඨිනුද්ධාරය සූර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ, තෙල කරුණ ද මම තොපට විසඳා කියමි: (එහි) ආවාස පළිබෝධය පළමු වැ සිඳෙයි, සිවුර පිළිබඳ ආසාව සිඳුනු කල්හි චීවර පළිබෝධය සිඳේ.
13. (සීමාතික්‍රමණය කෙළවර කොට ඇති) සීමාතික්කන්තිකකඨිනුද්ධාරය සූර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. (එහි) කවර පළිබෝධයෙක් පළමු වැ සිඳේ දැයි මම තෙල කරුණ ද ඔබ විචාරමි.
14. සීමාතික්කන්තිකකඨිනුද්ධාරය සූර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. තෙල කරුණ ද මම තොපට විසඳා කියමි: එහි චීවර පළිබෝධය පළමු වැ සිඳෙයි, සීමායෙන් බැහැර ගිය ඔහුට ආවාස පළිබෝධය සිඳේ.
15. (උබ්භාර සහිත වූ) සහුබ්භාරකඨිනුද්ධාරය සූර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. (එහි) කවර පළිබෝධයෙක් පළමුවැ සිඳේ දැයි මම තෙල කරුණ ද ඔබ විචාරමි.
16. සහුබ්භාරකඨිනුද්ධාරය සූර්‍ය්‍යබන්‍ධූන් විසින් වදාරණ ලද්දේ යැ. මම තෙල කරුණ ද තොපට විසඳා කියමි. (එහි) චීවර-ආවාසපළිබෝධද්වය පෙර පසු නො වැ එකවර සිඳේ.
17. කෙතෙක් කඨිනුද්ධාරයෝ සඞ්ඝයා අයත් ද, කෙතෙක් කඨිනුද්ධාරයෝ පුද්ගලයා අයත් ද, කෙතෙක් කඨිනුද්ධාරයෝ නොම සඞ්ඝයා අයත් ද, නොද පුද්ගලයා අයත් ද යත්: එක් මැ අන්තරුබ්හාරකඨිනුද්ධාරය සඞ්ඝයා අයත් වෙයි. පක්කමනන් තික-නිට්ඨානන්තික-සන්නිට්ඨානන්තික-සීමාතික්කන්තික යැ යන සිවු කඨිනුද්ධාරයෝ පුද්ගලයා අයත් වෙති. නාසනන්තික-සවනන්තික-ආසාවච්ඡේදික-සහුබ්භාර යැ යන සිවු කඨිනුද්ධාරයෝ නොම සඞ්ඝයා අයත් වෙති. නොද පුද්ගලයා අයත් වෙත්.
18. කෙතෙක් කඨිනුද්ධාරයෝ (වස්විසූ) සීමාව තුළ උද්ධරණය කරණු ලැබෙද් ද, කෙතෙක් කඨිනුද්ධාරයෙන් සීමායෙන් බැහැරැ උද්ධරණය කරණු ලැබෙද් ද, කෙතෙක් කඨිනුද්ධාරයෝ කිසි විටෙක ඇතුළු සීමායෙහි උද්ධරණය කරණු ලැබෙද් ද, කිසිවිටෙක සීමාවෙන් බැහැරැ උද්ධරණය කරණු ලැබෙද් ද යත්: අන්තරුබ්හාර යැ-සහුබ්හාර යැ යන කඨිනුද්ධාරයෝ දෙදෙන සීමාව තුළ උද්ධරණය කරණු ලැබෙති. පක්කමනන්තිකයැ සවනන්තික යැ-සීමාතික්කන්තික යැ යන කඨිනුද්ධාරයෝ තිදෙන සීමාවෙන් බැහැරැ උද්ධරණය කරණු ලැබෙති. නිට්ඨානන්තික යැ සන්නිට්ඨානන්තික යැ-නාසනන්තික යැ-ආසාවච්ඡේදික යැ යන කඨිනුද්ධාරයෙන් සිවු දෙන කිසි විටෙක සීමාව තුළ උද්ධරණය කරණු ලැබෙති, කිසිවිටෙක සීමාවෙන් බැහැරැ උද්ධරණය කරණු ලැබෙත්.
19. කෙතෙක් කඨිනුද්ධාරයෙන් එක් වැ උපන්නාහු එක් වැ නිරුද්ධ වෙත් ද, කෙතෙක් කඨිනුද්ධාරයෝ එක් වැ උපදනාහු වෙන් වැ නිරුද්ධ වෙත් ද යත්: අන්තරුබ්හාර යැ, සහුබ්භාර යැ යන කඨිනුද්ධාරයෝ දෙදෙන එක් වැ උපදනාහු එක් වැ නිරුද්ධ වෙති. සෙසු කඨිනුද්ධාරයෝ එක් වැ උපදනාහු වෙන් වැ නිරුද්ධ වෙත්.
කඨිනභේදය නිමි.
එහි නාමාවලිය:
1. කස්ස යැ, කින්ති යැ, පණ්ණරසධම්ම යැ, නිදාන යැ, හේතු යැ, පච්චය යැ, සඞ්ගහමුල යැ ආදි යැ, අත්‍ථාරපුග්ගල යැ,
2. තිණණං යැ, තයෝ යැ. ජානිතබ්බ යැ, අත්‍ථාර යැ, උද්දේසය සමග පළිබෝධ යැ, අධීන යැ, එකුප්පාද-එකනිරෙධාය සමග සීමා යැ යි.
උපාලිපඤ්චකය
1. අනිස්සිත වර්‍ගය
1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එ කල්හි ආයුෂ්මත් උපාලි තෙරණුවෝ, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතුදැ” යි.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතුයි, කවර පසෙකින් ද යත්: උපෝසථය නො දනියි, උපෝසථ කර්‍මය නො දනියි, ප්‍රාතිමෝක්‍ෂය නො දනියි, පාමොක් උදෙසීම නො දනියි, උනු පස් වස් ඇත්තේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතු යි.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතු යි. කවර පසෙකින් ද යත්: උපෝසථය දනියි, උපෝසථ කර්‍මය දනියි, ප්‍රාතිමෝක්‍ෂය දනියි, පාමොක් උදෙසීම දනියි. පස් වස් ඇත්තේ හෝ අයිරා පස් වස් ඇත්තේ හෝ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතු යි.
2. උපාලි, අනෙකුදු පසඟෙකින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතු යි, කවර පසෙකින් ද යත්: පවාරණය නො දනියි, පවාරණ කර්‍මය නො දනියි, ප්‍රාතිමෝක්‍ෂය නො දනියි, පාමොක් උදෙසීම නො දනියි, උනු පස් වස් ඇත්තේ වේ. උපාලි, මේ පසඟින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතු යි.
උපාලි, පසඟෙකින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතුයි. කවර පසෙකින් ද යත්: පවාරණය දනියි. පවාරණ කර්‍මය දනියි, ප්‍රාතිමෝක්‍ෂය දනියි, පාමොක් උදෙසීම දනියි, පස් වස් ඇත්තේ හෝ අයිරා පස් වස් ඇත්තේ හෝ වේ. උපාලි, මේ පසඟින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතු යි.
3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතු යි. කවර පසෙකින් ද යත්: ඇවැත් නො ඇවැත් නො දනියි, ලුහු ගුරු ඇවැත් නො දනියි, සාවසේස අනවසේස ආපත්ති නො දනියි, තුළුල් නො තුළුල් ඇවැත් නො දනියි, උනු පස් වස් ඇත්තේ වේ. උපාලි, මේ පසඟින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතු යි.