Parivāra

Appendix

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 4019 segments

පෙන්වන කොටස් 3201-3300 න් 4019

4. තමහට පත් අසුන නො ඉක්මැ අසුන් ගැන්මෙහි සමත් වූවහු හිඳීමෙහි නිපුණ වූවහු විය යුතු යැ. වියදඬු පමණ බලන්නහු විනිශ්චය පිළිවිදුනහු විසින් සිය අසුන්හි හිඳගත යුතු යැ, අසුනෙන් නො ද නැගී සිටිය යුතු යැ. විනිශ්චය නො පිරිහෙළිය යුතු යැ. ඇවැත නො දැක්විය යුතු යැ, බාහාවික්‍ෂේප කොට නො බිණිය යුතු යැ, ත්‍වරිත වැ ලාහෙළා නො බිණිය යුතු යැ, සැඬ නො වූවහු පරොස් බස් ඉවසන සුල්ලහු විය යුතු යැ, මෙත් සිත්
ඇත්තහු හිතෛෂී වූවහු විය යුතු යැ, හිතවැඩ සොයන කාරුණිකයකු විය යුතු යැ, හිස් තෙපුල් නො කියන්නකු කෙළවර දැන බණන්නකු විය යුතු යැ, ක්‍රෝධ වසඟ නො වූවකු නො මනා තෙපුල් ඇතියකු වියයුතු යැ, තමා (විනිශ්චයට පොහොසත් නො පොහොසත් බව) පරීක්‍ෂා කොට දත යුතු යැ, මෙරමා පරීක්‍ෂා කොට දත යුතු යැ, චෝදකයා පරීක්‍ෂා කොට දතයුතු යැ, චූදිතකයා පරීක්‍ෂා කොට දතයුතු යැ, අධර්‍මචෝදකයාගේ ප්‍රමාණය දත යුතු යැ. අධර්‍ම වූදිතයාගේ ප්‍රමාණය දත යුතු යැ, ධර්‍මචෝදකයාගේ ප්‍රමාණය දත යුතු යැ, ධර්‍මචූදිතකයාගේ ප්‍රමාණය දත යුතු යැ, (චෝදක චූදිතකයන් විසින්) කියන ලද වචන නො පිරිහෙළමින් ඉදිරිපත් නො කළ කරුණු පහළ නො කරමින් බැසගත් පදව්‍යඤ්ජන මනා වැ සිත තබාගෙණ මෙරමා පිළිවිස පිළිණ පරිද්දෙන් කරවිය යුතු යැ, මුළා වූයේ තෙද ගැන්විය යුතු යැ, බියසුලු වූයේ අස්වැසිය යුතු යැ, සැඬ වූයේ (තර්‍ජනයෙන්) වළකාලිය යුතු යැ, අලජ්ජි මහණ ප්‍රකාශ කළ යුතු යැ. (ඇවැත් දෙසිය යුතු යැ.), ඍජු මහණ මොළොකින් විචාළ යුතු යැ, ඡන්‍දයෙන් අගතියට නො යා යුතු යැ, ද්වේෂයෙන් අගතියට නො යා යුතු යැ, මෝහයෙන් අගතියට නො යා යුතු යැ, බියෙන් අගතියට නො යා යුතු යැ, (ධර්‍මගරුක වැ) දහම්හි ද පුඟුලන් කෙරෙහි ද මධ්‍යස්ථ විය යුත්තේ යි. තව ද මෙසේ අනුවිජ්ජක තෙමේ විනිශ්චය කරන්නේ ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය කරන්නේ ද වෙයි. නුවණැති සබ්‍රම්සරුන්ට ප්‍රිය ද මනාප ද ගරුක ද සම්භාවනීය ද වන්නේ යි.
5. (අනුවිජ්ජක විසින් එළවන ලද) සූත්‍රය (ආපත්ති - අනාපත්ති) සංසන්‍දනය පිණිස යැ, උපමාව අරුත් දැක්වීම පිණිස යැ, අර්‍ත්‍ථය දැන්වීම පිණිස යැ, පිළිවිසීම (පුද්ගලයා) තැබීම පිණිස යැ, ඕකාස කර්‍මය චෝදනාව පිණිස යැ. චෝදනාව (දෝෂා දෝෂ) සිහි කරවීම පිණිස යැ, සිහි කරවීම කියයුතු බව පිණිස යැ. කියයුතු බව පළිබෝධය පිණිස යැ, පළිබෝධය විනිශ්චයට පමුණුවාලීම පිණිස යැ, විනිශ්චය (දෝෂාදෝෂ) තීරණය කිරීම පිණිස යැ, සන්තීරණය ඨානාඨානගමන (ගරුකලහුකඇවැත් දන්නා) පිණිස යැ, ඨානඨාන ගමන අලජ්ජීන්ට නිග්‍රහ පිණිස යැ, ප්‍රියශීල භික්‍ෂූන්ට රුකුල් පිණිස යැ, සඞ්ඝයා මොනවට විනිශ්චය ගන්නා පිණිස යැ, විනිශ්චය ගැන්ම සුවිනිශ්චිත දුර්විනිශ්චිත බව දන්නා පිණිස යැ, දැන ගැන්ම නො කළකිරීම පිණිස යැ, සඞ්ඝයා විසින් අනුමත පුද්ගලයෝ ඉසුරුබැව් දෙටුතැන් ඇත්තාහු ද, අවිසංවාදක ව සිටියාහු ද වෙත්.
6. විනය (කායවාක්) සංවරය පිණිස යැ, සංවරය විපිළිසර නො වීම පිණිස යැ, විපිළිසර නො වීම ප්‍රමෝදය පිණිස යැ, ප්‍රමෝදය ප්‍රීතිය පිණිස යැ, ප්‍රීතිය දරථ සන්හිඳීම පිණිස යැ, ප්‍රශ්‍රබ්ධිය සුඛය පිණිස යැ, සුඛය සමාධිය පිණිස යැ, සමාධිය යථාභූතඥාන දර්‍ශනය පිණිස යැ, යථාභූඥානදර්‍ශනය නිර්වේදය පිණිස යැ, නිර්වේදය විරාගය පිණිස යැ, විරාගය විමුක්තිය පිණිස යැ, විමුක්තිය විමුක්තිඥානදර්‍ශනය පිණිස යැ, විමුක්තිඥානදර්‍ශනය අනුපාදාපරිනිර්‍වාණය පිණිස යැ, විනය කථාව යම් චිත්තයාගේ අනුපාදාවිමෝක්‍ෂයෙක් ඇත් ද, තෙල සඳහා යැ. විනයමන්ත්‍රණය තෙල සඳහා යැ. (විනයෝ සංවරත්‍ථාය යනාදි) පරම්පරප්‍රත්‍යය බව තෙල සඳහා යැ. සෝතාවධානය තෙල සඳහා යි.
1. දක්‍ෂ වූ අග්‍රබුද්ධිමත් බුදුරජුන් විසින් (දේශනා) කරණ ලද මොනවට ප්‍රකාශ කරණලද සිකපදයන්ට අනුලොම් වූ අනුයෝගවත පරලොව සුගතිගමන නො නසමින් අසව.
2. කරුණු නො කරුණෙහි අදක්‍ෂ වූයේ (පරිජි ආදි) වස්තුව ද, (චතුර්විධ) විපත්තිය ද, සප්තාපත්තිස්කන්‍ධය ද, (සිකපදයන්ගේ) නිදානය ද, පෙරපසු වචනය ද, එවැනි නො දැනීමෙන් කළ නො කළ දැය ද නො දනී.
3. කර්‍මය ද අධිකරණය ද (නො දනී). ශමථයෙහි අදක්‍ෂ වූයේ රාගයෙන් රත් වූයේ ද්වේෂයෙන් දුෂ්ට වූයේ මෝහයෙන් මූඪ වූයේ බියෙන් ද මෝහයෙන් ද අගතියට යෙයි.
4. (මෙරමා) දැන්වීමෙහි දක්‍ෂයෙක් නො වේ ද, (කාරණාකාරණ) දැක්මෙහි අසමර්‍ත්‍ථ වේ ද, ලැබූ පක්‍ෂ ඇත්තේ ලජ්ජාවෙන් තොර වූයේ පව්කම් ඇත්තේ ද, ධර්‍මාදර පුද්ගලාදර නැත්තේ ද, එබඳු වූ ඒ මහණ ඒකාන්තයෙන් දෙටු තන්හි නො තැබිය යුතු යැ යි කියනු ලැබේ.
5. කරුණු නො කරුණෙහි දක්‍ෂ වූයේ (පාරාජිකාදි) වස්තුව ද, (චතුර්විධ) විපත්තිය ද, ආපත්තිය ද, නිදානය ද, පෙරපසු වචනය ද, එවැනි ම නො දැනීමෙන් කළ නො කළ දෙය ද දනී.
6. කර්‍මය ද අධිකරණය ද (දනී.) ශමථයෙහි ද දක්‍ෂ වූයේ රාගයෙන් රත් නො වූයේ ද්වේෂයෙන් දුෂ්ට නො වූයේ මෝහයෙන් මූඪ නො වූයේ බියෙන් ද මෝහයෙන් ද අගතියට නො යේ.
7. (මෙරමා) දැන්වීමෙහි දක්‍ෂ වේ ද, තෙමේ (කාරණාකාරණයන්) දැක්මෙහි දක්‍ෂ වේ ද, ලැබූ පක්‍ෂබල ඇත්තේ ලජ්ජා ඇත්තේ කුසල කර්‍ම ඇත්තේ ධර්‍මගෞරව පුද්ගලගෞරව සහිත වූයේ වේ ද, එබඳු වූ ඒ මහණ ඒකාන්තයෙන් දෙටු තන්හි තැබිය යුතු යැ යි කියනු ලැබේ.
චූළසංග්‍රාමය නිමි.
එහි නාමාවලිය:
1. චූලසඞ්ග්‍රාමයෙහි උද්දානයට “නීච චිත්තේන පුච්ජෙය්‍ය, ගරුසඞ්ඝ න පුග්ගලෙ සුත්තං සංසන්‍දනත්‍ථාය” යන මේ පදයෝ ඇතුළත් වෙති. මේ ඒකුද්දේසය විනයානුග්‍රහයෙන් කරණ ලදි.
මහාසඞ්ග්‍රාමය
1. සඞ්ගාමාවචර (අධිකරණ පිණිස සඟමැදට පැමිණි) සඟමැද විනිශ්චය කරණ විනයධර මහණහු විසින් වස්තුව දතයුතු යැ. විපත්තිය දතයුතු යැ. ආපත්තිය දතයුතු යැ. නිදානය දතයුතු යැ. ආකාරය දතයුතු යැ. පූර්‍වාපර වචනය දතයුතු යැ. (මේ කරණ ලද යැ මේ නො කරණ ලදැයි) කතා කතය දතයුතු යැ. කර්‍මය දතයුතු යැ. අධිකරණය දතයුතු යැ. ශමථය දතයුතු යැ. ඡන්‍දයෙන් අගතියට නොයා යුතු යැ. ද්වේෂයෙන් අගතියට නො යා යුතු ය. මෝහයෙන් අගතියට නො යා යුතු යැ. බියෙන් අගතියට නො යා යුතු යැ. හැඳින්විය යුතු තැන්හි හැඳින්විය යුතු යැ. මෙනෙහි කරවිය යුතු තැන්හි මෙනෙහි කරවිය යුතු යැ. බැලිය යුතු තැන්හි බලවාලියැ යුතු යැ. පැහැදිය යුතු තැන්හි පැහැදවිය යුතුය. පක්‍ෂ ලදිමී පරපක්‍ෂය අවමන් නො කටයුතු යැ. බහු ශ්‍රැතයෙමී අල්පශ්‍රැතයා අවමන් නො කටයුතු යැ. තෙමේ මහාස්ථවිරයෙමී නවකතරයා අවමන් නො කටයුතු යැ. නො පැමිණිදැය නො කියයුතු යැ. පැමිණිදැය ධර්‍මයෙන් විනයයෙන් නො පිරිහෙළිය යුතු යැ. යම් ධර්‍මයෙකින් යම් විනයයෙකින් යම් ශාස්තෘ ශාසනයෙකින් ඒ අධිකරණය සන්හිඳේ නම් එසේ ඒ අධිකරණය සන්හිඳුවිය යුතු යි.
2. වත්‍ථු ජාතිතබ්බං යනු: අට පරිජි පිළිබඳ වස්තු දතයුතු යැ. තෙවිසි සඟවෙසෙස් පිළිබඳ වස්තු දතයුතු යැ. දෙ අනියත පිළිබඳ වස්තු දතයුතු යැ. දෙසාළිස් නිසගි පිළිබඳ වස්තු දතයුතු යැ. එක්සිය අටඅසූ පචිති පිළිබඳ වස්තු දතයුතු යැ. දොළොස් පිළිදෙස්නී පිළිබඳ වස්තු දතයුතු යැ. දුකුළා පිළිබඳ වස්තු දතයුතු යැ. දුබැසි පිළිබඳ වස්තු දතයුතු යි.
3. විපත්ති ජාතිතබ්බා යනු: ශීලවිපත්ති දතයුතු යැ. ආචාරවිපත්ති දතයුතු යැ. දෘෂ්ටිවිපත්ති දතයුතු යැ. ආජීවවිපත්ති දතයුතු යි.
4. ආපත්ති ජතිතබ්බා යනු: පාරාජිකාපත්ති දතයුතු යැ. සඞ්ඝාදිසේසාපත්ති දත යුතු යැ. ථුල්ලච්චයාපත්ති දතයුතු යැ. පාචිත්තියාපත්ති දතයුතු යැ. පාටිදේසනීයාපත්ති දතයුතු යැ. දුක්කටාපත්ති දතයුතු යැ. දුබ්භාසිතාපත්ති දතයුතු යි.
5. නිදානං ජාතිතබ්බං යනු: අට පරිජි පිළිබඳ නිදාන දතයුතු යැ. තෙවීසි සඟවෙසෙස් පිළිබඳ නිදාන දතයුතු යැ. දෙඅනියතය පිළිබඳ නිදාන දතයුතු යැ. දෙසාළිස් නිසගි පිළිබඳ නිදාන දතයුතු යැ. එක්සිය අට අසූ පචිති පිළිබඳ නිදාන දතයුතු යැ. දොළොස් පිළිදෙස්නී පිළිබඳ නිදාන දතයුතු යැ. දුකුළා පිළිබඳ නිදාන දතයුතු යැ. දුබැසි පිළිබඳ නිදාන දතයුතු යි.
6. ආකාරො ජානිතබ්බො යනු: සඞ්ඝයා ආකාර විසින් දතයුතු යැ. ගණයා ආකාර විසින් දතයුතු යැ. පුද්ගල ආකාර විසින් දතයුතු යැ. චෝදක ආකාර විසින් දතයුතු යැ. චූදිතක ආකාර විසින් දතයුතු යි.
“සඞ්ඝො ආකාරතො ජානිතබ්බො” යනු: මේ සඞ්ඝයා මේ අධිකරණය ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් සන්හිඳුවන්නට සමත් හෝ වේ ද, නොහොත් නො වේ දැයි මෙසේ සඞ්ඝයා ආකාර විසින් දතයුතු යි.
“ගණො ආකාරතො ජානිතබ්බො” යනු: මේ ගණයා මේ අධිකරණය ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් සන්හිඳුවන්නට සමත් හෝ වේ ද, නොහොත් නො වේ දැයි මෙසේ ගණයා ආකාරයෙන් දතයුතු යි.
“පුග්ගලො ආකාරතො ජානිතබ්බො” යනු: මේ පුද්ගල මේ අධිකරණය ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘ ශාසනයෙන් සන්හිඳුවන්නට සමත් හෝ වේ ද, නොහොත් නො වේ දැයි මෙසේ පුද්ගල ආකාර විසින් දතයුතු යි.
“චෝදකො ආකාරතො ජානිතබ්බො” යනු: “කිම, මේ ආයුෂ්මත් පස්වැදෑරුම් දහම්හි පිහිටා අන්හට චෝදනා කෙරේ ද, නොහොත් නො කෙරේදැ” යි මෙසේ චෝදක ආකාර විසින් දතයුතු යි.
“චුදිතකො ආකාරතො ජානිතබ්බො” යනු: “කිම, මේ ආයුෂ්මත් සත්‍යයෙහි ද අකෝප්‍යයෙහි දැයි දෙවැදෑරුම් දහම්හි පිහිටියේ ද, නොහොත් නො පිහිටියේ දැ” යි මෙසේ චුදිතක ආකාර විසින් දතයුතු යි.
7. පුබ්බාපරං ජාතිතබ්බං යනු: කිම, මේ ආයුෂ්මත් වස්තුවෙන් වස්තුවට හෝ (එක් වස්තුයෙකින් අන් වස්තුවකට) සඞ්ක්‍රමණය කෙරේ ද, විපත්තියෙන් විපත්තියට හෝ සඞ්ක්‍රමණය කෙරේ ද, ආපත්තියෙන් ආපත්තියට හෝ සඩ්ක්‍රමණය කෙරේ ද, පළමු වළහා පසුව පිළින හෝ කෙරේ ද, පිළින කොට හෝ වළහා ද, අනෙකෙකින් හෝ අනෙකක් වසා ද, නොහොත් නො වසා දැයි මෙසේ පූර්‍වාපරවචනය දතයුතු ය.
8. කතාකතං ජාතිතබ්බං යනු: මෛථුනධර්‍මය දතයුතු යැ. මෛථුනධර්‍මය පිළිබඳ අනුලෝමය දතයුතු යැ. මෛථුනධර්‍මය පිළිබඳ පූර්‍වභාගය දතයුතු යි.
“මෙථූනධම්මෝ ජාතිතබ්බො” යනු: ද්වයං ද්වය සමාපත්ති දතුයුතු යි.
“මෙථුනධම්මස්ස අනුලෝමං ජානිතබ්බං” යනු මහණ සිය මුවෙන් මෙරමා රහසඟ ගණි.
“මෙථුනධම්මස්ස පුබ්බභාගො ජානිතබ්බො” යනු නීලාදි වර්‍ණාවර්‍ණ යැ. කායසංසර්‍ග යැ දුට්ඨුල්ල වචන යැ අත්තකාමපාරිචරියා යැ ඔවුනොවුන්ගේ බස් දීම යැ යන මේ යැ.
9. කම්මං ජාතිතබ්බං යනු: ෂෝඩශ කර්‍ම දතයුතු යි: චතුර්විධ අපලෝකනකර්‍ම දතයුතු යැ. චතුර්විධ ඤත්තිකර්‍ම දතයුතු යැ. චතුර්විධ ඤත්තිදුතියකර්‍ම දතයුතු යැ. චතුර්විධ ඤත්තිචතුත්‍ථ කර්‍ම දතයුතු යි.
10. අධිකරණං ජානිතබ්බං යනු: චතුර්විධ අධිකරණ දතයුතු යි; විවාදාධිකරණ දතයුතු යැ. අනුවාදාධිකරණ දතයුතු යැ. ආපත්තාධිකරණ දතයුතු යැ. කිච්චාධිකරණ දතයුතු යි.
11. සමථො ජානිතබ්බො යනු: සප්තශමථයෝ දතයුතු වෙති: සම්මුඛාවිනය දතයුතු යැ. සතිවිනය දතයුතු යැ. අමූළ්හවිනය දතයුතුය. පටිඤ්ඤාතකරණ දතයුතු යැ. යෙභූය්‍යසිකා දතයුතු යැ. තස්සපාපිය්‍යසිකා දතයුතු යැ. තිණවත්‍ථාරකය දතයුතු යි.
12. “න ඡන්‍දාගති ගන්තබ්බා” යනු ඡන්‍දයෙන් අගතියට යන්නේ කෙසේ ඡන්‍දයෙන් අගතියට යේ ද යත්: මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් “මේ තෙමේ මාගේ උපාධ්‍යාය යි හෝ ආචාර්‍ය්‍ය යි හෝ සද්ධිවිහාරික යැ යි හෝ අන්තේවාසික යැ යි හෝ සමානෝපාධ්‍යයැ යි හෝ සමානාචාර්‍ය්‍ය යැ යි හෝ සන්දෘෂ්ට මිත්‍ර යැ යි හෝ සම්භක්ත මිත්‍ර යැ යි හෝ ඤාතිසාලෝහිතයැ යි හෝ ඔහුට අනුකම්පා පිණිස ඔහු රැක්ම පිණිස අධර්‍මය ධර්‍මයැ යි දක්වා ද, ධර්‍මය අධර්‍මයැ යි දක්වා ද, අවිනය විනයැ යි දක්වා ද, විනය අවිනයැ යි දක්වා ද, තථාගතයන් විසින් නො වදාරණ ලද්ද ප්‍රකාශ නො කරණ ලද්ද තථාගතයන් විසින් වදාරණ ලදැ යි ප්‍රකාශ කරණ ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් වදාරණ ලද්ද ප්‍රකාශ කරණ ලද්ද තථාගතයන් විසින් නො වදාරණ ලදැ යි ප්‍රකාශ නො කරණ ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් පුරුදු කරණ ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් නො පුරුදු කරණ ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් නො පණවන ලද්ද තථාගතයන් විසින් පණවන ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් පණවන ලද්ද තථාගතයන් විසින් නො පණවන ලදැ යි දක්වා ද, අනාපත්තිය ආපත්තියැ යි දක්වා ද, , ආපත්තිය අනාපත්තියැ යි දක්වා ද, ලහුකාපත්තිය ගරුකාපත්තියැ යි දක්වා ද, ගරුකාපත්තිය ලහුකාපත්ති යැ යි දක්වා ද, සාවසේසාපත්තිය අනවසේසාපත්තියැ යි දක්වා ද, අනවසේසාපත්තිය සාවසේසාපත්ති යැ යි දක්වා ද, දුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්ති යැ යි දක්වා ද, අදුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තියැ යි දක්වා ද, මේ අටළොස් වැදැරුම් කරුණින් ඡන්‍දයෙන් අගතියට යන්නේ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ වෙයි. මේ අටළොස් කරුණින් ඡන්‍දයෙන් අගතියට යන්නේ සාරාදැමූ කුසල් මුල් ඇති වැ නසන ලද තමා පරිහරණය කෙරෙයි. (හේ) වරද සහිත වූයේ ද වෙයි. නුවණැත්තන් විසින් චෝදනා කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරෙයි. ඡන්‍දයෙන් අගතියට යන්නේ මෙසේ ඡන්‍දයෙන් අගතියට යේ.
13. “න දෝසාගති ගත්තබ්බා” යනු: ද්වේෂයෙන් අගතියට යන්නේ කෙසේ ද්වේෂයෙන් අගතියට යේ ද යත්: මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් මට (පෙරැ) අවැඩ කෙළේ යැයි වෛර බඳී ද, මට (දැන්) අවැඩ කෙරේ යැයි වෛර බඳී ද, මට (මතු) අවැඩ කරන්නේ යැ යි වෛර බඳී ද, මාගේ ප්‍රිය මනාපයාහට අවැඩ කෙළේ යැ අවැඩ කෙරෙයි අවැඩ කරන්නේ යැ යි වෛර බඳී ද, මාගේ අප්‍රිය අමනාපයාහට වැඩකෙළේ යැ වැඩ කරයි වැඩ කරන්නේ යැයි වෛර බඳී ද, මේ නව ආඝාත වස්තූන් ගෙන් පහරණ ලද්දේ පුන පුනා පහරණ ලද්දේ කිපියේ ක්‍රෝධයෙන් මඩනා ලද්දේ අධර්‍මය ධර්‍ම යැ යි දක්වා ද ධර්‍මය අධර්‍ම යැයි දක්වා ද ... තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වා ද නො තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වා ද, මේ අටළොස් කරුණෙන් ද්වේෂයෙන් අගතියට යන්නේ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ වෙයි. මේ අටළොස් කරුණෙන් ද්වේෂයෙන් අගතියට යන්නේ සාරාදැමූ කුසල්මුල් ඇති වැ නසන ලද තමා පරිහරණය කෙරෙයි. (හේ) වරද සහිත වූයේ ද වෙයි. නුවණැත්තන් විසින් චෝදනා කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරෙයි. ද්වේෂයෙන් අගතියට යන්නේ මෙසේ ද්වේෂයෙන් අගතියට යේ.
14. “න මෝහාගති ගත්තබ්බා” යනු: මෝහයෙන් අගතියට යන්නේ කෙසේ මෝහයෙන් අගතියට යේ ද යත්: සංරක්ත වූයේ රාගවශයෙන් මෝහාගතියට යෙයි. දුෂ්ට වූයේ ද්වේෂවශයෙන් මෝහාගතියට යෙයි. මුළා වූයේ මොහවශයෙන් මෝහාගතියට යෙයි. පරාමෘෂ්ට වූයේ දෘෂ්ටිවශයෙන් මෝහාගතියට යෙයි. මුළා වූයේ අතිශයින් මුළා වූයේ මෝහයෙන් මඬනාලද්දේ අධර්‍මය ධර්‍ම යැ යි දක්වා ද, ධර්‍මය අධර්‍ම යැ යි දක්වා ද, ... තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වා ද, නො තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වා ද, මේ අටළොස් කරුණෙන් මෝහයෙන් අගතියට යන්නේ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙවිමිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ වෙයි. මේ අටළොස් කරුණෙන් මෝහයෙන් අගතියට යන්නේ සාරාදැමූ කුසල්මුල් ඇති නසන ලද තමා පරිහරණය කෙරෙයි. (හේ) වරද සහිත වූයේ ද වෙයි. නුවණැත්තන් විසින් චෝදනා කටයුතු වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරෙයි. මෝහයෙන් අගතියට යන්නේ මෙසේ මෝහයෙන් අගතියට යේ.
15. “න භයාගති ගත්තබ්බා” යනු: බියෙන් අගතියට යන්නේ කෙසේ බියෙන් අගතියට යේ ද යත්: මෙ සස්නෙහි ඇතැම් මහණෙක් මේ තෙමේ විෂම වූ කාය කර්‍මාදියෙන් යුක්ත යැ යි හෝ (අන්තග්‍රාහික මිථ්‍යා දෘෂ්ටි සඞ්ඛ්‍යාත) ගහණයන් ඇසුරු කරණ ලදැ යි හෝ බලවතුන් ඇසුරුකරණ ලදැ යි හෝ කර්‍කශ රළු වූයේ ජීවිතයට උවදුරක් හෝ බඹසරට උවදුරක් හෝ කරන්නේ යැ යි හෝ ඔහු කෙරෙන් බියපත් වූයේ අධර්‍මය ධර්‍ම යැ යි දක්වා ද, ධර්‍මය අධර්‍ම යැ යි දක්වා ද, අවිනය විනයැ යි දක්වා ද, විනය අවිනයැ යි දක්වා ද, තථාගතයන් විසින් නො වදාරණ ලද්ද ප්‍රකාශ නො කරණ ලද්ද තථාගතයන් විසින් වදාරණ ලදැ යි ප්‍රකාශ කරණ ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් වදාරණ ලද්ද ප්‍රකාශ කරණ ලද්ද තථාගතයන් විසින් නො වදාරණ ලදැ යි ප්‍රකාශ නො කරණ ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් පුරුදු නො කරණ ලද්ද තථාගතයන් විසින් පුරුදු කරණ ලදැ යි දක්වාද, තථාගතයන් විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් පුරුදු නො කරණ ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් නො පණවන ලද්ද තථාගතයන් විසින් පණවන ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් පණවන ලද්ද තථාගතයන් විසින් නො පණවන ලදැ යි දක්වා ද, නො ඇවැත ඇවැතැයි දක්වා ද, ඇවැත නොඇවැතැ යි දක්වා ද, ලුහු ඇවැත ගරු ඇවැතැ යි දක්වා ද, ගරු ඇවැත ලුහු ඇවැතැයි දක්වා ද, සාවසේස ඇවැත අනවසේස ඇවැතැ යි දක්වා ද, අනවසේස ඇවැත සාවසේස ඇවැතැ යි දක්වා ද, තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වා ද, නො තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වා ද, මේ අටළොස් කරුණෙන් බියෙන් අගතියට යන්නේ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙවිමිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ වෙයි. මේ අටළොස් කරුණෙන් බියෙන් අගතියට යන්නේ සාරා දැමූ කුසල්මුල් ඇති වැ නසන ලදැ තමා පරිහරණය කෙරෙයි. වරද සහිත වූයේ ද වෙයි. නුවණැත්තන් විසින් චෝදනා කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරෙයි. බියෙන් අගතියට යන්නේ මෙසේ බියෙන් අගතියට යේ.
16. යමෙක් ඡන්‍දයෙන් හෝ ද්වේෂයෙන් හෝ බියෙන් හෝ මෝහයෙන් හෝ ධර්‍මය ඉක්මවා ද, ඔහුගේ කීර්තිය කෘෂ්ණපක්‍ෂයෙහි චන්‍ද්‍රයා මෙන් වෙසෙසින් පිරිහේ.
17. කෙසේ නම් ඡන්‍දයෙන් අගතියට නො යේ ද යත්: අධර්‍මය අධර්‍ම යැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. ධර්‍මය ධර්‍ම යැයි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. අවිනය අවිනය යැයි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. විනය විනය යැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් නො වදාරණ ලද්ද ප්‍රකාශ නො කරණලද්ද තථාගතයන් විසින් නො වදාරණ ලදැ යි ප්‍රකාශ නො කරණලදැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් වදාරණ ලද්ද ප්‍රකාශ කරණ ලද්ද තථාගතයන් විසින් වදාරණලදැ යි ප්‍රකාශ කරණලදැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් නො පුරුදු කරණලදැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි.
තථාගතයන් විසින් පුරුදු කරණලද්ද තථාගතයන් විසින් පුරුදු කරණලදැයි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් නො පණවන ලද්ද තථාගතයන් විසින් නො පණවන ලදැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් පණවනලද්ද තථාගතයන් විසින් පණවනලදැයි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. අනාපත්තිය අනාපත්ති යැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නොයෙයි. ඇවැත ඇවැතැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. ලුහු ඇවැත ලුහු ඇවැතැයි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. ගරු ඇවැත ගරු ඇවැතැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. සාවසේස ඇවැත සාවසේස ඇවැතැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. අනවසේස ඇවැත අනවසේස ඇවැතැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. මෙසේ ඡන්‍දයෙන් අගතියට නො යේ.
18. කෙසේ නම් ද්වේෂයෙන් අගතියට නො යේ ද යත්: අධර්‍මය අධර්‍ම යැ යි දක්වන්නේ ද්වේෂයෙන් අගතියට නො යෙයි. ධර්‍මය ධර්‍ම යැයි දක්වන්නේ ද්වේෂයෙන් අගතියට නො යෙයි. ... තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ ද්වේෂයෙන් අගතියට නො යෙයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෙසේ ද්වේෂයෙන් අගතියට නො යේ.
19. කෙසේ නම් මෝහයෙන් අගතියට නො යේ ද යත්: අධර්‍මය අධර්‍ම යැ යි දක්වන්නේ මෝහයෙන් අගතියට නො යෙයි. ධර්‍මය ධර්‍මය යි දක්වන්නේ මෝහයෙන් අගතියට නො යෙයි. ... තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ මෝහයෙන් අගතියට නො යෙයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ මෝහයෙන් අගතියට නො යෙයි. මෙසේ මෝහයෙන් අගතියට නො යේ.
20. කෙසේ නම් බියෙන් අගතියට නො යේ ද යත්: අධර්‍මය අධර්‍ම යැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. ධර්‍මය ධර්‍ම යැයි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. අවිනය අවිනයැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. විනය විනයැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් නො වදාරණ ලද්ද ප්‍රකාශ නො කරණ ලද්ද තථාගතයන් විසින් නො වදාරණ ලදැ යි ප්‍රකාශ නො කරණ ලදැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් වදාරණ ලද්ද ප්‍රකාශ කරණ ලද්ද තථාගතයන් විසින් වදාරණ ලදැ යි ප්‍රකාශ කරණ ලදැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් නො පුරුදු කරණ ලදැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් පුරුදු කරණ ලදැයි දක්වන්නේ බියෙන් අගතියට නොයෙයි. තථාගතයන් විසින් නො පණවන ලද්ද තථාගතයන් විසින් නො පණවන ලදැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් පණවන ලද්ද තථාගතයන් විසින් පණවන ලදැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. අනාපත්තිය අනාපත්ති යැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. ඇවැත ඇවැතැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. ලුහු ඇවැත ලුහු ඇවැතැයි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. ගුරු ඇවැත ගුරු ඇවැතැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි.
සාවසේස ඇවැත සාවසේස ඇවැතැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. අනවසේස ඇවැත අනවසේස ඇවැතැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. මෙසේ බියෙන් අගතියට නො යේ.
21. යමෙක් තෙමේ ඡන්‍දයෙන් හෝ ද්වේෂයෙන් හෝ බියෙන් හෝ මෝහයෙන් හෝ යුක්තිධර්‍මය නො ඉක්මවා ද, ඔහුගේ කීර්තිය ශුක්ලපක්‍ෂයෙහි චන්‍ද්‍රයා මෙන් ක්‍රමයෙන් පිරෙන්නේ යි.
22. කිසෙයින් හැඳින්වියයුතු තන්හි හඳුන්වා ද යත්: අධර්‍මය අධර්‍ම යැ යි දක්වන්නේ හැඳින්විය යුතු තන්හි හඳුන්වයි. ධර්‍මය ධර්‍ම යැයි දක්වන්නේ හැඳින්විය යුතු තන්හි හඳුන්වයි. ... තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ හැඳින්විය යුතු තන්හි හඳුන්වයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ හැඳින්විය යුතු තන්හි හඳුන්වයි. මෙසෙයින් හැඳින්විය යුතු තන්හි හඳුන්වයි.
23. කිසෙයින් මෙනෙහිකරවියයුතු තන්හි මෙනෙහි කරවා ද යත්: අධර්‍මය අධර්‍ම යැයි දක්වන්නේ මෙනෙහි කරවියයුතු තන්හි මෙනෙහි කරවයි. ධර්‍මය ධර්‍ම යැ යි දක්වන්නේ මෙනෙහි කරවියයුතු තන්හි මෙනෙහි කරවයි. ... තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ මෙනෙහි කරවියයුතු තන්හි මෙනෙහි කරවයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ මෙනෙහි කරවියයුතු තන්හි මෙනෙහි කරවයි. මෙසෙයින් මෙනෙහි කරවියයුතු තන්හි මෙනෙහි කරවයි.
24. කිසෙයින් දැක්විය යුතු තන්හි දක්වා ද යත්: අධර්‍මය අධර්‍ම යැ යි දක්වන්නේ දැක්වියයුතු තන්හි දක්වයි. ධර්‍මය ධර්‍ම යැ යි දක්වන්නේ දැක්වියයුතු තන්හි දක්වයි. ... තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ දැක්විය යුතුතන්හි දක්වයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ දැක්වියයුතු තන්හි දක්වයි. මෙසෙයින් දැක්විය යුතුතන්හි දක්වයි.
25. කිසෙයින් පැහැදවිය යුතු තන්හි පහදවා ද යත්; අධර්‍මය අධර්‍ම යැ යි දක්වන්නේ පැහැදවිය යුතු තන්හි පහදවයි. ධර්‍මය ධර්‍ම යැ යි ... තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ පැහැදවිය යුතු තන්හි පහදවයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ පැහැදවිය යුතු තන්හි පහදවයි. මෙසෙයින් පැහැදවිය යුතු තන්හි පහදවයි.
26. “කිසෙයින් ලැබූ පක්‍ෂ ඇත්තෙමි” යි පරපක්‍ෂයට අවමන් කෙරේ ද යත්: මෙ සස්නෙහි ඇතැම් මහණෙක් ලැබූ පක්‍ෂ ඇත්තේ ලැබූ පිරිවර ඇත්තේ පක්‍ෂ ඇත්තේ නෑයන් ඇත්තේ වෙයි. (හේ) මේ පුද්ගල නො ලද පක්‍ෂ ඇත්තෙක, නො ලද පිරිවර ඇත්තෙක, දක්‍ෂ නැත්තෙක නෑයන් නැත්තෙක” යි. ඔහුට අවමන් කරන්නේ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි. ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි. ... තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වයි. නො තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වයි. “මෙසෙයින් ලැබූ පක්‍ෂ ඇත්තෙමි” යි පරපක්‍ෂයට අවමන් කෙරේ.
27. “කිසෙයින් බහුශ්‍රැතයෙමි” යි අල්පශ්‍රැතයාහට අවමන් කෙරේ ද යත්: මෙ සස්නෙහි ඇතැම් මහණෙක් බහුශ්‍රුත වෙයි, ශ්‍රැතධර වෙයි, ශ්‍රැත සන්නිචය (ඇසූ පිරූ දැ රැස්කොට තබන්නේ) වෙයි, හේ පුද්ගල අල්පශ්‍රැතයෙක, නො පුහුණු වූ ආගම ඇත්තෙක, බණදහම් නො දරන්නෙකැ” යි ඔහුට අවමන් කරන්නේ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි.
ධර්‍මය අධර්‍මය යි දක්වයි ... තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැයි දක්වයි. නො තුළුල් ඇවැත තුළුල් ඇවැතැයි දක්වයි. “මෙසෙයින් බහුශ්‍රැතයෙමි” යි අල්පශ්‍රැතයාහට අවමන් කෙරේ.
28. “කිසෙයින් ස්ථවිරතරයෙමි” යි නවකතරයාහට අවමන් කෙරේ ද යත්: මෙ සස්නෙහි ඇතැම් මහණෙක් රාත්‍රඥ වූයේ පැවිද්දෙන් බොහෝ කල් ඇත්තේ ස්ථවිර වෙයි. හේ මෙ පුද්ගල නවක යැ අප්‍රකට යැ විනයඥ නො වෙයි, තතු නො දනී, මොහුගේ වචනය නො කළයුතු වන්නේ යැ” යි ඔහුට අවමන් කරන්නේ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි. ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි. ... තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වයි. නො තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වයි. “මෙසෙයින් ස්ථවිරතරයෙමි” යි නවකතරයාහට අවමන් කෙරේ.
29. අසම්පත්තං න ව්‍යාහරිතබ්බං යනු: අනවතීර්‍ණභාරය අවතරණය නොකට යුතු යි.
30. සම්පත්තං ධම්මතෝ විනයතෝ න පරිහාපේතබ්බං යනු: සඞ්ඝයා යම් කරුණක් සඳහා රැස් වූයේ වේ ද, එ කරුණ ධර්‍මයෙන් විනයයෙන් නො පිරිහෙළිය යුතු යි.
31. යෙන ධම්මෙන යනු: විද්‍යමානවස්තුයෙනි.
යෙන විනයෙන යනු: චෝදනා කොට (ඇවැත) සිහි කරවා.
යෙන සත්‍ථු සාසනෙන යනු: ඤත්තිසම්පත්තියෙන් අනුසාවනසම්පත්තියෙන්, යම් ධර්‍මයෙකින් යම් විනයයෙකින් යම් ශාස්තෘශාසනයෙකින් ඒ අධිකරණය සන්හිඳේ නම් එසෙයින් ඒ අධිකරණය සන්හිඳවිය යුතු.
අනුවිජ්ජකානුයෝගය
“අනුවිජ්ජකෙන චෝදකො පුච්ඡිතබ්බො” යනු: ඇවැත්නි, තෙපි යම්හෙයෙකින් මේ මහණහුගේ පවාරණය තබවු නම් එය කවර විපත්තියෙක ලා තබවු ද: “ශීලවිපත්තියෙහි ලා තබවු ද, ආචාරවිපත්තියෙහි ලා තබවු ද, දෘෂ්ටිවිපත්තියෙහි ලා තබවු දැ’ යි.
ඉදින් ඒ චෝදක මහණ මෙසේ කියා නම්: “ශීලවිපත්තියෙන් හෝ තබමි, ආචාරවිපත්තියෙන් හෝ තබමි, දෘෂ්ටිවිපත්තියෙන් හෝ තබමි” යි.
ඒ චෝදක මහණ මෙසේ කියැයුතු වන්නේ යැ: “ආයුෂ්මත් තෙම ශීලවිපත්ති දනී ද, ආචාරවිපත්ති දනී ද, දෘෂ්ටිවිපත්ති දනී ද” යි.
ඉදින් හෙ මෙසේ කියා නම්: “ඇවැත්නි, මම ශීලවිපත් දනිමි, ආචාරවිපත් දනිමි, දෘෂ්ටිවිපත් දනිමි” යි.
හෙ මෙසේ කියැයුතු වන්නේ යැ: “ඇවැත්නි, ශීලවිපත් නම් කවරැ ආචාරවිපත් කවරැ දෘෂ්ටිවිපත් කවරැ” යි.
ඉදින් හෙ මෙසේ කියා නම්: ‘ සතර පරිජි යැ තෙළෙස් සඟවෙසෙස් යැ යන මේ ශීලවිපත්ති යැ. ථුලැසි යැ පචිති යැ පිළිදෙස්නී යැ දුකුළා යැ දුබැසි යැ යන මේ ආචාරවිපත්ති යැ, මිථ්‍යාදෘෂ්ටි යැ අන්තග්‍රාහිකදෂ්ටි යැ යන මේ දෘෂ්ටිවිපත්ති” යි.
ඒ චෝදක මහණ මෙසේ කියැයුතු වන්නේ යැ: “ඇවැත්නි තෙපි යම්හෙයෙකින් මෙ මහණහට පවාරණට්ඨපන කරන්නහු දෘෂ්ටයෙන් තබවු ද, ශ්‍රැතයෙන් තබවු ද, පරිශඞ්කායෙන් තබවු දැ” යි.
ඉදින් හෙ මෙසේ කියා නම්: “දෘෂ්ටයෙන් හෝ තබමි, ශ්‍රැතයෙන් හෝ තබමි, පරිශඞ්කායෙන් හෝ තබමි” යි.
හේ මෙසේ කියැයුතු වන්නේ යැ: “ඇවැත්නි, යම්හෙයෙකින් තෙපි මේ මහණහට දෘෂ්ටයෙන් පවාරණට්ඨපන කරන්නහු නම් තොප විසින් කුමක් දක්නාලද ද, තොප විසින් කෙසේ දක්නාලද ද, තොප විසින් කවරදා දක්නාලද ද, තොප විසින් කොහි දී දක්නාලද ද, පරිජිඇවැත් අවදනේ දක්නාලද ද, සඟවෙසෙස් - ථුලැසි - පචිති - පිළිදෙස්නී - දුකුළා - දුබැසි ඇවැත් අවදනේ දක්නාලද ද, තෙපි කොහි වූවහු ද, යළි මෙ මහණ කොහි වී ද, තෙපි කුමක් කරවු ද, මෙ මහණ කුමක් කෙරේ දැ” යි.
ඉදින් හේ මෙසේ කියා නම්: “ඇවැත්නි මම් මේ මහණහට දෘෂ්ටයෙන් පවාරණට්ඨපන නො කෙරෙම් මැ යැ. එතෙකුදුවත් ශ්‍රැතයෙන් පවාරණට්ඨපන කෙරෙමි” යි.
හෙ මෙසේ කියැයුතු වන්නේ යැ: “ඇවැත්නි, තෙපි යම්හෙයෙකින් මේ මහණහට ශ්‍රැතයෙන් පවාරණට්ඨපන කරවු නම් තොප විසින් කුමක් අසනලද ද, තොප විසින් කෙසේ අසනලද ද, තොප විසින් කවර කලෙක අසනලද ද, තොප විසින් කොතන්හි අසනලද ද, පරිජිඇවැත් අවනැයි අසනලද ද, සඟවෙසෙස් ඇවැත් අවනලැයි අසනලද ද, ථුලැසි - පචිති - පිළිදෙස්නී - දුකුළා - දුබැසි ඇවැත් අවනැයි අසනලද ද, මහණක්හු කියන්නා අසනලද ද, මෙහෙණක කියන්නා අසනලද ද, සික්ඛමානාවක කියන්නා අසනලද ද, හෙරණක්හු කියන්නා අසනලද ද, හෙරණක කියන්නා අසනලද ද, උවසුවක්හු කියන්නා අසනලද ද, උවැසියක කියන්නා අසනලද ද, රජුන් කියන්නා අසනලද ද, රජමහඇමැතියන් කියන්නා අසනලද ද, තීර්‍ත්‍ථකයන් කියන්නා අසනලද ද, තීර්‍ත්‍ථකශ්‍රාවකයන් කියන්නා අසනලද දැ” යි.
ඉදින් හේ මෙසේ කියා නම්: “ඇවැත්නි, මම් මේ මහණහට ශ්‍රැතයෙන් පවාරණට්ඨපන නො කෙරෙම් මැ යැ. එතෙකුදුවත් පරිශඞ්කායෙන් පවාරණට්ඨපන කෙරෙමි” යි.
හෙ මෙසේ කියැයුතු වන්නේ යැ: ‘යම්හෙයෙකින් ඇවැත්නි, තෙපි මේ මහණහට සැකයෙන් පවාරණට්ඨපන කරවු නම්, කුමක් සැක කරවු ද, කෙසේ සැක කරවු ද, කවර කලෙක සැක කරවු ද, කොතන්හි සැක කරවු ද, පරිජි ඇවැත් අවනැයි සැක කරවු ද, සඟවෙසෙස් - ථුලැසි - පචිති - පාටිදේසනීය - දුකුළා - දුබැසි ඇවැත් අවනැයි සැක කරවු ද, මහණක්හු කියන්නා අසා සැක කරවු ද, මෙහෙණක කියන්නා අසා සැක කරවු ද, සික්ඛමානාවක කියන්නා අසා සැක කරවු ද, හෙරණක්හු කියන්නා අසා සැක කරවු ද, හෙරණක කියන්නා අසා සැක කරවු ද, උවසුවක්හු කියන්නා අසා සැක කරවු ද, උවැසියක කියන්නා අසා සැක කරවු ද, රජුන් කියන්නා අසා සැක කරවු ද, රජමහඇමැතියන් කියන්නා අසා සැක කරවු ද අන්තොටුවන් කියන්නා අසා සැක කරවු ද, අන්තොටුසව්වන් කියන්නා අසා සැක කරවු දැ” යි.
1. දක්නාලද්ද දක්නාලද්ද හා සම වෙයි. දක්නාලද්ද දක්නාලද්ද හා සැසැඳෙයි. දක්නාලද්ද නිසා ඇවැතට නො පැමිණෙයි. ඒ පුද්ගල අශුද්ධ’ යයි සැක කරණලද්දේ වෙයි. (ඔහුගේ) ප්‍රතිඥායෙන් ඒ පුද්ගලයා හා සමග පවාරණ කටයුතු.
2. අසනලද්ද, අසනලද්ද හා සම වෙයි. අසනලද්ද අසනලද්ද හා සැසැඳෙයි. අසනලද්ද නිසා ඇවැතට නො පැමිණෙයි. ඒ පුද්ගල “අශුද්ධ” යයි සැක කරණලද්දේ වෙයි. (ඔහුගේ) ප්‍රතිඥායෙන් ඔහු හා සමග පවාරණ කටයුතු.
3. (ගන්‍ධ රස ස්ප්‍රෂ්ටවාස සඞ්ඛ්‍යාත) මුතය මුතය හා සම වෙයි. මුතය මුතය හා සැසැඳෙයි. මුතය නිසා ඇවැතට නො පැමිණෙයි. ඒ පුද්ගල “අශුද්ධ” යයි සැක කරණලද්දේ වෙයි. (ඔහුගේ) ප්‍රතිඥායෙන්, ඔහු හා සමග පවාරණ කටයුතු.
පුච්ඡාවිභාගය
1. “තොප විසින් කුමක් දක්නාලද ද” යනු කවර පිළිවිසීමෙක් ද, “තොප විසින් කෙසේ, දක්නා ලද ද” යනු කවර පිළිවිසීමෙක් ද, “තොප විසින් කවර දා දක්නා ලද ද” යනු කවර පිළිවිසීමෙක් ද “තොප විසින් කො තන්හි දක්නා ලද ද” යනු කවර පිළිවිසීමෙක් ද යත්:
2. “තොප විසින් කුමක් දක්නාලද ද” යනු: වස්තුපෘච්ඡා යැ වීපත්තිපෘච්ඡා යැ ආපත්තිපෘච්ඡා යැ අජ්ඣාචාරපෘච්ඡා යි.
වස්තුපෘච්ඡා නම්; අට පරිජි පිළිබඳ (වරදට හේතු වූ) වස්තුපෘච්ඡා යැ, තෙවීසි සඟ වෙසෙසුන් පිළිබඳ වස්තුපෘච්ඡා යැ, දෙ අනියත පිළිබඳ වස්තුපෘච්ඡා යැ, දෙසාළිස් නිසඟි පිළිබඳ වස්තුපෘච්ඡා යැ, එක්සිය අටාසූවක් පචිති පිළිබඳ වස්තුපෘච්ඡා යැ, දොළොස් පිළිදෙස්නීන් පිළිබඳ වස්තුපෘච්ඡා යැ, දුකුළා පිළිබඳ වස්තුපෘච්ඡා යැ, දුබැසි පිළිබඳ වස්තුපෘච්ඡා යි.
විපත්තිපෘච්ඡා නම්: ශීලවීපත්තිපෘච්ඡා යැ, ආචාරවිපත්තිපෘච්ඡා යැ, දෘෂ්ටිවීපත්තිපෘව්ඡා යැ, ආජීවවිපත්තිපෘච්ඡා යි.
ආපත්තිපෘච්ඡා නම් පාරාජිකාපත්තිපෘච්ඡා යැ, සඞ්ඝයාදිසේසාපත්තිපෘච්ඡා යැ. ථුල්ලච්චයාපත්තිපෘච්ඡා යැ, පාචිත්තියාපත්තිපෘච්ඡා යැ, පාටිදේසනීයාපත්තිපෘච්ඡා යැ. දුක්කටාපත්තිපෘච්ඡා යැ, දුඛභාසිතාපත්තිපෘච්ඡා යි.
අජ්ඣාචාරපෘච්ඡා නම් (මෙවුන්දම් සෙවීම පිණිස) ද්වයංද්වයසමාපත්තිපෘච්ඡා යි.
3. “තොප විසින් කෙසේ දක්නාලද ද” යනු: ලිඞ්ගපෘච්ඡා යැ, ඊර්‍ය්‍යාපථපෘච්ඡා යැ, ආකාරපෘච්ඡා යැ, විප්‍රකාරපෘච්ඡයා යි.
ලිඞ්ගපෘච්ඡා නම්: දිගුබව හෝ ලුහුඬුබව හෝ කළුබව හෝ එළලුබව හෝ යැ.
ඊර්‍ය්‍යාපථපෘච්ඡා නම්: යන්නහු හෝ සිටියහු හෝ හුන්නහු හෝ හොත්තහු හෝ යැ.
ආකාරපෘච්ඡා නම්: ගිහිලිඞ්ගයෙහි හෝ තිත්‍ථියලිඞ්ගයෙහි හෝ පබ්බජිත ලිඞ්ගයෙහි හෝ යැ.
විප්‍රකාරපෘච්ඡා නම්: යන්නහු හෝ සිටියහු හෝ හුන්නහු හෝ හොත්තහු හෝ යි.
4. “තොප විසින් කවරදා දක්නා ලද ද” යනු: කාලපෘච්ඡා යැ, සමයපෘච්ඡා යැ, දිවසපෘච්ඡා යැ, ඍතුපෘච්ඡා යි.
කාලපෘච්ඡා නම්: පූර්‍වාහ්ණකාලයෙහි හෝ මද්ධ්‍යාහ්නකාලයෙහි හෝ සායාහ්නකාලයෙහි හෝ යැ.
සමයපෘච්ඡා නම් පූර්‍වාහ්ණකාලයෙහි හෝ මද්ධ්‍යාහ්නසමයෙහි හෝ සායාහ්නසමයෙහි හෝ යැ.
දිවසපෘච්ඡා නම්: පෙරබතැ හෝ පසුබතැ හෝ රාත්‍රිය හෝ දාවල හෝ අවපස හෝ පුරපස හෝ යැ.
ඍතුපෘච්ඡා නම්: හේමන්තයෙහි හෝ ගිම්හානයෙහි හෝ වස්සානයෙහි හෝ යි.
5. “තොප විසින් කොතන්හි දක්නාලද ද” යනු: ස්ථානපෘච්ඡා යැ, භූමිපෘච්ඡා යැ, අවකාශපෘච්ඡා යැ, ප්‍රදේශපෘච්ඡා යි.
ස්ථානපෘච්ඡා නම් බිමැ හෝ පොළොවෙහි හෝ දෙරණෙහි හෝ මිහිපිට හෝ යැ.
භූමිපෘච්ඡා නම්: බිමැ හෝ පොළොවෙහි හෝ පව්වෙහි හෝ පහණෙහි හෝ පහයෙහි හෝ යැ.
අවකාශපෘච්ඡා නම්: පූර්‍වදිග අවකාශයෙහි හෝ පශ්චිමදිග අවකාශයෙහි හෝ උත්තරදිග අවකාශයෙහි හෝ දක්‍ෂිණදිග අවකාශයෙහි හෝ යැ.
ප්‍රදේශපෘච්ඡා නම්: පෙරදිග පෙදෙසැ හෝ පැසුළුදිග පෙදෙසැ හෝ උතුරුදිග පෙදෙසැ හෝ දකුණුදිග පෙදෙසැ හෝ යි.
මහාසංග්‍රාමය නිමි.
එහි නාමාවලිය: